22 July, 2026

Blog

යෝජිත රාජ්‍ය නොවන සංවිධාන පනත පිළිබඳව රජය නැවත සිතා බැලිය යුතුය

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

රජය විසින් යෝජනා කර ඇති රාජ්‍ය නොවන සංවිධාන (NGO) පනත යනු දැඩි මර්දනකාරී පනත් කෙටුම්පතකි. ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය වැනි ගැටලු විසඳීම අරමුණු කරගත් අන්තර් රාජ්‍ය සංවිධානයක් වන මූල්‍ය කාර්ය සාධක බලකායේ (FATF) අවශ්‍යතාවලට අනුකූල වීම සඳහා NGO නියාමනය කිරීම අත්‍යවශ්‍ය බව රජයේ තර්කයයි. කෙසේවෙතත්, මෙම යෝජිත පනත දැනට පවතින ස්වරූපයෙන් පැවතුණහොත්, රජයේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයට පුළුල් ලෙස සහාය දක්වන සංවිධාන පවා ඇතුළුව බොහෝ රාජ්‍ය නොවන සංවිධාන රජයෙන් ඈත්විය හැකිය. එමෙන්ම, රජයට ඒකාධිපති නැඹුරුවක් ඇති බවට රජයේ විවේචකයන් නගන චෝදනා තහවුරු කිරීමට ද මෙය හේතු වනු ඇත. අනෙක් අතට, රාජ්‍ය නොවන සංවිධාන මෙවැනි දැඩි රජයේ පාලනයකට මුහුණදීමට සිදුවන පළමු අවස්ථාව මෙය නොවේ.

2015-19 කාලසීමාවේ සිරිසේන-වික්‍රමසිංහ පාලනය සමයේදී ද රාජ්‍ය නොවන සංවිධාන මෙවැනිම ගැටලුවලට මුහුණදුන්නේය. පසුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී ආරක්ෂක අංශ අධීක්ෂණය ද රාජ්‍ය නොවන සංවිධාන වෙත සැලකිය යුතු ලෙස යොමුකිරීමත් සමඟ මෙම තත්ත්වය තවදුරටත් උග්‍රවිය. පළමු අවස්ථාවේදී, රාජ්‍ය නොවන සංවිධාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් කළ ඉල්ලීම පරිදි ඔහු එම කෙටුම්පත ඉල්ලා අස්කර ගත්තේය. දෙවැනි අවස්ථාවේදී, ජනාධිපති රාජපක්ෂට කාලයට පෙර ධුරයෙන් ඉවත්වීමට සිදුවිය. මෙයින් පාඩම් ඉගෙන ගත් එකම රට ශ්‍රී ලංකාව නොවේ. ඉන්දියාවේ තදබල ලෙස සංශෝධනය කරන ලද ‘විදේශ ආධාර නියාමන පනත’ (FCRA) හේතුවෙන් රාජ්‍ය නොවන සංවිධාන දහස් ගණනක් වසාදැමීමට සිදු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එම සංවිධානවලට සහ ඒවායින් සේවය ලැබූ ජනතාවට ලැබුණු අන්තර්ජාතික ආධාර අහිමි විය.

සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ (CSO NGO Collective) නියෝජිතයෝ පිරිසක් පසුගියදා රජයේ රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ සහ අදාළ අමාත්‍යාංශයේ නිලධාරීන් හමුවූහ. 2025 ජූනි මාසයේ පැවැති පෙර හමුවේදී ද ඔවුන්ට පිළිගත නොහැකි පනත් කෙටුම්පතක් පෙන්වා දී තිබිණි. එම හමුවේදී, නව පනතක් සකස් කළ හැකි මූලධර්ම සමුදායක් රාජ්‍ය නොවන සංවිධාන විසින් ඉදිරිපත් කරන ලදී. රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීමේ නීත්‍යානුකූල වගකීමක් රජයට ඇති බව පිළිගන්නා අතරම, රැස්වීමේ නිදහස මෙන්ම සංවර්ධන හා දේශපාලන ප්‍රතිසංස්කරණ ඇතුළු අධ්‍යාපනික හා බලගැන්වීමේ කටයුතුවල නිරත වීමේ අයිතිය ඇතුළු ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහසට රජය ගරු කළ යුතු බව එම මූලධර්ම මගින් පෙන්වා දී තිබිණි. රජයේ බලධාරීන් සමඟ පැවැති හමුවේදී, රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් පෙන්වාදුන්නේ නවතම කෙටුම්පතේ සිවිල් සමාජයේ ස්වාධීනත්වයට හානි කරන ප්‍රතිපාදන ඇතුළත් වන බවයි.

