Colombo Telegraph

යුක්රේනයේ වූවත් පාඩම් ඇත

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

‘‘මයිදාන් චතුරශ‍්‍රයට පසුගිය නොවැම්බරයේ අපි එකතු වුනේ ඉතා අහිංසක විරෝධයකටයි. යුරෝපා සංගමය මග හැරලා පුටින් එක්ක යටිකූට්ටු ගනුදෙනුවක් පටන් ගත්ත යනුකොවිච්ට විරුද්ධව එදා සිය ගණනක් එකතු වුනා. ජනවාරි අවසන් වෙනකොට යුරෝපා කතාව වැඩක් නැති කතාවක් වුනා. ඒ වෙනුවට අපේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් වෙනුවෙන් මයිදානය පුරවන්න දහස් ගණනක් එකතු වුනා. පෙබරවාරි අන්තිම වෙනකොට, යනුකොවිච් එක්ක එයාගේ ආණ්ඩුවත් එලෙව්වා. මාර්තු පටන් ගන්නකොට ඒවා වැදගත් නැහැ. මයිදාන විරෝධයේ දී ජීවිත පරිත්‍යාග කළ විරුවන් සිය දෙනා ගැන කතා කරන්නවත් දැන් වෙලාවක් නැහැ. දැන් වැදගත් වෙන්නේ තනි යුක්රේනයක් ආරක්ෂා කර ගන්න එකයි. ඒක යුද්ධයකින් තොරව ඉටු කරගන්න පුළුවන් වුනොත් අපි වාසනාවන්තයින්.’’ – අනස්ටාසියා – ද-ගාඩියන් / මාර්තු 04 වන දින

මීට අවුරුදු 03 ට මඳක් ඉහතින් ‘‘පිච්ච මල් විප්ලවය’’ නමින් දෙමසක් පුරා පාරට පැමිණි ජනතාව, 2011 ජනවාරි මාසය අවසන් වන විට ටියුනිසියාවේ අතිශය දූෂිත, අධිකාරවාදී පාලක සිනෙ අල්-අබිඞීන් බෙන් අලි බලයෙන් පහ කළහ. ඉන් සති තුනකට පසුව, දින 18 ක් ටහ්රීර් චතුරශ‍්‍රය අල්ලා ගෙන සිටි දහස් ගණන් ඊජිප්තු තරුණ ජනයා, දසක 03 ක හොස්නි මුබරාක් ගේ පාලනය 2011 පෙබරවාරියේ දී බිඳ දැමූහ. එළැඹි අරාබි වසන්තයේ ජනතා උද්ඝෝෂණ රැුල්ලක් ජෝර්දානය, ඇල්ජීරියාව, යේමනය, බහරේනය, සිරියාව සහ ලිබියාව වැනි උතුරු අපි‍්‍රකානු-මැද පෙරදිග රටවල පැතිර ගියේ ය. මේ සියලූ ජනතා උද්ඝෝෂණ ඉල්ලා සිටියේ දූෂණයෙන් පිරි, අධිකාරවාදී, හිංසාකාරී පාලන වෙනුවට, ජනතාවට වගකියන, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නව ආණ්ඩු පාලනයන් ය. ඒ සඳහා වන ව්‍යවස්ථාමය වෙනස් කිරීම් ය. කීව් නගර මධ්‍යයේ මයිදාන චතුරශ‍්‍රයෙහි තුන් මසක් දිනපතා විරෝධයන්ට හවුල් වූ අනස්ටාසියා ද-ගාඩියන් පුවත් පතට කියූ අයුරු, ‘‘අන්තිමට වැදගත් වෙන්නෙ ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි රටයි බේර ගැනීම’’ ය.

ටියුනිසියාවේ සිට යුක්රේනය දක්වා කතාව එයයි. ඒ සියලූ රටවල ජනතා විරෝධ ගමන් ගත්තේ එකම වංගු, පල්ලම් හා කඳු හරහා නොවේ. එනිසා වෙනත් එවැනි ජනතා නැගිටීම් හමුවේ නොවුනු විදේශ (රුසියානු) සෘජු මැදිහත්වීමක් සහ ආක‍්‍රමණයක තර්ජනයක් සමග ක‍්‍රිමියාව යුක්රේනයෙන් වෙන් කිරීමේ තර්ජනයක් ඇත. ඒ වෙනස සමග වූවත් සමස්ථයෙහි දැකිය හැකි පොදු සමානකම් හා පොදු ලක්ෂණයක් මේ හැම තැනම ඇත. පොදු ලක්ෂණය නම්, ඒ හැම තැනම දිගු ඇදෙන, අරාජික සටන් සමග, සාමකාමී නැතිනම් ස්ථාවර පාලනයකට ඇති ඉඩ ඇහිරි යෑමයි.

