23 July, 2024

Blog

ප්‍රකාශයන් ක්‍රියාවට නැංවීමේදී ඒවායේ පැවැති යහපත් චේතනා අතුරුදන්ව ඇත

ජෙහාන් පෙරේරා –

ජෙහාන් පෙරේරා

රජය බොහෝ නව නීති ගෙන එමින් තිබෙන අතර, ඒවායින් සමහරක් ධනාත්මක ලෙසින්ද, තවත් සමහරක් අයහපත් ලෙසද හඳුනාගත හැකිය. ධනාත්මක කරුණු අතර නව දූෂණ විරෝධී නීතිය සහ සත්‍ය කොමිෂන් සභා පනත් කෙටුම්පත වන අතර නවතම හඳුනාගැනීම වන්නේ, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය පිළිබඳ (ONUR) පනත් කෙටුම්පතයි. සෘණාත්මක කරුණු අතර, මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත සහ ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත ලැයිස්තුවේ ප්‍රමුඛත්වය ගෙන ඇති අතර, ඒවා ධනාත්මක කරුණු ඉක්මවා යයි. එම නීති දෙකම වාචික සහ භූමියේ විරෝධතා මර්දනය කිරීම අරමුණු කර ඇත. තවමත් පොදු මහජනතාවට හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති රාජ්‍ය නොවන සංවිධාන පාලන පනත් කෙටුම්පත සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත ඇතුළු තවත් මතභේදාත්මක නීති පසුබිමේ පවතී. මෙම නීතිවල පවතින පොදු තත්වය නම්, ඒවා නාඳුනන පුද්ගලයන් පිරිසක් විසින් විනිවිදභාවයකින් තොරව සකස්කර තිබීමයි.

මාසයකට පමණ පෙර කරළියට පැමිණි ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාල කෙටුම්පත (ONUR Bill) ගෙනඑන ලද්දේ නිහඬවම ය. වසරක පමණ කාලයක සිට රජය පිහිටුවීමට පොරොන්දු වෙමින් සිටි යෝජිත සත්‍ය කොමිසම සමඟ මෙම නීතිය පටළවා නොගත යුතුය. ONUR පනත ජනවාර්ගික, ආගමික සහ සමාජීය සහජීවන ගැටළු වෙනුවෙන් පිළියම් ඇතුළත් ඉතා පුළුල් එකකි. රට තුළ ජාතික සමගිය, සංහිඳියාව සහ කල් පවත්නා සාමය ඇති කිරීම සඳහා රජයට හා අදාළ බලධාරීන්ට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමටත්, සංහිඳියාව සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති හා ජාතික ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීමටත් මෙමගින් පිහිටුවනු ලබන කාර්යාලයට බලකෙරෙනු ඇත. ඊට හාත්පසින්ම වෙනස්ව, දැන් යෝජනා කර ඇති සත්‍ය කොමිසම අවධානය යොමුකර ඇත්තේ, රටේ උතුර හා නැ‍ඟෙනහිර ප්‍රදේශවල සටන් පැවැති දශක තුනක අභ්‍යන්තර යුද්ධයේ කාල පරිච්ඡේදය කෙරෙහි ය.

ONUR පනත් කෙටුම්පත ඔස්සේ සාමාජිකයන් එකොළොස්දෙනකුගෙන් යුත් කාර්යාලයක් පිහිටුවීමට යෝජනා කරයි. මෙම කාර්යාලය අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරයකුගේ නිලයට නොඅඩු නිලතල දරන එක් සාමාජිකයකුගෙන් සහ ඇමැතිවරුන්ගේ නිර්දේශ මත පදනම්ව පත්කෙරෙන තවත් දස දෙනකුගෙන් සමන්විත වේ. එම සියලුම සාමාජිකයන් පත්කළ යුත්තේ ජනාධිපතිවරයා විසිනි. කාර්යාලයට අනුයුක්තව සිටින ඕනෑම පුද්ගලයකුට වැරදි ලෙස විරුද්ධවීම හෝ රාජකාරිය කිරීමට බාධා කිරීම හෝ කාර්යාලයට හිතාමතාම අසත්‍ය තොරතුරු ලබාදීම, පනත් කෙටුම්පතට අනුව කාර්යාලයේ අධිකාරියට අපහාස කිරීමේ වරදක් ලෙස සළකනු ලැබේ. යම් පුද්ගලයකු ප්‍රතිසන්ධාන කාර්යාලයේ අධිකාරියට එරෙහිව අපහාස කිරීමේ වරදක් සිදුකර ඇති බවට විශ්වාස කිරීමට ප්‍රතිසන්ධාන කාර්යාලයට සාධාරණ හේතු තිබේ නම්, කාර්යාලය එවැනි කරුණක් අභියාචනාධිකරණයට වාර්තා කළ යුතුය. ප්‍රශ්නය වන්නේ, එම කාර්යාලයට පත්වන සාමාජිකයන් ආණ්ඩුවේ ඇමැතිවරුන් විසින් තෝරාගෙන ජනාධිපතිවරයා විසින් පත්කිරීම ස්වාධීන ක්‍රියාවලියක් නොවීමයි.

