26 April, 2024

Blog

අවුරුදු 50කට පසුත් මිහිතලේ ශ්‍රේෂ්ඨතම කතාව

ජොනතන් පවර්

ජොනතන් පවර

වොෂින්ටන් නුවර ලින්කන් අනුස්මරණ ශාලාවේ පියගැට පෙළේ සිට, මීට අවුරුදු 50 කට පෙර, මාර්ටින් ලූතර් කිං ‘‘මගේ සිහිනයක් තිබේ’’ නැමැති ඔහුගේ ලොව කළඹන කතාව පැවැත්වීය. අද ‘යූ ටියුබ්’ විද්‍යුත් අඩවියේ එය නරඹන සහ අසන කිසිවෙකු උත්කර්ෂයෙන් ජ්වලිත නොවී සිටිත් ද? මා සිය වාරයක් එය අසා ඇති. තවමත් එය මාව කළඹයි. තමාගේ දරුවන් ඔවුන්ගේ ‘‘හමේ පැහැය මත නොව, ඔවුන්ගේ චර්යාව මත විනිශ්චය කෙරෙන ලෝකයක්’’ ගැන තමා සිහින දකින බවට ඔහු එදා කළ ප‍්‍රකාශය, එදා මෙදා තුර කෙනෙකුගේ ප‍්‍රසිද්ධ කතාවක හමුවන ශ්‍රේෂ්ඨතම වැකියකි. ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු කලාපය, ‘‘අසාධාරණයේ සැඩ රශ්මියෙන් ද, පීඩාවේ සැඩ රශ්මියෙන් ද විඳවන’’ බව ඔහු එදා කීය.

ඇමරිකානු සිවිල් යුද්ධය අවසන් වී වසර දහයක් ඇතුළත, ඇමරිකාවේ දකුණු කලාපයේ සුදු ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්, අළුතෙන් තමන් දිනා ගත් දේශපාලනික අයිතීන්ගෙන් කළු ජාතිකයන්ව පිටමං කෙරෙන ප‍්‍රාන්ත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සම්මත කරගෙන තිබුණි. එහෙත්, ඊට කලින් සිවිල් යුද්ධය ඇවිලී තිබුණේම, වහල් ක‍්‍රමය මුල් කරගෙනයි. ‘ක්ලූ ක්ලූක්ස් ක්ලෑන්’ වැනි ත‍්‍රස්තවාදී සංවිධාන, කළු ජාතිකයන්ගේ පාසල් සහ පල්ලි විනාශ කෙළේය. හිතේ හැටියට මිනී මැරුවේය. මාටින් ලූතර් කිං සිය දේශනය කරන මෑත අවදිය වන විටත් එවැනි දේවල් සිදුවෙමින් තිබුණි. ඔහුගේ කතාවෙන් සති හතරකට පසු, ‘ක්ලූ ක්ලූස් ක්ලෑන්’ ත‍්‍රස්තවාදියෝ, ඇලබාමා ප‍්‍රදේශයේ පිහිටි බැප්ටිස්ට් නිකායික පල්ලියකට බෝම්බ ගසා සිඟිති දැරියන් සිව් දෙනෙකු මරුමුවට පත්කළහ.

වොෂින්ටන් මහා පා ගමන සිදුවන අවස්ථාවේ මා සේවය කරමින් සිටියේ අප‍්‍රිකාවේ ය. එහෙත් සිවිල් අයිතිවාසිකම් පිළිබඳ ඊළඟ වැදගත් සිදුවීම වන අවස්ථාවේ -1965 දී- මම එහි සිටියෙමි. සුදු ජාතිකයෙකු සිටින කෝපි කඩයක වාඩි වෙන්නට පවා කළු ජාතිකයෙකුට අයිතියක් නොතිබුණු, ‘පිටමං නගරයක’ සිට මොන්ට්ගොමෙරි ප‍්‍රාන්ත අගනුවරට කෙරුණු කළු ජාතිකයන්ගේ මහා පා ගමනට එදා මාටින් ලූතර් කිං නායකත්වය දුනි. මේ පා ගමනට සහභාගී වූ මහ ජනතාවට කඳුළු ගෑස් ගසා, බැටන් ප‍්‍රහාර සහ කස පහර දී පාගා දැමීමත් සමගම රටේ සතරදිග් භාගයෙන් ජනීජනයා ඒ වෙත ගලා එන්නට වූහ. මාටින් ලූතර් කිං නැවතත් එහි දී කතා කෙළේය. ඇමරිකාව නැවතත් හෙල්ලූණේය. එයින් සතියක් ගිය තැන ජනාධිපති ලින්ඩන් ජොන්සන්, කළු ජාතිකයන්ගේ ඡන්ද අයිතිය අහුරන සියළු බාධක ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් තමා කොන්ග‍්‍රස් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ප‍්‍රකාශ කෙළේය.