දේශපාලන පාලනය

යෝජිත පනතේ එක් අරමුණක් වන රාජ්‍ය නොවන සංවිධාන එකම රජයේ බලධාරියකු යටතේ ලියාපදිංචි කිරීම මගින්ම ගැටලුවක් මතු නොවේ. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල, විශේෂයෙන්ම විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධාන, නියමිත බලධාරියකු වෙත ලියාපදිංචි වීම අනිවාර්ය වේ. එසේ කිරීමට සාධාරණ හේතු තිබේ. රට තුළ ක්‍රියාත්මක වන්නේ කිනම් සංවිධානද, ඔවුන්ගේ අරමුදල් ලැබෙන්නේ කොහෙන්ද, ඔවුන් නිසි ගිණුම් පවත්වාගෙන යනවාද සහ නීතියට අනුකූලව කටයුතු කරන්නේද යන්න දැන ගැනීමට රජයට අයිතියක් ඇත. තනි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් මගින් ශ්‍රී ලංකාවේ දැනට පවතින විවිධ හා විසිරුණු ක්‍රමවේදයන් වෙනස් කර පාරදෘශ්‍යභාවය වර්ධනය කිරීමට පවා පුළුවන. ගැටලුව ඇත්තේ, රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි වන්නේ කොතැනද යන්න පිළිබඳව නොවේ. ගැටලුව වන්නේ ලියාපදිංචියෙන් පසුව රජයට කළ හැක්කේ කුමක්ද යන්නයි.

ගැටලුව වන්නේ වත්මන් NGO පනත් කෙටුම්පත සහ ඊට පෙර පැ පැමිණි කෙටුම්පත් මගින් ලියාපදිංචිය යනු දැඩි අධීක්ෂණ පද්ධතියක ආරම්භය බවට පත්කිරීමට උත්සාහ කර තිබීමයි. වත්මන් පනත් කෙටුම්පත යටතේ අදාළ අමාත්‍යවරයා විසින් රාජ්‍ය නොවන සංවිධාන භාරව කටයුතු කිරීම සඳහා පත්කරනු ලබන ‘වගකිවයුතු නිලධාරියාට’ (Competent Authority) තොරතුරු ඉල්ලා සිටීමට, අධිකරණ වරෙන්තුවක් නොමැතිව රාජ්‍ය නොවන සංවිධාන පරිශ්‍රයන්ට ඇතුළුවීමට, ව්‍යාපෘති නිරීක්ෂණය කිරීමට, උපදෙස් නිකුත් කිරීමට, සංවිධානවල වැඩකටයුතු අත්හිටුවීමට සහ ලියාපදිංචිය අහෝසි කිරීමට පවා බලය හිමිවේ. මෙවැනි බලතලවලින් සන්නද්ධ වූ බලධාරී නිලධාරියකුට, ජාතික මැතිවරණයකට සති කිහිපයකට පෙර මානව හිමිකම් නිරීක්ෂකයකුගේ හෝ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායමක වැඩකටයුතු අත්හිටුවිය හැකි අතර, එමගින් සිදුවන හානිය වළක්වා ගැනීමට ස්වාධීන අධිකරණයක් හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීමට පවා අවස්ථාවක් නොලැබී යනු ඇත.

