28 March, 2024

Blog

පොදු අපේක්ෂකයා, නව ලිබරල්වාදය සහ නිදහස

කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

අද ලාංකේය ජනයා හමුවේ ඇති හදිසිම සහ වැදගත්ම දේශපාලන අභියෝගය කුමක් ද?

එය ජනවාර්ගික යුද්ධයට පෙර සමයේ මෙරට ජනයා භුක්ති විඳිමින් සිටි නමුත් යුද්ධය සමයේ අහිමිව ගිය සහ යුද්ධය අවසන් වීමෙන් පසු ඉතිහාසයේ වඩාත්ම බරපතළ තර්ජනයට මුහුණ දී ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් යලි දිනා ගැනීමට යොමු වීම නොවේද?

මෙම අභියෝගය ජය ගැනීමේ ප්‍රධාන උපක්‍රමයක් ලෙසින් රෙජීමයෙන් පිටත දේශපාලන පක්ෂ සහ සිවිල් සමාජ සංවිධාන බොහොමයක්  පිළි ගෙන ඇත්තේ පවත්නා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවයි.

1978ට පෙර මෙරට පැවති, ජනයාගේ ඡන්දයෙන් බලයට පත්වන කොට්ඨාශ මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ගන්නා පාර්ලිමේන්තුවක බහුතරයේ විශ්වාසය දිනා ගන්නා පක්ෂයක හෝ පක්ෂ සමූහයේ කැමැත්තෙන් පත් කෙරෙන නායකයා අගමැති වූ ආණ්ඩුවක පාර්ලිමේන්තුවට වග කියන කැබිනට් මණ්ඩලයකට ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහිව එල්ල කරන මර්ධනයක් පවත්වා ගෙන  යා නොහැකිය. එම පැරණි පාර්ලිමේන්තු ක්‍රමය යටතේ වුවත් ප්‍රජාතන්ත්‍රවාදය  රැකෙන්නට නම්  මහජනයා  තෝරා පත් කර ගත් මන්ත්‍රීන් පාර්ලිමේන්තුවේ දී සහ පිටතදී ඒ වෙනුවෙන් පෙනී සිටීම අවශ්‍යය. මර්ධනයට එරෙහිව මහජනයා පෙළ ගැස්වීම වෙනුවෙන් පෙනී සිටින සහ ඔවුන් විසින් පිළිගනු ලබන දේශපාලන සහ සිවිල් සමාජ සංවිධාන රටේ පැවතිය යුතුය.  එමෙන්ම දෙන ලද අවස්ථාවක ආසන්නතම ප්‍රහාරයට ලක් වන ජනයා හැරුණු කොට අනෙක් පුළුල් ජන කොටස් මර්ධණයට එරෙහිව පෙළ ගැස්වීමට එකතු වන පරිද්දෙන් දේශපාලන  මොහොත සකස් වී තිබිය යුතුය.

එහෙයින් පවත්නා ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාව ඒ වෙනුවට විධායක අගමැති ක්‍රමයක් පිහිටුවීමේ අදහස වැනි අතරමැද සම්මුති ගැහීම් වලින් දියාරු කරන්නේ නැතිව ජනතාවගේ ස්වෛරීභාවය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යටතේ කළ හැකි උපරිමයෙන් සහතික කරන පරිද්දෙන් සූත්‍ර ගත කළ යුතුය.

මේ පසුබිමෙහි ඇතැමුන් යෝජනා කරන පරිදි ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම සඳහා වන සටන නව ලිබරල්වාදයට එරෙහි සටන සමඟ ගැට ගසනවා  යන්නේ තේරුම කුමක් ද? ප්‍රජාතන්ත්‍රවාදය  දිනා ගැනීම සඳහා රාජපක්ෂ රෙජීමය පරාජය කිරීම අරමුණු කරන විට එතැන ගන්නට රනිල් වික්‍රමසිංහගේ එජාපයට ඉඩ නොතැබීම අවශ්‍ය නම් එය ඉටු  කරන්නේ කොහොමද?

