18 June, 2026

Blog

මැතිවරණ ප්‍රචණ්ඩත්වයේ තර්ජනය අරගලය යුගයෙන් පැමිණෙන්නේ නැත

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

සෑම මන්ත්‍රීවරයෙකුටම නැවතත් ආයුධ දෙකක් ලබාදීමට රජය ගත් තීරණය මැතිවරණය ළංවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉලක්ක කරගත හැකි ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම පිළිබඳ කනස්සල්ල ඇඟවීමකි. අරගල යුගයේ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිල්ලට ගෙන සෑම මන්ත්‍රීවරයකුටම මුදල් ගෙවිය යුතු රිපීටර් අවි දෙකක් ලබාදීමට තීරණය කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පාර්ලිමේන්තු ලේකම් කාර්යාලයට ලිපියක් යොමුකරමින් සඳහන් කරයි. මෙම අවි ලබාදෙන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පෞද්ගලික ආරක්ෂාව සඳහා හිමිවන අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයට අමතරවය. මෙම පහසුකම හරහා ලබාගන්නා ගිනිඅවි, මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවෙන් පිටවන අවස්ථාවකදී වුවද, බලපත්‍රය වාර්ෂිකව පවත්වාගෙන යෑම සහ අලුත් කිරීම යන පදනම මත අඛණ්ඩව තබාගත හැකිය.

අරගලයට හේතුවූ කාරණා නැවත මතුවීම ගැන ආණ්ඩුවේ උනන්දුව ප්‍රශ්න කළ යුතුව ඇත. මීට වසර දෙකකට පෙර තිබූ තත්ත්වයට වඩා අද තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් ය. 2022 අරගලය විරෝධතා මතුවූයේ, 2019 ජනාධිපතිවරණයෙන් සහ 2020 මහ මැතිවරණයේදී බලයේ සිටි ආණ්ඩුවට ජනවරමක් ලැබී බලයේ රැඳීසිටීමට නීත්‍යානුකූල අයිතියක් තිබූ පසුබිමක ය. ජනතාවට අත්‍යාවශ්‍ය මූලික දේ ලබාදීමට ඔවුන් අපොහොසත් වූවත්, බලය අත්හැරීමට අවශ්‍ය බවක් එම ආණ්ඩුව නොපෙන්වීය. එබැවින් එවැනි පාලනයකට බලයෙන් ඉවත්වන ලෙසට බලපෑම් කළ හැකි එකම මාර්ගය වූයේ ඊට එරෙහිව ප්‍රසිද්ධියේ විරෝධය දැක්වීමයි. අද වන විට ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වෙමින් පවතින අතර, නව ජනාධිපතිවරයකු සඳහා සහ දීර්ඝ කාලීනව නව ආණ්ඩුවක් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ජනතාවට තිබේ.

මතක තබාගත යුතු කරුණක් වන්නේ, 2022 අරගලය විරෝධතා සාමකාමීව ආරම්භ වූ බවයි. රසායනික පොහොර තහනමට තුඩුදුන් එම ආණ්ඩුව අනුගමනය කළ කෘෂිකාර්මික ප්‍රතිපත්තිවලට එරෙහිව ග්‍රාමීය ප්‍රදේශවල මූලික විරෝධතා ඇතිවිය. එළඹෙන ආර්ථික ව්‍යසනය මුලින්ම දුටුවේ ගොවීන් වන අතර, එබැවින් ඔවුන් ග්‍රාමීය මාර්ග අවහිර කළ නමුත්, එමගින් සුළු බලපෑමක් ඇති කළේය. එහෙත් පෙට්‍රල්, ගෑස්, ආහාර සහ ඖෂධ මිලදී ගැනීමට විදේශ මුදල් හිඟයක් නිර්මාණය කරමින් ආර්ථික අර්බුදය රටේ සෙසු ප්‍රදේශවලටද පහරදීමට පටන් ගත් විට සහ විදුලිය දින භාගයක් දක්වා විසන්ධි වූ විට විරෝධතා නැවතත් සාමකාමීව නාගරික ප්‍රදේශ කරා ද පැතිර ගියේය. විරෝධතාකරුවෝ සහ ආරක්ෂක හමුදා යන දෙකම ආදර්ශවත් ලෙස හැසිරුණෝය.