තිරිසන් වියට්නාම් යුද්ධය තුළ ඇමරිකාව පැටලූවේ ද මේ ජනාධිපති ලින්ඩන් ජොන්සන්ම ය. එහෙත් ඔහු දැන් මේ කෙටුම්පත කොන්ග‍්‍රසය ලවා සම්මත කරවා ගත්තා පමණක් නොව, භෝජන ශාලාවල, අවන්හල්වල, ජනයා වාඩි වෙන පොදු ස්ථානවල, පොදු ප‍්‍රවාහන සේවාවල, අධ්‍යාපන ආයතන සහ රැුකියා ස්ථානවල කෙරෙන නොසැලකිලිකම් සහ කොන් කිරීම් නීති විරෝධී කෙරෙන ‘සිවිල් අයිතිවාසිකම් පිළිබඳ පනත’ ද ඔහු කොන්ග‍්‍රස් මණ්ඩලය ලවා සම්මත කරවා ගත්තේය.

විප්ලවය වුණේ එයයි. එහෙත් ඉන් පසුව, මාධ්‍යට මාටින් ලූතර් කිං ව බොහෝ දුරට අමතක වූ බවත් අප අමතක නොකළ යුතුය. ඇමරිකාවේ දකුණුදිග් භාගයේ සිට චිකාගෝ නුවරට සිය සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය ඔහු මාරු කරන අවස්ථාවේ මම ඔහු වෙනුවෙන් වැඩ කරමින් සිටියෙමි. ඊට සෑහෙන කලකට පෙර සිටම චිකාගෝ නුවර කළු ජාතිකයන්ට ඡන්ද බලය හිමිව තිබුණත්, මේ වන විටත් ඔවුන් ජීවත් වුණේ අන්ත දිළිඳු ගුබ්බෑයම්වලයි. ඔවුන්ගේ ළමුන් අධ්‍යාපනය ලැබුවේ නොදියුණු නරකාදි පාසල්වලයි. මැද පංතියකට කියා ඔවුන්ට තිබුණේ, ධර්ම දේශනා තියමින් ඔවුන්ව රැක බලා ගත් පූජක පංතියක් පමණි. එයින් පරම්පරාවක් ගිය තැන බරක් ඔබාමා වැඩ කළ ආකාරයෙන්ම, එදා අපිත් කළු ජාතිකයන්ගේ ගුබ්බැයම්වල විවිධ සමාජ සේවා වැඩවල නිරත වීමු. කුලී නිවැසියන්ව ඔවුන්ගේ හාම්පුතුන්ට අභිමුඛ කැරැවීමටත්, ආයුධ සන්නද්ධ දඩබ්බර කළු ජාතික කල්ලි එයින් මුදවාගෙන, ඔවුන්ට ඇතුළුවීම තහනම් කොට තිබූ සුදු ජාතික පෙදෙස්වලට කෙරෙන සාමකාමී පා ගමන් සඳහා ඔවුන්ව සහභාගී කරවා ගැනීමටත් අපි කටයුතු කෙළෙමු. අපේ වැඩවල යම් ප‍්‍රගතියක් තිබුණත්, දකුණ තරම් ලෙහෙසියෙන් උතුර වෙනස් කිරීම පහසු කාරියක් නොවුණි. පැල්පත් ප‍්‍රදේශයක පිහිටි මාටින් ලූතර් කිං ගේ කාර්යාලයේ එක් කාර්ය මණ්ඩල රැුස්වීමකට සහභාගී වෙමින් මේ ප‍්‍රශ්නය ජයගන්නා අන්දම අප වරක් සාකච්ඡුා කළ හැටි මට මතකයි.

