Colombo Telegraph

ඇමරිකාවේ ෆැසිස්ට්වාදයේ දුර්ගන්ධය

ජෝන් මෙත්තා –

මේ ගිම්හානයේ සහ සරත් කාලයේ, ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ ඇති වන හැඟීම් සහ පුද්ගල අත්දැකීම් අළලා මම සුළු ජාතිකයන් සමග සම්මුඛ සාකච්ඡා බොහොමයක් පැවැත්වූයෙමි. මේ සෑම සම්මුඛ සාකච්ඡාවකදීම මතු වූ එක් ප‍්‍රධාන කරුණක් තිබුණි: එනම්, මෙවැන්නක් සිදුවිය හැකි බව කවුරුත් දන්නා බවයි.

අපෙන් ඇතැමෙකුට, එම හැඟීම, වාතයේ පා වෙන යම් දුඟදක් සේ දැනිණ. මීට පෙර ජීවත් වූ පරම්පරා ගණනාවක් එම දුගඳින් මිරිකී, කෙසේ හෝ ජීවත් වීමට උගත්හ. එම අපිරිසුදු වාතාශ‍්‍රයෙන් අපේ පෙනහළු පිරෙන විට අපෙන් බොහොමයක් දෙනා කැස්සෝය. කෑගැසුවෝය. තවත් කෙනෙක් අනතුරු ඇඟෙව්වෝය.

එහෙත් ඒ ගැන අප කියූ කතා කිසිවෙකු විශ්වාස කෙළේ නැත. ඇතැමෙක් අපිට සිනාසුනහ. එම දුර්ගන්ධය සුළෙඟ් ගසාගෙන යනු ඇතැයි අපට සහතික වූහ. එහෙත් එය සුළෙඟ් ගසාගෙන ගියේ නැත. ඒ වෙනුවට, එක දිගටම වාතයේ දැවටුණේය. එන්න එන්නම වැඩි වුණේය.

අපෙන් සමහරෙකුට එය ගඳකට වැඩි දෙයක් වුණි. කොසෙන් සැම්ප්සන් වැනි අවාසනාවන්තයෙකුට එය රුදුරු කායික ප‍්‍රහාරයක් විය. පෙබරවාරි මාසයේ දවසක කොසෙන් තමාගේ රථය ඔරිගන් ප‍්‍රදේශයේ යම් තැනක ගාල් කෙළේය. එවිට කෙනෙකු ඇවිත් ඔහුගේ හිසට දැඩි පහරක් එල්ල කෙළේය. ඔහුගේ ඔලුව අල්ලා දොරේ ගැසුවේය. මිනිත්තු පහළොවක් යන තෙක් ඔහුට සිහිය ආවේ නැත.

ඒ ප‍්‍රහාරය සැළ වීමෙන් අපේ නගරය කම්පාවට පත්විය. එවැන්නක් විශ්වාස කිරීමට අපට නොහැකි විය. විශේෂයෙන්ම, ප‍්‍රහාරකයන්ගෙන් කෙනෙක් කොසෙන්ට ‘මුස්ලිම් වේසිගේ පුතා’ යැයි බැණ වැදීම අපට අදහාගත නොහැකි විය. මන්ද යත්, ඔහු මුස්ලිම් ආගමිකයෙකු නොවූ බැවිනි. ඔහු බෞද්ධ භික්ෂුවකි. බෞද්ධ භික්ෂුවකගේ ආදර්ශමත් ආරයට අනුව, කොසෙන් තම ප‍්‍රහාරකයන්ට මෛත‍්‍රීය පෑවේය.

‘‘මේක මුස්ලිම් ආගමිකයෙකුට නොවී මටම වෙච්ච එක ගැන මං සන්තෝස වෙනවා.’’ යැයි පසුව, පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඔහු ප‍්‍රකාශ කෙළේය.

මගේ රටෙන් තුනෙන් පංගුවක මා අනාරක්ෂිත ය.

