
ජෙහාන් පෙරේරා
ලබන මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ අභියෝගයට මුහුණදීමට රජය සූදානම් වෙමින් සිටී. විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ප්‍රමුඛ ශ්‍රී ලාංකික නියෝජිත පිරිස ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 63 වැනි සැසිවාරයට සහභාගී වීමට නියමිත අතර, එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ලිඛිත යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරනු ඇත. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය විසින් සකස්කරන ලද වාර්තාවේ පූර්ව පිටපතට රජය දැනටමත් සිය ප්‍රතිචාරය ලබා දී තිබේ. කොළඹ සහ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් සමඟ විදේශ කටයුතු අමාත්‍යවරයා සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පැහැදිලි කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එබැවින් මෙය රජයට ඉතා වැදගත් අවස්ථාවකි. මෙය තමන්ගේ වාර්තාව සාධාරණීකරණය කිරීමට පමණක් නොව නව කැපවීම් පෙන්වදිමටද ලැබෙන අවස්ථාවකි.
අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, විශේෂයෙන්ම වසර තිහක යුද්ධයට සම්බන්ධ සිදුවීම් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳව පෙර සිටි පාලනයන් මෙන්ම වත්මන් ආණ්ඩුවද විවේචනයට ලක්ව ඇත. අතුරුදහන් වූ දහස් සංඛ්‍යාත පිරිස පිළිබඳ ගැටලුව මෙම විවේචනවල ප්‍රධාන තැනක් ගනී. අතිරේක කාර්ය මණ්ඩලයක් සහ සම්පත් ලබාදෙමින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ශක්තිමත් කිරීමට රජය උත්සාහ කර තිබේ. එමෙන්ම චෙම්මනි සමූහ මිනීවළේ කැනීම් කටයුතු සඳහාද සහාය ලබා දී ඇත. කැණීම් සහ ඊට අදාළ නෛතික කටයුතු සඳහා රජය රුපියල් මිලියන 57ක් වෙන්කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවට පවසා ඇති අතර, එම අගය වෙනත් ස්ථානවල සිදුකළ මේ හා සමාන අධිකරණ වෛද්‍ය මෙහෙයුම්වල පිරිවැය සමඟ සසඳා නැත.
අතුරුදහන් කරවීමට ලක්වූවන්ගේ අන්තර්ජාතික දිනය සලකුණු කිරීම සඳහා යාපනයේදී ජාතික මට්ටමේ උත්සවයක් පැවැත්වීමටද රජය සැලකිය යුතු පියවරක් ගත්තේය. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති මහේෂ් කතුලන්ද, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දේශපාලන නියෝජිතයන් සමඟ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ද මෙම උත්සවයට සහභාගී විය. ඔවුන්ගේ සහභාගීත්වයේ අරමුණ වූයේ මෙම ගැටලුව විසඳීමට රජයේ ඇති කැපවීම ප්‍රකාශ කිරීමයි. එහෙත් වින්දිතයන්ගේ පාර්ශ්වයෙන් තවමත් පවතින්නේ අප්‍රසාදයකි. යාපනයේ පැවැති සැමරුම් උත්සවයට එරෙහිව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට අතුරුදහන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන් විසින් විරෝධතාවක් සංවිධානය කර තිබූ අතර, ඔවුන්ගේ ප්‍රකාශයන්ට අනුව හමුදාවට බාර වූ හෝ හමුදාව විසින් රැගෙන ගිය පසු නැවත තොරතුරක් නොලැබුණු තම ඥාතීන්ට සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට අවශ්‍ය බව ඔවුහු අවධාරණය කළහ.
