20 April, 2024

Blog

ජී.7 සමුළුව තුළ ශ‍්‍රී ලාංකීය භූමිකාව

කිත්මිණ හේවගේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය දා ජී.7 සමුළුවට සහභාගී විය. ජී.7 සමන්විත වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායකයන් ප‍්‍රකාරව, ලෝකයේ තිබෙන වඩාත් දියුණු ආර්ථිකයන් සහිත රටවල් හතෙනි. එම රටවල් 7 සතු මුළු ධනය, සමස්ත ලෝක ධනයෙන් සියයට 64 කි. මේ නිසා බොහෝ දෙනා නැගූ ප‍්‍රශ්නයක් වුණේ, ‘ශ‍්‍රී ලංකාව වැනි, ඩොලර් බිලියන 80.5 ක් වැනි පුංචි ආර්ථිකයක් සහිත, ඉන්දියානු සාගරයේ පුංචි රටක නායකයෙකු එවැනි බලවත් ජගත් එකතුවක් තුළ කුමක් කරන්නේද?’ යන්නයි. එහි පසුබිම සම්බන්ධයෙන් යම් පැහැදිළි කිරීමක් පහත පළ කරමි. කෙසේ වෙතත්, මෙය යම් අනුමිතියක් පමණක් බව මුලින්ම කිව යුතුය. මේ පැහැදිළි කිරීම, විමර්ශනාත්මක මාධ්‍ය නීරීක්ෂණයක් වශයෙන්වත්, මූලාශ‍්‍ර පාදක කරගෙන ඉදිරිපත් කරන්නක්වත් නොවන බව සැළකුව මනා ය. මෙය හුදෙක්, යම් දළ සම්බන්ධතා රටාවක් පිළිබඳ කටු සටහනක් පමණි.Maithripala Japan G7 2016

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ආරාධනා කෙළේ ඇයි?

මේ ආරාධනයට කරුණු දෙකක් ඉවහල් වන්ට ඇතැයි පෙනේ. එකක් වන්නේ, භූ-දේශපාලනික හේතූන් ය. අනික වන්නේ, ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තියයි.

ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය යළි ස්ථානගත කිරීම

ජනාධිපති රාජපක්ෂ යටතේ ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය චීනය පැත්තට බර වීම ගැන මේ වන විට ඕනෑ තරම් සාකච්ඡා කෙරී තිබේ. එම නැඹුරුවේ ප‍්‍රතිඵලයක් වශයෙන් ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර සබඳතා කෙරෙහි ඇති කරන ලද බලපෑම සැලකිල්ලට ලක්ව ඇතත්, ශ‍්‍රී ලංකාව සහ ජපානය අතර සබඳතා කෙරෙහි එකී චීන නැඹුරුව බලපෑ ආකාරය සාකච්ඡාවට ගැනී ඇත්තේ අල්ප වශයෙනි. ජපානයේ නිදහස වෙනුවෙන් 1951 දී ජේ. ආර්. ජයවර්ධන ඇමරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නුවරදී පවත්වන ලද ඓතිහාසික කතාවේ පටන්, ජපානය ශ‍්‍රී ලංකාවේ ඉතා සමීප මිතුරෙකු විය. ඇත්ත වශයෙන්ම, 2009 වැනි ඉතා මෑතක් වන තෙක්ම ලංකාවේ සංවර්ධනය සඳහා වැඩියෙන්ම ආධාර සැපයූ රට වන්නේද ජපානයයි. කෙසේ වෙතත්, 2009 පටන් චීනය අපේ ආර්ථිකය කෙරෙහි දැඩි බලපෑමක් ඇති කිරීමට පටන් ගැනීමේ සිට ජපානය ශ‍්‍රී ලංකාව තුළ දැරූ ස්ථානය ක‍්‍රමයෙන් ක්ෂය වී ගියේය. එබැවින්, 2015 ජනවාරි මාසයේ සිදු වූ ආණ්ඩු වෙනස හරහා ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය යළි ස්ථානගත කිරීමේ පසුබිම තුළ, ජපානයට නැවතත් ශ‍්‍රී ලංකාව සමග වන ස්වකීය පැරණි සම්බන්ධතා ගොඩනගා ගැනීමට අවකාශ සැළසී ඇත්තේය.

