23 July, 2024

Blog

ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ බිඳ වැටෙන බටහිර ශිෂ්ටාචාරය

සුමිත් චාමින්ද –

සුමිත් චාමින්ද

“අරාබි ලෝකයට ඇසෙන පණිවිඩය වන්නේ මෙයයි; පලස්තීන ජීවිතවලට ඇත්තේ ඊශ්‍රායල ජීවිතවලට වඩා අඩු වටිනාකමකි. පසුගිය ඔක්තෝබර් 21 වනදා හදිසියේ කැඳවන ලද කයිරෝ සාම සමුළුවේදී මෙසේ පවසන ලද්දේ ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු විසිනි. ඔහු තවදුරටත් පැවසුවේ දැන් ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් සිදුකෙරෙන පරිදි සිවිල් ජනයාගේ පහසුකම් විනාශ කිරීම සහ ඔවුනට ආහාර, ජලය, විදුලිය ඇතුළු මූලික අවශ්‍යතා අහිමි කිරීම යනාදිය ලොව වෙනත් කොතැනක හෝ සිදුකරනු ලැබුවේ නම් එයට වගකිව යුත්තන් ඉතාම ඉක්මණින් නීතිය ඉදිරියට ගෙන එනු ඇති බවයි. “නමුත්, ගාසා තීරයේ එය එසේ නොවේ”.

අබ්දුල්ලා රජුගේ ප්‍රකාශයේ වැදගත්ම හැඟවුමක් වන්නේ යුරෝපීය ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියේ ඓතිහාසික ජහග්‍රහණයක් වන විශ්වීය මානව අයිතීන් පිළිබඳ අදහස වත්මන් ලෝක පර්යාය තුළ සැබවින්ම ක්‍රියාත්මක වන ආකාරය ලෝකය ඉදිරියේ විචාරයට ලක් වීමයි. මානව අයිතීන් පිළිබඳ පිළිගැනීම් ඇතැම් රටවල්, ඇතැම් ආගම් සහ ඇතැම් ජනවර්ග ඉදිරියේ නතර වන්නේ යැයි ඔහු පැවසීමෙන් ගම්‍ය වන්නේ එයයි. එක්සත් ජනපද ජනපතිවරයා ඊශ්‍රායලයට සෘජු සහයෝගය දැක්වීමෙන් නොනැවතී ගාසා තීරයේ ජනයාට මානුෂීය ආධාර ලබා දීම සඳහා යුද විරාමයක් ඉල්ලා සිටීමේ යෝජනාව පවා තම නිශේධ බලය යොදා පරාජය කිරීමෙන් කියැවෙන්නේ අබ්දුල්ලාගේ විවේචනය නිවැරදි බව නොවේද? එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට බ්‍රසීලය විසින් ඉදිරිපත් කරන ලද පළමු යෝජනාවේ ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරය හෙළා දැකීමක්ද අන්තර්ගත වූ අතර එය ඒ අරුතින් මධ්‍යස්ථ වූවක් ලෙස සැලකිය හැකිය. එක්සත් ජාතීන්ගේ මහා ලේකම් අන්තෝනියෝ ගුටරෙස්ද දෙපාර්ශවයේම ප්‍රචණ්ඩත්වයන් එකසේ බැහැර කළේය. නමුත්, නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික පාලනාධිකාරය මෙතෙක් කිසිවෙකුත් නොගිය තරම් දුරක් යමින් ගුටරෙස් ඉල්ලා අස්විය යුතු යැයි පැවසීය. එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර කඳවුරේ සෘජු සහයෝගය නොවී නම් ඊශ්‍රායල් පාලනයට එවන් ප්‍රතිචාරයක් දැක්විය නොහැකි බැව් පැහැදිලිය.

ආරක්ෂක කවුන්සිලයට එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව තුළ සඳහන් වූයේ ගැටුම රාජ්‍ය තාන්ත්‍රිකව විසඳීම අරමුණු කොටගත් සටන් විරාමයක් නොව මානුෂීය ආධාර සඳහා ගැටුම් තාවකාලිකව නැවැත්වීමක් පමණි. හමාස් සංවිධානයට ආධාර කිරීම නැවැත්විය යුතු බවටත් ඊශ්‍රායලයට ස්වයං-ආරක්ෂාව සඳහා ඇති අයිතිය පිළිගත යුතු බවටත් එය යෝජනා කළේය. ඊශ්‍රායලය ගාසා තීරයේ ජනතාවට එරෙහි තම මෙහෙයුම් යුක්තිසහගත කරන්නේ ‘ස්වයං-ආරක්ෂාව’ නමැති අලංකාරෝක්තිය භාවිත කරමිනි. කෙසේ වුවත්, බ්‍රසීල යෝජනාවට එරෙහිව එක්සත් ජනපදය නිශේධ බලය භාවිත කළ අතර, එක්සත් ජනපද යෝජනාවට එරෙහිව චීනය සහ රුසියාව නිශේධ බලය භාවිත කළේය. රුසියානු යෝජනාවට අවශ්‍ය බහුතර සහයෝගය ලබා ගත නොහැකි විය. මේ අනුව, මහා බලවතුන් අතර වඩ වඩාත් තියුණු වෙමින් පවතින බල ගැටුම හමුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිදු බලපෑම් සහගත මැදිහත්වීමක් කළ නොහැකිව එකතැන සිරව සිටින සෙයකි. එය පවතින ලෝක පර්යාය අර්බුදයට ලක් වීම පිළිබඳ කදිම සාක්‍ෂියකි.
යුදවාදයෙන් ඔබ්බට

