26 October, 2020

Blog

අපේ ‘‘ස්වෛරීත්වයේ’’ තේරුම මොකක්ද?

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

ඇමරිකාව, එක්සත් රාජධානිය සහ තවත් රටවල් තුනක් විසින් මෙවර මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ලබන ලංකාව පිළිබඳ යෝජනාව, ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නක් බවත්, ලංකාවේ භෞමික අඛණ්ඩතාවට සහ ජනතා ස්වෛරීත්වයට ඇඟිලි ගසන්නක් බවත්, එක්සත් ජාතීන්ගේ ශ‍්‍රී ලාංකීය නියෝජිතයා මේ සතියේ ජිනීවා නුවර දී ප‍්‍රකාශ කෙළේය. මේ තර්කයේ එක කාරණයක් වන, අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව එම යෝජනාව මගින් උල්ලංඝණය වන්නේය යන්න, අපි මදක් විමසා බලමු.

බරසාර ප‍්‍රගතියක් පෙනෙන්ට තිබිය යුතුය

අපේ ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිපාදනයන් ඒ මගින් උල්ලංඝණය වන්නේ හරියටම කෙසේදැ යි, අපේ නිත්‍ය නියෝජිතයා පැහැදිළි කොට නැත. මානව හිමිකම් කවුන්සිලය සඳහා ශ‍්‍රී ලංකාව ස්වේච්ඡුාවෙන්ම අත්සන් කිරීමේදී, එම කවුන්සිලයේ සාමාජිකත්වය වෙනුවෙන් රටක් වශයෙන් ප‍්‍රතිඥා දී තිබේ. රටේ දේශීය නීතිරීති සහ ප‍්‍රතිපත්ති, ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුගත වන බවට වගබලා ගැනීම ඉන් එක් ප‍්‍රතිඥාවකි. ඉන් ව්‍යංගාර්ථවත් වන්නේ, කවුන්සිලයේ ක‍්‍රියා පරිපාටීන් හරහා තමන් වගකීමෙන් බැඳී සිටින බවට වන පොරොන්දුවකි.

මානව හිමිකම් කවුන්සිලයේ බල පරාසයට එකඟ වෙමින් ශ‍්‍රී ලංකාව මුලින් එම වගකීමට අත්සන් කෙළේ, න්‍යායාත්මක ප‍්‍රතිඥාවන් දෙන අතරේ ප‍්‍රායෝගික තලයේ දී ඒවායින් කරඇරීමට හැකි වෙතැ යි යන තිරසාර අපේක්ෂාවෙනි. එහෙත්, මේ උප්පරවැට්ටි සඳහා පාවිච්චි කළ හැකි කාලය දැන් අහවර වෙමින් තිබේ. මේ තත්වය තුළ, කවුන්සිලයට ඉදිරිපත් වන ඇතැම් යෝජනා කාලයාගේ ඇවෑමෙන් ප‍්‍රතිඵලයකින් තොරව මැකී යනු ඇති බවට සමහරුන් තුළ ඇති සන්තෝෂය, ඉතා භයානක දුර්මතයකි.

‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශවල වැදගත් තැන් පිළිබඳ අවධානය

විමර්ශනය කිරීමේ බලයක් පැවරීම ගැනත්, සිදු වී යැයි කියන මානව හිමිකම් උල්ලංඝණයන් සහ ඊට අදාළ වෙනත් අපරාධ ගැන නිරීක්ෂණය කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයට බලය පැවරීම ගැනත් සඳහන් යෝජනාවට ආණ්ඩුව සිය බලවත් විරෝධය දක්වා තිබේ. එහෙත් දිරවා ගැනීමට අසීරු සත්‍යය වන්නේ, තමන් විසින්ම කරන පරීක්ෂණ සහ ඒ ආශ‍්‍රයෙන් වැරදිකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමේ ක‍්‍රියාවලිය තුළ ආණ්ඩුව පැත්තෙන් සැබෑ ප‍්‍රගතියක් පෙන්නුම් නොකිරීම මගින් ආණ්ඩුවම සිය විවේචකයන්ගේ දෑත් ශක්තිමත් කොට තිබීමක් මෙහි දී දක්නට ලැබීමයි.

‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ මගින් යෝජනා කළ ‘මෘදු’ නිර්දේශ ගැන තමන් කටයුතු කරමින් සිටින්නේය යන ආණ්ඩුවේ කතාව ලෝකයා තවදුරටත් බාරගන්නේ නැත. ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසම’ සඳහන් කළ, නීති විරෝධී ඝාතන සහ අතුරුදහන් කැරැුවීම් සම්බන්ධයෙන් සේම, උතුරේ හමුදාකරණය ඉවත් කිරීම, ඉඩම් ආරාවුල් විසඳීමේ අපක්ෂපාතී යාන්ත‍්‍රණයක් පිහිටුවාලීම, කලින් ස්වාධීනත්වයක් ඉසිලූ ආයතන ශක්තිමත් කිරීම, දේශපාලන බලය බෙදාහැරීම, අදහස් ප‍්‍රකාශනයේ නිදහස සහ නීතියේ ආධිපත්‍යය සඳහා වන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම ආදී ක්ෂේත‍්‍ර තුළ ද, බරසාර ප‍්‍රගතියක් පෙනෙන්ට තිබිය යුතුය. මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ඇති යෝජනාව තුළ කියැවෙන බලගතු කරුණු ඒවා ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැබවින්ම උල්ලංඝණය කෙරෙන්නේ, මේ කියන දේවල් නොතකා හැරීමෙන් බව අවංකව ඒ දෙස බැලූවොත් කෙනෙකුට පෙනී යනු ඇත.

ජාත්‍යන්තර වගවීම්වලින් කරඇරීම, වගවීමේ ප‍්‍රශ්නවලින් ඔබ්බට යන්නකි

රටක් වශයෙන් පිළිපැදීමට බැඳී සිටින ජාත්‍යන්තර වගකීම් නොතකා හැරීමට දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය, වගවීම පිළිබඳ ප‍්‍රශ්නවලින් ඔබ්බට යන්නකි. අපේ ව්‍යවස්ථාමය ව්‍යුහය නියමාර්ථයෙන් ගන්නේ නම්, 27 (15) වගන්තිය, (රාජ්‍ය ප‍්‍රතිපත්ති පිළිබඳ දිශාමය මූලධර්ම* රජයට මෙසේ බලය පවරයි: ‘‘ජාතීන් අතර ගනුදෙනුවේ දී, ජාත්‍යන්තර නීතිය සහ ගිවිසුම් බන්ධනයන් කෙරෙහි වන ගරුත්වය වර්ධනය කිරීමට උත්සාහ කළ යුතුය.’’ මේ මූලධර්මය, සෘජුවම මානව හිමිකම් සඳහා වන පදනමක් වශයෙන් පාවිච්චි කළ නොහැකි වෙතත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 27 (1) වගන්තිය ප‍්‍රකාරව, නීති ප‍්‍රතිපත්ති සහ නීතිරීති සකසා ගැනීමේ රාමුව සහ මගපෙන්වීම සඳහා වන බලය ඒ මගින් පැවරෙයි.

80 දශකය අවසානයේ සිට ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය, ජාත්‍යන්තර නීතිය මනාව භාවිත කරමින්, දේශීය නීති සංග‍්‍රහය සාරවත් කරගැනීම සඳහා මේ මූලධර්ම යොදාගෙන තිබේ. ඇත්ත වශයෙන්ම, (අධිකරණය රටේ ඉමහත් ගෞරවයට ලක්වූ යුගයක) ශ‍්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ එක් විනිසුරුවරයෙකු වරක් පෙන්වා දුන් පරිදි, ‘සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ වෛකල්පික පෙරාතුකොළය’ යටතේ ගැනෙන, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවේ අදහස් සම්බන්ධයෙන් ගත් විට, රාජ්‍යයක් තමන්ගේම පුරවැසියන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී පවා, විශේෂයෙන් ඔවුන්ගේ නිදහස පිළිබඳ කාරණාවන්හිදී, ජාත්‍යන්තර නීතියටත්, අන්තර්-රාශ්ටී‍්‍රය ගිවිසුම් බන්ධනයන්ටත් ගරු කළ යුතුය. ජාත්‍යන්තර නීතිය විසින් පිළිගන්නා ආරක්ෂණයන්හි වාසිය එම ජනතාවට දීමට රජයක් කටයුතු කළ යුතුය.’’

