Colombo Telegraph

යුද අපරාධ චෝදනාවන්ට මුහුණදීමේදී ලංකාවට බි‍්‍රතාන්‍ය ආණ්ඩුවෙන් පාඩම් ගත හැකිය

ජෙහාන් පෙරේරා

ජෙහාන් පෙරේරා

ලංකාවේ සිවිල් යුද්ධයේ අවසාන අදියරේදී සිදුවිණැ යි කියන යුද අපරාධ ගැන සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මානව හිමිකම් ප‍්‍රජාව එක දිගටම පෙනී සිටීම ලංකාවේ බොහෝ දෙනා සළකන්නේ රටට එරෙහිව ජාත්‍යන්තර ප‍්‍රජාව දරණ අගතියක සාක්ෂියක් වශයෙනි. කෙසේ වෙතත්, ශ‍්‍රී ලංකා ආණ්ඩුව අද මුහුණදෙන තත්වය, ජාත්‍යන්තර තලයේ වර්ධනයන්ගෙන් වෙන් කොට ගත හැකි නොවේ. ඉරාකයේ සිටි බි‍්‍රතාන්‍ය හමුදා කණ්ඩායම් විසින් කරන ලදැ යි කියන ‘සංස්ථානික’ අපහරණයන් ගැන ‘මූලික පරීක්ෂණයක්’ පවත්වන බව ‘ජාත්‍යන්තර අපරාධ අධිකරණය’ දැන් ප‍්‍රකාශයට පත්කොට ඇති තත්වය තුළ, බි‍්‍රතාන්‍යයේ උසස් පෙළේ හමුදා සහ දේශපාලන නායකයන් ගණනාවකට යුද අපරාධ පරීක්ෂණයකට යථා කාලයේ දී මුහුණදීමට සිදුවෙනු ඇත. එවැනි සිදුවීම් 400 කට වැඩි ගණනක් ඉදිරිපත්ව තිබේ. ඒවා තුළ, ‘යුද අපරාධ ගනයට ගැනෙන, කුරිරු සහ අමානුෂික වධහිංසනයන් සහිත නින්දනීය සිදුවීම් දහස් ගණනක්’ ඇතුළත් වන බව සැළයි. ඒ ගැන, ‘ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ’ වෙබ් අඩවිය මෙසේ සඳහන් කරයි: ‘‘මෙම කාර්යාලට ලැබී ඇති පැමිණිලි අනුව, 2003 සිට 2008 දක්වා අත්අඩංගුවේ පසු වූ රැුඳවියන් සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ නිලධාරීන් ආයතනික මට්ටමින් කරන ලදැ යි කියැවෙන අපහරණයන් පිළිබඳ අළුත් තොරතුරු ඇතුළත් වෙයි.’’

මේ චෝදනාවල සැර බාල කිරීමට බි‍්‍රතාන්‍ය ආණ්ඩුව බැලූවත්, ඒ සමගම ඒවා ගැන තමන්ගේම පරීක්ෂණයක් පවත්වන බවත් එය සහතික කොට තිබේ. බි‍්‍රතාන්‍ය හමුදාවන් ආයතනික මට්ටමින් අයථා ක‍්‍රියාවන්හි යෙදුණු බවට කෙරෙන චෝදනා ‘මුළුමණින් ප‍්‍රතික්ෂේප කරන’ බව කියන එරටේ නීතිපතිවරයා, එසේ වෙතත්, බි‍්‍රතාන්‍ය අධිකරණ පද්ධතිය තුළ ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණ පැවැත්වන බවට ද සපථ කරයි. බි‍්‍රතාන්‍ය සොල්දාදුවන් ‘ලෝකයේ උසස්ම ගනයේ ලා සැලකිය හැකි කොටසක්’ වශයෙන් හඳුන්වන ඔහු, සන්නද්ධ සේවාවන්ගෙන් ‘අති බහුතරය, දේශීය මෙන්ම ජාත්‍යන්තර නීතියට ද අනුගතව, ඉහළ ප‍්‍රමිතියකින් කටයුතු කරන’ බව කියා සිටී. එහෙත්, ජාත්‍යන්තර අධිකරණයේ පරීක්ෂණය සමග සහයෝගයෙන් කටයුතු කිරීමට පොරොන්දු වන ඔහු, ‘බි‍්‍රතාන්‍ය අධිකරණ පද්ධතිය නිසි කි‍්‍රයාපිළිවත් මත ක‍්‍රියාත්මක වන බව පෙන්වීමට අවශ්‍ය කරන සියලූ දෙයක්ම සපයන බවත්’ කියා සිටී.

