20 April, 2024

Blog

ලංකාගම, සිංහරාජය සහ පරිසරවාදය

කරුණාරත්න පරණවිතාන​ –

කරු පරණවිතාන​

ගාල්ලේ නෙළුවේ සිට ලංකාගම ඔස්සේ සිංහරාජ රක්ෂිත වනාන්තරය හරහා දෙනියායට යා හැකි වන පරිදි පාරක් කැපීමේ සිද්ධිය මේ වන විට අප රටේ බොහෝ දෙනා කතා කරන පරිසර ප්රශ්නය වී ඇත. යුධ හමුදාව විසින් කපමින් තිබූ මෙම පාර කැපීමේ කටයුත්ත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි නවතා දමා ඇත. එම නියෝගය යහපත්ය. වැදගත්ය. එසේම මේ පාර කපන ලෙස යුධ හමුදාවට නියෝග දුන්නේ කවුද යන්න එළිදරවු කරගැනීමද එපමණටම වැදගත්ය. මේ පාර කපන්නේ කාගේ වුවමනාවටද යන්නද අප රට වැසියා දැනගත යුතුය.

යටි තල පහසුකම් අතින් අති දුෂ්කර ප්රදේශයක් වන ලංකාගම වැසියන්ට හොඳ මට්ටමේ පාරක් අවශ්‍ය නැද්ද? ඇත්තෙන්ම අවශ්‍යය. මේ සම්බන්ධ මාගේ අද්දැකීමක්ද ඇත. 2002 වසරේ ගැලූ මහ ගංවතුරින් ගිං ගග අසබඩ පිහිටා තිබූ ලංකාගම රජයේ පාසල බිමට සමතලා විය. එවකට අගමැති වූ රනිල් වික්‍රමසිංහ මහතා පාසැල යළි ගොඩ නැගීමට පොරොන්දු වූ අතර ලේක් හවුස් ආයතනය තම ‘සමාගම් සමාජ වගකීම්’ ව්‍යාපෘතියක් ලෙස විශාල මුදලක් වෙන් කර පාසැල අලුතින් හදන්නට ඉදිරිපත් විය. අපේක්ෂා කළ මට්ටමටත් වඩා කටයුත්ත දුෂ්කර වූයේ ගොඩනැගිලි ද්රව්‍ය ගෙන්වා ගැනීමට හරි හමන් පාරක් නොතිබීමය. ඉදිකිරීමට අවශ්‍ය වූ යකඩ කූරු, බාල්ක, බර දැව කුට්ටි ආදිය වැඩ බිමට බොහෝවිට ගෙන එනු ලැබුවේ ගුවනින්ය.

චන්ද්‍රිකා ජනාධිපතිනිය රනිල් ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යංශය ඇතුලු අමාත්‍යංශ තුනක් පවරා ගත් පසුව ඇය විසින් ලේක් හවුස් අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරනු ලැබූ මට කර්තෘ මණ්ඩලයේ කටයුතු වලට අමතරව ලංකාගම පාසැල ඉදිකිරීමේ කටයුත්ත අධීක්ෂණයද අධ්‍යක්ෂ මණ්ඩලය වෙනුවෙන් වගකීමක් ලෙස පැවරිණි. අප ලංකා ගමට යන්නට එන්නට පටන් ගත්තේ ඒ අනුවය. පාර දුෂ්කරය. ෆෝ වීල් වාහනයකටවත් එක දිගට යා නොහැකි විය. සමහර දිනෙක අපි වාහන අතර මග දමා පයින් ගියෙමු. එක දිනෙක ගිය වාහනයක් අතරමග පෙරලිණි. සමහර දිනෙක අපි ලංකාගම පසැල් වැඩ බිමේ වඩු බංකු මත රැය පහන් කළෙමු. කෙසේ හෝ අවසානයේ පාසැලේ වැඩ අවසන් කර ජනාධිපතිනිය කැදවා ගෙන විවෘත කිරීමේ උත්සවයක්ද පැවැත්වූයෙමු. පාර දුෂ්කර නිසා ජනාධිපතිනිය පැමිණියේද හෙලිකොප්ටරයකිනි. ලංකාගම වැසියන් බලාපොරොත්තු වූවාටත් වඩා දැවැන්ත පාසැලක් ලේක් හවුසිය විසින් ඉදිකර දෙන ලදී.

