4 December, 2020

Blog

කොළඹ සරසවි ඉඩම් මංකොල්ලයට එරෙහිව

කරුණාරත්න පරණවිතාන​ –

කරු පරණවිතාන​

ආණ්ඩුව ඇතුලේ සිටින ඩීල්කරුවන් කොළඹ සරසවියේ ඉඩම් කොල්ලකෑමේ අදහස තවම මුලුමණින්ම අතහැරදමා නැත. සරසවි සම්පත් රැකගැනීම සඳහා එහි වත්මන් සිසු-ගුරු ප්‍රජාව ගෙන යන සටනට දේශපාලන වාදභේද වලින් තොරව සහයෝගයක් අවශය මොහොතකි මෙය. නේවාසිකාගාර ඇතුලු දැනට තිබන භෞතික සම්පත් බොහොමයක් ලැබී ඇත්තේ අතීත සිසු ගුරු අරගල වල ප්‍රතිපල වශයෙන් බැවින් එම අරගල අවස්ථා පිළිබඳ මතකය අවදි කිරීමෙන් ඒවාට සමිබන්ධ වූ සියලු දෙනාටද වත්මන් සිසු අරගලයට සහයෝගය දීම සඳහා මානසික පෙළඹවීමක් ඇතිවීමෙන් වත්මන් සිසු අරගලයේ ජන සහයෝගිතා පදනම තවත් පුළුල් වනු ඇත. මේ සටහන එම යහපත් අරමුණ වෙනුවෙනි.

සියක් වසරක අධ්‍යාපන මෙහෙයුම

කොළඹ සරසවිය ‘යුනිවර්සිටි කොලීජියක්’ලෙස අරඹන ලද්දේ 1921දීය. ලබන 2021 අවුරුද්දට සියක් වසර පිරේ. හරිනම් ආණ්ඩුව කළ යුත්තේ එහි ඉඩම් කොල්ල කෑම නොව එහි සංවත්සරය සමරා ඉදිරි සිය වසර දෙස බලා එය තවත් දියුණු කිරීමට වැඩකිරීමය.

සියක් වසරකට පෙර එසේ අැරඹි අගනාගරික සරසවියට ආරම්භයේ සිටම ශිෂ්‍ය නේවාසිකාගාර නොතිබුන අතර පසුකාලය වන විට එය බරපතල ප්‍රශ්නයක් විය.

1988- 1989 භීෂණ යුගයෙන් පසු

89-89 භීෂණ යුගයෙන් පසු වසර තුනක් තිස්සේ වසා දැමූ සරසවි අතරින් මුලින්ම විවෘත වූයේ කොළඹ සරසවියයි. වසර තුනක් පැරණි සිසුන් මෙන්ම 87 ,88, 89 සරසවි ප්‍රවේශ වූවන්ද සහිතව විශාල සිසු ගහනයක් එක්වර නඩත්තු කිරීමට සරසවියට සිදුවිය. අධ්‍යයන කණ්ඩායම් දෙකක් එක විට ගැනීමේ (double batch) ක්‍රමය යොදමින් මේ විශාල පැරණි සහ නවක සිසු ගහනය අන්තර්ගහනය කිරීමට සරසවියට සිදුවිය.