බෙන් අලි බලයෙන් පහ කෙරුනු පසු, නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීම සඳහා තාවකාලික ආණ්ඩුවක් වෙනුවෙන් එක`ගත්වයක් ඇති කර ගැනීමට, ටියුනීසියානු ජනතාව තවත් මාස 06 ක් ටියුනිස් නගරයේ කඳවුරු බැඳ ගත්හ. නව ව්‍යවස්ථාවක් ස්ථාපිත කර ගැනීමට අවුරුද්දක් ගත විය. ඡුන්දෙන් අලූත් ආණ්ඩුවක් පත් කෙරුනු නමුදු ඒ ආණ්ඩුව ගැන ද විශ්වාසයක් නැත. එයද පැරණි දේශපාලනඥයින් හවුල් කර ගත්තක් වන නිසා ය. හමුදාව පාරෙන් ඉවත් කර තැබීමට හා හදිසි නීතිය ඉවත් කර ගන්නට, අවුරුදු 03 කුත් මාස 04 ක් ගත විය. එහෙත් තවම සන්නද්ධ අතුරු හමුදා නිරායුධ කර නැතැයි බෙන් අලි යුගයේ අවුරුදු 10 ක් සිර ගත කර සිටි විපක්ෂ දේශපාලනඥයෙකු වන හම්මා හමීමි ජනවාරි 04 වන දින මැද පෙරදිග ‘‘අල් මොනිට’’ පුවත් පතට කියා තිබිණ. මේ ආණ්ඩුවට එරෙහිව ජනතාව නැගී නොසිටින බවට කිසි සහතිකයක් නැතැයි වත්මන් ටියුනීසියානු විපක්ෂය කියන්නේ එවැනි අසම්පූර්ණකම් නිසා ය.

ඊජිප්තුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජනතා නැගිටීම, දින 18 කින් මුබාරක් ඉවත් කර අවුරුද්දකුත් මාස 04 කින් පැවැත් වූ මැතිවරණයේ දී ජනාධිපති ලෙස පත් කර ගත්තේ මුස්ලිම් සහෝදරත්වයේ අපේක්ෂකයාව ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඉල්ලා පාරට පැමිණි බහුතර ජනතාවට ජනාධිපති මොර්සි ගැන විශ්වාසයක් නොතිබිණ. අනතුරුව අවුරුදු 82 ක හමුදා පාලකයෙකු ඉවත් කළ ඊජිප්තුවේ, අවුරුදු 62 ක හමුදා පාලකයෙකු වන හමුදාපති අබ්දෙල් ෆාටා එල්-සිසි 2013 ජූලි මාසය වන විට, බලය තමන් අතට ගත්තේ ය. තව මාස 02 කින් පමණ ජනාධිපතිවරණයක් පැවැත් වීමට හමුදා නායකයා පොරොන්දු වී ඇත. ඒ ජනාධිපතිවරණයට හමුදාපති එල්-සිසි ද තරග කරන බව, ඒකාබද්ධ හමුදා උත්තරීතර මණ්ඩලය දැනටත් ප‍්‍රකාශයක් නිකුත් කර ඇත.

ලිබියාව ගැන කතා කරන්නට කිසිවක් ඇත්තේ නැත. එය එක්තරා ආකාරයකට ඉරාක නායක සදාම් හුසේන් ඉවත් කළ ආකාරයේ ඇමෙරිකානු සැළැස්මක් නේටෝ සංවිධානය හරහා කි‍්‍රයාත්මක කෙරුණකි. වෙනසකට තිබූයේ, ඒ වෙනුවෙන් අවි ආයුධ ලබා දුන් කැරළි කණ්ඩායම් යොදවා ගැනීමට හැකි පසු බිමක් ගඩාෆි විසින්ම හදා දී තිබීම ය. එනිසා ඒ කැරැුල්ලෙහි ඓන්ද්‍රීය ලිබියානු පෙනුමක් තිබිණ. ගඩාෆි ඉවත් කර ඔහුව ඝාතනය කළ පසු සංක‍්‍රමණික ආණ්ඩුවක් පිහිටුවනු ලැබිණ. එහෙත් හැම නගරයකම තවමත් පාලනය ඇත්තේ ගඩාෆි නෙරපීමට සන්නද්ධ කෙරුනු ගෙරිල්ලා කණ්ඩායම් අත ය.

