19 September, 2020

Blog

නව වසරට නව දේශපාලනික විචාරයක් අවශ්‍ය කෙරේ

කිෂාලී පින්තු ජයවර්ධන

කිෂාලී පින්තු ජයවර්ධන

කිෂාලී පින්තු ජයවර්ධන

ශ‍්‍රී ලාංකීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දුර්භාග්‍යාත්මක වසරක් අවසානයේ, බිම් මට්ටමේ එඩිතර ක‍්‍රියාකාරකම් හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය බේරා ගත හැකි ආකාරය දැක ගැනීමට ඉන්දීය ජනතාව දෙස බැලිය යුතුව තිබේ.

පෝක් සමුද්‍ර සන්ධියට එපිටින් උගත යුතු පාඩම්

ඉන්දියාවේ දූෂණ-විරෝධී ව්‍යාපාරයේ විනීත ක‍්‍රියාකාරික අර්වින්ද් කෙජ්රිවාල්, දිල්ලියේ හත්වැනි සහ ළාබාලම මහ ඇමතිවරයා වශයෙන් පසුගිය සෙනසුරාදා දිව්රුම් දුනි. මේ මස දෙවැනි සතියේ පැවැත්වූ දිල්ලි ප‍්‍රාන්ත ව්‍යවස්ථාදායක සභා ඡුන්දයේ දී ඔහු අතින් පරාජයට පත්වුණේ, දීර්ඝ කාලයක් බලය හෙබැවූ, කොන්ග‍්‍රස් පක්ෂයේ ඉදිරි පෙළේ පළපුරුදු නායිකාවක් වූ ශීලා දික්සිත් ය.

මේ ජයග‍්‍රහණය අත්වුණේ, ‘ආන් ආද්මි’ හෙවත් ‘පොදු මිනිසාගේ පක්ෂය’ නමැති පක්ෂය ඔහු විසින් පිහිටුවාගෙන යාන්තම් වසරක් ගිය තැනදී ය. ආධාරකරුවන්ගේ ප‍්‍රීති ඝෝෂා මධ්‍යයේ තමන්ගේ සමාරම්භක දේශනය පවත්වමින්, ඒ වනාහී සටනක ආරම්භය පමණක් බව මතක් කර දුන් ඔහු, නිලධාරීන්ට අල්ලස් දීමෙන් වළකින්නැ යි පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියේය. ‘අපි ළඟට එන්න, අපි වැඬේ කරලා දෙන්නම්’ යැයි ඔහු කීය. ඉන්දීය දේශපාලන රඟමඩල ‘දේශපාලනික සංත‍්‍රාසයේ නරා වළක්’ වශයෙන් විචිත‍්‍රවත්ව හැඳින්වූ ඔහු, ප‍්‍රථම පියවරක් වශයෙන්, හතර වටින් ආරක්ෂක රැුකවල් ලාගෙන ගමන්බිමන් යාම දේශපාලඥයන්ට තහනම් කෙළේය.

මේවා, පෝක් සමුද්‍ර සන්ධියෙන් මෙපිටත් නිතර රැුව්දෙන ප‍්‍රශ්නයි. ශ‍්‍රී ලාංකීය සහ ඉන්දීය දෙපාර්ශ්වයේම දේශපාලනය, දැවැන්ත දූෂණ, දූෂිත පාලනය සහ වගවීමක් නැති රාජ්‍යකරණය ආදියෙන් එක සේ වල් වැදී තිබේ. එහෙත් දෙරට අතර පවතින සමානත්වය එතෙකින් නිමා වන බව අමුතුවෙන් කිව යුතු නැත.

