Colombo Telegraph

නත්තල සමග අපි හොඳ බෞද්ධයෝ වෙමු

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

කි‍්‍රස්තියානි හා කතෝලික බැතිමතුන්ගේ නත්තල, බෞද්ධයින්ගේ හින්දුන්ගේ හා මුස්ලිමුන්ගේ දිනයක් නොවුනත් එය ශී‍්‍ර ලාංකික සමාජ සංස්කෘතියේ අංගයක් බවට පත්ව තිබෙන්නකි. යමක් කමක් ලැබෙන්නේ නම්, ‘‘අපට හැමදාම නත්තල්’’ යැයි කියන්නට අප පුරුදුව ඇත්තේ එබැවින් ය. කි‍්‍රස්තියානි කතෝලික අයටවත් හැමදාම නත්තල් නැත. නත්තල කවුරුත් සතුටු වන දිනයක් යැයි ඇති පොදු පිළිගැනීම නිසා හැමදාම සතුටු විය හැකි වාසියක් ලැබෙතොත් හැමදාම නත්තල් යැයි කියති. එනමුත් අපේ සමාජ සංස්කෘතියෙහි නත්තල ගැන ඇති සඳහනට වඩා දුර යන බැඳීමක් එකතුවක් හා බලපෑමක් කි‍්‍රස්තියානි කතෝලික සංස්කෘතීන්ගෙන් අප ලබා ගෙන ඒවා අපේ කර ගෙන ඇත.

විවෘතව කතා නොකළාට, 19 වන සියවස අවසන් වන විට අපේ පැරණි සම්මත සිංහල සමාජ ව්‍යුහය වික්ටෝරියානු කි‍්‍රස්තියානි සම්මත විවාහයේ වටිනාකම් මගින් හසුරුවන්නට පටන් ගෙන තිබිණ. වෙරළ බඩ පළාත් ඕලන්ද පාලනය යටතේ ඔවුන්ගේ නීති ප‍්‍රකාර පාලනය වීමත් සමග, විවෘක හා නිදහස් සිංහල පවුල් ක‍්‍රමය කන්ද උඩරට රාජ්‍යයේ බල ප‍්‍රදේශයට සීමා වන්නට පටන් ගෙන තිබුණකි. ඒ යුගයේ කන්ද උඩරට සමාජ ඇවතුම් පැවතුම් ගැන ලියන රොබට් නොක්ස්ට හා ජෝන් ඩොයිලිට අනුව විවාහය ඉතා පහසු වාගේම, බොහෝ විට එය ලොකු හවුල් විවාහයක් විය. එවැනි විවාහ ක‍්‍රම බින්න සහ දීග යැයි දෙකක් වුනි. විවාහයේ අනිවාර්ය සීමාව එදා පැවතියේ කුල සීමාව මිස හවුල් වන්නේ කී දෙනෙකු සමගද යන්න නොවේ යැයි ඔවුහු කියති. එවගේම එදා සිංහල විවාහය ලෞකික එකතුවක් වූයෙන් බෞද්ධාගමේ කිසිදු සම්බන්ධයක් ද නොතිබිණ. ජාතික චින්තනය විසින් ඉතා දැඩි සේ එල්බ ගත් මතවාදී රාමුවට ඇතුලූ නොකරගත් සිංහල විවාහය විසින් තීන්දු කළ සමාජය අද සංවිධානය වී පවතින්නේ සියල්ල වික්ටෝරියානු කි‍්‍රස්තියානි සම්මතයන්ට, සාර ධර්ම වලට බාර දී හදා ගත් සුචරිතවාදී සීමාවන් ඇති න්‍යෂ්ඨික පවුල සමගින් ය.