එසේ වන්නට නම් මේ ප්‍රධාන දේශපාලන ධාරාවන් දෙකම පරදා ජනයාගේ විශ්වාසය දිනා ගත හැකි  ඒ මට්ටමේම වෙනත් ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක් තිබිය යුතුය. දැනට එවැන්නකට කිට්ටුවට එන එකකට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) පමණි.  ජවිපෙ ලබා ගන්නා ඡන්ද ප්‍රතිශතය වැඩිවීමේ ප්‍රවණතාව පසුගිය මැතිවරණ වලදී දකින්නට ලැබුණි. දැන් ජවිපෙ උත්සාහය තිබෙන බව පෙනෙන්නේ දේශපාලන කරළියේ දෙවැනි තැන ගන්නටය.  අද රාජ්‍ය අංශයේ රැකියා සැපයුම අතින් හැරුණු විට බොහෝ දුරට එක ආර්ථික පිළිවෙතක් පිළිගන්නා රාජපක්ෂ රෙජීමයත් රනිල් ගේ එජාපයත් යන දෙකටම මැදහත් විකල්පයක් ඉදිරිපත් කරන්නට සහ තමන් අව්‍යාජව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට සහමුලින්ම කැපවී ඇති බව  ජනතාවට ඒත්තු ගැන්වීමට ජවිපෙට ඇති හැකියාව මත එහි අනාගත දේශපාලන බලය තීරණ වනු ඇත.

ජනයාගේ දේශපාලන උනන්දුව අවධි වෙමින් තිබෙන මේ මොහොතේ ප්‍රධාන විකල්පය ලෙස තවමත් එජාපය උඩට එන්නේ ලංකාවේ සම්ප්‍රදායික දේශපාලන සැකැස්ම තවම සහමුලින්ම බිඳී ගොස් නැති නිසා මිස රාජපක්ෂ රෙජීමයට පැහැදිළි ප්‍රතිපත්තිමය විකල්පයක් ඉදිරිපත් කරන්නට රනිල් වික්‍රමසිංහට හැකි වී ඇති නිසා නොවේ. රනිල් විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට විධායක අගමැතිකම යෝජනා කරන්නේ විධායක බලතල පාවිච්චි කිරීමේ අපේක්ෂාව ඔහු තුළ තවම ඇති හෙයිනි. ජනාධිපතික්‍රමය අහෝසි කිරීම සඳහා වන උත්සාහයේදී විධායක අගමැතිකම පිළිබඳ අදහස අත්හරින්නට රනිල් ට බලකර සිටිය යුතුය.

අප කතා කරමින් සිටින ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අද ලාංකේය දේශපාලනයේ ජනයාගේ පැත්තෙන්  දිනාගැනීම අවශ්‍යව තිබෙන අවම කොන්දේසියයි.  ලිබරල් සහ වාම ලිබරල්වාදීන්ගේ අපේක්ෂාව රනිල් ගේ පාලනයක් යටතේ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය අදට වඩා විවෘත කරගනු හැකි වෙනු ඇත යන්නයි. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය  දිනා ගැනීම සඳහා වන සටනට ප්‍රබල ප්‍රතිචාරයක් ලැබෙන්නට නම් ඒ සඳහා එකතු කර ගත හැකි පුළුල් තම ජන බලවේගය ඊට අවශ්‍යය.  එහෙයින් රනිල් වික්‍රමසිංහගේ එජාපය මෙම ව්‍යාපාරයෙන්  ඉවත් කෙරුවොත් එය එබඳු පෙරමුණක ශක්තිය බරපතල ලෙස හීන කිරීමක් වන්නේය.