සමාජ ක‍්‍රියාකාරීකයන්, නීතිඥයන්, විද්වතුන්, විනිසුරන් සහ සාමාන්‍ය පුරවැසියන්ගෙන් සමන්විත ඉන්දියාවේ දූෂණ-විරෝධී සමාජ ව්‍යාපාරයේ ජවයට මොන ආකාරයකින්වත් ලංකාවේ තත්වය සමාන වන්නේ නැත. අධිකාරීවාදී ජනාධිපතිවරයෙකු සිටීම, පශ්චාත්-යුදකාලීන හමුදාකරණයක් පැවතීම සහ පණ නැති විපක්ෂයක් ඇතුළු තවත් බොහෝ දේවල් වෙත පහසුවෙන් ඇඟිල්ල දිගු කළ හැකි වෙතත්, සත්තකින්ම ඒ වැරදිවල වගකීමෙන් විශාල පංගුවක් පැටවෙන්නේ වෙන කිසිවෙකුගේවත් නොව, අපේම කර පිටටයි.

අධිකරණයේ කාර්ය භාරය කුමක් ද?

සත්තකින්ම මේ තර්කය වෙනත් බොහෝ ක්ෂේත‍්‍රවලට ද අදාළ වන්නේය. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දියාවේ දූෂණ-විරෝධී සමාජ ව්‍යාපාරයේ බලසම්පන්න ආධාරකරුවෙකු වූ අතර, මහ දවල් අල්ලස් ගත් දේශපාලඥයන්ව හිරේ දැමීමට පවා නිර්භය විය.

ඒ සමග සසදද්දී, අපේ නීති පද්ධතියේ කාර්ය භාරය කුමක් ද? මේ වසර තුළ, දෝෂාභියෝගී දඩයමක් හරහා අගවිනිසුරුවරියක් ගෙදර යැවීම පමණක් නොව, විභාගයක දී සිය පුතාට අනුග‍්‍රහ දැක්වීය යන චෝදනාව යටතේ නීති විද්‍යාල විදුහල්පතිවරයාව ගෙදර යැවීමත් අප දැක්කේය. මේ විදුහල්පතිවරයාගේ පාලන කාලය තුළ, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතාගේ විභාගයක් අරභයා දැක්වූ අනුග‍්‍රහයක් පිළිබඳ ප‍්‍රසිද්ධ රහසක් ද අළුත්කඬේ කතාබහ කෙරේ. මේවා අපේ සිහියට නංවන්නේ පැරණි කියමනකි. හිස ලෙඩ වු විට කයට කළ හැක්කේ කුමක් ද?

ශ‍්‍රී ලංකාවේ කෙලවරක් නැති අල්ලස සහ දූෂණයේ දඟරය අද වන විට මොන තරම් ඔඩුදුවා ඇත් ද යත්, රටේ වර්තමාන මූල්‍ය අර්බුදය ගැන, ලංකාවේ රාජ්‍ය මූල්‍ය ආයතනවල සේවය කළ නිලධාරීහූම අනතුරු අඟවති. එතනෝල් ජාවාරම්, මහා මාර්ග සහ අධිවේගී මාර්ග සංවර්ධනයේ දී ගැසූ යෝධ කොමිස්, වැඩකට නැති ගුවන් තොටුපොළවල් සහ සත්වෝද්‍යාන ආදිය මහ පරිමාණ දූෂණ වශයෙන් ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. ඒ අතරේ, හාල්මැස්සාගේ සිට පරිප්පු ඇටය දක්වා මිල ඉහළ දැමෙන අතර, අසරණ රටවැසියාගෙන් තව තවත් මුදල් කඩාවඩා ගැනීමේ නව මං සොයමින් තිබේ. මේ විකාරය නතර කෙරෙන්නේ කවදා ද? එසේ තිබියදීත්, නැවත නැවතත් තෝරා පත් කර ගැනෙන්නේ ද එම දේශපාලඥයන්වම ය.

අසන්තෝසයෙන් හෙම්බත් වූ ඉන්දීය ඡුන්දදායකයා ඔවුන්ගේ දේශපාලකයන්ට අමතක නොවන පාඩම් කියාදෙමින් සිටින විට, අඩු ගානේ ‘තොරතුරු දැන ගැනීමේ අයිතියවත්’ නීතිගත කර ගැනීමට අපට පුළුවන් වී නැත. එවැනි නීතියක් ශ‍්‍රී ලංකාවට හානිකර වන්නේ මන්දැ යි රටට පැහැදිළි කර දීමට තවමත් අපේ පාලකයන්ට නුපුළුවන. කොරේ පිටට මරේ කීවා සේ, ශ‍්‍රී ලංකාවේ අල්ලස් සහ දූෂණ කොමිසමේ සාමාජිකයන්ට පවා එරෙහිව නැගෙන දූෂණ චෝදනා එම සාමාජිකයන් විසින් ප‍්‍රතික්ෂේප කරමින් සහ දූෂිත දේශපාලඥයන්ගේ කැරැුට්ටුව ප‍්‍රශ්න නොකර මගහරිමින් සිටින අතරේ, හිටපු අගවිනිසුරුවරිය පස්සේ පැන්නීම නම් එම කොමිසම නතර කර නැත.