දකුණු චීන මුහුදු කලාපයේ දේශපාලනය

මේ වෙනස්කම් ඇති වෙමින් තිබෙන්නේ, චීන රජයට දකුණු චීන මුහුදු කලාපයේ පිහිටි ජපානය ඇතුළු වෙනත් අසල්වාසී රටවල් සමග යම් ප‍්‍රශ්න ඇති වෙමින් තිබෙන පරිසරයකයි. මේ කලාපයේ රටවල් කෙරෙහි චීනයෙන් එල්ල වෙතැයි සැළකෙන ආක‍්‍රමණශීලීත්වයට එරෙහිව එම කලාපයේ පිහිටි ‘කුඩා ජාතීන්’ සමග සමීප සබඳතා ගොඩනගා ගනිමින් යම් කලාපීය එක්සත් පෙරමුණක් ඇති කර ගැනීම කෙරෙහි, ඇමරිකාවේ සහ වෙනත් පාර්ශ්වකරුවන්ගේ අවධානය යොමු වී තිබේ. මේ නිසා, ජපානයේ පැවැත්වුණු ජී.7 සමුළුව හරහා, චීනය ගැන අසල්වාසීන් තුළ පවතින එකී නොරිස්සීමට ප‍්‍රකාශනයක් සැපයීමත්, එම කලාපයේ පවතින භූ-දේශපාලනික වැදගත්කමට ප‍්‍රමුඛත්වයක් දීමත් අපේක්ෂා කෙරුණි. වෙනත් වචනවලින් කිවහොත්, සාමූහික පොදු ශක්තිය ප‍්‍රදර්ශනය කිරීමක් අපේක්ෂා කෙරුණි.

මේ සමුළුවට ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනට ආරාධනා කිරීම පසුපස මෙකී කාරණාවල සංකලනයක් තිබෙන්ට ඇති. සමුළුව අතරවාරයේ පැවැත්වුණු ‘අතිරේක හමුව’ සඳහා ආරාධනා කොට තිබු, ජී.7 කණ්ඩායමට අයත් නොවන වෙනත් රටවල් දෙස බලන විට එය තවත් සනාථ වෙයි. ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට අමතරව, බංග්ලාදේශය, චාඞ්, ඉන්දුනීසියාවට, ලා ඕසය, පැපුවා නිව්ගීනියාව සහ වියට්නාමය ආරාධනා ලැබ තිබුණි. මේ රටවල් සම්බන්ධයෙන් චීනය දරණ වැදගත්කම මෙහිදී ඕනෑම කෙනෙකුට පහසුවෙන් තේරුම්ගත හැකිය. උදාහරණයක් වශයෙන් චාඞ් රට ගතහොත්, එය ආර්ථික දර්ශකවලින් සිටින්නේ ඉතා පහත් අඩියකයි. මෑත කාලයේ සිට මේ රට තුළට චීන ආයෝජන බෙහෙවින් ගලා ඒමට පටන්ගෙන තිබේ. අප‍්‍රිකාවේ වෙනත් රටවලදී සේම, චාඞ් රටේදීද චීනයේ පිළිවෙත වන්නේ, ආධාර සහ ආයෝජන සැපයීම, එම රටේ පවතින තෙල් සම්පතත් සමග හුවමාරුවට තබා ගැනීමයි. අනිත් අතට, බංග්ලාදේශය පිහිටා තිබෙන්නේ, චීනයේ ‘මුහුදුකර සේද මාවතේ’ වැදගත් ස්ථානයකයි. ඒ සමගම, ‘බෙංගාල බොක්කේ කාර්මික වර්ධන වළල්ල’ වැඩපිළිවෙල යටතේ, ජපන් ආයෝජන වැඩි වැඩියෙන් ඇද ගනිමින් සිටින රටක් වශයෙන්ද එය වැදගත් ය.

සමුළුවේදී සිදුවුණේ කුමක්ද?

ජී.7 සමුළුව වැනි ජාත්‍යන්තර ඒකරාශීවීම්, ප‍්‍රතිපත්තිමය දෘෂ්ටි කෝණයකින් පමණක් විග‍්‍රහ කිරීම යෝග්‍ය නොවේ. මන්ද යත්, වෙතත් ගතිකත්වයන්ද, කෙටිකාලීන වශයෙන් සහ දීර්ඝ කාලීන වශයෙන් ඒ කෙරෙහි වැදගත් බලපෑම් ඇති කරන බැවිනි.

ඉඟිය

ප‍්‍රධාන පෙළේ රාජ්‍ය තාන්ත‍්‍රික හමුවීම් තුළ ඇති නිවැරදි තානය සහ සාරය හඳුනාගත හැක්කේ, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන සහ වෙනත් ප‍්‍රකාශයන්ගෙන් එහාට ගොස්, ඔවුන් එකිනෙකා කෙරෙහි හැසිරෙන ආකාරය විමසා බැලීමෙනි. මේ නිසා, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනව වෙනත් රාජ්‍ය නායකයන් විසින් පිළිගනු ලැබූ ආකාරය වීඩියෝ පට හරහා අපට බලා ගැනීමට ලැබීම වැදගත් ය. විශේෂයෙන්, ජනතාව සහ මාධ්‍යය වෙත මුදාහැරෙන අදාළ රාජ්‍ය තාන්ත‍්‍රික හැසිරීම් දක්වන කොටස්, විධිමත්ව සංවිධානය කරනු ලැබේ.

