25 April, 2024

Blog

ජනාධිපති ධූරය, පළාත් සභා හා මෛතී‍්‍රපාල සිරිසේන වැඩ පිළිවෙල

ලාල් විජේනායක

ලාල් විජේනායක

ලාල් විජේනායක

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම තුලින් පළාත් සභා ශක්තිමත් වන බවට කර ඇති ප‍්‍රකාශය කිසිදු පදනමක් නොමැති ප‍්‍රකාශයකි.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම තුළින් ජනාධිපති ධූරය අහෝසි නොවේ. අහෝසි වන්නේ ජනාධිපති වෙත පවරා ඇති අසීමිත විධායක බලය පමණකි. විධායක ජනාධිපති සතු විධායක බලය පාර්ලිමේන්තුවට වගකියන්නා වූ අගමැති හා කැබිනට් මණ්ඩලය වෙත පැවරේ. එයින් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් පිහිටා ඇති පළාත් සභා බලතල වලට කිසිදු බලපෑමක් නොවන්නේය. පළාත් සභා සතු බලතල වෙනස් කරන්නේ නම් එය කළ හැක්කේ 13 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සංශෝධනය කිරීමෙන්ය.

13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සලකා බැලීමේදී එහි ජනාධිපතිවරයා පිළිබඳව සටහන් වන්නේ අවස්ථා 8කදී පමණකි.
1. 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 1 වන වගන්තියෙන් එම සංශෝධනය ජනාධිපති වරයා විසින් ගැසට් කරනු ලබන දිනක සිට කි‍්‍රයාත්මක වන බව දක්වා ඇත.
2. එම 13 වන සංශෝධනය 154 අ(1) වගන්තියෙන් දැක්වෙන්නේ ජනාධිපතිවරයා විසින් ගැසට් පත‍්‍රයෙන් නියම කරනු ලබන දිනයේ හෝ දිනවල කි‍්‍රයාත්මක වන පරිදි පළාත් සභා පිහිටුවන බවය.
3. 13 වන සංශෝධනයේ 154 ආ(1) වගන්තියේ දක්වා ඇත්තේ පළාත් සභාව පිහිටුවනු ලැබ ඇති සෑම පළාත් සභාවක් සඳහාම ආණ්ඩුකාරවරයෙකු සිටිය යුතු බව හා 154 ආ(2) වගන්තිය යටතේ පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබිය යුත්තේය යන්නය.
4. 154—(1) වගන්තියේ දක්වා ඇත්තේ ජනාධිපතිවරයා වෙත යවනු ලබන ලිපියක් මඟින් ආණ්ඩුකාරවරයාට ධූරයෙන් ඉල්ලා අස්විය හැකි බවය.
5. 154 ආ(4) වගන්තියෙන් දක්වා ඇත්තේ එහි දක්වා ඇති හේතු මත ආණ්ඩුකාරවරයා ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයා වෙත උපදෙස් දෙන යෝජනාවක් පළාත් සභාව සම්මත කර ජනාධිපතිවරයා වෙත යැවිය හැකි බවය.
Maithri6. 154 ඒ(1) වගන්තියේ දක්වා ඇත්තේ පළාතක් තුල මහජන ආරක්‍ෂාව පිළිබඳ ප‍්‍රශ්නයක් මතු වී ඇත්නම් එම කාලය තුලදි බලපවත්වනු ලබන නීති රීති අනුව යම් ප‍්‍රකාශනයක් කළ විට ඒ අනුව ආණ්ඩුකාරවරයෙක් කි‍්‍රයා කළ යුතු බවය.
7. 154 ඒ වගන්තියෙන් හා 154 ඕ වගන්තියෙන් දක්වා ඇත්තේ ජනාධිපතිවරයාගේ විධාන අනුව කි‍්‍රයා කිරීම පැහර හැරි අවස්ථාවකදී හෝ පළාත්සභාවක පරිපාලනය ඇණ සිටි අවස්ථාවකදී පළාත්සභාව සතු බලතල ජනාධිපතිවරයා විසින් කි‍්‍රයාත්මක කළ හැකි බවත් එම අවස්ථාවකදී ගනු ලබන සෑම පියවරක්ම පාර්ලිමේන්තුවට නොපමාව දැන්විය යුතු බවය.
8. 154 ඕ වගන්තියෙන් තවදුරටත් දක්වා ඇත්තේ පළාත්සභාවක බලතල පාර්ලිමේන්තුව විසින් හෝ පාර්ලිමේන්තුවේ බලය යටතේ කි‍්‍රයාත්මක කළ යුතු බවට ප‍්‍රකාශනයක් කර ඇති අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසින් එම බලතල කි‍්‍රයාත්මක කිරීම ජනාධිපතිවරයා වෙත පැවරිය හැකි බවය.

