1 December, 2020

Blog

මෛත්‍රීපාල සිරිසේන ආපසු කුලගෙට යාම තුළ පවතින උභතෝකෝටිකය

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

ගාමිණී වියන්ගොඩ

පසුගිය ජනාධිපතිවරණයේ විපක්ෂයේ මූලික තේමාව වුණේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. ඇතැමෙක් එය, සංශෝධනයක් පමණකැ යි කීවද, සාමාන්‍ය ජනතාවගේ පොදු හැඟීමත්, අපේක්ෂාවත් වුණේ, ජනාධිපති ක‍්‍රමයේ අවසානයක් සිදුවනු දැකීමයි. එම ජනාධිපති ක‍්‍රමය දිගටම පවත්වා ගැනීම වෙනුවෙන් පෙනී සිටියේ මහින්ද රාජපක්ෂ පාර්ශ්වය පමණි. ඊට, නිමල් සිරිපාල ඇතුලූ වර්තමාන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ඇතුළත් ය.

දැන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතක් වශයෙන් ඉදිරිපත් කොට තිබේ. එය ජනතාවගේ අර කී අපේක්ෂාව කුළුගැන්වීමක් ද? ඔව් සහ නැහැ යනුවෙන් උත්තර දෙකක් ඊට දිය හැකිය. ජනාධිපතිවරයාගේ ධුර කාලය අවුරුදු පහකට සීමා කිරීම, පුද්ගලයෙකුට දෙවරකට වඩා එම ධුරයට පත්විය නොහැකි වීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලය සීමා කිරීම සහ ස්වාධීන කොමිෂන් සභා නැවත පත්කිරීම ආදිය, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය කෙරෙහි යළි විශ්වාසය රැුඳවිය හැකි සාධනීය වෙනස්කම් ය. එහෙත්, විධායක ජනාධිපති ක‍්‍රමයේ මූලික පදනම එයාකාරයෙන්ම ඉදිරියටත් පවත්වා ගැනීමට ගන්නා බරපතල ප‍්‍රයත්නයක්ද ඒ අස්සේ අපට හමුවෙයි. ඒ, ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා වන අතරේම ආණ්ඩුවේද නායකයා වන්නේය යන හානිකර සාධකය මේ සංශෝධනය හරහා එයාකාරයෙන්ම පවත්වා ගැනීමයි.

පවතින විධායක ජනාධිපති ක‍්‍රමයේ බලය ව්‍යුත්පන්න වන්නේ, ප‍්‍රධාන බල මූලාශ‍්‍ර දෙකකිනි. එකක් වන්නේ, ජනාධිපතිවරයා සෘජුව පත්කර ගැනීම සඳහා ජනතාව පාවිච්චි කරන ඡුන්දයයි. අනෙක වන්නේ, ආණ්ඩුවක් පත්කර ගැනීම සඳහා එම ජනතාවම පාවිච්චි කරන පාර්ලිමේන්තු ඡන්දයයි. පළමු අවස්ථාව හරහා කේවල බලයක් තනි පුද්ගලයෙකු අතට පැවරේ. දෙවැනි අවස්ථාව හරහා, සාමාජිකයන් 225 ගෙන් සැදුම්ලත් සාමූහික බලයක් පාර්ලිමේන්තුවට පැවරේ. දැන් පවතින විධායක ජනාධිපති ක‍්‍රමය යටතේ, දෙවැනුව කී පාර්ලිමේන්තුවේ සාමූහික බලයත් අවසානයේදී යටත් කෙරෙන්නේ ජනාධිපතිවරයාගේ බලයටයි. මහින්ද රාජපක්ෂ පාලනය තුළ අප දුටු පරිදි, පාර්ලිමේන්තුව සහ ආණ්ඩුව ජනාධිපති රාජපක්ෂගේ රබර් මුද්‍රාවක් බවට පත්වුණේ එලෙසිනි. එදා අගමැතිවරයා ඇතුළු මුළු කැබිනට් මණ්ඩලයමත්, සමස්ත පාර්ලිමේන්තුවමත් අර විධායක බලය යටතේ නැටවෙන රූකඩයක් විය.

SRI LANKA-ELECTION-OPPOSITIONපසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රිපාල සිරිසේන පාර්ශ්වය විසින් ජනතාවට ඉදිරිපත් කළ දින 100 වැඩපිළිවෙල තුළ මෙසේ සඳහන් ය. ‘‘දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට, කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යහයක් ස්ථාපිත කිරීම… ඇතුළත් 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතක් හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය ආරම්භ කර හැකි ඉක්මණින් සම්මත කිරීමට පියවර ගැනීම.’’

