26 April, 2024

Blog

ප‍්‍රශ්නය වන්නේ එක නඩුවක් නොව, ශ‍්‍රී ලංකා යුක්ති විනිශ්චය පද්ධතියේ අවනඩුවයි

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

ඒ සියල්ල එසේ වනු ඇතැ යි කල්තියා දැන සිටීම, ඛේදයට කාරණයක් නොවන්නේ නම්, අඩු වශයෙන් හිනාවටවත් කාරණයක් වන්නේය. පරිපූර්ණ ලෝකයක නම්, මේ ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පවතින ශ‍්‍රී ලංකාවක, පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවක් නොපවත්වනු ඇත. මන්ද යත්, පොදුරාජ්‍ය මණ්ඩලය පෙනී සිටින සකල සාරධර්ම මේ ජනාධිපතිවරයා යටතේ සහමුලින් කණපිට හැරී ඇති බැවිනි.

නිරර්ථක නාස්තියක්

එහෙත්, මේ නාස්තිය සඳහා ලංකාවට ගෙන්වා ගැනීමට අපේ නායකයන් තටමන විදේශ නායකයන් සමග ශ‍්‍රී ලංකාවේ නූල් සූත්තරකාරයන් කරන ‘උඹලා අපිට දීපං, අපිත් උඹලාට දෙන්නම්’ ගනුදෙනුවේ දී අපට කළ හැක්කේ පැත්තකට වී කෙකරගෑම පමණි. එසේ වුවද, උතුරු පළාත් සභා ඡුන්දය පැවැත්වීම සඳහා රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි බලපෑම් කිරීමට ඉන්දියාව සමත් වීම මගින් රටේ දේශපාලන ප‍්‍රවාහයට කරන ලද බලපෑම සම්බන්ධයෙන් ගත් විට, ඉන්දියානු ප‍්‍රයත්නය ප‍්‍රශංසාත්මක බව කිව යුතුය. එහෙත් වෙනත් රටවල් ගත් එවැනි ප‍්‍රයතන්යන් බෙහෙවින් අවඥා සහගත ය. උදාහරණයක් වශයෙන්, ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩල නායක සමුළුවට සහාය දීමේ සහ ඊට සහභාගී වීමේ පොරොන්දුව පිට, ඔස්ටේ‍්‍රලියාවට මොනයම් මාර්ගයකින් හෝ පැමිණෙන ශී‍්‍ර ලාංකීය සරණාගතයන් නතර කිරීමට, ඔස්ටේ‍්‍රලියානු ආණ්ඩුව සහ ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුව දැනට ඇති කරගෙන තිබෙන නින්දනීය අන්‍යොන්‍ය සම්මුතිය එවැන්නකි.

මෙවැනි, ‘උඹලා අපිට දීපං, අපි උඹලාට දෙන්නම්’ මාදිලියේ තුච්ඡු ගනුදෙනු එතෙකින් නවතින්නේ නැත. බි‍්‍රතාන්‍ය සංචාරකයෙකු ඝාතනය කිරීම සහ ඔහුගේ පෙම්වතිය සාමූහික ලිංගික අඩන්තේට්ටම්වලට ලක්කිරීම ගැන සැක කෙරෙන, තංගල්ල ප‍්‍රාදේශීය සභා සභාපති සහ ඔහුගේ මැරවර ගජයන්ට එරෙහිව නීතිපතිවරයා විසින් සෘජුවම නඩු පැවරීමට දැන් ගෙන ඇති තීරණයත්, මිනිසෙකු ඝාතනය කිරීමේ සහ ගැහැනියක් දූෂණය කිරීමේ වරදට දඩුවම් පැමිණවීමේ යුක්ති ධර්මය මත ගත් තීරණයක් නොව, ඉහත කී එක් ගනුදෙනුවක ප‍්‍රතිඵලයක් වශයෙන් ගත් තීරණයකි. එය, අදාළ බි‍්‍රතාන්‍ය පුරවැසියාගේ මරණය ගැන බි‍්‍රතාන්‍ය රජය විශේෂ උනන්දුවක් දැක්වීම සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ලංකාවේ සමුළුවට බි‍්‍රතාන්‍ය අගමැතිව කෙසේ හෝ ගෙන්වා ගැනීම සඳහා ලංකා ආණ්ඩුවට ඇති උනන්දුව හේතුවෙන් උපන්නකි.

