25 April, 2024

Blog

වික්ටර් අයිවන් ගේ ‘‘නව මිනිසා’’ සෙවීම

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

කුසල් පෙරේරා

‘‘රාවය’’ නොවැම්බර 03 වන දින කලාපයේ ‘‘අපේ ප‍්‍රණාමය’’ මැයෙන් වික්ටර් අයිවන් රාවය සහයෝගිිතාව ලෙස අප කර ගැසූ වගකීම ගැන ලියා තැබූ අගය කිරීමේ සටහනෙහි අගින් මේ කෙටි සටහන තැබිය යුතු යැයි සිතින. වික්ටර් ඔහුගේ ඒ ඇගයුම අවසන් කරන්නේ, තවත් සමාජ වගකීමක් සඳහා වන ඇරයුමක් ප‍්‍රශ්නයක් ලෙස තැබීමෙනි. ඒ ප‍්‍රශ්නය සඳහා ඉතා කෙටි පූර්විකාවක් ඔහු මෙසේ ලියා ඇත.

‘‘අද අපට ජීවත් වන්නට සිදුවී තිබෙන්නේ ආධ්‍යාත්මික වශයෙන් රෝගී වූ සමාජයක ය. ඉහවහා ගිය ආත්මාර්ථකාමය,දූෂණය, වර්ග භේදය, ආගම් භේදය හා කුල භේදය එම රෝගී තත්ත්වයේ පලයක් ලෙස සැළකිය හැකි ය. අප එක ලේ බිඳකුදු නොසොල්වා නිදහස හිමිකර ගැනීමට සමත් වුවද අපට හිමි වූ ජාතික රාජ්‍ය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය එක්සත් ජාතියක් වෙනුවෙන් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් වෙනුවෙන් දැනුවත්ව පෙනී සිටින නව මිනිසුන්ගෙන් යුතු සමාජයක් ඇතිකර ගැනීමට අසමත් වීම නිසා, රට, රටේ ප‍්‍රමාණයට නොසරිලන තරමින් ලේ වගුරුවන රටක් බවට පත් විය. ඉන්පසු දශක තුනකට ආසන්න කාලයක් අවශ්‍ය තරමට නවීන වීමට අසමත් වූ ඒ මිනිසුන්ට ජීවත් වන්නට සිදුවූයේ මරලතෝනි මැද, මළමිනී අතර ය. එම විශේෂ තත්ත්වය ප‍්‍රමාණවත් තරමට නවීන නොවූ මිනිසුන්ගෙන් යුතු සමාජය මු`ඵමනින් රෝගී මනස් ඇති සමාජයක් බවට පත් කළේ ය. අද රටට අවශ්‍ය වී තිබෙනුයේ ඒ රෝගී සමාජය සුවපත් කරන යහපත් හා විචාර බුද්ධියෙන් යුතු නව මිනිසුන් තනන සමාජ ව්‍යාපාරයකි.’’

ඉන් පසු ඔහු ගේ ප‍්‍රශ්නය වනුයේ, ‘‘එවැනි උත්සාහයක යෙදීමට සුදුසුම කාලය මෙය නොවේ ද ?’’ යන්නයි.