අනෙකුත් සරසවි වලටද මෙය අභියෝගයක් වූ අතර ප්‍රශ්නය බරපතල වූයේ මුලින්ම විවෘත වූ කොළඹටය. එවකට කොළඹ සරසවිය සතුව තිබුනේ කුඩා නේවාසිකාගාර කිහිපයකි. හැව්ලොක් පාර ඇක්වයිනාස් (කාන්තා), බුලර්ස් පාර (කාන්තා) සේරම් පෙදෙස (පිරිමි), සේරම් පෙදෙස (වෛද්‍ය සිසුවියන්) සහ වෛද්‍ය පීඨය අසල බ්ලොම්ෆොන්ටේන් (පිරිමි) වශයෙනි. මේවා කිසිසේත් අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවිණි.තාවකාලික පිළියමක් ලෙස පරිපාලනය ව්සින් ⁣ගෙන තිබූ එක් පියවරක් වූයේ කොළඹ තදාසන්නයේ නි⁣වාස කිහිපයක් කුලියට ගෙන ඒවා ශිෂ්‍ය නේවාසිකාගාර බව⁣ට පත්කිරීමය. (රත්මලාන, ගලකිස්ස ටෙම්ප්ලර් පාර, දෙහිවල, කොහුවල, පැපිලියාන, කැළනිය )යන ස්ථාන වලද මදක් පසුවී රත්මලාන තෙලවලද මේ වර්ගයේ නේවාසිකාගාර ඇරඹිණි. පුංචි බොරැල්ල කිත්‍යාකර ඉඩමේ වෛද්‍ය සිසුන් සඳහා කුඩා නේවාසිකාගාර නිවසක්ද පවත්වාගෙන යමින් තිබිණි. මේ කිසිවකින් ප්‍රශ්නය විසඳුනේ නැත. නේවාසිකාගාර අහිමි වු දුප්පත් සිසුන්ගේ තත්වය දුක්බර වූ අතර සමහරු ඉතා පිඩාකාරී නාගරික පැල්පත් වලද නවාතැන් ගත්හ. තවත් අය ඉගෙනීම සදහටම අත්හැර දමා ගමට ගියහ. දරුණුම ගැටලුවලට මුහුණ දුන්නේ සිසුවියන්ය.

ප්‍රථම ශිෂ්‍ය සභා ක්‍රියාන්විතය

භීෂණයෙන් පසු පළමුව විවෘත වූයේ කොළඹ වූ අතර ශිෂ්‍ය සංගමි නිලවරණ පවත්වා මුලින්ම ශිෂ්‍ය සභා පිහිටුවීමට හැකි වූයේද කොළඹ සරසවියටය. සියලුම පීඨ සංගම් සහ මහා ශිෂ්‍ය සභාව 1990 සැප්තැම්බර් අවසානය වන විට පිහිටුවා තිබිණි. මේ ශිෂ්‍ය සභා වල ප්‍රධාන ඉල්ලීමක් වූයේ දැවෙන ප්‍රශ්නය වූ නේවාසිකාගාර ප්‍රශ්නය විසඳිමය. එසේම ශාස්ත්‍ර පීඨය යටතේ තිබූ වාණිජ හා කළමනාකරණ අංශය වෙනම පීඨයක් බවට පත්කර ගැනීම අනෙක් ප්‍රධාන ඉල්ලීමය.

ඉල්ලීම් සාධාරණ බව පිළිගත් පරිපාලනයේ ප්‍රතිචාරය වූයේ මෙම ඉල්ලීම් දෙකම ඉටුකිරීමට රාජ්‍ය මුදල් ප්‍රතිපාදන නැති බවත් ප්‍රතිපාදන ලැබුනද ඉඩම් නොමැති බවත්ය.මේ හේතුව නිසා අර්බුදය එකතැන පල් වෙමින් තිබුණි. සිසුන්ගේ විකල්ප යෝජනාව වූයේ වාණිජ කළමණාකරන පීඨය සඳහා එවකට අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය (විෂය මාලා සංවර්ධන කාර්යාලය) විසින් පරිහරණය කරමින් තිබූ බෞද්ධාලෝක මාවතේ ගොඩනැගිලි සරසවිය⁣ට පවරා ගන්නා ලෙසත් ඇක්වයිනාස් හා පුංචි බොරැල්ල කිත්‍යාකර ඉඩම් වල රාජ්‍ය ප්‍රතිපාදන ලබාගෙන නව නේවාසිකාගාර ඉදිකරණ ලෙසත්ය. මේ යෝජනා සම්බන්ධයෙන් පරිපාලනය දැක්වූයේ උදාසීන පිළිවෙතකි.ප්‍රශ්නය එක තැන පල් වෙමින් තිබූ අතර සටන් ක්‍රියාමාර්ග ගැනීමට ශිෂ්‍ය සභාවලට සිදුවිය. යෝජනා කළ සටන් ක්‍රියාමාර්ග සමිබන්ධයෙන් බොහෝ වාද විවාද සිසුන් අතර තිබුනද එය හැර ගත යුතු අන් මගක් නොවිණි. ප්‍රධාන ක්‍රියාමාර්ගයක් වූයේ සරසවිය අවට රජයේ ඉඩම් සහ ගොඩනැගිලි බලහත්කාරයෙන් අල්ලා ගැනීමය. (විශේෂත්වය වූයේ එසේ කරනා බව පරිපාලනයට නිලවශයෙන්ම ලියා දැන්වීමය.)

