20 January, 2026

Blog

රාජ්‍ය භාෂාව, යුක්තිය පිටුදැකීම සහ ශිෂ්ටත්වය

කරුණාරත්න පරණවිතාන​ –

කරුණාරත්න පරණවිතාන​

හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ දියණිය සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මිය කළ ප්‍රකාශයක්ද සම්බන්ධ කරගනිමින් මේ දිනවල සමාජ මාධ්‍යයේ දිග හැරී ඇති සංවාදයක මතු වී ඇති එක් අදහසක් වන්නේ බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නැමැති 1956 දී සිදුකරන ලද “මහා දේශපාලන වරද” නිසා අපට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට තිබූ අවස්ථාව මග ඇරුණ බව සහ ඉංග්‍රීසිය ඔස්සේ ලබා ගත හැකිව තිබූ ‘බටහිර සංස්කෘතික ශිෂ්ටත්වය’ ජාතියක් ලෙස අපට අහිමි වූ බවය. මෙය අලුත් අදහසක් නොවේ. සිංහලය රාජ්‍ය භාෂාව වූ දිනයේ සිට විට්න් විට ඉස්මත්තට එන හෝද හෝදා මඩේ දමන කිසිම ඓතිහාසික පදනමක් නැති මතිභ්‍රමයකි. මේ ලිපිය ලියන්නේ ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රශ්නයේ ඓතිහාසික පදනම ගැන යම් අදහසක් ඉදිරිපත් කිරීමටය.

බණ්ඩාරනායක මහතා අතින් සිදු වූ මහා දේශපාලන වරද නම් සිංහලය රාජ්‍ය භාෂාව නොකර සිටීම නොසිටීම නොව ඒ සමගම දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් නොකර සිටීමය. එමගින් මේ රාජ්‍යය සාධාරණය හා යුක්තිය ගරු නොකරන රාජ්‍යයක් බව ආරම්භයේදීම මුලු ලෝකයටම පෙන්වා දීමය.

රාජ්‍ය භාෂා ප්‍රශ්නය දෙස අප බැලිය යුත්තේ දහනවන සියවස අගභාගයේ පමණ සිට මතු වූ භාෂානුරාගී ජාතිකවාදී ව්‍යාපාරය විසින් මතුකරන ලද දේශපාලන කොන්දේසිද සැළකිල්ලට ගනිමින් මිස හුදෙක් 1956 දී කඩා පාත්වූ හෙන ගෙඩියක් ලෙස නොවේ.(මේ භාෂානුරාගී ව්‍යාපාරය පිළිබඳ සෑහෙන ඓතිහාසික දැණුමක් මේ වන විට කේ.එන්. ඕ ධර්මදාස, නිර්මාල් රන්ජිත් දේවසිරි හා සඳගෝමී කෝපරහේවා වැනි වියතුන් විසින් තම පර්යේෂණ මගින් සම්පාදනය කර ඇත. ඒවා හැදෑරීම මේ සංවාදයට ප්‍රයෝජනවත්ය).

යටත් විජිත වශයෙන් පැවැති රටවල් නිදහස ලබා ගනිද්දී ඒ රටවල රාජ්‍ය භාෂාව විය යුත්තේ කුමක්ද යන්න අප රටේ පමණක් මතු වූ ගැටලුවක් නොවේ. අසල්වැසි ඉන්දියාවේද මේ ප්‍රශ්නය මතු වූ ආකාරය ඉතිහාසඥ රාමචන්‍ද්‍ර ගුහා සිය ‘India after Gandhi, The History of the World’s Largest Democracy නම් කෘතියේ මැනවින් පෙන්වා දී ඇත (117-120 පිටු).

