
මෛත්‍රීපාල සිරිසේන මෙරට ජනාධිපති ධුරයට පත් වන්නේ මිලියන හයකුත් ලක්ෂ දෙකක් ඉක්මවූ ජනතාවකගේ ඡන්දයෙනි. ඔහු මෙම ජනතාවට දුන් ප්‍රධානම මැතිවරණ පොරොන්දුව ඔහුගේ “ මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්” මැතිවරණ ප්‍රකාශනයේ 14 වැනි පිටුවේ සඳහන්ව ඇත්තේ “අසීමිත බලතල සහිත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම” යන සිරස්තලය යටතේ ය. ඔහු ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් වීමට හේතුව වශයෙන් දක්වා ඇත්තේ ද “මෙම කර්තව්‍යය සම්පූර්ණ කරලීම ”ය. එම සංශෝධනය සඳහා එක්සත් ජාතික පක්ෂය තමා සමග ගිවිසුම් ගත වී ඇති බව ට මෙන්ම ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් ගේ සහය ද ජනතා විමුක්ති පෙරමුණේ මෙන්ම ජාතික හෙළ උරුමයේ ද සහාය තමාට ලබා ගත හැකි බව ට ඔහු තම මැතිවරණ ප්‍රකාශනයේ ම සහතික වීය. මේ කටයුත්ත එලෙස පොරොන්දු වූ අකාරයෙන්ම ඉටු කිරීම ඔහු ගේ වගකීමයි.
නමුත් මේ වන විට මෛත්‍රී-රනිල් ආණ්ඩුව ජනතාවට දුන් මෙම ප්‍රධානතම පොරොන්දුව කඩ කරන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කොට තිබේ. එම ගැසට් නිවේදනයේ “ ජනරජයේ ජනාධිපතිවරයා” පිළිබඳ සඳහන් වන් නේ පහත සඳහන් පරිදි ය: “ ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප්‍රධානයා ද විධායකයේ ප්‍රධානයා ද ආණ්ඩුවේ ප්‍රධානයා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයා ද වන්නේ ය.” මෙය 1978 ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා පිළිබඳ ඇති 30 (1) වගන්තිය කිසිදු වෙනසකින් තොරව ඒ ආකාරයෙන්ම නව යෝජිත ව්‍යවස්ථාවට 30 (1) වගන්තිය ලෙස ඇතුළු කිරීමක් පමණි.
මෙය “නව ආණ්ඩුක්‍රම ව්‍යුහය අනිවාර් යයෙන්ම දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් වන ඇත” යන මෛත්‍රී – මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් පොරොන්දුව එක හෙළා කඩ කිරීමක් වනු ඇත.
අපට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයේ තිබිය යුත්තේ ආණ්ඩුකරණයේ බලය එක් තනි පුද්ගලයෙකුට පවරන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පවත්නා ක්‍රමය යටතේ ජනතා පරමාධිපත්‍යය උපරිමයෙන් රැකෙන පරිදි ජනතාවගේ ඡන්දයෙන් තෝරා ගත් නියෝජිත මණ්ඩලයකින් සමන්විත පාර්ලිමේන්තුවට එම බලය පැවරීමයි. තනි අගමැති කෙනෙකුටවත් එම විධායක බලය පැවරිය යුතු නැත. අගමැති කැබිනට් මංඩලයේ ප්‍රධානියා වන අතර කැබිනට් මංඩලය පාර්ලිමේන්තුවට වග කිව යුත්තේය. ජනාධිපති හෝ වේවා අගමැති හෝ වේවා තනි පුද්ගලයෙකුට එකහෙලා විධායක බලය පැවරීම ජනතාවට පරමාධිපත්‍යය අහිමි කිරීමකි.
