Colombo Telegraph

ලාංකීය දේශපාලනය, නීතිය සහ මාධ්‍ය

කිෂාලි පින්තු ජයවර්ධන

කිෂාලි පින්තු ජයවර්ධන

නිදහසින් පසු ගත වූ කාලයෙන් වැඩි කොටසක් ලංකාවේ මිනිස් පැවැත්මේ පරාමිතීන් හැඩගස්වමින් අරුත්ගන්වා ඇත්තේ, රාජ්‍ය හිංසනය මගිනි. විශේෂයෙන් පසුගිය දශක කිහිපය තුළ ක‍්‍රියාත්මක වූ අගාධ ආරක්ෂණ රාජ්‍යයක අඳුරු ග‍්‍රාහිකාවන් ඔස්සේ, මාධ්‍ය කෙරෙහි වන බලහත්කාරයක් අභ්‍යාස කෙරී තිබේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම් යාතිකාව

එහි බලපෑම, සියල්ල අකර්මණ්‍ය කරවන සුළු විය. මීට වසර පහකට කලින් වඩාත් උචිත ‘‘ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම් යාතිකාවක්’’ මැයෙන් ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතට මා ලියූ ලිපියකින් (2015 සැප්තැම්බර් 12) එක් පැනයක් මතු කෙළෙමි: එනම්, ‘‘මිනිසුන්ගේ නිදහස උදුරාගෙන තිබෙන අවස්ථාවක් සහ ප‍්‍රජාතන්ත‍්‍රීය ආයතන මියැදෙන අවස්ථාවක්, මිනිස් ජීවිත මියැදෙනවාට වඩා නරක අවස්ථාවක්ද?’’ යන්නයි. සිවිල් නිදහස උදුරා ගැනෙමින්, වින්දිතයන්ට නීතියේ පිළිසරණක් නොලැබෙන විට, මිනිස් ජීවය යටපත් කෙරෙන සැටි බලා සිටීමට අපට බල කෙරුණි. ව්‍යවස්ථාමය අයිතීන් වෙනුවෙන් අධිකරණයක් ඉදිරියේ පෙනී සිටින නීතිඥයෙකුට තම ප‍්‍රයත්නය නිරර්ථක බව මුල සිටම දැන සිටීමට සිදුවීම තරම් තවත් අබග්ගයක් තිබිය හැකිද? හුදෙක් නොමැරී විසීම සඳහාම අර්ධ-සත්‍යයන් හෝ ගල් පැලෙන බොරු ලිවීමට මාධ්‍යවේදියෙකුට සිදුවීම තරම් තවත් හෙනයක් තිබිය හැකිද?

පසුගිය වසර ගණනාව තිස්සේ බොහෝ ශ‍්‍රී ලාංකිකයන් දිනපතා මුහුණදුන් යථාර්ථය එයයි. දශකයක් දිග් ගැස්සුණු රාජපක්ෂ පාලනය ජනාධිපතිවරණයක් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් මගින් අතුගා දමා අගාධයෙන් ගොඩ එන සෙයක් පෙන්නුම් කරන මේ මොහොතේ පවා, අර කී නීරස මතක අපව පෙළයි.

ආයතනික අර්බුදයක් ඇති බව පිළිගැනීම

ශ‍්‍රී ලංකාව දැනට බරපතල ආයතනික අර්බුදයකට මුහුණදී සිටී. මාධ්‍යයේ ක‍්‍රියාකාරීත්වය එයින් එක් කොටසක් පමණි. මෙය විශේෂිත දේශපාලනික තන්ත‍්‍රයකට හෝ විශේෂිත ජනාධිපතිවරයෙකුට සීමා වන්නක් නොවේ. එය, ආයතනික ප‍්‍රශ්නයකි.

උදාහරණයක් වශයෙන්, ආණ්ඩුවේ ප‍්‍රහාරයන්ට මාධ්‍ය ලක්වුණේ පසුගිය දශකයට බොහෝ පෙරාතුව සිටයි. එම ක‍්‍රියාවලිය තුළ නීතිය කටයුතු කෙළේද අතිශය විනාශදායී ආකාරයෙනි. දේශපාලනික තන්ත‍්‍රයත් සමග ඉතා රළු නීතිමය පටලැවිලිවලට ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය හසු වී තිබේ. යටත්විජිත විලංගු ගලවා දැමීමේ අරමුණින් 1972 දී පළමු ජනරජ ව්‍යවස්ථාව සම්මත කරගත් සැණින් ඇති කර ගත් ‘පුවත්පත් මණ්ඩල’ නීතිය පිළිබඳව එකල විශාල ආරවුලක් මතුවුණි.

