
ගෝඨාභය ජනාධිපතිතුමාගේ ජනාධිපතිධූරයට වසරක් පිරෙන මේ මොහොතේදී ‘එතුමා අසමත්!එතුමා අසමත්!’ යැයි කියන්නාවූ (Sir Fail! Sir Fail) වාගාලාප රැල්ලක් සමාජ මාධ්‍ය අවකාශය පුරා වයිරල් වෙමින් තිබේ! මේ මොන විකාරයක්ද? එතුමා තමන් විසින් කළ යුතු යැයි අවංකව සිතනා බොහෝ කටයුතු මේ වන විටත් ඉටුකොට අවසානය. එතුමාගේ වසරක ශේෂ පත්‍රය ඇගයීම සදහා එතුමා විසින් මේ වන විටත් ඉටුකොට තිබෙන කාර්යභාරය ඉහටත් උඩින්ය.
කරුණාකර බඩු මිල ආදිය යාවත්කාලීන කිරීම සදහා පළ කරන ගැසටි පත්‍ර ආදියෙන් එතුමාගේ කාර්ය සාධනය නොමණිනු මැනවි! රාජ්‍ය නායකයකුගේ කාර්ය සාධනය මැණිය යුත්තේ දීර්ඝ කාලීන ප්‍රතිපල ලබා දෙන හරයාත්මක බලපෑමක් සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහයන්හි කරන්නාවූ කටයුතු වලට අදාලවය. එතුමා එවැනි හරයාත්මක වෙනස්කම් දෙකක් සිදු කර ඇත. මේ කෙට් විමසුම ඒ ගැනය.
පළමුවන සමත්කම
පළමුවැන්න ව්‍යවස්ථානුකූල ඒකාධිපති රාජාණ්ඩුවකට පදනම දැමීමය. එය එතුමා තමන්ගේම කටයුත්තක් ලෙස භාරගනිමින් ඉතා කර්යක්ෂමව ඉටුකළේය. අපි අපේ ජීවිත ගෙවමින් සිටියේ ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා හදුන්වාදුන් ඒකාධිපති ව්‍යවස්ථාව මගින් බිහිකරන ලද දේශපාලන ව්‍යුහයේ පල විපාක භුක්ති විදිමින්ය. ශිෂ්‍ය ව්‍යාපාර වල සිට ඇරඹූ අප සම්බන්ධ වූ සියලුම දේශපාලන ව්‍යාපාර වල මූලික අරමුණ වූයේ මේ ඒකාධිපති ව්‍යවස්ථා රාමුව මගින් ඇති කරන ලද මිනී මරු ඒකාධිපති දේශපාලන ගමනට ප්‍රජාතන්ත්‍රවාදී හැරවුමක් ලබා දීමය. කෙටියෙන්ම කියන්නේ නම් ගෝඨාභය මහතා හමුදා සේවයේ යෙදෙන කාලයේ අපි එතුමාගේ සහෝදර මහින්ද මහතා සමග පාද යාත්‍රා ජන ඝෝෂා වලට ගියේ ඒ ඒකාධිපති ගමන වෙනස් කරන්නටය. මහින්ද මහතා බලයට පත් කරන්න වැඩ කළේද ඒ අරමුණින්ය. වෙනස් වූයේ මහින්ද මහතා මිස අප නොවේ. මහින්ද මහතා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී සටනට පයින් ගසමින් ජේආර්වාදය වැළද ගනිද්දී අපි ඔහුගෙන් වෙන් වුනෙමු. එහෙත් මහින්ද මහතාට වුව සම්පූර්ණ කළ නොහැකි වූ කටයුත්ත මළනුවන් සාර්ථකව ඉටුකර ඇත.
දෙවන සමත්කම
දෙවනුව ජේ. ආර්ට හෝ මහින්දට කළ නොහැකිවූ තවත් කටයුත්තක්ද මේ වසරක් ඇතුළත ගෝඨාභය මහතා ඉටුකොට ඇත.එම හරයාත්මක කටයුත්ත නම් රට හමුදාකරණය කිරීමයි. “හමුදාවක් සහිත රජ්‍යයක් සහ රාජ්‍යයක් සහිත හමුදාවක්” යනු එකක් නොව දෙකකි. මෙතෙක් තිබුනේ හමුදාවක් සහිත රාජ්‍යයකි. ගෝඨාභය මහතා රාජ්‍යයක් සහිත හමුදාවක් ගොඩ නගමින් තිබේ. එම හමුදාවේ හමුදාපති එතුමාය. ඇත්තෙන්ම එය සමත් කමක් නොවේද? මොහුට පෙර ලංකාවේ බලයට පත් වූ කිසිම පාලකයකු එවැන්නක් කිරීමට තබා එවැන්නක් ගැන සිතුවේවත් නැත.
තුන්වන සමත් කම
දැන් අපට තේරීම් දෙකක් ඇත. එනම් ව්‍යවස්ථානුකූල ඒකාධිපති රාජාණ්ඩුවාදී රාජ්‍ය හමුදාවක් යටතේ ජීවත්වනවාද නොඑසේ නම් නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් ගොඩ නගා ගන්නවාද යන්නය. මේ මෑතක් වනතුරු අපේ රටේ බොහෝ උගත්තු වියත්තු ප්‍රජාතන්ත්‍රවාදයට සමච්චල් කළහ. එය ප්‍රජාතන්ත්‍රවාදය ග්‍රීක යුගයේ සිටම මුහුණ දුන් ප්‍රශ්නයකි. (ඇතැන්ස්හි පෙරික්ලීස් එයට මුහුන දුන්නේය.) එතරම් දුර යා යුතු නැත. ඩොනල්ඩ් ට්‍රම්ප්ව උඩ දැමූකාලයේ ඇමෙරිකානුවෝද ප්‍රජාතන්ත්‍රවාදයට කෝචෝක් කළහ. ලෝකයේ විවිධ දේශපාල දර්ශන මතවාද පාලන ක්‍රම පැමිණ බැබළී පරාභවය වී වැනසී ගියද ප්‍රජාතන්ත්‍රවාදය පමණක් විනාශ නොවී ඉතිරිව පවතින්නේ මන්ද යන්න සහ ප්‍රජාතන්ත්‍රවාදයේත් ජනරජවාදයේත් මහිමය මේ කොචොක්කරුවන්ට වැටහෙන්නේ ප්රශ්නය දාර්ශනික වූ විට නොව පුද්ගලික වූ විටය. ගෝඨාභය මහතා යනු ඉක්මණින්ම එම ප්‍රශ්නයද දාර්ශනික අවකාශයේ සිට පුද්ගලික අවකාශයට රැගෙන ආහැකි සමත් කමක් ඇති නායකයෙකි. එය එතුමාගේ තුන්වන සමත්කම වෙතැයි අපි සිතමු!