මෙසේ ලංකාගම ගත කළ දිනවලදී අපි ගම් වැසියන් සමග පාරේ ප්රශ්නය ගැන කතා කළෙමු. අද මෙන් එදාද ගම් වැසියන් අතර මත දෙකක් තිබිණි. සුළුතරයක් දෙනා පාරක් හැදෙනවාට විරුද්ධ වූහ. ‘මේ ගමට වාහන යන පාරක් ආවොත් ගමත් ඉවරයි සිංහරාජෙත් ඉවරයි’. ඒ ඔවුන්ගේ මතයයි. බහුතරයක් දෙනාට පාරක් අවශ්‍ය විය. ‘හදිසියකට ලෙඩෙකුට බෙහෙත් ටිකක් ගන්න නෙළුවට හරි තවලමට යන්න ත්රීවීල් එකක්වත් ගෙනියන්න පාරක් තිබුනොත් හොදයි’ ඒ වැඩි දෙනාගේ මතයයි. ලංකා ගමට අඩුම තරමින් කුඩා වාහනයක් හෝ ගෙන යාහැකි පාරක් අවශ්‍ය බව මගේද හැගීම විය. අප සියලු පහසුකම් විදිමින් ලංකාගම වැසියාට පමණක් දුෂ්කර ජීවිතයක් තග කිරීමට යෝජනා කිරීම අසාධාරණ බව අපට පෙණිනි. මේ ගම් වැසියන් එදා පාරක් ඉල්ලුවේ නෙළුවට තවලමට යාමට මිස සිංහරාජ වනය හරහා දෙණියායට යෑමට නොවේ. එහෙම වුවමනාවක් ලංකා ගම වැසියන්ට අද වුවද ඇතැයි මම නොසිතමි.

මේ සිදුවීම් වලට නුදුරු කාලයේදී නෙළුව ප්රාදේශීය සභාපතිවරයා බවට පත් වූ ‘කළු මහත්තයා’ මහතාගේ මෙහෙයවීමෙන් ලංකාගමට යන පාර සකස් කරන ලද බව අපට ආරංචි විය. කළු මහත්තයා දැන් ජීවතුන් අතර නැත. ගම් වැසියන් ඉල්ලා සිටින්නේ නෙළුව ප්රාදේශිය සභාව විසින් සකස් කරන ලද පාරේ වැඩි දුර සංවර්ධනයක් විය යුතුය.එසේ නැතිව ලංකාගම මැදින් සිංහරාජය හරහා දෙනියායට පාරක් නොවේ.

ගම් වැසියන්⁣ට පහසුකම් සළසනවා සේම සිංහරාජය රැක ගැනීමද අත්‍යවශ්‍යය. සිංහරාජය ලෙස දැන් ඉතිරිවී තිබෙන වන තීරුව වනාහී විශාල වනහායනයකින් පසුව රක්ෂිතයක් බවට පත් වූ වැදගත් වන භූමි භාගයකි. රටක් හැටියට අප විශාල වශයෙන් වන සම්පත් විනාශ කළ රටකි. රටේ වන භූමි ප්රතිශතය 27%කි. වත්මන් ජාතික ඉලක්කය වන්නේ එය 32% දක්වා වැඩිකිරීමය. සිදු විය යුත්තේ කැලෑ කැපීම නොව කැලෑ වැවීම ප්රවර්ධනය කිරීමය. ගාල්ලෙන් සහ මාතරින් දෙනියායට යෑමට තව පාරවල් කිහිපයක්ම ඇත. සිංහරාජය කපා තවත් පාරක් කපන්නේ කුමකටද?