ජනාධිපතිවරයාට සියලු විධායක බලතල පවරන ගැසට් කරන ලද ව්‍යවස්ථා සංශෝධනය මෛත්‍රීපාල සිරිසේන පරාජය කිරීමට කැප වූ පරාජිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන දෙකක් පමණක්ඇති ජාතික හෙළඋරුමයේ නායක චම්පික රණවක ගේ බල කිරීම මත සිදු කොට ඇත. අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රධාන කැබිනට් මංඩලයත් මෙම යෝජනාව ඇතුළත් ව්‍යවස්ථා සංශෝධනය එපරිදිම අනුමත කොට ඇත.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය ඒ ආකාරයෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත කොට ගත හොත් එය මෙරට ලක්ෂ හැට දෙකකට අධික ජනතාව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන කෙරෙහි තැබූ විශ්වාසය බරපතල ලෙස කඩ කිරීමක් මෙන්ම ඔහු ඔවුන් ට දුන් ප්‍රධානතම පොරොන්දුව කඩ කිරීමක් ද වනු ඇත. මෙයින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පිළිබඳ මේ වන විට ජනතාව අතර ගොඩ නැඟී ඇති ප්‍රතිරූපය විනාශ කෙරෙනු ඇත. ඔහුත් විධායක ජනාධිපති අහෝසි කරන බවට පොරොන්දු දී ජනතාවගෙන් ඡන්දය ඉල්ලා බලයට පැමිණ එම පොරොන්දුව කඩා දැමූ තවත් එක් ජනාධිපතිවරයෙක් ලෙස ඉතිහාසයේ කුණු බක්කියට එකතු වනු ඇත.
අප ඇසිය යුතු වන්නේ ‘මෙලෙස තම ප්‍රතිරූපය විනාශ කරගන්නා තැනට ජනාධිපති මෛත්‍රී තල්ලු කිරීම ඉටු කරන්නේ කාගේ, කුමන අවශ්‍යතාවක් ද ?’ යන්න යි.
ජේ. ආර්. ජයවර්ධන තම ඒකාධිපති ජනාධිපති ව්‍යවස්ථාව සම්මත කොට ගෙන මෙරට එතෙක් පැවති ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය විනාශ කිරීමේ ප්‍රථිඵලයක් ලෙස අවුලෙන් වියවුලට ගිය ලාංකේය දේශපාලනය සහ සමාජ ය යළි සුවපත් කිරීම ආරම්භ කිරීමේ මහඟු අවස්ථාව ජනාධිපති මෛත්‍රීපාල ට ලැබී තිබේ. ඒ සඳහා ඔහුට දැක්මක් ද ඇති බව ජාතික සමගිය ගොඩ නැඟීම පිළිබඳ ඔහු පළ කරන අපේක්ෂාවෙන් පැහැදිළි වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල ගේ ප්‍රතිරූපය විනාශ කිරීම ඉටුකරනු ඇත්තේ ජාතිවාදීන් ගේ අවශ්‍යතාවයි. ඔහු කැපවී සිටින බව පෙනෙන ජාතික සමගිය ගොඩ නැඟීම මුල් කොට ගෙන ලාංකේය දේශපාලන සහ සමාජ දේහය සුවපත් කිරීමේ කර්තව්‍යය අවුල් කිරීම හරහා තම බල ලෝභී ව්‍යාපෘති සාර්ථක කර ගැනීම ජාතිවාදීන් ගේ අරමුණයි.
මහින්ද රාජපක්ෂ රෙජිමය යුද්ධය නිම කිරීමෙන් පසුත් සිංහලයන් තම ග්‍රහණයේ තබා ගැනීමට යොදා ගත් උපක්‍රමය නම් බෙදුම්වාදී ත්‍රස්තවාදය යළි හිස ඔසොවා රට බෙදනු ඇතැයි යන අනියත බිය ඔවුන් තුළ දිගින් දිගටම වගා කිරීමට කටයුතු කිරීමයි. නමුත් ලාංකේය ඡන්දදායකයන් ගේ බහුතරය පොදු අපේක්ෂක මෛත්‍රී දිනවීමෙන් පෙන්නුම් කළේ තමන් එම බියෙන් බිදුණු බවයි.
රටේ “ එක්සත්භාවය, ස්ථාවරත්වය සහ ඒකීයභාවය” රැක ගැනීම සඳහා විධායක ජනාධිපතික්‍රමයේ සියලු විධායක බලතල දැන් පවත්නා අයුරින්ම පවත්වා ගත යුතුය වනුවෙන් චම්පික රණවක නගන තර්කයේද ප්‍රථිඵලය වන්නේ ද යලිත් සිංහලයන්ගේ සිත් තුළ බෙදුම්වාදයේ බිය තහවුරු කිරීම යි. (පොදු අපේක්ෂක මෛත්‍රී ජනාධිපති තනතුරට පත් වූයේම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමි යන පොරොන්දුව ප්‍රධාන කොට ගෙන හෙයින් එසේ කරන ව්‍යවස්ථා සංශෝධනයක් ජනතා පරමාධිපත්‍යය පාර්ලිමේන්තුවට යට කිරීමකැයි චම්පික රණවක ඉදිරිපත් කරන තර්කය ව්‍යාජ එකකි. )
චම්පික රණවක ලා සහ නිමල් සිරිපාල ද සිල්වා ලාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද එක්ව රට බෙදීම පිළිබඳ අනිසි බිය යලිත් දේශපාලන වේදිකාවට නංවාලීමට සමත් වුවහොත් එයම ජාතීන් අතර සමගිය ගොඩ නැංවීමේ කටයුත්ත විනාශ කිරීමේ ආරම්භය වනු ඇත යන්න ජනාධිපති මෛත්‍රීපාලට නොපෙනෙන්නේ යැයි අප සිතිය යුතු නැත.