අප රටේ මේ සාකච්ඡාව මතුවූයේ නිදහසට පෙර ඩොනමෝර් ආණ්ඩුක්‍රම යුගයේදීමය. එකල මතු වී තිබූ ස්වභාෂා ව්‍යාපාරය එයට හේතුවිය. අධ්‍යාපනයේ භාෂා මාධ්‍යය කුමක් විය යුතුද යන ප්‍රශ්නය වටා මතු වූ මේ ප්‍රශ්නය ඩොනමෝර් යුගය අවසාන වනවිට ලංකාවේ අධ්‍යාපනය ඇතුලු රජයේ සියලු කටයුතු කරගෙන යා යුත්තේ කවර භාෂාවෙන්ද යන සාකච්ඡාව දක්වා විකාශනය වී තිබිණි. මේ සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්තියක් සකසා ගැනීමට, ජී.කේ. ඩබ්. පෙරේරා (මාතර මන්ත්‍රී). අධ්‍යාපන ඇමති සි. ඩබ්.ඩබ්. කන්නන්ගර, ජේ. ආර්. ජයවර්ධන, එස් නල්ලය්යා, පිලිප් ගුනවර්ධන යනාදී විවිධ දේශපාලන හා ජනවාර්ගික ධාරාවන්ට අයත් දේශපාලන නායකයන් මැදහත් වී කටයුතු කළ අතර 1948 වන විට සියලු දෙනාම පිළිගත් පොදු ප්‍රතිපත්තිය වූයේ සිංහල-දෙමළ භාෂා දෙකටම සමතැන දිය යුතුය යන ප්‍රතිපත්තියයි. 1951 බිහි වූ ශ්‍රි. ලංකා නිදහස් පක්ෂයද එම ප්‍රතිපත්තිය වෙනස් කළේ නැත.

අවාසනාවකට මෙන් 1947

ලංකාණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරද්දී ව්‍යවස්ථාවට ඇතුළත්විය යුතුව තිබූ වැදගත් අංගයක් වන රාජ්‍ය භාෂාව යන්න ව්‍යවස්ථාවට ඇතුළත් නොකිරීමට ඩි. එස්. සේනානායක මහතා ඇතුලු නායකයෝ කටයුතු කළහ. එයට හේතුව ලෙස සාමාන්‍යයෙන් කියවෙන්නේ පොදු නීතිය ඔස්සේ සාමාන්‍ය පනතක් මගින් රාජ්‍ය භාෂාව පිළිබඳ ඒ වන විටත් පිළිගෙන තිබූ සිංහල-දෙමළ දෙභාෂාවටම සමතැන් දීමේ ප්‍රතිපත්තිය බලගැන්වීමට එජාප නායකයින් බලාපොරොත්තුව සිටි බවයි.

1951 දී එ.ජා.ප. රජය විසින් ජාතික භාෂා කොමිෂන් සභාවක් පත් කරනු ලැබුවේ 1944 සිට රාජ්‍ය මන්ත්‍රණ සභාව විසින් ප්‍රතිපත්තියක් ලෙස පිළිගෙන තිබූ සිංහල දෙමළ දෙබසටම රජයේ කටයුතුවලදී සමතැන් දීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රමවේද හදුනාගෙන නිර්දේශ කිරීමටය.
මේ වන විට සිංහල භාෂානුරාගී ව්‍යාපාරය සාමාන්‍ය භාෂා ජාතික ව්‍යාපාරයක සිට භාෂා ස්වෝත්තමවාදී ව්‍යාපාරයක් බවට පත්වෙමින් තිබිණි. දෙමළ නැතිව ‘සිංහලය පමණක්’ රාජ්‍ය භාෂාව විය යුතු යැයි මේ භාෂා ව්‍යාපාරයේ නිමග්නවී සිටි පිරිස මහහඬින් ප්‍රකාශ කළහ. එහෙත් බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් 1951 පිහිටවන ලද ශ්‍රි.ල.නි.ප ය මේ ආරම්භයේදී මේ අදහස දැරුවේ නැත. නමුත් රජය පත් කළ ජාතික භාෂා කොමිසම 1953 දී එහි අවසාන වාර්තාව ඉදිරිපත් කරද්දී එහි සභාපති වරයා වූ විනිසුරු ආතර් ව්ජේවර්ධන මහතා ඉදිරිපත් කළ පුද්ගලික මතයක් නිසා එතෙක් රටේ පිළිගත් භාෂා සමතැන් ප්‍රතිපත්තියට මරු පහරක් එල්ලවිය. ආතර් විජේවර්ධන මහතාගේ මතය වූයේ භාෂා දෙකක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රායෝගික නොවන බවත් එක් භාෂාවක් පමණක් රාජ්‍ය භාෂාව කිරීම ප්‍රායෝගික බවත්ය. ඒ එක් භාෂාව ලෙස ඔහු අදහස් කළේ සිංහලයයි.

