26 April, 2024

Blog

ගහ දන්නා අපට උද්‍යාන කඩා පෑම: කොළඹ සරසවි ඉඩම් කොල්ලය

කරුණාරත්න පරණවිතාන​ –

කරු පරණවිතාන​

කොළඹ සරසවි භූමියට අයත් ඉඩම් කොල්ල කෑමට දරන්නාවූ නින්දිත උත්සාහය ආණ්ඩුවේ අතේ පත්තු වෙමින් තිබේ. විද්‍යාර්ථීන්ගේ දැනූම්වත් කිරීම් හමුවේ මේ මංකොල්ලයට එ⁣රෙහිව දස අතින් ජනතා විරෝධය මතුවෙමින් ඇත. දැන් නාගරික සංවර්ධන අධිකාරිය පදය වෙනස් කරමින් කූට ඉඩම් කොල්ලයට පරිසරවාදී වෙස් මුහුණක් අන්දන්නට සැරසෙන බව පෙනේ. අධිකාරිය කියන්නේ මුත්තයියා නේවාසිකාගාර ඉඩම ගන්නේ ‘හරිත උද්‍යානයක්’ තැනීමට බවය. බලනු මැනවි පරිසර ප්‍රේමයක මහිමය!

මේ අයගේ පරිසර ප්‍රේමයේ කෙරුවාව වැඩි ඈතකදී නොව ඉතාම මෑතකදී සිංහරාජ අසබඩ ලංකාගම සිද්ධියේදී සහ අානවිලුන්දාව තෙත් භූමි සංහාරයේදී අපි දුටුවෙමු. ඉතින් ‘ගහ දන්නා අපට උද්‍යාන කඩා පෑමෙන්’ පලක් නැත. මේ සැරසෙන්නේ සීතා අරඹෙපොල මැතිනියගේ වදනකින්ම පවසතොත් ‘සුද්දයක් දෙන්නටය’ ඉඩම් සුද්දයකටය!.ගරානා ගොනා හැ⁣රෙන පැත්ත කෙරෝනා අස්සේ වුව අපට හොඳට පෙනේ. එහෙයින් මේ ඉඩම් සුද්දය අකුලා ගන්නා තුරු සටන් කිරීමට සිදුවනු ඇත.

ජාතික උරුමයන් යනු වෙහෙර විහාර මාළිගා, පුරා විද්‍යා ස්ථාන පමණක් නොවේ. නිදහස් මහජන අධ්‍යාපනයද ජාතික උරුමයකි. එය රැක ගැනීම ජාතික වගකීමකි. අද මේ සුද්දයට ඉඩ දුන්නොත් හෙට ශාස්ත්‍ර පීඨය රීඩ් මාවතෙන් ඉවත් කරන්න යැයි ‘ඉඩමි සුද්දෝ’ අපට කියනු ඇත.’දේශපාලන විද්‍යා’ ආදී මානව ශාස්ත්‍ර වැඩක් නැති බව ජනාපතිවරයාගේ හැගීම බව අප මෑතකදී දුටුවෙමු. එම නිසා මේ අසංස්කෘතික අවරසිකයන්ගෙන් බේරී මෙරට ජාතික උරුමයක් වන මහජන අධ්‍යාපනය සහ ඒවායේ සම්පත් නිරුපද්‍රිතව තිබේ යැයි අප මොහොතක් වත් සිහි මුලා කරගත යුතු නැත.

කොළඹ සරසවි විද්‍යාර්ථීන්ට විශේෂ වගකීමක් ඇත. කන්නන්ගර මැතිදුන්ට නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමට ශක්තිය දුන්නේ වල්පොල රාහුල හිමියන්ය. උන්වහන්සේ තම ප්‍රථම උපාධිය හැදෑරුවේද මෙම කොළඹ සරසවියහිමය. (එවකට මෙය විශ්ව විද්‍යාල කොලීජියක් ලෙස පැවතිනි) අප රට නිදහස් අධයාපනය ජාතික උරුමයක් බවට පත් කිරීමට පදනම දැමුවේ වල්පොල රාහුලයන්ය. කොළඹ සරසවි විද්‍යාර්ථීනි!එම ආදි ශිෂ්‍ය රාහුල මග ඔබට එළිය සපයනු ඇත!

සටහන – 1

කොළඹ සරසවියේ භූමිය කොල්ල කෑමේ අනතුරක් අබියස

 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.