පාර්ශ්වීය පත්වීම්

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ONUR සාමාජිකයන් ලෙස තෝරාගනු ලබන අය දේශපාලනික වශයෙන් පක්ෂග්‍රාහී පුද්ගලයන් විය හැකි අතර, ඔවුන් තමන්ට පැවරී ඇති බලතල විශාල ප්‍රමාණයක් අතිශයින් පක්ෂග්‍රාහී අරමුණු සඳහා භාවිත කිරීමේ ඉඩ පවතී. යෝජිත ONUR කාර්යාලයද, වෙනත් ආයතනවල ප්‍රධානීන් ජනාධිපතිවරයා විසින් ඔහුගේ අභිමතය පරිදි පත්කෙරෙන බව දැකගත හැකි මෑත කාලීන රටාව අනුගමනය කරයි. මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පතට අනුව යෝජිත අධිකාරියේ කොමසාරිස්වරුන් පස්දෙනා ජනාධිපතිවරයා විසින් ඔහුගේ අභිමතය පරිදි තෝරාගැනීමට විධිවිධාන සලසා ඇත. වෛරී ප්‍රකාශය සහ එවැනි මිනිසුන්ට හානි වන දේ මෙන්ම, ඔවුන් දණ්ඩනීය ක්‍රියාමාර්ගවලට යටත් කළ යුතුද යන්න තීරණය කිරීමට එම කොමසාරිස්වරුන්ට බලය පැවරිය පැවරීමට යෝජනාවී තිබේ. මෙම පත්කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ඇති අතර, එහිදී පෙත්සම්කරුවන් ඉල්ලා ඇත්තේ අදාළ පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට ලබානොදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබාදෙන ලෙසයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටුවූයේ රාජ්‍ය අධිකාරී තනතුරුවලට තෝරාගන්නා පුද්ගලයන් දේශපාලනික වශයෙන් හැකිතාක් ස්වාධීන වියයුතු බව සහතික කිරීම සඳහා ය. 17 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ප්‍රථම වරට එය පිහිටුවන විට, ව්‍යවස්ථා සභාව පිළිබඳ සංකල්පය පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව පිළිගනු ලැබීය. කෙසේවෙතත්, රජයේ ඉහළ තනතුරු සඳහා පත්කිරීම් සම්බන්ධයෙන් වරක් තමන් දරන තනතුර සතුව තිබූ අත්තනෝමතික බලතල ව්‍යවස්ථා සභාව විසින් උදුරාගෙන ඇති බව ඉන් අනතුරව පත්වූ ආණ්ඩුවේ නායකයන් අවබෝධ කරගත් විට, ඔවුහු ව්‍යවස්ථා සභාව හෑල්ලු කිරීමට උපරිම උත්සාහයක් ගත්හ. එහි ප්‍රතිඵලයක් ලෙස 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවස්ථා දෙකකදී අවලංගු කරන ලද නමුත්, 21 වැනි සංශෝධනය ඔස්සේ එය නැවත ගෙනවිත් ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටවූ නීති අහෝසි කළ පසුගිය ආණ්ඩු මෙන් නොව, එය නොසළකා හරිමින් තම පැවැත්ම තහවුරු කර ගැනීමට වත්මන් ආණ්ඩුව වඩාත් සූක්ෂ්ම ලෙස කටයුතු කරයි.