අල්ලස සහ දූෂණය අරභයා අධිකරණයේ ක‍්‍රියාකලාපය පිළිබඳ ප‍්‍රශ්නයට නැවත එන්නේ නම්, ඒ අංශයේ අධිකරණමය පරිහානිය හිටිහැටියේ සිදුවූවක් නොවන බව මතක තබා ගත යුතුය. ලංකාවේ නීති පද්ධතියේ ස්වාධීනත්වය ඒ සා පහසුවෙන් උදුරා ගැනීම ඉදිරියේ නීති විශාරදයන් සහ වෘත්තීය නීතිඥයන්ගෙන් බහුතරයක් කටක් නෑර සිටියේ මන්දැ යි මීට දශකයකට ඉහතදීත් මට ප‍්‍රශ්නයක් විය. එහෙත් ඒවාට අමුතුවෙන් උත්තර දීමක් අද අවශ්‍ය කරන්නේ නැත. ඒ තරමට, පිළිතුරු පැහැදිළි ය. ආත්මාර්ථකාමය, නරුමවාදය සහ කිසිවක් කෙරෙහි කැපනොවීම ආදිය තුළ ඕනෑ තරම් පිළිතුරු සොයාගත හැකිය.

ඉන්දීය දූෂණ-විරෝධය සතු ජවයට හේතු

දූෂණය මැඩලීම ඉලක්ක කරගත් මහජන භාරකාරත්වය පිළිබඳ න්‍යාය, අභාවප‍්‍රාප්ත මාක් ප‍්‍රනාන්දු සහ ඒ.ආර්.බී අමරසිංහ වැනි ශ‍්‍රී ලාංකීය විනිසුරුවරුන්ගේ මැදිහත් වීමෙන් ඉස්මත්තට පැමිණි කෙටි කාලයක් හැරුණු කොට, සමාජය කෙරෙහි අපේ අධිකරණමය ප‍්‍රතිචාරය, එක්කෝ විධායකයට පක්ෂපාතී එකක් විය. නැත්නම්, ලාබ ජනප‍්‍රියත්වයට යට වූ එකක් විය. උදාහරණයක් වශයෙන්, හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා යටතේ පැවති ශ්‍රේෂ්ඨාධිකරණයේ ක‍්‍රියාකලාපය ගැන ජාත්‍යන්තර නීතිඥ සංගමයෙන් මෙහි පැමිණි නීතිවේදීන් කණ්ඩායමක් කළ එක් වැදගත් නිරීක්ෂණයක් සැලකිල්ලට ගත හැකිය. ඔහුගේ අධිකරණය දුන් විනිශ්චයන්, ‘නීතියේ නිසි තර්කණයක් මත නොව, ජනප‍්‍රිය මාතෘකා සම්බන්ධයෙන් ස්වකීය මතය පළ කිරීම සඳහා ඔහු පාවිච්චියට ගත් අවස්ථාවන්’ වශයෙන් පෙනී යන බව ඒ නීතිවේදීන් පෙන්වා දුනි.

මෙය, මේ කොලමේ අනන්තවත් ලියැවී ඇත. එහෙත් නැවතත් එය කිව යුතුව තිබේ: මීට දශකයකට පෙර, බල කාමයෙන් මත් වූ දේශපාලඥයන්ගේ අතේ නැටවෙන රූකඩයක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය පත්වීම නීති ප‍්‍රජාවේ ප‍්‍රතිපත්තිමය විරෝධයකින් වළක්වා ගත හැකිව තිබියදී ඒ ගැන ඇස් කන් වසාගෙන සිටියවුන් එහි වගකීම භාරගත යුතුව ඇත. මීට මාස කිහිපයකට පෙර නීති ප‍්‍රජාව විරෝධතා දක්වමින් මහ පාරට බසින විට පෙරහැර ගොස් තිබුණි.