ගාසා තීරයේ සිදුකෙරෙමින් පවතින ඊශ්‍රායල් ප්‍රහාරය හමාස් සංවිධානය වෙනුවෙන් සමස්ත පලස්තීන ජනයාගෙන් සාමූහිකව පළිගැනීමේ ස්වභාවයක් ගන්නා බව ඉතාම පැහැදිළිය. එය හෙළා දැකීමෙන් හමාස් සංවිධානය ඊශ්‍රායලයේ සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් සිදු කරන ලද අමානුෂික ප්‍රහාරය කිසිසේත්ම යුක්ති සහගත කෙරෙන්නේ නැත. මෙවන් කවර නිර්-මානුෂීය ක්‍රියාවක් දෙස වුවද බැලිය හැකි වඩාත්ම නිර්-මානුෂීය ආකාරය වන්නේ ඒවා සාපේක්ෂතාවාදී තර්කණයක් තුළින් කිරා මැන බැලීමයි. වැඩියෙන් ඝාතනය කළේ කව්රුන්ද, පළමුව පහර දුන්නේ කව්රුන්ද, වැඩි භීෂණයක් මුදා හරින ලද්දේ කව්රුන්ද යනාදී ප්‍රශ්න නගමින් එක් මානව අපරාධයක් තවත් මානව අපරාධයකට සාපේක්ෂව බලා යුක්ති සහගත කළ නොහැකිය. මන්ද යත් එවිට වඩා සාධාරණ වන්නේ තම ප්‍රහාරය බව පෙන්වීමට සියලුම පාර්ශව එකසේ ප්‍රයත්න දරනු ඇත. එවන් ප්‍රවේශයක තාර්කික ප්‍රතිපලය වනු ඇත්තේ ප්‍රචණ්ඩත්වයේ තර්කණයම යුක්ති සහගත කරනු ලැබීමයි. වත්මන් ගැටුම පිළිබඳව අදහස් දක්වමින් ස්ලේවෝයී ශිෂෙක් කළ ප්‍රධාන අවධාරණයක් නම්, හමාස් ප්‍රහාරය සේම ඊශ්‍රායල ප්‍රහාරද සාපේක්ෂතාවාදී ලෙස නොදැකිය යුතු බවයි. සාමාන්‍ය ජනයා ඉලක්ක කොටගෙන කරනු ලබන කවර ප්‍රහාරයක් වුවද නිරපේක්ෂවම අයුක්ති සහගතය. ඒ වනාහී අපගේ ශිෂ්ටාචාරය පදනම් වී ඇති මූලික පිළිගැනීම් අතුරින් එකකි. ශිෂෙක් වෙනත් සංධර්භයක පෙන්වා දී ඇති කාරණයක් වන්නේ ස්ත්‍රීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සැබවින්ම අයුක්ති සහගතදැයි සංවාදයට ලක් කරන සමාජයක ජීවත් වන්නට තමන්ට අවශ්‍ය නැති බවයි.

මෙරට තිස් වසරක යුද්ධය පැවති කාල පරිච්ජේදයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට එරෙහි වූවන්ගෙන් නිතරම අසනු ලැබූ ප්‍රශ්නයක් නම් “අපගේ ප්‍රචණ්ඩත්වය හෙළා දකින විට ඔබ අනෙක් පාර්ශවයේ ප්‍රචණ්ඩත්වයට අනුබල දෙනවා නොවේද” යන්නයි. මේ ප්‍රශ්නය තුළ සැඟවුණු පෙර සිතා ගැනීම වන්නේ “එක්කෝ අප නැතහොත් ඔවුන්” යන තෝරා ගැනීමෙන් තොරව ඔබට කිසිදු ස්ථාවරයක් ගත නොහැකිය යන්නයි. නමුත්, ඒ පසමිතුරුතා අක්ෂය අඳිනු ලැබ ඇත්තේ යුද්ධයේ පාර්ශව දෙක විසිනි. ඒ පසුපස සිටින දේශපාලන බලවතුන් විසිනි. දේශපාලනය වෙනස් ආකාරයකට සංවිධානය විය යුතු යැයි විශ්වාස කරන අයවලුන් තමන්ව නිර්වචනය කරගන්නේ එම පවත්නා අධිපති පසමිතුරුතා අක්ෂයට අනුව නොවේ. අධිපති කතිකාවට අනුව ලෝකය දෙස නොබලන අයවලුන් තමන් වෙත ඉහළින් පිළිගන්වා තිබෙන “එක්කෝ නැතහොත්” තර්කණය පිළිගන්නේ නැත. ඒ වෙනුවට වෙනත් වියහැකියාවන්ද පවතින බව පෙන්වන්නට ඔවුන් සමත්ය.

