31 October, 2020

Blog

ඉවසීම පරීක්ෂාවට ලක්කිරීම

ශ‍්‍රී ලාංකික දේශපාලඥයෝ මෝඩ කතා කීමේ රෝගයෙන් පෙළෙති. උත්ප‍්‍රාසය වන්නේ, එහි මෑතම නිදර්ශනය සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන්ම සපයනු ලැබ තිබීමයි. ලංකාවට පැමිණෙන සියලූ විදේශීය සංචාරකයන්, එච්.අයි.වී. ආසාදනයෙන්/ඒඞ්ස් රෝගයෙන් සහ මැලෙරියාවෙන් පෙළෙන්නේදැ යි කටුනායක ගුවන් තොටුපොළෙදීම පරීක්ෂාවට ලක්කළ යුතු බවට ඔහු යෝජනා කොට තිබේ.

Rajithaමිනිසුන් සංචාරයේ යෙදෙන්නේ, විනෝදය සහ නව අත්දැකීම් ලබා ගැනීමටයි. දැනට වසරකට ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂ පහළොවකට අධිකයි. ඔවුන් ලංකාවට එද්දීම මෙසේ ඔවුන්ව වෛද්‍ය පරීක්ෂාවකට ලක් කිරීම මොන විදිහකින්වත් ඔවුන්ගේ සතුටට හේතුවක් නොවනු ඇත. වෛද්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු කරන ජගත් සංවිධාන, ශ‍්‍රී ලංකාවේ ඒඞ්ස් රෝගය සම්බන්ධයෙන් පොදු වෛද්‍ය පරීක්ෂාවට ලක්කිරීම් අනවශ්‍ය බව දන්වා තිබේ. ඊට හේතුව, ලංකාවේ එම රෝගය පවතින්නේ ඉතා සුළු මට්ටමක බැවිනි. අවශ්‍ය තන්හිදී රට අභ්‍යන්තරයේ වෛද්‍ය පරීක්ෂාවන් අවශ්‍ය ප‍්‍රමාණයෙන් කරනවා හැර, රටට පැමිණෙන විදේශිකයන් ඒ සඳහා යොදා ගැනීමක් අවශ්‍ය නොකෙරේ.

මැලේරියාව සම්බන්ධයෙන් ගත් විට, මැලේරියා රෝගය බහුලව පවතින රටවල්වලින් ලංකාවට පැමිණෙන සංචාරකයන් පමණක් පරීක්ෂාවට ලක් කිරීම සෑහේ. එය පවා, අදාළ සංඛ්‍යා ලේඛන අනුව එතරම් වැදගත් නොවන බවක් පෙනෙන්නේ, පසුගිය වසර කිහිපය තිස්සේම ලංකාවේ දේශපාලන රැුකවරණය පතා පැමිණි විදේශ සරණාගතනයන් අතරින් මැලේරියා රෝගීන් සොයාගෙන ඇත්තේ කිහිප දෙනෙකු පමණක් වන බැවිනි. කෙසේ වෙතත්, ඒඞ්ස් රෝගය ගැන ඉදිරිපත් වන මෙවැනි යෝජනාවක්, පුද්ගලයන් සතු පෞද්ගලිකත්වයේ නිදහස මතම, කුණු කූඩයට දැමිය යුතුව තිබේ.

එක්සත් ජාතීන්ගේ ඒඞ්ස් ආයතනය ප‍්‍රකාශයට පත්කොට ඇති සංඛ්‍යා ලේඛනවලට අනුව, 2009 අවසානය වන විට ලංකාවේ එච්.අයි.වී/ඒඞ්ස් ආසාදනයට ලක්ව සිටි රෝගීන් සංඛ්‍යාව 3000 ක් පමණ වෙයි. මෙය, මුළු ජනගහනයෙන් සියයට 0.1 ටත් අඩු ප‍්‍රතිශතයකි. 2011 දෙසැම්බර් වන විට 1463 දෙනෙකු මේ රෝගයෙන් පෙළෙන බවට වාර්තා වී තිබේ. එයින් 253 දෙනෙකු මියගොසිනි. වාර්තා වූ මේ ප‍්‍රමාණයෙන් සියයට 60 ක් පිරිමින් ය. අඩකට වැඩි පිරිසක් කොළඹිනි. මෙවැනි රෝග වාර්තා වන්නේ අඩුවෙන් නිසා, සැබෑ රෝගීන් සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකිය. සමාජ අපවාදය ගැන ඇති බියත්, රෝගය පිළිබඳ ඇති නොදැනුවත් භාවයත් නිසා, වාර්තා කිරීමට ඉදිරිපත් වන ප‍්‍රමාණයේ අඩුවක් තිබිය හැකිය.