එළෙසින් සංවිධානය වන්නට පටන් ගත් සිංහල බෞද්ධ සමාජයේ ව්‍යවහාරික ආගමික පුණර්ජීවයට හා බෞද්ධ පාසල් අධ්‍යාපනයට ඉතා වැදගත් බාහිර කි‍්‍රස්තියානි එකතුවක් 19 වන සියවස අග දී ලැබිණ. ඒ හෙන්රි ස්ටීල් ඕල්කොට් සහ ඔහුගේ පංගුකාරිනිය වූ හෙලේනා පෙට්‍රොව්නා බ්ලවාට්ස්කි ගෙනි. මේ දෙදෙන වසරක් පුරා ඉන්දියාවේ දී හින්දු සහ බෞද්ධ අධ්‍යාපනයේ යෙදී ලංකාවට පළමු වරට ගොඩ බැස්සේ 1880 මැයි මාසයේදී ය. එතැන් සිට ඕල්කොට් මෙරට පොදු ව්‍යවහාරයේ පැවති බෞද්ධාගමෙහි පුණර්ජීවය සඳහා එකතු කළ දේ බොහෝ ය. ඒ මත අද බොහෝ බෞද්ධ සංස්කෘතික භාවිතයන් පිහිටා ඇත. බෞද්ධ පරම විඥාණාර්ථ සංගමය නමින් ( Buddhist Theosophical Society) ගිහි සංවිධානය ලංකාවට හඳුන්වා දෙන්නේ ඕල්කොට් ය. එය ඔහු සහ බ්ලවාට්ස්කි විසින් නිව් යෝක් නුවරෙහි පිහිට වූ පරම විඥාණාර්ථ සංගමයේ ආකෘතියක් විය. එබැවින් එය මෙරට පිහිටුවීමේ දී ඔහු ගේ ආදර්ශය වූයේ ඇමෙරිකාවේ ප්‍රොතෙස්තන්ත‍්‍ර කි‍්‍රස්තියානුවන්ගේ අත්දැකීම් ය. ‘‘කි‍්‍රස්තියානුවන් ඔවුන්ගේ කි‍්‍රස්තියානි දැනුම බෙදා දීමට ඔවුන්ගේ සංවිධාන තියා ගන්නවා වගේ මෙයත් බුද්ධ දැනුම බෙදා දෙන්නට යොදා ගත යුතුයි’’ ඔහු පරම විඥාණාර්ථ සංගමය ආරම්භ කරමින් කියූවකි. ඔහු බෞද්ධ ප‍්‍රචාරක කටයුතු සඳහා උපයෝගි කර ගනු ලැබූවේ ද ඔහු දන්නා ප්‍රොතෙස්තන්ත‍්‍ර කි‍්‍රස්තියානි අත් දැකීම් ය. සුව පහසුව සඳහාත් ඔහුට දින ගණනක් එක දිගට ප‍්‍රචාරක කටයුතු කරමින් ගමින් ගම යෑමටත් හැකි කරත්තයක ගමන් කළ ඕල්කොට්, එවැනි ගමන් වලදී ඇමෙරිකාවේ දී මෙන් මුදලට සාමාජික කාඞ් පත් විකුණා ඔහුගේ අධ්‍යාපන අරමුදලට මුදල් එකතු කළේ ය.

පරම විඥාණාර්ථ සංගමය ඔස්සේ ඕල්කොට් ආරම්භ කළ ප‍්‍රාථමික හා ද්විතියක පාසල් ද කි‍්‍රස්තියානි කතෝලික පල්ලි ආරම්භ කළ පාසල් වලින් වෙනස් වූයේ ඒවායේ බෞද්ධාගම ඉගැන්වීමත් සිංහල මාධ්‍ය යොදා ගැනීමත් නිසා පමණි. අන් සියලූ ආකාරයෙන්ම මේ පාසල් එකම ආකෘතියක විනයගත අධ්‍යාපනයක් සඳහා විය. ඝණනාත් ඔබේසේකර වරක් ලියා තිබූ අයුරු, ඕල්කොට් ගේ බලපෑම මත බෞද්ධ පුණර්ජීවය ඇති වන්නේ ප්‍රොතෙස්තන්ත ආභාෂයක් ඇතිව ය. ඉරිදා දහම් පාසල් එවැන්නකි. එය සිංහල සමාජයේ බොහෝ දේ සඳහා ඉඩ ලබා දීමට ද හේතු විය. නත්තලට සීමා නොවන කතෝලික කි‍්‍රස්තියානි සංස්කෘතියේ බලපෑම් බෞද්ධ සමාජ ජීවිතයට වැදගත් පොහොසත් එකතුවීම් කර ඇත. බොදු ගී වල සිට වෙසක් බැති ගී උළෙල දක්වා වූ එකතුව බෞද්ධ සංස්කෘතියට අවුරුදු හැට හැත්තෑවක පමණ සිට සෙමෙන් එකතු වී වැඩුණකි. එයට කතෝලික වාගේම ඉන්දීය හා මුස්ලිම් දායකත්වයක් ද ඇත. අපේ වෙසක් බැති ගී, ගෞතම බුදුන් දවසේ සිට පැවත එන සංස්කෘතියක අංගයක් නොවේ. එය අප එකතු කර ගන්නේ අපේ සිංහල සංස්කෘතියට සංවිධිත, දියුණු උත්තර භාරතීය සංගීත සම්ප‍්‍රදාය සමග ඉන්දියානු ගීතය ලංකාවට පැමිණීමෙන් කලකට පසුව ය.

