25 April, 2024

Blog

මෛත්‍රී-රනිල් රජය ශිෂ්‍ය විරෝධතා වලට එරෙහි නීති විරෝධී ක්‍රියා නැවැත්විය යුතුය!

කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නියෝජනය කරමින් රජරට සහ සබරගමුව විශ්ව විද්‍යාල වල ශිෂ්‍ය නියෝජිතයන් දෙදෙනෙකු ජූනි 1 දින මා හමුවීමට පැමිණියෝය. ඔවුන් පැමිණ සිටියේ “විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහිව දියත් වී තිබෙන උග්‍ර රාජ්‍ය මර්දනය පිළිබඳ දැනුවත් කිරීම“ මැයෙන් කරුණු ඉදිරිපත් කිරීමට හා ඒ හා සම්බන්ධ ලිපි ගොණුවක් භාර දීමට ය.

මම ඔවුනට සවන් දුනිමි. මගේ අදහස් ද ඔවුනට ඉදිරිපත් කළෙමි. අප අතර ඇති වූ අදහස් හුවමාරුව සුහද ය. එයින් දෙපාර්ශ්වයටම තමන් දරන අදහස් ගැන අවලෝකනයේ යෙදෙන්නට අවස්ථාව ලැබුණි යැයි මම සිතමි.

මා ලියන මෙම සටහන අපේ අදහස් හමුවෙන් මතු වෙන මගේ ප්‍රතිචාරය යි.

වත්මන් යහ පාලන ආණ්ඩුව යටතේත් ජාතික ආරක්ෂක රාජ්‍යය ගොඩ නැංවීමේ කටයුතු මහින්ද -ගෝටා රාජපක්ෂ රෙජිමය යටතේ කෙරුනු ආකාරයෙන්ම ඉදිරියට යන බව පෙනෙන්නට තිබේ.

එල්ටීටීඊ ත්‍රස්තවාදය යළි හිස ඔසොවනවා යැයි මහින්ද පිළේ දේශපාලනඥයන් ජාතිවාදය අවුස්සාලන විට වත්මන් යහපාලන ආණ්ඩුවට රිංගා ගෙන සිටින ජාතිවාදීන්ද මහින්ද පිළේ ජාතිවාදයට උඩින් යමින් තමන් සිංහල බෞද්ධයන්ගේ සැබෑ ආරක්ෂකයන් බව පවසා ඡන්දය ලබා ගැනීම අපේක්ෂා කරමින්, දෙමළ බෙදුම්වාදයක් ගැන පමනක් නොව මුස්ලිම් ව්‍යාප්තවාදයක් පිළිබඳ අනිසි බියක් සමාජයේ මතු කරමින් සිටිති. ත්‍රස්තවාදයට යළි හිස ඔසොවන්නට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැතැයි කියන්නට ජනාධිපතිත් අගමැතිත් එම අදහස ක්‍රියාවට නැංවෙන ලෙස ජාතික ආරක්ෂක රාජ්‍යය ශක්තිමත් කරමින් කටයුතු කරන්නට මහජන ආරක්ෂාව පිළිබඳ ඇමතිත්, රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිත් ඉදිරිපත් ව සිටිති.

Student Protest Policeඑවිට ජාතික ආරක්ෂක රාජ්‍යය තර කිරීම තමන් ගේ අපේක්ෂා සපුරා ගැනිමට ද හේතුවක් කර ගත හැකි බව දන්නා ආරක්ෂක අංශ නිලධාරීහු ත්‍රස්තවාදයක් ඇති බව පෙන්වන්නට සාක්ෂි ඉදිරිපත් කරන්නටද එය මර්ධනය කිරීමට ක්‍රියා මාර්ග රජයට යෝජනා කරන්නටද ඉඩ තිබේ. ඒ පිටුපස අමෙරිකානු සහ ඊශ්‍රායෙල් වැනි ජාත්‍යන්තර යුදමය – බුද්ධි අංශ වල අවශ්‍යතාවන් ද තිබෙන්නට පුළුවන.