රෝගය බෝ වෙන ප‍්‍රධාන මාර්ගය වන්නේ ලිංගික සේවනයයි. සියයට 4-5 අතර ප‍්‍රතිශතයක්, දෙමාපියන් රෝගීන් වීම නිසා, උත්පත්තියේදීම රෝගයට ගොදුරු වෙයි. ලේ දීම හරහා රෝගය බෝ වී ඇත්තේ සියයට 1 ක් පමණි. මත්ද්‍රව්‍ය ශරීරගත කර ගැනීම් හරහා රෝගය වැළඳී ඇති බවට වාර්තා වී ඇත්තේ හතර දෙනෙකු පමණි. (සියයට 0.5). සමලිංගික සේවනය හරහා සියයට 12 ක් මේ රෝගයට ගොදුරුව සිටිති. එච්.අයි.වී/ඒඞ්ස් ආසාදිත අනුපාතය, පිරිමි ගැහැනු වශයෙන් ගත් විට, 1.4-1 කි. කෙසේ වෙතත්, රෝගයට ගොදුරු වන ගැහැනු ප‍්‍රතිශතය වර්ධනය වෙමින් තිබේ. 1987-1991 කාලය තුළ රෝගයට ගොදුරු වූවන්ගෙන් සියයට 21 ක් ගැහැනුන් වූ අතර, එම ප‍්‍රතිශතය 2011 වන විට සියයට 42 ක් දක්වා වර්ධනය වී තිබුණි. මෙවැනි සංඛ්‍යාත්මක ඉහළ යාමක් පෙන්නුම් කිරීමට එක හේතුවක් වන්නේ, වැඩි වැඩියෙන් වෛද්‍ය පරීක්ෂාවන් කෙරෙහි ගැහැනුන් යොමු වීමේ ප‍්‍රවණතාවක් පසුගිය කාලයේ ඇති වීමයි.

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය නිලධාරීහූ ඉතා සාර්ථක වැඩ පිළිවෙලක් දියත් කොට තිබේ. ලිංගික සේවයේ නියුක්ත ගැහැනුන් සේම පිරිමින් අතරේද කොන්ඩම් (කොපු) භාවිතා කිරීමට එයින් අනුබල දෙනු ලැබේ. එසේම, ගර්භනී කාන්තාවන් මීට අදාළ සෞඛ්‍ය පරීක්ෂාවන්ට වැඩි වැඩියෙන් ලක්කරනු ලැබේ. ඇත්ත වශයෙන්ම, ඉලක්කගත කණ්ඩායම් තෝරාගෙන ඔවුන්ට ආමන්ත‍්‍රණය කිරීමට මේ හරහා පියවර ගෙන ඇති අතර, 25,000 ක පමණ පිරිසක් එම වැඩපිලිවෙල් තුළට ඇතුළත් කරගෙන තිබේ. එයින් ලැබී ඇති ප‍්‍රතිඵල ඉතා සාර්ථක ය. එච්.අයි.වී/ඒඞ්ස් ආසාදනය වැළැක්වීම සහ පාලනය කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ සාර්ථකත්වය ගැන, ‘ලිංගිකව බෝ වෙන රෝග පිළිබඳ 2013 ජගත් වාර්තාව’ තුළ, ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රශංසා කොට තිබේ. එසේ වෙතත්, පරීක්ෂාවෙන් සිටීම දිගටම කළ යුතුව ඇති අතර, ඒ සඳහා තව තවත් සම්පත් අවශ්‍ය කොට තිබේ.

මේ අංශයෙන් ලබා ගත හැකි සාර්ථකත්වයන් පිළිබඳ ඇගැයීමක්, ශ‍්‍රී ලංකාව සහ කියුබාව ආශ‍්‍රයෙන්, ඉහත කී වාර්තාව ගෙනහැර දක්වයි. සීමිත සම්පත් මධ්‍යයේ පවා, මේ රටවල් ලබාගෙන ඇති සාර්ථකත්වය හරහා, ඒ අංශයෙන් ලිංගික වශයෙන් බෝවෙන රෝග පිළිබඳව කළ හැකි මැදිහත් වීම් සහ වෙනත් සැලසුම් ගැන එහි දක්වා තිබේ. ශ‍්‍රී ලංකාව සහ කියුබාව වැනි රටවල් ඒ අංශයෙන් සපයා ඇත්තේ ආදර්ශයකි. ඊට අදාළ නිදර්ශන ගෙනහැර දක්වන වාර්තාව, කාලයක් යද්දී මේ රෝගය වැළැක්වීම සහ පාලනය කිරීම හරහා එම රෝගය මැඩපැවැත්විය හැකි බව පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අංශ තුනක් ආවරණය කිරීම ඉතා වැදගත් බව වාර්තාව තවදුරටත් පෙන්වා දෙයි. එකක් වන්නේ, ලිංගික සේවනයෙන් බෝවෙන රෝග වෙනුවෙන් වෙන් වූ, ඉහළ ප‍්‍රමිතියෙන් යුත් සේවාවන්, ඒවා අවශ්‍ය කරන සියලූ ජන කොටස් සඳහා පහසුවෙන් සලසා ගැනීමේ හැකියාව තිබීමයි.. දෙවැන්න වන්නේ, රෝගය බෝ වීමේ ප‍්‍රවණතාව අඩු කිරීම සඳහා හදිසි පියවර ගැනීමයි. ඊළඟට, මේ සඳහා වන වැඩ පිළිවෙලවල් සාර්ථක කර ගැනීම සඳහා, වැඩියෙන් අවදානමට ලක්විය හැකි පිරිස් නිරන්තර පරීක්ෂාවට ලක්කිරීම හරහා ඒ පිළිබඳ විශ්වාසය තැබිය හැකි දත්ත සම්පාදනය කර ගැනීමයි.

මෙවැනි ව්‍යාපෘතීන් හරහා ශ‍්‍රී ලංකාව 1970 ගණන්වල සිටම සාර්ථකත්වය පෙන්නුම් කොට තිබේ. එහෙත් ඒ සමගම, දේශපාලඥයන්ද ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ප‍්‍රමාණයෙන් සවිඥානක විය යුතුව ඇත.

*2016 ජුනි 7 වැනි දා ‘ඩේලි එෆ්.ටී.’ පුවත්පතේ අදහස් දැක්වීමේ තීරුවේ පළවූ “Testing Patience” නැමැති කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.