මේ ප‍්‍රහාරය ගැන සහ එහි අරුත ගැන අපි පල්ලියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙළෙමු. පෙබරවාරිය වන විට ඒ ජාතිවාදය සහ සුදු ජාතිකවාදය නැගී එන සැටි අපට පෙනෙන්ට තිබුණි. අහිංසක බෞද්ධ භික්ෂුවකට පහර දීමම කම්පාව දනවන්නකි. ඊටත් වඩා, ඔහු නොවන යම් දෙයක් වෙනුවෙන් ඔහුට පහර කෑමට සිදුවීම ඊටත් වඩා කම්පාවකි. සමහර විට ඔහු පහර කෑවේ, ‘සුදු නොවීම’ නිසාදෝ යන සැකය එදා අපේ සිත් තුළ වැඩ කෙළේය.

එසේ වෙතත්, මගේ නගරය එය හුදෙක් තනි සිද්ධියක් වශයෙන් සළකා බැහැර කෙළේය. එවැනි සුළු පිරිසක් කොයි නගරයකත් වෙසෙන බව කියා අපි අපේ සිත් හදාගත්තෙමු. ඒ ගඳ කාලයාගේ ඇවෑමෙන් හුළෙඟ් ගහගෙන යනු ඇතැයි අපි සිතුවෙමු.

එහෙත් මාස ගණනක් තිස්සේ එක දිගටම, සුළු ජාතිකයන්ට, සමකාමී කාන්තාවන්ට සහ සමකාමී පිරිමින්ට, ද්වි-ලිංගික සහ සංක‍්‍රාන්ති ලිංගික පුද්ගලයන්ට මෙන්ම, ආබාධිත පුද්ගලයන්ට එරෙහිවත් සුදු ජාතිකයන් විසින් ගෙන ගිය මැර ප‍්‍රහාරයන් ගැන වාර්තා විය. එහෙත් බොහෝ දෙනා, විශේෂයෙන් සුදු ජාතිකයන් සිතුවේ, ඒවා පොදු තත්වයක් වශයෙන් ගත නොහැකි හුදෙකලා සිදුවීම් පමණක් බවයි.

මිගෙල් කාලෝ එම කතාව මොහොතකටවත් විශ්වාස කෙළේ නැත.

මිගෙල්, ෆිලඩෙල්ෆියාහි ජීවත් වූ, කළු ජාතික මෝස්තර ශිල්පියෙකි. ඔහු සිය උපන් පළාත වන සැන් ෆ‍්‍රැන්සිස්කෝ වෙත එමින් සිටියේය. ‘මගේ සුදු ජාතික පෙම්වතියයි මමයි මේ ගිම්හානයේ කැලිෆෝනියා එනවා.’ ඔහු මා සමග කීය. ‘මුලින් අපි හිතං හිටියේ රට හරහා කාර් එකෙන් එන්න. ඒ එන අතරේ, ඇට්ලන්ටා, නිව් ඕර්ලියන්ස්, ඔස්ටින් සහ ෆීනික්ස් වගේ තැන්වල නතර වෙන්නයි බලාපොරොත්තු වුණේ. ඒත් දැන් අපි ඒ වැඬේ කරන්නේ නැහැ.’ ඒ වෙනුවට ඔවුන් ආවේ ගුවන් මගිනි. ‘මේ ගිම්හානයට කලින්, රටේ දකුණු පළාතේදී මට දැනුණේ, මං හොඳ ඇට්ටර කල්ලෙක් කියලයි. ඒත් දැන් මට එහෙම හිතන්න පුළුවන් කමක් නැහැ. මගේ රටේම, තුනෙන් පංගුවක කොටසකදී මට දැන් මගේ ආරක්ෂාව ගැන විශ්වාසයක් නැහැ.’ ඔහු කීය.

එසේ සිතුණේ මිගෙල්ට පමණක් නොවේ. ඇමරිකාවේ වෙසෙන බොහෝ සුළු ජාතික මිනිසුන් ක‍්‍රම ක‍්‍රමයෙන් ඔවුන්ගේ හැසිරීම් සහ ආකල්ප වෙනස් කර ගනිමින් සිටි බව පෙනෙන්ට තිබුණි. ලොස් ඇන්ජලිස් නුවර විසූ ආසියාතික කලාකාරියක් වූ මරිනා පාරතොටේ දී බිම බලාගෙන යාමට පුරුදු වූවාය. ‘‘චීන්නු මහ ජරා ජාතියක්’’ යැයි තමා අරභයා විටෙක පාරේ යමෙකු කියනු ඈට ඇසී තිබුණි.

