5 December, 2020

Blog

වාම ජනතාවාදයක් කරා: දහ තුන් වන කොටස – දෘෂ්ටිවාදීමය සහ සංස්කෘතිකමය සටන් බිම

සුමිත් චාමින්ද

සුමිත් චාමින්ද

ජීවිතයේ තේරුම කුමක්ද? මේ ප්‍රශ්නයට දෙනු ලබන ජනප්‍රිය පිළිතුරු කිහිපයක් අපට නිතරම පාහේ අසන්නට ලැබේ. “දැන්වත් කසාදයක් බැඳගෙන දරු මල්ලන් හදා ගන්න අදහසක් නැද්ද? මොකද්ද ඔය ජීවිතේ තේරුම?” මා දන්නා හඳුනන ඇතැමුන් මගෙන් මේ ප්‍රශ්නය විමසා ඇති වාර ගණන අපමණය. එසේ අසන බොහෝ දෙනෙකු සාමාන්‍යයෙන් දාර්ශනිකයින් හෝ බුද්ධිමතුන් වශයෙන් ගණන් ගැනෙන අයවලුන් නොවේ. නමුත්, ඔවුන් විමසන්නේ සැබවින්ම දාර්ශනික ප්‍රශ්නයකි. අන්තෝනියෝ ග්‍රාම්ස්චිට අනුව සෑම අයෙකුම දාර්ශනිකයෙකු වන්නේ මේ අරුතිනි. සෑම අයෙකුටම ජීවිතය පිළිබඳව, ලෝකය පිළිබඳව කිසියම් දැක්මක් තිබේ. එම දැක්ම ඉදිරිපත් වන්නේ බොහෝ විට ඉහත කී ආකාරයේ ප්‍රකාශ ඔස්සේය. එම ප්‍රකාශ ඉදිරිපත් කරන්නන් සාමාන්‍යයෙන් තමන් දාර්ශනික ප්‍රකාශයක් කරන්නේ යැයි කියා පාන්නට යන්නේ නැත. නමුත්, සැබවින්ම ඔවුන් සරල බසින් ප්‍රකාශයට පත් කරන්නේ අප සමාජයේ මුල් බැසගෙන ඇති අධිපති දැක්මකි. එයින් කියැවෙන්නේ කසාදයක් බැඳගෙන දරු මල්ලන් හදා ගන්නේ නැති ජීවිතයකින් ඇති පලක් නොමැති බවය. එම දැක්ම ඔවුනට කොතරම් ස්වීයකරණය වී තිබේද යත්, එය ඔවුනට හැඟෙන්නේ බොහෝ විට තමන්ගේම අව්‍යාජ අදහසක් ලෙසය.

පොදු ජන අවබෝධය

ග්‍රාම්ස්චි පෙන්වා දෙන්නේ අපගේ ජන ජීවිතය සංවිධානය වී ඇත්තේ සහ හැඩ ගැස්වී ඇත්තේ ඉහත කී ආකාරයේ ව්‍යවහාරික දර්ශනවාදයන් මගින් බවයි. එම දර්ශනවාදයන් ඔහු හැඳින්වූයේ “දාර්ශනිකයන්” නොවන අයගේ දර්ශනවාදයන් නොහොත් පොදු ජන අවබෝධයන් (common sense) ලෙසයි. යමෙකු මෙම පොදු ජන අවබෝධයන් උකහා ගන්නේ තම පවුල, පාසැල, පන්සල සහ සෙසු සමාජ ආයතන ඔස්සේය. ඒවා සාමාන්‍යයෙන් යමෙකුට පිළිගන්වනු ලබන්නේ ප්‍රශ්න නොකර භාර ගත යුතු ආකාරයේ සමාජ චාරිත්‍ර ලෙසයි. (ලුවී අල්තුසර්ගේ වචනයෙන් කිව හොත්, භෞතික චාරිත්‍ර). ග්‍රාම්ස්චි තව දුරටත් පෙන්වා දෙන පරිදි පොදු ජන අවබෝධයන් කිසියම් සමාජ කණ්ඩායමක මානසික පුරුදු බවට පත්වේ; ඒවා පුද්ගලයන්ගේ චර්යාවන් පිළිබඳ ප්‍රතිමාන සකසයි; සදාචාරමය ආකල්ප සකසයි; සෞන්දර්යාත්මක ප්‍රමිතීන් නිර්මාණය කරයි. කොටින්ම පොදු ජනයාගේ ආගම වන්නේ මෙසේ නිමැවෙන ව්‍යවහාරික දර්ශනවාදයයි. සමාජවාදී දේශපාලනයට ග්‍රාම්ස්චි විසින් සිදුකරන ලද විශිෂ්ට දායකත්වයක් නම් ධනවාදය පෙරළා දැමීමේදී මෙසේ ජන සමාජය තුළ ස්ථාපිත වී තිබෙන ධනවාදී පොදු ජන අවබෝධයන්ද පරිවර්තනයට ලක් කළ යුතු බව පෙන්වා දීමයි.