වත්මන් පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් ගත හොත්, මේ රටවල් දෙකින් එකක් ලෝක සිතියමෙන් මකා දැමීමේ පරිකල්පනයක් යනු නිමාවක් නැති යුදවාදයක් කරා දිවෙන මාවතකි. ඊශ්‍රායලය යුදෙව් ජනයාගේ ඉරණම් දේශයක්ය යන ඓතිහාසික මිත්‍යාව මත පදනම්ව දෙවන ලෝක යුද සමයේ යුදෙව්වන්ට එල්ල වූ තිරශ්චීන ප්‍රචණ්ඩත්වය පසුබිම් කොටගෙන එක්සත් ජාතීන්ගේද මැදිහත්වීම අනුව නිර්මාණය කළ රාජ්‍යයක් බව සැබෑය. එකල මහත්මා ගාන්ධි නිවැරදිව පෙර දුටු පරිදි ඒ ප්‍රයත්නය අතිශය විනාශකාරී ගැටුමකට මැද පෙරදිග ලෝකය ඇද දැමීමක් වූ බවද සැබෑය. නමුත්, අප දැන් සිටින ඓතිහාසිකත්වය තුළ එම රාජ්‍යය ලෝක සිතියමෙන් මකා දැමීමේ පරිකල්පනයක් යනු මිලියන ගණනක ජනතාවක් මත මුදා හැරෙන අති විශාල ප්‍රචණ්ඩත්වයක් කරා දිවෙන මාවතක් විවෘත කිරීමකි. පලස්තීනය සහමුළින්ම මකා දමා එහි වෙසෙන ජනයා සමූහ ඝාතනයට සහ අසල්වැසි රටවල සරණාගතයින් බවට පත් කිරීමේ පරිකල්පනයද එවැන්නකි. ඒ වෙනුවට එක්සත් ජනපද හිතවාදී සෞදි අරාබියේ සල්මන් කුමරුද ඇතුළුව අරාබි රටවල් සියල්ලමත් චීනය ඇතුළු සෙසු ලෝකයේ බහුතරයක් රාජ්‍යයනුත් යෝජනා කරමින් සිටින්නේ රාජ්‍යයන් දෙකක් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය හරියාකාරව ක්‍රියාවට නගන ලෙසය. ඒ සඳහා බාධාව ඇත්තේ කොතැනකද? පැරණි සහ නව ගෝලීය බලවතුන් අනාගත ලෝක පර්යාය කෙසේ විය යුතුද කාරණය අරභයා පවත්වාගෙන යන අරගලය තුළය. ගාසා තීරයේ ජනයා සේම ඊශ්‍රායලයේ ජන පදිකයින්ද එම අරගලයේ ගොදුරු බවට පත්කොට ඇත්තේ නිරනුකම්පිත ලෙසය.

වෙනස් වන ලෝක පර්යාය

දැන් අපට නව-ලෝක රටාවක් අවශ්‍ය බව පසුගියදා ජනාධිපති බයිඩන් ප්‍රකාශ කළේය. නමුත්, ඔහුට එසේ පවසන්නට සිදුව තිබෙන්නේ නවලිබරල් ගෝලීයකරණයේ ස්වර්ණමය දශකය ලෙස ගත හැකි 1990 දශකයේදී ජ්‍යෙෂ්ට බුෂ් ජනපතිවරයා නව ලෝක රටාවක් ගැන පැවසූ ආකාරයේ ජයග්‍රාහී ස්වරයකින් නොවේ. නිසැකවම 1990 දශකයේ ලෝකය (එය ඉතිහාසයේ අවසානය, පශ්චාත්-දෘෂ්ටිවාදී යුගය, වම-දකුණ බේදය අවසන් වී යාම, පශ්චාත් නූතන යුගය යනාදී කවර නමකින් හැඳින්වුවද) දැන් අවසන්ය. රුසියානු ජනපති පුටින් සරදම්ජනක ස්වරයෙන් බයිඩන් නිවැරදි බවත් නමුත් ගොඩ නැගෙන්නට නියමිතව ඇත්තේ එක්සත් ජනපදය දකින්නට කැමති ලෝක රටාව නොවන බවත් පවසන විට ඔහු නිවැරදිය. මැද පෙරදිග අර්බුදයේ බරපතල පාර්ශ්වකරුවෙකු වන අතරම එහි මැදිහත්කාරක භූමිකාවක් රඟ දක්වන්නට එක්සත් ජනපදය දැරූ ප්‍රයත්නය නිසැකවම සාර්ථක වී නොමැත. ජෝර්දාන, පලස්තීන සහ සෞදි නායකයින් එකවර මුණගැසී සාකච්ජා කිරීමට එක්සත් ජනපද ජනපතිවරයා දැරූ පළමු ප්‍රයත්නය අසාර්ථක වූයේ අපකීර්තිමත් ලෙසය. දැන් ගැටුමේ මැදිහත්කාරක භූමිකාව බාරගන්නට එර්දොගන්ගේ තුර්කිය පවා ඉදිරිපත් වී තිබේ.