ජාතීන් අතර සමගිය ගොඩ නැංවීම
ජාතීන් අතර සමගිය ගොඩ නැංවීමේ මාවත මූලිකව වැටී ඇත්තේ ජාතිවාදීන් විසින් දේශපාලන වාසි තකා යළි යළිත් මතුකරන රට බෙදීම පිළිබඳ අනියත බිය රාජපක්ෂ රෙජිමය පවත්වා ගැනීමට ඡන්දය දුන් සිංහල ඡන්දදායකයන් වෙතින් පහ කිරීමට කටයුතු කිරීම හරහා ය. එයට දෙමළ සහ මුස්ලිම් දේශපාලන නායකයන්ගෙන්ද සමාන ප්‍රතිචාරයක් ලැබිය යුතුය.
යුද බියෙන් මිදුණු උතුරේ දෙමළ ජනයා බහුතරය යළි එල්ටීටීඊ ත්‍රස්තවාදය හිස එසවීමට පක්ෂපාතී නොවේ. ඔවුහු තමන් ගේ පළාත් සභාවක් පිහිටුවා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ඉමහත් කැමැත්තෙන් වැළඳ ගෙන සිටිති. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරවීම සඳහා ඔවුන් අතිමහත් බහුතරය ඡන්දය දීමෙන් ප්‍රකාශ කර සිටියේද ජාතීන් අතර සංහිඳියාව සඳහා ඔවුන් තුළ ඇති බලවත් කැමැත්තයි. එහෙයින් රට බෙදීම පිළිබඳ බිය අනිසි බියකි. එය සේවය කරන්නේ සිංහල ජාතිවාදීන් ගේ බල ව්‍යාපෘති වලට ය.
අද අපට අවශ්‍ය වන්නේ දෙමළ මුස්ලිම් සිංහල යනාදී සියලු ජන කොටස් වලට සමගියෙන් ජීවත් විය හැකි ලංකාවකට අවශ්‍ය දේශපාලන ව්‍යුහයන් ස්ථිර සාරව සම්පාදනය කොට ක්‍රියාත්මක කිරීම යි. ඒ සඳහා පළාත් සභා ක්‍රමය පදනමක් සපයයි. එතැනිනුත් එහාට යන දේශපාලන බල විමධ්‍යගතකරණයක් උතුරට සහ නැගෙනහිරට පමණක් නොව දකුණටද අවශ්‍ය යි. ලංකාවේ සංචාරයේදී ඉන්දියානු අගමැති ‘සහයෝගිතා සන්ධීයක්‍රමය’ පිළිබඳ කළ සඳහන මෙහිදී අපගේ අවධානයට යොමු විය යුතුය.
මේ මොහොතේ අප කළ යුත්තේ එක්සත් ලංකාවක් තුළ සමගියෙන් එක්ව විසීමට අවශ්‍ය දේශපාලන ව්‍යුහාත්මක වෙනසක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳ එකිනෙක ප්‍රජාවන් ඒත්තු ගැන්වීමට කටයුතු කිරීම යි.