වසර තුනක්ම ගතව ඇතත්, ඉතිහාසය පරීක්ෂාවට ලක්කිරීමේ අතපසු වූ කටයුත්ත යළි ඇරඹීම සඳහා අවස්ථාවක් දැන් ලංකාවට ලැබී ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තුන්වැනි සහ අවසාන යෝජනාව තුළ වගවීම පිළිබඳ ප‍්‍රශ්නය සැළකිල්ලට ගැනෙන විධිවිධාන දෙකක් ඇතුළත් වුණි. මුලින්ම, විශ්වාසය තැබිය හැකි දේශීය පරීක්ෂණයක් අදාළ සිදුවීම් සම්බන්ධයෙන් පවත්වන්නැයි එයින් ඉල්ලා සිටියේය. දෙවැනුව, ඊට කලින් මේ කාරණය ගැනම සම්මත කරගත් යෝජනා දෙකක් ගැන ද සැලකිල්ල දක්වමින් ඒවාට අනුකූලව, සෑහීමකට පත්විය හැකි ප‍්‍රගතියක් දැකීමට නැති බවත් පෙන්වා දුන්නේය. ඒ නිසා, තමන්ගේම වන ස්වාධීන පරීක්ෂණයක් පවත්වන්නැ යි මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයෙන් අවසාන යෝජනාව මගින් ඉල්ලා සිටීම, දෙවැනි විකල්පයක් විය.

එක්සත් ජාතීන්ගේ පරීක්ෂණය

තමාගේ කාර්යාලය මගින්, ‘වගවීම පිළිබඳ කාරණය ඉදිරියට ගෙන යාමටත්, ඒ මගින් රටේ ජාතික සංහිඳියාව ඇති කිරීමටත් ඉවහල් වන පූර්ණ විභාගයක් පැවැත්වීම සඳහා, විශේෂඥයන් සහ විශේෂ බලධාරී කණ්ඩායමකගේ සහයෝගය ඇතිව කටයුතු කරන කාර්යභාර කණ්ඩායමක් පත්කොට ඇති’ බව, ළඟදී විශ‍්‍රාම යාමට නියමිත, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් නවීනාදන් පිල්ලේ සඳහන් කළාය.

මේ කණ්ඩායම සමග සහයෝගයෙන් කටයුතු කිරීමටත්, ඔවුන්ට ලංකාවට පැමිණීමට පහසුකම් සැලැස්වීමටත් කොමසාරිස්වරිය කළ ඉල්ලීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව දැක්වු ප‍්‍රතිචාරය මුළුමණින් නිෂේධනීයයි. එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයක් තමන් විසින් භාර නොගැනීමට හේතු දක්වමින්, ජිනීවා නුවර ශ‍්‍රී ලංකා නියෝජිත කාර්යාලය සැර ප‍්‍රකාශයක් නිකුත් කෙළේය. එසේ ඉදිරිපත් කරන ලද හේතු අතරින් එකක් වුණේ, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීත්වය සහ නිදහස එවැනි පරීක්ෂණයක් මගින් අභියෝගයට ලක්කෙරෙන බවයි. ඊළඟට, මෙවැනි ජාත්‍යන්තර ක‍්‍රියාමාර්ගයකට පිවිසීමට පෙර, අදාළ සිදුවීම් පිළිබඳ සොයා බැලීමට තිබෙන දේශීය නීතිමය ප‍්‍රතිපාදන සියල්ල පාවිච්චියට ගෙන තිබිය යුතුය යන අන්තර්ජාතික නීතියේ මූලධර්මය මේ මගින් උල්ලංඝනය වන බවත් එම කරුණු දැක්වීමේ සඳහන්ව තිබුණි. එසේම, ජාත්‍යන්තර පරීක්ෂණය මෙහෙයවීම සඳහා පත්කොට ඇති ඇතැම් පුද්ගලයන්ගේ යෝග්‍යතාව ද ඒ මගින් ප‍්‍රශ්න කෙරුණි.

ගිය වසරේ සැප්තැම්බර් මාසයේ නවිනාදන් පිල්ලේ මහත්මියගේම ලංකා සංචාරයේ අත්දැකීම් ආණ්ඩුවට තිබේ. එම සංචාරය අවසන් වුණේ කර්කශ ආකාරයකිනි. සංචාරය අවසානයේ ඈ දුන් වාර්තාව ද, ලංකාවේ ආණ්ඩුකරණය සහ මානව හිමිකම් තත්වය පිළිබඳ ඉතා විවේචනාත්මක එකක් විය. දැන් ඈ ඉල්ලා සිටින්නේ මේ පරීක්ෂණය ඉදිරියට ගෙන යාමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව සහයෝගය දැක්විය යුතු බවයි.