අනෙක් අතට රනිල් වික්‍රමසිංහ ට අවශ්‍ය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය  සඳහා වන ජනතා අභිලාෂය වෙනුවෙන් පෙනී සිටිමින් තම දේශපාලන අරමුණු සඳහා මග පාදා ගැනීම බවද ඇත්තකි.  ලංකාවේ ආර්ථිකය ගැන රනිල් වික්‍රමසිංහ දැන් පළ කරමින් සිටින අදහස් වලින් පෙනෙන්නේ රාජපක්ෂ රෙජීමය  ක්‍රියාත්මක කරමින් සිටින ආර්ථික ප්‍රතිපත්ති වල මීළඟ ‘ඉහළ අදියර‘ට ලංකාව ගෙන යෑමට සමත් අනුප්‍රාප්තිකයා ලෙසින් ඔහු තමා රටට ඉදිරිපත් කරන්නට කැමති බවයි. මේ දක්වා රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ රෙජීමයේ පිළිවෙතට විකල්පයක් වන ආර්ථික වැඩ පිළිවෙලක් පැහැදිළි ව ඉදිරිපත් කරනවා තබා රෙජීමයෙන් ජනතාව මත පටවා ඇති අධික පාරිභෝගික බදු  ඉවත් කරන බවට වත් නිශ්චිත පොරොන්දුවක්  දීමට ඉදිරිපත් වී නැත. එබඳු නිශ්චිත විකල්ප ආර්ථික යෝජනා සහ වැඩ පිළිවෙලවල්  විපක්ෂයේ දේශපාලන පක්ෂ, විද්වතුන් සහ බහුජනයා වෙතින් ඉදිරිපත් විය යුතුය. ඒ මත මැතිවරණවලදී ජනයාට කරුණු කියන්නට රනිල් වික්‍රමසිංහට සිදු වනු ඇත. මෙහිදී ප්‍රජාතන්ත්‍රවාදය  සඳහා වන අරගලයට රනිල් වික්‍රමසිංහගේ එජාපය ඇතුළු කර ගන්නා අතරම නව ලිබරල්වාදී පිළිවෙතට විකල්ප ආර්ථික  වැඩ පිළිවෙලකට එකඟ වන සේ ඔහුට බල කර සිටීමද එක්වර කළ හැකිය.

අද ලංකාව මුහුණ දෙමින් සිටින්නේ හුදෙක් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කරන මර්ධනයකට මුහුණ පාන්නට වී තිබීමේ ඛේදවාචකයට පමණක් නොවේ. එම මර්ධනය ආගම්වාදී මිලිටරි ආඥාදායකත්වයක් කරා වර්ධනය වීමේ සැබෑ තර්ජනයට අපි මුහුණ දී සිටින්නෙමු.

ලංකාවේ අප සිංගප්පූරු මාදිලියේ ඊනියා සංවර්ධනයක් වෙනුවෙන් මෙතෙක් කල් ඉමහත් අරගල තුළින් රැකගත් නිදහස කැප කිරීමට  සාමුහිකව කැමැත්ත දෙන්නේද? නැද්ද?  යන්න පිළිබඳ අවසන් තීරණයක් ගන්නා දිනය ඉක්මනින් ලං ලංව එන්නේය.

අපට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නිදහස වෙනුවෙනි. අද ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය මෙහි ලා අවම කොන්දේසිය සපයයි. එයින් කියැවෙන්නේ අප ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය අවසාන ඉලක්කය වශයෙන් භාරගත යුතුය යන්න නොවේ.

රාජපක්ෂ රෙජීමය  විසින් ලංකාවේ ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිවාසිකම් අහිමි කරනු ලැබීම හුදු මාධ්‍ය නිදහස මර්ධනය පිළිබඳ කරුණක්ම නොවේ.  පැතිර පවතින සිවිල් අයිතිවාසිකම් උල්ලංඝණය, දේශපාලන පළිගැනීම්, නීතියේ ආධිපත්‍යය හෑල්ලු කිරීම,  සිවිල් සමාජයේ කටයුතු මිලිටරීකරණයට ලක් කිරීම ජනයාගේ නිදහස මර්ධනය කරන්නේය. එය ප්‍රධාන කොටම ජනයාට කුමනාකාර හෝ මර්ධනයේ බියෙන් තොරව තමන් කැමති දේ කියන්නට සහ පළකරන්නට ඇති හැකියාව හෝ නොහැකියාව පිළිබඳ  කරුණකි.  අපගේ අසල්වාසීන් අපට එරෙහිව ඔත්තු සපයන තත්වයට පත් වී ඇතැයිද නැද්ද යන්න පිළිබඳ සාධාරණ බියක් අපට තිබීම පිළිබඳ කරුණකි.  කෙටියෙන් කියතොත් විසම්මුතියේ නිදහස පිළිබඳ කරුණකි.