මීට සමාන්තරව සාමාජිකයින් 22 දෙනෙකුගෙන් සමන්විත අරාබි සංගමය සහ චීනය අතර වත්මන් අර්බුදය සම්බන්ධයෙන් ගොඩ නැගෙමින් තිබෙන අවබෝධතාවද සැළකිල්ලට ගත යුතුය. පසුගිය වසරේදී රියාද් නගරයේ පැවති අරාබි-චීන සම්මේලනයට සත්කාරකත්වය දැක්වූයේ සෞදි අරාබිය බවද අමතක නොකළ යුතුය. එක්සත් ජනපදය පසුගිය වසරවලදී සෞදි අරාබිය සහ ජෝර්දානය වැනි රාජ්‍යයනුත් ඊශ්‍රායලයත් අතර ඊනියා සාමාන්‍යකරණයක් ඇති කිරීමේ ප්‍රයත්නයක යෙදී සිටින අතර, ඊට වෙනස්ව සෞදිය සහ ඉරාණය අතර සබඳතා ගොඩ නැංවීමට මැදිහත්වූයේ චීනයයි. නිසැකවම හමාස් ප්‍රහාරය සමග නිර්මාණය වූ නව තත්ත්වය තුළ මැද පෙරදිග අන්තර්-රාජ්‍ය සබඳතා හැඩ ගැසෙමින් තිබෙන්නේ එක්සත් ජනපදය පරිකල්පනය කළ රටාවට අනුව නොවේ. මැද පෙරදිග සාමාන්‍යකරණ ප්‍රයත්නයේ ප්‍රධාන අරමුණු වූයේ අසල්වැසි අරාබි රටවල් සහ ඊශ්‍රායලය අතර පවත්නා ඓතිහාසික පසමිතුරුතාව යටපත් කිරීම (පශ්චාත්-මාක්ස්වාදී න්‍යායික භාෂාවෙන් කිවහොත් එම පසමිතුරුතාව හුදෙක් වෙනස්කමක් බවට පරිවර්තනය කිරීම), මැද පෙරදිග දේශපාලනය තුළ පලස්තීන ප්‍රශ්නය පසෙකට දැමීම, ඉරාණය කලාපීයව හුදෙකලා කිරීම යනාදියයි. නමුත්, හමාස් ප්‍රහාරය සමග එම අරමුණු සියල්ල අනෙක් අතට හැරී තිබේ. එම ප්‍රහාරය ඉරාණයේ අනුදැනුම නොමැතිව ක්‍රියාත්මක වූවා විය නොහැකි යැයි ඇතැම් බටහිර භූ-දේශපාලනික විශ්ලේෂකයින් තර්ක කරන්නේ මේ සංධර්භය තුළය. එහි සත්‍ය අසත්‍යතාව කුමක් වුවත් දැන් නිර්මාණය වෙමින් තිබෙන තත්ත්වය තුළ ඊශ්‍රායල-අරාබි පසමිතුරුතාව යළිත් පෙරට ‘විත් තිබේ; පලස්තීන ප්‍රශ්නය මැද පෙරදිග දේශපාලනයේ මධ්‍යයට පැමිණ තිබේ; ඉරාණය කලාපීයව හුදෙකලා කිරීමේ ප්‍රයත්නය අසාර්ථක වී තිබේ.

හමාස් ප්‍රහාරය හුදෙක් ‘ෆයිට් එකක් දීල මැරෙන්න බලාගෙන කරන’ ආකාරයේ ආවේගකාරී ක්‍රියාවක් ලෙස තේරුම් කිරීමේදී මා මිත්‍ර මහේෂ් හපුගොඩ මුළුමනින්ම නොතකා හරින්නේ මෙම සංකීර්ණ භූ-දේශපාලනික චිත්‍රයයි. පවත්නා ලෝක පර්යාය පිළිබඳ සංයුක්ත අවබෝධයකින් තොරව මේ සිදුවෙමින් පවතින දේවල් තේරුම් කරන්නට ප්‍රයත්න දැරූ විට නිමැවෙන්නේ හපුගොඩ ඉදිරිපත් කරන ආකාරයේ අතිසරල චිත්‍රයකි.