මෙහි පැහැදිළි අදහස වන්නේ, විධායක ජනාධිපති ක‍්‍රමය තුළ පවතින ‘අත්තනෝමතික බලතල’ ඉවත් කිරීමෙන් එහාට ගොස්, ‘‘අත්තනෝමතික විධායක ජනාධිපති ක‍්‍රමය වෙනුවට’’ වෙනත් ක‍්‍රමයක් ස්ථාපිත කිරීමේ අභිලාෂයයි. අත්තනෝමතික යන විශේෂණය මෙහිදී යෙදෙන්නේ, ‘‘බලතල’’ සම්බන්ධයෙන් නොව, ‘‘විධායක ජනාධිපති ක‍්‍රමය’’ සම්බන්ධයෙනි. හෙවත්, විධායක ජනාධිපති ක‍්‍රමයම, අත්තනෝමතික වන බවයි. ඊළඟට, ‘‘වෙනුවට’’ යන ඉතා වැදගත් යෙදුම, ‘‘ක‍්‍රමය’’ යන්නට පසුව යෙදීමෙන් පැහැදිළිව කියැවෙන්නේද එයයි. තවද, එම ක‍්‍රමය වෙනුවට ඉහත ෙඡ්දයෙන් යෝජනා කෙරෙන්නේ සහ ජනතාවට පොරොන්දු වන්නේ, ‘‘කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක‍්‍රම ව්‍යුහයකි.’’ මාදුළුවාවේ සෝභිත හිමියන් ඇතුළු සමස්ත සිවිල් සමාජයම ඉල්ලා සිටියේ ද එවැන්නකි.

දුන් පොරොන්දුව දැන් පැහැදිළි ය. ආණ්ඩුක‍්‍රම ව්‍යුහයක් ගැන මෙහිදී කතා කෙරේ. ව්‍යුහයක් සහ ව්‍යුහයට මතුපිටින් ඇති බලතල යනු දෙකකි. එහෙත්, දැන් ඉදිරිපත් වි ඇති 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා, ජනාධිපතිවරයා රාජ්‍යයේ හෙවත් රටේ නායකයා වන අතරේම ආණ්ඩුවේද නායකයා වශයෙන් සිටීම, අර කියන මූලික ව්‍යුහය එයාකාරයෙන්ම තබා ගැනීමකි.

එකිනෙකාගේ පුද්ගල අවශ්‍යතා, දේශපාලනික විශ්වාස සහ පටු පක්ෂ පරමාර්ථ ඊට තුඩුදී ඇති බව පෙනේ. ඒවා විස්තරාත්මකව සාකච්ඡුා කිරීම පසුවට තබා දැනට එක කාරණයක් කෙරෙහි පමණක් අවධානය යොමු කරනු කැමැත්තෙමි.

පසුගිය ජනාධිපතිවරණය ලංකා ඉතිහාසයේ සුවිශේෂී අත්හදාබැලීමකි. මීට පෙර විවිධ පක්ෂ එක්වී සන්ධාන ආණ්ඩු පිහිටුවනු අප දැක තිබේ. එහෙත් ඒ සෑම අවස්ථාවකම පාහේ එම සන්ධාන තුළ ‘යා දෙක නොරත රත’ ගතියක් තිබුණේ නැත. එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු පිහිටුවීම සඳහා සාමාන්‍යයෙන් සන්ධානගත වුණේ දක්ෂිණාංශික පක්ෂයි. එසේම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ආණ්ඩු පිහිටුවීම සඳහා සන්ධානගත වුණේ වමට බර පක්ෂයි. එහෙත් මේ අවස්ථාවේ පළමු වරට, පක්ෂ දෘෂ්ටිවාද පසෙකින් තබා, එක්සත් ජාතික පක්ෂය සමග සෘජු ආකාරයෙන් සහ වක‍්‍ර ආකාරයෙන්, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රිකා සහ මෛත‍්‍රිපාල පාර්ශ්වය ඇතුළු මේ රටේ ප‍්‍රගතිශීලී සිවිල් බලවේගත්, දෙමළ ජාතික සන්ධානය ඇතුළු සුළුජන පක්ෂ සේම ජනතා විමුක්ති පෙරමුණත් දළ අවබෝධයකට පැමිණියේය. එසේ වුණේ වෙන කිසිවක් නිසා නොව, රාජපක්ෂ අත්තනෝමතිකත්වය පරාජය කිරීමේ වෙනත් මගක් නැති වූ හෙයිනි. කෙසේ වෙතත්, ඉහත කී විවිධ කණ්ඩායම්වල දෘෂ්ටිවාදී නොපෑහීම සමනය කෙරෙන වැදගත් පුරුකක් ඊට ඈඳා ගැනුණි. එනම්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සහ යහපාලනය ස්ථාපිත කිරීමේ දින 100 පොදු වැඩ පිළිවෙලයි. එය විසින්, පරස්පර මතධාරී පසමිතුරු කණ්ඩායම් පවා එකට බැඳ තැබුණි.