මේ සියලූ ජනතා නැගිටීම් සම්මත විපක්ෂයක් නැතිව මතු වූ නැගිටීම්ය. යුක්රේනයේ දිගු කාලයක් නොවුනාට, අනෙක් හැම තැනම එළවා දමන්නට සුදුසුකම් ලැබූ අවුරුදු 20 ක 30 ක දිගු කාලයක් බලය අයුතු ලෙස යොදා ගත් දූෂිත පාලකයෙකු සිටියේ ය. ඒ කාලය තුල විපක්ෂ නායකයින් ද පැවති පාලනයේ පංගුකාරයින් වැනි විය. ඔවුන්ට දූෂණය ගැන කතා හැර, විකල්ප දේශපාලනයක් නොතිබිණ. එනිසා ඔවුන් ගැන ජනතාව අතර විශ්වාසයක් නොවින. ඔවුන් විපක්ෂ ලෙස පැවතියේ දූෂිත පාලන විසින් පැවැත් වූ මැතිවරණ තරග කරන්නට ඉදිරිපත් වීමෙනි. මැතිවරණ සඳහා ඡුන්දය දීමට ජනතාව ඉදිරිපත් වීම වැළකිය නොහැකි ය. පවතින පාලනයට විරෝධය ප‍්‍රකාශ කිරීම සඳහා සමාජයේ යම් ප‍්‍රතිශතයක් මැතිවරණ යොදා ගැනීමට ද පෙළඹෙති. එනිසා මේ හැම රටකම, ජාඩියට මූඩිය වැනි විපක්ෂයක් ද නඩත්තු වුනි.

යනුකොවිච් දිගු කාලයක් ජනාධිපති නොවුනාට, යුක්රේන චිත‍්‍රයේද එතරම් වෙනසක් නැත. එරට වෙළඳ පල ආර්ථිකය හැදෙන්නේ පැරණි කොමියුනිස්ට් නිලධරවාදී ලොක්කන් සහ ඔවුන් සමග සම්බන්ධකම් තිබූ හයිකාරයින් ද මහා ව්‍යාපාරිකයින් වීමෙනි. ආරම්භයේ සිටම දේශපාලනයට පිවිසෙන්නේ ද ඔවුන් ය. නිදහස් යුක්රේනයේ පළමු ජනාධිපති වන්නේ සෝවියට් පාලනය යටතේ යුක්රේන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු හා සෝවියට් රාජ්‍ය බිඳ වැටෙන විට යුක්රේන සොවියට් සභාවේ සභාපතිව සිටි ලියොනිඞ් ක‍්‍රව්චුක් ය. ඔහුගෙන් පසු දෙවරක්ම ජනාධිපති ලෙස තේරී පත් වන්නේ ලියොනිඞ් කුච්මා ය. ඔහු ද කොමිවුනිස්ට් පක්ෂ සාමාජිකයෙකු ලෙස ඒ යුගයේ ඉහළ පෙළ නිලධාරියෙකු විය. ඔහුගේ දෙවන වාරය ඇරඹෙන්නේ අගමැති ලෙස පත් වූ යනුකෝවිච් මැතිවරණ දූෂණ මත ජයග‍්‍රහණය ලැබී යැයි චෝදනා සමග ය. නිදහස් යුක්රේනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලනය උපදින්නේ එවන් අන්ත දූෂිතයින් සමග ය.