මෑතකදී ස්ලේවෝයී ශිෂෙක්ද පොදු ජනයාගේ දර්ශනවාදය පිළිබඳ ග්‍රාම්ස්චියානු ප්‍රවාදයට සමාන්තරව යන පැහැදිලි කිරීමක් සිදු කොට තිබිණ. ඒ දැනට දින කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කරන ලද “වසංගතය 2: අහිමි කාලයක පුරාවෘත්ත” (2020) නමැති ඔහුගේ නවතම කෘතිය මගිනි. ශිෂෙක් තම කෘතිය ආරම්භ කරන්නේ ඉතාම ප්‍රායෝගික ප්‍රශ්නයක් විමසමිනි. එනම්, “දාර්ශනිකයෙකු අස්වනු නෙළීම ගැන ලිවිය යුත්තේ ඇයි?” යන ප්‍රශ්නයයි. වත්මනෙහි කොරෝනා වෛරස් වසංගතය හමුවේ ලොව පුරා අස්වනු නෙළීම සහ බෙදා හැරීම පිළිබඳ විශාල අර්බුධයක් නිර්මාණය වී තිබෙන බවත් මේ අර්බුධය විසඳා නොගතහොත් ඉදිරියේදී මහා සාගතයක් ඇති විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි. “එවන් තත්ත්වයක් තුළ හේගල් පිළිබඳ ලැකානියානු කියැවීමක් ගණන් ගන්නේ කවුරුන්ද?” තම විවේචකයින් නගන මෙවන් ප්‍රශ්නවලට ශිෂෙක් දෙන පිළිතුර වන්නේ මෙයයි: සැබවින්ම අප වත්මන් අර්බුධයට ප්‍රතිචාර දක්වන්නේ කුමන ප්‍රවේශයකින්ද යන්න නිශ්චය වන්නේ අපගේ ලෝක දැක්ම අනුවයි. ඒ අනුව, වසංගතය විසින් වෙනස් ලෝක දැක්මවල් අතර ගැටුමක්ද නිර්මාණය කොට තිබේ.

ශිෂෙක් මෙසේ ලියයි:

“අප මේ ගැටළුව සමග ගණුදෙණු කරන ආකාරය අවසාන වශයෙන් රඳා පවතින්නේ මානව ජීවිතය පිළිබඳ අපගේ මූලික ස්ථාවරය මතය. අප අපගේ පුද්ගලික නිදහසට බාධා කරන ඕනෑම දෙයක් ප්‍රතික්ෂේප කරන නිදහස්වාදීන්ද? අප බහුතර ජනයාගේ ආර්ථික සුබසෙත සඳහා දහස් ගණනක් ජීවිත පූජා කරන්නට සූදානමින් සිටින ප්‍රයෝජ්‍යතාවාදීන්ද? අප අපව ගලවා ගත හැක්කේ ශක්තිමත් රාජ්‍ය පාලනයක් හා නියාමනයක් මගින් පමණක් යැයි විශ්වාස කරන අධිකාරීවාදීන්ද? අප වසංගතය යනු සොබාදහමේ අනතුරු හැඟවීමක්, සොබාවික සම්පත් සූරාකෑම සඳහා ලැබුණු දඬුවමක් යැයි සිතන නව යුගයේ අධ්‍යාත්මවාදීන්ද? දෙවියන් හුදෙක් අපව පරීක්ෂාවට ලක් කරන්නේ යැයිද අන්තිමේදී අපට මගක් සොයා ගන්නට දෙවියන් උදව් කරනු ඇතැයිද අප විශ්වාස කරනවාද? මේ සෑම ස්ථාවරයක්ම මානව වර්ගයා යනු කුමක්ද යන්න පිළිබඳ සුවිශේෂී දැක්මක් මත රඳා පවතී. ඒ තාක් දුරට, අර්බුදය විසඳිය යුත්තේ කෙසේදැයි යෝජනා කිරීමේදී අප සියල්ලන්ම දාර්ශනිකයන් විය යුතුය.”

සිත් ගන්නා සුළු ආකාරයෙන් ශිෂෙක්ගේ ඉහත අවසන් ප්‍රකාශය සියලුම දෙනා දාර්ශනිකයන් වන්නේය යන ග්‍රාම්ස්චිගේ ප්‍රවාදය සමග මුළුමනින්ම සමාන වේ. සමකාලීන යුගයේ අග්‍රගණ්‍ය ලැකානියානු මාක්ස්වාදී දාර්ශනිකයා කාටත් තේරෙන භාෂාවෙන් වසංගතය ගැන ලියමින් සිටින්නේ දර්ශනයේ දේශපාලනය පිළිබඳ ඔහු සතු විශිෂ්ට අවබෝධය නිසා විය යුතුය.

පවුල සහ පෞද්ගලික දේපළ

ව්‍යවහාරික දර්ශනවාදයන් පිළිබඳ ඉහත තේරුම් කිරීම ඔස්සේ අපි දැන් පවුල පිළිබඳ පොදු ජන අවබෝධය වාම ජනතාවාදයක් සම්බන්ධයෙන් වැදගත් වන්නේ කෙසේදැයි සලකා බලමු. එය සැබවින්ම අදාළ වන්නේ වාමාංශික ජනතාවාදයේ වාමාංශික පැතිමානයටය. මේ කාරණය මනාව පැහැදිලි කර ගැනීමට නම් කසාදයක් බැඳ ගැනීමේ ජනප්‍රිය ප්‍රශ්නය සමග ගැට ගැසී එන සෙසු ප්‍රශ්න පෙළ දෙස අවධානය යොමු කළ යුතුය. “ගෙයක් දොරක් හදා ගන්නේ නැද්ද?”, “වාහනයක් ගන්නේ නැද්ද?”, “දරුවන් ලොකු ඉස්කෝලයකට දාගන්නේ නැද්ද?” යනු ඒ සෙසු ප්‍රශ්නයි. අප රටේ ධනවාදය තුළ ඊනියා සාර්ථක ජීවිතයක් පිළිබඳ මිණුම සකස්ව ඇත්තේ මෙම ප්‍රශ්නවලට දෙනු ලබන පිළිතුරු මතය. මෙරට වඩාත් ප්‍රසිද්ධ වෙළඳ දැන්වීම් බොහොමයක්ම සකස්ව ඇත්තේ ඊනියා සාර්ථක මධ්‍යම පන්තික පවුලක් පිළිබඳ ෆැන්ටාස්මතික අදහස කේන්ද්‍ර කොටගෙනය. මිනිසුන් වඩ වඩාත් භාණ්ඩ පාරිභෝජනයට පෙළඹවීම ධනවාදී නිදහස් වෙළඳපළ ක්‍රමයේ අත්‍යාවශ්‍ය අංගයකි. වත්මන් යුගයේදී වෙළඳපළ විසින් කරනුයේ හුදෙක් මිනිසුන්ගේ අවශ්‍යතා ඉටු කිරීම පමණක් නොවේ; එය නව අවශ්‍යතා නිර්මාණය කිරීමේද යෙදෙයි; ඉනුත් ඔබ්බට ගොස් වැඩි වැඩියෙන් භාණ්ඩ පාරිභෝජනය කිරීම ජීවිතයේ අර්ථය බවට පත් කර ගත් මනුෂ්‍ය සත්තාවක්ද නිර්මාණය කරයි. මෙකී පාරිභෝජනවාදයේ ප්‍රධාන ඉලක්ක බිම බවට අද පත්ව ඇත්තේ මධ්‍යම පන්තික පවුල නමැති දෘෂ්ටිවාදී නිර්මිතයයි. මෙකල සාර්ථක පවුලක් ගොඩ නැගීමේ ජීවන ව්‍යාපෘතියට අත ගැසූ අයෙකුට පාරිභෝජනවාදයේ දිය සුළියෙන් බේරී සිටීම පහසු කාර්යයක් නොවනු ඇත.

