ජනමත විචාරණයක අවශ්‍යතාවය සහ ජනාධිපතිවරයාගේ ධූර කාලය පිළිබඳ අවධානය යොමුකරමින් ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සැක මතුකරන යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැටළුව සම්බන්ධයෙන් පවතින්නේ අවිනිශ්චිතතාවකි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගාල්ලේ අධිකරණ සංකීර්ණය විවෘත කරමින් පසුගියදා කළ කතාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් ඇතුළු සම්භාවනීය පිරිසට ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් වෙනුවෙන් කැපවී සිටින බවට සහතික විය. ඔහුගේම අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මතු වූ කනස්සල්ල හේතුවෙන් එය ජනාධිපතිවරණය අවසන් වනතුරු ප්‍රමාද වන බවට කරන ලද ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා එහිදී ප්‍රතිචාර දැක්වීය.
“ඉදිරි මැතිවරණය නියමිත කාලසීමාව තුළ පැවැත්විය යුතු බව අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර ඇති අතර, අපි මෙම නියෝගයට සහාය දක්වනවා” යැයි ජනාධිපතිවරයා පැවැසීය. තමන් යෝජනා කර ඇති ආන්දෝලනාත්මක 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හිතකර සහ යහපත් තත්වයක් නිර්මාණය කිරීම බව ඔහු එමගින් අවධාරණය කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂයක්, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පත් කිරීමේදී පැවැති දුර්වලතාවක් නිසා උද්ගතවූ බවට ජනාධිපතිවරයා ඔහුගේම අර්ථකථනයක් ඉදිරිපත් කළේය. මෙම අර්ථ නිරූපණය කෙටුම්පත්කරුවන් විසින්ම පැහැදිලි කර ඇත. මීට අමතරව, ජනාධිපතිවරයාගේ ධූර කාලය හය වසරක් නොව වසර පහක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළ අවස්ථා කිහිපයකදීම මෙම දෝෂය නිවැරදි කර ඇත.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජනමතවිචාරණය භාවිත කිරීම ප්‍රධාන වශයෙන්ම මානව හිමිකම් කඩකිරීම්වලින්, විශේෂයෙන් වධහිංසා පැමිණවීම් තහනම් කිරීම සහ සිතීමේ නිදහස, හෘදය සාක්ෂිය සහ ආගමික නිදහස සහ ජනතා පරමාධිපත්‍යය උදුරා ගැනීම්වලින් ආරක්ෂා කිරීමට ප්‍රතිපාදන සලසා ඇත. 22 වැනි සංශෝධනයෙන් අදහස් වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවල (19 වැනි සංශෝධනය මගින් සංශෝධනය කරන ලද) ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර පහක් ලෙස සහ තවත් තැනෙක මුලින් අදහස් කළ පරිදි වසර හයක් ලෙස පවතින දෝෂය නිවැරදි කිරීමය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය සිය අර්ථකථන තුළින් එම දෝෂය නිවැරදි කර ඇති බැවින් එම සංශෝධනය පැහැදිලිවම අනවශ්‍ය එකකි. 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3ක බහුතරයකින් සම්මත වුවහොත් ජනමතවිචාරණයක් පැවැත්වීමේ අවශ්‍යතාව මතුවන අතර, එහි පිරිවැය සාධකය හේතුවෙන් රටේ ආර්ථික ප්‍රගතියට අහිතකර බලපෑම් ඇති කිරීමට හේතුවනු ඇත.
ශිෂ්‍ය විරෝධතා
ජනාධිපතිවරණය නියමිත වේලාවට පවත්වන බවට ජනාධිපති වික්‍රමසිංහගේ ප්‍රකාශය ද වැදගත් වන්නේ එය රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආචාර ධර්මවලට අනුරූප වන බැවිනි. ජනාධිපතිවරයා ගාල්ලේ දී සිය කතාවේදී ද කියාසිටියේ, “මැතිවරණවලින් පසු ගැටුමකින් තොරව ශ්‍රී ලංකාවේ බල සංක්‍රාන්ති සුමටව සිදුවන අතර එය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියේ ශක්තියට සාක්ෂියකි. විවිධ වාද විවාද සහ ප්‍රශ්න තිබුණත් ප්‍රජාතන්ත්‍රවාදය කිසිවිටෙකත් පළුදු වී නැහැ” යනුවෙනි. 2022 ආර්ථික කඩාවැටීමෙන් සහ අරගලය විරෝධතා ව්‍යාපාරයේ නැගීමේ සිට ජනතාව මැතිවරණ බලාපොරොත්තුවෙන් සිටිති. වීදි බලයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව පළවාහැරීමට අරගලය උද්ඝෝෂණ සමත් විය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සාමකාමීව සහ ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණ හරහා ආණ්ඩු වෙනසක් අපේක්ෂා කළ යුතුය.