දියුණු සංගීත සම්ප‍්‍රදායක් අපේ සිංහල උරුමයෙහි නොතිබුණි. අපේ පැරණි සිංහල සංස්කෘතිය නාට්‍ය, සංගීතය හා ගීතය සඳහා අවකාශයක් ලබා දී තිබුණේ නැත. එබැවින් ගායක ගායිකාවන් හා සංගීතඥයින් ඒ සංස්කෘතියෙහි හැදුනේ නැත. මුල් ගායක ගායිකාවන් හා සංගීතඥයින් සියල්ලෝම, කි‍්‍රස්තියානි, කතෝලික හා මුස්ලිම් බැතිමතුන් වන්නේ ඒ හේතුවෙනි. ගීත ගායනය හා සංගීතය කතෝලික මුස්ලිම් හා ඉන්දීය සංස්කෘතීන් හි අරටු බැස තිබූණි. අපේ ගායක ගායිකාවන් හැදෙන්නේ කතෝලික පල්ලියේ ආභාෂය ඇතුළෙහි ය. ඔවුන්ට ඊළගට එකතු වන්නේ දකුණු ඉනදියාවෙන් පැමිණි විශේෂයෙන් මුස්ලිම් ගායක ගායිකාවන් ය. කවුරුත් ‘‘දන්නෝ බුදුන්ගේ’’ යැයි තවමත් ගයන ජනපි‍්‍රය ගීතය 1920 දී තරම ‘‘ධර්මේ බුදුන්ගේ’’ යැයි ගැයූ හියුබට් රාජපක්ෂ එවැනි කි‍්‍රස්තියානි ආභාෂයෙන් උපන් ගායකයෙකි. ‘‘උතුම් බුදුන්’’ – ගීතය ගැයුවේ ඒ. එම්. යූ. රාජ් ය. ‘‘සිරි බුද්ධගයා විහාරේ’’ ගීතය මුලින්ම ගායනා කළ රූපසිංහ මාස්ටර් සහ ඬේසි රාසම්මා ඩැනියෙල් (ඇය කවුරුත් දන්නා රුක්මණී දේවී වූයේ මේ ගායනාවෙන් පසුවය) කතෝලිකයෝ වූහ. එකල මේ ගායකයින් සමග පෙළට සිටි දේවා සූර්යසේන, එම්. කේ වින්සන්ට්, ලක්ෂ්මි බායි, ජෝර්ජ්. ඩබ්ලියු අල්විස් (දැන් මතක ආනන්ද සමරකෝන් නම ය)  සුනිල් ශාන්ත වූ බී. දොන් ජෝසෆ් ජෝන්, කෝකිල දේවී, ජමුනා රාණි, මොහිදීන් බේග් සහ සංගීතඥයින් වූ ගවුස් මාස්ටර් වැනි නම් කිසිවක් අපගේ සිංහල බෞද්ධ සම්ප‍්‍රදායෙන් බිහි වූ ගායක ගායිකාවන්ගේ හා සංගීතඥයින්ගේ නම් නොවේ.

ඇත්තෙන්ම එකල මුස්ලිම් ගායකයින් නොවුනා නම්, වෙසක් බැති ගී වලට මුල පිරූ බොදු ගී කිසිවක් අපට නොලැබෙන්නට ඉඩ තිබිණ. ඒ. ආර්. එම් ඊබ‍්‍රාහිම්, ජොහෝර්ෂා. ලතිෆ් බායි වැනි නම් ඒ බහුතරය අතර හමුවන නම් ය. 1930 දී පමණ ‘‘තිලොනා සෑසි ගෞතම බුදු හිමි’’ වැනි ගීත ගායනා කෙරුවේ අහමඞ් මොහිඞීන් ය. 1934 දී ‘‘කරුණා මුහුදේ නාමු ගිලීලා’’ ගීතය කේ. කේ. රාජුලක්ෂ්මි සමගින් පළමු වරට පටිගත කළ පසු 1940 දී පමණ ‘‘බුදුන්ගේ උතුම් ධර්මේ’’ යැයි ගැයුවේ මදුරාසියේ සාලෙම් හි සිට 1932 දී ලංකාවට පැමිණි මොහිදීන් බේග් ය. පසුව 1962 දී ‘‘බුද්ධං සරණම් ගච්චාමි’’ යැයි බේග් සිංහලෙන් ගැයූ ගීතය සමග ඔහු තරම් බොදු ගී ගැයූ වෙනත් ගායකයෙකු මෙරට ඇතැයි සිතීමත් අසීරු ය.