අද අප ජීවත් වන රටේ ඛේදවාචකය ඔහුගේ ඒ අවසන් පරිච්ජේදයෙන් ඔහු ඉතා සංවේදී ලෙස හකුළා තබා ඇත. ඔහු ලියා තබන්නේ නිදහසින් පසු අවුරුදු 60 ට වැඩි අපගේ ඉතිහාසයේ ශේෂ පත‍්‍රයයි. එයට තව එකතු කළ හැකි දේ මිස ඉන් අඩු කිරීමට කිසිත් නැත. එනිසා ඊළ`ගට මතු කළ යුතුව ඇත්තේ ඔහු කියන, මා ද එක`ග වන, ඒ ‘‘නව මිනිසා’’ හදා ගන්නට අපට නොහැකි වූයේ කවර කාරණා නිසා ද යන්නයි. ඒ සඳහා අප නිදහස ලැබූ අවුරුදු 65 ට පෙර වූ සමාජය වෙත නැවත හැරිය යුතු යැයි සිතේ. අප නිදහස ලැබූ අවදියේ ලාංකීය සමාජය ඊළ`ග නිදහස් යුගයේ වගකීම ගැනීමට හැකි මිනිසුන්ගේ සමාජයක් නොවූ බැව් වික්ටර්ගේ නිගමන යයි. ඒ අර්ථයෙන් ලංකාව, එදා ඉන්දියාව තරම් දියුණු වු සමාජයක් නොවුනි. එදා ඉන්දියාව ගත් විට, එහි සමාජ සංකීර්ණත්වය තුල අයහපත්, අන්ත පසුගාමී මෙන්ම දියුණු සමාජ ස්ථර ද එකට පැවතින. ඒ සංකීර්ණත්වය සමග මොහන්දජාරෝ-හරප්පා, ඉන්දු ගංගා වැනි අතීත ශිෂ්ඨාචාර වලට හිමිකම් කියන දීර්ග ඉතිහාසයක් තුල අප හා සාපේක්ෂව ගත් කල, දියුණු සමාජීය සම්ප‍්‍රදායන් ගොඩ නගා ගත් දියුණු මිනිසකුගේ සමාජයක් ඉන්දියාවට තිබිණ.

බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත් වුනු ඉන්දියානු සමාජය ඇෆ්ගනිස්ථාන් සීමාවේ සිට බුරුම සීමාව දක්වා වූ මහා භූමියක පැතිරුනු වාර්ගික වශයෙන් වෙනස් වූ ජන සංස්කෘතීන්ගෙන් මිශ‍්‍ර වූ මහා භාරතයක් වූවකි. එය නිකම්ම එසේ වැඩුනු ඉන්දියාවක් නොවින. ඉන්දියාව විටින් විට විදේශීය සංස්කෘතීන්ගෙන් පෝෂණය වෙමින් වැඩුණකි. ඉරාණ – ෆාර්සි ජාතීන්ගේ සංක‍්‍රමණ, මෝගල් පාලන, චීන සංකලන, මොංගෝලියානු කොල්ලකෑම්, ප‍්‍රංශ පැලපදියම් වීම් වලින් උකහා ගත් ආභාෂයන්ගේ සංකලනය, මහ විශාල භාරතීය සංස්කෘතියකට මග පෑදූවකි. අජන්තා, එල්ලෝරා, භාග්, කජුරා ඕ වැනි විශිෂ්ඨ ගුහා චිත‍්‍ර සහ සියුම් මනරම් කැටයම්, සාන්චි බුදු පිළිමය, ටාජ් මහල්, රතු බලකොටුව, ගෝල් ගුම්භාස්, වැනි ඉදි කිරීම් වල ඉතිරිය කතා කරන්නේ ඒ දැවැන්ත සංස්කෘතියේ සෞන්දර්යයි. ඉන්දීය සෞන්දර්යාත්මක සමාජය ඔවුන්ගේ උත්තර භාරත සහ කර්නාටාක සංගීත සම්ප‍්‍රදායන්ගෙන් ද භරත, කථාක්, කතකලි වැනි නැටුම් සම්ප‍්‍රදායන්ගෙන් ද සහතික කෙරෙන්නේ ය. ඒ ඓතිහාසිකව උකහා ගත් සියල්ලෙන් ගොඩ නැගුණු මහා සම්ප‍්‍රදායන් සහ ඔවුන්ගේ සෞන්දර්යාත්මක ගොඩ නැගීම් ඇති වන්නේ නිකම්ම නොවේ. ඉන්දියානු අධ්‍යාපනයේ මහා කේන්ද්‍රස්ථාන සමූහයක් සමගිනි. විශ්ව අධ්‍යාපනයක් සඳහා අතීතයේ සිට ප‍්‍රසිද්ධ තක්සිලාවත් නාලන්දාවත් හැර තවත් එවැනි බුද්ධිමය අභ්‍යාස පැවති කේන්ද්‍ර ගණනාවක් ඉන්දියාවේ පැවතින. මගධ ප‍්‍රදේශයේ ඔඩන්තපූරිය, සවුරාශ්ට‍්‍රාවේ වලාභිය, කාලිංග ප‍්‍රදේශයේ පුෂ්පගිරිය, බංගලි දේශයේ සෝමාපුරය සියවස් කිහිපයක බුද්ධි ප‍්‍රබෝධයක් ඒ සමාජයන්හි ඇති කළ අධ්‍යාපන මධ්‍යස්ථාන ය.