යාපනයේ විරෝධතා
යාපනයේ පැවැති විරෝධතා මගින් මතක්කර දෙන්නේ රජය කිරීමට උත්සාහ කරන දේ සහ වින්දිතයන් අපේක්ෂා කරන දේ අතර තවමත් පවතින පරතරයයි. මෙම පවුල්වලට, තමන්ට අහිමිවූවන්ට සැබවින්ම සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට මිස වන්දි සහ මරණ සහතික ආදේශකයන් නොවේ. විරෝධතාවල නිරත වූ ඇතැම් පිරිස්වලට එරෙහිව පොලීසිය ගත් ක්‍රියාමාර්ග සහ විරෝධතා පිළිබඳව අන්තර්ජාතික සහ දෙමළ ජනමාධ්‍ය මෙන්ම අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන විසින්ද වාර්තා කරන ලද අතර, යාපනය උත්සවයේදී රජය පෙන්වීමට බලාපොරොත්තු වූ බොහෝ දේ ඒ හමුවේ යටපත් විය. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ බලතල වන්නේ, අතුරුදහන් වූ තැනැත්තන්ගේ ඉදිරිපෙළ තොරතුරු සහ සිටින ස්ථානය තහවුරු කිරීම, ඔවුන් අතුරුදහන් වූයේ කුමන හේතුවකින් දැයි පැහැදිලි කිරීම සහ ඔවුන්ගේ පවුල්වලට සහන සහ සහාය ලබාදීමයි. ඒ අනුව පැමිණිලිවල සත්‍යතාව තහවුරු කිරීම, එකම පැමිණිල්ල දෙවරක් සටහන් වී ඇත්නම් ඒවා ඉවත්කිරීම, තවමත් පැමිණිලි කර නොමැති පිරිස් ඉදිරියට පැමිණීමට දිරිමත් කිරීම සහ වන්දි ලබාදීම් ඇතුළු අනෙකුත් සහන සැලසීමට එම කාර්යාලය කටයුතු කර ඇත. වින්දිතයන්ගේ පවුල් මෙම කාර්යාලය වෙතින් අපේක්ෂා කරන්නේ තම ආදරණීයයන් අතුරුදහන් වූ ආකාරය පැහැදිලි කිරීමට තවදුරටත් කටයුතු කරනු ඇති බවයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ වන්තරුමූලෙයි හි පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී, එවකට භාරකාර නිලධාරී මහාචාර්ය ටී. ජයසිංගම් ඇතුළු අවතැන් වූ දහස් සංඛ්‍යාත පිරිසක් ඉදිරියේ වටකර බලහත්කාරයෙන් රැගෙන ගිය අවතැන් වූ දෙමළ ජාතිකයන් 158 දෙනකු අතුරුදහන් වීම ඊට එක් උදාහරණයකි.
අතුරුදහන්වූවන්ගේ පවුල් සඳහා ලබාදෙන සහන ඉහළ නැංවීමටද රජය කටයුතු කර ඇති අතර, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයේ විමර්ශන වේගවත් කරන බව පවසයි. එහෙත් තවමත් ඉටුනොවී පවතින වැඩකටයුතුවල ප්‍රමාණය ඉතා විශාලය. අධිකරණ අමාත්‍යවරයාට අනුව තවමත් විමර්ශනය කිරීමට පැමිණිලි 11,000ක් පමණ ඉතිරිව ඇති අතර, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය වාර්තා කර ඇත්තේ සිදුවීම් 31ක පමණක් අවසාන තොරතුරු තහවුරු කරගෙන අදාළ පවුල් වෙත පෞද්ගලිකව දැනුම් දී ඇති බවයි. රජයේම දත්තවලට අනුව, අතුරුදහන්වූවන්ට සිදු වූ දේ හෝ සිටින ස්ථානය තහවුරු කිරීමේ ප්‍රතිශතය පවතින සමස්ත නඩු සංඛ්‍යාවෙන් සියයට එකකටත් වඩා අඩුව පවතී. වැඩි සම්පත් සහ කාලය ලබාදුන්නද අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයට කළ හැකි කටයුතු වල සීමාවක් පවතී. එහි බලතල ප්‍රධාන වශයෙන් සකස් වී ඇත්තේ තනි තනි අතුරුදහන් වූ තැනැත්තන්ගේ තොරතුරු සහ සිටින ස්ථානය තහවුරු කිරීමටයි. වින්දිතයන් සහ සමස්ත රටම අපේක්ෂා කරන අතීතය පිළිබඳ පූර්ණ, ප්‍රසිද්ධ අනාවරණයක් ලබාදීම එහි අරමුණ නොවීය.