කි‍්‍රස්තියානි-කතෝලික සහ ඉන්දියාවෙන් පැමිණි මුස්ලිම් සංස්කෘතීන් හි ගීතිකා හා බජන් ගායන, ආගමික ගායනා විය. එනිසා ඔවුන්ගේ සංස්කෘතික පුරුදු සමග සිංහල ගායනයට පිවිසීමෙහි දී, බොදු ගීත සඳහා වැඩි උනන්දුවක් තිබුණා විය හැක. කෙසේමුත් අන්‍ය ආගමිකයින් විසින් ප‍්‍රගුණ කළ බොදු ගී සමග පසුව එකතු වූ අනෙක් සංස්කෘතික සාධකය වූයේ කැරොල් ගායන යයි. නත්තලට කතෝලික තරුණ පිරිස් කැරොල් ගායක කණ්ඩායම් ලෙස ඔවුන්ගේ ප‍්‍රදේශ වල රාති‍්‍රයට එහා මෙහා යන පුරුද්දක් තිබිණ. මෙය ද පසුව වෙසක් සඳහා බොදු බැති ගී ගායනයට හේතු විය. වෙසක් බැති ගී හැදෙන්නේ ඒ ඇසුරෙනි. විශේෂයෙන් 1956 සම්බුද්ධ ජයන්තිය සඳහා බණ්ඩාරනායක ආණ්ඩුව විශාල රාජ්‍ය අනුග‍්‍රහයක් ලබා දීමත් සමග මේවා සිංහල සමාජයේ බෞද්ධ පැවතුම් ලෙස ජනපි‍්‍රය විය. රාජ්‍ය අයිතියට තිබූ ගුවන් විදුලිය ද ඒ වෙනුවෙන් වැදගත් මෙහෙයක් කළේ ය. එළෙසින් බෞද්ධ සංස්කෘතියට වැදගත් එකතුවීම් අපට ලැබෙන්නේ බාහිරින් ය.

මෙවැනි ආභාෂයන් ලබා ගනිමින් තහවුරු කරගත් බෞද්ධ පැවැත්ම සිංහල සංස්කෘතියෙහි පුළුල් බවක් ඇති කෙරුවකි. ඒවා බොදු දහමේ කරුණාව, මෛති‍්‍රය, මුදිතාව සමාජගත කරන්නට සමාජ වින්දනය හා යොදා ගත හැකි අලූත් සංස්කෘතිකාංග ඵීය. අතීතයේ කැරොල් ගායක කණ්ඩායම් ගම සංචාරය කරමින් සාමාන්‍ය ජනයාගේ විඥාණයට කතා කළ අයුරු බොදු බැති ගී කණ්ඩායම් සංවිධානය කිරීමට, පන්සලට පන්සලේ දායක සභාවට අවශ්‍ය නම් කළ හැකිව තිබිණ. එහෙත් සිදු වූයේ මේ සංස්කෘතිකාංගයන් නිදහස් සමාජ සංවාදයකට මුල පුරන සුන්දර මාධ්‍යයක් ලෙස යොදා ගැනීම වෙනුවට ඒවා සමාජයේ දේශපාලන බලය වෙනුවෙන් රාජ්‍ය අනුග‍්‍රහයට යටත් කිරීමකි. එනිසා පසුගිය දසක වල බොදු බැති ගී, වෙසක් උත්සවය වෙනුවෙන් රාජ්‍ය සංස්ථා සහ අමාත්‍යාංශ අනුග‍්‍රහයෙන් පැවැත් වෙන දවසක දෙකක ඉසව් බවට පත්ව අවසන් විය. එය තවත් එවැනිම කණගාටුදායක රාජ්‍යගත වීම් ගැන කියන්නකි.