රජය විසින් සිදුකරනු ලබන අසාධාරණයට මුහුණදෙන විට මිනිසුන් පාරට බැසීමේ අනතුර බංග්ලාදේශයේ පවතින අර්බුදකාරී තත්වයෙන් පෙන්නුම් කරයි. එහිදී තරුණ තරුණියන් සියයකට අධික සංඛ්‍යාවකගේ, වැඩි වශයෙන් විශ්වවිද්‍යාල සිසුන්ගේ ජීවිත අහිමි විය. ෂීක් හසීනාගේ පාලනය යටතේ, ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී විදේශ විනිමය සඳහා ඇති උග්‍ර හිඟය වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200 ක මුදලක් ණයට දීමට හැකි වන තරමට බංග්ලාදේශ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. එහෙත් මිනිසුන්ට අවශ්‍ය හෝ සෑහීමකට පත්වන එකම දෙය ආර්ථික වර්ධනය පමණක් නොවේ. ඔවුන්ට අවශ්‍ය වන්නේ ආර්ථික වර්ධනය ජන කොටස් කීපයකට පමණක් සීමානොවී සමාජය පුරා සාධාරණ ලෙස බෙදාහැරීමයි. ඔවුන්ටත් යුක්තියද අවශ්‍ය වේ.
1971 දී බංග්ලාදේශයේ නිදහස් සටනේ දී සටන් කළ පිරිස්වල ඥාතීන්ට රජයේ රැකියාවලින් සියයට 30 ක් වෙන්කළ කෝටාව නවත්වන ලෙස බංග්ලාදේශයේ සිසුන් ඉල්ලා තිබේ. 2018 දී සාමාන්‍ය ජනතාවගේ පීඩනය මත රජය මෙම කෝටාව ඉවත් කරගත් නමුත්, අධිකරණ තීන්දුවක් මගින් මේ වසරේ එය නැවත රැගෙන ආවේය. කෙසේවෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය දැන් එම කෝටාව අඩු කර ඇති අතර පෙර වෙන්කරන ලද කොටස සියයට 5 දක්වා කප්පාදු කිරීමට නියෝග කර, රැකියාවලින් සියයට 93 ක් කුසලතා මත වෙන්කළ යුතු බවට නියෝග කර තිබේ. ඉතිරි සියයට 2 ජනවාර්ගික සුළුතර සාමාජිකයන් සහ සංක්‍රාන්ති ලිංගිකයන් සහ ආබාධිත පුද්ගලයන් සඳහා වෙන්කෙරේ. ජනාධිපති වික්‍රමසිංහගේ පාලනය යටතේ, භාණ්ඩ හා සේවා හිඟයේ ස්වරූපයෙන් පැවැති දරුණුතම ආර්ථික අර්බුදයෙන් ජනතාව යම් පමණකට ඉවතට පැමිණ ඇතත්, ජනතාව මෙයින් පමණක් සෑහීමකට පත්වේවිද යන්න ප්‍රශ්නයකි. ඔවුන්ට යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් පිළිපැදීම ද අවශ්‍ය වේ.
අවිශ්වාසය ඉහළය
සමාජය තුළ අවිශ්වාසයේ මට්ටම ඉහළ අගයක පවතී. ජනාධිපතිවරණය පවත්වන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබියදීත්, මැතිවරණ කොමිෂන් සභාව එය පවත්වන බව තහවුරු කර තිබියදීත්, ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ සැකසංකා පැවැතීම මෙයට හේතුවයි. මෙම පීඩනය මැතිවරණ කොමිසමට තදින් දැනෙමින් තිබෙන අතර, ඔවුන් දැනුම්දී ඇත්තේ ජනාධිපතිවරණය සහ පළාත් පාලන හෝ පළාත් සභා මැතිවරණ, නොඑසේ නම් ඉන් පසුව පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සංවිධානය කිරීමට රුපියල් බිලියන 20ක් අවශ්‍ය බවයි. එහෙත් ඔවුන්ට ලැබී ඇත්තේ ජනාධිපතිවරණයේ ඇස්තමේන්තුගත වියදම වන රුපියල් බිලියන 10ක් පමණක් වන අතර ජනාධිපතිවරණයට පෙර ජනමතවිචාරණයක් පැවැත්විය යුතු නම් ඊට සමාන මුදලක් අවශ්‍ය වනු ඇත. ආර්ථික ප්‍රකෘතිය සඳහා ප්‍රමුඛත්වය ලබාදෙන වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම කරුණු සහ ඒවා ජාතික අවශ්‍යතාවට බලපාන ආකාරය පිළිබඳව අවධානයෙන් කටයුතු කරනු ඇත.