1991 සාෆ් ක්‍රීඩා උළෙල, රන්ජන් බෝම්බය සහ නීති පීඨයේ උපවාසය

වාද විවාද මැද ශිෂ්‍ය සටන මුවහත් වෙද්දී 1991 මාර්තු 02 වන දින ඇක්වයිනාස් නේවාසිකාගාර ය ඉදිරිපිට කාර් බෝම්බයක් පිපිරීමෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රන්ජන් විජේරත්න ජීවිතක්ෂයට පත්විය.එක් ශිෂ්‍යයාවක්ද බෝම්බයට ගොදුරු වූ අතර නේවාසිකාගාරයට අලාභහානි සිදුවිය. මේ බෙදවාචකයෙන් නේවාසිකාගාර ඉල්ලීමට අලුත් උද්යෝගයක් මතුවිය. මේ කාලයේදීම ලංකාවේ පවත්වන්නට යෙදුන දකුණු ආසියානු කලාපීය ක්‍රීඩා තරගාවලිය (SAAF Games) සඳහා කොළඹ සරසවි ක්‍රීඩාගාරය (ජිම්නේසියම) භාවිතා කිරීම වෙනුවන් එහි නවීකරණ කටයුතු රජය අරඹා තිබුන අතර ඉඩම් අල්ලා ගැනීමට සුදුසු අවස්ථාව එය බව මහා ශිෂ්‍ය සභාවේ මතය විය.

අල්ලා ගැනීම සඳහා යෝජනා වූයේ නීති පිඨයට බටහිරින් පිහිටි දැනට හමුදා කඳවුර පිහිටි ඉඩම සහ එහි තිබූ සමහර ගොඩනැගිලි ය. ඒ වන විට විශේෂ කාර්ය බලකායේ කුඩා අනුඛණ්ඩයක් එහි ගොඩනැගිල්ලක රඳවා තිබූ අතර ඉතිරි ගොඩනැගිලි හිස්ව තිබිණි. සිසුන්ගේ ඉලක්කය වූයේ එහි තිබූ සමාජ ශාලාවක් පවත්වාගෙන යමින් තිබූ තරමක් විශාල ගොඩනැගිල්ලක් අත්පත් කරගැනීමය.ඒ සදහා ක්‍රියාමාර්ග සැලසුම් කරමින් සිට්යදී එම පොදු ක්‍රියා මාර්ග⁣යෙන් බැහැරව එම ඉඩම ඉදිරිපිට නීති පීඨ ශිෂ්‍ය සභාව විසින් හදීසි සත්‍යග්‍රහයක් පවත්වන ලදී.එයින් කටයුතු අවුල් විය. එදිනම රාත්‍රියේ විශේෂ කාර්ය බලකාය විසින් විශ්ව විද්‍යාල ඉඩමෙන්ද කොටසක් අල්ලා තාප්පයක් බඳින ලදී.සිසුන් පත් වූයේ ඉමහත් ලැජ්ජාවකටය. තාප්පය කඩා දමන බවට සිසුන් රජයට තර්ජනය කළ අතර තාප්පයට අත තැබුවොත් වෙඩි තබා මරා දමන බවට හමුදාවෙන් සිසුන්ට තර්ජනය කෙරිණි.

