30 November, 2022

Blog

රාජ්‍ය වියදම් ප්‍රතිසංස්කරණය සඳහා වැල් පාලමේ ගමන

හර්ෂ ගුණසේන

හර්ෂ ගුණසේන

වැඩි කරන ලද ආදායම් බදු පිළිබඳව බදු ගෙවිය යුතු පිරිස් වෙතින් විරෝධතා මතුවූ අතර ජනාධිපතිවරයා ආණ්ඩුව විසින් ගත් ක්‍රියාමාර්ගය සාධාරණීකරණය කරමින් ජාතිය අමතා ප්‍රකාශයක් නිකුත් කරන ලදී. ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින් නිකුත්කරන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය වසරේ සැප්තැම්බර් සිට මේ වසරේ සැප්තැම්බර් දක්වා ආහාර සහ මධ්‍යසාර නොවන බිම වර්ග වල මිල වැඩිවීම 94.9% ක් (ජාතික පාරිභෝගික මිල දර්ශකය 85.8%) වූ අතර සමස්ත භාණ්ඩ වල මිල වැඩිවීම 69.8% ක් (ජාතික පාරිභෝගික මිල දර්ශකය 73.7%) විය. මෙම දර්ශක මේ වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා විශාල වශයෙන් ඉහල ගිය අතර ඉන්පසු මාසික ඉහල යාම අඩුවී ඇත. (මේ සමඟ ඇති වගුව බලන්න)

උද්ධමනය ඉහල යාම පාලනය කිරීම සඳහා වර්තමාන මහා බැංකු අධිපතිවරයා පත්වීමෙන් පසුව  මෙම වසරේ අප්‍රේල් මාසයේ දී බැංකු පොලි අනුපාත ඉහල දමන ලද අතර මෙම වසරේ මාර්තු මස 9.85% ක් වූ සාමාන්‍ය මූලික ණය පොලිය (average weighted prime lending rate) සැප්තැම්බර් මාසය වන විට 25.95% දක්වා ඉහල ගොස් ඇත. සාමාන්‍ය මූලික ණය පොලියට  ණය ලැබෙන්නේ ණය ආපසු ගෙවීමට ඉතා ඉහල මට්ටමේ හැකියාවක් ඇති ණය ගන්නන්ට පමණි. සෙසු ණය ගන්නන්ට මෙම පොලියට වඩා වැඩි පොලියක් ගෙවීමට සිදුවේ. මේ වන විට එය 30% ඉක්මවා යයි.

පසුගිය මහා බැංකු අධිපති වරයාගේ යුගයේදී විදේශ විනිමය අනුපාත ස්ථාවරව තබාගැනීම සඳහා විශාල කැපකිරීම් කරන ලදී. ඉන්පසුව එකවිටම විනිමය අනුපාතය නිදහස් කිරීම නිසා ඉතා කෙටි කලක් තුල රුපියලේ අගය අවප්‍රමාණය විය. (වගුව බලන්න)

බදු නිදහස් සීමාව වර්ෂයකට රු. ලක්ෂ 30 සිට රු. ලක්ෂ 15 දක්වා  අඩුකර ඇත. මේ අනුව වැඩි කරන ලද ආදායම් බදු අනුව රුපියල් ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබන පුද්ගලයකුටද බදු ගෙවීමට සිදුවී  තිබේ.බදු අනුපාතය මාසික ආදායම රු. ලක්ෂයේ සිට රු.142000  දක්වා ලැබෙන ආදායමෙන්  6% කි. ඉන්පසු ලැබෙන ආදායම අනුව කාණ්ඩ වශයෙන් බදු වැඩිවේ. ස්ථාවර තැන්පත් මත බැංකු පොලියෙන් ජිවත්වන ජ්‍යෙෂ්ඨ  පුරවැසියන්ගේ සහන සීමාව ද ඉවත් කර ඇත. කුඩා ව්‍යාපාර ඇතුළු විවිධ ව්‍යාපාර වලින් අයකළ 14% සහ 18% බදු අනුපාත 30% දක්වා වැඩිකර ඇත.

පසුගියදා ආණ්ඩුවේ වර්ෂ 2023 සඳහා විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී. ඒ අනුව ආණ්ඩුවේ ඇස්තමේන්තුගත වියදම රු.ට්‍රිලියන 3.6කි. මෙය වර්ෂ 2022 සංශෝධනය කිරීමට පෙර ඇස්තමේන්තුගත වියදම වූ රු. ට්‍රිලියන 2.5 ට වඩා 46% ක වැඩිවීමකි. මෙම වැඩිවීම පවතින සාමාන්‍ය උද්ධමන අනුපාතයට වඩා තරමක් අඩු වුවත් එය විශාල වැඩිවීමකි. විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තුව 2022 වසරේ රු. මිලියන 224ක් වූ අතර එය 2023 වසරේ රු. බිලියන 36.2 කි. මෙය අති විශාල වැඩිවීමකි.