ඔවුන් අතරේ සිදුවන සෘජු කතාබහට බරක් එකතු කරනු ලබන්නේ, ඒ කතාබහ අතරේ සිදු කෙරෙන ඔවුන්ගේ ශරීර භාෂාව සහ භාෂාමය නොවන සංඥාවන් මගිනි. උදාහරණයක් වශයෙන්, නෙල්සන් මැන්ඬේලාගේ අවමගුලේදී, බරක් ඔබාමා සහ කියුබානු නායක රාවුල් කැස්ත්‍රෝ අතට අත දීම, ඇමරිකා-කියුබා රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතාවන්හි ඇති විය හැකි වෙනස්කම් පිළිබඳ සංඥාවක් පළ කළ අතර, එයම පසුව එම දෙරට අතර පූර්ණ රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධතා යළි ගොඩනගා ගැනීම කෙරෙහි තුඩුදුන්නේය.

කරුණු එසේ වන කල, මෛත‍්‍රිපාල සිරිසේන සහ වෙනත් නායකයන් අතර දක්නට ලැබුණු හැසිරීම් රටා වැදගත් වන්නේය. මුලින්ම, ජී.7 නායකයන් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙතට උදක්ම පැමිණෙනු අපි දුටුවෙමු. එයින් පෙන්නුම් කෙළේ, ලංකාව සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමට ඔවුන් තුළ පැවති අභිලාෂයයි.

ජී.7 නායකයන් සමග හමුවක් ලබා ගැනීමට මීට පෙර සිටි අපේ රාජ්‍ය නායකයන් බොහෝ සේ උත්සාහ ගෙන ඇතත්, ඒ කිසිවක් සාර්ථක වුණේ නැත. එවැනි තත්වයක් තුළ, මෙකී රාජ්‍ය නායකයන්ම දැන් ලංකාවේ ජනාධිපතිවරයා ළඟට පැමිණීමෙන් පෙන්නුම් කරන්නේ, ලංකාව සම්බන්ධයෙන් වන උපායමාර්ගික වැදගත්කම මේ අවස්ථාවේ එම නායකයන් තේරුම්ගෙන ඇති බවයි. දෙවැනුව, ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාට සාකච්ඡා මේසයේ අසුන් පිළිගන්වා තිබුණේ ඉතා වැදගත් ස්ථානයකයි. රාජ්‍ය නායකයන් අසුන් ගන්නා ස්ථාන තීරණය කිරීම ඉතා සංකීර්ණ ක‍්‍රියාවලියකි. ඒ සඳහා සමහර විට මාස ගණන් ගත වෙයි. මේ සමුළුවේදී, ලංකාව වැනි පුංචි දිවයිනක නායකයාට අසුන් පනවා තිබුණේ, මේ සමුළුවේ සත්කාරක රට වන ජපානයේ අගමැතිවරයාට යාබදවයි. ඊට අනිත් පැත්තෙන්, බි‍්‍රතාන්‍ය අගමැතිවරයා සිටියේය. ඊට ඉදිරියෙන් සිටියේ, ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා ය. එය, ශ‍්‍රී ලංකාව කෙරෙහි නිකුත් කරන ලද බලගතු චරිත සහතිකයකි. එසේම, ජගත් නායකයන්ගේ පැත්තෙන්, ලංකාව සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමේ අභිලාෂය මනාව පෙන්නුම් කරන්නකි.

ප‍්‍රත්‍යක්ෂය

ජී.7 සමුළුව පැවැත්වෙන්නේ යම් නිශ්චිත ප‍්‍රතිපත්ති මාලාවක් ක‍්‍රියාත්මක කිරීම සඳහා නොවේ. එය බොහෝ විට සීමාවන්නේ, සාමාජික රටවල් අතරේ සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටත්, දේශපාලන ස්ථාවරයන් සන්නිවේදනය කර ගැනීමටත්, ආර්ථිකය සඳහා පොදු දිසානතියක් සනිටුහන් කර ගැනීමටත් ය. ඒ නිසා මේ සමුළුව බොහෝ දුරට කතාබහට සීමා වෙයි.

ඒ නිසා, සංයුක්ත ආර්ථික ප‍්‍රතිපත්ති දිසානතියක් දියත් කිරීමට මෙහිදී නොහැකි විය. එහෙත්, ජගත් වෙළඳාම සහ ආයෝජන ව්‍යාප්තිය වර්ධනය කිරීම කෙරෙහි කැපවීම ගැනත්, සංක‍්‍රමණික අර්බුදය, ත‍්‍රස්තවාදී තර්ජන සහ දකුණු චීන සාගර ප‍්‍රශ්න ගැන අවධානය යොමු කිරීම ගැනත් විශේෂයෙන් සාකච්ඡා වුණි.

