Colombo Telegraph

උතුරු පළාත් සභා මහඇමතිවරයා ඉල්ලා සිටින සුසමාදර්ශී වෙනස

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

මේ මොහොතේ දේශපාලන විශ්ලේෂණ බොහොමයක් කෙරෙන්නේ, ලබන මාර්තුවේ ජිනීවා නුවර පැවැත්වීමට නියමිත, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ඊළඟ සැසිවාරය ගැනයි. ජිනීවා සැසිවාරය සම්බන්ධයෙන් ප‍්‍රධාන ක‍්‍රියාමාර්ග දෙකක් කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වන බව පෙනේ. එකක් වන්නේ, ලංකාව වෙනුවෙන් යෝජනාවක් ලංකාවට සහයෝගය දක්වන රටවල් හරහා ගෙන ඒමයි. දෙවැන්න වන්නේ, යුද අපරාධ පිළිබඳව පිහිටුවිය යුතු යැයි යෝජනා වීමට නියමිත ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට, දකුණු අප‍්‍රිකානු පන්නයේ ‘සත්‍ය සහ සංහිඳියා’ කොමිසමක් දේශීය වශයෙන් පිහිටුවීම සඳහා දකුණු අප‍්‍රිකානු රජයේ සහයෝගය ලබා ගැනීමයි. කෙසේ වෙතත්, විමර්ශන ඇස යොමු විය යුතු තවත් වැදගත් සංසිද්ධීන් රටේ ඇති වෙමින් තිබේ. එයින් වඩාත් වැදගත් එකක් වන්නේ, මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර පැවතිය යුතු සම්බන්ධය පිළිබඳවත්, එකී දෙපාර්ශ්වය අතර බලය බෙදා ගැනීම පිළිබඳවත් වන කාරණයයි. අද කතා කරන යුද අපරාධවලට තුඩුදුන් යුද්ධයේ මූල හේතුව වන්නේ, බහුතර සිංහල බලය හොබවන මධ්‍යම ආණ්ඩුවත්, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත් සමන්විත දෙමළ බහුතරයෙන් යුත් ප‍්‍රදේශත් අතර බලය බෙදාගැනීම අරභයා වන ගැටළුවයි.

මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර බලය බෙදා ගැනීමේ ගැටළුව ඉස්මත්තට එන්නේ ගිය සැප්තැම්බරයේ සිටයි. ඒ, මීට 26 වසකට පෙර පළාත් සභා ක‍්‍රමය ඇති කරගත් දා සිට, ප‍්‍රථම වතාවට උතුරු පළාත් සභාව ක‍්‍රියාත්මක වීමට පටන් ගත් මොහොතයි. අද වන විට, විපක්ෂයක් විසින් බලය හොබවන එකම පළාත් සභාවත් එයයි. අනිත් පළාත් සභා අටේම බලය හොබවන්නේ සහ ඒවා මෙහෙයවනු ලබන්නේ ආණ්ඩුව විසිනි. සැබෑ විපක්ෂයක් වශයෙන් කටයුතු කරන උතුරු පළාත් සභාව, අඩු වශයෙන්, බලතල බෙදා ගැනීමේ සීමිත යාන්ත‍්‍රණයක්වත් ඇති කිරීමට කැමැත්තක් නොදක්වන මධ්‍යම ආණ්ඩුවට අභියෝග කරමින්, සිය බලය තහවුරු කර ගැනීමට තැත් කරයි. මේ නිසා, එම උතුරු පළාත් සභාවෙන් ප‍්‍රකාශයට පත්වෙන අදහස් උදහස් ආණ්ඩුවට අභියෝගයකි. අවසාන වතාවට එයින් නිකුත් වූ අභියෝගය වන්නේ, යාපනය සහ ඉන්දියාවේ දකුණු භාගයේ ඇති පළාත් සමග සෘජු ගුවන් සේවා සම්බන්ධතා පවත්වා ගැනීමටත්, ඉන්දියාව සමග වෙළඳ සබඳතා පහසු කරවනු වස්, යාපන අර්ධද්වීපයේ වරාය සංවර්ධනය කිරීමටත්, එම පළාත් සභාව මගින් සම්මත කරගත් යෝජනාවයි. මේවා, පළාත් සභාවට අයත් නැති බලතල බව ආණ්ඩුවේ අදහසයි.