අද අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමංඩලය ඇතුළු වී ඇත්තේ ජාතික ආරක්ෂක රාජ්‍යය ගොඩ නැංවීමේ රාජ්‍ය යන්ත්‍රණ ක්‍රියා මාර්ගය තුළට බව මගේ හැඟීම යි. ශිෂ්‍ය විරෝධතා කරුවන් පවත්නා නීති කඩ කරන විට ඔවුනට එ‍රෙහි දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම රාජ්‍ය මර්ධන යන්ත්‍රණය ක්‍රියාත්මක කරන්නන්ගේ උපාය වී තිබෙන බවක් පෙනී යයි. මෙම තත්වයට ශිෂ්‍ය ක්‍රියාකාරකයන් කැමැත්තෙන් ඇතුළු වන බවක් පෙනෙන්නට තිබෙන්නේ මන්ද? ඔවුන් නීති කඩන තත්වයට පත්වීමට ඉඩකඩ සළසා දී ඉන්පසු ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමේ උපක්‍රමයක් රාජ්‍ය ආරක්ෂක අංශ යොදා ගනිමින් සිටින්නේද?

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මංඩලය තමන් මේ තත්වයට මුහුණ දෙන්නේ කෙසේදැයි කල්පනාකාරීව සිතා බැලිය යුතුය .

අනෙක් අතට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ජෝන් අමරතුංග, සහ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ගේ රජය ශිෂ්‍ය විරෝධතා වලට එරෙහිව නීති විරෝධී ලෙස කටයුතු කරමින් ශිෂ්‍ය පිරිස් මර්ධනයට ආරක්ෂක අංශ ගෙන යන මෙහෙයුමට ඉඩ නොදිය යුතුය යන්නද අප අවධාරණය කළ යුතුය.

එබඳු තත්වයක් ආරක්ෂක අංශ විසින් ක්‍රියාත්මක කෙරෙමින් තිබෙන බවට සාක්ෂ්‍ය ලැයිස්තුවක්ම ශිෂ්‍ය බලමණඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ඉදිරිපත් කොට තිබේ: උද්ඝෝෂණ පා ගමනක යෙදීමේ හේතුවෙන් ශිෂ්‍යයන් ට ‘මහජන පීඩාව‘ ක් ඇති කිරීමේ චෝදනාවට නඩු පවරා දඬුවම් පැමිණවීම අරමුණු කිරීම, ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු මහ මඟදී බලහත්කාරයෙන් පොලිස් ජීප් රියකට නංවා ගෙන පැහැර ගෙන ගොස් ශිෂ්‍ය උද්ඝෝෂණ වලට සම්බන්ධ නොවන ලෙස තර්ජනය කොට පසුදා අලුයම මුදා හැරීම, සිවිල් ඇඳුමින් සැරසුණු සැක කටයුතු පුද්ගලයන් ශිෂ්‍ය ක්‍රියාකාරී හිමි නමක් පසු පස යතුරු පැදියකින් ලුහු බැඳීම, පොලිසිය ශිෂ්‍ය ක්‍රියාකාරිකයන්ගේ නිවෙස්වලට යාම සහ ඇතැම් විටෙක දරුවා ශිෂ්‍ය දේශපාලනයෙන් ඉවත් කර ගන්නා ලෙස දෙමව්පියන්ට තර්ජනය කිරීම, උද්ඝෝෂණ වලට සම්බන්ධ වන සිසුන් කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයට කැඳවීම සහ එහි නිලධාරීන් ශිෂ්‍ය ක්‍රියාකාරිත්වයේ නිරතවීම පිළිබඳ ශිෂ්‍යයන්ට තර්ජනය කිරීම, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික ගේ බාල සොහොයුරු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ඉසුරු තරංග ට කොළඹ අපරාධ කොට්ඨාශය ඉදිරියේ පෙනී සිටින ලෙස කැඳවීම මගින් නජිත් ඉන්දිකට පීඩනයක් එල්ල කිරීමට උත්සාහ කිරීම යන කරුණු ඒ අතර ප්‍රධානය. තවද සුදු වෑන් වලින් පැමිණ ශිෂ්‍ය විරෝධතා කඩාකප්පල් කිරීම ද ඇරඹී ඇතැයි මා හමුවූ ශිෂ්‍යයෝ කියා සිටියහ.

මෙම මර්ධනය ශිෂ්‍ය ව්‍යාපාරයට එරෙහිව පමණක් නොව සෙසු ජනතා සහ වෘත්තීය සමිති විරෝධතා සහ ක්‍රියා මාර්ග සම්බන්ධයෙන්ද ක්‍රියාත්මක වෙන දිශාවට ගමන් කරමින් පවතින බවට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මංඩලය කරන පෙන්වා දීමෙහි සත්‍යයක් ඇති බව පෙනී යයි. ජනතා විරෝධතාවන්ට සහභාගී වන්නවුන් රාජ්‍ය බුද්ධි අංශ විසින් එළිපිටම වීඩියෝ සහ ඡායාරූප ගත කිරීම මෙම මර්ධනයට හොඳම නිදර්ශනය කි.