ඉන්දියානු ජාතික නිදහස් ව්‍යාපාරය ගොඩ නැගෙන්නේ එවන් සම්මිශ‍්‍රිතයන් සමග වර්ධනය වූ මහා සම්මත සංස්කෘතියක පු`ඵල් බුද්ධිමත් මිනිසුන් සමූහයක ගෙනි. ඉන්දීය ජාතික නිදහස් ව්‍යාපාරය වැනි ව්‍යාපාරයක් සඳහා දැවැන්තයින් දායාද කිරීමට චූල සම්ප‍්‍රදායන්ට නොහැකි ය. ඒ මහා සම්ප‍්‍රදාය තුල බිහි වූ මහත්මා ගාන්ධි තවත් එවැනිම දැවැන්තයින් සමගින් නිර්මාණය වූ චරිතයක් පමණි. එහි එක් කෙළවරක වූ මහත්මා ගාන්ධිගේ සිට ජවහල්ලාල් නෙහ්රු, රජේන්ද්‍ර ප‍්‍රසාද් හරහා අනෙක් අන්තයෙහි වූ භගාට් සිං සහ සුභාෂ් චන්ද්‍ර බෝස් දක්වා වූ චරිත අතර තිබූ විවිධත්වය අතිශය ප‍්‍රබල විවිධත්වයකි. ඒ විවිධත්වයෙහි තිබූ විශේෂත්වය නම්, ඒ සැවොම ඉතා දියුණ සංස්කෘතික මිනිසුන් වීම ය. නෙහ්රු ගේ ‘‘ඉන්දියාව සොයා ගැනීම” නම් මහා කෘතිය ඔහු ප‍්‍රාඥයෙකු බව කියා පාන්නකි. රබින්ද්‍රනාත් ටකූර් ගේ සාහිත්‍ය කලා බුද්ධි ගවේශනය හිමාලයානු සංස්කෘතික එකතුවකි. ඒ අතරට එක් වූ විද්වතෙකු, දාර්ශනිකයෙකු, කවියෙකු වූ අවුරොබින්දො ගෝස්, ලේඛකයෙකු සහ ඉතා ජනපි‍්‍රය කවියෙකු වූ සුරේන්ද්‍රනාත් බැනර්ජි, පුරෝගාමී පුවත් පත් කර්තෘවරයෙකු වූ භාල් ගංගධාර් තිලක්, ගත් කතුවරයෙකු, දේශකයෙකු සහ ප‍්‍රජා නායකයෙකු වූ විනොභා භාවේ, ආර්ථික විiාඥයෙකු වූ ගුල්සරිලාල් නන්දා, අධ්‍යාපනඥයෙකු, මාධ්‍යවේදියෙකු සහ ලේඛකයෙකු වූ බිපින් චන්ද්‍ර පාල්, ව්‍යාපාරිකයෙකු සහ ද්‍රවිඩ ජාතික ව්‍යාපාරයේ පුරෝගාමියෙකු වූ පෙරියර් ඊ.වී. රාමසාමි, සංස්කාරකවරයෙකු වාගේම අති දක්ෂ නීතිඥයෙකු වූ කි‍්‍රෂ්නා මෙනන්, අති ශ්‍රේෂ්ඨ කිවිඳියක් වූ සරෝජිනි නායිදු, මදුරාසි ජන නායකයෙකු වූ කුමරස්සාමි කාම්රාජ් වැනි යෝධ චරිත ඒ නිදහස් ව්‍යාපාරයේ බුද්ධිමය හා මතවාදී ගාමක බල චරිත විය. අපට අපේ යටත් විජිත යුගයේ එවැනි දැවැන්ත චරිත හමුවන්නේ නැත.

