Colombo Telegraph

‘සංහිඳියාව වෙනුවෙන් ජනමතයක් හැදීම මාධ්‍යයෙනුත් මඟ හැරිය වගකීමක්’

ලක්‍ෂමන් පියසේන –

විසිවන සියවස අග භාගයේදී ලංකාවේ සමාජයේ, මෙහි දේශපාලන භූමියේ, දක්නට ලැබෙන, මාධ්‍ය නිදහස ට සම්බන්ධ තීරණාත්මක සිදුවීමක් හැටියට සැලකෙන්නේ, ලේක්හවුස් ආයතනය රජයට පවරා ගැනීමයි. ඒ, 1973 දී ශ‍්‍රීලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධාන ආණුඩු කාලයේ දී ය. එයින් තවත් වසර අටකට පමණ පසුව එනම් 1981 දී ඊට නොදෙවෙනි වෙනත් ආකාරයක සිදුවීමක් මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දක්නට ලැබෙයි. ඒ, ‘දිවයින’ පුවත්පත බිහි වීම ය.

විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය ලංකාවට හඳුන්වා දෙමින්, 1977 දී බලයට පත් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ, පළමු ආයෝජන මණ්ඩල සභාපතිවරයා වන්නේ උපාලි විජයවර්ධන යි. ඔහු ‘දිවයින’ පුවත් පතේ ද අයිති කරුවා විය. විවෘත වෙළෙඳ පොළ ක‍්‍රමය මාධ්‍ය නිදහස වෙනුවෙන් යොදා ගන්නා සැටි ලංකාවට කියා දුන්නේ මේ ආයෝජකයා යැයි කීම නිවරදිය.

එඞ්මන්ඞ් රණසිංහ

එඞ්මන්ඞ් රණසිංහ නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා, උපාලි විජයවර්ධන තම පුවත්පතේ ආරම්භක කර්තෘ වරයා විදියට තෝරා ගත්තේය. ඔහු ගැන ඒ වන විට මාධ්‍ය ක්‍ෂේත‍්‍රයට මතක තිබුණේ, ’73 දී ලේක්හවුස් ආයතනය රජයට පවරා ගන්නවාට එරෙහිව රැුකියාවෙන් අස්වී ගෙදර ගිය පෙරළි කාරයකු මෙන්ම ස්වාධීන බව අගය කළ මාධ්‍ය වේදියෙක් විදියටයි.

එහෙම සුසංයෝගයකින් බිහිවන ‘දිවයින’, පුවත්පතක් මඟින් සමාජය මෙහෙයවන, මතවාද ගොඩනඟන, සංකල්ප වලට ඉඩ දෙන, ‘මාධ්‍ය නිදහස’ සම්බන්ධයෙන් කතා කරන විට, විසිවන සියවසේ ප‍්‍රමුඛයා විය. නිදහස් සංකල්ප හා මතවාද වලට අනුව ම ‘දිවයින’ මාධ්‍ය භාවිතාව ගැන විවිධ විවාද නඟන්නට හැකිය. එහෙත් මාධ්‍ය නිදහස හා මාධ්‍ය භාවිතාවේ වගකීම කියන අගනා සංකල්ප, වෙළඳපොල සමඟ ගැටගැහී යන ගමනකදී වුවත් රැුකගන්නට හැකි හැඩයක් ලංකාවේ මාධ්‍ය ක්‍ෂේත‍්‍රයට ‘දිවයින’ විසින් එකතු කරන ලදී. 1981 දී ඇරඹෙන ඒ මාධ්‍ය භාවිතාව දකින්නට ලැබෙන්නේ 1994 වන තෙක් පමණක් බවයි ‘දිවයින’ ආරම්භක කර්තෘ එඞ්මන්ඞ් රණසිංහ මහතා පවසන්නේ. වත්මන් මාධ්‍ය භාවිතාවේ ඛේදනීය ඉරණම ගැන විමසා බැලීමේදී ඔහුගේ ඒ අදහස විමසුමට ලක් නොකර සිටිය නොහැක.