පරමාදර්ශී විසඳුම වන්නේ, එක පැත්තක් ජයග‍්‍රහණය කරවන සහ අනිත් පැත්ත පරාජය කරවන සේ, මධ්‍යම ආණ්ඩුවත් පළාත් සභාවත් එකිනෙකාට එදිරිව කටයුතු කිරීම නොව. සහයෝගයෙන් සෑම පාර්ශ්වයකටම ප‍්‍රතිලාභ අත්වන සේ කටයුතු කිරීමයි. එහෙත් එසේ වීමට නම්, මනෝ භාවයන්ගේ වෙනසක් සිදුවිය යුතුය. ජාත්‍යන්තර සම්බන්ධතා අයත් වන්නේ මධ්‍යම ආණ්ඩුවට බවට සැකයක් නැත. එහෙත් මේ ප‍්‍රශ්නයට අදාළව බැලීමේ දී, එකී ප‍්‍රතිපත්තිමය සාකච්ඡුාවට සම්මාදම් වීමට පළාත් සභාවලට අයිතියක් ඇත්තේය. තමන්ගේම වන ගුවන් තොටුපොලවල් සහ වරායවල් උතුරු පළාත් සභාව විසින් ගොඩනගනවා නොවේ. ඔවුන් කරන්නේ, ඒවා ගොඩනගන්නැ යි මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමයි. මේ සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුව ගත යුතු ප‍්‍රවේශය සහ ඔවුන්ට ඒ සඳහා මග පෙන්විය යුතු ආකල්පය ගැන මෑතක දී සාකච්ඡුා වුණි. ඒ, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් සංවිධානය කළ, ඉහළ පෙළේ විද්වතුන් සිය අධ්‍යයනයන් ගෙනහැර දැක්වූ, ‘උතුරු සහ නැගෙනහිර පළාත්වල සමාජාර්ථික සංවර්ධනය පිළිබඳ සම්මන්ත‍්‍රණයේ’ දී ය.

තෙවදෑරුම් අසාර්ථකතා

ශාස්ත‍්‍රාලීය ප‍්‍රජාව සහභාගී වූ මේ ගෞරවාන්විත සම්මන්ත‍්‍රණයේ විශේෂත්වය වුණේ, උතුරු පළාත් සභාවේ මහඇමති සී. වී. විග්නේශ්වරන්ව එහි ප‍්‍රධාන දේශකයා වශයෙන් කැඳවා ගැනීමයි. වෙනත් විද්වතුන් පැවැත්වූ දේශනවල, පිළිතුරු සොයාගත යුතුව ඇති ප‍්‍රශ්නවල සැබෑ ස්වභාවය අරභයා මනාව අධ්‍යයනය කොට සකස් කරගත් වැදගත් තොරතුරු සහ දත්ත අඩංගු විය. අනිත් පැත්තෙන්, මහ ඇමතිවරයාගේ දේශනය තුළ අවධාරණය කෙරුණේ, ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කිරීමේ ප‍්‍රවේශය තුළ ඇති විය යුතු මූලික වෙනස ගැනයි. රටේ සමස්ත ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රය පිළිබඳ ඔහු සතු සාරාර්ථ අවබෝධය එයින් විශද විය. ඔහු කතා කෙළේ, නග්න සත්‍යය ගැනයි. එහෙත් ඒ, දැනුම්වත් කරවනු පිණිස මිස පහර දෙනු පිණිස නොවේ. සමස්ත රටේම ඉරණම කෙරෙහි බලපෑම් කළ හැකි, ආණ්ඩුකරණය පිළිබඳ මූලික ගැටළු ඔහු ප‍්‍රස්තුත කරගත්තේය. එහි දී, මුළු රටටම නරක ප‍්‍රතිවිපාක අත්කර දී ඇති සහ රටේ ජාත්‍යන්තර සම්බන්ධතාවන්ට ද බලපෑම් ඇති කරන, උතුරු පළාත සම්බන්ධයෙන් වන ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රයේ අසාර්ථකතා ත‍්‍රිත්වයක් ගැන ඔහු සඳහන් කෙළේය.