අප ජීවත් වන මේ අලූත් ලෝකයේ ද එවැනි දියුණු ප‍්‍රවණතාවක් ලතින් ඇමෙරිකානු දේශපාලනයේ දැකිය හැක. පසු ගිය දසක කිහිපයේ ගෝලීය නව ලිබරල් ආර්ථිකයෙන් සැළකිය යුතු ලෙස නිදහස් වූ සහ වොෂිංටනයේ මැලියම් වලින් නොඇලවුනු ස්වාධීන රටවල් හැදීමේ දේශපාලනයක් අත්හදා බලන පුරෝගාමී නායකයින් කිහිප දෙන, ලතින් ඇමෙරිකාව බිහි කළේ ය. බ‍්‍රසීලයේ සිටි ජනතාවාදී නායක හියුගෝ චාවේස්, ආර්ජන්ටිනාවේ නිකාලොස් මඩූරො, උරුගුවාවේ හොසෙ මුහිකා, බොලිවියාවේ ඒවො මොරාලෙස්, එකුඅඩෝරයේ රාෆෙල් කොරෙයා එවැනි නායක නම් කිහිපයකි. මේ අලූත් නායකයින් උතුරු ඇමෙරිකානු අත පෙවීම් වලින් ස්වාධීන වීමේ මූලෝපාය සකසා ගෙන ඇත්තේ, ඔවුන් අතර තබා ගන්නා ඉතා සමීප සම්බන්ධයන් ඔස්සේ ය. ඒ සමීපත්වයට පාදක වන ලතින් ඇමෙරිකානු ජාතිකවාදී පුණර්ජීවයක් දැන් දැකිය හැක. ජාතික රාජ්‍යයන්ගේ දේශ සීමා නොතකා පැරණි මායන්, අස්ටෙක් සහ ඉන්කා ශිෂ්ඨාචාර පැතිරුණු සමස්ථ දකුණු ඇමෙරිකාව ඔවුන්ගේ ‘‘මහා පීතෘ භූමිය’’ ලෙස සැළකීමේ ජාතිකවාදයක් දැන් එහි ඇත. ඔවුන් සැවොම ඔවුන්ගේ දේශපාලන කතා දැන් අවසන් කරන්නේ ‘‘විවා ල ග‍්‍රන් පටි‍්‍රයා’’ කියා ය. ‘‘මහා පීතෘ භූමිය දිනේවා’’ කියා ය.