මෙයින් රජය සහ සිසුන් අතර දිග්ගැසුන ආරවුලකට පාර කැපිණි. ශිෂ්‍ය සභාවේ ඉල්ලීම වූයේ ‘සරසවි ඉඩමේ තිබෙන එස් ටී එෆ් කඳවුර වහා ඉවත් කර ගනු’යන්නය.ඉඩම් සටන සිසුන් හා හමුදාව අතර සටනක් බවට පත් වෙමින් තිබූ අතර සිසුන්ගේ ජීවිත ඉමහත් තර්ජනයකට ලක්වෙමින් තිබිණි. මෙහිදී සටනට අලුත් ප්‍ර⁣වේශයක් ගෙන එමින් ශිෂ්‍ය සභාව කියා සිටියේ හමුදා කඳවුර ඉවත් නොකරන්නේ නම් සාෆ් ක්‍රීඩා සඳහා සරසවි බිම යොදා ගැනීමට ඉඩ නොදෙන බවය. ජනාධිපතිවරයා මෙයින් ඉමහත් කෝපයට පත් විය.”අපේ මළ කඳන් මතින් සාෆ් ක්‍රීඩා පවත්වන්නැයි සිසුහු ජනාධිපතිවරයාට පැවසූහ. විශ්වවිද්‍යාල පරිපාලනය පත්වූයේ දැඩි අපහසුතාවකටය. රජය හමුදා කඳවුර ඉවත් කළේ නැත. එසේම සාෆ් ක්‍රීඩා සඳහා නවීකරණය කළ කොළඹ සරසවි ජිම්නේසියම වෙනුවට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් බිම සහ සුගතදාස ක්‍රීඩාංගනය යොදා ගති. සිසු සටන දිග්ගැසුන සටනක් බවට පත්විය. පෙළ පාලි උද්ඝෝෂණ මතින් සිසු සටන වර්ධනය විය. සිසුන්ට තර්ජන එල්ල විය. මැර පහරදීම් සිදු විය.’ අත්අඩංගුවට ගැනීම් සිදුවිය. ලෝරන්ස් මාෆියාව නම් ‘පැරා මිලිටරි කණ්ඩායමක් සිසු නායකයන් ඝාතනය කිරීම සඳහා යොදා තිබෙන බව කියැවිණි.1991 වසර කොළඹ සරසවි සිසු ජීවිත ගෙවුනේ මේ කලබල මැද්දේය.

ඉංග්‍රීසි පන්ති කාමර අල්ලා ගැනීම සහ බ්ලොම් උපවාසය

1992 වසරට ඇදී ගිය සිසු සටනේ තීරණාත්මක අවස්ථාව වුයේ නේවාසිකාගාර වෙනුවෙන් බෞද්ධාලෝක මාවතට අබියස තිබූ ඉංග්‍රීසි පන්තිකාමර සමුහය අත්පත් කර ගැනීමය. උපක්‍රමය වූයේ ශිෂ්‍යාවන් ඒවායේ පදිංචි කරවා සටන ඉදිරියට ගෙන යාමය. ශාස්ත්‍ර පීඨ සිසුවියෝ 95 ක් තරම් පිරිසක් මේ බලහත්කාර පදිංචි වීම සඳහා කැමැත්තෙන්ම ඉදිරිපත් වූහ. එම ක්‍රියා මාර්ගය කර⁣⁣ගෙන යාමට හැකි වූයේ එක් දිනකි. රජය සරසවිය වසා දමා එය සිසුනට තහනම් කලාපයක් කරන ලදී. සරසවියේ රැඳී සිටි සිසුන්ට පහරදී එළවා දමන ලදී .සටනේ සිටි දහසකට වැඩි සිසුන් පිරිසක් කොළඹින් බැහැර වූ අතර 150ක පමණ සිසුන් පිරිසක් වෛද්‍ය පීඨය අසල බ්ලොම්ෆොන්ටේන් නේවාසිකාගාරයේ රැඳි සිටිමින් ඉන් දහ දෙනෙක් සරසවිය වහා විවෘත කරන ලෙස බලකරමින් මාරාන්තික උපවාසයකට වාඩිලාගත්හ. එය ‘ලෙමන් පෆ් මාදිලියේ උපවාසයක්’ නොවීය. දින තුනක් යනතුරු එම දහදෙනා වතුරවත් බීවේ නැත. තෙවන දිනයේදී සිසුන්ගේ තත්වය බරපතල විය. පොලීසිය සහ හමුදාව විසින් වට කර තිබූ නේවාසිකාගාරයේ උපවාසිකයන් රැඳී සිිටියේ සිවුවැනි මහලේය. කේරි විදුහල පැත්තෙන් රහස් දොරක් විවෘත කරගත් සිසුන් ජනමාධ්‍ය ගෙන්වා උපවාසයේ දෙවන දිනයේදී තත්වය රටට හෙළ කළ අතර රජය විවේචනයට ලක්විය. අවසානයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති වරයා පැමිණ නේවාසිකාගාර ප්‍රශ්නය විසඳීම සඳහා කටයුතු කරන බවටද සරසවිය විවෘත කරන බවටද පොරොන්දු වීමෙන් උපවාස සටන අත්හරින ලදී. එම සටනේ ප්‍රතිපලයක් ලෙස කිත්‍යාකර සහ අැක්වයිනාස් ඉඩමි වල නව නේවාසිකාගාර ඉදිකිරීමට ප්‍රතිපාදන ලැබිණි.