පසුගිය ගිම්හානයේ විවිධ පුද්ගලයන් සමග කතා කරන විට මේ මාදිලිය සමාජය හරහා පොදුවේ පැතිරෙන බව මට පෙනුණි. විවිධ වාර්ගික සහ ආගමික සුළුතර ජනතාව මේ ගැන කතා කරමින් සිටියහ. අවට පරිසරයේ දැවටෙන ඒ දුගඳ ගැන ඔවුහූ නිතර කතාබහ කළහ. වෙනත් අයට ඒ ගැන පැමිණිලි කළහ. ‘වැඩපොළේදී මං හෙඞ්ෆෝන් දාගෙන ඉන්න පුරුදු වුණා.’ සුදු ජාතික සමකාමී කාන්තාවක් කීවාය. ඇය නීතිඥවරියකි. ඇගේ ගමන්සහායිකාව හා විවාහ වීමට ඈට අවශ්‍ය විය. ඒ සඳහා නීතියේ ප‍්‍රතිපාදනද තිබුණි. එහෙත් ඒ ගැන ප‍්‍රසිද්ධියේ කතා කිරීමට ඈ බිය වූවාය.

කළු ජාතික ලේඛකයෙකු සහ නළුවෙකු වන විලියම් ජේම්ස් පොලීසිය ගැන කතා කෙළේ චකිතයෙනි. ‘තර්ක කරන එකට වැඩිය අපි බලන්නේ ජීවිතේ බේරගෙන ගෙදර යන්නේ කොහොමද කියලයි’ ඔහු කීය. ඔහුගේ උස අඩි 4 ක් පමණි. එබැවින් ඔහු පාවිච්චි කළ රථය, අතින් පමණක් ක‍්‍රියාකැරැුවිය හැකි සේ නිෂ්පාදනය කරන ලද්දකි. ‘දවසක්, සුදු පොලිස්කාරයෙක් මාව නැවැත්තුවා. මුලින්ම මගේ උඩ ඉඳං පහළට බලලා, ඊළඟට වාහනේ රක්ෂණ සහතිකේ, ලියාපදිංචි සහතිකේ සහ මගේ රියැදුරු බලපත‍්‍රය වගේ දේවලූත් බැලූවා. ඊට පස්සේ පොලිස්කාරයා අහනවා, ‘මේ කාර් එක තමුසෙගෙද?’ කියලා. මොකක්ද ඒ ප‍්‍රශ්නේ තේරුම? අපිට තේරෙනවා මොකක්ද ඔහු අදහස් කරන්නේ කියලා. මගේ කාර් එකේ ඔක්කොම ලියවිලිත් බලලා, මේ වගේ කාර් එකක් හදලා තියෙන්නේම මං වගේ කෙනෙකුට එලවන්න පුළුවන් විදිහට කියලා පේන්න තියෙද්දිත්, ඒක මගේ කාර් එකද කියලා අහන එකේ තේරුම අපිට පැහැදිළියි. ඒත් මං ඒ කාරණය ගැන තර්ක කරන්න හරි ඒක පොලිස්කාරයාට පැහැදිළි කරලා දෙන්න හරි ගියේ නැහැ. මොකද, මගේ පරමාර්ථය වෙන්නේ ජීවිතේ බේරගෙන කොහොම හරි ගෙදර යන එක නිසා. ඒක නිසා මං කිව්වා, ‘‘ඔව් සර්, මේක මගේ’’ කියලා. එච්චරයි.’

ඒ, 2016 ඇමරිකාවයි.