මේ අනුව, සමාජවාදය අරමුණු කොට ගත් කිසිදු දේශපාලන ක්‍රියාකාරිකයෙකුට පවුල සහ පුද්ගලික දේපළ ක්‍රමය අතර ගොඩ නැගී තිබෙන කතිකාමය බැම්ම නොතකා සිටිය නොහැකිය. (ස්ත්‍රීවාදියෙකුට නම් එය කෙසේවත් කළ නොහැකිය). වාමාංශික දේශපාලනයේදී පවුල පිළිබඳ විචාරය අතිශයින් වැදගත් වන්නේ මෙනිසාය. නමුත්, මේ කාරණයට අදාළව ශ්‍රී ලංකාවේ වාම දේශපාලනය තවමත් සීමා වී පවතින්නේ ෆ්‍රෙඩ්රික් එංගල්ස්ගේ “පවුල, පෞද්ගලික දේපළ සහ රාජ්‍යය ඇති වූ සැටි” නමැති කෘතියේ එන විශ්ලේෂණයට බැව් පෙනේ. නූතන න්‍යෂ්ටික පවුල සහ ධනවාදී පුද්ගලික දේපළ ක්‍රමය අතරැති ඓතිහාසික සබඳතාව වටහා ගැනීමට එම කෘතිය ප්‍රයෝජනවත් වුවද, වත්මන් ධනවාදය තුළ පවුල විසින් ඉටු කරනු ලබන අධිපති දෘෂ්ටිවාදී කර්තව්‍යය විශ්ලේෂණය කර ගැනීමට නම් අප එයින් බොහෝ ඔබ්බට ගමන් කළ යුතුව ඇත.

මෙහිදී ලුවී අල්තුසර්ගේ න්‍යායික සම්ප්‍රදානය වෙත හැරීම ප්‍රයෝජනවත් වනු ඇති බව මගේ අදහසයි. අල්තුසර් ඔහුගේ දෘෂ්ටිවාදී රාජ්‍ය උපකරණ පිළිබඳ විශිෂ්ට රචනාවේදී පවුල ඉතා වැදගත් දෘෂ්ටිවාදී උපකරණයක් ලෙස හඳුනා ගනී. ඔහුට අනුව, වැඩවසම් යුරෝපයේ ප්‍රධාන දෘෂ්ටිවාදී උපකරණ කට්ටලය වූයේ පවුල සහ පල්ලියයි (සිංහල ජන වහර තුළ “පවුලක් පන්සලක් වීම” යන යෙදුමෙන් සංකේතවත් වන්නේද එවන් තත්ත්වයක් විය යුතුය. මේ යෙදුමේ ව්‍යංගාර්ථයක් වන්නේ පවතින ක්‍රමයට අනුගත වීම නොහොත් “එස්ටැබ්ලිෂ්” වීමයි). ධනවාදය තුළ ඒ වෙනුවට පවුල සහ පාසැල ආදේශ වී ඇතැයි අල්තුසර් පවසයි. අප සමාජයේ ස්ථාපිත වී තිබෙන බොහෝ ධනවාදී දුෂ්ටත්වයන් අපට කුඩා කල සිට උගන්වනු ලබන්නේ පවුල නමැති දෘෂ්ටිවාදී උපකරණය විසිනි.