1994 සටන සහ මුත්තයියා නේවාසිකාගාරය

එස් ටී එෆ් කඳවුර ඉවත් නොවිණි. යුද්ධයේ වර්ධනයත් සමග හමුදා කඳවුරු වලටද වැඩි පහසුකම් අවශ්‍ය ව්ය. හමුදාව අල්ලාගත් බිම් ⁣කොටස ගැන සිසුන්ගේ අවධානයද තව දුරටත් යොමු නොවිණි. නමුත් නේවාසිකාගාර අර්බුදය සහ වාණිජ කළමනාකරණ පීඨ ප්‍රශ්න විසඳා ගැනීම කොළඹ සරසවියේ මුලික ගැටලුව විය.

වසර ගණනාවක් තිස්සේ ඇස ගසා ගෙන සිටි සංස්කෘතික අමාත්‍යංශ ගොඩනැගිලි අත්පත් කර ගැනීමේ “මහා සටනට” සිසුහු ඒ අනුව අවතීර්ණ වූහ.එහි ගොඩනැගිලිත් සරසවියත් අතර තිබූ තාප්පය යකඩ ඉණිවලින් ඇණ බිඳ දැමු සිය ගණනක් සිසුහු එම ගොඩනැගිලි සමුහය මාසයකට ආසන්න කාලයක් තිස්සේ බලහත්කාරයෙන් අල්ලා ගත්හ.මහ පාරේ සිසු සටන ඇවිළිණි.

එය මුලු රටේම අවධානය යොමු වු ශිෂ්‍ය සටනකි. අවසානයේ එය සරසවියට ප්‍රතිලාභ රැසක් ලබා දෙමින් අවසන් විය. අල්ලා ගත් ඉඩම සහ ගොඩනැගිලි සමුහය වාණිජ හා කළමනාකරණ පීඨය වෙනුවෙන් වෙන් කෙරිණි. දැනට ක්‍රීඩා අමාත්‍යංශය තිබෙන ගොඩනැගිලි සහ භුමියද සරවියට ලබා දීමට රජය කැමති විය. නමුත් පරිපාලනයට එය තහවුරු කරගත නොහැකි විය. හුණුපිටිය ගංගාරාමය විසින් ප්‍රයෝජනයට ගණිමින් තිබූ මුත්තයියා පාර රජයේ ඉඩම සහ ගොඩනැගිලි නේවාසිකාගාර සඳහා වෙන් කරන ලදී.

දැන් නැවතත් ආණ්ඩුවේ ඩීල්කරුවන් සරසෙන්නේ මෙසේ දුෂ්කරව අත්පත් කරගත් කොළඹ සරසවි ඉඩම් කොල්කෑමටය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.