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අපගේ අභිලාෂයන් දිනා ගැනීමේ සටන දිගු කාලීන එකක් වීමේ අවදානම උග්‍ර වෙමින් පවතියි. ඒ සඳහා පූර්ව කොන්දේසියක් ලෙසින් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා එකඟ වන පොදු ජනාධිපති අපේක්ෂකත්වයක්  වෙනුවෙන් කෙරෙන උත්සාහය මෙහිදී වැදගත්ය. එබඳු ව්‍යාපාරයක අරමුණ ඉටු කරගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලු දේශපාලන පක්ෂ සහ සංවිධාන පක්ෂ භේද, මතවාද පසෙකට ලා එක් පුළුල් පෙරමුණකට ආ යුතුය. පොදු යහපත වෙනුවෙන් තම  ලාභාපේක්ෂාවන් තාවකාලිකව කැප කරන්නට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ වලට හැකිවිය යුතුය. මෙම ව්‍යාපාරයේ උපාය සකස් විය යුත්තේ එම පුළුල් පෙරමුණ රැකගෙන ගොඩ නඟා ගන්නා එකඟතාවන් මත මිස එක් එක් පක්ෂයට ඉන් ලැබිය හැකි මැතිවරණ වාසි වෙන් වෙන්ව සළකා බැලීමෙන් නොවේ.

එමෙන්ම එම වෑයම පසුබිමෙහි  ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගලය දිගටම ගෙන යාමට සමත් පුළුල්තම ජනතා පෙරමුණක් සංවිධානය කොට ඒ සඳහා මෙරට බහුජන සහයෝගය දිනා ගැනීමේ වැඩ පිළිවෙලකටද මේ සමගින් අවතීර්ණ විය යුතුය.

මේ මොහොතේ මෙම කාර්යයට එළඹීම අප අතපසු කරන්නේය යන්නේ අර්ථය අපි අපේ අනාගත දූ දරු පරපුරු කිහිපයකටම නිදහස සඳහා වන අවකාශය අහිමි කිරීම තෝරා ගන්නේය යන්නයි.

Print Friendly, PDF & Email

Latest comments

  • 0
    0

    මෑතකදී මා පුවත්පතක 2010 ඡනපති අපේක්ෂක ෆොන්සේකා අැසූ ප්‍රශ්ණයක් දැක්කේය. කාර්පට් පාරවල් කන්නදැයි ඔහු අසා තිබුනේය. ඔහු ඡනපතිවූවා නම්, වැඩිකල් නොගොස්ම, එ් කටින්ම, ප්‍රඡාතන්ත්‍රවාදය කන්නදැයි ඔහු අසනු අැති බව මට සිතුනි.

    යුද්ධය පටන්ගත්තේ 1976 මැයි 14 වටුක්කොටෙයි ප්‍රකාශණයෙන් පසුවද, දුරේඅප්පා මරා දැමීමෙන් පසුවද, එසේත් නැතිනම් කලුඡූලියෙන් පසුවදැයි මම හරියටම නොදනිමි. ඔය කොයිදිනය යුද්ධය පටන්ගත් දිනයවුවත් මේ ලේඛකයා කියන්නේ යුද්ධය බරපතලවීමට පෙර මෙරට ජනයා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් භුක්ති විඳිමින් සිටි බව වියුතුය. එනිසා 1971 සහ 1977 චන්ද ප්‍රතිඵලවලට එබී බලා එකල ප්‍රජාතන්ත්‍රවාදය ගැන විමසා බැලීමට මට සිතින.

