2 May, 2024

Blog

රාජපක්ෂලා 2010 දී අලෙවි කළ යුද ජයග්‍රහණය, දේශමාමක කථා, රටේ ආරක්ෂාව තවමත් අලෙවි කරමින් සිටිති

කරු ජයසුරිය

කරු ජයසූරිය

කරු ජයසූරිය

දේශයේ තීරණය විසදෙන දිනය ළගා වෙමින් පවතී. ලංකාවේ මෙතෙක් පැවැති ජාතික මැතිවරණයක දී නොපැවැති තත්ත්වයක් මෙම මැතිවරණයේ දී දක්නට තිබිණ. ඒ, සාම්ප්‍රදායික දේශපාලනය ඉක්මවා ගිය මතවාදී පෙළගැස්මකි. මැතිවරණයේ දී දේශපාලනය ඉක්මවා යෑම දැකිය හැක්කේ ඉතා කලාතුරකිනි. එහි දී උද්ගත වන්නේ සමාජ ව්‍යාපාරයකි. සමාජ ව්‍යාපාරයක දී ඉස්මතු වන්නේ,  ආරක්ෂා වන්නේ පුද්ගල හෝ මිනිස් උවමනාකම්ය.

මෙම මැතිවරණයේ දී පොදු විපක්ෂය මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සමාජගත කරන් ලද්දේ දේශපාලන ප්‍රතිපත්ති නොවේ. අල්ලස, දූෂණය, පවුල්වාදය නීතිය යටපත් වීම වැනි අක්‍රීය වූ රාජ්‍ය ප්‍රතිපත්ති සමූහයකි. ඒ සංවාදය දේශපාලනයට එහා ගිය කථා බහකි. අල්ලස, දූෂණය වැනි ක්‍රියාවන් ලංකාවේ දඩුවම් ලැබිය හැකි වැරදි වේ. එහෙත් කෝප් වාර්තාවේ දැක්වෙන කිසිදු හෙළිදරව්වක් ගැන රාජපක්ෂ ආණ්ඩුව මේ දක්වා කිසිදු නීතිමය පියවරක් ගෙන නොමැත. එහි තේරුම කුමක් ද ? ආණ්ඩුව සිය පැවැත්ම වෙනුවෙන් අල්ලස, දූෂණය සමාජගත කොට ඇති බවයි.

මෙම මැතිවරණයේ දී ආණ්ඩුවෙන් වෙන්ව මෛත්‍රීපාල සිරිසේන මහතාට එක් වූ සියල්ලන්ට එරෙහිව මඩ ප්‍රචාර ගෙන යමින් සිටී. එහි දී උපුටා දක්වන සියළු ක්‍රියා සිදු කොට ඇත්තේ මහින්ද රාජපක්ෂ පාලනයේ සිටිය දීය. එහෙත් , රාජ්‍ය පාලකයා ලෙස මහින්ද රාජපක්ෂ තම වාසියට ප්‍රසිද්ධ කරන සාවද්‍ය ක්‍රියාවන් එළියට ගන්නේ සිය සගයන් තමන් අතහැර ගිය පසුවය. ඒ නිසාම එහි අවංකත්වය පිලිබද බරපතල සාධාරණ ගැටළුවක් සිහි බුද්ධිය ඇති සියළු දෙනා තුල ඇති වේ.

රටේ දූෂණය, අල්ලස නැති කර, යහපාලනය ඇති කිරීමට සටන් කරන පොදු විපක්ෂයේ චෝදනා හමුවේ මහින්ද රාජපක්ෂ නිහඩය. ගොළුය. ඔහු ඒ ප්‍රශ්න මග හැර කථා කරන්නේ ඩයස්පෝරාව ගැන ය. යුද කාලයේ  මේ රටේ යහපාලනය යම් ප්‍රමාණයකට පැවැතිනි. රාජපක්ෂ පාලනය ඒ සියල්ල විනාශ කොට යුද්ධය අවසන් කිරීමේ හිලව්වට නැවත ලංකාවේ පාලනය ඉල්ලා සිටී.

එහෙත්, සාමාන්‍ය ජනතාව මේ හැසිරීම දෙස ප්‍රවේශමෙන් බලා සිටී. රාජ්‍ය සේවකයන් බහුතරය වර්තමාන රාජ්‍ය පාලනය ගැන පසුවන්නේ සතුටෙන් නොවන බව සුපැහැදිලිය. ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සිය වැටුප් ප්‍රශ්න සුභ සාධනය මෙන්ම වෘත්තිය ගෞරවය ගැන ප්‍රශ්න කරමින් සිටිති යන්න රහසක් නොවේ. පොලිස් සේවයේ සුභ සාධනය කෙසේ වෙතත්,  ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරීය බාධාවකින්තොරව කළ නොහැකි තත්ත්වයට පත්ව බොහෝ කල් ය.