මෙම වගකීම රජයට පවරා නිහඬ වී නොසිට දේශපාලන බලය විමධ්‍යගත කිරීම රට බෙදීමක් බවට පත් නොවන බව සහතික කරන උතුර-නැගෙනහිර සහ දකුණ එක් කරන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැංවීම දෙමළ සිංහල මුස්ලිම් ජන ප්‍රජාවන්හි මැදහත් දේශපාලන ක්‍රියාකාරකයන් ගේ සහ බුද්ධිමතුන් ගේ වගකීමයි. උතුරේ සහ දකුණේ දෙමළ සිංහල මුස්ලිම් ජාතිවාදී අන්තවාදයන් මතවාදීව සහ දේශපාලනිකව පරාජය කරන මහජන දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැංවීම කාලීන අවශ්‍යතාවයි.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දුන් පොරොන්දුව ඉටු කිරීමෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ට එබඳු ජනතා ව්‍යාපාරයක් ගොඩ නැංවීම සඳහා අවශ්‍ය දේශපාලන ගතිකයට ආරම්භයක් ලබා දිය හැකිය. එසේ නොකළ හොත් ප්‍රජාතන්ත්‍රවාදයේ අපේක්ෂා කඩ වූ ජනයා මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ රජයෙන් වියෝ වීම නොවැළැක්විය වනු ඇත. එය ලංකාවේ ජන වර්ග අතර අසමගිය තව දුරටත් පවත්වා ගෙන යාම අපේක්ෂා කරන ජාතිවාදී බලවේග වල ජයග්‍රහණයට හේතු වනු ඇත.
Banda / March 21, 2015
මෛත්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ප්‍රකාශනයේ “මෛත්‍රී පාලනයක් – ස්ථාවර රටක්” යන්න පමණක් නෙවෙයි තවත් නෙයෙක් දේ ලියා තිබෙනවා. එ්වායින් තම තමන්ට අවශ්‍ය කරැනු කාරනා ඉෂ්ඨ කර ගන්න 6,217,162 ක් හෙවත් 51.28%ක් මෛත්‍රීපාල සිරිසේනට චන්දය දුන්නා. එහෙම නැතිව ඔය ඉදිරිපත් කරල තියන 19 වගේ එක කාරනයක් පමණක් මුල් කරගන 6,217,162 සිරිසේනට චන්දෙ දුන්නෙ නැහැ. එ් එක්කම සිරිසේනගේ ඉහත සඳහන් මැතිවරණ ප්‍රකාශනයට විරුද්ධව 5,761,090 ක් හෙවත් 47.58%ක් චන්දෙ දුන්න බවත් අමතක නොකල යුතුයි. අද එසේ විරුද්ධ වෙච්ච අය වැඩිවෙලා බවත් කිව යුතුයි. එනිසා පොරොන්දු වෙච්ච පලියට හැමදේම කරන්න බැරි බවත් මතක තබා ගත යුතුයි.
ජනාධිපතිවරණය තිබ්බෙ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවයි. එ් නිසා අලුතින් පත් උන ජනාධිපති 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කල යුතු බව මෙම ලියුම් කරු වැන්නන් අමතක නොකල යුතුයි. සිරිසේන ජනාධිපති වූ විගස තම අගමැති ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය නැති එජාප නායක රනිල් පත් කලා. එ් ක්‍රියාව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද? දේශාභියෝගයක් ගෙන හැකි කරුණක් නොවේද?
ඊට පස්සෙ අගමැති රනිල්ට බහුතරය හදල දෙන්න ජනාධිපති සිරිසේන බලහත්කාරය යොදල ශ්‍රිලනිප පිට් පොකට් ගැහුවා. ඊට පස්සෙ වසර 5 සම්පූර්ණ නොකල නවක මංත්‍රි වරුන්ගෙ පැන්ෂන් එක පාර්ලිමේන්තුව විසුරවල නැතිකරනව කියල ඔවුන්ව බය කරල රනිල්ගෙ රෙජිමයට සහය ගන්න එක යහපාලනයද? දින 100 වැඩ සටහනක් කියල එකක් හදාගන ඉදිරි මැතිවරණයෙන් එජාපය දිනවන්න හදපු තක්කඩි දන්සැල් අය-වැයට බලෙන් සහය ගන්න එක යහපාලනයද? මේවට බහුතර ජනතාව කැමති නැහැ. එ්කයි මිනිස්සු මහින්දව අගමැති කරවන්න හදන්නෙ.