මේ නීතිය, ආධ්‍යාශයෙන්ම දුෂ්ට ය. ඒ යටතේ, පුවත්පත් අධීක්ෂණය කිරීම සඳහා ආණ්ඩුවේ මණ්ඩලයක් පිහිටුවන ලදි. එදා ඇතැමුන් නිවැරදිව පෙන්වා දුන් පරිදි, ඒ වූ කලී, පුවත්පත්වලට ‘අණදීම’ සඳහා පිහිටුවන ලද යාන්ත‍්‍රණයකි. මේ නීතියේ 16 (1) සහ (2) වගන්තිවලට අනුව, කැබිනට් තීරණ සහ කැබිනට් පත‍්‍රිකා පුවත්පතක පළ කිරීම තහනම් ය. ඊට අවසර ලැබුණේ ඉතා දැඩි කොන්දේසිවලට යටත්ව පමණි. මෙවැනි නියමයන් හිතුවක්කාරී ය. බාධාකාරී ය.

රාජ්‍යයේ ආරක්ෂාවට හදිසි සහ පැහැදිළි තර්ජනයක් වන අවස්ථාවකදී හැරුණු කොට, ආණ්ඩුවේ තීරක කි‍්‍රයාවලිය, තොරතුරු දැන ගැනීමේ අයිතියට යටත් වන්නේය යන අධිගාමී ප‍්‍රතිපත්තියට එවැනි නියමයන් හානිකර ය. ආරක්ෂාව පිළිබඳ හදිසි තර්ජනයක් ඇති අවස්ථාවක පවා, ඒ අරභයා පැනවෙන සීමාවන්, අපේක්ෂිත තර්ජනයට සමානුපාතික විය යුත්තේය. තවද, 1955 නිල රහස් පනත තුළට ගැනෙන රාජ්‍ය රහසක්, කිසි පුවත්පතක පළ කිරීම පුවත්පත් මණ්ඩල නීතියේ 16 (3) වගන්තිය යටතේ තහනම් ය. කෙසේ වෙතත්, ‘රාජ්‍ය රහසක්’ වන්නේ කවරක්ද යන්න ගැන පවතින නිර්වචනය, යල්පීනූ, අපැහැදිළි එකකි.

පුවත්පත් මණ්ඩල නීතිය සම්බන්ධයෙන් අධිකරණය හීලෑ කර ගැනීම

එදා සිටි අදීන ව්‍යවස්ථා අධිකරණය මේ පනත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සමග ගැටුණි. ඒ, දේශපාලඥයන් විසින් ඊට අදාළ තීන්දුව අධිකරණය මත පැටවීමට උත්සාහ කළ අවස්ථාවේ ය. ව්‍යවස්ථාව නිර්වචනය කිරීමේ වගකීම ඇත්තේ විනිසුරුවරුන්ට පමණක්ම බව කියා සිටි අධිකරණය, ඒ රාජකාරියට විලංගු වැටීම අධිකරණයේ කාර්යය පැහැර හැරීමක් වන බව පෙන්වා දුනි.

එහෙත් අවසානයේදී බල තුලනය කැරැුකුණේ දේශපාලඥයන්ගේ වාසියටයි. අධිකරණය තමන්ගේ බලයට තර්ජනයක් වන බව දුටු පාර්ලිමේන්තුව ඒ ගැන තදින් සිටියේය. එහිදී මුළු අධිකරණයම ඉල්ලා අස්වූහ. ඒ වෙනුවට, සුවච විනිසුරුවරුන් කිහිප දෙනෙකු පත්කර ගැනුණි. එසේ පත්කර ගැනුණු අළුත් ව්‍යවස්ථා අධිකරණය, ඉතා සුවචව, පුවත්පත් මණ්ඩල නීතිය ව්‍යවස්ථාවට එකඟ වන බවට නිගමනය කළහ. සිතූ පරිද්දෙන්ම, ඉන් පසු, ආණ්ඩුවට පක්ෂපාතී මිනිසුන්ගෙන් සමන්විත පුවත්පත් මණ්ඩලය, මාධ්‍ය කෙරෙහි වක‍්‍රකාරයේ තර්ජනාංගුලියක් වෙමින් කටයුතු කෙළේ ඉතා නරකටයි.