‘දිවයින’ නිසා රටේ ඇති වුණ එකී මාධ්‍ය ප‍්‍රවණතාව ගැන විමසා බැලීම වැදගත් වන්නේ, එය පෞද්ගලික මාධ්‍යයක් වීම නිසා පමණක් ම නොවේ. එදා ආණ්ඩු කළ ජනාධිපති ජයවර්ධනගේ කිට්ටුම ඥතියෙකු වන, එම ආණ්ඩුව ක‍්‍රියාවට නැංවූ විවෘත ආර්ථික ක‍්‍රමයේ පළමු පෙළ නියමුවෙකු වන, උපාලි විජයවර්ධන නම් ව්‍යසායකයාගේ ආයායෝජනයක්, මාධ්‍ය නිදහස හෝ නිදහස් මාධ්‍ය භාවිතාව තහවුරු කරන්නට හේතු වීම ද මෙහි ඇති අතිශය වැදගත් කාරණයයි.

මේ ගැන තොරතුරු විමසමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඞ්මන්ඞ් රණසිංහ මහතා සමඟ කළ කතාබහකි මේ.

ප‍්‍රශ්නය; ඔබ ලෙක්හවුස් රස්සාව එපා කියල 1973 දි ගෙදර ගියේ, මාධ්‍ය ආයතනය රජයට පවරා ගත්තට පස්සෙ මාධ්‍ය නිදහසත් ඉවරයි කියා ඒ සමඟ එකඟ වෙන්නට බැරි ප‍්‍රතිපත්ති කරාණයක් මත. ඊට පස්සෙ මොකද වුණේ?

පිළිතුර; ප‍්‍රධාන මාධ්‍යට සම්බන්ධ නොවී පොඩි පොඩි දේවල් කළා. මහබෝධියට සම්බන්ධ වෙලා එතන පත්තරයක් කළා. එහෙම කාලයක් ඉන්න කොට එක්සත් ජාතික පක්‍ෂයේ ‘සියරට’ පත්තරයට කතා කළා. එතටත් ගිහින් වැඩ කළා. ඔහොම අවුරුදු හතරක් විතර යනකොට ආණ්ඩුව පෙරලූනානෙ, ඊට පස්සෙ ආයෙ ලේක්හවුස් එකට ගියා ‘දිණමින’ පත්තරේ කර්තෘ විදියට. ඒ ගිහිල්ල පොඩි කාලෙකින් සිළුමිණ පත්තරේ ට මාරුවක් දුන්න ඒකෙ කර්තෘ හැටියට. එහෙම කළේ කැපිල්ලකට. මම ‘දිණමින’ කර්තෘ කාලෙ ප‍්‍රවෘත්ති කර්තෘ වෙලා හිටියෙ දයාසේන ගුණසිංහ. එයාවත් හදිසියෙන් මාරු කළා ‘ජනතා’ පත්තරේට. ගුණසිංහ ත් පස්සෙ ‘සිළුමිණ’ ට ආව විශේෂාංග කර්තෘ හැටියට.
කොහොම වුණත් ‘සිළුමිණ’ ට ගියාට පස්සෙත් මම වැඩ කළා. ඒ වුණත් මට දීපු හදිසි මාරුව ගැන මම සතුටු වුණේ නැහැ. ඔය කාලෙ කතාවක් යන්න පටන් ගත්ත උපාලි විජයවර්ධන මහත්තය පත්තරයක් පටන් ගන්න යන බව. ඒ වැඬේ ඔක්කොම තීන්දු වුණාට පස්සෙ, ඒකෙ කර්තෘ හැටියට කතා කළේ මට. මම බොහොම කැමත්තෙන් ඒක පිළිගත්ත. මොකද මම සිළුමණේ හිටියෙ කැමත්තකින් නෙමෙයිනෙ. සිළුමණේ මාත් එක්ක හිටිය දයාසේන ගුණසිංහත්, තවත් කිහිප දෙනකුත් මම ‘දිවයින’ හදන්න අ`ඩගහ ගත්ත.