මීට ප‍්‍රතිපක්ෂව, ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ගෞරවය ආරක්ෂා කරගත්තේය. දේශපාලනය තුළ වල්මත් නොවුණේය. පුද්ගලයන් වශයෙන් දූෂිත වූ විනිසුරෙකු හෝ දෙන්නෙකුගෙන් ඈත් වුණේය. එය, ඉන්දියාවේ දූෂණ-විරෝධී ව්‍යාපාරය ඒ සා ජවසම්පන්නව ගොඩනැගීමට දායක වුණි. ඒ කෙතෙක් ද යත්, 2013 වන විට, ඇදහිය නොහැකි තරමේ කෙටි කාලයක් තුළ, දීර්ඝ කාලයක් තිස්සේ දිල්ලියේ බලය හෙබැවු මහ ඇමතිවරියව පරාජය කිරීමට පවා එම ව්‍යාපාරය සමත් වුණි.

ජනතා පදනමක් සහිත පුළුල් විරෝධතා ව්‍යාපාර

කෙසේ වෙතත්, ලංකාවේ දී මෙන් නොව, ඉන්දීය විරෝධතා සම්ප‍්‍රදාය, බලය හොබවන ආණ්ඩු සමග කෙලින්ම අභිමුඛ වන පුළුල් මහජන ව්‍යාපාර මත පදනම් වන්නකි. ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ ව්‍යාපාරය එවැන්නකි. එය, මාධ්‍ය වැනි විශේෂ අවශ්‍යතා සහිත අංශවල මැදිහත් වීමෙන් දියත් වූවක් නොව, පලාත් පාලන අයවැය ගැන තොරතුරු දැන ගැනීමේ අයිතිය ඉල්ලා සිටි සාමාන්‍ය ගැමියන්ගේ ඉදිරිපත් වීමක ප‍්‍රතිඵලයකි. එවැනි නිරන්තර මහජන ඉල්ලීම් ඉදිරියේ ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ ස්ථාපිත කෙරෙන ප‍්‍රාදේශීය නීති සැකසුණි. අනතුරුව, ජාතික මට්ටමෙන් ඒවා නීතිගත කෙරුණි. ඉන්දීය ආණ්ඩුවේ මහ පරිමාණ දූෂණ හෙළදරුව් කෙරුණේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. කෙසේ වෙතත්, මෙවැනි ජනතා අයිතියක් පිළිබඳව දේශපාලඥයන් කවදත් දක්වන එදිරිවාදීකම් ඉදිරියේ ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ නීතිගත කර ගැනීම පහසු නොවුණි. අද පවා එම ව්‍යාපාරයේ ඇතැම් ක‍්‍රියාකාරිකයන් ඉන්දියාවේ දී ඝාතනය වෙයි.

ඒ පසුබිම යටතේ, සමහර විට, දූෂණ-විරෝධී ජාතික ව්‍යාපාරයක් බිහිවීම වැළැක්විය නොහැක්කක් වූවා වන්නට පිළිවන. අන්නා හසාරේගේ නායකත්වයෙන් බිහි වූ එම ව්‍යාපාරය, වචනයෙන් පමණක් පොරොන්දු දෙන දිල්ලියේ දේශපාලන ප‍්‍රභූවරුන්ව වික්ෂිප්ත කෙළේය. එනිසා, හසාරේගේ ව්‍යාපාරයෙන් වෙන් වී දේශපාලනයට පිවිසීමට කෙජ්රිවාල් තීරණය කළ විට, එය, වෙනසක් අපේක්ෂා කළ ඉන්දීය ජනතාවගේ ප‍්‍රබල අපේක්ෂාවකට අත දීමක් විය. මීට අමතරව, ඉන්දීය ජනතාවට තවත් සතුටට කරුණක් තිබුණි. එනම්, දූෂණ විමර්ෂණ පැවැත්වීමේ සහ එම විමර්ෂණ නියමිත කාල සීමාවක් තුළ අවසන් කිරීමේ බලය සහිත දූෂණ-විරෝධී දුක්ගන්නාරාළ තනතුරක් ස්ථාපිත කෙරෙන පනතක් ඉන්දීය පාර්ලිමේන්තුව මගින් සම්මත කර ගැනීමයි.