මුලින්ම, ශ‍්‍රී ලංකාව, විවිධ ජාතීන් වෙසෙන බහුත්ව සමාජයක් බව ඔහු පෙන්වා දුනි. එසේ හෙයින්, එක රටක් නිර්මාණය කිරීමට උත්සාහ කිරීමේ දී, බහුතර ප‍්‍රජාවේ පරමාදර්ශ සහ සංකේත භාවිතයට ගැනීම උචිත නොවේ. ඔහු කී එම ප‍්‍රකාශය තවදුරටත් සනාථ කිරීමට මෙන්, මෙම සම්මන්ත‍්‍රණය ආරම්භයේ දී ජාතික ගීය ගායනා කෙරුණේ ද, සිංහල භාෂාවෙන් පමණි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, තමාගේ භාෂාවෙන් නොගැයුණු එම ජාතික ගීය ගැයීමට මහ ඇමතිවරයාට සහභාගී විය නොහැකි විය. එහි දී ඔහු මෙසේ කීය: ‘‘රටේ යම් ජන කොටසකට එම රටේ ජාතික ගීය තමන්ගේ භාෂාවෙන් කියන එක තහනම් කරලා ඉවර වෙලා, රටේ සුළු ජාතීන් කියලා කොටසක් නැහැ, අපි ඔක්කොම එකම ජනතාවක් කියලා ප‍්‍රකාශයට පත්කරන එකේ තේරුමක් නැහැ. බහුත්වවාදී ප‍්‍රවේශයක් ගන්නවා වෙනුවට අපි අරං තියෙන්නේ, බහුතරවාදී ප‍්‍රවේශයක්.’’ කෙසේ වෙතත්, ඔහුගේ ඒ පණිවිඩය තමන් කනට ගත් බව දක්වමින්, සම්මන්ත‍්‍රණය අවසානයේ ස්තුති කතාව දෙමළ භාෂාව ද ඇතුළු භාෂා තුනෙන්ම පැවැත්වීමට සංවිධායකයෝ පියවර ගත්හ.

ජනතාවට සුභ සෙත සලසන ආර්ථික සංවර්ධනය ගැන ද මහ ඇමතිවරයා කතා කෙළේය. ‘ජනතා-කේන්ද්‍රීය නොවී, ඉහළ සිට පහළට කෙරෙන සංවර්ධනය, තවත් ප‍්‍රතිපත්තිමය අසාර්ථකත්වයක්’ යැයි ඒ සම්බන්ධයෙන් කතා කරමින් ඔහු කීය. විශාල යටිතල ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරන ආණ්ඩුව, ඒ ව්‍යාපෘති අසල ජීවත් වන ජනතාවට ප‍්‍රමුඛත්වයක් දෙන්නේ නැත. ඔවුන් පැල්පත්වල ජීවත් වන අතර, ඊට යාබදව ආණ්ඩුවේ විශාල ගොඩනැගිලි අලූතින් ඉදිකෙරේ. අගනගරය සමග උතුර යා කෙරෙන විශාල මහා මාර්ග ඉදිකෙරේ. එහෙත් සියල්ලන්ට සෙත සැලසෙන සංවර්ධනයක දී, අදහස් උදහස් විමසීම සහ රටේ ඒ ඒ පළාත්වල විශේෂිත ප‍්‍රශ්න කෙරෙහි අවධානය යොමු කිරීම අවශ්‍ය කෙරේ. ගුවන් තොටුපොලක් සහ වරායක් පිළිබඳ උතුරු පළාත් සභාවේ යෝජනාව මධ්‍යම ආණ්ඩුව සමග ඔවුන්ගේ සහභාගීත්වය පෙන්නුම් කිරීමකි. එය මධ්‍යම ආණ්ඩුව සැලකිල්ලට ගත යුතුය.