ප්‍රචණ්ඩත්වය අවුලුවා ඇත

අරගලය උද්ඝෝෂණ උග්‍රවීම අඩු වැඩි වශයෙන් ඉබේ ඇතිවූයේ ජනතාව මුහුණදුන් ආර්ථික වේදනාව නිසාය. ඉවත්ව යායුතු බව ආණ්ඩුවට පැවසීමට බොහෝ දුරබැහැර සිට සහ රටේ සෑම ප්‍රදේශයකින්ම තමන්ගේ වියදමින් පැමිණි සාමාන්‍ය පුරවැසියෝ කණ්ඩායම් වූහ. ප්‍රශ්නය වූයේ, ආණ්ඩුව පත්වී වසර දෙකක් පමණක් ගතව තිබීමත්, එහි කාලය අවසන් වීමට, නීතියට අනුව තවත් වසර තුනක් ඉතිරිව තිබීමත්ය. එබැවින් ආණ්ඩුව ඉවත්ව යෑම ප්‍රතික්ෂේප කළේය. මෙමගින් නීතිය පැත්තේ සිටින අසාර්ථක ආණ්ඩුවක් සහ එය ඉවත් කිරීමට අවශ්‍ය ජනතාව අතර ගැටුමක් ඇතිවිය. තමන්ට ඉක්මණින් බලයට ඒමේ අවස්ථාව දුටු විපක්ෂය, අරමුදල් සම්පාදනය කරමින් විරෝධතාවල සැළකිව යුතු කාර්යභාරයක් ඉටුකළ බවට සැක නැත.

අවධානය යොමුකළ යුතු වැදගත් කරුණ නම් රජය ප්‍රචණ්ඩත්වය යොදාගැනීමට තෝරාගන්නා තෙක් විරෝධතා සාමකාමීව පැවැතීමයි. ප්‍රචණ්ඩත්වය ආරම්භ වූයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රමුඛ ආණ්ඩුවේ මැරයන් වීදිබැස විරෝධතාකරුවන්ට එරෙහිව ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකිරීමත් සමඟ ය. ඉන් පසුව ඇති වූ සාමාන්‍ය ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට අපහසු වූ අතර, රජයේ ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාරයක් ලෙස ආරක්‍ෂක අංශ දෑස් පියාගැනීමද සිදුවිය. ශ්‍රී ලංකා ආරක්‍ෂක අංශවල ශක්තිය වන්නේ ඔවුන් සෑමවිටම ක්‍රියාත්මක වූයේ, තේරී පත්වූ දේශපාලන නායකයන්ගේ අණට යටත්වීමයි. ඔවුන් මුහුණදුන් ප්‍රශ්නය වූයේ, ඔවුන්ගේ දේශපාලන ස්වාමිවරුන් නීතිවිරෝධී සහ සදාචාර විරෝධී නියෝග නිකුත් කිරීමය. අරගලය උද්ඝෝෂණයේදී සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහිව නීතිවිරෝධී ප්‍රහාර එල්ල කිරීමට නායකත්වය දුන්නේ දේශපාලනඥයන්ය.