ඒ, 1973 දී ය. එදා සිට අප උගත් පාඩම් එසේ තිබියදීත්, එයින් දශක ගණනාවක්ම දැන් ගතව තිබියදීත්, නැවත වරක් පසුගිය දා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, අතීත ආණ්ඩුවල හොල්මන් අවතාරවලට නැවත පණ දෙමින් මේ පුවත්පත් මණ්ඩලයට අළුතෙන් සාමාජිකයන් පත්කෙළේය. අතීතය සහ වර්තමානය අතර පවතින අවාසනාවන්ත බන්ධනයේ තරමත්, මාධ්‍ය නිදහස ගැන මැතිවරණ වේදිකාවේ මොන තරම් පාරම්බෑවත් බලයට පත්වූ පසු ඒ පොරොන්දු ප‍්‍රායෝගිකව ඉටු කිරීමට දේශපාලඥයන් පස්ස ගසන සැටිත් එයින් පෙන්නුම් කෙරුණි.

අතීතයෙන් පැනෙන වැදගත් අනතුරු ඇඟවීම්

ඉන් එහාටත් යන අනතුරු ඇඟවීම් තිබේ. 1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ජනාධිපති පදවියට පත්වීමේදී, 2015 ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල කෙරෙහි තරමේම ආශ්වාදයකින් රට ඇළලී ගියේය. එක්සත් ජාතික පක්ෂයේ දහසය වසරක අධිකාරීවාදී පාලනය පෙරලා දමමින් කුමාරණතුංගව බලයට පත්කළ බලවේග අතරේ මාධ්‍ය එදා ප‍්‍රධාන භූමිකාවක් ඉටු කෙළේය.

83 කළු ජුලියේදී දෙමළ ජනතාව ඝාතනය කිරීම ඇතුළු අපවිත‍්‍ර අතීතයක් එක්සත් ජාතික පක්ෂයට තිබුණි. උතුරේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට මෙන්ම දකුණේ කැරලිකාරී ජනතා විමුක්ති පෙරමුණටත් එරෙහිව දියත් වූ ආණ්ඩුවේ ත‍්‍රස්ත-විරෝධී ක‍්‍රියාකාරකම් අතරේ, මාධ්‍යවේදියෙකු සහ නාට්‍ය රචකයෙකු වූ රිචඞ් ද සොයිසා පැහැරගෙන ගොස් ඝාතනය කර දැමීමත් තිබුණි. ඒ ගැන මෙතෙක් නිසි පරීක්ෂණයක් කෙරී නැත.

එසේ තිබියදීත්, කුමාරණතුංග බලයට පත්වී නොබෝ දිනකින්ම රජයේ මාධ්‍ය ආයතන, ආණ්ඩුවේ ප‍්‍රචාරක මෙවලමක් බවට පත්කර ගැනුණි. පෞද්ගලික මාධ්‍ය මට්ටු කිරීම සඳහා වාරණයත්, සාපරාධී අපහාස නීතියත් පාවිච්චි කෙරුණි. පුවත්පත් කතුවරුන්ට නිතරම පාහේ සාපරාධී අපහාස චෝදනා යටතේ අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට සිදු විය. මාධ්‍ය භාවිතාව තුළ තමන්ට ලැබෙන තොරතුරු පිළිබඳ මූලාශ‍්‍ර හෙළි නොකිරීමේ මාධ්‍ය සම්ප‍්‍රදාය වැනි ප‍්‍රශ්න සම්බන්ධයෙන් එදා අධිකරණය ගත් ස්ථාවරයන් බොහෝ විට පරස්පර විය. ව්‍යාකූල විය. කෙසේ වෙතත්, මෙසේ ගොඩනැගෙමින් තිබූ දැඩි පීඩනය හමුවේ එක්සත්ව නැගී සිටි මාධ්‍ය ක‍්‍රියාකාරිකයෝ, නීති පොතෙන් සාපරාධී අපහාස නීතිය ඉවත් කරගත්හ. එහෙත් වූ කලී, එක් හුදෙකලා සාර්ථකත්වයක් පමණි.

චන්ද්‍රිකා කුමාරතුංගගෙන් පසු මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ මාධ්‍ය මර්දනය පෙර නොවු විරූ අන්තයකට ගියේය. එහෙත් එය වනාහී, ඊට කලින් සිට පැවත ආ ක‍්‍රියාවලියක දිගුවක් බව අප අමතක නොකළ යුතුය.