මහ ඇමතිවරයා පෙන්වා දුන් තුන්වැනි ප‍්‍රතිපත්ති අසාර්ථකත්වය වන්නේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසට ඉහළින් ජාතික ආරක්ෂාව තැබීමයි. ඒ ගැන ඔහු මෙසේ කීය: ‘‘රාජ්‍ය ආරක්ෂාව ගැන වැඩි බරක් තියන මධ්‍යම ආණ්ඩුවේ ත‍්‍රස්ත=විරෝධී මනෝභාවය, යුද්ධෙන් පස්සේ, මානව ආරක්ෂාව ගැන වැඩි බරක් තියන මනෝභාවයකට මාරු වෙන්න ඕනේ. හමුදාව, බැරැුක්කවලට සීමා කරන්න වහාම පියවර ගන්න අතරේ, උතුරු පළාතේ අද ඉන්න හමුදාව කොටස් වශයෙන් ඉවත් කිරීමේ සැලැස්මක් ආණ්ඩුවට තියෙන්න ඕනේ. ඒ එක්කම, ආරක්ෂක අංශයේ අර්ථවත් ප‍්‍රතිසංස්කරණ කෙරෙන්න ඕනේ. මෙච්චර විශාල ආරක්ෂක ව්‍යුහයක් ශ‍්‍රී ලංකාවට ඕනේ නැහැ.’’ හමුදාවක් යනු, පාර්ශ්ව දෙකක් එකිනෙකා විනාශ කරගැනීමට බලන අවස්ථාවක, එය වැළැක්වීම් පහසු කරවනු වස්, මධ්‍යගත තීරණ ගැනීමේ සහ උඩ සිට පහලට ගලා එන ක‍්‍රියාවලියක් නිරූපණය කෙරෙන ආයතනයකි. එය, සාමකාමී අවදියක, ආර්ථික හෝ සංවර්ධන පාර්ශ්වකරුවෙකු වීමට සුදුස්සෙකු නොවේ.

හොඳ හිත පවත්වා ගැනීම

මහ ඇමතිවරයා කරන ලද කතාව, සමස්ත රාජ්‍ය පද්ධතිය ප‍්‍රතිසංස්කරණය කිරීම කෙරෙහි උනන්දුවක් ඇති, ජාතික ආණ්ඩුකරණයේ කොටසක් වශයෙන් තමන්ව සළකන, ප‍්‍රධාන ප‍්‍රවාහයේ දෙමළ සමාජයක් තුළ පවතින හොඳ හිත සහ යථාර්ථය පෙන්නුම් කරන සාක්ෂියකි. ඔහුගේ දේශනයේ බුද්ධිමය ගැඹුර සහ ඔහුගේ සදාචාරමය පෞරුෂය, එම සම්මන්ත‍්‍රණයට සහභාගී වූ විශිෂ්ඨ විද්වතුන් සහ වෙනත් ආරාධිතයන් තුළ සාධනීය බලපෑමක් ඇති කෙළේය. යුද අපරාධ ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා පසුගිය දා උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කරගෙන තිබෙන අවස්ථාවක, මහ ඇමතිවරයාට මෙම සම්මන්ත‍්‍රණයට ආරාධනා කිරීම ද කැපී පෙනෙන කාරණයකි. එවැනි යෝජනාවක් සම්මත කරගනු ලැබීම, ආණ්ඩුවේ නායකත්වය කෝපයට පත්කැරැුවීමට ඉඩ තිබුණි. අවශ්‍ය කරන්නේ, අතීතයට වහල් නොවී, අතීතය ජය ගැනීමයි. එය වඩාත් සාර්ථකව කළ හැක්කේ, අන්‍යොන්‍ය සමාභජනයක් සහිත, කරන ලද වැරදි හරිගස්ස ගන්නා, දේශපාලන විසඳුමක් තුළිනි. ඒ සඳහා ද, නැවතත්, මධ්‍යම ආණ්ඩුවේ මෙන්ම, උතුරු පළාත් සභාවේ ද සහභාගීත්වය අවශ්‍ය කෙරේ.