2015 දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ අතීතය දෙස පුළුල් ලෙස බැලීමේ ප්‍රවේශයක කොටසක් ලෙස මෙවැනි කොමිෂන් සභාවක් පිහිටුවීමට කැපවිය. රජය දායකත්වය දැක්වූ මානව හිමිකම් මණ්ඩලයේ 30/1 යෝජනාවලිය මගින්, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයක් සහ හානිපූර්ණය සඳහා වන කාර්යාලයක් සමඟ ‘සත්‍යය, මනුෂ්‍යත්වය, සංහිඳියාව සහ නැවත සිදුනොවීම සඳහා වන කොමිෂන් සභාවක්’ පිහිටුවීමට යෝජනා කිරීම විශේෂයෙන් අගය කරන ලදී. කෙසේවෙතත්, සත්‍යය සෙවීමේ යාන්ත්‍රණයක් සඳහා වූ කැපවීම කිසිවිටෙකත් ඉටුවූයේ නැත. රජය දැන්වත් එවැනි ආයතනයක් පිහිටුවීමට සලකාබැලිය යුතුය. තමන්ට වැදගත් වන පොරොන්දු ඉටුකිරීමට රජය අපොහොසත් වන බවට උතුරේ සහ නැගෙනහිර දෙමළ ජනතාව තුළ වර්ධනය වන හැඟීමක් පවතී. තමන්ට වැදගත් වන ගැටලුවලදී, මෙයද පෙර පැවති සියලුම ආණ්ඩු මෙන් සිංහලයන් බහුතරය දරන ආණ්ඩුවක් බව ඔවුන්ට හැඟේ.
සත්‍යය තහවුරු කිරීම
පසුගිය වසර දෙක තුළ රජය වැඩි අවධානයක් යොමුකළේ ආර්ථිකය, සංවර්ධනය, දිළිඳුකම පිටුදැකීම, දූෂණය සහ අපරාධ මර්දනය වැනි මුළු රටටම වැදගත් යැයි සලකන ගැටලු කෙරෙහිය. කෙසේවෙතත්, ජාතික ඒකමතිකභාවය යනු යුද්ධයේ තුවාල තවමත් සුවනොවූ පිරිස් ඇතුළුව සියලුම ජනකොටස්වල ගැටලුවලට විසඳුම් සෙවීම බව රජය පෙන්වාදිය යුතුය. රජයේම ඇතැම් ආයතන මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට පටන් ගෙන තිබේ. ජාතික ඒකාබද්ධතාව සහ සංහිඳියාව සඳහා වන කාර්යාලය මෑතකදී ‘යකාවැව සිට නන්දිකඩාල් දක්වා’ නමින් නාට්‍යයක් වේදිකාගත කළ අතර, එමගින් යුද්ධයෙන් සිදු වූ විනාශය අභිබවා යන මිනිසුන් අතර සබඳතා නිරූපණය විය. කැබෙතිගොල්ලෑව බස් බෝම්බ ප්‍රහාරයේ සිට නන්දිකඩාල් කලපුව ආශ්‍රිත යුද්ධයේ අවසාන දින දක්වා දෙපසම පැවැති වේදනාවන් මෙන්ම පූර්ව නිගමනයන් නාට්‍යයෙන් නිරූපණය විය. එහි ප්‍රධාන පණිවිඩය වූයේ ක්ෂමා කිරීමකින් තොරව සංහිඳියාවක් පැවතිය නොහැකි බවයි.