දෙමළ ජනයා බහුතරයක් වාසය කරන උතුර සහ නැගෙනහිර පළාත්වල දැනට පවතින සාකච්ඡාව ජාතික අපේක්ෂකයකුට වඩා පොදු දෙමළ අපේක්ෂකයෙකු පිළිබඳව වන අතර, එය මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි ඔවුන්ගේ විශ්වාසය නැතිවීම පිළිබිඹු කරයි. ප්‍රධාන වශයෙන් බහුතර ජනවාර්ගික ප්‍රජාව වෙතින් පැමිණෙන, තමන්ට ඡන්දය ලබාදෙන අයට ප්‍රථමයෙන් සංග්‍රහ කරන ආණ්ඩුවල නායකයන් විසින් ඔවුන්ගේ අවශ්‍යතා සැළකිල්ලට නොගන්නා බව ඔවුන්ට හැඟේ. යුද්ධය අවසන් වී වසර 15කට පසුවත් සංවර්ධනය අනෙක් ප්‍රදේශවලට වඩා පිටුපසින් පවතින බව ප්‍රධාන මාර්ගවලින් සහ උතුර සහ නැගෙනහිර ග්‍රාමීය ප්‍රදේශවලින් පැහැදිලිව දැකගත හැකිය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් හෝ කොටසක් ක්‍රියාත්මක කිරීම ඇතුළු පොරොන්දු වදන් ඇතත්, මේ පොරොන්දු සියල්ල වසර 37කට ආසන්න කාලයකට පසුවත් ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ජනතාව තවමත් බලාපොරොත්තුවෙන් සිටිති. උතුරේ සහ නැගෙනහිර ජනතාවට තමන් ප්‍රතිපත්ති සම්පාදනයේ සහ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඇතුළත් නොවන බව හැඟෙන අතර, ඒ නිසා ඔවුන් උතුරට සහ නැගෙනහිරට තමන්ගේම පාලනයක් ඉල්ලා සිටීමට සහ එම පාලනය බලය බෙදීමේ ෆෙඩරල් මූලධර්ම මත පවත්වාගෙන යෑමට කැමැත්තක් දක්වති.
උතුරේ, නැඟෙනහිර, බටහිර හෝ දකුණේ වේවා, රටේ ජනතාව නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම වැනි මූලික ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පවා තම දේශපාලන නායකයන් කෙරෙහි එතරම් විශ්වාසයක් නොතබන මේ තත්ත්වයන් තුළ, විදේශීය ආයෝජකයන් මෙම නායකයන් කෙරෙහි විශ්වාසය තබනු ඇතැයි අපේක්ෂා කිරීම යථාර්ථවාදී නොවේ. ආණ්ඩුවේ නායකයන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උදුරාගන්නා ආකාරයටම ඔවුන්ගේ ආයෝජනද ඔවුන්ගෙන් පැහැරගනු ඇතැයි ඔවුන් කල්පනා නොකරනු ඇතැයි සිතිය නොහැකිය. ශීඝ්‍රයෙන් දියුණු වූ වෙනත් රටවල ඉතිහාසය පිළිබඳ කෙටි විමසා බැලීමක් සිදුකළහොත්, ඔවුන්ගේ රජයන් අනුගමනය කළ සැලසුම් සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූ බවත්, දේශපාලනික වශයෙන් හෝ තමන්ට වාසි සැලසීමට බොහෝ විට දේශපාලන නායකයන්ගේ වෙනස්වන අවශ්‍යතාවලට සරිලන පරිදි කලින් කලට ඒවා වෙනස් නොවූ බවත් පැහැදිලිව දැකගත හැකිය.