ඉන්දීය ස්ථාවරය සහ වික්‍රමසිංහ උභතෝකෝටිකය

වත්මන් මැද පෙරදිග අර්බුදයේ ඉතාම ආන්දෝලනාත්මක කාරණයක් බවට පත් වූයේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය කුමක්ද යන්නයි. ඉන්දීය සාගර කළාපය තුළ චීනයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණ ඇතිව එක්සත් ජනපදය, ජපානය සහ ඔස්ට්‍රේලියාව සමග චතුර්පාර්ශවීය ආරක්ෂක සම්මුතියකට එළැඹ සිටින ඉන්දියාව හමාස් ප්‍රහාරය හෙළා දැකීමෙන් ඔබ්බට ගොස් ඊශ්‍රායලය සමග තමන් සිටගන්නා බව ප්‍රකාශ කළේය. ඉතාම ඉක්මණින් ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීන ජනයා වෙත තම සානුකම්පිත බව ප්‍රකාශ කරන්නට ඉන්දීය විදේශ අමාත්‍යාංශයට සිදු විය. ගාසා තීරයට මානුෂික ආධාර ලබා දීමේ ඉන්දීය මැදිහත්වීම අගය කළ යුතු බව සැබෑය. නමුත්, ගෝලීය දකුණේ හඬ බවට පත්වීමටත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය දිනා ගන්නටත් ප්‍රයත්න දරන ඉන්දියාව මැදපෙරදිග තම සාම්ප්‍රදායික මිතුරාගේ අර්බුදය තුළ සිටින්නේ කොතැනකද යන ප්‍රශ්නය මතුව ඒම වැළැක්විය නොහැකිය. ගාසාහි සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතුය යනුවෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ජෝර්දානය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ජන්දය දීමෙන් ඉන්දියාව වැළකී සිටියේය.

ඇතැම්විට, ඉදිරි මහා මැතිවරණය ඉලක්ක කරගෙන ඉන්දියාව යළිත් භාරතයක් බවටත් රාම රාජ්‍යයක් බවටත් පරිවර්තනය කිරීමේ දෘෂ්ටිවාදී ව්‍යාපෘතියක් පෙරට ගෙන ඒමේ බී.ජේ.පී ප්‍රයත්නය ඇසුරින් මේ කාරණය වටහාගත හැකිය. තමන් හින්දු මහා ජාතිකවාදයේ ප්‍රකාශනය වශයෙන් සිටින අතර ප්‍රතිවාදී කොංග්‍රස් පක්ෂය සුළුතර මුස්ලිම් ජන්දවලට ආමන්ත්‍රණය කරන ‘ජන්ද බැංකු’ දේශපාලනයක සිරව සිටිනු දකින්නට මෝඩි කැමති වනු ඇත. කොංග්‍රසයේ ප්‍රියංකා ගාන්ධි පැවසුවේ මෝඩි ආණ්ඩුවේ ස්ථාවරය මෙතෙක් කලක් ජාත්‍යන්තර දේශපාලනය තුළ ඉන්දියාව පෙනී සිටි සියලු දේට විරුද්ධ එකක් බවය. ඉන්දීය ආණ්ඩුවේ ස්ථාවරය යුක්‍රේන සටන් පෙරමුණ තුළ කැපී පෙනෙන ජයග්‍රහණයක් වාර්තා කළ නොහැකිව සහ තම විදේශ ප්‍රතිපත්තිමය තෝරාගැනීම් පිළිබඳ විපක්ෂයේ ප්‍රහාරවලට ඉලක්ක වෙමින් සිටින ජෝ බයිඩන් ජනාධිපතිවරයාගේ ස්ථාවරය සමග කදිමට ගැලපේ. ඔහුද ගාසාවට ප්‍රවේශ වෙමින් සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණයේ ජන්ද බෙදී යාම පිළිබඳ ගණන් බැලීම්ද පසුබිම් කොටගෙනය. මීට සමාන්තරව නෙතන්යාහුද පසුගිය කාලයේදී බරපතල ලෙස බෙදී ගිය ඊශ්‍රායල දේශපාලනය තුළ තම තත්ත්වය යළි තහවුරු කරගැනීම පිණිස බාහිර සතුරෙකුට එරෙහිව ජාතික ඒකීයත්වය පිළිබඳ දෘෂ්ටිවාදය පෙරට ගන්නට වත්මන් ගැටුම අවස්ථාවක් කොටගෙන තිබේ. මේ සෑම තැනෙකම අභ්‍යන්තර බල අරගල සහ විදේශ ප්‍රතිපත්තිමය තෝරාගැනීම්, එකක් අනෙකින් වෙන් නොකළ හැකි තරමට, සංකීර්ණ ලෙස එකිනෙක සම්බන්ධ වී තිබේ. එසේ වුවද, ඉන්දීය ස්ථාවරයේ කැපී පෙනෙන හැරවුම කලාපීය බල දේශපාලනයේ ඉදිරි ගතිකත්වයන් පිළිබඳ පුළුල් චිත්‍රය තුළ තබා බැලූ කල අපට ඉතාම වැදගත් හැඟවුමක් ලබා දේ. එනම්, ඉන්දු-පැසිෆික් බල අරගලය තුළ ඉන්දීය-එක්සත් ජනපද අක්ෂය යළිත් වරක් පැහැදිළිව සලකුණු වී තිබේය යන්නයි.