එක්සත් ජාතීන්ගේ යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීමට, ජාත්‍යන්තර ප‍්‍රජාවේ පක්ෂග‍්‍රාහී භාවයක් පිළිබඳ චෝදනාවක් හෝ ලංකාවේ ස්වෛරීත්වය පිළිබඳ තර්කයක් හෝ වලංගු වන්නේ නැත. එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් වන සියලූ රාජ්‍යයන් නීතියේ ආධිපත්‍යය පිළිපැදීමටත්, මානව හිමිකම් ආරක්ෂා කිරීමටත් බැඳී සිටී. එසේම, මානව හිමිකම් උල්ලංඝණයන් සහ යුද අපරාධ පිළිබඳ චෝදනා විභාග කර බැලීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඊට අනුබද්ධ වෙනත් ආයතනත් බැඳී සිටී. එසේ නොවුණහොත්, එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය, තනි තනි රටවල්වලට අවශ්‍ය පරිදි හිතුමතේට භාර ගැනීමට හෝ නොගැනීමට ලක්වන නිකංම කොල කෑල්ලක් බවට පත්වනු ඇත. අඩුම වශයෙන්, තවම ප‍්‍රයෝජනයට ගෙන නැති දේශීය ප‍්‍රතිකර්ම මේ සඳහා ඇති බව ජාත්‍යන්තර ප‍්‍රජාවට පෙන්නුම් කිරීමට ලංකාවේ ආණ්ඩුවට පුලූවන් විය යුතුය.

තමන්ට විරුද්ධව දැන් එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍ය අනුගමනය කිරීමට යන ප‍්‍රතිපත්තිය සේ පෙනෙන්නේ එයයි. ඇත්ත වශයෙන්ම, ශ‍්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ සියල්ල ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ ද එයමයි. එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයට විකල්පයක් වශයෙන් විශ්වසනීය දේශීය පරීක්ෂණයක් පැවැත්වෙන්නේ නම් තමන් ඊට අනුග‍්‍රහය දක්වන බව එම විපක්ෂයේ පක්ෂ කියා සිටී. එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයට එරෙහිව ආණ්ඩුව පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවට තමන්ගේද සහයෝගය අවශ්‍ය නම්, පසු ගිය කාලයේ දකුණේ සිදුවූ බරපතල අවස්ථා ගණනාවක් පිළිබඳ විභාග කොට මාස තුනක් ඇතුළත එහි වාර්තාව නිකුත් කොට වැරදිකරුවන් නීතිය ඉදිරියට පමුණුවන්නැ යි ජනතා විමුක්ති පෙරමුණ, අදාළ යෝජනාවට සංශෝධනයක් ගෙන එමින් පසුගිය දා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. අනිත් අතට එක්සත් ජාතික පක්ෂය පෙන්වා දුන්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් පත්කළ පරීක්ෂණ කණ්ඩායමක් සමග සහයෝගයෙන් කටයුතු කිරීම එකහෙලා ප‍්‍රතික්ෂේප කිරීම, තමන්ගේම වරදකාරීත්වයක් භාර ගැනීමක් මෙන්ම, තමන්ගේ පැත්තෙන් කරුණු දැක්වීමට ඇති අවස්ථාවක් නැති කර ගැනීමක් ද වන බවයි. විපක්ෂයේ මේ යෝජනා ආණ්ඩුව භාරගන්නේ නම්, ‘ජාත්‍යන්තර අපරාධ අධිකරණය’ සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යය අනුගමනය කරන පිළිවෙතට සමාන පිළිවෙතකට අපට ද මාරු විය හැකිය.

ආණ්ඩුවේ ප‍්‍රවේශය

කෙසේ වෙතත්, ජාත්‍යන්තර පරීක්ෂණයක් ප‍්‍රතික්ෂේප කිරීමේ තමන්ගේ ප‍්‍රතිපත්තියට වඩාත් පුළුල් වලංගු භාවයක් ලබා ගැනීම සඳහා දැන් ආණ්ඩුව කෙළේ එවැන්නක් සමග සහයෝගයෙන් කටයුතු කළ යුතු දැ යි පාර්ලිමේන්තුවෙන් විමසා සිටීමයි. ඒ ගැන ආණ්ඩුවේ ස්ථාවරය කල් තියාම කියා තිබුණි. එම යෝජනාවේ දැක්වුණු පරිදි, ‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් කෙරෙන එවැනි පරීක්ෂණයක් නිසා ශ‍්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාවටත්, රට යළි ගොඩනැගීමේ සහ පුනරුත්ථාපන කිරීමේ ක‍්‍රියාවලියටත් හානි පැමිණය හැකි නිසා ද, රටේ ස්වෛරීත්වය සහ ඒකාග‍්‍රතාව එයින් පලූදු විය හැකි නිසා ද, පාර්ලිමේන්තුව එවැනි පරීක්ෂණයක් ප‍්‍රතික්ෂේප කළ යුතුව තිබේ’.