ප‍්‍රශ්නය; එක්සත් ජාතික පක්‍ෂයේ නිල පුවත්පත වන ‘සියරට’ පත්තරේට යාම මඟින් එක්තරා විදියකට ඔබේ දේශපාලන පක්‍ෂපාතී බව පෙන්නුම් කළා නේද? මාධ්‍ය නිදහස කියන කාරණය හා එය සසඳා බැලූවොත්?

පිළිතුර; මම රස්සාවක් නැතිව ඉන්න වෙලාවෙ එතනට ගියාට, පක්‍ෂය කෙරෙහි මගේ ලොකු බැඳීමක් තිබුණෙ නැහැ. අනෙක මම එතනට ගියේ මාධ්‍ය නිදහස ගැන කතාකරන්නත් නෙමෙයිනෙ. ඒ කාලෙ පක්‍ෂ නායකය ජේ. ආර්. ජයවර්ධන. අඩු තරමින් මා ඔහු මුණ ගැහුණේවත් නැහැ. ඒ විතරක් නෙමෙයි ඊට පස්සෙ මම ජාතික පුවත්පත් තුනක, ‘දිණමින’, ‘සිළුමිණ’ ‘දිවයින’ කර්තෘවරයා විදියට කටයුතු කරන විටත් රාජ්‍යනායකයන් හෝ මැති ඇමතිවරු හමුවෙන්න ගිහින් නැහැ. මම ඒ අය සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගත්තෙ නැහැ. මට පැවරුන රාජකාරිය මගේ හෘදසාක්‍ෂියටත් දහමටත් එකඟව කළා. එච්චරයි.

මම එයින් අදහස් කරන්නෙ දේශපාලනඥයන් ඈත් කරල මාධ්‍ය මෙහෙයවන්න ඕන කියල නෙමයි. ඒ අය එක්ක කතා බහක් තියෙන්න ඕනෙ. හැබැයි ඒකට විදියක් තියෙනව. මම සිළුමිණේ ඉන්න කාලෙ ඒ සම්බන්ධයෙන් අළුත් වැඩකුත් හඳුන්වල දුන්න. අපි සතියකට වරක් රජයේ ඇමති වරයෙකුට කෑමකට ආරාධනා කරනව. එතනදි සුහදව එයාගෙ රාජකාරි ක‍්‍රමය, ප‍්‍රතිපත්ති ආදිය ගැන මාධ්‍ය වේදීන් කතා කරනව. හැබැයි කෑම කන බිල ගෙව්වවෙ ලේක්හවුස් ආයතනයෙන්.

