24 April, 2024

Blog

විධායකයේ එදිරිවාදී ක්‍රියා සහ​ විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා

කරු ජයසූරිය

කරු ජයසූරිය

කරු ජයසූරිය

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ශ්‍රී ස්කන්ධරාජා මැතිතුමාගේ හදිසි අභාවය අප සනිටුහන් කරන්නේ මහත් කම්පනයෙන් යුතුවය.  එතුමා ස්වාධීන හා සක්‍රීය අධිකරණයක් පිළිබඳව විශ්වාසය තබා කටයුතු කළේය.  තමන්ට ඉන් අත්විය හැකි ප්‍රතිඵල නොසළකා,  බලධාරීන්ට නිර්භයව මුහුණ දීමේ ශක්තිය හා ශූරතාවය එතුමා තුල පැවතිනි.  මෙම ගුණාංගයන් විධායකය විසින් කොතරම් දුරකට හසුරුවන්නට යෙදුනේ ද යත්,  ඇතැමුන් එම බලපෑම්වල ගොදුරක් බවට පත්වීම නොවැළැක්විය හැකි විය.  මෙම බලපෑම් වලින් මිදී ක්‍රියා කිරිමට හැකි බුද්ධිමය හැකියාවත්,  නිර්භීත භාවයත් ශ්‍රී ස්කන්ධරාජා විනිසුරුතුමන් සතු විය.  එතුමා තම ජිවිතය පරදුවට තබා තමන් මහත් සේ උනන්දුවෙන් පෝෂණය කොට, රැක බලා ගත් නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරිම වෙනුවෙන් නිරතුරුවම පෙනී සිටියේය. මේ උදෙසා එතුමා දශක ගණනාවක සිය වෘත්තිමය ජිවිතය සහ උපරිමාධිකරණයෙහි සේවයේ යෙදීම මගින් රටට සේවය කිරීමට තිබු මහත් වෙහෙසී ලබා ගත් අවස්ථාවත් පරිත්‍යාග කළේය.  මේ සඳහා එතුමාට තිබු අයිතිය,  විධායකයේ හිතුවක්කාරී සර්වාධිකාරී ක්‍රියාවන් තුළින් විධායකය විසින් අසංවරශීලි සහ සාහසික ආකාරයෙන් අහිමි කරන ලදී.  විධායකයේ එදිරිවාදී ක්‍රියා එතුමාගේ ජීවිතය අකාලයේ උදුරා ගත් අතර,  එයින් සිදු වුයේ ස්වාධීන විනිසුරුවරයෙකුගේ සේවය සමාජයට අහිමි වීමයි.  නීතිය පසිඳලීමේ වෘත්තියෙහි එතුමාගේ අග්‍රස්ථානය වූයේ, ගොතන ලද චෝදනා මත 43 අගවිනිසුරුවරියට දඩුවම් පැමිණවීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ගනු ලැබූ හිතුවක්කාර තීරණය නිෂ්ප්‍රභා කරමින් අභියාචනාධිකරණයේ සභාපති ලෙස එතුමා විසින් දෙන ලද ඓතිහාසික තීන්දුවයි.  පාර්ලිමේන්තුව මෙම තීන්දුව සම්පූර්ණයෙන් නොතකා හරිමින් ඊට පටහැනිව ක්‍රියා කරමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයෙහි කලු පැල්ලමක් ඇති වීමට ඉඩ සැලසීය.

 දේශපාලන හිරිහැර මධ්‍යයේ ජිවිතයෙන් සමු ගැනීමට සිදු වූ අපේ යුගයේ ශ්‍රේෂ්ඨ විනිසුරුවරයකුගේ අභාවය පිළිබදව ශෝක වන සිවිල් සමාජය සමග අප ද එක්වන්නෙමු.

*එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන මාධ්‍ය නිවේදනය 2014.01.24

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.