රටේ මාධ්‍ය, ආචාර්ය මාර්ටින් ලූතර් කිං ව නොතකා හල නොහැකි වූ විට, කෙළේ ඔහුට ගැරහීම ය. රටේ ජන ස්ඵන්දනය සමග ඔහුගේ තිබූ සම්බන්ධය බිඳී ඇතැ යි චෝදනා එල්ල විය. වඩා දැඩි පිළිවෙතක් අනුගමනය කරන, සමහර විට හිංසාව පවා අනුයන පිරිස් – මැල්කම් එක්ස්, ස්ටොක්ලි කාමයිකල් සහ සන්නද්ධ බ්ලැක්-පැන්තර්ස්- කෙරෙහි මාධ්‍ය ආයතන ආවඩන්නට විය. එය, අවිහිංසාවාදයට වඩා අගනා පිටපතක් වශයෙන් ගැනිණ. පසුව වියට්නාම් යුද්ධයට මාර්ටින් ලූතර් කිං සිය විරෝධය පෑ අවස්ථාවේ, සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය සහ යුද විරෝධය එකට පටලවා ගත යුතු නැතැ යි, කියමින් ‘නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පත කතුවැකියෙන් පවා ඔහුව විවේචනය කෙළේය. (‘‘මං නෙවෙයි, ඒ දෙක පටලවනු ලැබුවේ, යුද්ධයෙන්’’ යැයි මාර්ටින් ලූතර් කිං ඊට පිළිතුරු දුනි). සුදු ජාතික ලිබරල් මතධාරීන් පවා මේ කාලයේ ඔහුව හැර යන්නට විය. සුදු ජාතික අධිපතිවාදී ඇමරිකානු දේශපාලනයේ මේ කෲරත්වය අද පහසුවෙන් අමතකව ගොසිනි. නැත්නම්, වැසැංගී ගොසිනි.

එහෙත් ආචාර්ය මාර්ටින් ලූතර් කිං ගේ උරුමය පනස් වසකට පසු අද අපට මැන බැලිය හැකිය. ඇමරිකානු ඉතිහාසයේ-සමහර විට ලෝක ඉතිහාසයේම පවා- කිසිවෙකු ඒ සා කෙටි කාලයක් තුළ එවන් සමාජ පෙරළියක් කිරීමෙහි සමත්ව නැත. සමාජයේ පීඩිත කොටස්වල සුභසිද්ධිය සඳහා ඔහු ඒ තරමට උපස්ථම්භක විය. අද වන විට ඇමරිකාවට කළු ජාතික ජනාධිපතිවරයෙකු ලැබෙතැ යි කාට නම් සිතිය හැකිව තිබුණි ද? එරටේ වෙසෙන කළු ජාතිකයන්ගේ ජීවිත මේ සා වෙනසකට භාජනය වෙතැ යි කාට නම් සිතිය හැකිව තිබුණි ද?

1959 දී කළු ජාතිකයන්ගෙන් සියයට 59 ක් ජීවත් වුණේ දරිද්‍රතාවයේ ය. කළු ජාතික තරුණයන්ගෙන් එදා විශ්ව විද්‍යාලයකට ගොස් තිබුණේ සියයට 4.5 ක් පමණි. 2010 වන විට, ඔවුන්ගෙන් සියයට 36 ක් උසස් අධ්‍යාපනය ලබා සිටි අතර ඔවුන්ගෙන් බොහොමයක් අද දිළිඳු නැත. නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ සාමාජිකයන් 10 දෙනෙකුගෙන් 1 කෙනෙක් අද කළු ජාතිකයෙකි. ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර සමාගම්වල අද කළු ජාතිකයන් මුල් තැන් හොබවන අතර, ආණ්ඩුවේ, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ, ව්‍යාපාරික සහ බැංකු ක්ෂේත‍්‍රයේ මෙන්ම හමුදාවේ ඉහළ නිලතල ද කළු ජාතිකයන්ට හිමි වෙයි. ඔවුන්ගේ මැද පංතිය වර්ධනය වී ඇත. ස්වයං-විශ්වාසයෙන් සහ ස්වයං-ගර්වයෙන් ඔවුන් අද සිටින්නේ ඉස්සරට වඩා ඉදිරියෙනි.

ඔවුන් සම්බන්ධයෙන් තවමත් අගතිගාමී වන සහ අසාධාරණ වන ක‍්‍රියා කලාපයන් පිළිබඳ ඇති ලැයිස්තුව ද දීර්ඝ ය. කෙසේ වෙතත්, කළු ජාතිකයන්ගේ ප‍්‍රගතියේ කෝච්චිය ගමන් ආරම්භ කොට බොහෝ කලකි. තවමත් එය සිය වේගය සරි කර ගනිමින් සිටී.

*50 years on and it’s still the greatest speech on earth ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.