දස ලක්ෂයකට ආසන්න රාජ්‍ය සේවකයන් බහුතරය ආණ්ඩුව කෙරෙහි කළකිරී සිටිති.  මේ තත්ත්වය උදා වූයේ ජනාධිපතිවරණය පිලිබදව වූ සාකච්ඡාවක් නිසා නොවේ . ඒ, පොදු අරමුණක් වෙනුවෙන් පෙළ ගැසුණු විපක්ෂ බලවේගය සමග රටේ බහුතරයක් අත් වැල් බැදගත් නිසා ය. මුලින් කී ආකාරයට මේ මැතිවරණය සක්‍රීය වන්නේ රටේ පවත්නා දේශපාලන ප්‍රතිපත්ති අනුව නොවේ. සමාජගතව ඇති දූෂනයට අල්ලසට එරෙහිව ය. මේ පෙරමුණට එක් වූ කණ්ඩායම් ප්‍රතිවිරුද්ධ මත දරන්නෝ වෙති. ඔවුනතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ උරුමය සහිත කණ්ඩායම, දෙමළ ජාතික සන්ධානය, හෙළ උරුමය, මුස්ලිම් ජාතික පක්ෂ, කොමියුනිස්ට් සමාජ පක්ෂ සාමාජිකයන් කැපී පෙනෙති.

ඔවුන් සිය දේශපාලනය යටපත් කර,  ඉස්මතු වන පවුල්වාදයට හා රටේ ව්‍යාප්ත වන දූෂනය, අල්ලසට, රාජ්‍ය සම්පත් මංකොල්ලකෑමට පෙළ ගැසී සිටිති. ඒ තත්ත්වය නැවත, ජාතිවාදයට රට බෙදීම වැනි ඩයස්පෝරාව වැනි කථාවලින් යටපත් කළ නොහැකි බව පසුගිය දිනවල පැවැති මැතිවරණ රැස්වීම්වල දී ජනතාව සහතික කර හමාර ය.

තම පාලනයට එරෙහිව නැගුණ කිසිදු චෝදනාවකට රාජපක්ෂවරු උත්තර දී නැත. ඔවුන් 2010 දී අලෙවි කළ යුද ජයග්‍රහණය දේශමාමක කථා රටේ ආරක්ෂාව අලෙවි කරමින් සිටිති. දිවි පුදා යුද කළ එසේම රටේ ආරක්ෂාව භාරව සිටින ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය මෙම ඡන්දයේ දී ආන්ඩුව පිලිබදව ප්‍රියමනාප නැති බව ප්‍රසිද්ධ කාරණාවකි. රාජ්‍ය සේවය ආණ්ඩුවට ප්‍රියමනාප නැත. කෝටි ගණනක් මුදල් වැය කරමින් රාජපක්ෂවරුන් කරන මැතිවරණ සැරසිලි ගලවා ඉවත් කරන පොලිසිය ඊට වැය වන ආණ්ඩුවේ මුදල් ප්‍රමාණය දනිති. සැරසිලි ඉවත් කිරීමට නියෝග දෙන මැතිවරණ රාජකාරී කරන රාජ්‍ය නිලධාරීන් මහින්ද රාජපක්ෂ ගේ ප්‍රචාරක පුවරු පෝස්ටර් දැන්වීම් ඉවත් කිරිමට වැය වන ජාතික ධනය පිලිබදව කම්පාව සිටිති.

නීතිය ක්‍රියාත්මක කිරිමට ආණ්ඩුවට ඇති ශක්තිය අභිබවා ක්‍රියා කිරීමට රාජපක්ෂවරු ධනයෙන් ශක්තිමත් ව සිටිති. මේ ඔවුන් අතදිගහැර වියදම් කරන්නේ යුද්ධයකට නොවේ. නියං , ගංවතුර සරණාගතයන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම පිනිස නොවේ.   තමන් වෙත පවත්නා ධනය මෙසේ වියදම් කරන්නේ මෙම මැතිවරණ ජයග්‍රහණය උදෙසා ය. මෙහිදී කෙතරම් මුදල් කන්දරාවක් උපයා ගැනීම මෙන්ම දූෂිතව උපයා ගත් මුදල් වැය කර ජනමතය වෙනස් කිරීමට දරණ උත්සාහය ගැන ද ජනතාව පිළිකුලෙන් හා අප්‍රසාදය පෙරදැරිව කථා කරති. මාර්ග සංවර්ධනය මුවාවෙන් හැම කිලෝමිටරයක් පාසාම යටිමඩි ගැසූ හැටි ජනතාව දැන ගෙන අවසන්ය. එහෙත්, මහින්ද රාජපක්ෂ සියළු චෝදනා මග හැර ජාතික ආරක්ෂාව පිලිබද කාරණය ඉස්මතු කරමින් සිටි. ඒ යුද ජය අවුරුදු 05 කට පසු සිහිපත් කරමිනි. මේ තත්ත්වය තුල වුවද රාජපක්ෂ පාලනයට එරෙහි බලවේග දින දින ශක්තිමත් වෙමින් සිටි. ඒ හරහා නිර්මාණය වී පවත්නා සමාජ ව්‍යසනයන් ඉවත් කිරීමට ඇති දැඩි උවමනාව මිස වෙනකක් නොවේ. අනිවාර්යයෙන්ම ජනවාරි 08 වෙනි දින දැවැන්ත යුග පෙරළියකට මග විවර කරමින් ශිෂ්ටත්වය ගරු කරන යහ පාලනය හා ප්‍රජාතන්ත්‍රවාදය අනුමත කරන සියළු දේශප්‍රේමී බලවේග එය ප්‍රායෝගික යථාර්තයක් කරන බව මා හට ඉදුරා විශ්වාස ය.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.