භාෂා ස්වෝත්තමවාදීන්ට මේ අදහස පණින රිලවුන්ට ඉනිමං බැඳීමක් වැනි විය. ඉන්පසු 1954 සිට ඇති වූයේ ‘සිංහල පමණක්’ ඝෝෂාවය. ශ්‍රී.ල.නි.ප. කරනමක් ගසා සිංහල පමණක් ප්‍රතිපත්තිය වැළදගති. එ.ජා.පයේ නායක කොතලාවල මහතාද “පැය විසි හතරෙන්” සිංහලය රාජ්‍ය භාෂාව කිරීමේ ප්‍රතිපත්තියට පැන්නේය. 1955 දීත් භාෂා සමතැන් ප්‍රතිපත්තියේ සිටි සමසමාජ පක්ෂයද සිංහල පමණක් ප්‍රතිපත්තිය පිළිගෙන සිටි බණ්ඩාරනායක මහතා නායකත්වය දුන් දේශපාලන සංධානය සමග නිතරග මැතිවරණ ගිවිසුමකට එළඹිණි. 1956 දී බණ්ඩාරනායක නොව කොතලාවල ජයගත්තද සිංහලය පමණක් රාජ්‍ය භාෂාව වීමට ඉඩ තිබිණි.

රටට නායකයන් අවශ්‍ය වන්නේ ජනප්‍රිය රැල්ලේ පීනිමට නොවේ. ජනප්‍රිය රැළි මතින් පාවී එන දේශපාලන අගතීන් කල්තබා හඳුනාගනිමින් ඒවා පිටුදැකීමටද දේශපාලන නායකයින් සමත් විය යුතුය. අලුතින් නිදහස ලබනා රටේ රාජ්‍ය භාෂාව සවදේශික ජනයා වහරන භාෂාව බවට පත් කළ යුතු යැයි යන ඉල්ලීම​ ජනප්‍රිය ඉල්ලීමක් මෙන්ම නිවැරදි ඉල්ලීමකි. එය පිළිගැනීමද දේශපාලන වශයෙන් නිවැරදිය. සිංහල ජනයා ජිවත් වන එකම රටේ බහුතර ජනයා වන ඔවුන්ගේ භාෂාව රාජ්‍ය භාෂාව කිරීම කවර වරදක්ද? එහෙත් දෙමළ බසට තැන නොදීම එම ජනප්‍රිය රැල්ලේ පාවී ආ දේශපාලන අගතියකි. බණ්ඩාරනායක මහතා එම අගතියේ අවාසනාවන්ත ගොදුරක් විය. දෙමළ බස කතා කරන ජනයා ලොව රාජ්‍ය ගණනාවක සිටින නමුත් ඒ මනරම් භාෂාවටද ගෞරවාන්විතව රාජ්‍ය භාෂා තත්වය ලබා දුන් එකම රට බවට 1956 දීම අපට හැකි වූයේ නම් එය කෙතරම් අසිරියක්ද ?

ඒ අසිරිය 1956 දී සිදුනොවිණි. ඒ වන විටත් පිළිගෙන තිබූ පොදු ප්‍රතිපත්තියක් කඩා බිඳ දමා ස්වොත්තමවාදී ප්‍රතිපත්තියකට යටවීමට තරම් දේශපාලන අධිෂ්ඨානය දියාරු කරගැනීම බණ්ඩාරනායක මහතා කෙරෙන් පෙන්නුම් කළ දුබලතාවයි. ජාතික භාෂා ගණනාවක් ඇති රටක රාජ්‍ය භාෂා ප්‍රශ්නය විසඳා ගන්නවාට වඩා පහසුවෙන් ජාතික භෂා දෙකක් වහරන රටක රාජ්‍ය භාෂා ප්‍රශ්නය විසඳා ගත හැකිය. ඒ දෙබසටම රාජ්‍ය භාෂා තත්ත්වය​ ලබාදීමෙනි. එය භාෂා කළමනාකරණ විෂයයහිද පිළිගැනෙන මූලධර්මයකි. විශාල වන්දියක් ගෙවීමෙන් පසුව වුව දෙමළ බස රාජ්‍ය භාෂාව කිරීමෙන් මේ රාජ්‍යයට අමුතු හානියක් අවැඩක් සිදු වී නැති බව අපි අද අද්දැකීමෙන් දනිමු. අප සාමාන්‍යයෙන් ශක්තිය හමුවේ යුක්තිය අමතක කිරීම පුරුද්දක් ලෙස කරන්නේදැයි ප්‍රශ්න කිරීම වටී.