ආණ්ඩුවට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ඇති හෙයින් මෙම යෝජනාව සම්මත කර ගැනීම ප‍්‍රශ්නයක් නොවුණි. කෙසේ වෙතත්, මෙම කාරණය එම සභාව ඉදිරියට ගෙනයාමේ ආණ්ඩුවේ ප‍්‍රයත්නය පසුපස ඇත්තේ රට අභ්‍යන්තරයේ පවතින දේශපාලනික හේතු බව පෙනෙන්ට තිබේ. එක්සත් ජාතීන්ගේ පරීක්ෂණයකින් ඇති විය හැකි ප‍්‍රතිවිපාක ගැන අවබෝධයක් ආණ්ඩුවට ඇතත්, මෙහි දී වැදගත් වන්ට ඇත්තේ, ඉදිරි මාස කිහිපය තුළ දී පැවැත්වෙන්ට නියමිත මැතිවරණයන් ය. මැතිවරණ ජයග‍්‍රහණය සඳහා ආණ්ඩුව උපරිමයෙන්ම ජාතිකවාදය පාවිච්චි කොට ඇත. දැන් පවා ආණ්ඩුවේ සාමාජිකයන් විපක්ෂයෙන් ඉල්ලා සිටින්නේ එක්සත් ජාතීන්ගේ යෝජනාව ඉදිරියේ තමන් දේශපේ‍්‍රමීන් ද දේශද්‍රෝහීන් දැ යි පෙන්නුම් කරන ලෙසයි. යුද්ධ කාලය අතරේදීත්, එය නිමා වූ විගසිනුත්, ජාතිකවාදය තමන්ගේ පැත්තට පාවිච්චියට ගැනීමට ආණ්ඩුවට හැකි විය. දැන් එක්සත් ජාතීන්ගේ යෝජනාව සහ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර පරීක්ෂණය ඉදිරියේ නැවත වතාවක් එම ජාතිකවාදය තමන්ගේ වාසියට ගැනීමට ආණ්ඩුවට අවස්ථාව පෑදී තිබේ.

එහෙත් එවැනි පරීක්ෂණයක් ප‍්‍රතික්ෂේප කිරීම නිසා ඇති විය හැකි ප‍්‍රතිවිපාක ගැන ද ආණ්ඩුව දැනුවත් විය යුතුය. එය, තනි පාර්ශ්වයක් පමණක් පෙනී සිටින නඩු විභාගයක් බඳු ය. තනි පාර්ශ්වීය නඩුවක තීන්දුව ලැබෙන්නේ වැඩියත්ම උසාවිය ඉදිරියේ පෙනී සිටින පාර්ශ්වයේ වාසියට ය. එවැනි විනිශ්චයක්, ආණ්ඩුවේ ආයු කාලයෙනුත් එහාට බලපෑමේ අවදානම සහිත ය. ඊළඟ මැතිවරණය සමහර විට ආණ්ඩුව ජය ගැනීමට පුලූවන. එහෙත්, රටට දීර්ඝ කාලීනව එයින් ඇති කළ හැකි අනතුර ගැන ආණ්ඩුව සංවේදී විය යුතුය. ආණ්ඩුව මෙසේ රණ්ඩු කරගන්නේ, තමන් ද කොටසක් වශයෙන් සිටින, ජාත්‍යන්තර රාජ්‍ය පද්ධතිය සමග ය. යම් කිසි ප‍්‍රශ්නයක් හෝ ව්‍යාකූලත්වයක් ඇති වූ විට ආණ්ඩුවක් සහ රටක් වශයෙන් කළ යුත්තේ, එම ජාත්‍යන්තර එකමුතුවේ ප‍්‍රථම ප‍්‍රතිපත්තීන්ගේ සහාය පැතීමයි. එනම්, අදාළ පාර්ශ්ව සියල්ල තම තමන්ගේ ක‍්‍රියාවන් විවෘතව සහ සද්භාවයෙන් යුතුව හැසිරවීමයි. දුෂ්කර සහ පැටලිලිකාරී ප‍්‍රශ්න විසඳාගත හැකි එකම මාර්ගය එයයි. ඒ නිසා, ජාත්‍යන්තර ප‍්‍රජාව සමග රණ්ඩුවට යාම වෙනුවට, ඔවුන් සමග සහයෝගයෙන් කටයුතු කිරීමේ මාර්ගය අපේ පාර්ලිමේන්තුව තෝරාගන්නේ නම් මැනවි.

*2014 ජුනි 16 වැනි දා‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Sri Lanka Can Learn From British Government In Facing Up To War Crimes Charges නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page