සුදු මිනිස්සු ඇමරිකාව 1850 ට රැුගෙන යති

ෆැසිස්ට්වාදය පිළිබඳ හදාරා ඇති දේශපාලනික ලේඛිකාවක් වන සාරා කෙන්ඩිසියෝර් ඇගේ විවිධ රචනාවලදී, එළැඹෙන ජනාධිපතිවරණයේ ඇති බරපතල ස්වභාවය ගැන සාකච්ඡා කොට ඇත. එහිදී ඈ පැහැදිළිව පෙන්වා දෙන වැදගත් කරුණක් වන්නේ, ‘එහෙම දෙයක් මෙහේ වෙන්න බැහැ’ යනුවෙන් පටන් ගන්නා මතවාදය අවසානයේදී ෆැසිස්ට්වාදයට පාර කපන අන්දමයි. ඇති විය හැකි ව්‍යවසනයක් වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන මාර්ගෝපදේශ ඇගේ රචනාවලදී ඈ ඉදිරිපත් කළාය. එහෙත් ඒ කිසිවක් කිසිවෙකු ගණන් ගත්තේ නැත.

පසුගිය අගෝස්තුවේදී මා මෙසේ ලියා තිබේ: ‘‘අප පැමිණ සිටින්නේ, ඇමරිකානු ඉතිහාසයේ ඓතිහාසික තීන්දුවක් ගත යුතු මොහොතකටයි. ප‍්‍රථම කළු ජාතික ජනාධිපතිවරයාගෙන්, ප‍්‍රථම කාන්තා ජනාධිපතිවරිය තෝරා ගැනීමෙන් අපට අපේ ඉතිහාසය අළුතින් ලිවිය හැකිය. එසේ ලිවීමට නොහැකි වන ඉතිහාසය ලියැවෙනු ඇත්තේ, ඇමරිකානු ඉතිහාසයේ ප‍්‍රථම ෆැසිස්ට් වාගාලාපකරුවෙකු විසිනි.’’

ඇමරිකාව දැන් තෝරාගෙන තිබේ.

එය සිදුවිය හැකි බවට ඉඟි ඕනෑ තරම් තිබුණි.

ඇතැමෙක් කෝපයට පත්ව සිටිති. ඇතැමෙක් දුකට පත්ව සිටිති. ඊට වඩා පිරිසක්, ඉස්සරට වඩා බියට පත්ව සිටිති. මේ ගිම්හානයේදී එවැන්නක ශක්‍යතාවක් තිබුණි. අද එය යථාර්ථයක් වී ඇත. මැතිවරණය දාට පසුව දා, විලියම් සහ මම මේ ගැන කතා කරමින් සිටියෙමු. අපේ කළු ජාතික මුතුන්මිත්තෝ, ‘කට පරිස්සමින්’ යැයි නිතර කීවෝය. ඒ, සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය කරලියට ඒමට කලිනි. අද සුදු ඇමරිකානුවා කරන්නේ ඇමරිකාව 1850 කාලයට නැවත රැුගෙන යාමයි. භූ සිතියම දැන් වෙනස් වෙමින් තිබේ.

ෆැසිස්ට්වාදය හිස ඔසවන්නේ, නිශ්ශබ්දතාව තුළ ය. සුදු ජාතිකයන් ඉතා සීග‍්‍රයෙන් අන්තවාදී දෙසකට ගමන් කරමින් සිටින බව පෙන්වන සිදුවීම් කොතෙක් සිදුවුණත්, මාධ්‍ය ඒවා ආවරණය කෙළේ නැත. නිශ්ශබ්දතාව ඇඟට ගුණ බව ඔවුන්ගේ තක්සේරුව විය. ඇමරිකානු නීතිඥ සංගමයට එරෙහිව නඩු පවරන බවට ඩොනල්ඞ් ට‍්‍රම්ප් තර්ජනය කළ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කිරීමට ඇමරිකානු නීතිඥ සංගමය බිය විය. නඩු පවරනු ලැබීමට බිය වූ නීතිඥයන්ගෙන් යුක්ත නීතිඥ සංගමයක්/ ෆැසිස්ට්වාදය හිස ඔසවන්නේ අන්න ඒ නිශ්ශබ්දතාව තුළයි.

*2016 නොවැම්බර් 10 වැනි දා ‘අල් ජසීරා’ වෙබ් අඩවියේ පළවූ “The Foul Stench of Fascism in The US” නැමැති ලිපියේ සිංහල අනුවාදය යහපාලනය ලංකා

Back to Home page