Latest comments

  • 2
    0

    ක.ප,

    සුනේත්‍රාගේ කතාවේ හැම දේම නිවැරදි නොවුනත් බොහෝ දුරට ඇත්ත කතාව!

    “….බණ්ඩාරනායක මහතා අතින් සිදු වූ මහා දේශපාලන වරද නම් සිංහලය රාජ්‍ය භාෂාව නොකර සිටීම නොසිටීම නොව ඒ සමගම දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් නොකර සිටීමය….

    මම නම් හීනෙකින් වත් හිතුවේ නෑ ඔබ මේ තරම් හීන ලෝකෙකෙක ඉන්නවා කියල! මොන හාස්කමකින්ද ඒක කරන්ට පුළුවන් වෙන්නේ? 56 කියන්නේ සිංහල ජාතිවාදයේ උච්චතම අවස්තාවක්! ආයේ වෙන කාටවත් එතන ඉඩක් කඩක් තිබුනේ නෑ . පැහැදිලිවම ඔබ 1956 වැඩිහිටියෙක් ව හිටියේ නෑ කියල අපි දන්නවා, හැබැයි ඒ කාලේ හිටපු උගත් මධ්‍යස්ථ සිංහලයෝ නම් දැන ගෙන හිටිය ද්‍රවිඩ භාෂාව හෝ සංස්කෘතිය සිංහලයන් ට අඳු කොළ කියල. ආයෙත් බොරු කියන්නේ මොකටද, දුටු ගැමුණු එළාර ගැන අපේ ඉතිහාසය කියල දීල තියෙන්නේ වෙන මොකද්ද? දුටු තැන දෙමලාව නැති කරපං කියල නේ? ඕකට එකතු කරන්නකෝ ඔය ධර්මපාලලා, ජයතිලකලා, සේනානායකලා, සහ අර කොහෙන්ද කඩා වැටිච්ච ඕල්කොට් ලා ටිබෙට් මහින්දලා වගේ අයගේ අන්තවාදී, ජාතිවාදී විෂබීජ ඔක්කොම! ඉතිං බාගෙට ප්‍රජාතන්ත්‍ර වෙච්චි, බාගෙට සිංහල ජාතිවාදීත් වෙච්චි සේනානායකලාගෙන් බලය උදුරා ගන්ට තිබුන හොඳම ක්‍රමය නම් සම්පූර්ණ සිංහල ජාතිවාදී වීම විතරයි කියල ඔක්ස්ෆර්ඩ් ගිය බණ්ඩාට නොතේරුනා නම් එක 8 වන පුදුමය වෙනවානේ? The rest is (sad) history!