මහා භාරතය වාගේම ඒ පීතෘ භූමියෙහි විශාල කෘෂිකාර්මික සමාජ ලෙස තහවුරු වූ ඉන්කාවරුන්, අස්ටෙක්වරුන් සහ සංස්කෘතිමය වශයෙන් වඩාත් දියුණු මායන්වරුන් මානව ඉතිහාසයේ යෝධ මග සළකුණු ය. ලතින් ඇමෙරිකානු ශිෂ්ඨාචාරය ගැන ලියන බෙන්ජමින් කීන් ට අනුව, දකුණු ඇමෙරිකානු භූමිය ජනාවාස වන්නේ අවුරුදු 40,000 ට පෙර කාලයේ බෙරිං සමුද්‍ර සන්ධිය හරහා එහි පැමිණි ආසියානුවන්ගෙනි. ඒ මහා අර්ධ ද්වීපය පුරා පැතිරුණු ඒ ජනයා අනතුරුව ඔවුන්ගේ සංස්කෘතීන් සමග අලූත් අනන්‍යතා ඇති කර ගත්හ. මේ ශිෂ්ඨාචාර කාලයත් සමග සමාජ සංස්ථා, පාලන ව්‍යුහ සහ වෙළඳාම් කෙරෙන නගර ඇතිව තහවුරු විය. පෞද්ගලික අත්දැකීම් මත අස්ටෙක් ශිෂ්ඨාචාරය ගැන සටහන් තබන ස්පාඤ්ඤ ගවේශකයෙකු වූ බර්නාල් ඩියාස් ඩෙල් කස්ටීයෝ ගේ වර්ණවත් විස්තරයකට අනුව අස්ටෙක් රාජාධිපති මොන්ටෙසූමා ඉතා සංවිධානාත්මක සමාජයක, විවිධ ආකාරයෙන් බදු අය කරගත්, විශාල හමුදාවක් නඩත්තු කළ යුධවාදියෙකි. දහවල ආහාරයට විවිධාකාරයෙන් පිසූ මාංශ සහ ධාන්‍ය පලා වර්ග 30 ට වැඩි සංඛ්‍යාවක් සමග ඔහු මේසයට වාඩි වන්නේ ය. තනි භාෂාවක් ලෙස අදටත් ග‍්‍රාමීයව කතා කෙරෙන කුවෙචුහා බස රාජ්‍ය පාලනය සඳහා වර්ධනය කරගත් ඉන්කා ශිෂ්ඨාචාරයද අධිපතියෙකුගේ අණසක යටතේ සියලූ යටත් වැසියන් පාලනය කළ මහත්සේ ව්‍යාප්ත කෙරුණු නිලධර සමූහයකගේ පාලනයක් විය. වඩාත් දියුණු ශිෂ්ඨාචාරය ලෙස සැළකෙන මායන් ශිෂ්ඨාචාරය හොන්ඩුරාස්, බෙලිට්සේ, ගෝතමාලා සිට බටහිර එල් සල්වදෝරයත් මධ්‍යම මෙක්සිකෝවත් ආවරණය කෙරුවකි. ඉතා ඉහළ සංස්කෘතික දියුණුවක් ලබා ගත් මායන් මහා අධිරාජ්‍ය හැඳින්වෙන්නේ, දියුණු ලිඛිත බසක් තිබූ, වාර්ෂික කැලැන්ඩරයක් සැදූ, ගෘහ නිර්මාණ සහ වාස්තු විiාව, තාරකා ශාස්ත‍්‍රය සහ ගණිත ක‍්‍රම සමග දියුණු ගෘහ නිර්මාණ සම්ප‍්‍රදායක් පැවති වාණිජ හා කාර්මික ශිෂ්ඨාචාරයකට හිමි කම් කියු අධිරාජ්‍යයක් ලෙස ය.

දකුණු ඇමෙරිකාවේ මේ මහා ශිෂ්ඨාචාර 16 වන සිය වසෙහි දී හිස්පැනික් (ස්පාඤ්ඤ සහ පෘතුගීසි) ආක‍්‍රමණ සමගින් බිඳ වැටෙන්නේ ඔවුන් එතෙක් දිනා සිටි සියලූ සංස්කෘතික ජීව ගුණයන් අහිමි කර ගනිමින් නොවේ. එයට අලූත් දේ එකතු කර ගිනිමින් ය. ඔවුන් කි‍්‍රස්තියානි සහ කතෝලික ආගම් සමග බහුතරයක් ස්පාඤ්ඤ භාෂාව වහරන්නෝ වූහ. ඉතිරිය පෘතුගීසි බස වහරන්නේ ය. මහා භාරතය වාගේම, ලතින් ඇමෙරිකාව ද සංස්කෘතික සංකලනයකි. ස්පාඤ්ඤ, පෘතුගීසි සහ ප‍්‍රංශ මෙන්ම පසුව චීන, කොරියානු සහ ජපන් ආභාෂයන් ද ජීර්ණ කරගත් සමාජයකි. වර්තමාන බටහිර ලෝකයේ නැටුම් කලාවට පිවිස ඇති ඉතා ජනපි‍්‍රය ටැංගො, සම්බා, සල්සා වැනි නැටුම් ශෛලීන් ආර්ජනටිනා, පුඑර්ටො රිකෝ, බොලීවියාව, පෙරූ සහ චිලිය වැනි රටවල ජන නැටුම් ඇසුරෙන් බිඳී ආ වර්තමාන නැටුම් ශෛලීන් ය. ඔවුන්ගේ ජනපි‍්‍රය ලැටිනො සංගීත ආර, අතීත ජන සම්ප‍්‍රදායන් සමග පෝෂණය වූ සුවිශේෂත්වයක් ඇති සංගීතයකි. වික්ටර් හාරා, පැබ්ලෝ නෙරූදා බිහි වන්නේ ඒ සංස්කෘතික පෝෂණයෙහි ය. 18 වන සියවස වන විට ලතිනෝ කවි කතා සාහිත්‍ය අලූත් මායාකාරී යථාර්ත රීතියකට අවතීර්ණ වන්නේ ඒ පැරණි සංස්කෘතික පෝෂණය සමගින් ය. ඒ වන විට හොසෙ හොඅකින් ෆර්නැන්ඩස් ඩි ලිසාර්ඩි, සිමොන් බොලිවාර්, අන්ඩෙ‍්‍ර බෙයො ගේ නම් අසන්නට ලැබුණි. පසුව කියුබානු ගර්ටුඩිස් ගොමෙස් ඩි අවෙයානීඩා සහ බොලිවීයානු ක්ලොරින්ඩා මටෝ ඩි ටර්න වැනි ලේඛිකාවන් ද කරළියට පැමිණියහ. වර්තමානයේ අපට ගබ්රියෙල් ගාර්ෂියා මාර්කීස් ගේ සිට කාර්ලොස් ෆුඑන්ටෙස්, මාරියෝ වාගාස් ලොහ්සො, ඉසබෙලා අයන්ඩෙ, පාවුලො සීලො, මාරියෝ මෙන්ඩොසා වැනි ප‍්‍රශස්ත ලේඛක ලේඛිකාවන් ගැන අසන්නට ලැබෙන්නේ ඒ දීර්ග සංස්කෘතික ව්‍යාපාරයේ බුද්ධිමය ආභාෂය ලද්දන් ලෙස පමණි.