අද ඉන්න ශ්‍රිලනිප මංත්‍රිවරු පාර්ලිමේන්තුවට පත් උනේ මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න මිසක් සිරිසේනගෙ “මෛත්‍රී පාලනය….” ක්‍රියාත්මක කරන්න නම් නොවෙයි. කෙලින් ජනාධිපති වෙන්න තබා බහුතර පාර්ලිමේන්තු බලයවත් චන්දෙන් ලබාගන්න බැරි රනිල් හදන්නෙ තමන්ට එ්කාධිපති අගමැති බලය ලැබෙන 19 වන සංශෝධනය මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න පත්වෙච්ච මංත්‍රිවරු ලවා කුමන්ත්‍රණ මගින් සම්මත කර ගන්නයි. ගෝමින් දයාසිරි ලංකාවෙබ් එකට 18 වනදා ලියූ ලිපියෙන් 19 යෙ තියන 70(1) වැනි භයානක අංඟ පැහැදිලිව පෙන්වා දී තියෙනව. රනිල්ගේ බලහත්කාරකම සදාචාරාත්මකත් නැහැ. වෙන්නෙත් නැහැ. අවශ්‍ය නම් සිරිසේන සහ ජෙප්පොත් එක්ක හවුලෙ ඊ ලඟ චන්දෙදි රනිල්ට පුලුවන් තමන්ගෙ මංත්‍රිවරු පත්කරගෙන අවශ්‍ය සංශෝධන ගෙනෙන්න උත්සාහයක් කරන්න.
මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න පත්වෙච්ච මංත්‍රි වරුන්ගෙ සහාය අවශ්‍ය නම් 19යට ඔවුන්ගෙ අදහසුත් අරගත යුතුයි.
/
kamal / March 22, 2015
මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක් කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය වෙන්න පුළුවන්. ඒත් මහින්දගේ සල්පිල්වලින් දෑස් නිලංකාර වෙච්ච බන්ඩාට ජනාධිපතිවරණය හමුවේ සිදුවූ දේශපාලන පෙළගැසීම් පිළිබඳ මතකයක්, අවබෝධයක් නැතුව ඇති.වෛරී මිනීමරු පවුල් තන්ත්‍රයකට එරෙහිව ජීවිත පරදුවට තියලා මිනිස්සු ඉදිරිපත් වුනේ තම තමන්ගේ බඩ ගෝස්තරේට නොවේ. මාදුලුවාවේ සෝභිත හිමියන්ගේ සිට දේශපාලන පක්ෂ, කණ්ඩායම්, සිවිල් සංවිධාන පෙළගැසුනේ පොදු අපේක්ෂකයෙක්, පොදු විපක්ෂයක් වටා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න.පොදු විපක්ෂ වේදිකාවේ ප්‍රධාන සටන් පාඨය වුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.ජ.වි.පෙ. පවා පොදු අපේක්ෂකයාට සහය දුන්නේ එයට. එමෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් එයට ඇතුලත්. එබැවින්, 51.28% ක ජනවරමක් අරගෙන ජයගත්ත අපේක්ෂකයාට එය ඉටු කරන්න සදාචාරාත්මක යුතුකමක් තියනවා. 47.58% ගත්ත අපේක්ෂකයා එවැනි පොරොන්දුවක් දුන්නේ නැහැ. 47.58% දැන් වැඩිවෙලා කියලා බන්ඩා කියන්නේ සුමනදාස වර්ගයේ අනාවැකියකින්ද?
1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පත් වෙච්ච ජනාධිපතිට 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව විසුරුවන්න තිබුණා. එසේ නම් එජාප ආණ්ඩුවක් බිහිවී අද තිබෙන බල තුලනය වෙනස් වෙන්න තිබුණා.බන්ඩා වැනි මහින්ද පාක්ෂිකයන්ට මීට වඩා අමාරු වෙන්න තිබුණා. කොහොම වුනත් දැන් මහින්දට කාලෙකට පස්සේ දේශපාලනය කරන්න අවස්ථාව ලැබිලා.
බන්ඩා කියන විදිහට ශ්‍රීලනිප මන්ත්‍රීවරු පත්වුනේ මහින්ද චින්තනය ක්‍රියාත්මක කරන්න වෙන්න පුලුවන්. ඒත් ඉටු නොකළ මහින්ද චින්තනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන පොරොන්දුවත් තිබෙන නිසා මෛත්‍රී පාලනයටම සහය දීලා ඒකත් ඉටුකරගත්තට වැරැද්දක් නෑනේ.
බන්ඩා කියන විදිහට කුමන්ත්‍රණ වලින් මන්ත්‍රීවරුන්ගේ ඡන්ද ගන්න පුලුවන්ද දන්නේ නෑ. කෙසේ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංකරණ රනිල් වාසි වෙනවයි කියලා පිටු දැකීම රාජපක්ෂ තන්ත්‍රයෙන් ආපු ජන්ම ගතියක් බවයි පේන්නෙ.