වැඩි දෙයක් ඕනෙ නැහැ, ‘දිවයින’ පත්තරේ අයිතිකාරය උපාලි විජයවර්ධන මහත්තය එක්ක වුණත් මම එහෙම ලොකු සම්බන්ධයක් තිබ්බෙ නැහැ. මුළු කාලයටම මම අවස්ථා තුන හතරකට වඩා ඔහු මුණ ගැහිල ත් නැහැ. මම සිළුමිණේ ඉන්න කාලෙ ආයෝජන මණ්ඩලේ සභාපති වරයා හැටියට ඔහු සමඟ සාකච්ඡුෘවක් කරල ලිපියක් ලිව්ව. මට මතකයි එයාගෙ මාධ්‍ය ලේකම්වරය ඊට පස්සෙ දවසෙ ලේක්හවුස් එකට ඇවිත් මට කිව්ව ඒ සතියෙම ලිපිය වැටෙනවනම් උපාලි මහත්තය කැමතියි කියා. මම බැහැ කිව්ව. පත්තරේ පැත්තෙන් එහෙම ඉක්මනක් තිබුණෙ නැහැ. ඒකයි මම බැහැ කිව්වෙ. ඊට පස්සෙ සතියෙ මම එය පල කරන්නම් කිව්ව. එහෙම පණිවිඩයක් මගෙන් ලබා ගත් උපාලි විජයවර්ධන මහත්තය ඊට ටික කාලෙකට පස්සෙ සෘජුවම, එයාගෙ අළුත් වැඬේට කැමතිද කියල මගෙන් අහැව්ව. මම කැමතියි කිව්ව. එයා එයාගෙ දෙවැනිය, පේලි මුහන්දිරම් ට මාව හඳුන්වල දුන්න. එැතැන් පටන් අපේ කණ්ඩායම වැඬේ කළා. අපි අයිතිකාරවය හම්බ වෙන්න ගියේ නැහැ. වැඬේ හොඳට යන එක ගැන විජයවර්ධන මහත්තය සතුටුයි කියා ඉහළ නිළධාරීන් අත පණිවිඩ එව්ව. එච්චරයි. අනෙක පත්තරේ කරන්නෙ කොහොමද කියල අයිතිකාරයන්ගෙන් හරි දේශපාලනඥයන්ගෙන් හරි අහන එක මහ ලැජ්ජනැති වැඩක්නෙ.
මම මගේ වැඬේ ස්වෘධීනව කරන්න කැමතියි කියල ඒ කවුරුත් දැන ගෙන හිටිය කියලයි මම හිතන්නෙ. විශේෂයෙන්ම උපාලි විජයවර්ධන මහත්තයට තිබුණු ඒ අවබෝධය තමයි ‘දිවයින’ පත්තරේ එතරම් කෙටි කාලයකින් සාර්ථක මෙන්ම පෙරළිකාර පත්තරයක් විදියට නමක් දිනා ගන්න තැනට පැරිවර්ථනය වුණේ.

ප‍්‍රශ්නය; පත්තරේ මොන විදියේ විය යුතුද, එහි දේශපාලන හැඩය විය යුත්තේ කුමක්ද? ආදී කාරණා ගැනවත් විජයවර්ධන මහත්තය කතාකළේ නැතිද? ඔහු ඒ වෙලාවෙ ආණ්ඩුවේ ප‍්‍රබල ක‍්‍රියාකාරිකයෙක් විතරක් නෙමෙයි, ජනාධිපති ජයවර්ධනගෙ කිට්ටුම ඥාතියෙක් හා හිතවතෙක්?

පිළිතුර; ඔහු කිව්ව ඔහුට ස්වාධීන පත්තරයක් ඕනෙ කියා. එච්චරයි. ඉන් එහාට මොනම බලපෑමක්වත්, අතපෙවීමක්වත් සිද්ධ වුණේ නැහැ.

ප‍්‍රශ්නය; පුවත්පත මුද්‍රණයට යවන්නට සූදානම් කරල තියෙන වෙලාවක ලිපියක හෝ ප‍්‍රවෘත්තියක සිරස්තරලයක් ඔබට නොදන්වා මාරු කරන්නට කළමනාකාරිත්වය කටයුතු කළාය කියා ඔබ උපාලි ඉන්න කාලෙම ‘දිවයින’ පුවත්පත හැර යනව නේද?

ප‍්‍රශ්නය; එහෙ දෙයක් සිද්ධ වුණා. එතකොට තිබුණෙ ඉරිද පත්තරේ විතරයි. මට මතක හැටියට පත්තර කලාප හත අටකට වඩා පිටවෙලා තිබුණෙත් නැහැ. පස්සෙ ඒ සිද්ධිය විමසල බලල උපාලි විජයවර්ධන මහත්තය කිව්වෙ, සන්නිවේදනයේ වෙච්ච් දුර්වල කමක් නිසා එහෙම වරදක් වූ බවයි. එහෙම කියල ඔහු මට ආයෙ වැඩට එන ලෙස ඉල්ලා හිටිය. එැවිනි සිද්ධි වලදි ඔහුගෙන් මම මෙහමෙ දෙයක් දකිනව. ඔහු ගැනම තද බල ව්වේචනයක් කළා කියල වුණත් ඔහු කලබල වුණේ නැහැ. හුඟක් වෙලාවට කළේ උපේක්‍ෂාසහගතව සිද්ධිය දෙස බලා සිටීම. ඔහු ප‍්‍රශ්නය දිහා හෝ සිද්ධි දිහා බැලූවෙ හුඟක් ඉහළින් හා විවෘත මනසකින්.