එක් අතකින් අයි.එම්.එෆ් ආර්ථික මෙහෙයුම ක්‍රියාවට නගමින්ද, අනෙක් අතින් මෝඩි සමග ඇති කරගත් එකඟතා අනුව ශ්‍රී ලංකාව ඉන්දීය බලපෑමේ කලාපයට වඩ වඩාත් ඇතුල් කරමින්ද සිටින වික්‍රමසිංහ පරිපාලනයේ ස්ථාවරය අප වටහාගත යුත්තේ මේ සංධර්භය තුළය. වික්‍රමසිංහ හමාස් ප්‍රහාරය හෙළා දැකීම සඳහා දැක්වූ උත්සුකය ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර සම්බන්ධයෙන් දැක ගත නොහැකි වීම පුදුමයට කාරණයක් නොවේ. ආරම්භයේදී පෙනෙන්නට තිබූ පරිදි එය ඉන්දීය ස්ථාවරය අනුගමනය කිරීමක් වැනි විය. නමුත්, පසුව ඉන්දියාවට වෙනස්ව යමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ සටන් විරාම යෝජනාවට ශ්‍රී ලංකාව සහාය දැක්වීය. අභ්‍යන්තර දේශපාලන ගතිකයන් සලකා බැලූ විට ඉන්දීය බී.ජේ.පීයට වෙනස්ව වික්‍රමසිංහගේ එජාපය සුළුතර මුස්ලිම් ජන්දවලට ආමන්ත්‍රණය කිරීමට වැඩි උත්සුක බවක් දක්වයි. පසුගිය වසරක කාල පරිච්ජේදය පුරාම වික්‍රමසිංහ සුළුතර ප්‍රජාවන්ට ආමන්ත්‍රණය කිරීමේ ප්‍රයත්නයක නිරත වූ බව ඉතාම පැහැදිලිය. පසුගිය දිනවල මැද පෙරදිග අර්බුදය මුල් කොටගෙන සජබ ප්‍රකාශකයින් විසින් කරන්නට යෙදුණු අදහස් දැක්වීම්වල (නිදසුනක් ලෙස ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රකාශ) ප්‍රධාන ඉලක්කයක් ලෙසද මෙම මුස්ලිම් දේශපාලන සාධකය සැලකිය හැකිය. ගාසාහි ඇවිළෙන ගින්න හමුවේ දැන් වික්‍රමසිංහ පාලනය මුහුණ දෙමින් සිටින උභතෝකෝටිකයක් වන්නේ එක් අතකින් තම විදේශ ප්‍රතිපත්තිමය තෝරාගැනීම් වලදී ඉන්දීය-එක්සත් ජනපද අක්ෂය සමග අනුගත වන අතරම රට තුළ තම සාම්ප්‍රදායික ජන්ද පදනමේ කොටසක් වන මුස්ලිම් ප්‍රජාවට ආමන්ත්‍රණය කරන්නේ කෙසේද යන්නයි.