2015 දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මළගම් යාතිකා ගැයීමේ අවශ්‍යතාවක් මතුවන්නේ නැත. එසේ වුවද, ලංකාවේ ප‍්‍රධාන දේශපාලනික ධාරාවෙන් එල්ල වන මාධ්‍ය භාවිතාවේ ආයතනික මර්දනය ආපසු හැරවීමේ අභියෝගය බරපතල එකකි. 1994 න් පසුව අප දැක්කා සේම, දැනුත් මාධ්‍යයෙන් එල්ල වන විවේචනයන්ට නව ආණ්ඩුව නොරිස්සුම් සහගත ප‍්‍රතිචාරයන් දක්වනු අපට පෙනේ. ආණ්ඩුවේ සිදු වී යැයි කියන දූෂණ චෝදනා සම්බන්ධයෙන් මහජන කතිකාවක් ඇති වීම, පාර්ලිමේන්තු වරප‍්‍රසාද නීතිය යටතේ අලූත් පාලකයන් විසින්ද මැඩලීමට වෙර දරනු පෙනේ. කෙසේ වෙතත්, ඉස්සරට වඩා, මාධ්‍ය ප‍්‍රතිසංස්කරණ සඳහා වන දේශපාලනික උවමනාවක් අද තිබේ. ජාත්‍යන්තරයේ උසස්ම ප‍්‍රමිතීන්ට අනුගතව විශේෂඥ කමිටුවක් මගින් සකසන ලද ‘තොරතුරු දැන ගැනීමේ අයිතිය’ පිළිබඳ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මේ ඔක්තෝබරයේදි ආණ්ඩුව පොරොන්දු විය. එසේම ස්වාධීන විකාශන අධිකාරියක් පිළිබඳ කතාබහක්ද තිබේ. තවද, රාජ්‍ය මාධ්‍ය සම්බන්ධයෙන් ගත් විටත්, ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණ තවම ඇති වී නැතත්, දේශපාලනික තොරතුරු ආවරණය කිරීමේදී, පෙරට වඩා සමබරතාවක් පෙනෙන්ට තිබේ.

මාධ්‍ය පැත්තෙන්ද අන්තරාවලෝකනයක් අවශ්‍ය කෙරේ

මේ අතරේ මාධ්‍යයත් තමන් දෙසට ආපසු හැරී බැලිය යුතුව තිබේ. පසුගිය දශකයේ ලංකාවේ පුවත්පත් කලාවේ උසස් ප‍්‍රමිතීන් මෙන්ම පහත් ප‍්‍රමිතීන්ද දක්නට ලැබුණි. අනිත් අතට, මිනිස් ජීවිත මැඩලද්දී සහ දූෂණය රජයද්දී පුවත්පත් කලාවේදීන් ආරක්ෂණ රාජ්‍ය පද්ධතියට අභිමුඛව සිට ගනිමින් ඒවා අනාවරණය කෙළේ ජීවිත පරදුවට තබමිනි. අනිත් අතට, බලය සමග ‘අනුගත පුවත්පත් කලාවක්ද’ දක්නට ලැබුණි. එහිදී, පාලක පැලැන්තියේ උදහසට ලක්වූ සිය මාධ්‍ය සගයන්ට එරෙහිව කුරිරු ප‍්‍රහාරයන්හි නියුක්ත වූ රජයේ සහ පෞද්ගලික අංශයේ මාධ්‍යකරුවන්ද වූ බව මතක තබා ගත යුතුය.

තවත් පිරිසක්, රටේ සුළුතරය ආපදාවට පත්වන විට අහක බලාගෙන උන්හ. උතුරු අර්ධද්වීපයේ දෙමළ මාධ්‍ය කෙරෙහි නිරන්තර ප‍්‍රහාරයන් එල්ල වන විට, දකුණේ ඇතැම් ජාතික පුවත්පත් ඒවා නොතකා උන්නේය. ගිය වසරේ කලහකාරී බෞද්ධ භික්ෂූන් අළුත්ගම නගරයේ ජාතිවාදී කෝලාහල ඇවිලවූ අවස්ථාවේ සිංහලයන්ගේ සහ මුස්ලිම් ජාතිකයන්ගේ නිවෙස් ගිනිබත් වුණි. එහෙත් දකුණේ ඇතැම් ජාතික පුවත්පත් වාර්තා කෙළේ සිංහලයන්ගේ නිවෙස් ගිනිබත් වූ අවස්ථා පමණි. ඇත්ත වශයෙන්ම එය, සමාව දිය නොහැකි ආකාරයෙන් අමුඅමුවේ මාධ්‍ය සදාචාරය උල්ලංඝණය කිරීමකි.

කෙසේ වෙතත්, සමස්තයක් වශයෙන් ගත් විට, ඇත්ත කතා කිරීම වෙනුවෙන් දිවි පිදූ මාධ්‍යකරුවන් සිටි රටකි මේ. එය, අසමසම පරිත්‍යාගයකි. රටේ මාධ්‍ය සංස්කෘතිය නගා සිටුවීමට දුෂ්කර අරගලයක යෙදෙන අතරේම, ඒ බවත් අප අමතක කළ යුතු නැත.

*2015 ඔක්තෝබර් 19 වැනි දා ‘Asian Affairs (UK)’ අඩවියේ පළවූ “Sri Lanka Politics, Law and the Media” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ 

Back to Home page