ඕල්කොට් ගේ පුණර්ජීවී මැදිහත් වීමෙහි තිබූ එක් අඩුවක් ඊට හේතු විනැයි සිතෙන්නේ ය. බටහිර යුරෝපයේ සමාජ ආර්ථික වර්ධනයට එක හේතුවක් ලෙස සඳහන් වන්නේ කතෝලික පල්ලිය හා රාජ්‍ය අතර සම්බන්ධය බිඳ වැටීම ය. ඇමෙරිකාවට සීඝ‍්‍රයෙන් දියුණු වන්නට හැකි වූයේ එහි කි‍්‍රස්තියානි පල්ලිය රජයෙන් ස්වාධීනව තහවුරු කෙරුනු, ආයතන පද්ධතියක් වූ නිසා යැයි ද කියැවේ. රාජ්‍ය හා ආගමික ආයතන එක්ව කටයුතු කිරීමෙන් ආගමික ආයතන දූෂණය වනවාට අමතරව, රාජ්‍ය පොදු සමාජයේ පැවැත්ම සඳහා ඇති වගකීමෙන් පීලි පණින බැව් ද අතීත අත්දැකීම් කියන්නකි. බටහිර යුරෝපයේ සහ ඇමෙරිකාවේ වර්ධනය ගැන කතා කිරීමෙහි දී රාජ්‍ය හා පල්ලිය දුරස්ථ වීමේ සමාජයට ඇති වාසිය කියැවෙන්නේ ඒ අර්ථයෙනි. නූතන ලෝකයේ මැද පෙරදිග රටටවල ගැටළුවද ඒවායේ රාජ්‍යයන් ලෞකික රාජ්‍යන් නොවීම ය.

අපේ ඉතිහාසයේ ද සංඝයා හා රජු අතර තිබූයේ අන්‍යෝන්‍ය බැඳීමකි. එය දේවානම්පියතිස්ස රජු ගේ සිට පැවත එන්නක් යැයි ඉතිහාසය කියයි. ඕල්කොට් හා අපේ ගැටළුව ඇත්තේ ද එතැන යැයි සිතේ. දේවානම්පියතිස්ස සමයෙන් පසු පළමු වරට රජෙකු නැතිව තනිව පැවතීමට බෞද්ධ සමාජයට සිදු වූයේ කන්ද උඩරට රාජ්‍ය 1816 දී බි‍්‍රතාන්‍යයින්ට යටත් වූ පසුව ය. එය එළෙස තම හයියෙන් පැවතියේ නම් වඩා යහපත් ය. ඒ වෙනුවෙන් සමාජයේ ස්වාධීන, සාමකාමී, විනය ගරුක ආයතනගත වීම් සඳහා ඉඩ ලබා ගැනීම ඇත්තටම වඩා යහපත් ගමනකි. එවැනි තහවුරු වීමකට නොගොසින් බෞද්ධ පැවැත්ම යළි රජය හා ගැට ගැසෙන්නේ ඕල්කොට් නිසාවෙනි.

ඕල්කොට් 1884 මැයි මාසයේ දී එංගලන්තයට ගියේ ඉල්ලීම් 06 ක් සාක්කුවේ තබා ගෙන ය. ලන්ඩනයට ගොස් යටත් විජිත ලේකම් ඩර්බි සාමි ගේ සහකාර ලේකම් ආර්. එච් මීඞ් හමු වී ඩර්බි සාමි වෙත ඔහු ඒ ඉල්ලීම් 06 ඉදිරිපත් කළේ ය. ඉන් එකක් වූයේ විහාරගම් වල අයිතිය සංඝයාට නිරවුල් ලෙස බාර දීමට පියවර ගැනීම ය. එහෙත් එම ඉඩම් පල්ලියේ ඉඩම් මෙන් ආයතනික අයිතියකට හා පොදු භුක්තියකට යටත් නොවුනු පන්සලේ ප‍්‍රධාන සංඝයා විසින් පෞද්ගලික හිමිකාරිත්වයට හා බුක්තියට තබා ගත් ඉඩම් බැව් ඔහු හොඳාකාරව දැන සිටියේ ය. ඔහුගේ ඒ ඉල්ලීම ඇත්තටම සංඝයා අතර ඔහුගේ පරම විඥාණාර්ථ ව්‍යාපාරය ජනපි‍්‍රය කර ගැනීමේ ඉල්ලීමක් විය. ඒ සමග ඔහු පොහෝ දින පන්සල් වල පවත්වන ආගමික උත්සව සඳහා බෙර, තම්මැට්ටන්, නලා වාදනය සඳහා අවසරයත් වෙසක් පොහෝ දින නිල නිවාඩු දිනයක් කිරීමේ යෝජනාවත් ඉදිරිපත් කළේ ය. ඔහු ඉදිරිපත් කළ ඉල්ලීම් ඉටු නොවුනහොත් සිංහල සමාජයේ නොසන්සුන්තාවයක් ඉස්මතු වන්නට ඉඩ ඇතැයි ද ඔහු අනතුරු ඇ`ගවී ය. එය කෙතරම් නිවැරදි තක්සේරුවක් වීද යන්න සැකයෙකි.