ජීවිතයට වෙනස් තේරුමක්

ඉහත විශ්ලේෂණය ඇසුරින් අපට ශ්‍රී ලංකාවේ වමේ දේශපාලනයේ මූලික ගැටළුවක් වෙත ප්‍රවේශ වීමට මාර්ගයක් විවර කර ගත හැකිය. එම ගැටළුව නම් ජීවිතයේ තේරුම කුමක්ද යන ප්‍රශ්නයට යම් යම් ප්‍රායෝගික පිළිතුරු ඉදිරිපත් කිරීමට ධනවාදය සහ ජාතිකවාදය සමත් වුවද (මේ දෙක අතර ඇත්තේ ඓතිහාසික සම්බන්ධයකි), වාමාංශය එහිලා එතරම් සමත්කම් දක්වා නොමැති වීමයි. එපමණක් නොවේ. වමට මේ ප්‍රශ්නය සඳහා වෙනස් ප්‍රවේශයක් නොමැති වීම නිසාවෙන් බොහෝ විට වමේ ක්‍රියාකාරීන්ද තම ව්‍යවහාරික ජීවිතය තුළ නිරත වී සිටින්නේ සාර්ථක මධ්‍යම පන්තික පවුල් ගොඩ නැගීමේ ව්‍යාපෘතීන් තුළය. (වඩාත්ම හාස්‍යජනක කාරණයක් නම් මෙරට ඇතැම් ස්ත්‍රීවාදීන්ගේද ව්‍යවහාරික ජීවිතයේ සැලකිය යුතු කොටසක් වෙන්ව තිබෙන්නේ පවුල නමැති අධිපති පීතෘමූලික ආයතනය පවත්වාගෙන යෑම වෙනුවෙන් වීමයි!) එවිට වාමාංශික ක්‍රියාකාරිකයාගේ පුද්ගලික පවුල්මය අවකාශය සහ පොදු දේශපාලනික අවකාශය එකිනෙකින් වෙන් වේ; පළමුවැන්න නිර්-දේශපාලනීකරණය වූ අවකාශයක් බවට පරිවර්තනය වේ. පුද්ගලයාගේ ආර්ථික සබඳතා පදනම් වන්නේ එම නිර්-දේශපාලනික පුද්ගලික අවකාශය තුළය. ආර්ථික ලිබරල්වාදයේ ප්‍රධාන තර්කණය වන්නේම මෙයයි. ඒ අනුව, සමාජවාදී විප්ලවය තම පොදු ජීවිතයේ ප්‍රධාන අරමුණ බවට පත් කර ගත් වාම ක්‍රියාකාරිකයාව ධනවාදී හෙජමොනියට අවනත කර ගැනීමේ සූක්ෂම යාන්ත්‍රණයක් මෙහිදී අපට නිරීක්ෂණය කළ හැකිය.