    1971 මහ මැතිවරණයේදී 36.9%ක් ලබාගත් SLFP පක්ෂය අාසන 91ක් ලබාගත්තේ 37.9% ක් ලබා ගත් UNPයට අාසන 17ක් ලැබෙද්දීය. එය කොතරම් ප්‍රජාතන්ත්‍රවාදීද? එ් අතර 8.7% ක් පමණක් ලබා ගත් LSSP යට අාසන 19ක් ලැබුනේය. එසේ වූයේ SLFPය සහ LSSP සමගි පෙරමුණ හවුලේ වන්දය කල නිසා යයි යමෙකුට තර්කකලහැක. නමුත් SLFPය සහ LSSPය එක ගොන්නට ගත්තත් එම ‘සමගි පෙරමුණ’ ලබාගත්තේ 45.6%ක ප්‍රතිශතකයක්ය. 50%ටත් අඩු ප්‍රතිශතකයට 2/3 ක බලයක් ලැබෙන ක්‍රමය සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදය වන්නේ කෙසේදැයි මට නම් වටහා ගතනොහැක.

    එ් සමගම 45.6%කගේ පමණක් චන්දය ලබාගත් SLFPය සහ LSSPය හවුලේ 2/3 ක බලයක් හිමිකරගෙන පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වී හෝ අළුත් ව්‍යවස්තාවක් සම්මතකර ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය කෙසේවෙතත් රටට හිතකර ඉතා හොඳ ක්‍රියාවක් බව එකල බිරිතානියේ අප සමග සිටි මෙරට බොහෝ අය පවසූහ. එ් ශ්‍රි ලංකාව ඡනරඡයක් වී බිරිතානි කිරීටයට ශ්‍රි ලංකාවේ පාලනයට අතගැසීමට තිබූ අයිතිය නව ව්‍යවස්ථාවෙන් අහෝසිවූ නිසා වියයුතුය බව මගේ හැඟීමය.

    නියම ප්‍රජාතන්ත්‍රවාදය තීබූ කල ලෙස මෙම ලේඛකයා දකින එකල කොතෙක් දුරට මර්ධනය තිබුනේදැයි මා නොදන්නේ එකල මා ලංකාවේ නොසිටි නිසයි. නමුත් මා එකක් දන්නෙමි. JVPයේ නූගත් කොල්ලන් ගැන සහ ඔවුන්ව මර්ධනය කලයුතු බවට කරුණු කාරනා කියමින් සභාග රඡයේ ප්‍රභල නායෙකයුකුවූ එන්එම් පෙරේරා විසින් BBC1 වැඩසටහනකදී දෙසාබානවා නම් එ් කාලයේදීම මා දුටුවෙමි. බිරිතානිය වැනි රටවලට අායුධ අතට ගත් එම තරුණ කොටස්වල නැගීසිටීම මර්ධනය නොවීය. නමුත් බිරිතානිය අැතුලු මුලු ලෝකයම ත්‍රස්තවාදීන්යයි පිලිගත් LTTEය විනාෂ කිරීම අද ඔවුන් වැරදියයි කියන්නේත්, තමන් ලඟ අවියක් නොතිබූ බින් ලාඩන් මරා දැමීම හරියයි කියන්නේත් මොන ප්‍රජාතන්ත්‍රවාදය අනුව දැයි මට නම් නොවැටහේ.