ව්‍යතිරේකය, සම්මතය සඳහා වන ආදර්ශයක් නොවේ

ඇත්ත, නඩු පවරා තිබේ. එම නඩුව සඳහා රජයේ විශේෂ නඩු පවරන්නෙකු ද පත්කරන්නට යන බව කියැවේ. එහෙත්, මේ කියන බි‍්‍රතාන්‍ය පුරවැසියා වෙනුවෙන් වේවා, 2006 දී ත‍්‍රිකුණාමලේ දී ඝාතනය කෙරුණු දෙමළ ශිෂ්‍යයන් හෝ එම වසරේ දීම මුත්තූර්හි දී ඝාතනය කෙරුණු ප‍්‍රංශ ආධාර සංවිධානයේ සේවකයන් 17 දෙනා වෙනුවෙන් වේවා, ශ‍්‍රී ලංකා ආණ්ඩුව ගනු ලබන මෙකී අවම නීතිමය පියවර පවා, මෙවැනි විශේෂ බලපෑම් හේතුකොටගෙන ගනු ලැබීම සැබෑ ප‍්‍රශ්නයට පිළිතුරක් නොවේ.

සැබෑ ප‍්‍රශ්නය වන්නේ, ලංකාවේ අධිකරණ යුක්ති විනිශ්චය පද්ධතිය සහ නීතියේ ආධිපත්‍යය බිඳ වැටී තිබීමයි. පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුව ලංකාවේ සාර්ථක කර ගැනීම සඳහා ආණ්ඩුවට ඇති විශේෂ උනන්දුව විසින් එම තත්වයේ හෙළුව දැන් නිරාවරණය කොට තිබේ. විදේශ රටක් මගින් බල කිරීම නිසා මෙසේ එක් විශේෂ සිදුවීමක් ගැන ලංකා ආණ්ඩුව පියවර ගන්නා අතරේ, අනිත් පැත්තෙන්, එවැනි මහ බලයකට හිමිකම් නොකියන තවත් සිය ගණනක් දේශීය වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් කිසි පිළිසරණක් නැතිව අනාථව සිටීමෙන් පෙන්නුම් කරන්නේ එයයි. අයිතීන් උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් පැහැදිළි සාක්ෂි තිබියදීත්, එවැනි අයවළුන්ට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ප‍්‍රතික්ෂේප කරන සෑම විටකමත්, එවැනි නඩුවක් ඇසීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප‍්‍රතික්ෂේප කරනු ලබන සෑම විටකමත්, මේ කියන සියලූ රාජ්‍ය නායක සමුළු සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සාරධර්ම පිළිබඳ ධර්ම සංගායනා අතර් පවා අපව තල්ලූ කෙරෙන්නේ, අත්තනෝමතික රාජ්‍යයක් වෙතටම බව අප අමතක නොකළ යුතුය. එහෙත් ඒ කාරණය, පොදුරාජ්‍ය මණ්ඩලයට වැදගම්මක් ඇති බවක් පෙනෙන්ට නැත.

ඉතිං, ලංකාවේ අධිකරණ යුක්ති විනිශ්චය ක‍්‍රියාවලියේ වරප‍්‍රසාදය කෙනෙකුට ලැබෙන්නේ ද නැද්ද යන් තීන්දු වන්නේ, යම් සිද්ධියක් අරභයා විදේශ රාජ්‍යයක් විශේෂ උනන්දුවක් දක්වන්නේ ද යන්න මත බව අපට පෙනේ. පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සහභාගී නොවීමට කැනඩා අගමැතිවරයා ගෙන ඇති තීන්දුව අගේ කළ යුතු අතර, සමහරවිට, කැනේඩියානු පුරවැසියෙකු ලංකාවේ දී ඝාතනය වී නොතිබීම හෝ ලංකාවේ සරණාගතයන් එම රටට හොර බෝට්ටුවලින් පැමිණීමේ ප‍්‍රශ්නයක් ඔවුන්ට නොතිබීමත් ගැන අප සතුටු විය යුතුය. මන්ද යත්, එසේ විණි නම්, ඔවුන්ගේ තත්වයත් මීට වෙනස් වීමට ඉඩ ඇති දෝ හෝ යි සිතෙන බැවිනි.

සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම ද, සාක්ෂිකරුවන් ඉවත් කිරීම ද?

මේ පුවත්පත ගිය සතියේ වාර්තා කළ, ‘අපරාධවලින් ගැහැටට පත්වූවන් ආරක්ෂා කිරීමේ සහ ඔවුන්ට ආධාර කිරීමේ’ පනතක් ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන ප‍්‍රවෘත්තියත්, පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සාර්ථක කර ගැනීම පෙරදැරිව ලංකා ආණ්ඩුව සිතා බලන තවත් එවැනි අවර ගනුදෙනුවක ප‍්‍රතිඵලයකි. මේ පනතේ අඩංගු දෑ කවරේ දැයි මෙතෙක් ජනතාව දැනුවත් කොට නැත. කෙසේ වෙතත්, වාර්තා වන පරිදි, සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අංශය පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළේම පිහිටුවන්නේ මන්ද යන්න ප‍්‍රශ්නයකි. කිසි සැකයකින් තොරව, අනන්තවත් අවස්ථාවල පෙනී ගොස් ඇති පරිදි, ගැහැටට පත්වූවන්ට (වින්දිතයන්) සහ සාක්ෂිකරුවන්ට තර්ජනය කරන්නේ පොලීසියම බව අපි දනිමු. ඉතිං, මේ කියන විශේෂිත පිරිසකගේ ආරක්ෂාව, ඔවුන්ව තර්ජනයට ලක්කරන අංශයටම පැවරීම, එම යාන්ත‍්‍රණයේ විශ්වසනීයත්වය බරපතල ලෙස ප‍්‍රශ්න කරන්නකි.

