23 April, 2024

Blog

කොළඹ සරසවියේ භූමිය කොල්ල කෑමේ අනතුරක් අබියස

කරුණාරත්න පරණවිතාන​ –

කරු පරණවිතාන​

කොළඹ සරසවියේ ග්‍රහලෝකාගාරය අවට තිබෙන ඉඩම් කොටස් සහ මුත්තයියා පාර නේවාසිකාගාර භූමි ප්‍රදේශය එම සරසවියට අහිමි වීමේ අවදානමක් මතුව ඇත.මේ ඉඩම් වෙනත් කටයුතු වලට අදාල ආයෝජන වෙනුවෙන් වෙන්කිරීමට එක්තරා ‘වියත් ඇමතිවරියක්’ මහත් උනන්දුවකින් යුතුව කටයුතු කරමින් සිටින බව කණින් කොනින් අැසෙයි.

මීට පෙරද “අගනුවර ලස්සන කිරීමේ ව්‍යාපෘතිය” කරගෙන ගිය මෙහෙයුම් කරුවන් කොළඹ සරසවිය දැන් තිබෙන තැනින් ඉවත් කොට කොළඹ නොව ගම්පහ දිවුලපිටියේ ස්ථාන ගත කිරීමට කයුතු කළ බව අප සිහියට ගත යුතුව ඇත. ඔවුන් දැන් යළිත් බලවත් වී ඇති බැවින් කොළඹ සරසවි ඉඩම දෙස තම කෑදර ඇස්ද කෙළ පෙරන කටවල්ද යොමුකරන බව පෙනේ. එදා ඒ දිවුලපිටි ව්‍යාපෘතිය ඔවුන් යට ගසා ගත්තේ අචාර්යවරුන් සහ සිසුන් මතු කළ විරෝධය නිසාය. දැන් එය වෙනත් ස්වරූපයකින් මතුවෙමින් තිබෙන බව පෙනේ.

කොළඹ සරසවි බිම සහ ගොඩනැගිලි අද තිබෙන මට්ටමට පළල් වූයේ ඉතිහාසයේ අවස්ථා කිහිපයකදීම සිසුන් හා ගුරුවරුන් ගෙන ගිය අරගලවල ප්‍රතිපල වශයෙනි. එයින් ප්‍රධාන වන්නේ 1994- 1995 වකවානුවේ එවකට සිසුන් ගෙන ගිය නේවාසිකාගාර සටනයි. එහි ප්‍රතිඵලයක් ලෙස ග්‍රහලෝකාගාරයට දකුණු පසින් පිහිටි දැනට කළමනාකරණ පීඨය පිහිටා තිබෙන භූමිය එහි තිබූ ගොඩනැගිලි සමග සරසවියට හිමි වූ අතර මුත්තයියා නේවාසිකාගාර භූමියද සරසවියට හිමි වූයේ එම සටනේම ප්‍රතිපලයක් ලෙසය.

එමෙන්ම පුංචි බොරැල්ල කිත්‍යාකර නේවාසිකාගාර ඉඩමේ අයිතිය සරසවියට තහවුරු වී නේවාසිකාගාරය පළල් වූයේද ඇක්වයිනාස් නේවාසිකාගාර විශාල වූයේද 1991- 1992 සමයේ වෛද්‍ය පිඨය අසල බ්ලොම්ෆොන්ටේන් නේවාසිකාගාරයේ සිදුකළ මාරාන්තික උපවාස සටනක අතුරු ප්‍රතිපලයක් ලෙසය.

දැනට ක්‍රීඩා අමාත්‍යංශය පිහිටා තිබෙන රේස් කෝට් ගොඩනැගිලිද 1994-1995 නේවාසිකාගාර සහ වාණිජ පීඨ සටනින් පසු සරසවියට හිමි වූ අතර පසුව පරිපාලනය විසින්ම එය තහවුරු කරගැනීම ඉදිරියට ⁣ගෙන නොගිය නිසා එය සරවියට අහිමි විය.

නීති පීඨයට බටහිරින් පිහිටි තුම්මුල්ලේ ලක්සල අලෙවි හල දක්වා තිබෙන බිම සහ ගොඩනැගිලි සරසවිය වෙනුවෙන් අත්පත් කරගැනීමට 1991 වසරේ සිසුන් ගෙන ගිය සටන පරාජය විය.
මේ සෑම අරගලයක්ම සිසුන් හා ගුරුවරුන් කළේ ඇඟ කසනවාට නොව කොළඹ සරසවිය නියම සරසවියක් ලෙස ගොඩනැගීමේ අදහස පෙරදැරි කරගෙනය. එම අරගලද නිකම් ‘කැඳ කෝප්ප’සටන් නොව සමහර සටන් මරණය පෙනි පෙනී කළ සටන්ය.

1990- 1995 කාලයේ සිදුවූ මෙම සිසු අරගල වල ප්‍රතිපලය වූයේ කොළඹ සරසවි භූමිය සහ සම්පත් දෙතුන් ගුණයකින් විශාල වීමය. මේ ඉතිහාසය පිළිබඳ බොහෝ තොරතුරු අප සතුව ඇත. (එසමයෙහි මේ සටන් වලට සම්බන්ධ වූ සිසුන් වූ අප මේ ප්‍රතිපල ගැන නිහතමානීව සතුටු වූවා මිස පුරාජේරු කතා කියන්නට නොගිය නිසා මේවා ගැන විකෘති ඉතිහාසයක්ද පසුකාලීනව ගොඩනැගී ඇති බව පෙනේ. එම නිසා එහි ඇත්ත ඉතිහාසය ලියා තැබීමද කාලීන අවශ්‍යතාවකි)

සිසු ගුරු අරගල මතින් තහවුරු වූ කොළඹ සරසවි භූමිය කොල්ල කෑමේ කෑදර අදහස වහා අකුලා ගන්නා ලෙස අපි බල කර සිටිමු.!

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.