    ඡනතාවට ඉහතකී සභාග රඡය එපාඋනේ JVP මර්ධනය හෝ වෙනත් මර්ධනයක් නිසා නොව හාල් පොලු මිරිස් පොලුවලින්කල සංවර්ධන ක්‍රමය නිසාය. බහුතර ඡනතාව JRJ දේශණාකල විවුර්ථ අාර්තිකය පිළිගත්තේය. එ් අනුව 1977 මහ මැතිවරණයේදී JRJගේ UNPයට 50.9%ක චන්ද ප්‍රතිශතකයක් ලැබී එම ඡනවරමට නුසුදුසු 5/6 ක බලයක් හෙවත් අාසන 140 කඩාපාත්උනේ සමගි පෙරමුණට 1971දී 2/3ක බලයක් ලැබුන විදියටමය. එවර SLFPයට ලැබුනේ 29.7% ක් සහ අාසන 8ක් පමණි. නමුත් 6.7%ක් ගත් TULFයට අාසන 18 ලැබුනේය. එපමනක් නොව 29.7%ක් ගත් SLFPය අභිබවා 6.7% පමණක් ගත් TULF එකේ අමිර්තලිංගම් විපක්ෂ නායකයාද විය. 1948 සිටම පැවති ‘ෆස්ට් පාස්ට් ද පෝස්ට්’ වෙස්ට්මිනිස්ටර් චන්ද ක්‍රමය අනුවය. එ් මෙම ලේඛකයා කියන නියම ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵලයය.

    51% ක චන්දයෙන් 5/6 අසීමිත බලයක් ලබාගත් JRJ රාෂ්ට පාලනය පටන්ගත්තේ තමන්ගේ තග් ෆලෝවස්ලාට කැමති දෙයක් කිරීමට ඉඩදීම සදහා පොලීසියට සතියක නිවාඩුවක් දීලාය. සතියක්ම විරුද්ධවාදීන්ගේ ගෙවල් ගිනිතබා ඔවුන්ට අලිබෙටි කැවුවේය. නමුත් තමන් ලැබුවේ වසර 5කට සීමාවූ බලයක් බව පැහැදිලිව වටහාගත් කපටි JRJ විසින් UNPය ලැබූ 5/6 බලය යොදා ව්‍යවස්ථාව පමනක් නොව වන්ද ක්‍රමයද වෙනස් කර පිල් මාරුවද තහනම් කලේය. සියලු සුපිරිම්කෝට් විනිසුරුවන් විශ්‍රාම ගන්වා තමන් කැමති අය පමණක් නැවත පත්කර ගත්තේය. ඔවුන් රඡය අකමැති තීන්දු දුන්විට තගාලා ලවා CJගේ ගෙදරට ගල් ගස්සුවේය. මිනිහෙක් ගැහැනියක් කිරීමට හැර සියලු බලතල තමන්ට අැතැයි JRJ පාරම්බෑවේය. රුපියල් දහයක වැටුප් වර්ධනයක් ඉල්ලා වර්ඡන කල සියල්ලෝම රාඡ්‍ය සේවයෙන් පන්නාදැම්මේය. වසර 6කින් එනම් 1983දී මහා මැතිවරණයක් පැවැත්වියයුතු වුවත් තක්කඩි ලාම්පු කලගෙඩි සෙල්ලමකින් පාර්ලිමේන්තුවේ 5/6 බලය තවත් වසර හයකට දික්කර ගත්තේය. මැති අැමතිවරුන්ගෙන් දින නොමැති ලිපි ලබාගෙන ඔවුන් සියල්ලෝම සිග්නල්කනු බවට පත්කලේය. අද මුලු රටටම පිළිලයක්වූ 13A සම්මතකරගත්තේත් එවැනි රූකඩ මන්ත්‍රි පිරිසක්ගේ 2/3කේ ඡන්දයෙනුයි. ඉතින් ඔික තමයි මේ ලේඛකයා කියන යුද්ධයට පෙර තිබූ නියම ප්‍රඡාතන්ත්‍රවාදය.