එය පැහැදිලි වන්නේ ජනතා නැගිටීම් සමග පලා ගිය ජනාධිපති වික්ටෝර් යනුකෝවිච් ඔහුගේ ළමා කාලය ගැන ලියා ඇති කතාවෙනි. ‘‘මගේ ළමා කාලය අති දුෂ්කර, සාගින්දරින් ගෙවුනු කාලයකි. මා හැදී වැඩුනේ මට වයස අවුරුදු 02 දී මගේ මව මිය ගිය පරිසරයක ය. වීදි වල මා සැරි සැරුවේ සපත්තුවත් නැතිව ය. ජීවත් වන්න හැමාදම මට පොර බදන්න සිදු විය.’’ පසුගිය පෙබරවාරි 22 වන දින ඔහුව ජනාධිපති ධුරයෙන් පළවා හැරෙන විට ඔහු ගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 12 ක් යැයි වාර්තා විය.

ඒ ජනාධිපති යනුකොවිච් විසින් 2011 දී දූෂණ චෝදනා මත අත් අඩංගුවට ගත් දෙවරක් අගමැතිනිය ලෙස තේරී පත් වූ යූලියා ටිමොෂෙන්කො යුක්රේනයේ ප‍්‍රසිද්ධව සිටියේ ‘‘ගෑස් කුමරිය’’ ලෙසිනි. ඇය විවාහ වූයේ යුක්රේන සෝවියට් පාලනයේ ආයතන ප‍්‍රධානියෙකු වූ ගෙනාඩි ටොමිෂෙන්කෝ ගේ පුතා සමග ය. මේ තිදෙන 1995 දී ‘‘යුක්රේන එක්සත් බල ශක්ති පද්ධතිය’’ නමින් ඔවුන්ගේ පළමු ව්‍යාපාරය පුළුල් කළහ. අනතුරුව ඔවුහු යුක්රේනයට රුසියානු ස්වභාවික වායුව ආනයනය කරන ප‍්‍රධානම ව්‍යාපාරික ආයතන හිමිකරුවන් වූහ. ඇය ‘‘ගෑස් කුමරිය’’ වන්නේ එළෙසිනි. යුක්රේනයේ වරක් අගමැති වූ පැව්ලො ලසාරෙන්කො විසින් විදේශ බැංකුවල කලූ සල්ලි ආයෝජනය කර ඇතැයි ඔහුට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපදයේ දී නඩු පවරනු ලැබුණි. ඔහු ටිමොෂෙන්කො ගේ කලූ සල්ලිද ආයෝජනය කළේ යැයි චෝදනා නැගින. එහෙත් එය ඔප්පු කිරීමට තරම් සාක්ෂි නොතිබුණි.

මෙවර ජනතා නැගිටීමෙන් පසු පිහිට වූ තාවකාලික ආණ්ඩුවේ ජනාධිපති ලෙස නම් කෙරුනු ඔලෙක්සැන්ඩ ටුර්ශ්‍යානොව් පාර්ලිමේන්තුවෙහි සභාපති ය. ඔහු යූලියා ටොමිෂෙන්කොගේ දේශපාලන පක්ෂයේ ප‍්‍රධානියෙකි. ටුර්ශ්‍යානොව් 2005 දී යුක්රේන ආරක්ෂක සේවාවේ ප‍්‍රධානියා විය. එකල ඔහු ටොමිෂෙන්කෝ ගේ මුදල් ගනු දෙනු පිළිබඳ ලිපිගොනු විනාශ කළේ යැයි විකිලීක්ස් කේබලයක සඳහන් විය. එවැනි පසුබිමක යුක්රේනයේ ජනතා විරෝධය කැටි වන්නේ ද අනෙක් රටවල මෙන් විපක්ෂය ගැන විශ්වාසයක් හා හවුලක් ඇතිව නොවේ. එහෙත් විරෝධය අලූත් තලයකට පෙරැුළී තාවකාලික ආණ්ඩුවක් පිහිටු වන්නට සිදු වූ විට, පාරට බැස යනුකොවිච් පළවා හැරි ජනතාවට, රට පාලනය කිරීමට නොහැකි බැව් පැහැදිලි විය. යනුකොවිච් විසින් සිරගත කළ යුලියා ටොමිෂෙන්කො නැවත වීරවරියක් ලෙස ජනතාව අමතන්නේ ඒ හේතුව නිසාය.