/
Banda / March 22, 2015
kamal
සිරිසේනව පොදු අපේක්‍ෂක කරන්න කුමන්ත්‍රණ කරපු උන්ට, හිටපු අැමතිලට වාහන දෙකක් දීල වැඩ 100 ට සපෝට් එක ගත්ත උන්ට, කුමන්ත්‍රණ කරල මන්ත්‍රිවරු බා ගන්න එක කජ්ජක්ද? මහින්දට හොරා හොරා කියල දූෂණය භීෂණය දිවි පරදුවට තිබ්බ කියල බොරුවෙන් තමයි සිරිසේනව ජනාධිපති කරන්න සිරිසේනව අහලත් නැති මිනිස්සුන් ගෙන් චන්දෙ ගත්තෙ. පච වලට රැවටිල ‘වෙනසකට’ චන්දෙ දීපු අපේ ගම් වල සිනිස්සුන්ගෙ කටේ දැන් පිට්ටු. මහින්ද නම් පැන්නුව. හැබැයි මරපු එකෙක් නැහැ. ලැම්බොගිනිත් නැහැ. අල්ලපු අායුධ නැවත් බොරුවක් කොටි 800 ක් ගෝටගෙ එකවුන්ට් එකක තිබුන කියපු එකත් පුස්සක්. එකම කරපු දේ තමයි මහින්ද පටන් ගත්ත පෝර්ට් සිටි, හමුදා මූලස්ථානය, නුවර අධි වේගී මාර්ගය විතරක් නෙවෙයි ගම් වල පාරවල්, බස් ස්ටැන්ඩ්, පොල, ඉස්කොල අාදී කී නොකී සෑම සංවර්ධන වැඩක්ම නවත්තපු එක. එම වැඩ කර ගන ගිය කොම්පැනිත් දැන් කොට උඩ. එ්වයෙ වැඩ කරපු මිනිස්සුත් ගෙදර. කරන එකම සංවර්ධනය ජනතාවගෙ ඉහමොල වලට වෙෙරය ස්ථාපිත කරල බොරු හොරු අැල්ලීම පමණයි.
නුගේගොඩට නුවරට මිනිස්සු අාවෙ එකයි. මහින්ද ලැබුන චන්ද ගොඩ දැන් වැඩිවෙලා කිව්වෙ එ්කයි. එහෙම නැතුව පේන බලලවත් හඳහන් බලලවත් නෙවෙයි. මම සිංහල බෞද්ධයෙක් මිස සාත්තර කාරයො පස්සෙ යන අයෙක් නෙවෙයි.
අැත්ත, 2004 මහින්ද චින්තනයෙ තියනව තමයි ජනාධිපති ක්‍රමය වෙනස් කරනව කියල. නමුත් එදා චන්ද දායකයන්ට ප්‍රධානම ප්‍රශ්ණය උනේ රටට සාමය උදා කරන්න යුද්ධ කරන්න බැහැ කියපු සාම අැග්‍රිමන්ට් ගහපු රනිල්ට දෙනවද යුද වාදියා වන මහින්දටද දෙනවද කියන දෙකෙන් එකක් තෝරා ගැනීමයි. ජනාධිිපතිවරු හතර දෙනෙකුට ඉවර කරන්න බැරි උන ත්‍රස්ත යුද්ධය මහින්ද වසර හතරකට අඩු කාලයකින් ඉවර කලා.
2004 මහින්ද චින්තනය 2010 දී අලුත් කලා. දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න ශ්‍රිලනි සන්ධානෙ මන්ත්‍රි වරු පත් උනේ 2010 ‘මහින්ද චින්තන ඉදිරි දැක්‌ම’ ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරන්නයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනව කියන සටහනක් එහි (මහින්ද චින්තන ඉදිරි දැක්‌මෙ) නැහැ. එනිසයි 19 ක්‍රියාත්මක කරන්න 2010 පත්වෙච්ච මන්ත්‍රි වරුන්ට සදාචාරාත්මක අයිතියක් නැහැ කිව්වෙ. දැන් කොහාමටත් ප්‍රශ්ණයක් නැහැ රනිල්ම 19 අකුලගන නෙ.
බලාගන යනකොට ‘යහපාලන’ රෙජිමය දින 100ට ගහපු බෙරේකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ.
/