    නමුත් 2010 ඡනාධිපතවරණයේදී දෙවැනිවරට 58%ක් සහ මහමැතිවරණයේදී 60% සහ අාසන 144ක් ලබාගත් මහින්ද රාඡපක්ෂ සහ ඔහුගේ රඡය විරුද්ධ පාක්ෂිකයන්ගේ ගෙවල් ගින්තැබීමට ඉඩ තිබ්බේ නැත. නමුත් මෙම ලේඛකයා වැන්නන්ට රාඡපක්ෂ රඡය ‘රෙජීමයක්’ විය. ඡනාධිපතිවරයෙකුට චන්දය ඉල්ලීම දෙසැරයකට සීමා කිරීම සංශෝධනය කිරීම මේ අය දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මහා සෝදාපාලුවක් ලෙසය. නමුත් ෆ්රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් හතර සැරයක් චන්දය ඉල්ලූ බවත් පූර්ණ වාර තුනක් ඡනපති වූ බවත් මේ අය නොකියයි. ඔවුන්ට රතුපස්වල, කටුනායක වැනි සිද්ධි මහා ඛේදවාද සහ දරුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා විය. ඔවුන්ට අද අැමරිකාවේ මිසූරි ප්‍රන්තයේ පර්ගියුසන් නගරයේ මීනී මැරීමට සහ වර්ගවාදයට විරුද්ධ කැරලි සහ පෙලපාලි වලට එල්ලකරන ප්‍රහාර පෙනෙන්නේ නැත.

    ජනතා විමුක්ති පෙරමුණ පුථම වරට 6%ක් සහ අාසන 10ක් ලබාගෙන සැලකියයුතු මහඡන ප්‍රසාදයක් දිනාගත්තේ 2000 දීය. එම ඡනප්‍රසාදය 9% ක් සහ අාසන 16ක් දක්වා 2001දී වර්ධනය කරගත්තේ චන්ද්‍රිකාගේ විඡාතික ගැති හොර අකාර්යක්ෂම පාලනය නිසාය. චන්ද්‍රිකා සමග පරිවාස ගසා පසුව SLFP එක සමග 2004දී එක පෙරමුණකින් වන්දය නොයිල්ලන්නට ජවිපෙ අාසන 39ක් ලබා ගන්නවා බොරුය. නමුත් යුද්ධය අවසන්වනවිට ජවිපෙ හොදටම පල්ලම් බැස සිටියේ ඔවුන්ගේ දෙබිඩි පිලිවෙත් නිසාය. 2010දී ෆොන්සේකාගේ DNF පක්ෂයෙන් වන්දය නොයිල්ලන්නට ජවිපෙට ඔය දැන් තියන අාසන හතර ලැබෙන්නේත් නැත.

    පසුගිය තනි සුළු පක්ෂ මන්ත්‍රින් පත්වීමේ ප්‍රවනතාවය බැලීමේදී පැහැදිලිව පෙනෙන දෙයක් වෙයි. එ් ඊලඟ මහ චන්දයේදී 10%කට වැඩි ඡන්ද ලබාගත් දිස්ත්‍රික්කවලින් පමණක් ජවිපෙට සහ DNF පක්ෂයට මන්ත්‍රිවරුන් පත්කරගැනීමට හැකිවනු අැති බවයි. පසුගිය බස්නාහිර සහ දකුනු පලාත් සභා චන්දයේ චන්ද අනුව හම්බන්තොටින් පමණක් මන්ත්‍රිවරයෙකු පත්කරගැනීමට ඔවුන්ට හැකිවනු අැත. ඉතින් මෙම ලේඛකයාට පෙනෙන නුදුරු අනාගතයේ ජවිපෙ දේශපාලන කරළියේ දෙවැනි තැන ගැනීමක් මට නම් පෙනෙන්නේ නැත.

    ජනාධිපති ක්‍රමයට විරෝධය පලකරන්නේ ඡාතිකත්වයට එරෙහිවූ උගත් යයි කියාගන්නා සුළු පිරිසක් සහ ඊලාම්වාදීන් සහ රාඡපක්ෂ විරෝධීන්ය. ජනාධිපති පිස්සු නටන්නේ නම් බහුතර චන්දයෙන් ජනාධිපති ගෙදර යැවිය හැකිබව බහුතර ඡනයා දනී. ජනාධිපති බලතල නිසා කොටි විනාශ කිරීමට හැකිවූ බවත්, රට සංවර්ධනය වන බවත් බහුතර ඡනයාගේ අැඟට දැනේ අැසට පෙනේ. එනිසා පවතින ජනාධිපති ක්‍රමයේ එ්කාධිපතිත්වයක් ඔවුන් දකින්නේ නැත.