ONUR පනත වැනි යහපත් දේ කිරීමට යොදාගත හැකි නීති පවා පක්ෂග්‍රාහී අරමුණු සඳහා යොදාගැනීම අවාසනාවන්ත තත්වයකි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත (ICCPR) සම්බන්ධයෙන් සිදුවී ඇත්තේද මෙයයි. මෙය සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ලෝක ප්‍රකට අන්තර්ජාතික සම්මුතියට අදාළව ක්‍රියාත්මක කිරීමට අදහස් කරන ලද නීතියකි. කෙසේවෙතත්, මෙම නීතිය ශ්‍රී ලංකාවේ භාවිත කර ඇති ආකාරය, අන්තර්ජාතික ICCPR නීතිය විසින් ආරක්ෂා කිරීමට අදහස් කළ මානව හිමිකම්වලට සරදම් කිරීමකි. බහුතර ප්‍රජාවට ප්‍රමුඛත්වය දෙන වාර්ගික ශ්‍රී ලංකා රාජ්‍යය, ප්‍රශ්න කිරීමට එඩිතර වූ ලේඛකයන්ට, මාධ්‍යවේදීන්ට සහ නළු නිළියන්ට හිංසා පීඩා කිරීමට එය භාවිත කර ඇත. ICCPR පනතින් පීඩාවට පත්වූවන්, ICCPR පනත මගින් තහනම් කර ඇති වෛරී ප්‍රකාශයේ සීමාව ඉක්මවා ගිය බව පවසමින්, ඇප නොමැතිව මාස ගණන්, වසර ගණන් සිරගත කර ඇත.

නිර්පාක්ෂිකත්වය

ONUR පනත යටතේ තෝරාගත් සාමාජිකයන් 21 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කරන පරිදි පක්ෂග්‍රාහී නොවිය යුතුය. ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාලයට පුළුල් බලතල ලබාදෙන ONUR පනත, ICCPR පනත අවභාවිත කර ඇති ආකාරයට දේශපාලන හා මතවාදී විරුද්ධවාදීන්ට හිරිහැර කිරීම සඳහා අපයෝජනය කිරීමේ හැකියාවක් පවතී. විචක්ෂණශීලීව කටයුතු නොකළහොත් වාර්ගික හා ආගමික ආතතීන්ට තුඩුදිය හැකි බොහෝ විභව අවස්ථාවන් අවට පරිසරයේ පවතී. රටේ උතුරින් සහ නැගෙනහිරින් සොයාගන්නා පුරාවිද්‍යාත්මක ස්ථාන, එම ආගම් අදහන්නා වූ කිසිවකු එම ප්‍රදේශවල ජීවත් නොවන තරම් වුවද, ඒවා ජීවමාන ආගමික ස්ථාන බවට පත්කිරීමට බලපෑම් එල්ල කරන මෙහෙයවීම් දැකගත හැකිය.

පුරාවිද්‍යා භූමියක් මත ඉදිකරන බෞද්ධ විහාරස්ථානයක් සම්බන්ධයෙන් උතුරේ කුරුන්දි ප්‍රදේශයේ ඇති වූ ගැටුම, එම බලහත්කාරය නැවැත්වීමට උත්සාහ කිරීම නිසා විනිසුරුවරයකුට රටින් පිටව යෑමට සිදුවූ ආතතියක් නිර්මාණය කර තිබේ. පිට පළාත්වලින් පැමිණෙන පුද්ගලයන් දැන් හිමිකම් කියන, රටේ නැඟෙනහිර තණබිම් පිළිබඳ ප්‍රශ්නය වටා ද නොසන්සුන්තාවක් ක්‍රියාත්මක වෙමින් පවතී. අයිතිකරුවන් තම ආර්ථික වත්කම් අහිමි වීම ගැන වැලපෙන අතරේ, කෙත්වල මරා දමා ඇති ගවයන්ගේ පින්තූර දැකගත හැකිය. අයිතිකරුවන් සිය ආර්ථික වත්කම් අහිමිවීම ගැන වැළපෙද්දී, කුඹුරුවල ගවයන් මරා දමා ඇති ඡායාරුප දැකගැනීමට ලැබේ. දශක තුනක යුද්ධය තුළ එම ප්‍රදේශයන්වල පැවැති මිනිස් ඝාතන බිම් නිර්මාණය වූ අතීතය යළි ඇති නොවීමට රජය පියවර ගැනීම වැදගත් වේ.