කෙසේ මුත් සිංහල සමාජයේ ඕල්කාට් සතු වූ පිළිගැනුමත් ඔහු සහ බෞද්ධ සමාජය අතර වූ සමීපත්වයත් ඒ වන විට ද වාර්තාගතව තිබුණකි. එනිසා සංඝයා සහ යටත් විජිත පාලකයින් අතර ගනුදෙනුවේ ඕල්කොට් අතරමැදියෙකු බවට පත් විය. ඒ ගනු දෙනුවෙන් පසුව යටත් විජිත ලේකම් පළමු කාරණා දෙක සම්බන්ධයෙන් ලිහිලක් පෙන් වූ අතර, පළමු වරට ලංකාවේ වෙසක් පොහෝ දිනය නිල නිවාඩු දිනයක් බවට පත් කිරීමේ තීන්දුව 1885 අපේ‍්‍රල් මාසයේ දී දැනුම් දෙනු ලැබුවේ ය. මේ සමග බෞද්ධාගම හා රජය අතර ගනු දෙනුව යළි අලූත් විය. නිදහසින් පසුව ඒ සම්බන්ධය වඩා දේශපාලනීකරණය වූයේ බණ්ඩාරනායක ගේ නායකත්වයෙනි. එය ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා ඇමති ගේ මූලිකත්වයෙන් ලියැවුනු 1972 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් යළි තහවුරු කෙරිණ. පැරණි රජ කාලයේ මෙන් රජෙකු නොවුනත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ඔස්සේ බෞද්ධාගම හා රජය අතර සෘජු සම්බන්ධයක් නැවත ඇති කෙරුනි.

ඒ හේතුවෙන් 19 වන සියවසෙහි මෙන් සැළකිය යුතු නිදහසක් ඇතිව පැවති සංස්කෘතික පෝෂණයක් ලැබූ බෞද්ධාගමික යුගය සහමුලින් අවසන් වී නැවත රාජ්‍ය සීමාවන්ට බෞද්ධ ආගම කොටු කෙරින. එවැනි කොටු කිරීම් පියවා ගැනෙන්නේ සමාජය මත බල අධිකාරී පැවැත්මක් තහවුරු කර ගැනීමෙනි. එවැනි විටෙක සංස්කෘතික පෝෂණයකට අලූත් ඉඩක් තබා පැවති ඉඩ වත් ඉතිරි වන්නේ නැත. එවැනි සීමාවන් ගෙන් සමාජයට ඇති අවාසිය තේරුම් ගැනීමට පහසු වන්නේ තර්කය අග සිට මුලට ලිහා බැලීමෙනි. එනිසා අප මෙසේ ඇසුවහොත් පහසු විය යුතු ය. 19 වන සිය වස වූ සිංහල බෞද්ධ සමාජය ලෙස අප කතා කරන සමාජය, කි‍්‍රස්තියානි වටිනාකම් මත පවුල්ගත වූවකි. එළෙස සංවිධානය වූ සිංහල බෞද්ධ සමාජය තම සංස්කෘතික ජීවිතය වසා තබා ගත්තා නම්, අද අප කතා කරන ඉරිදා දහම් පාසල්, බොදු ගී, වෙසක් බැති ගී නොමැති බෞද්ධ සමාජයක වටිනාකම, හරය කුමක් විය හැකි ද ? වඩා පොහොසත් සංස්කෘතීන් හැම විට පැවත ඇත්තේ විවෘත සමාජයන්හි මිස අධිකාරී බලයක් මත සියලූ පැවතුම් වසා ගත් සමාජයන්හි නොවේ. එය තේරුම් ගන්නේ නම්, අපට වඩා හොඳ බෞද්ධයින් ලෙස සහෘද සමාජයක සියල්ලන් සමග ජීවත් විය හැක.

Back to Home page