
ශක්තික සත්කුමාර පොල්ගහවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේ ඒ ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙකු විසින් කරන ලද බලපෑමට යටත්ව මිස නීත්‍යානුකුල පදනමක් ඇතිව නොවන බව දැන් ඉතා පැහැදිලිය. එම ස්වාමීන් වහන්සේලා පෙනී සිටියේ බුදු දහම බේරා ගැනීම වෙනුවෙන් බව ඒ අය විසින් නිකුත් කර තිබූ නිවේදනයක තිබිණ. එම ප්‍රකාශය බුදුදහම ගැන කිසිත් නොදන්නා පිරිසකගේ වැඩක් බව මම එම අවස්ථාවේදීම පෙන්වා දුන්නෙමි. හාමුදුරුවරු කිහිප දෙනෙක් ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බලපෑම් කළ අතර ඔහු රැකියාව කරමින් සිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කඩා වැදී ශක්තික රැකියාවෙන් නෙරපන ලෙස ද බල කළහ. ඔහු අත් අඩංගුවට ගෙන
අයි සී සී පී ආර් පනත් සම්මුතිය අනුව ඇප නොදී දින එකසිය තිස් ගණනක් රිමාන්ඩ් සිරබාරයේ රඳවනු ලැබීය.
මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප ලබා ගන්නට දැරූ සියලු උත්සාහයන් අසාර්ථක විය. නඩුව මහාධිකරණයට යොමු කෙරිණ. එහිදී නීතිඥ මහතුන්ගේ මහත් පරිශ්‍රමයෙන් ඇප ලබා ගත හැකි විය. ඊයේ එනම් පෙබරවාරි 9 වැනිදා චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව ම නඩු නොමැතිව ම නීතිපති උපදෙස් මත ඔහු නිදහස් කෙරිණ.
ශක්තික පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මොහොතේ සිටම ඔහු නිදහස් කර ගැනීම වෙනුවෙන් මහත් වෙහෙසක් දරමින්, ශක්තිකගේ බිරිය සහ දරුවන්ගේ දුක සැප සහ ඒ අයගේ ආර්ථික ප්‍රශ්න ගැන පවා කම්පා වෙමින් කටයුතු කළේ නීතිඥ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. රත්නායක මහතා ය. ඔහුට සහාය වීමට ජනාධිපති නීතිඥ තාරපති ජයනාග, සංජය විල්සන්, අකිල අතාවුද ඇතුළු නීතිවේදීන් ගණ නාවක් වරින් වර මැදිහත් වුණේ කිසිඳු ගාස්තුවක් අයකිරීමකින් තොරවය. ඒ අතර කම්කරු මාවත නමින් අප දන්නා දේශපාලන කණ්ඩායමේ සහෝදරවරු, ගාමිණි වියන්ගොඩ ඇතුළු සිවිල් සමාජ ක්‍රියාධරයෝ, ලංකා ලේඛක සංවිධානය ඇතුළු ලේඛක ලේඛිකාවෝ,, ශක්තිකගේ මිතුරු මිතුරියෝ ආදී විවිධ පිරිස් මේ කටයුත්තට මැදිහත් වෙමින් සහාය දුන්හ. කම්කරැ මාවත සහෝදරවරු තම ශක්ති ප්‍රමාණයෙන් මේ පුශ්නය ජාත්‍යන්තර තලයටද ගෙන ගියහ.
දැන් ශක්තික නඩුවක් නැතිව නිදහස්ය. මේ අත්දැකීම අපට කියන්නේ කුමක්ද? ශ්‍රී ලාංකික සමාජයේ චීවරයේ බලය මිනිස් නිදහසට විරැද්ධව යෙදවෙන ආකාරය මේ ඔස්සේ ද ඉතා හොඳින් පැහැදිලි වන බව නොවේද?. ශක්තික අත්අඩංගුවට ගෙන සිරගත කරන්නට මැදිහත්වෙමින් තමන් බුද්ධ ධර්මය ආරක්ෂා කරනවා යයි කී භික්ෂූන් නඩු දිනයට උසාවියට ආවේ වත් නැත. එයින් පෙනෙන්නේ ඔවුන්ගේ ආගම රැකීම අහිංසක මිනිසකු හිරේ ලග්ගවා තැබීමෙන් එහාට ගෙන යන්නට උවමනාවක් ඒ අයට නැති බවයි.
ශක්තික මෙසේ නිදහස ලබන්නේ මේ දිනවල ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව මානව හිමිකම් උල්ලංඝණය කරන්නේය යන චෝදනාවක් අන්තර් ජාතික වශයෙන් මතුවී තිබෙන පරිසරයක බව ද අපේ සැලකිල්ලට භාජනය විය යුතුය.
ශක්තික කෙටිකතාවක් ලියා ආගමකට අවමන් කළා ද නැද්ද යන්න උසාවියේ විමසීමක් සිදුවී නැත. ඔහුට විරැද්ධව එවැනි චෝදනාවක් මහාධිකරණයේ ඉදිරිපත් කොට නැත. සිදුවී ඇත්තේ ඔහු අනිවර්තේ හිරේ දමාගෙන සිටීම පමණකි. මෙය ආගම ආරක්ෂා කිරීමේ මුවාවෙන් මානව හිමිකම් උල්ලංඝණය කිරීමකි. ආගම් ආරක්ෂා කර ගත හැක්කේ ඒවායේ පූජ්‍ය පක්ෂය ඒ ආගම් ශාස්ත්රෑවරුන්ගේ ඇවතුම් පැවතුම් අනුව පැවතීමෙන් මිස රාජ්‍ය යන්ත්‍රය යොදවාගෙන මිනිස් නිදහස අහෝසි කිරීමෙන් නොවන බව මෙවැනි සංඝයා වහන්සේලා වටහා ගත යුතුය.
අපි ශක්තික වෙනුවෙන් පෙනී සිටි සියලු නීතිඥවරුන්ට අපේ ගව්රවය පුද කරමු.