මට මෙහිදී මතක් වෙනව ඞී. එස් සේනානායක චරිතය ගැන. ඔහුගේ අමාත්‍යාශය ගැන එකල ලේක්හවුස් පත්තරේකට අමූලික බොරුවක් පාදක කරගෙන එක් මාධ්‍යවේදියෙක් ප‍්‍රවෘතියක් පල කරල තියෙනව. මෙය බොරුවක් බව දැන ගත්තම විනය පරීක්‍ෂණයක් තියල, පාලන අධිකාරිය මේ පුද්ගලයව රස්සාවෙන් දොට්ට දාන්න සූදානම් වුණා. මේ පුද්ගලය අන්තිමේදි ගියා ඞී. එස්. මුන ගැහෙන්න. ගිහින් කිව්ව මට වුණ වරදට සමාවෙන්න කියල. ඞී. එස්. හිනාවෙලා ඔහුව පිටත් කරල, ලේක්හවුස් එකට කතා කරල කිව්වලූ ඒ පුද්ගලයට සමාව දෙන්න කියල. ‘රාජා භවතු ධම්මිකෝ’ කියන අපේ සංස්කෘතියේ හරයට හොඳින්ම ගැලූපුන නායකය තමයි ඞී. එස්. සේනානායක. විජයවර්ධන මහත්තයටත් අන්න ඒ ‘දැහැමි’ ගතිය තිබුණ. මේ වගේ චරිත අවසන් තීන්දුව ගත්තෙ ඒ ‘දැහැමි’ බව මත ඉඳල.

ප‍්‍රශ්නය; ‘දිවයින’ මුළ ඉඳලම ජයවර්ධන ආණ්ඩුව අන්තනෝමතිකව තම බලය යොදා ගැනීම ගැන විවේචනය කළා. විවෘත ආර්ථිකය ගැනත් යම් යම් විවේචන වල හිටිය. කර්තෘවරයා හැටියට ඒ එඩිතර පියවර දිගටම අරන්යන්න ඉඩ ලැබුණෙ උපාලි විජයවර්ධනගේ හදිසි වියෝව නිසා විය නොහැකිද? එහෙම නොවී ඔහු දිගටම පරිපාලනයට සම්බන්ධ වුණානම් මීට වඩා තත්ත්වය වෙනස් වෙන්න තිබුණෙ නැතිද?

පිළිතුර; මම හිතන්නෙ ඔහු හිටිය කියලත් වෙනසක් වෙන්නෙ නැහැ. මාධ්‍ය නිදහස වෙනුවෙන් ඔහු දුන් ඉඩ, රටේ ප‍්‍රශ්න ගැන සමාජයේ විවාදයක් ගොඩනඟන්නට ඔහු දුන් ඉඩ, ඔහු හිටියත් වෙනස් නොවෙන බව මට දැණුන දෙයක්. ඔහු හිතුවෙ පැතුවෙ හුඟක් ඉහළ දැක්මකින්. ඔහුට විශාල ආත්ම ශක්තියක් තිබුණ. ඒ වගේම ඔහුට හොඳ විවෘත බවක් තිබුණ. එහෙම ව්‍යාපාරිකයෙක් අතින් බිහිවුණ ‘දිවයින’ විප්ලවයක්, නව මාධ්‍ය කලාවක් බිහි කළා ය කියන එක පුදුමයක් නෙමෙයි.