එක්සත් ජාතීන්ගේ නෛතික පරීක්ෂාවේ සිට දේශපාලනික පරීක්ෂාව වෙත

එවැනි යහපත් පූර්වාදර්ශයන් හේතුවෙන්, ජාත්‍යන්තර මානව හිමිකම් නීතියේ බැල්මෙන් මෑත් වී ඉන්නට ලංකාවට හැකි විය. එහෙත් සිංහරාසා නඩු තීන්දුවේ දී මේ ආරක්ෂණ ඉවතට දැමුණි. (සරත් නන්ද සිල්වා). ‘සිවිල් සහ දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ප‍්‍රඥප්තියේ’ පෙරාතුකොළයට ශ‍්‍රී ලංකාව බැඳී සිටීම ව්‍යවස්ථානුකූල නොවන බව එදා අධිකරණය ප‍්‍රකාශ කොට සිටීමත් සමග, ප‍්‍රථම වතාවට ලංකාව එක්සත් ජාතීන්ගේ නෛතික ශාඛාවන් සමග ගැටුම් මගකට අවතීර්ණ වුණි.

එවක් පටන්, ජාත්‍යන්තර නෛතික ප‍්‍රමිතීන්ට අනුගත වීමට අසමත් වීම නිසා ලෝකයාගේ විපරමට වැඩි වැඩියෙන් ලංකාව පාත‍්‍ර විය. අප පිළිබඳ අවධානය, එක්සත් ජාතීන්ගේ නීති අංශයෙන් දේශපාලන අංශයට විතැන් විය. එය, වන්නි යුද්ධයේ අවසාන අදියරේ හැසිරීමට පමණක් නොව, ඊට වඩා පුළුල් පරාසයක් භජනය කරන, නීතියේ ආධිපත්‍යය සහ දේශීය නීති සහ නඩු විභාග ආයතන ක‍්‍රමයේ ඇති විශ්වසනීයත්වය දක්වා ද, විහිදුණි.

‘‘ජාතීන් අතර ගනුදෙනුවේ දී, ජාත්‍යන්තර නීතිය සහ ගිවිසුම් බන්ධනයන් කෙරෙහි වන ගරුත්වය වර්ධනය කිරීමට’’ ආණ්ඩුවක් බැඳී සිටිතැ යි යන අපේ ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනය, ජනාධිපතිවරයා ස්වකීය සුපුරුදු චන්ඩි ශෛලියෙන්, පාර්ලිමේන්තුවේ බහුතර බලය යොදවා අවලංගු කර ගැනීමට බැරි නැත. අඩු වශයෙන් එවිට, අද මෙන් ලෝකෙට පරකාසේ දමමින් පස්සා දොරෙන් යාප්පු වීම ඇතුළු හොල්මන් වැඩ නැතිව, ජාතීන් අතරේ අද අප ගමන් කරමින් සිටින අනර්ථකාරී මාවත ගැන පැහැදිළි අවබෝධයක සිටීමට අපට හැකි වනු ඇත.

‘‘මහජන ස්වෛරීත්වයේ’’ බොල් හඬ

ආණ්ඩුවට එරෙහිව මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කෙරෙන ජිනීවා යෝජනාව මගින් රටේ මහජන ස්වෛරීත්වය සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කෙරෙන්නේ යැයි අපේ නියෝජිතයන් මොරදීම, රට ඇතුළේ දිගින් දිගට සිදුවන බරපතල මානව හිමිකම් උල්ලංඝණයන්, සමාජය හමුදාකරණයට ලක්වීම් සහ විධායක ජනාධිපති ක‍්‍රමයේ දරුණු අධිකාරීවාදයක් පවතින මේ මොහොතේ, නිසරු බොල් හඬක්ම පමණි. අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අදාළව පවතින ව්‍යවස්ථාමය සහ නීතිමය විධිවිධානයන්, ‘උගත් පාඩම් හා සංහිඳියා කොමිසමේ’ නිර්දේශ හරහා යළිත් අවධාරණය කෙරුණි. එහෙත් එම නිර්දේශ තවමත් ආණ්ඩුවෙන් ක‍්‍රියාත්මක කොට නැත. එසේ මගහැර ඇති නිර්දේශ අතරට, වින්දිතයන්ව ආරක්ෂා කෙරෙන නියමාකාර නීතියක් සකස් කර ගැනීම සහ ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ ජනතාවට ලබා දීම ද, අන්තර්ගත ය. (ජාත්‍යන්තර පරීක්ෂණයකට බිය වන තරමටම, ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ තමන්ගේ ජනතාවට දීමටත් රාජපක්ෂ පාලනය මර බියක් දක්වන බවක් පෙනේ).

මහජන ස්වෛරීත්වය යනු මෙය නම්, ස්වෛරීත්වය යන වචනයේම කිසි අරුතක් තිබිය හැකි ද?

What Worth, Our ‘Sovereignty’? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.