  • 0
    0

    සිංහල දෙමළ ජාතිවාදය ලංකාව විශාල අර්බුදයකට ගෙනිහිල්ල තියෙන බව අපි ඔක්කොම දන්නවනේ? හැබැයි, මේ රට පතුලක් නොපෙනෙන අඝාදයකට තල්ලු කරලා තියෙන්නේ ඔය ජාතික ප්‍රශ්නයට වඩා අපේ පරවේනිගත හොරකම, වංචාව හා දූෂණයයි. එහෙම නැත්නම් හොරකම, වංචාව හා දූෂණයදැක, දැක නොදැක්කා සේ අහක බලාන ඉඳීමයි. අපි සුද්දගේ පාලන ක්‍රමයේ තිබුන හොඳ දේවල් – ඒ කියන්නේ public accountability නැත්නම් බදු ගෙවන්නාට සාධාරණය ඉටු කිරීම දිගටම අපේ රාජ්‍ය සේවයේ පරමාදර්ශය කර ගත්තා නම් මේ ව්‍යසනය වෙන්නේ නැති බව පැහැදිලිවම කියන්න ඕනා. 1956 දී සිට අපේ රටේ, සමාජයේ, රාජ්‍ය සේවයේ ඛාදනය වී ගියේ ඔන්න ඔය accountability එකයි! මේවා day light robbing තත්වයට ගෙනාවේ 1970 පත් වූ සිරිමා ගේ රජයයි. රජයේ රස්සා දෙන්ට මන්ත්‍රීලාට ලියුම් නිකුත් කරන්ට පටන් ගත්තේ සිරිමාගේ සමගි පෙරමුණු රජයයි. ඔවුන් කලේ රුපියල් 2000 ට ගුරු පත්වීම්, 5000 ට බැංකු පත්වීම් හෝ රෙස්ට් හවුස් එකේ දී නර්ස් නෝනලාට පත් වීම් දීපු එකයි. එතැන් ඉඳන් JR ප්‍රේමදාස චන්ද්‍රිකා මහින්ද යනාදීන් ඔක්කොම කලේ ඔය ක්‍රමය වැඩි දියුණු කරගෙන, තම තමන්ට හා තමන්ගේ හෙන්චයියලාගේ මඩි තර ගැනීම නොවෙයිද?

  • 0
    0

    “…..1951 පිහිටවන ලද ශ්‍රි.ල.නි.ප ය මේ ආරම්භයේදී මේ අදහස දැරුවේ නැත. නමුත් රජය පත් කළ ජාතික භාෂා කොමිසම 1953 දී එහි අවසාන වාර්තාව ඉදිරිපත් කරද්දී එහි සභාපති වරයා වූ විනිසුරු ආතර් ව්ජේවර්ධන මහතා ඉදිරිපත් කළ පුද්ගලික මතයක් නිසා එතෙක් රටේ පිළිගත් භාෂා සමතැන් ප්‍රතිපත්තියට මරු පහරක් එල්ලවිය……”

    මේක යකාගේ අඩවියක්නේ!!! මං දැනන් හිටියෙ නෑනේ මෙච්චර කල් මේ එක මනුස්සයෙක් මුළු ලංකාවම උඩුකුරු යටිකුරු කළා කියල? ඒ කියන්නේ ආතර් විජේවර්දන කියල මැන්ස් කෙනෙක් තමයි ඔක්ස්ෆර්ඩ් ගිය වෙන්ඩ අගමැති කෙනෙකුටත් වඩා ප්‍රබල වෙලා ශ්‍රීලනිපේ මතවාදය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තනි තීරණයකට සිංහල විතරක් රාජ්‍ය භාෂාව කලේ?? එහෙම කරලා, ඔය චීවරධාරීන් රොත්තක් එකතු කරගෙන දෙමල විරෝධී සටන් පාඨ කියමින් 59 ජාතිවාදී කැරළි ඔක්කොටම හේතුව ආතර් විජේවර්දන කියන මැන්ස්?

  • 1
    0

    “….ජාතික භාෂා ගණනාවක් ඇති රටක රාජ්‍ය භාෂා ප්‍රශ්නය විසඳා ගන්නවාට වඩා පහසුවෙන් ජාතික භෂා දෙකක් වහරන රටක රාජ්‍ය භාෂා ප්‍රශ්නය විසඳා ගත හැකිය….”

    සම්පූර්ණ ඇත්ත කතාව! මේක 1970ට ඉස්සෙල්ල LSSP ලොක්කා කොල්වින් ආර් හැම වෙලේම කිව්ව මන්තරයක්! හැබැයි 1972 ජනරජ ව්‍යවස්ථාව හදන කොට එවකට හිටපු ව්‍යවස්ථා සම්පාදක ඇමති, උග්‍ර ට්‍රොට්ස්කි මතවාදී සමාජවාදී කොල්වින් මොකද කලේ? වෙන මොකවත් නොවෙයි, සේනානායකලා පවා නොකළ, බුද්ධාගම රාජ්‍ය ආගම බවට නීතිගත කිරීම!! එයා එදා ද්‍රවිඩ භාෂාව රාජ්‍ය ආගම කරන්ට අබ ඇටයක් තරමේ වත් උත්සාහයක් කලාද? නෑ ! අන්තිමට එක කලේත් ධනවාදී JR ! වාමාංශිකයෝ හැමදාම කලේ කටින් බතල කොළ හිටවනවා කියන්නේ මේවාටයි!