කොහොම නමුත් බලය අතේ ඇති අය දුබලයාව පෙළන්න එය යොදා ගැනීම ගැන, විවේචනය කරන ස්ථාවරය ‘දිවයින’ මුළ ඉඳලම ගත් පිළිවෙතක්. 1987 දි ජනාධිපති ජයවර්ධන හා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි අතර අත්සන් කෙරුණු ඉන්දු ලංකා ගිවිසුමට ‘දිවයින’ ප‍්‍රතිපත්තියක් විදියට ම විරුද්ධ වුණා. කොටි ත‍්‍රස්තවාදය යුදමය ලෙස පරාජය කළ යුතුයි කියන ස්ථාවරයත් ගත්ත. ඒ විදියට ‘දිවයින’ හැම වෙලාවෙම වගේ ප‍්‍රශ්නය දිහා බැලූවෙ ජනතාවගේ පැත්තෙන්. එහෙම බලපු වෙලාවට ඇතැම් විට ආණ්ඩුව තද බල විවේචනයට ලක් වුණා. ඇතැම් වෙලාවට ‘දිවයින’ කරන වැඬේ ආණ්ඩුවේ පැවත්මටත් අභියෝගයක් වුණා. එහෙම වෙලාවක වුණත් උපාලි මහත්තය හිටියාය කියා ඒ මාධ්‍ය නිදහසට බාධාවක් වේවි කියා මා හිතන්නෙ නැහැ. ඇත්තටම සිද්ධ වුනේ ඔහුගෙන් පස්සෙ එහෙම මාධ්‍ය භාවිතාවකට ඉඩක් නැතිව ගිය එකයි. ඔහුගෙන් පස්සෙත් 1994 තරම් වෙනකනුත් ‘දිවයින’ නිදහස් ගමනක් ගියා.

ප‍්‍රශ්නය; ජනාධිපති ජයවර්ධන, ජනාධිපති පේ‍්‍රමදාස, මේ නායකයින් ජනාධිපති ක‍්‍රමයත් එක්ක හුඟක් බලවත් වුණු චරිත. පත්තරේ වැඩත් එක්ක ඒ අය ගැටුමකට ආවෙ නැතිද?

පිළිතුර; ඒ අය පුද්ගලිකව මාත් එක්ක ගැටුමකට ආවෙ නැහැ. ඒත් ඕන තරම් දේවල් සිද්ධ වුණා. මගේ ගෙදරට බෝම්බත් ගැහැව්වෙ. තව පොඞ්ඩෙන් මම ඒ වෙලාවෙ මැරෙන්නත් තිබුණ. ‘87 – 89’ භීෂණ කාලෙදි තමයි ඒක වුණේ. මම දන්නෙ නැහැ කවුරු කළාද කියල. පොලියසියනම් කිව්වෙ දේශපාලන වැඩක් කියල. අපි කළ වැඬේ දිහා හැම වෙලාවෙම බලය අතේ ඇති දේශපාලනඥයින් නිකන් බලන් හිටියෙ නැහැ. විවිධ පුද්ගලයන් ලවා, පාලන අධීකාරියට බලපෑම් කළ බව මම දන්නව. ඔබ විමසූ නායකයින් දෙන්නම ‘දිවයින’ එක්ක හුඟක් තරහින් හිටිය බවත් මම දැන ගෙන හිටිය. මටත් පුද්ගලිකව කිහිප විදියකට, නොයෙක් බලවත් අය කියා හිටිය මේ නායකයින් දෙන්නත් එක්ක කතා කරන්න කියල. එතකොට ඒ අයගෙ තරහ මරහ නිවෙයි කියල. ඒත් මට එහෙම දෙයක් වුවමනා වුණේ නැහැ. මම දැනගෙන හිටිය ජනතාවගේ පැත්තෙනුයි අපි පත්තරේ කරන්නෙ කියල. මට මම කළ ඒ දේ ගැන විශ්වාසයක් තිබුණ. පුදුමෙ කියන්නෙ මේ නායකයින් ගැන මට මහ බයක් දණුනෙත් නැහැනෙ.