ඉහත සඳහන් බලතල සලකා බැලීමේදී මධ්‍යම ආණ්ඩුව වෙත පළාත් සභා සම්බන්ධයෙන් විශාල බලතල පැවරී ඇති බවත් පළාත් සභා වලට ස්වාධීනව නීතියට පිටුපා කි‍්‍රයා කළ නොහැකි බවත් මනා සේ පැහැදිලි වේ.

ඉහත දක්වා ඇති සියලූ බලතල විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් පසුව එම ධූරය දරණ ජනාධිපතිවරයාට භාවිතා කළ හැක. විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් වුවද 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ජනාධිපතිවරයා යන යෙදීම වෙනස් නොවේ.

මෙම ජනාධිපතිවරණයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධූරයට පත් වී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළද ඔහු දිගටම ජනාධිපති වශයෙන් සිටී. ජනාධිපති ධූරය අහෝසි වන්නේ නැත. ඒ අනුව 13 වන සංශෝධනයේ දක්වා ඇති ජනාධිපති සතු බලතල, එනම් පළාත් සභා සම්බන්ධයෙන් බලතල ඔහුට භාවිතා කළ හැක. එය වෙනස් කළ හැක්කේ 13 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරිමෙන් පමණකි. එයටද පාර්ලිමේන්තුවේ 2/3ක වැඩි ඡුන්දයක් අවශ්‍ය වේ. එවැනි සංශෝධනයක් කිරීමට කිසිදු අදහසක් පොදු එකඟතාවයේ හෝ අදාළ කිසිදු පක්‍ෂයකින් යෝජනා වී නොමැත. එපමණක් නොව මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා අනෙකුත් පක්‍ෂ හා කණ්ඩායම් අතර ඇති කර ගන්නා ලද අවබෝධතා ගිවිසුම යටතේ දින සියයක කාලය තුල කි‍්‍රයාත්මක කරනු ලබන වැඩ පිළිවෙල ඉතා පැහැදිලිව දක්වා ඇත.

1. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර නැවත විධායක බලය පෙර පැවති ආකාරයට පාර්ලිමේන්තුවට වගකියනු ලබන කැබිනට් මණ්ඩලය හා ජනාධිපතිවරයා වෙත පැවරීම.
2. 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමත් සමඟ 17 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි පණ ගැන්වීම.
3. සමානුපාතික ඡන්ද ක‍්‍රමය ආරක්‍ෂා කරමින් මනාප ඡන්ද ක‍්‍රමය අහෝසි කිරීම.
4. ජනතාවගේ ජීවන බර සැහැල්ලූ කිරීම සඳහා අවබෝධතා ගිවිසුමේ දක්වා ඇති සහනයන් ක්‍ෂණිකව ජනතාවට ලබා දීම.
5. ඉහත කාර්යයන් දින සියයක කාලය තුළ ඉටු කර තමන්ට කැමති ආණ්ඩුවක් (පාර්ලිමේන්තුවක්) පත් කර ගැනීමට ජනතාවට අවස්ථාව සළසා දීම සඳහා වත්මන් පාර්ලිමේන්තුව විසිරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම. (කෙසේ වෙතත් වත්මන් පාර්ලිමේන්තුවේ කාලය 2015 වසර තුල අවසන් වේ.)

එහෙයින් පළාත් සභා සතු බලතල වෙනස් කිරීමක් හෝ ජනාධිපති ධූරය වෙනස් කිරීමක් සිදු නොවන බව ඉතා පැහැදිලිය.

