23 April, 2024

Blog

මහින්ද විශ්වාස කළ නොහැකි හෙයින් මෛත්‍රීපාලට ඡන්දය දෙමි

කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ජනාධිපති මහින්ද රාජපක්ෂ ජාතික ආරක්ෂාව සඳහා තමා කෙරෙහි විශ්වාසය තබා තමා තුන් වැනි වරටත් ජනාධිපති කරන ලෙස ජනතාවට කියා සිටියි. නමුත් ඔහු විශ්වාස කිරීම සම්බන්ධයෙන් ගත් කළ අතීත වාර්තාව අපට පෙන්වා දෙන්නේ ජනතාව ඔහු කෙරෙහි තැබූ විශ්වාසය ඔහු දිගින් දිගටම කඩ කළ බවයි.

එක්සත් නොබෙදුණු රටක් තුළ දේශපාලන බලය බෙදීම තම අපේක්ෂාව යැයි උතුරේ දෙමළ ජනතාවගේ අති මහත් බහුතර ඡන්දයෙන් බලයට පත් දේශපාලන නියෝජිතයන් නැවත නැවත අවධාරණය කරද්දීත් ලංකාව දෙකඩ කරන්නට කුමන්ත්‍රණයක් ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ සිංහල ජනතාව බිය වැද්දීම දිගටම කරයි. තමනට ඡන්දය දුන් ජනතාව තමන් කෙරෙහි තැබූ විශ්වාසය කඩ කොට පෞද්ගලික වාසි තකා පිල් මාරු කළ මන්ත්‍රීන් ගේ වැඩි ඡන්දයෙන් ව්‍යවස්ථාව වෙනස් කොට තමන්ට ජීවිත කාලයක් බලයේ සිටීමට මඟ පාදා ගත්තේය. එමෙන්ම රටේ යහපතට ව්‍යවස්ථාවට ඇතුළත් කොට තිබූ යහ පාලනය සහතික කරන විවිධ කොමිෂන් සභා පිහිටුවීමට අදාළ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බල රහිත කළේය. තමා රටේ හිමිකරු නොව භාරකරු යැයි බලයට පත්වී ජාතික ස්වභාවික පරිසරය විනාශ කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් ඒවාට ඉඩ සැළසීය. මහජනතාව අධික ණය බරට පත් කොට ජනයා මත අධික බදු බර පටවා මහජන අරමුදල් තම පෞද්ගලික ධනය සේ නාස්ති කරමින් දන්සැල් දෙමින් මහජන සම්පත් දේශපාලන ප්‍රචාරණය සඳහා අවභාවිත කරමින් තම මැති ඇමතිවරුන්ටත් එලෙස මහජන අරමුදල් අයථා ලෙස පරිහරණය කරන්නට ඉඩ සැළසීය. ජාතික ආරක්ෂාව සඳහා යැයි කියමින් උතුරු නැගෙනහිර දෙමළ සහ මුස්ලිම් ජනයා සහ දකුණේ සිංහල ජනයා සදාකාලිකව හමුදා පාලනය යටතේ තබා ගැනීමට උත්සාහ කිරීමෙන් නිදහස් දේශයක් වෙනුවෙන් ඔහු ජනතාවට දුන් පොරොන්දු කඩ කළේය. ඔහු රටේ පවත්නා නීතිය යටතේ බලයට පත්ව එම නීති වලට පටහැනිව ක්‍රියා කරමින් සිටියි, එසේ කිරීමට තම අනුගාමිකයන්ට අනුබල දෙයි, තම අනුගාමිකයන් නීති කඩන විට ඊට එරෙහිව ක්‍රියා නොකරයි, පවත්නා නීති තමන්ගේ අරමුණුවලට එරෙහි වන විට එම නීති තම අයුතු ලෙස එකතු කරගත් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලය යොදා වෙනස් කරයි. තමනට පක්ෂපාතී නොවන පිරිස් වලට එරෙහිව මැර බලය යෙදවීමට රජයට සහ දේශපාලනඥයන්ට ඉඩ සළසයි. තමන්ට සහ තම රජයට එරෙහිව එල්ල වන මහජනතාවද හොඳාකාර දන්නා විවේචන සම්බන්ධයෙන් අවංකව සිතා බලා තම වැරදි පිළිවෙත් නිවැරදි කරගන්නවා වෙනුවට එම විවේචන සියල්ල අසත්‍ය ප්‍රකාශ ලෙස ප්‍රතික්ෂේප කරයි. රජයේ ආයතන වල පරිපාලන නායකත්වයට සැබෑ සුදුස්සන් වෙනුවට තමනට දේශපාලනිකව පක්ෂපාතී පුද්ගලයන් පත් කොට එම ආයතන රජයේ දේශපාලන ව්‍යාපෘතියට යට කිරීමෙන් ඒවායේ වෘත්තීය මට්ටම සහ කාර්යක්ෂමභාවය පිරිහෙන්නට ඉඩ සළස්වයි. මෙලෙස ජනතාව තමා වෙත තැබූ විශ්වාසය ඔහු කඩකළ ආකාරයන් පිළිබඳ ලැයිස්තුව මෙම ලිපියේ අවකාශය තුළ සඳහන් කළ නොහැකි තරම් අති දීර්ඝ ය.