    ජනතා විමුක්ති පෙරමුණේ පලාබබාලා අතීතයේ කල කී දෑ මතක්වන විට උන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය බලාපොරොත්තුවීම ඉබ්බන් පිට නැගී ඉගිල්ලෙන්න අපේක්ෂා කරනවා වගේ වැඩක් බව මගේ හැඟීමය.

  • 0
    0

    Banda

    මා කියන්නේ පරම ප්‍රජාතන්ත්‍රවාදය ගැන නොව ලංකාවේ ජනයා භුක්ති විඳිමින් සිට ඇති ප්‍රජාතන්ත්‍රවාදය ගැනයි.

    ලංකාවේ පැවති පාර්ලිමේන්තු ක්‍රමය යටතේ ආසන බෙදුණු ආකාරය ඡන්ද සංඛ්‍යාවට සමානුපාතික නොවේ යන්න එකල පැවති පිළිගත් ක්‍රමය අනුව සිදුවූවක්. අලුත් ව්‍යවස්ථාවක් හැදීමේ තනි බලය පවතින පාර්ලිමේන්තුවකට පවරාගන්නා එක වැරදි බව මමත් පිළිගන්නවා. මා කියන්නේ “නියම“ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන නොව සාපේක්ෂව මෙරට ජනයා භුක්ති විඳිමින් සිට තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ගැනයි. 1971 ජවිපෙ තරුණයන් රජයට එරෙහිව අවි ගත් විට එකල රජය එය මර්ධනය කිරීමට ත් පසුව එල්ටීටීය මර්ධනය කිරීමටත් ජන සහාය ලැබුණේ ඒවා එම ව්‍යාපාර ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස ජනයා වටහා ගත් නිසා යැයි සිතමි. යුද්ධයට පෙර වරින් වර බලයේ සිටි රජයයන් නොයෙකුත් ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා මාර්ග වරින් වර ගත් බව ඇත්තයි. නමුත් ඒ වා වෙනුවෙන් සටන් කිරීම ජනයා අත් හැරියේ නැත. යුද්ධය සමයේ සිදුවූයේ යුද්ධයේ නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් කැප කරන්නට ජනයාට සිදුවීමයි. ජේආර් ගේ පාලන සමයේ සිදුවූ දහසකුත් එකක් ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා වලට දිගටම විරෝධය පෑ ජනයා අවසානයේදී වසර 17 කට පසු එම දුර්දාන්ත පාලනය පරාජය කොට ශ්‍රීලනිපයේ චන්ද්‍රිකාට බලය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි.

    මහින්ද රාඡපක්ෂ සහ ඔහුගේ රජය විරුද්ධ පාක්ෂිකයන්ගේ ගෙවල් ගිනි තැබීමට ඉඩ නොදුන් එක අපි අගය කළ යුතුය.

    රෙජීමය යන්නේ සරල අදහස ඒකාධිකාරී පාලනයක් යන්නයි.

    ලොව වෙනත් රටවල කෙලෙස දේවල් කෙරුණත් බලයේ සිටින රජයක් ඡන්ද බලයෙන් වෙනස් කිරීම ලංකාවේ ජනයා ඉමහත් කැමැත්තෙන් භුක්ති විඳි ප්‍රජාතන්ත්‍රවාදී වරප්‍රසාදයකි. මහින්ද රාජපක්ෂ බලයට එන්නේ ජනාධිපති ක්‍රමයක් හැදීමෙන් ජේආර් ලංකාවේ ජනයාට කළ අකටයුත්ත නිවැරදි කරමින් ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු වෙමිනි. ඉතින් තවත් වතාවක් ජනාධිපති කමට තරඟ කරන්නට හැකි වන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් ඔහු කළේ ජනතාව දුන් පොරොන්දුව කඩ කොට ඔවුන් රැවටීමක් නොවේද?

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.