හොඳයි. මේ ගැටළුවට ඉදිරිපත් කළ හැකි විසඳුම කුමක්ද? පවුල සහ පුද්ගලික ප්‍රාග්ධන සමුච්චනය විවේචනයට ලක් කිරීම පමණක් ප්‍රමාණවත් වේද? නැතිනම්, පසුගිය කොටසේදී මා සාකච්ජා කළ පරිදි වාමාංශික ප්‍රතිජනනාත්මක දේශපාලනයක් අපට මේ සඳහා යෝජනා කළ නොහැකිද? මේ ප්‍රශ්නයට සදා නිම කළ පිළිතුරක් කිසිවෙකුත් සතුව නොමැති බව අමුතුවෙන් කිව යුතු නැත. නමුත්, එක් කාරණයක් ඉතාම පැහැදිලිය. එනම්, ශ්‍රී ලංකාවේ වාමාංශය මේ ගැටළුව බොහෝ දුරට නොසලකා හැර තිබෙන බවයි; ප්‍රධාන පෙළේ වමේ පක්ෂ මේ ක්ෂේත්‍රයට අත ගසාවත් නොමැත. මෙරට වාමාංශය පිළිබඳ සංස්කෘතික විචාරයක් ඉදිරිපත් කළ පැරණි එක්ස් (X) කණ්ඩායම විසින්ද සිදු කරනු ලැබූයේ මධ්‍යම පන්තික පවුල, ධනවාදී පාරිභෝජනවාදය සහ යුරෝ-ඇමරි වාණිජ සංස්කෘතිය උත්කර්ෂයට නැංවීමට වඩා අන් යමක් නොවේ. ඔවුන් “ශිෂ්ටත්වයේ සිහිනය” යන අදේශපාලනික යෙදුමෙන් හැඳින්වූයේ එයයි. එබැවින් මේ කාරණයේදී අපට පැරණි X කණ්ඩායමෙන්ද ඉගෙන ගැනීමට කිසිවක් නොමැත.

කෙසේ වුවත්, ලොව සෙසු තැන්වල වත්මන් විෂම-ලිංගික න්‍යෂ්ටික පවුල් ආකෘතියට එරෙහි විකල්ප (සමාජ පවුල් නොහොත් කොමියුන) සොයන්නන්, වෙනස් ආදර-ලිංගික ප්‍රජාවන් ගොඩ නැංවීමේ අත් හදා බැලීම් කරන්නන් ගොනු වන්නේ වාමාංශික දේශපාලනයේ පියසෙහිය. දෙවන ලෝක යුද්ධයට පසුව යුරෝපයේ ගොඩ නැගුණු හිපි ව්‍යාපාරය ඒ සඳහා කදිම නිදසුනකි. අවාසනාවකට, ශ්‍රී ලංකාවේ විශේෂයෙන්ම ජවිපෙ දේශපාලන සංස්කෘතික සම්ප්‍රදාය තුළ හිපි ව්‍යාපාරය වැනි විකල්ප සංස්කෘතික ප්‍රජාවන් දකිනු ලබන්නේ බැහැර කරන සුළු ආකල්පයකිනි. ඒ වෙනුවට අධිපති ගතානුගතික සංස්කෘතියේ ආරක්ෂකයින් බවට වමේ පක්ෂ පරිවර්තනය වී තිබේ. ඒ අනුව, කොමියුනිස්ට් පරමාදර්ශ ප්‍රායෝගිකත්වයට නගන වෙනස් සාමූහිකත්වයන් නොහොත් විකල්ප ප්‍රජාවන් ගොඩ නැංවීමේ අරගලය මෙරට වමට මග හැරී ගොස් තිබේ.

සැබෑ වාමාංශික ප්‍රතිජනනාත්මක දේශපාලනයක් සඳහා පළමුව කළ යුතුව ඇති අරගලයක් නම් තරුණ වාම ක්‍රියාකාරීන් මෙතෙක් කලක් තම වැඩිහිටි පරම්පරාවන්ට මග හැරුණු එම සංස්කෘතිකමය සහ දෘෂ්ටිවාදීමය සටන් බිමට නව දැක්මකින් යුතුව අවතීර්ණ වීමයි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.