අගමැතිවරයාට, දැනට සිටින සහ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට, සිවිල් සේවකයන්ට, ආණ්්ඩුවේ සංස්ථා සහ කොමිෂන් සභා නිලධාරීන්ට එරෙහිව පවතින දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ බලය මේ දුක්ගන්නාරාළට තිබේ. දුක්ගන්නාරාළ විසින් ඉදිරිපත් කරන සෑම සිද්ධියක් සම්බන්ධයෙන්ම කටයුතු කිරීම, ඉන්දියාවේ ප‍්‍රධාන විමර්ශන ආයතනය වන ‘මධ්‍යම පරීක්ෂණ කාර්යාංශය’ වෙත පැවරෙයි. මේ නීතිය ප‍්‍රමාණවත් පරිද්දෙන් ශක්තිමත් නැති බවට දූෂණ-විරෝධී ක‍්‍රියාධරයන්ගේ විවේචනයට ලක්වුවත්, දූෂණ-විරෝධී සමස්ත අරගලය තුළ එය එක් වැදගත් අවස්ථාවක් බව පිළිගත යුතුය. කෙජ්රිවාල්ගේ ජයග‍්‍රහණයත් සමග ගත් විට මේ කියන වර්ධනයන් හේතු කොටගෙන, එළැඹෙන වසරේ ඉන්දියාව එක්තරා ආකාරයකින් තිරිහන් කෙරෙනු ලැබෙන අතර එය ඉන්දීය ජනතාව ඉදිරියේ ඇති අභියෝගයක් ද වනු ඇත.

අපේ සදාචාර සාරයට කරන ලද පිළියම් කළ නොහැකි හානිය

අනිත් අතට, ශ‍්‍රී ලාංකිකයන් මුහුණදෙන තත්වය ඊට වඩා බෙහෙවින් බරපතල ය. උතුරු නැගෙනහිර ගැටුමේ උග‍්‍රතම අවස්ථාවේ දී පවා නිරුපද්‍රිතව පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ හුදු අදහසම අද බරපතල අවදානමට ලක්ව ඇති සෙයක් පෙනේ. එක පවුලක දේශපාලන සුභසෙත තකා ඇටවූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යටතේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ගැඹුරින් ඛාදනය වීම සහ බහුපක්ෂ ක‍්‍රමයේ පිරිහීම හරහා එක්තරා තෝරාගත් පිරිසක් විසින් පෙර නොවූ විරූ දූෂිත භාවිතාවකට පාර කපාගෙන තිබේ. ආණ්ඩුකරණයට අදාළ ප‍්‍රජාතන්ත‍්‍රීය පද්ධති, ප‍්‍රපාතයේ ඉද්දරට තල්ලූ කොට තිබේ. ඒ මගින් සාමූහික සදාචාර සාරයට කර ඇති හානිය පිළියම් කළ නොහැකි තරම් ය.

බිය දනවන තරමට පෙරදැකිය නොහැකි අළුත් වසරකට පා තබන මේ මොහොතේ, ශ‍්‍රී ලංකාවේ දේශපාලනික සහ නීති පද්ධති දෙස නවතම රැුඩිකල් අවංකත්වයකින් බැලිය යුතුව තිබේ. සහතික වශයෙන්ම ඒ වගකීම පැවරෙන්නේ, රටට මෙලෝ සෙතක් සලසා නැති ආණ්ඩුවටත්, විපක්ෂයටවත් නොව, අපටම ය.

*A Radically New Political Critique Needed In The New Year නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

Latest comment

  • 2
    1

    this woman is writing nonsense may be living in another country dont know anything about our people and the country. please come for at least holiday and see the difference;

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.