‘ලන්ඩන්’ ශිෂ්ටත්වයේ සිහිනයෙන් ඔබ්බට

මීට වෙනස්ව ගෝලීය පරිවාරයේ රටක් වන ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී කණ්ඩායම් හමුවේ අද පවතින අභියෝගය වන්නේ බටහිර ලෝකය විසින්ම උල්ලංඝණය කරමින් සිටින බටහිර ප්‍රබුද්ධත්වයේ විමුක්තිකාමී හරයන් – නිදසුනක් ලෙස විශ්වීය මානව හිමිකම් – වෙනුවෙන් අරගල කිරීමයි. මෙය පශ්චාත්-මාක්ස්වාදය විසින් යෝජනා කෙරෙන ප්‍රජාතන්ත්‍රවාදය රැඩිකල්කරණය කිරීමේ සාකච්ජාවට අළුතින් එක් කළ යුතු තේමාවක් ලෙසද සැලකිය හැකිය. මෙහිදී අවධාරණය කළ යුතු තවත් කාරණයක් වන්නේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිදු කරනු ලබන මිනිස් සංහාරය නොදුටූ ඇස්ව නොඇසූ කන්ව සිටින්නට බටහිර රාජ්‍යයන්ට ලැබී ඇති හැකියාව වනාහී බටහිර ප්‍රබුද්ධත්වයට පිටතින් උරුම වූවක් නොවේය යන්නයි. ෆ්රෑන්ක්ෆර්ට් පාසැලේ විශිෂ්ට න්‍යායවේදීන් දෙදෙනෙකු වූ මැක්ස් හොර්කයිමර් සහ තියෝදෝර් ඇඩෝනෝ ඔවුනගේ ‘ප්‍රබුද්ධත්වයේ දයලෙක්තිකය’ (Dialectic of Enlightenment) කෘතියේ පෙන්වා දෙන පරිදි ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතිය තුළ විමුක්තිකාමී තර්කනයක් සේම අධිකාරීමය තර්කනයක්ද අඩංගු විය. නිදහස හා සමානත්වය පිළිබඳ නූතන අදහස් සේම නට්සිවාදයද එම ප්‍රබුද්ධත්වය තුළින් පැන නැගිය හැකි වූයේ එබැවිනි. මේ ද්විත්ව තර්කනයන් එකවිට පවත්වා ගැනීමේ ප්‍රධාන මාධ්‍යයක් වූයේ ඇචීල් ම්බෙම්බේ පෙන්වා දෙන පරිදි යුරෝපය තුළ නීතියේ පාලනය ස්ථාපිත කරන අතර යටත් විජිත නීතිය අත්හිටුවන ලද ව්‍යතිරේඛීය කලාපයක් ලෙස පවත්වා ගනු ලැබීමයි. විසිවන සියවසේ මැද භාගයෙන් පසුව පැරණි යටත් විජිත නිදහස් රාජ්‍යයන් ලෙස ජාත්‍යන්තර පර්යායට එක්වීමෙන් පසුව මේ ද්විත්ව තර්කනයේ ක්‍රියාකාරීත්වය සංකීර්ණ ස්වභාවයක් ගත්තේය. සමීර් අමීන් ඔහුගේ ‘වියවුලේ අධිරාජ්‍යය’ (Empire of Chaos) නමැති කෘතිය තුළ පෙන්වා දෙන පරිදි, ගෝලීය උතුරේ රාජ්‍යයන් තුළ වැටුප් ලබන පන්තීන්ගෙන් යුක්ත සමාජ-ප්‍රජාතාන්ත්‍රික ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක වන අතර ගෝලීය දකුණේ බහුතරයක් රාජ්‍යයන් නිසි වැටුප් නොලබන අතිරික්ත ශ්‍රම බලකායක් සහිත ආර්ථිකයන් බවට පත් වීම දැකගත හැකි විය. විසිවන සියවසේදී විප්ලවවාදී දේශපාලනය ගෝලීය උතුරෙන් දකුණට මාරු වූයේ මේ තත්ත්වය තුළය.

මැද පෙරදිග කලාපය විශේෂ කොට සැලකුව හොත්, මැද පෙරදිග ඛණිජ තෙල් නිෂ්පාදනයේ සහ බෙදා හැරීමේ ක්ෂේත්‍රය එක්සත් ජනපද හෙජෙමොනිය යටතේ පවත්වා ගැනීම පවත්නා ලෝක පර්යාය එලෙසින්ම පවත්වා ගැනීමේ මූලික කොන්දේසියක් ලෙස සලකන ලදී. එය ‘සැබවින්ම පවතින ධනවාදී ලෝක පර්යාය’ සඳහා අත්‍යාවශ්‍ය කොන්දේසියක් විය. එම දේශපාලන ආර්ථිකමය සහ භූ-දේශපාලනික අවශ්‍යතාව ඉටු කර ගැනීමේදී බටහිර ප්‍රබුද්ධත්වයේ ලිබරල්වාදී සහ ප්‍රජාතාන්ත්‍රික වටිනාකම් කිසිසේත් අදාළ යැයි සලකනු ලැබුවේ නැත. සෞදි අරාබිය සහ ජෝර්දානය වැනි රටවල රාජාණ්ඩු ක්‍රමවලට අඛණ්ඩව පැවතිය හැකි වූයේ එම රාජ්‍යයන් සමග කේන්ද්‍රීය ධනවාදී ආර්ථිකයන් සම්බන්ධ වූ සුවිශේෂී ස්වරූපය නිසාය. ඉරාකය, ඊජිප්තුව, ලෙබනනය, සිරියාව වැනි රාජ්‍යයන් තුළ පැවති නිරාගමික මධ්‍ය-වාමාංශික පාලන ක්‍රම බිඳ වැටීමටත් එහි ප්‍රතිපලයක් ලෙස ඉස්ලාමීය අන්තවාදයේ නැගීමටත් අවශ්‍ය තත්ත්වයන් නිර්මාණය වූයේ සිය දේශපාලන ආර්ථික වුවමනාකම් මුල් කොටගෙන එක්සත් ජනපදය මැද පෙරදිග කලාපයට කළ මැදිහත් වීම් හේතු කොටගෙනය. කලාපය තුළ එක්සත් ජනපද සහ යුරෝපීය බලපෑම පවත්වා ගැනීමේ උපායමාර්ගයක් ලෙස ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් නිර්මාණය කිරීමේ සමස්ත ව්‍යාපෘතිය තවත් එවන් නිදසුනකි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගෝලීය උතුරේ දෙබිඩි ස්ථාවරය කදිමට පැහැදිලි කරන සමකාලීන නිදසුනක් වන්නේ ජෝ බයිඩන් සහ කමලා හැරිස් විසින් රඟ දක්වමින් සිටින ‘හොඳ පොලිස්කාරයා/නරක පොලිස්කාරයා’ (good cop/bad cop) නාට්‍යය යි. බයිඩන් ඊශ්‍රායලයට සහාය දක්වමින් තම ප්‍රහාරක යාත්‍රා යවන අතර කමලා හැරිස් එක්සත් ජනපදය තුළ ඉස්ලාම්-භීතිකාව පිටුදැකීමේ වැදගත්කම අවධාරණය කරමින් සිටියි. ම්බෙම්බේගේ වචනයෙන් කිව හොත්, මෙහි අරුත වන්නේ නීතියේ පාලනය යටතේ පවතින එක්සත් ජනපදය තුළ ලිබරල් නිදහස සහ බහුත්වවාදය ආරක්ෂා කළ යුතු අතර නීතියේ ව්‍යතිරේඛීය කලාපයක් වන ගාසා තීරයට ඒ කිසිවක් අදාළ වන්නේ නැති බවයි. මෙම දෙබිඩි තර්කණය නූතන ශිෂ්ටත්වයේ පදනමෙහි පවතින්නක් විනා එයට පසුව එකතු වූ ආගන්තුක යමක් නොවේය යන්න ඒ දෙස විචාර න්‍යායේ ආලෝකය තුළින් බැලූ විට වටහාගැනීම අසීරු නැත. එවන් විචාරයකින් තොරව බටහිර ප්‍රබුද්ධත්වය දෙස බැලූ විට සිදුවන්නේ ‘ලන්ඩනය’, එහි අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා වටහාගැනීමෙන් තොරව, හුදෙක් ශිෂ්ටත්වයේ සිහිනයක් ලෙස උත්කර්ෂයට නැංවීම පමණි. (මෙය පැරණි ‘X කණ්ඩායමේද’ චින්තනමය සීමාවක් ලෙස සැලකිය හැකිය).