කලින් පිළියෙල කරගත් ලිඛිත දේශනයෙන් මදක් පිටට ගිය මහ ඇමතිවරයා, තමන් බලාපොරොත්තු වන පරමාදර්ශී තත්වයට අඩු විසඳුමක් තුළ කටයුතු කිරීමට වුව තමා සූදානම් බව කීවේය. එය, ඔහුගේ පක්ෂයේ වෙනත් නායකයන් දරණ මතයට වෙනස් මතයකි. අවශ්‍ය කරන අන්තර්ඥානයත්, සංකල්ප සමුදායත් ලබා ගැනීම සඳහා අවශ්‍ය තරම්, ගිවිසුම් සහ කොමිෂන් වාර්තා ඇති බව ඔහු පෙන්වා දුනි. යහපත් නීති, අයහපත් පාලකයන් විසින් වැරදියට පාවිච්චි කළ හැකි අතර, අයහපත් නීති පවා යහපත් පාලකයෙකුගේ අතේ ජනතා සුභසිද්ධිය තකා පාවිච්චි විය හැකි බව ඔහු කීය. බලය බෙදාහැරෙන පවතින ක‍්‍රමය යටතේ ඇති සීමිත බලතල පවා, මධ්‍යම ආණ්ඩුවෙන් බාධා නොපැමිණෙන්නේ නම්, ජනතා සුභසිද්ධිය වෙනුවෙන් පාවිච්චි කළ හැකි බව ඔහු පෙන්වා දුනි. පළාත් ඇමතිවරයාගේ එම කතාවට සේම, උතුරු පළාත් සභාව සම්මත කරගත් යෝජනාවටත්, මධ්‍යම ආණ්ඩුව සාධනීය ආකාරයෙන් ප‍්‍රතිචාර දැක්වීම වැදගත් ය.

‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පත, එහි කතුවැකියෙන් පෙන්වා දුන් පරිදි, ‘‘දකුණු ඉන්දීය ප‍්‍රදේශ සමග වඩාත් ව්‍යාප්ත අන්තර්-සම්බන්ධතා ගොඩනගා ගැනීම සඳහා යාපනය සහ ත‍්‍රිකුණාමලට පාවිච්චි කිරීම, උතුරට පමණක් නොව, සමස්ත රටටම විශාල ආර්ථික ප‍්‍රතිලාභ ගෙන දීමට සමත් විය හැක. (ඉන්දියාවේ දකුණු ප‍්‍රදේශ යනු, තමිල්නාඩුව පමණක් නොව, කේරලය, ආන්ද්‍ර ප‍්‍රදේශය, තෙලන්ගන, කර්නාටක සහ මහාරාෂ්ට‍්‍ර පවා අයත් වන පරාසයකි)’’ මහ ඇමතිවරයාගේ කතාවෙන් යෝජනා කෙරෙන්නේ සුසමාදර්ශී වෙනසක් අවශ්‍ය කරන බවයි. ප‍්‍රශ්න දෙස අළුත් විදිහකට බැලීමක් අවශ්‍ය කරන බවයි. එවිට, ඔවුන් වගවීමෙන් බැඳී සිටින ඔවුන්ගේ ජනතාවට සුභසෙත සැලසීම සඳහා මධ්‍යම ආණ්ඩුව සමග කටයුතු කිරීමට පළාත් සභාවලට හැකි වන්නේය. ඒ මාර්ගයෙන්, ආණ්ඩුකරණයේ විවිධ මට්ටම්වල මිනිසුන්ගේ විශ්වාසය ගොඩනැගිය හැකි වන්නේය. ශ‍්‍රී ලංකාවට අද අවශ්‍ය කරන, ඉදිරි දැක්මකින් යුත්, අන්‍යොන්‍ය වශයෙන් අර්ථවත්, නිර්මාණාත්මක විසඳුම එයයි.

*2014 පෙබරවාරි 24 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ The Paradigm Shift That Northern Chief Minister Calls For නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page