මෙය පසුබිම් කරගෙන ආරක්ෂක අමාත්‍යාංශය විසින් මන්ත්‍රීවරුන්ට ආයුධ ලබාදීම, අරගල යුගයට සම්බන්ධ කිරීම නිවැරදි නැත. අරගලය සමයේ මෙන්, ශ්‍රී ලංකාවේ සාමයට ලැදි ජනතාවට, ඡන්දය භාවිත කිරීමට හැකියාව ලැබුණු විට මන්ත්‍රීවරුන්ට විරුද්ධව ප්‍රචණ්ඩත්වය භාවිත කිරීමට අවශ්‍ය වන්නේ නැත. මැතිවරණ කාලසීමාව තුළ කුමන හෝ හේතුවක් මත මන්ත්‍රීවරුන්ට ප්‍රචණ්ඩත්වයේ තර්ජනයක් එල්ල විය හැකි බව රජයට හැඟේ නම්, ඔවුන්ගේ ආරක්‍ෂක නිලධාරීන් සංඛ්‍යාව වැඩිකිරීම වැනි ආරක්‍ෂක අංශවලින් ඔවුන්ට ලබාදෙන ආරක්‍ෂාව වැඩිකිරීමක් සිදුකළ හැකිය. එහෙත් මන්ත්‍රීවරුන්ට රිපීටර් අවි ලබාදීම පිළිගත නොහැක්කේ, එවැනි ආයුධ භාවිතය පිළිබඳ පුහුණුවක් නැති මන්ත්‍රීවරුන් සාමාන්‍ය පුරවැසියන්ගේ ආරක්‍ෂාවට තර්ජනයක් වන බැවිනි.

නීත්‍යානුකූල අයිතිය

ආණ්ඩුවට ප්‍රචණ්ඩත්වය පිළිබඳව ඇත්තේ අස්ථාන බියක් බව පෙනේ. වර්තමාන කාලය සීමාව සැබවින්ම විය යුතු පරිදි, ප්‍රජාතන්ත්‍රවාදයේ උත්සව සමයකට සමානය. මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදයේ සැමරුමකි. පොහොසත් හෝ දුප්පත්, ග්‍රාමීය හෝ නාගරික, වාර්ගික බහුතර හෝ සුළුතරයක් වේවා, සෑම පුරවැසියෙක්ම එහිදී සමාන වේ. ඔවුන් සෑම කෙනකුටම සමාන එක් ඡන්දයක් ඇත. ඔවුන්ගේ යහපැවැත්ම සහ අනාගතය සඳහා, ඔවුන්ගේ පොරොන්දුව මත පදනම්ව, ඔවුන්ගේ නායකයන් තෝරාගැනීමට, ඔවුන්ට වගවීමට සහ බලයෙන් ඉවත් කිරීමට ජනතාවට බලය ලැබේ. මෙම සන්දර්භය තුළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රිපීටර් ආයුධවලින් සන්නද්ධ කිරීමට තීරණය කිරීම කණගාටුදායක ය.

අරගලය සමය වන විට, ආණ්ඩුවට බලයේ රැඳී සිටීමට ප්‍රජාතන්ත්‍රවාදී ජනවරමක් ලැබී තිබුණේ යන්තම් දෙවසරකට පෙරය. ආණ්ඩුවේ ආර්ථික අසාර්ථකත්වය තිබියදීත්, එහි නිල කාලය අවසන් වීමට තවත් වසර තුනක් ඉතිරිව තිබිණි. එබැවින්, වෙනත් නීතිමය පිළිසරණක් නැති ජනතාවට වෙනසක් ඉල්ලා පාරට බැසීමට සිදුවිය. කෙසේවෙතත් අද වන විට ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වෙමින් පවතින අතර, මාසයක් ඇතුළත මැතිවරණයකට ගොස් ජනතාවට සාමකාමීව ආණ්ඩුව වෙනස් කළ හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය වෙනස් කිරීමට පැහැදිලි සහ නීත්‍යානුකූල මාවතක් පවතින විට ප්‍රචණ්ඩත්වය හෝ වීදි විරෝධතා අවශ්‍ය නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ස්ථාවරත්වය පවත්වාගැනීම සඳහා ව්‍යවස්ථාපිත ආරක්‍ෂාවන්හි වැදගත්කම මෙයින් අවධාරණය කෙරේ.