යුක්රේන ජනතා නැගිටීම ආරම්භ වූයේ විපක්ෂ සටන් පාට මත නොව, ජනතාවට බලපාන්නා වූ ආර්ථික හේතු සමග ය. බහුතර යුක්රේනුවන්ට ඔවුන්ගේ බිඳ වැටුනු ආර්ථිකය ගොඩ දමා ගැනීමට ව්ලැඩිමීර් පුටින් ගේ දූෂිත රුසියානු ගනු දෙනු වලට වඩා යුරෝපා සංගමය වාසිදායක යැයි විශ්වාසයක් තිබිණ. නොවැම්බරයේ මයිදානයට රැුස් වූ ජනතාව ඒ අනුව යනුකොවිච්ගෙන් ඉල්ලා සිටියේ යුරෝපා සංගමය හා සම්බන්ධ වීමට ය. යෝධ දූෂණ සමග ජීවත් වූ ජනාධිපති යනුකෝවිච්ට, යුරෝපා සංගමය රුසියාව තරම් වටිනා ගනු දෙනුවක් නොවීය. පුටින් පාලනය ද චීන පාලනය මෙන් දූෂිත ආණ්ඩු සමග ගනුදෙනු කිරීමට වැඩි කැමැත්තක් දක්වන හෙයින් ය. පුටින් ගේ රුසියාව තමන් සමගින් ඉන්නා හෙයින් පාරට බසින ජනතාව මර්දනය කර පැවතිය හැකියැයි යනුකෝවිච් තීන්දු කළේය. පාරට පැමිණි යුක්රේනුවන් නැවත නිවෙස් බලා නොගියේ, එසේ ගියා යැයි ඔවුන්ට වෙනසක් ඇති නොවන නිසා ය. එනිසා නිවෙස් අත හැර යන්නට සිදුවූයේ යනුකොවිච්ට හා ඔහුගේ සගයින්ට ය.

අනෙක් සියලූ රටවල මෙන් යුක්රේනයේ ද නොවිසඳුනු දේශපාලන පරස්පරයක් තිබිණ. පුටින් ඔහුගේ දේශපාලනයට දැන් යොදා ගන්නේ ඒ පරස්පරයයි. යුක්රේනයේ ජාතිකත්වය පිළිබඳ ඉතිහාසය, අවුරුදු 44,000 ක් තරම් ඈත අතීතයට ගිය ඉතිහාසයකි. ඉන්දු-ආර්ය භාෂා මූලයට ද මානව ශිෂ්ඨාචාරයේ මනුස්ස ප‍්‍රයෝජනය සඳහා පළමු වරට අශ්වයින් හීලෑ කිරීමට ද හිමිකම් කිව හැකි වර්ණවත් උරුමයන් ඔවුන්ට ඇත. එහෙත් මේ යුගයේ නිදහස් යුක්රේනයේ නවීන බහුත්වවාදී රාජ්‍යයක් ස්ථාපිත කිරීමේ වගකීම කිසිවකු බාර නොගත්තකි. සෝවියට් යුගයේ එය අතිශය කාලකණ්නි මර්දනයක් යටතේ තනි යුක්රේන සෝවියට් සභාවක් ලෙස පවත්වා ගත්තකි. එහෙත් 1991 දී යුක්රේනය ස්වාධීන නිදහස් රාජ්‍යයක් වන විට, රුසියානු බස කතා කරන සහ රුසියානු සම්භවයක් ඇති සියයට 58 ක් පමණ ජනතාවක් ඉන්නා කි‍්‍රමියාව, රුසියාව හා සම්බන්ධවීමට වැඩි කැමැත්තක් දැක්වූහ. ඒ වාර්ගික දුරස්ථභාවය පසු ගිය අවුරුදු 23 පමණ කාලය පුරා වර්ධනය වූවා මිස සමනය නොවුනකි. එනිසා යනුකොවිච් ගේ පාලනය බිඳ දැමූ යුක්රේන නැගිටීමට, ක‍්‍රිමියානු රුසියානුවෝ, සහභාගි නොවූහ. ඒ බෙදීම පාලනය කර ගැනීමට මේ තාවකාලික ආණ්ඩුව ද උත්සාහ ගන්නේ යුක්රේන භාෂාව තනි රාජ්‍ය භාෂාව ලෙස කි‍්‍රමියානු රුසියානුවන් මත පැට වීමෙනි. එනිසා පුටින්ගේ තීන්දුවට පහසුවක් ලැබිණ. අනාගතය පිළිබඳ නිනව්වක් නැති ජනතා නැගිටීමක් කෙළවර, පැරණි විපක්ෂය නැවත පැමිණියත් එය අවුලක් යැයි කියන්නේ එබැවින් ය.