රටම පීඩාවට පත්කරන මේ ප්‍රශ්න සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කළද, ඒ සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකෙරෙන්නේ නැත. තමන්ට අයත් නොවන ඉඩම් ආක්‍රමණය කිරීමට තනි පුද්ගලයන්ට සහ සංවිධානවලට අයිතියක් නොමැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. එහෙත් ප්‍රශ්නය වන්නේ එම නියෝගයන් ක්‍රියාත්මක නොවීමයි. අවාසනාවකට, ඉහළ රාජ්‍ය තනතුරුවලට පත්වීම් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඇති අයිතියට ගරු කිරීම වැනි ව්‍යවස්ථාපිත සම්මතයන් නොපිළිපැදීමෙන් ජනාධිපතිවරයා විසින්ම තමාගේ යහපත් චේතනාවන් පළුදුකර ගැනීමයි. මෙය රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ සැමට ලබාදිය හැකි යුක්තිය පළුදු කිරීමකි. ජනාධිපතිවරයා සිදුකළ යුතු වන්නේ තමන් විසින්ම බලය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරනවා වෙනුවට, රටේ යහපාලනය තහවුරු කිරීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජය සමඟ බහු-පාක්ෂික එකඟතාවක් ඇතිකර ගැනීමයි. ඒ වෙනුවෙන් ඉතිරිව ඇති කාලය ප්‍රමාණවත් නැත. එහෙත් තවමත් ප්‍රමාද නැත.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    අද ජාතියේ පරිහානිය එක් ප්‍රදේශයකට පමණක් සීමා වූවක් නොවන බව පෙනේ. කෙසේ වෙතත්, ශ්‍රී ලාංකිකයන් වන අපට සෑම වසරකම මව්බිමට පැමිණි අතර අපගේ හදවත් ප්‍රකාශ කිරීමට නිදහසක් නොමැතිව පවා ඒවා හොඳින් නිරීක්ෂණය කිරීමට බල කෙරුනි.
    /
    සීඝ්‍රයෙන් ඉහළ යන අපරාධ අනුපාතය සහ එහි පුරවැසියන්ට එල්ල වන තර්ජන අද සියලු වාර්තා බිඳ දමමින් තිබේ. අද දින පොලිස් නිලධාරීන්ට කුඩු මුදලාලිලාගෙන් වැඩිවන තර්ජන ගැන සමාජ මාධ්‍යවල වීඩියෝ කිහිපයක් උනන්දුවෙන් නරඹමින් සිටි මම, ඔවුන්ගේ අල්ලස් කෑදරකම තක්සේරු කළ නොහැකි නිසා ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට කොපමණ කලක් නොදැනුවත්කමින් සැලකුවාදැයි මට සිතුණි. ආත්මාර්ථකාමී දේශපාලනඥයන් මහජනතාව විසින් තෝරා පත් කර ගන්නා ලද අතර ඔවුන්ගේ වංචාවෙන් මාධ්‍ය පක්ෂග්‍රාහීව තෝරා ගන්නා ලදී.
    ./
    එය නොමඟ යවා ඇතත්, අද පවා ක්‍රිකට් පාලක මණ්ඩල වේවා, දේශපාලන ආයතන වේවා, ජනතාවද එම බොරුවලටම වැටෙන බවක් පෙනෙන්නට තිබේ. ක්‍රිකට් ලෝලීන්ගේ කෝපය කාලයාගේ ඇවෑමෙන් නරක අතට හැරේ. රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සඳහා බදු වැඩි කිරීම ද ජනතාව කෝපයට පත් කරයි. සමස්තයක් ලෙස ගත් කල, වත්මන් කඩාවැටීම බොහෝ ආකාරවලින් රටට සහ ඔවුන්ගේ සහායක ඡන්දදායකයින් සමඟ පාලකයන් ලෙස තම කාර්යය ඉටු කළ අයට දොස් පැවරිය යුතුය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.