සැප්තැම්බර් 21 වැනිදාට නියමිත ජනාධිපතිවරණය නිසා ආණ්ඩුවේ ඉරණම තීරණය කිරීමේ නීත්‍යානුකූල අයිතිය ජනතාවට අද වන විට ලැබී තිබේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණයට දින නියමකර ඇත්තේ ජනතා කැමැත්තට ගරුකරන බව සහතික කරමිනි. ප්‍රතිඵලය අනුව ආණ්ඩුව වෙනස්වීමට හෝ එලෙසම පැවැතීමට හැකියාව තිබේ. මේ දෙකින් කුමක් සිදුවුවද, අරගලය පන්නයේ විරෝධතා අවශ්‍ය නොවන ආකාරයට, නීතියේ රාමුව තුළ ක්‍රියාවලිය සිදුකෙරෙනු ඇත. අද පවතින තත්ත්වය, අරගලයේ උද්ඝෝෂණවලට හේතු වූ තත්ත්වයට සමානකමක් නැත. එබැවින්, ප්‍රචණ්ඩත්වයට සූදානම් වීම සහ මන්ත්‍රීවරුන් නැවත ආයුධවලින් සන්නද්ධ කිරීම වෙනුවට, ඉදිරි ජනාධිපතිවරණය නිදහස්, සාධාරණ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම ආරක්ෂා වන අයුරින් පැවැත්වීමට රජය සහතික විය යුතුය.

Latest comment

  • 0
    0

    සාමාන්‍ය මනසින් ඈත් වූ එම භූමි යථාර්ථයන් මොනවාද?
    .
    1) මිනිසුන්ගේ චින්තන රටා ශ්‍රී ලංකාව වන ඔවුන්ගේ කුඩා ලෝකයට සීමා කිරීම. ඔවුන්ට කරුණු තේරුම් ගැනීමට කමක් නැත. චිම්පන්සියෙක් උනත් මේ රටේ නායකයෙක් වෙන්න පුලුවන් මිනිස්සුන්ගේ මෝඩකම නිසා.
    *
    2) තමන් සුළු ජාතීන්ට ගරු කළ යුතු අතර ඔවුන්ට වඩා වෙනස් නොවන ලෙස සැලකිය යුතු බව සිංහල බෞද්ධයන් අවසානයේ තේරුම් ගත යුතුය. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස සමාන හැඟීමක් තිබිය යුතුය.
    *
    3) බෞද්ධ ආධිපත්‍ය සහිත ජාතියක් ලෙස, ඔවුන් මුලින්ම ඉගෙන ගත යුත්තේ “අහිංසාව” මත පදනම් වූ බුදුදහමේ “සැබෑ ඉගැන්වීම්” ය: බෞද්ධ ආධිපත්‍යය ඇති රටක ජාතිවාදය, ෆැසිස්ට්වාදය, සාපරාධීත්වය සහ අනෙකුත් සියලුම දුෂ්ටකම් ගැන කතා කිරීම ලැජ්ජා සහගත ය.
    *
    4) අපේ මිනිස්සු ඉවසන්නේ නැහැ, විනයක් නැහැ. කොරියානුවන් සහ ජර්මානුවන් තම ආර්ථික දියුණුව ළඟා කර ගැනීම සඳහා සෑම ජාතියකටම කැඳ කෝප්පයකට වැඩ කළහ. නමුත් අපේ අය බත් ව්‍යංජන හැර අනෙක් සෑම අවස්ථාවකටම අවධානය යොමු කිරීමට උත්සාහ කරති. ඇතැමුන් අඬන්නේ තමන්ට කන්න ඇත්තේ “මඤ්ඤොක්කා” සහ “ඩෙල්” පමණක් කියාය. ඒ සියල්ල මිනිසුන්ගේ මනෝභාවය මත ය.
    *
    5) සාමූහිකත්වය සෑම දෙයක්ම ක්‍රියාත්මක කරන බැවින් පුරවැසියන් ලෙස ඔවුන්ගේ දායකත්වය බෙදා ගැනීමට මිනිසුන්ට හැකි විය යුතුය

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.