ඒ නිසා, ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වඩාත් සංයුක්ත ප‍්‍රතිපත්ති තීරණ ගැනුණේ, ජපානය සමග පැවති ද්වි-පාර්ශ්වික සාකච්ඡුා ඔස්සේ ය. ඒ අනුව, යෙන් බිලියන 38 ක ආධාර මුදලක්, ‘විදේශ සංවර්ධන සහයෝගීතාව’ වැඩ පිළිවෙල යටතේ ලබා දීමට ජපානය පොරොන්දු වුණි. ජාතික විද්‍යුත් විකාශන පද්ධතිය ගොඩනැගීමේ සහ බෙදාහැරීමේ කාර්ය සඳහාත්, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ජල සම්පාදන පහසුකම් ඇති කිරීම සහ වෙනත් සංවර්ධන ව්‍යාපෘති සඳහාත් ඒ මුදල යෙදවෙනු ඇත.

ද්වි-පාර්ශ්වීය සාකච්ඡුා අවසානයේ නිකුත් කෙරුණු ප‍්‍රකාශනය මෙහිදී වැදගත් වෙයි. ඒ අනුව, ‘නීතියේ ආධිපත්‍යය යටතේ පදනම්ව, ගැඹුරු මුහුදේ නිදහස සහ සාමුද්‍රීය සැලසුම පවත්වා ගැනීමේ වැදගත්කම’ දෙපාර්ශ්වය විසින් සහතික කොට සිටින ලදි. මෙය, ඉන්දියානු සාගරයේ චීන චර්යාවන් පිළිබඳ පවතින ප‍්‍රශ්න ආශ‍්‍රිතව ඇති කර ගත් යම් අවබෝධයක් බව පැහැදිළි ය. මේ අතර, සාගර ආරක්ෂාවට අදාළ කටයුතු වෙනුවෙන් පාවිච්චි කිරීම සඳහා මුර සංචාරක යාත‍්‍රා දෙකක් ලංකාවට ලබා දීමටත් ජපානය පොරොන්දු විය.

ඊළඟට කුමක්ද?

ජී.7 සමුළුවට ආරාධනා කරනු ලැබීමත්, එහිදී උණුසුම් ආකාරයෙන් ජනාධිපතිවරයාව පිළිගනු ලැබීමත් මගින් පෙන්නුම් කරන්නේ, ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය තුළ අළුතින් වෙනසක් ඇති වී තිබීමත්, ඒ වෙනස එම නායකයන් විසින් පිළිගනු ලැබීමත් ය. කෙසේ වෙතත්, ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය තුළ ඇති වී තිබෙන මේ වෙනස නිසා, චීනය සමග පවතින සමීප සබඳතා නැති කරගත යුතු නොවේ. ආර්ථික සහයෝගීතාව, දේශපාලනික උදව් උපකාර සහ භූ-දේශපාලනික සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවට ලබා ගත හැකි විපුල ප‍්‍රයෝජන අත්පත් කරගත හැක්කේ, බටහිර මෙන්ම නැගෙනහිර ලෝකයා සමගද මිත‍්‍ර සම්බන්ධතා වර්ධනය කර ගැනීමෙනි.

ලංකාවේ නොබැඳි ප‍්‍රතිපත්තියේ සාර්ථකත්වය ලක්ෂමන් කදිරගාමර් ඇමතිවරයා යටතේ වඩාත් ශක්තිමත්ව කැපී පෙනුණි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මූල්‍යමය සහ දේශපාලනික ක‍්‍රියාකාරකම් මැඩලීම සඳහා බහු-පාර්ශ්වීය ලෝක සංවිධාන පද්ධතිය තුළ ලංකාවේ ස්ථානය ශක්තිමත් කරගනු වස් ඔහු ඇමරිකාව සහ බටහිර ලෝකය සමග සහයෝගීතාවන් ගොඩනගා ගන්නා අතරේම අනිත් පැත්තෙන් චීනය සහ රුසියාව සමගත් සම්බන්ධතා තර කර ගත්තේය. මේ නිසා අතීතයෙන් පාඩම් උගනිමින් කිසිවෙකුගෙන් හුදෙකලා නොවී සිටීමට අප පියවර ගත යුතුය. ඒ අනුව, ලෝකයේ සෑම රටක් සමගම කාර්ය සාධනයේ නිරත වීමේ ප‍්‍රතිපත්තියක් තුළින් රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතුව තිබේ.

*2016 ජුනි 8 වැනි දා ‘ඩේලි නිව්ස්’ පුවත්පතේ පළවූ Sri Lankan Role at the G7 Summit නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.