මෙම විධි විධාන වලට සමාන ව්‍යවස්ථාමය විධි විධාන ඇති ඉන්දියාව හොඳම උදාහරණයකි. ඉන්දියාවේ විධායක බලය අගමැති හා කැබිනට් මණ්ඩලය වෙත පැවරී ඇත. ඒ අනුව අගමැති මෝදි ආණ්ඩුවේ නායකයා මෙන්ම කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වේ. නමුත් ජනාධිපති වශයෙන් කි‍්‍රයා කරනුයේ ප‍්‍රනාබ් මුකර්ජිය. ඔහු ඉන්දියාවේ රාජ්‍ය නායකයා වේ. එමෙන්ම ඔහු ඉන්දියාවේ සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා වේ. ඉන්දියාවේ ප‍්‍රාන්ත රාජ්‍ය විසිරුවා හැරීමේ බලතල ඇතුලූ සියළු බලතල ඇත්තේ ජනාධිපති මුකර්ජි සතුවය. අපගේ පළාත් සභා ක‍්‍රමය තුලද පළාත් සභා විසිරුවා හැරීමේ බලතල ඇතුලූ ඉහත දක්වා ඇති සියළු බලතල ජනාධිපතිවරයා සතු වේ. ඒ අනුව ඉන්දියාවේ ජනාධිපති සතු බලතල වලට සමාන බලතල අපගේ ව්‍යවස්ථාව යටතේ ජනාධිපති වෙතද පැවරේ. විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමෙන් එය වෙනස් නොවේ. අපගේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුවද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් පසුව 1977 විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කිරීමට පෙර තිබුණු ආකාරයට ජනාධිපති රාජ්‍ය නායකයා මෙන්ම ආරක්‍ෂක සේවාවන්හි සේනාධිනායකවරයා ද වේ. ඒ අනුව එම බලතල සියල්ල විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් පසුවද මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත පැවරේ.

එහෙයින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යටතේ පළාත් සභාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සතු බලතල වෙනස් නොවේ.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    3

    අඩුම වශයෙන් ලෝකයේ රටවල් 53 ක ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යයි. ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යන රටවල රජයේ ප්‍රධානියාත් රටේ ප්‍රධානියාත් ජනාධිපතිවරයාය. එවැනි රටවල නීති සම්පාදනය කිරීමට පාර්ලිමේන්තුව වැනි වෙනත් අායතන තිබේ. ජනාධිපති ක්‍රමය පවත්වාගෙනයන සෑමරටකම හමුදාවලට අනදෙන්නේ ජනාධිපතිවරයාය.

    අැමරිකාවේ මුල් නීති සම්පාදකයන් පාර්ලිමේන්තු ක්‍රමයකට නොයෑමට තීරණය කලේ බලය වෙන්කල ජනාධිපති ක්‍රමයකින් නිදහස වර්ණවත්වෙන බවට ජේමිස් මැඩිසන් ප්‍රමුක ව්‍යවස්ථා සම්පාදක මඩුල්ල 1787 සැප්තැම්ඹර් 6 වනදා ෆිලඩෙල්ෆියාවේදී තීරණය කල නිසාය. ඉතින් ඉහලම ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවායයි අපට දෙසාබාන අැමරිකා එක්සත් ජනපදයේ රජයේ ප්‍රධානියාත් රටේ ප්‍රධානියාත් ජනතාව විසින් වක්‍රාකාරයෙන් පත්කරන ජනාධිපතිවරයාය. එසේ නම් ජනාධිපති ක්‍රමය ශ්‍රි ලංකාවට හෙනහුරෙක් හෝ එ්කාධිපතියෙකුට අතවැනීමක් යයි කියන්නේ කෙසේද? අපේ කලින් සිටි ජනාධිපතිවරුන් එ්කාධිපතියන් නොවූයේ ඔවුන් සාන්තුවරයන් නිසාද?

    අැමරිකාවේ උපදෙස් අනුව යමින් නොයෙකුත් යුද්ධවල සහ දේශපාලන මතවාදවල පැටලී සිටි බොහෝ රටවල් තමරටවලට දේශපාලන ස්ථාවරභාවයක් ලබාදී අාර්තික දියුනුව ලඟාකර ගැනීම සඳහා තමන්ට උචිත ජනාධිපති ක්‍රමයන් සොයා ගියාය. දේදුන්නක් වැනි ප්‍රජාතන්ත්‍රවාදයක් තියනවායයි කියන දකුනු අප්‍රිකාවේ රජයේ ප්‍රධානියාත් රටේ ප්‍රධානියාත් පාර්ලිමේන්තුවේ මංත්‍රිවරුන් විසින් පත්කරන ජනාධිපතිවරයාය. දකුනු කොරියාවේ සහ තායිවානයේ අගමැතිවරු සිටියත් ඔවුන් වගකියන්නේ ජනතා චන්දයෙන් කෙලින්ම පත්වූ ජනාධිපතිට මිස පාර්ලිමේන්තුවට නොවේ. දකුනු කොරියාව සහ තායිවානය ලබා අැති සීඝ්‍ර දියුනුවේ රහස එම රටවල දිගටම පැවති දේශපාලන ස්ථාවරභාවයයි. එම රටවලට දේශපාලන ස්ථාවරත්වය හිමිවූයේ ජනාධිපතික්‍රමය නිසාය. නැගීී එන BRICS රටවල් පහෙන් දුප්පත්ම රටවන සහ එක තැන පල්වන ඉන්දියාවේ හැර අනෙක් රටවල් හතරේම අැත්තේ ජනාධිපති ක්‍රමයකි. එසේ නම් අැයි මේ කටිටියකට ලංකාවේ ජනාධිපති ක්‍රමය තිත්තවෙලා තියෙන්නේ?