අවසන් වශයෙන්, වත්මන් ලෝක පර්යාය පරිවර්තනයට ලක් කිරීමේ ප්‍රයත්නයක් තුළ බටහිර ප්‍රබුද්ධත්වය අත් හැර දැමිය යුතු යැයි මෙයින් කිසිසේත් හැඟවෙන්නේ නැත. පුද්ගල සහ සමාජ නිදහස නොතකන තනි පක්ෂ පාලනයක් සහිත ඒකාධිකාරී දේශපාලන මොඩලයක් කරා ගමන් කිරීමක් කිසිසේත්ම ප්‍රගතිශීලී පරිවර්තනයක් ලෙස සැලකිය නොහැකිය. එවන් මොඩලයක් සහිත ලෝක පර්යායක් තුළ විමුක්ති දේශපාලනයක් පරිකල්පනය කළ හැක්කේ කා හටද? ඒ වෙනුවට, හොර්කයිමර් සහ ඇඩෝනෝ යෝජනා කළ පරිදි කළ යුතුව ඇත්තේ ප්‍රබුද්ධත්ව ව්‍යාපෘතියේ මානව විමුක්තිවාදී තර්කනය පෙරට ගෙන යාමයි. නිදහස, සමානත්වය, මානව අයිතීන් සහ බහුත්වවාදය ලන්ඩනයට සේම ගාසා තීරයටද එක සේ අදාළ වන ආකාරයේ ලෝක පර්යායක් වෙනුවෙන් අරගල කිරීමයි. ඒ සඳහා ලැක්ලාවූ සහ මූෆ් යෝජනා කරන පරිදි ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයක් අවශ්‍යය. නමුත්, ඒ සමගම දැනට යුරෝ-කේන්ද්‍රීය ස්වභාවයක් ගන්නා (විශේෂයෙන්ම මූෆ්) රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කතිකාවම රැඩිකල්කරණය කරමින් ගෝලීය දකුණේ ප්‍රජාතාන්ත්‍රිකකරණය ආශ්‍රිත ගැටළු කේන්ද්‍රයට ගත යුතුව තිබේ. මේ දිනවල ගාසා සංහාරයට එරෙහිව යුරෝපය සහ එක්සත් ජනපදය ඇතුළුව ලොව පුරා පැන නැගෙන විරෝධතා රැල්ලෙන් සංඥා කෙරෙන්නේ එවන් පරිවර්තනයක අවශ්‍යතාවයි.

පරිශීලන

Amin, Samir, 1992, Empire of Chaos, Monthly Review Press: New York.

Horkheimer, Max and Adorno, Theodor, 2002, Dialectic of Enlightenment: Philosophical Fragments (Trans. Edmund Jephcott), Stanford University Press: California.

Laclau, Ernesto and Mouffe, Chantal, 1985, Hegemony and Socialist Strategy: Towards a Radical Democratic Politics, Verso: London/New York.

Mbembe, Achille, 2003, Necropolitics (trans. Libby Meintjes), in Public Culture, Vol. 15, No. 01.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.