ජනාධිපතිවරණයෙන් ගෙදර ගියේ එක පුද්ගලයෙකි. 2005-2015 අතර ඔහුගේ අත්තනෝමතිකත්වයට උරදුන් අනිත් සියල්ලෝම තවමත් පාර්ලිමේන්තුවේ සිටිති. ඒ අතරින්, මෛත‍්‍රීපාල සිරිසේන, චම්පික රණවක සහ රාජිත සේනාරත්න ඇතුළු සුළු පිරිසක් එම අත්තනෝමතිකත්වය අවසාන මොහොතේ ප‍්‍රතික්ෂේප කළෝය. නිමල් සිරිපාල සිල්වා ඇතුළු වෙන කිසිවෙක් තවමත් එසේ නොකරති. ඒ වෙනුවට, සෘජුව සහ වක‍්‍රව පරණ පාලකයාට හෝ ඔහුගේ පාලන මාදිලියට දරදිය අදිති. පාර්ලිමේන්තුවේ සුළුතරයක් ආණ්ඩුව වී, බහුතරයක් විපක්ෂය වූ එකම රට ලංකාව බවට වහසි බස් දොඩන මේ පිරිස්, තමන්ගේ ආසනය පවා රැුක ගැනීමට අසමත් නිමල් සිරිපාල සිල්වා වැන්නෙකු පාර්ලිමේන්තු විපක්ෂ නායකත්වයේ සිටින වෙනත් රටක් ලෝකයේ කොහේවත් ඇත්දැයි පෙරලා ප‍්‍රශ්න නොකරති.

ජනාධිපති ක‍්‍රමයේ ව්‍යුහාත්මක වෙනස කර ඇර 19 වැනි සංශෝධනය කරළියට විත් තිබෙන්නේ එම සන්දර්භය තුළයි. එවැනි දියාරුවකට, ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ගත් එක් වැරදි දේශපාලනික තීන්දුවක්, අනික් කරුණු අතරේ, බලපා තිබෙන බව අපේ විශ්වාසයයි.

එය සාදෘෂ්‍යයකින් පැහැදිළි කරන්නේ නම් මෙසේ ය: අවුරුදු ගානක් පවුල් කෑ බිරිඳ අතහැර සැමියෙක් වෙනත් අඹුවක් සමග පැන යයි. අළුත් පෙම්වතිය කෙරෙහි ඔහු සරාගී වුණේ ඈ කෙරෙහි වන ආදරයට අමතරව, පරණ බිරිඳගේ අවකල් ක‍්‍රියාවන් නිසා ය. වැඩි කල් නොගොස් මේ සැමියා, විවිධ හේතු නිසා, ආපසු පරණ පවුල වෙත එයි. එවිට පරණ පවුලේ දරුමල්ලෝ ඔහුට අර පෙම්වතියගේ නුගුණ කියති. ඒ අතර, පරණ පවුලේ භාරය කෙමෙන් ඔහු අතට පැවරෙයි. ඒ පවුලේ අනාගතය ගොඩනැගීමත් තමාගේ වගකීමකැ යි ඔහු සිතන්ට පටන් ගනී. එය, පැරණි කියමනක් (මරණ දෙකක් ඇති මිනිහෙක් පැණි කෑ ය) තරමක් වෙනස් කොට කිවහොත්, ‘‘පවුල් දෙකක් ඇති මිනිහෙක් වහ කෑ ය’’ වැන්නකි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපති වීමෙන් පසු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ගත්තේය. මහින්ද රාජපක්ෂගේ නැවත පැමිණීමක් වැළැක්වීම සහ අපේක්ෂිත සංශෝධන සඳහා එම පක්ෂයේ සහයෝගය ගැනීම වැනි හේතු උදෙසා එසේ කළා යැයි කීවද, ඒ මගින් නිර්මාණය කෙරෙන දේශපාලනික පරස්පරයන්, එක් අවස්ථාවකින් පසු, ජනවාරි 8 වැනි දාට කලින් උරදුන් මූලික දේශපාලනික ප‍්‍රතිපත්ති පවා ආපසු හැරවීමේ ඉඩකඩකින් යුක්ත වන බව දත යුතුය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් ජනාධිපතිවරයා නවතින බවක් පෙනෙන්ට නැත. දැන් ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපතිත්වයත් භාරගෙන තිබේ. මේ සන්ධානය යනු, මහින්ද රාජපක්ෂගේ අත්තනෝමතිකත්වයට සහ අසංස්කෘතියට ජාතිවාදී සහ වාමවාදී ආටෝපයක් සැපයූ පාරාජිකා පඩංගු ය. විමල් වීරවංශ සහ දිනේෂ් ගුණවර්ධන වැනි විවෘත ජාතිවාදීන්ද, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ සහ ඩිව් ගුණසේකර වැනි, වමක් විසින් රටක් නොකළ යුතු දේශපාලනය කුමක්දැයි අනාගත පරපුරට කියා දීම සඳහා කටුගෙයි ප‍්‍රදර්ශනයට තැබිය යුතු චරිතවලින්ද සමන්විත එවැනි සන්ධානයක්, නවමු දේශපාලනික අත්හදාබැලීමක් කිරීම සඳහා තෝරා පත්කර ගත් මෛත‍්‍රිපාල සිරිසේන කෙනෙකුගේ නායකත්වය ලැබිය යුතු දේශපාලනික ප‍්‍රවාහයන් නොවේ. ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ වාසියක් වෙතොත් එය ඔවුන් අත්කර ගන්නා අතර, යම් හානියක් වෙතොත් එය අත්වන්නේ, විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන පෙනී සිටි ප‍්‍රජාතන්ත‍්‍රීය අපේක්ෂාවන්ට බව, අනාගතය සඳහා ලියා තබනු කැමැත්තෙමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.