ටියුනිසියාවේ වාමවාදී විපක්ෂ නායකයෙකු වන හම්මා හමීමි එය තේරුම් ගත්තෙකි. ඔවුන්ගේ ජනතා නැගිටීමෙන් පසුව ඔවුන් තවමත් මුහුණ දෙන දේශපාලන අර්බූදය ගැන ඔහු ගේ විග‍්‍රහය මේ සියලූ රටවල නොනිමි අරාජිකත්වය පැහැදිලි කරන්නකි.

‘‘….නමුත් මේ විප්ලවය පුරා පැවති අඩුව වූයේ, ජනාධිපති බෙන් අලි ගේ පාලනය ඉවත් කළ පසු බලය ගැනීමට, මධ්‍යගත ජාතික නායකත්වයක් නොතිබීම ය. මේ නායකත්ව අඩුව විසින් අපව පාර මැද නතර කර තබා ඇත. වෙනත් වචන වලින් කිවහොත් මෘග නායකත්වය ඉවත් කළ නමුත් මෘග පාලන තන්ත‍්‍රය තවමත් පවතින්නේ ය.’’

යුක්රේනයද ඇතුලූ මේ සියලූ රටවලට එය සැබෑ වන අතර, ඒ නැගිටීම් සතු වැදගත්ම පොදු ලක්ෂණය නම්, මැතිවරණ ජයග‍්‍රහණ සහ සංඛ්‍යා ලේඛන කිසිත් පාරට බසින ජනතාව බාර නොගැනීම ය. ඊජිප්තුවේ හොස්නි මුබරක් ජනාධිපති වූයේ සියයට 88.5 ක ඡුන්දයක් ඇතිව ය. එහෙත් දින 18 කින් ඔහුව බලයෙන් පහ කර මිනිස් ඝාතන හා වංචා පිළිබඳව අත් අඩංගුවට ගනු ලැබිණ. ටියුනීසියාවේ බෙන් අලි 2009 ඔක්තොම්බරයේ දී සියයට 89.6 ක ඡුන්දයක් ලබා පස් වන වරටත් ජනාධිපති ලෙස තේරී පත් විය. එහෙත් මාස 14 කින් ඔහුට රටේවත් ඉන්නට නොහැකි විය. යුක්රේනයේ 2010 ජනාධිපතිවරණයේ දී දෙවන වර කැමැත් තේරීමෙන් සියයට 48.95 ක ඡුන්දයක් ලබා ජනාධිපති වූ වික්ටෝර් යනුකොවිච්, 2014 පෙබරවාරියේ දී ජනතා නැගිටීම හමුවේ රටින් පලා ගියේ ය. මැතිවරණ ජයග‍්‍රහණ වලංගු වන්නේ ජනතාව පාරට එන තෙක් පමණි.

ජනතා නැගිටීම් හමුවේ බිඳ වැටුනු එවැනි විදේශ රාජ්‍ය නායකයින් ගේ නම් වෙනුවට වෙනත් ඕනෑම කලබලකාරී රටක රාජ්‍ය නායකයින්ගේ නම් සහ නගර නාමයන් යෙදුවහොත් මේ පෙළ ගැසීම් කෙතරම් සමානදැයි බලා ගත හැක. මේ අර්බූද පතුලෙහි දැකිය හැක්කේ, බිල් ක්ලින්ටන් ගේ මැතිවරණ සමයේ ජනපි‍්‍රය දේශපාලන පාටයක් වූ ‘‘මෝඩයා, ඕක ආර්ථිකයයි’’ ( Its the Economy, Stupid) කියූ කතාවේ හරය පමණි. එවිට අවසන් ප‍්‍රතිපලය ගැන නොසිතන ජනතාව, විපක්ෂය දකින්නේ කල් ඉකුත් වූ මෙවලමක් ලෙස ය. එහෙත් අලූත් විපක්ෂයක් හදා ගැනීමට ඔවුන් කල් මරන්නේ නැත. ප‍්‍රතිඵල භයානක වන්නේ ද ඒ අරාජිකත්වය නිසාම ය.

Back to Home page