ඊට අමතරව, රාජ්‍ය නොවන සංවිධාන වෙත වසර තුනක කාලයක් සඳහා බලපත්‍රයක් නිකුත් කෙරෙන අතර එය වරින් වර අලුත් කළ යුතුවේ. නැවත ලියාපදිංචි වීමේ අවශ්‍යතාවය යනු, ස්වාධීන සංවිධානවලට තම පැවැත්ම උදෙසා පමණක් වුවද රජයේ ප්‍රතිපත්තිවලට අනුකූල වීමට බලපෑම් එල්ල විය හැකි යාන්ත්‍රණයක් බවට පත්විය හැකිය. මෙයට පැහැදිලිම උදාහරණය වන්නේ රාජ්‍ය නොවන සංවිධාන ‘රජයේ ප්‍රතිපත්ති සමඟ සමපාත විය යුතුය’ යන පනත් කෙටුම්පතේ ඇති අවශ්‍යතාවයි. මෙය පනත් කෙටුම්පතේ ඇති ප්‍රශ්නගත ප්‍රතිපාදනයක් වන්නේ, එය රජය සහ සිවිල් සමාජය අතර පවතින සබඳතාවය වෙනස් කරන බැවිනි. ගැටලුව වත්මන් ආණ්ඩුවම විය හැකිය, නැතහොත් නොවිය හැකිය. අනාගතයේදී පැමිණෙන අඩු ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග සහිත ආණ්ඩුවකට, තමන්ව විවේචනය කරන සංවිධානවලට එරෙහිව මෙම බලතලම භාවිත කළ හැකිය. යහපාලනය උදෙසා ‘වගකිවයුතු නිලධාරියා’ වැනි නියාමකයන් දේශපාලන පක්ෂපාතී බලපෑම්වලින් ස්වාධීන වීම අත්‍යවශ්‍ය වේ.

මූල්‍ය වංචා, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම්වලට එරෙහිව තදින් කටයුතු කළ යුතු බවට කිසිදු මතභේදයක් නොමැත. සැබවින්ම, දූෂණය අවම කිරීමට, වගවීම ශක්තිමත් කිරීමට සහ වඩාත් සාධාරණ සමාජයක් නිර්මාණය කිරීමට රජය දක්වන කැපවීමට බොහෝ සිවිල් සමාජ සංවිධාන සහාය දක්වයි. ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳ අන්තර්ජාතික ප්‍රමිතීන් මගින් ද මෙම පනත් කෙටුම්පතේ ඇති මෙවැනි දැඩි හා අනවශ්‍ය ප්‍රතිපාදන සාධාරණීකරණය නොකෙරේ. මූල්‍ය කාර්ය සාධක බලකාය (FATF) රටවලින් ඉල්ලා සිටින්නේ ඉලක්කගත, සමානුපාතික සහ අවදානම් මත පදනම් වූ පියවර ගන්නා ලෙසයි. FATF හි 8 වැනි නිර්දේශය මගින් මුළු රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රයම ආරක්ෂක තර්ජනයක් ලෙස සැලකීමට එරෙහිව විශේෂයෙන් අනතුරු අඟවා ඇත. ශ්‍රී ලංකාවේ ජාතික අවදානම් තක්සේරුව මගින් ද නිගමනය කර ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය තුළ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම පවතින්නේ අඩු මට්ටමක සිට මධ්‍යම මට්ටමක් දක්වා බවයි.