    රට දියුනු කිරීම සඳහා කිසියම් කාලයකට දේශපාලන ස්ථාවරත්වයක් අවශ්‍ය බව ශ්‍රි ලංකාවට ජනාධිපතික්‍රමය හඳුන්වාදුන් ජේ අාර් ජයවර්ධන මහතා නොයෙක් අවස්ථාවලදී කියා අැත. රනිල් වික්‍රමසිංහ 1977 ව්‍යවස්ථාව සම්මත කිරීමට කැමැත්තෙන්ම වන්දය දුන් අයෙක්ය. 1994 දී ගාමිනී දිසානායක එජාප අපේක්‍ෂකයා ලෙස ජනාධිපතිවරණයට කරඟ කලේ රටේ ජනාධිපතිවරයා වීමටය. වන්ද්‍රිකා නම් ජනාධිපති ක්‍රමය අහෝසිකරන බවට ලිඛිත පොරොන්දුවක් දුන්නේය. ජනාධිපති චන්ද්‍රිකාට ජේඅාර් දුන් උපදේශය වූයේ ජනාධිපති තනතුර තබා ගන්නා ලෙසය. චන්ද්‍රිකා එම උපදේශය අකුරට පිළිපැද වසර 11ක් ජනාධිපති තනතුර හෙබවූ නමුත් අැයට අැහැට පෙනෙන වැඩක් කිරීමට බැරි විය. එ් අැයිදැයි දැන ගැනීමට වික්ටර් අයිවන්ගේ චෞර රැජිණ කියවිය යුතුය.

    2000 සහ 2005 වසරවල ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ එජාප අපේක්‍ෂකයා ලෙස කරඟ කලේ රටේ විධායක ජනාධිපතිවරයා වීමට මිස අගමැතිට විධායක බලය පැවරීම නොවේ. 2010 ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් නොවූයේ පරාජයට මුහුනදීමට බැරිකමටය. මෙවරත් ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන්නේ එම කාරනය නිසාමය. ජනාධිපති තනතුරේ අැති එ්කාධිපති බලතල අැති නිසා එජාප නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති වීමට අකමැති යයි කවුරුන් හෝ කියන්නේ නම් ඔවුන් අමු කුහකයෝ හෝ මහ මෝඩයන්ය. දැන් රනිල් විකුමසිංහට සිිදු වී අැත්තේ කන්න බැරි මිදි තිත්ත වීමය. චන්ද්‍රිකාට අැත්තේ නොනිම වෙෙරයක්ය.

    අද ලෝකයේ පාර්ලිමේන්තු ක්‍රමය අැත්තේත් එය උචිත වන්නේත් කිසියම් අාකාරයක පරම්පරාගත රාජාණ්ඬුක්‍රමයක් තිබුන සහ රජෙක් හෝ රැඡිනක් සිටින එක්සත් රාජධානිය, ජපානය, තායිලන්තය, ස්වීඩනය, නෝර්වේ, මැලේසියාව වැනි රටවලටය. ඉන්දියාව, පාකිස්තානය වැනි රජෙක් නොසිටින නාමික ජනාධිපතිවරයෙක් සහිත පාර්ලිමේන්තු ක්‍රමය අැති රටවල් අැත්තේ ඉතා සුලු ප්‍රමාණයකි. එවැනි රටවල දේශපාලන ස්ථාවරතාවයක් නැත.

    ශ්‍රි ලංකාවේ අතිමහත් බහුතරයට ජනාධිපති ක්‍රමය එපාවී නැත. මෙෙත්‍රිපාල ඡනාධිපතිවරණය දිනනවා තබා 2010 දී ෆොනී ගත් චන්ද ගනනවත් ගන්නේ නැත. එනිසා පැය 24රේන් සහ දින සීයෙන් ව්‍යවස්ථාව සංශෝධන කල හැකිද නොහැකිද යන්න ඵලක් නැති කතාය. කථා කල යුත්තේ මනාප ක්‍රමය නැතිකර රටට එරෙහි අභියෝග වලට මුහුන දීම සඳහා උචිත ලෙස කල යුතු ව්‍යවස්ථාව සංශෝධනයන් ගැනය.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.