මෙබඳු ගෙස්ටාපෝ ශෛලියේ කටයුතු වලට ඉඩ දීම මෛත්‍රී නාමය දරන යහපාලන රජයකට කිසිසේත්ම නොගැලපේ. ගෝටාභය රාජපක්ෂ යටතේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මර්ධනයට ගත් ක්‍රියාමාර්ග මෛත්‍රීපාල සිරිසේන රජය යටතේ කිසිසේත්ම සිදු නොවිය යුතුය.

මෛත්‍රී-රනිල් යහපාලන රජය විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් නීතිය අයුතු ලෙස යොදා ගැනීමට හෝ නීතියෙන් පිටස්තරව කටයුතු කිරීමට හෝ පොලීසිය ඇතුළු රාජ්‍ය ආරක්ෂක අංශ වලට කිසිසේත් ඉඩ නොතැබිය යුතුය.

එමෙන්ම එසේ කිරීමට කටයුතු යෙදී තිබීම මෙම රජය මර්ධනකාරී රජයක් ලෙස ජනතාව අතර අප්‍රසාදයට පත් කිරීමේ සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් රජය කෙරෙහි බිඳවීම අරමුනු කොට ගෙන කරන්නක් ද යන්න කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතු යැයි සිතමි.

මා මෙම මොහොතේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ට සියලු ආකාරයකම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියාකාරකම් වල නිරත වීමට තිබිය යුතු දේශපාලන අයිතිය වෙනුවෙන් පෙනී සිටින්නේ ඔවුන් ගේ දේශපාලනය පිළිබඳ මා එකඟවන නිසා නොවේ.

අධ්‍යාපනයට ජාතික ආදායමෙන් සියයට 6ක් දිනා ගැනීම සඳහා විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ගෙන ගිය ව්‍යාපාරයට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමංඩලය සක්‍රීයව සහභාගීවීම අගය කළ යුතුය. නිදහස් අධ්‍යාපනය රැක ගැනීමට අදාළ ඔවුන් ගේ සටන් පාඨ සහ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රියා මාර්ග අපි අගයමු. එසේ නමුත් එම සටන් පාඨ මුල් කොට ගෙන ඔවුන් විශ්ව විද්‍යාල සිසුන් තමන් වටා සංවිධානය කොට ඔවුන් මෙහෙයවන ආකාරය ගැන බරපතළ ප්‍රශ්න අපට තිබේ. විශේෂයෙන්ම විශ්ව විද්‍යාල තුළ පවත්වා ගෙන යන නවක වධයට එරෙහිව සෘජු ස්ථාවරයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කොට ඒ අනුව ක්‍රියා නොකිරීම අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමංඩලයේ දේශපාලන අවස්ථාවාදය හෙළිදරවු කෙරෙන ප්‍රධාන සාධකයක් සේ දකිමි.

එසේ තිබියදීත් මේ මොහොතේ මා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමංඩලයට තිබිය යුතු දේශපාලනය කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින්නේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය යන සටන් පාඨ මුල් කොට ගෙන ජනවාරි 8 දා මෙරට ජනතාව දිනාගත් ඓතිහාසික ජයග්‍රහණය එම ජයග්‍රහණයට දායක වූ හෝ වේවා නොවූ හෝ වේවා මෙරට සියළු ජනයාට එක සේ භුක්ති විඳීමට අවස්ථාව ලැබිය යුතු යැයි මා තරයේ විශ්වාස කරන හෙයිනි.

තමන් අසරණ වූ විට අප සොයා පැමිණෙන සිසුන්ට ඇහුම් කන් දී ඔවුන් සමග අදහස් හුවමාරුවකට යාම සහ ඔවුන් ගේ දුක් ගැනවිල්ල වෙනුවෙන් පෙනී සිටීම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගේ වගකීමකි, යුතුකමකි. නමුත් සිසුන් විශ්ව විද්‍යාල තුළ ශිෂ්‍ය ක්‍රියාකාරකම් සංවිධානයේදීත් විශ්ව විද්‍යාල අධ්‍යාපනයට අදාළ කරුණු මුල් කරගෙන දේශපාලනය කිරීමේදීත් අපේ අදහස් ද සැළකිල්ලට ගැනීමට හැමදාමත් උනන්දුවක් දක්වන්නේ නම් තත්වය යහපත් අතට හැරවීමට අවස්ථාවක් උදා කර ගත හැකි යැයි සිතමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.