දේශපාලනික වරදක්

ආණ්ඩුවේ විරුද්ධවාදීන් නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ, ආණ්ඩුව බලය කේන්ද්‍රගත කරගන්නා බවත්, ස්වාධීන මතයන් ඉවසන්නේ නැති බවත් පෙන්වාදීමටයි. වත්මන් යෝජිත NGO පනත මගින් මෙම චෝදනාවට තවදුරටත් විශ්වසනීයත්වයක් ලබාදෙයි. මෙහි ප්‍රතිවිපාක දේශීය දේශපාලනයෙන් ඔබ්බට ද පැතිර යා හැකිය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, සංහිඳියාව සහ යහපාලනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අන්තර්ජාතික ප්‍රජාව සමඟ දිගටම කටයුතු කරයි. යුරෝපීය සංගමයේ GSP ප්ලස් තීරුබදු සහනය ලබාගැනීමට ද ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සහ අයිතිවාසිකම් සුරැකීම සහ ප්‍රවර්ධනය කිරීම අත්‍යවශ්‍ය වේ. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සීමාකරන බවක් පෙනෙන්නට තිබෙන පනත් මගින් අනිවාර්යයෙන්ම විවේචන එල්ල වන අතර, එම සබඳතා සංකීර්ණ වනු ඇත. ශ්‍රී ලංකාව වැඩි අන්තර්ජාතික විශ්වාසයක් සහ ආයෝජන අපේක්ෂා කරන මෙවැනි මොහොතක, මෙය තමන් විසින්ම කරගන්නා අනවශ්‍ය පසුබෑමක් වනු ඇත.

සාමාන්‍යයෙන් රාජ්‍ය නොවන සංවිධාන මගින් මානුෂීය ආධාර, දිළිඳුකම පිටුදැකීම, කාන්තා බලගැන්වීම, සාමය ගොඩනැගීම, අධ්‍යාපනය, ආබාධිතයන්ගේ අයිතිවාසිකම් සහ පාරිසරික ආරක්ෂණය වැනි ක්ෂේත්‍රවලදී රජයේ උත්සාහයන්ට සහයක් ලබාදෙයි. රජයේ ධාරිතාව සීමිත ස්ථානවල බොහෝවිට ඔවුන් කටයුතු කරන බැවින්, ඔවුන් නිරන්තර අධීක්ෂණය අවශ්‍ය සංවිධාන ලෙස නොසැලකිය යුතුය. මූල්‍ය වගවීම තහවුරු කිරීම සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ මුදල් විශුද්ධිකරණයෙන් ආරක්ෂා වීමේ අරමුණු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත නිදහසට සහ අන්තර්ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන්ට ගරුකරන ඉලක්කගත නීති මගින් ළඟා කර ගත හැකිය. නීත්‍යානුකූල සිවිල් ක්‍රියාකාරකම් අධෛර්යමත් කරන දේශපාලන අනුකූලතාවයක් හෝ පුළුල් විධායක බලතල ඒ සඳහා අවශ්‍ය නොවේ.

රජයේ බලධාරීන් සමඟ පැවැති හමුවේදී, රාජ්‍ය නොවන සංවිධාන යෝජනා කළේ, සිවිල් සමාජ කණ්ඩායම් සහ රාජ්‍ය නොවන සංවිධාන සමඟ සාකච්ඡා කර යෝජිත පනත් කෙටුම්පත නැවත සලකා බලා සංශෝධනය කරන ලෙසයි. එම ඉල්ලීමට ධනාත්මක ප්‍රතිචාරයක් ලැබිණි. ජනාධිපති අනුර කුමාර දිසානායක ද ප්‍රජාතන්ත්‍රවාදී පුනරුදය, පිරිසිදු පාලනය සහ සාධාරණ සමාජයක් ගැන වරින් වර අදහස් දක්වා ඇත. එම පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී දර්ශනය අගය කරන රජය තුළ සිටින පිරිස් එය ජයග්‍රහණය කරන බවට වගබලා ගත යුතුය. රාජ්‍ය සේවයේ සහ ආරක්ෂක අංශවල ඇතැම් පටු ආකල්ප සහිත අංශවලට ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය සමඟ පවතින සබඳතාව තීරණය කිරීමට ඔවුන් ඉඩ නොදිය යුතුය. එමගින් රජයේ ප්‍රජාතන්ත්‍රවාදී කීර්තිනාමය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය ද දුර්වල වනු ඇත. ප්‍රජාතන්ත්‍රවාදී රජයකට ස්වාධීන සිවිල් සමාජයක් අවශ්‍ය වන්නේ එහි පාලකයකු ලෙස නොව, සහකරුවකු ලෙසය.

No comments

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.

leave a comment