පේ‍්‍රමදාස ජනාධිපති ගෙ කාලෙ දවසක් එක්තරා දේශපාලනඥයෙක් මගේ නෑදෑයෙක් අත මට පණිවිඩයක් එවල තිබුණ. ඒ පණිවිඩයෙන් කියවුණේ, මම පුරුද්දක් විදියට යන එන පාරවල්වල ඒ විදියටම නොයන්නයි කියල. මට මතක හැටියට ඒ පණිවිඩය ආවෙ බෝම්බ සිද්ධියෙන් පස්සෙ. ඒ කියන්නෙ මට තර්ජනයක් තියෙනවයි කියන එකනෙ. එහෙම පණිවිඩයක් ආව කියලත් මට අමුතු බියක් තිගැස්මක් ඇති වුණේ නැහැ. අන්තිමට මුකුත් වුණෙත් නැහැනෙ.

ප‍්‍රශ්නය; ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ‘දිවයින’ ගත් ‘සිංහල බෞද්ධ’ මුහුණුවර අනෙකාව නොඉවසන ජාතිවාදය තහවුරු කරන්නට හේතු වුණාය කියන විවේචනයකුත් තියෙනව නේද?

පිළිතුර;මෙහෙමයි, මම කිව්වනෙ ‘දැහිමි’ බව පදනම් කර ගැනීමයි මගේ ක‍්‍රමය වුණේ කියල. මම අවනත වුණේ එතැනටයි කියල. මම පස්සෙ කාලෙක කොතනකදි හරි කියෙව්ව, රටේ පරමාධිපත්‍යත් මේ දැහැමි බවට යටයි කියල. අන්න ඒ දැහැමි බව, එහෙම නැතිනම් ‘රාජා බවතු ධම්මිකෝ‘ කියන සීමාව ගලාගෙන එන්නෙ ‘සිංහල බෞද්ධ’ සංස්කෘතියන්. ඒ මුහුණවර තමයි මම පත්තරෙන් එළියට දෙන්න උත්සහ කළේ. නමුත් අද රටේ ‘සිංහල බෞද්ධ’ කම කියල කතා කරන්නෙ මොනම විදියකින්වත් බෞද්ධ හරයට ළඟ නැති දෙයක්. ඒක ජාතිවාදය හෝ ආගම් වාදය වෙන්නත් පුළුවන්. ‘සිංහල බෞද්ධ’ කම අවස්ථාවාදීව දේශපාලනයට ගත්ත නිසා මේ වගේ විකෘති තත්ත්වයක් ඇති වුණා කියලයි මට හිතෙන්නෙ. ඒක ඉතින් ‘දිවයින’ ආරම්භ වෙන්නට කලින් ඉඳලම මේ රටේ වෙන දෙයක්. ‘දිවයින’ ගත් මඟ වුණත් අවස්ථාවාදීව යොදා ගන්නට යාමෙන් ජාතිවාදය ඉස්මතු වුණාද කියන්න මම දන්නෙ නැහැ. නමුත් ‘දිවයින’ අදහස් කළේ එහෙම දෙයක් නෙමෙයි. කොහොම වුණත් 1994 ‘දිවයින’ ට ලොකු කඩයිමක්. 1994 න් පස්සෙ මම ‘දිවයින’ මෙහෙයවන වගකීමෙන් ඉවත් වුණා. එතකන් මම අවස්ථාවාදී දේශපාලනයට ‘දිවයින’ ගොදුරු නොවී තබා ගන්නට විශාල උත්සහයක් ගත්ත.