අපගේ ඉතිහාස කතාව එවැනි දැවැන්ත ශිෂ්ඨාචාර අතර එක පෙළට තැබිය හැකි ඉතිහාසයක් නොවේ. අපට අපේ යැයි කිව හැකි මහා සංගීත, නැටුම්, සාහිත්‍ය සම්ප‍්‍රදායන් නැත. අපගේ ජීවන සම්ප‍්‍රදායන් හැදෙන්නේ ලෞකික සමාජයේ සෞන්දර්ය, රස වින්දනය, සතුට ප‍්‍රහීණ කිරීමේ අල්පේච්ඡු වටිනාකම් මත ය. ලෞකික ජීවිතයක සතුට ගැන නොදන්නා, ජීවන සතුට බෙදා හදා ගැනීමේ හුරුවක් නැති සමාජයක් ලෙස ය. එනිසා අප කතා කරන්නේ පැරණි රජවරුන් ඔවුන්ගේ රජ කුමරියන් සමග ගෙන්වා ගත් පිරිවර සමගින් පැමිණි දකුණු ඉන්දීය ශිල්පාචාරීන් එකතු කළ සමාධි බුදු පිළිමය, ඉසුරුමුණියේ පෙම් යුවල, සඳකඩ පහණ, කුට්ටම් පොකුණ වැනි සීමා සහිත නිර්මාණ ගැන පමණි. තවමත් සීගිරි ලලනාවන්ගේ රූප සතු චිත‍්‍ර ශෛලිය ගැන නිශ්චිත උත්තර නැත. එය හා එකට ගත හැකි වෙනත් කලා නිර්මාණයක්ද තවම සොයා ගත නොහැකිව ඇත. දඹුලූ විහාරයේ අතීත බෞද්ධ චිත‍්‍ර ඓතිහාසික සටහනක් වූවත් පාරම්පරික පෝෂණයක් ලබන්නට තරම් දියුණු සම්ප‍්‍රදායක් නොමැත්තෙන් වත්මන් චිත‍්‍රකරුවන්ට ඇත්තේ බටහිර ආභාෂයන්ගේ පෝෂණයකි. අප අද කතා කරන සංගීතය 20 වන සිය වසෙහි මැද භාගයේ උත්තර භාරතීය සංගීත සම්ප‍්‍රදායෙන් අප ණයට ඉල්ලා ගත්තකි. අප ජාතක කතා ගැන කතා කළත් එය අපේම නව කතා සම්ප‍්‍රදායක් හදා ගැනීමට ඉවහල් නොවූවකි. අප නව කතාව අනුකරණය කරන්නට පටන් ගන්නේ යුරෝපීය සම්ප‍්‍රදාය අනු යමිනි. අප අපේ යැයි කියන නාඩගම්, සොකරි, බලි තොවිල් පවා දකුණු ඉන්දියාවෙන් ගෙඩි පිටින් ගෙනෙනු ලැබූ සංස්කෘතිකාංග ය.