වර්ෂ 2022 සඳහා පාර්ලිමේන්තුව අනුමත කළ ආණ්ඩුවේ ණය සීමාව රු. ට්‍රිලියන 3.8 ක් වූ අතර පසුගියදා එය රු. ට්‍රිලියන 4.5 දක්වා වැඩි කරන ලදී. විදේශ ණය ලැබීම සීමාවී ඇති නිසා ආණ්ඩුව මුලික වශයෙන් ණය ගන්නේ දේශීය වයි. මේ අනුව මහා බැංකුව නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් වල පොලි අනුපාත අනුක්‍රමයෙන් ඉහල යමින් පවතී. මෙම පොලි අනුපාත 30% ක් පමණ වේ. පසුගිය ඔක්තෝබර් 19 දින මහා බැංකුව තුන්මසක් සඳහා රු. බිලියන 30 ක් ද මාස හයක් සඳහා රු. බිලියන 25 ක් ද අවුරුද්දක් සඳහා රු. බිලියන 20 ක්ද වශයෙන් රු. බිලියන 75 කට ලංසු කැඳවා තිබූ අතර ඒවායින්  බාරගනු ලැබුවේ රු. බිලියන 25 ක් පමණි. ඒවා සඳහා පිළිවෙලින් 33.05%, 32.53% සහ  29.60% වන පොලි අනුපාත ලබාදී තිබුණි. ඉතිරි රු. බිලියන 50 මහා බැංකුව විසින් මිලදී ගන්නට ඇති අතර මහා බැංකුව ඒ සඳහා මුදල් සපයන්නේ මුදල් අච්චු ගැසීම මගිනි. මෙය දැනට දරා ගැනීමට අපහසු මට්ටමක පවතින උද්ධමන කාරී තත්ත්වය වැඩි කිරීමට හේතුවන බව අපි සියලු දෙනාම දනිමු.

ආණ්ඩුවද රටද සිටින්නේ මෙවැනි බරපතල තත්ත්වයකයි. තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් නොමැති නිසා තත්ත්වය සමනය වී හෝ සමනය වෙමින් හෝ ඇතැයි බොහෝ දෙනා සිතති. එය එසේ නොවේ.

ආණ්ඩුව බදු වැඩි කරන්නේ මෙම පසුබිම යටතේය. වැඩි කරන ලද බදු ප්‍රමාණ අනුව ආණ්ඩුව ඉතා දුෂ්කර තත්ත්වයක සිටින බව පෙනෙන්නට තිබේ. සිය දුෂ්කර ස්වභාවය ආණ්ඩුව පුරවැසියන් මත පටවමින් සිටි.උද්ධමනය 70% ක් ද පොලි අනුපාත 35% ක් ද වන රටක සුළු ව්‍යාපාරිකයන් 30% ක බදු ගෙවිය යුතු තත්වයකට පත් කර ඇත.

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන කේන්ද්‍රයේ ඔවුන්ගේ වර්ෂ 2022 ආර්ථිකය පිලිබඳ වාර්තාව එළිදැක්වීමේ උත්සවයේදී සාපේක්ෂ වශයෙන් පහල ආදායම් ලබන්නන්ද බද්දට යටත් කිරීම පිළිබඳව ප්‍රශ්න කළ විට ඒ අවස්ථාවේ නොසිටි භාණ්ඩාගාර ලේකම් වෙනුවෙන් පිළිතුරු දෙමින් මහා බැංකු අධිපතිවරයා කිවේ උද්ධමනය නිසා ඊටත් වඩා අඩු ආදායම් ලබන්නන් බරපතල අපහසුතාවන් ට ලක්වී ඇති නිසා ඔවුන්ට සහනයක් දීම සඳහා මේ බදු වැඩි කිරීමට සිදුවන බවයි. ආණ්ඩුව මේ වන විට මෙම අර්බුදය නිසා පහලට වැටෙන ජන කොටස් වලට සහන සැලසීමේ වැඩ පිළිවෙලක නිරතව සිටින බව අපි දනිමු.

භාණ්ඩාගාර ලේකම් වරයා ඊට පෙර අදහස් දක්වමින් කියා සිටියේ ආණ්ඩුව ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල පළමුවෙන් රාජ්‍ය ආදායම වැඩිකිරීම ඉලක්ක කරගෙන ආරම්භ කර ඇති බවයි. වියදම් සම්බන්ධ ප්‍රතිසංස්කරණ වලට කාලයක් ගතවන බව ඔහු කීය. ඒ සමගම ආණ්ඩුව මහා බැංකුවෙන් මුදල් ණයට ගැනීම හරහා උද්ධමනය ට දායක වන බවද කීය. මහා බැංකු අධිපතිවරයා මේ සියලු ප්‍රතිසංස්කරණ සඳහා ආණ්ඩුවේ මූල්‍ය විනිවිද භාවය අවශ්‍ය බව කීය.

ආණ්ඩුව වියදම් සම්බන්ධ ප්‍රතිසංස්කරණ ඉදිරියට නොගන්නා බව විසර්ජන පනත් කෙටුම්පතේ වියදම් ඇස්තමේන්තුවලින් පෙනේ. මේ සඳහා අවම වශයෙන් ආණ්ඩුව සිය මාර්ග සිතියම ඉදිරිපත් කල යුතුය. උපරිම වශයෙන් එම ප්‍රතිසංස්කරණ ද ඉක්මනින් ඉදිරියට ගත යුතුය. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟ වූ කොන්දේසි රටට හෙළිකළ යුතුය. මහා බැංකු අධිපතිවරයා සඳහන් කල විනිවිදභාවය ඇතිවන්නේ එවිටයි. ඒ සඳහා ආණ්ඩුවට සහ ජනාධිපතිවරයාට දේශපාලන නිර්භීත භාවයක් තිබිය යුතුය. හුදු ජනතාවාදී විවේචන එල්ලකරන විපක්ෂ දේශපාලනඥයන් දේශපාලනිකව නිරුවත් කිරීමට හැකි වියයුතුය. වැල් පාලමේ ගමන එයයි. ජනතාවගෙන් පත්නොවූ ජනාධිපතිවරයාට ඊනියා ජනතාවාදයෙන් අන්ධ නොවී කලයුතු දේ කිරීමට හෙවත් වැල් පාලමේ ගමන යාමට අවශ්‍ය මූලික වටපිටාව සැකසී ඇත.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.