    මා මේ කියන්ට උත්සාහ ගන්නේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ශ්‍රීලනිප ඉන්නේ කල්ප ගණනාවක් පස්සෙන් බවයි. එජාපය මේ ගැන බාර ගත යුතු චෝදනා සමූහය, ඒ ලෙසම ශ්‍රීලනිප ඇතුළු වාමාංශික පක්ෂ බාර ගත යුතයි. ඉතා අපූරු විදියට මේ ප්‍රශ්නය 1970 ගණන් වලට ඉස්සෙල්ල ඉවර කරන්ට තිබූ අවස්ථා කීපයක් එජාප ශ්‍රීලනිප විතරක් නොවෙයි වාමාංශික පක්ෂ පවා විනාශ කරලා දැම්මා! චන්ද වලට කෑදර කමින් ඒ කරපු විනාශයට වන්දි ගෙවන්නේ අද සහ හෙට මේ රටේ ජීවත් වන මිනිසුන්.

  • 0
    0

    සමාවන්න! ඉහත සටහනේ Typo වැරැද්දක් නිවැරදි කරමි. එය “….එයා එදා ද්‍රවිඩ භාෂාව රාජ්‍ය ආගම කරන්ට අබ ඇටයක් තරමේ වත් උත්සාහයක් කලාද?….” නොව “…එයා එදා ද්‍රවිඩ භාෂාව රාජ්‍ය භාෂාවක් කරන්ට අබ ඇටයක් තරමේ වත් උත්සාහයක් කලාද?” යන්නෙන් නිවැරදි විය යුතුයි. ස්තූතියි!

  • 2
    0

    මම හිතන්නේ අපේ දේශපාලඥයන් අතීතයේ ලොකු වැරදි කළා නම් අද ඒවා නිවැරදි කරන්න කාලය ඇවිත්.
    වත්මන් දේශපාලකයන් නිසි පරිදි ඉටු නොකර සිටිනවා නම් එය ප්‍රශ්නාර්ථයකි. අතීත වැරැදි මත එල්ලී නොසිට මේ දීර්ඝ කාලීන ප්‍රශ්න ගැන සම්මුතියක් ගොඩනගා ගැනීමට අවම වශයෙන් අදවත් අප ඉදිරිපත් විය යුතුය.
    පසුගිය රජයන් විසින් සිදු කරන ලද මහා අපරාධ සියල්ලටම යහපතක් කිරීමට වත්මන් අන්තර්වාර රජයට නොහැකිය. කෙසේ වෙතත්, අවම වශයෙන් පළමු පියවර ඔවුන් විසින් ගත යුතුය, එවිට අනාගත රජයන්ට ඒවා ජාතික ප්‍රතිපත්ති ලෙස ඉදිරියට ගෙන යා හැකිය. අද සන්දර්භය තුළ, මෙම ජනයා සෑම කෙනෙකුම විශේෂඥයන් වීමට සෑම උත්සාහයක්ම දරයි. එය නව ආකාරයේ බෙදීම් ඇති කරයි, කාලානුරූපී පියවරයන් සදහටම වළක්වයි.
    අපි දන්න ජාතියේ ලොකුම බාධාව උමතු සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ සහ සිංහල ජාතිවාදීන්ගේ පිම්ම සහ ඔවුන්ගේ වැරදි කාරයෝ.
    ප්‍රවීණයන් තම එකතැන පල්වෙන දැනුවත්භාවය වැඩිදියුණු කර ගත යුතු කාලය එළැඹ ඇති අතර ඒ අනුව සමාජය යළි ගොඩනැංවිය හැකිය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.