ප‍්‍රශ්නය; කොටි ත‍්‍රස්තවාදය යුදමය ලෙස පරාජය කළ යුතුයි කියන ස්ථාවරය ‘දිවයින’ ගත්තෙ ඔබගෙ කාලයේදි. ඇතැම් විට ‘ඉන්දු ලංකා ගිවිසුම’ ට එරෙහි ස්ථාවරයකට යන්නටත් එය බලපාන්න ඇති. එහෙත් ඇත්තටම දිනන්න තිබුණෙ ‘ජාතික සමඟිය’ කියන ස්ථාවරය දිවයින ගත්තෙ නැහැ නේද? ඒ වෙනුවෙන් සමාජය මෙහෙයවන මතවාදී පිවිසුමකට ‘දිවයින’ ආවෙ නැත්තෙ ඇයි?

පිළිතුර; ඇත්ත එහෙම අඩුපාඩුවක් වුණා තමයි. හැබැයි ඒකට රටේ දේශපාලනයත් ප‍්‍රබලව බලපෑව. මේ රටේ කිසිම ආණ්ඩුවකට, විශේෂයෙන්ම ඞී. එස්. ගෙන් පස්සෙ කිසිම නායකයෙකුට, එහෙම ඉදිරි දැක්මක්, විචක්ක්‍ෂණ බවක් තිබුණෙත් නැහැ. මේ රටේ දෙමළ ජනතාව තමන්ගෙ ජාතියේ නායකයින් අතහැරල ඞී. එස්. වටා රොක් වීම ගැන විමසා බැලීම ම ‘ජාතික සමඟිය’ සඳහා හොඳ මතවාදයක් ගොඩනඟන්න කාරණයක්. එවැනි අවස්ථා කුහක විදියට මඟහැරිය කියලයි පෙන්න තියෙන්නෙ.

දැන් බලන්න, ‘බණ්ඩාරනායක – චෙල්වනායගම්’ ගිවිසුම අත්සන් කළාටත් පස්සෙ, හාමුදුරුවන්ගෙ ඉල්ලීමට කියල ඒක ඉරල දානව. මොන තරම් වගකීමෙන් තොර වැඩක්ද? එයින් වුණේ දෙමළ ජනතාවට වැරදි චිත‍්‍රයක් ගිය එක. අසූ තුනේ ජූලි කලබල වලදී ජනාධිපති ජයවර්ධන මැරයන්ට දවස් ගාණක් ඉඩදීල බලාගෙන හිටිය. මොනතරම්නම් වගකීමෙන් තොර වැඩක්ද? එයිනුත් වුණේ දෙමළ ජනතාවගේ හිත් අනිවාරතේ පෑරෙන්න ඉඩ හැරීම. ඔය වගේ දේවල්නම් එක් එක් ආණ්ඩු යටතෙ වුණා.

ඉන්දියාව හෝ භාහිර බලවේග ජාතික සමඟියට බාධා කරනවාද කියන කාරනෙත් තියෙනව. නමුත් රටේ අභ්‍යන්තර දේශපාලනයත් ඒ ගැන බුද්ධිමත්ව කල්පනා කළේ නැහැ. ඒ නිසාම ‘දිවයින’ ට වගකීමක් තිබුණ ඒ සංවාදය උඩට ගන්න. ඒක ‘දිවයින’ ට මඟහැරුන බව මම පිළිගන්නව. කාලයත් ඊට බලපෑව. ඇතැම් විටෙක තව දුරටත් මට ‘දිවයින’ මෙහෙයවන්න ඉඩ ලැබුණනම් ඉන් ඉදිරියට ‘දිවයින’ නායකත්වය දෙන්නෙ එහෙම මතවාදයක් ගොඩනඟන්නට වෙන්න ඉඩ තිබුණ. ඒත් ඉතින් උපාලි විජයවර්ධන මහත්තයගෙන් ලැබිච්ච ව්‍යවසායක හයියත් ඒ වාගෙ වැඩකට ලැබෙන්න ඕනෙ.

Back to Home page