දෙපසම හිංසනයට ලක්වූ පවුල්වල සාමාජිකයන් මෙහි රඟපෑවා යන්න ඉතාම සංවේදී කරුණක් විය. එල්.ටී.ටී.ඊ. කළුකොටි නායකයකුගේ පුත්‍රයෙක් සහ හමුදා නිලධාරියකුගේ දියණියක්ද, විනාශයන් සිදුවූ ස්ථානවල අත්දැකීම් ලැබූ සහ දිවි ගලවාගත් අනෙකුත් පිරිස් සමඟ මෙහි රඟපෑහ. රාජ්‍ය ආයතනයක් සංහිඳියාවේ මෙම පණිවිඩය ඉදිරියට ගෙනයෑමම, අතීතය සමඟ කටයුතු කිරීමට රජය තුළ ඇති විවෘතභාවයට සාක්ෂියකි. රාජ්‍ය යාන්ත්‍රණය ඉතා පුළුල් නිසා ඕනෑම සිවිල් සංවිධාන ව්‍යාපාරයකට තනිවම ළඟාවිය හැකි ප්‍රමාණයට වඩා වැඩි ජනතාවක් වෙත ළඟාවීමට රාජ්‍ය ආයතනයකට හැකියාව ඇත. සත්‍යය සෙවීමේ ක්‍රියාවලියේ මීළඟ පියවර ලෙස සත්‍යය සහ සංහිඳියා කොමිෂන් සභාවක් පිහිටුවීම කෙරෙහි රජය දැඩි ලෙස සිතාබැලිය යුත්තේ මෙම සන්දර්භය තුළ ය. ඊට පත්කරනු ලබන පිරිස දේශපාලන වශයෙන් පක්ෂපාතී නොවන අය මෙන්ම සියලුම ජනකොටස්වලට පිළිගත හැකි අය බවට තහවුරු කර ගැනීමට විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
සත්‍යය සහ සංහිඳියා කොමිෂන් සභාවකට පමණක් අතීතයේ සියලු තුවාල සුවකළ නොහැක. අවශ්‍ය අවස්ථාවලදී පැවැත්වෙන අපරාධ විමර්ශන හෝ අධිකරණ ක්‍රියාමාර්ග වෙනුවට එය යෙදිය නොහැක. එහෙත් දැනට පවතින ආයතනවලට තනිවම ලබාදිය නොහැකි දෙයක් ලබාදීමට ඊට හැකියාව ඇත. එනම් වින්දිතයන්ට සවන්දිය හැකි සහ සත්‍යය තහවුරු කළ හැකි පුළුල් ජාතික ක්‍රියාවලියකි. රට තමන්ගේ අතීතය අනාගත පරම්පරාවට අනිසි ලෙස පවරා නොදෙමින්, එය පිළිගැනීමට පටන් ගැනීමට නම්, සිදුවූයේ කුමක්දැයි සාමාන්‍ය ජනතාව තේරුම්ගත යුතුය. රජය පියවර කිහිපයක් ගෙන ඇත. චෙම්මනි හි සත්‍යය සෙවීමට රජය සහාය දක්වයි. අතුරුදහන්වූවන්ගේ පවුල් වෙත ළඟාවීමට පටන්ගෙන තිබේ. රජයේම ආයතන සංහිඳියාවේ පණිවිඩ නිකුත්කරයි. එහෙත් මේවායින් තවමත් වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලැබී නොමැත. මීළඟ පියවර විය යුත්තේ අතුරුදහන්වූවන්ගේ සිට අතුරුදහන් වූ සත්‍යය දක්වාත්, එතැනින් පුළුල් සාධාරණත්වයක් දක්වාත් යන ගමන ආරම්භ කිරීම සඳහා මෙම උත්සාහයන් එක්තැන් කිරීමයි.