අපේ පැරණි සමාජයේ බුද්ධි ගවේශණ සම්ප‍්‍රදායක් ද නොවින. අපට කතා කළ හැකි පැරණි පිරිවෙන් වලින් ඉන්දියාවේ මෙන් බුද්ධිමය එකතුවක් ජන සමාජයට නොලැබුණි. අප කතා කරන අපේ වටිනා උරුමයෙහි මහා භාරතයේ හා දකුණු ඇමෙරිකාවේ මෙන් දියුණු විචාරශීලී බුද්ධිමය එකතු කිරීම් සහ සෞන්දර්යාත්මක නිර්මාණ මත ගොඩ නැගුණු මහා සම්ප‍්‍රදායන් කිසිත් නැත. එනිසා අපට අපේ නිදහස වෙනුවෙන් කතා කරන අතළොස්ස සොයා ගැනීමට සිදු වන්නේ අපේ පොළොවෙහි මුල් ඇති උගතුන් ලෙස නොව, යටත් විජිත කොල්ලකාර ආර්ථිකයේ පංගුකාරිත්වයක් ලැබීමේ වාසිය හේතුවෙන් යුරෝපීය අධ්‍යාපනයකට හිමි කම් කියන්නට හැකි වූ අතළොස්සක ගෙනි.

අපට ඉන්දියානු ආරේ නිදහස් ව්‍යාපාරයකට ඉඩ නොලැබීමේත් වර්තමානයේ ලතින් ඇමෙරිකානු පුරෝගාමී නායක ප‍්‍රවාහය මෙන් අලූත් නායක පරම්පරාවක් බිහි නොවීමේත් එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ මේ ඉතිහාසගත සංස්කෘතික ඌණතාවය යැයි සිතමි. වික්ටර් අයිවන් කතා කරන ‘‘නව මිනිසා’’ විෂයගත හුදු ශාස්තී‍්‍රය දැනුමක් ඇති මිනිසකු වන්නට නොහැකිය. ඒ මිනිසා මහා භාරතයේත් වත්මන් ලතින් ඇමෙරිකාවේත් අපට හමුවන්නේ දියුණු සාහිත්‍ය කලා රසාස්වාදයක් සමගින් සතුට, වින්දනය හඳුනාගෙන හැදෙන බුද්ධිමතුන් ලෙස ය. ඔවුන් ජීවත් වන ඔවුන්ගේ අවට සමාජය ගැන සංවේදී බුද්ධිමතුන් ලෙස ය. සාහිත්‍ය කලා නිර්මාණ, භෞතික පරිසරය, සමාජ ඇසුර රස විඳින දියුණු සංස්කෘතියක් මත පිහිටුවන ලෞකික ලෝකයක් ගැන ඔවුන්ට සිහින දකින්නට හැක්කේ ද ඒ පු`ඵල් කම සමගින් ය. ඒ සිහින සැබෑ කර ගැනීමේ කාර්ය තවත් කතාවකි. වමේ දේශපාලනය ගොඩ විය යුත්තේ එතැනට ය. එහෙත් වමේ දේශපාලනයට සමාජ ප‍්‍රගමනයෙහි මේ සංස්කෘතික සාධකය තේරුම් ගැනීමට නොහැකියාවක් ඇත. මේ සම්බන්ධ සංවාදයක්ද අපේ සමාජයේ නැත. එසේ වූවත් වික්ටර් ගේ ‘‘නව මිනිසා’’ හදන්නා වූ සමාජ ව්‍යාපාරය වෙනුවෙන් මතු කළ ප‍්‍රශ්නයට උත්තර සෙවීමේ දී මෙය පූර්විකාවක් ලෙස තැබිය යුතු යැයි සිතුවෙමි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.