දැන් අපි පරිසරවාදය දෙස බලමු. පරිසරය රැක ගැනීම සහ සංවර්ධනය අත්පත් කරගැනීම යන කරුණු එකිනෙකට එරෙහිව පිහිටන සෑම විටම සමාජයේ ගැටුම්කාරී තත්වයන් පැන නැගෙයි. මේ ගැටුම් බොහෝ විට අවසන් වන්නේ පරිසරය රැකගැනීම පැරදී සංවර්ධනය ජය ගැනීමෙනි. මෙසේ වන්නේ පරිසරවාදයට අදාලව පැන නගින අන්තවාදී දෘෂ්ටිවාද දෙකක් නිසා බව මාගේ හැගීමය. පලමුවැන්න පරිසරය දෙස බලන මානවකේන්ද්රීය (anthropocentrism) දෘෂ්ටිවාදයයි. දෙවැන්න හරිතමූල ධර්මවාදයයි (ecological fundamentalism). මානව කේන්ද්රවාදීන් පරිසරය දෙස බලන්නේ පරිසරය මිනිසා වෙනුවෙන් මවා හෝ මැවී ඇති බවත් එය මිනිසාගේ පරිභෝජනය සදහා ප්රමුඛ ව්ය යුතු බවත්ය. නූතන ගෝලීය පරිසර අර්බුදය මේ සා විපත්තිදායක වූයේ මේ අන්තවාදය නූතන මිනිසාගේ සංවර්ධන දෘෂ්ටිවාදය වූ බැවිණි. මානව කේන්ද්රවාදයට පරිසරයට රැක ගත නොහැකිය. එයට කළ හැක්කේ පරිසරය කෑදර ලෙස විනාශ කරනා සියලු වැඩසටහන් දාර්ශනික වශයෙන් යුක්ති යුක්ත කිරීමය. වටිනා වනාන්තර විනාශ කර හෝටල් හැදීම,පස් කදුකපා විකිණීම, ගංගා පතුල් සිදිමින් වැලි කැණීම, ස්වභාවික ගල් පර්වත බෝර දමා කඩා විකිණීම වැනි ජාවාරම් බොහොමයක් අවසාන වශයෙන් යුක්ති යුක්ත කරන්නේ පරිසරය පිළිබද මානව කේන්ද්රවාදය පිටිවහලට ගැනීමෙනි.

හරිත මූලධර්මවාදයද අන්තවාදයක් වන්නේ එය මිනිසා සපුරා බැහැර කරන මතවාදයක් බැවිනි.හරිත මූලධර්මවාදයට අනුව මිනිසාද පරිසර පද්ධතියේ එක් සාධකයක් පමණි. ඒ අනුව මිනිසාට පරිසරයෙහි ම විශේෂ තත්වයක් හිමි වන්නේ නැත. හරිත මූලධර්මවාදය බිහි වූයේ මානව කේන්ද්රවාදයට ප්රතිචාරයක් වශයෙන් වුවත් මේ මේ මතවාදය අනුව යමින් පරිසරය රැක ගත නොහැක්කේ ඒ වෙනුවෙන් පෙළ ගැසෙන මිනිස් ජන සංඝයක් අවසාන වශයෙන් ගොනු නොවන බැවිනි. මිනිසාද මිනිසා ජීවත් වන පරිසරයද රැක ගත හැක්කේ මේ අන්තවාද දෙකම බැහැර කරන තුලනාත්මක දෘෂ්ට්වාදයක් අනුව සකසා ගන්න මහජන ප්රතිපත්තියක් බලගැන්වීමෙනි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    මට හැකි සෑම විටම මම ලෝකය පුරා සංචාරය කර පල්ලි, පන්සල්, සිනගෝග සහ ඉස්ලාමීය මුස්ලිම් පල්ලි වලට ගොස් නමස්කාර කරමි. ඇයි නැත්තේ ? කිසිම ආගමක් මට වැරදි ලෙස මඟ පෙන්වනු ඇතැයි මම නොසිතමි. විශ්වාසනීය විශ්වාසයන් සඳහා රණ්ඩු කිරීම සඳහා මම කිසි විටෙකත් නොකරමි. ජීවිතය ප්‍රතික්‍රියාවක් වන අතර මෙය මගේ සිතුවිල්ලයි. අප සෑම කෙනෙකුම යා යුතුය, නමුත් ආත්ම සම්බන්ධතාවයක් පවතිනු ඇතැයි යන විශ්වාසයන් පදනම් විය හැක්කේ මියගිය තැනැත්තා විසින් ඉතිරි කර ඇති ශෝකය තනුක කිරීම පමණි. පැස්කුවල් සොබාදහම වැනි සීටී පා readers කයන් අප දෙස සිනාසෙනු ඇත්තේ මා ආසන දෙව්මැදුරට ගොස් නමස්කාර කළ බව පවසමිනි. ඒ ඔවුන්ගේ ලෝකය ශ්‍රී ලංකාවට පමණක් සීමා වී ඇති නිසා ය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.