Maithri Newමේ සියලු දේ ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරහි ජනතාව තැබූ විශ්වාසය ඔහු විසින් කඩ කිරීම කි.

මේ නිසා මම මහින්ද රාජපක්ෂට ඡන්දය නොදෙන්නෙමි.

අපි පෙර පරම්පරාවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් උරුම කර ගත්තෙමු. එහි තිබුණු නිදහස යළි මතු කර ගැනීම මට අවශ්‍යය. අපේ ඡන්දයෙන් නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත් කරන්නට ඔවුන් රට වෙනුවෙන් ගන්නා තීරණ පිළිබඳ බලපෑම් කරන්නට ආණ්ඩු ජනතා හිතවාදී නොවන විට වරින් වර ඒවා වෙනස් කරන්නට නිදහස මට අවශ්‍යය. අපේ ඡන්දයෙන් බලයට පත් ආණ්ඩුව යටතේ අපව මර්ධනය කිරීමේ බියෙන් තොරව නිදහසේ ජීවත් වන්නට අවශ්‍යය, පාලකයන් විවේචනය කරන්නට නිදහස අවශ්‍යය, කැමති පරිදි ප්‍රජාතන්ත්‍රවාදීව සංවිධානය වීමේ අදහස් පළ කිරීමේ සහ ක්‍රියා කිරීමේ නිදහස මට අවශ්‍යය. මගේ නිදහසේම කොටසක් ලෙස පූර්ණ මාධ්‍ය නිදහස අපට අවශ්‍යය. ආගම් ජනවර්ග පංති යනාදී සියලු භේදයන් ගෙන් තොරව අපේ සමාජයේ සියළු දෙනාට යුක්තිය සහ සමාජ සාධාරණය ඉටු කරනු දකින්නට මට අවශ්‍යය. උතුරු නැගෙනහිර දෙපළාතේ දෙමළ ජනයා ට තම ප්‍රදේශවල දේශපාලනය සහ දෛනික කටයුතු බියෙන් තොරව කරගෙන යා හැකි පරිද්දෙන් දේශපාලන බලයද, නිදහස ද, සිවිල් පාලනයද තහවුරු කරනු ලැබීම දැකීම මට අවශ්‍යය. නීතියේ පාලනය තහවුරු කරනු ලැබීමත්, ජනාධිපතිවරයා ඇතුලු හැම මට්ටමකම දේශපාලනඥයන් නීතියේ පාලනයට යටත් කරනු දකිනු ලැබීම මට අවශ්‍යය. රජය රටේ වසන සුනඛ, කාක ආදී සතුන්ටත් හිඟන්නන්ටත් මානවාවදී ලෙස සළකනු දැකීම මට අවශ්‍යය. රජය නගරවැසි අඩු ආදායම් ලාභීන්ටත් යුක්තිය සාධාරණය ඉටු කරනු දැකීමට ඔවුනට එරෙහිව   බලහත්කාරය බිය වැද්දීම යොදා නොගනු දකින්නට මට අවශ්‍යය.

මෙම ජනාධිපතිවරණය සමස්ත ලාංකේය ජාතියේ ඉදිරි අනාගතය තීරණය කෙරෙන අවස්ථාව මිස පුද්ගලයෙකුට කළ ගුණ සැළකීම පිළිබඳ කරුණක් ලෙස නොදකිමි.

අපට අවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදය සැබෑ පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් දක්වා ගැඹුරු කරන්නට මිස ඊනියා සංවර්ධනයේ හෝ ජාතික ආරක්ෂාවේ නාමයෙන් එය වළලා දමන්නට නොවේ.

මේ අවස්ථාව මඟ හැරුණ හොත් ඉදිරි බොහෝ කාලයකට අපටත් අපේ දරු මුණුබරුන්ටත් නිදහස යුක්තිය සාධාරණය වැළලුණු සමාජයක ජීවත් වීමේ ඛේදවාචකයට මුහුණ පාන්නට සිදුවනු ඇති බව විශ්වාස කරමි.

මෙම තත්වයට වෙනස් කරන්නට අප අවස්ථාව පාදා ගත යුතුය.

මේ නිසා මෛත්‍රීපාල සිරිසේන ට මගේ ඡන්දය දෙමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.