එසේම, මීට කලින් සකස් කෙරුණු කෙටුම්පතක තිබූ දුර්වලතා මෙම කෙටුම්පතෙන් නිවැරදි කරගන්නා බවක් ද පෙනෙන්ට නැත. උදාහරණයක් වශයෙන්, කලින් කෙටුම්පතේ 7 (5) වගන්තිය යටතේ, යම් පරීක්ෂණයකින් ලබාගන්නා, යම් අපරාධයකින් පීඩාවට පත් අයවළුන්ගේ (වින්දිතයන්ගේ) හෝ එම අපරාධය ගැන සාක්ෂි දීමට ඉදිරිපත් වන්නන්ගේ හෝ ඔත්තුකරුවන්ගේ අනන්‍යතාව හෙළිදරව් වන ආකාරයේ තොරතුරු කිසිවක් ප‍්‍රසිද්ධ කිරීම හෝ බෙදාහැරීම තහනම් ය.

සාක්ෂිකරුවෙකු ආරක්ෂා කිරීමේ ඕනෑම වැඩපිළිවෙලකට එවැන්නක් අත්‍යාවශ්‍ය බව, දක්ෂ අපරාධ පරීක්ෂකයෙකු හෝ අපරාධ නඩු පිළිබඳ ඕනෑම නීතිඥයෙකු එකඟ වන කාරණයකි. එහෙත් ඉහත කී කෙටුම්පතේ එම තහනම සීමා වුණේ, එසේ තොරතුරු හෙළිදරව් කිරීම අදාළ වින්දිතයාගේ, සාක්ෂිකරුවාගේ හෝ ඔත්තුකරුවාගේ ජීවිතයට තර්ජනයක් වන්නේ යැයි සිතන අවස්ථාවලට පමණි. මෙය, අනවශ්‍ය සීමාවකි. ජීවිත තර්ජනයක් නැති වුවත්, එම තොරතුරු හෙළි කිරීම නිසා වෙනත් ආකාරයක තර්ජනයක් අදාළ පුද්ගලයා කෙරෙහි ඇති කරන්නේ නම්, මෙවැනි ආරක්ෂාවක ඇති ඵලය කිම?

අපේ කරුමෙට, විගඩම තවදුරටත්

වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම මේ ආණ්ඩුවේ සැබෑ උවමනාව නම්, 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පැවති ස්වාධීන පොලිස් කොමිසම යළි ස්ථාපිත කළ යුතුව තිබේ. දෙවැනුව, දේශපාලන ඇඟිලි ගැසීමෙන් පොලිස් දෙපාර්තමේන්තුව නිදහස් කොට, විදේශ රටකින් එන බලපෑම්වලට සීමා නොවී, සෑම අපරාධකරුවෙකුටම එරෙහිව නඩු පැවරීමට අවශ්‍ය කරන දේශපාලන හයිය වඩවා ගත යුතුව තිබේ. එසේ නොවන තාක් කල් සිදුවන්නේ, විඩගම ඉදිරියටත් රඟ දැක්වීම පමණි.

*It’s Sri Lanka’s Justice System, Not Just One Case ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    ඉන්දියානු රජයේ ක්‍රියාකලාපයට ප්‍රසංශා කිරීමට ඔබ තුමිය ඉදිරිපත් වන්නේ ඉන්දීය රජය අපේ රට වෙනුවෙන් ගෙන තිබෙන තීරණ සාදාරන නිසාද ?ඉන්දියාව සැම විටම ප්‍රයත්න දැරුවේ ලංකාවේ සිංහල ජාතිය වෙනුවෙන් පෙනී සිටීම නොවේ.දෙමල ජාතියට සිංහලයන්ට අයිති දේ උදුරා දීමටය .සිංහලයන් වෙනුවෙන් පෙනී සිටි එකම ජනාධිපති වරයා රාජපක්ෂයන් පමණි .

  • 0
    0

    මාද්‍ය වේදීන්ට ආණ්ඩුවට මඩ ගසා පැන ගන්නට තිබු එකම මරුමස්ථානය වූ ඕස්ට්‍රේලියාවේ දොරගුළු වැසීම ඔව්න්ට මහත් තර්ජනයකි .

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.