15 January, 2025

Blog

නෙරපූ රජ: ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය

හරිනි අමරසූරිය

ආචාර්ය හරිනි අමරසූරිය

නෙරපූ රජ කෘතියේ මහාචාර්ය ඔබේසේකර ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳව පවතින පොදු පිළිගැනීම විචාරශීලීව විමර්ශනයට ලක් කරයි. අප බොහෝ දෙනෙක් දන්නා පරිදි ශ්‍රී වික්‍රම රාජසිංහ කෲර සහ අත්තනෝමතික පාලකයෙක් ලෙස පොදුවේ පිළිගැනීමට ලක්ව ඇත. රජු පාවාදුන් කන්ද උඩරට රදළයන් බොහෝ දෙනෙක් රජුගේ කෲරත්වයෙන් යන එන මං නැති තැනට තල්ලු වී ගොස්, නොඉවසිලිවන්ත බවින් යුත් රජෙක් නෙරපා හැරීමට, බ්‍රිතාන්‍යන්ට සහය දීමට බල කරන තැනට පත් වූ බව පෙනේ. කන්ද උඩරට අවසාන රජු ගැන අප දත් දේ සහ ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ බොහෝ ශාස්ත්‍රීය කෘති මෙන්ම සැබැවින්ම කන්ද උඩරට රාජධානියේ අවසාන දින කිහිපය ප්‍රධාන කොටම පදනම් වූයේ ජෝන් ඩොයිලිගේ දින පොතේ අර්ථකථන සහ උඩරට රාජධානියේ අවසන් දින පිළිබඳ වෙනත් යටත් විජිත විස්තර මතය.

එවැනි ආකාරයේ දැනුම විචාරශීලීව විමර්ශනය කරමින් මහාචාර්ය ඔබේසේකර වැදගත් ක්‍රමවේදී ප්‍රශ්නයක් මතු කරයි: අප අතීතය පිළිබඳ දැන ගන්නේ කෙසේද? ඉතිහාසය ලියවෙන්නේ කෙසේද? ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ ජනප්‍රිය ආඛ්‍යාන වල අන්තර්ගත විසංගතාවන් සහ ප්‍රතිවිරෝධයන් පෙන්වා දෙන අතර ඉතිහාසය ලිවීමේදී යටත් විජිත මූලාශ්‍ර මත මූලික වශයෙන් විශ්වාසය තැබීමේ සීමාවන් බාරදූර ලෙස උද්දීපනය කර දක්වයි. ඔහු පෙන්වා දෙන්නේ අතීතය ගොඩනැංවීම සම්බන්ධයෙන් සුවිශේෂ මූලාශ්‍ර මත අධි විශ්වාසය තැබීමෙන්, මූලාශ්‍රයම සුවිශේෂ සමාජ සහ දේශපාලන සංදර්භයක් තුළ වටහා ගැනීමේ අවශ්‍යතාව නොසලකා, සිදුවීම් සත්‍ය හා ඓතිහාසික ලෙස ඉදිරිපත් වන ආකාරයයි. මහාචාර්ය ඔබේසේකර ඩොයිලි තම විස්තර ලිවීමට පදනම් කරගත් තොරතුරු වල මූලාශ්‍ර මෙන්ම විවිධ වෙනත් මූලාශ්‍ර විමර්ශනය කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ කෲර, අත්තනෝමතික, ජනප්‍රිය නොවන පාලකයෙක්ය යන සුවිශේෂ ප්‍රතිරූපය නිමැවීමට යොදා ගත් මෙම මූලාශ්‍ර ප්‍රවේශමෙන් සළකා බැලිය යුතු බවට ඒත්තු ගන්වන සුළු තර්කයක් ගෙනහැර දැක්වීමටය. එනම් මෙම මූලාශ්‍රම අපක්ෂපාතී නොවන අතර රජු පිළිබඳ මෙම ප්‍රතිරූපය ගොඩනැංවීමේ ලා නිසැකවම හවුල් වී ඇත. රජු පිළිබඳ මෙම සුවිශේෂ ප්‍රතිරූපය, වෙසෙසින්ම ප්‍රාදේශීය රදළයන් සහ ජනයා සමග ඔහුගේ සම්බන්ධතාවය පුළුල් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාපෘතිය යුක්ති සහගත කරණයට දායක වූ ආකාරය ඔහු සාකච්ඡා කරයි. වෙනත් වචන වලින් පවසන්නේ නම් ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ ජනප්‍රිය ආඛ්‍යාන, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීම උදෙසා ඔවූහු හුදෙක් ආක්‍රමණයක් කර නීත්‍යානුකූල රජෙක් නෙරපා හැරියාට වඩා කෲර අත්තනෝමතික පාලකයෙක් යටතේ කන්ද උඩරට ජනයා අත් විඳි පීඩාවන්ට එරෙහිව එසේ කළෝය යන අදහස ගොඩනැංවීමට උපකාරී වේ.

එවිට මහාචාර්ය ඔබේසේකර ජනතාව අවසානයේ දී පිළිකෙව් කළ කෲර අත්තනෝමතික ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ මෙම පිළිගත් දෘෂ්ටිය සංකීර්ණ බවට පත් කරන වෙනත් ලියකියවිලි සාකච්ඡාවට ගනී. ඔහු මෙවැනි විවිධ මූලාශ්‍ර සලකා බලන්නේ කන්ද උඩරට රදළයන් අතරම වූ එදිරිවාදිකම් මෙන්ම කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට ඇහැලාගෙන සිටි බ්‍රිතාන්‍ය වෙරළබඩ පාලනය උද්ගත කළ කුමන්ත්‍රණ වල බලපෑම හමුවේ පවා ශ්‍රී වික්‍රම රාජසිංහ ශක්තිමත්, දක්ෂ මෙන්ම දුරදර්ශී නායකයෙක් ලෙස ගත් විකල්ප දෘෂ්ටියක් ගෙනහැර දැක්වීමටය. අනුකම්පා විරහිත බව, කෲරත්වය, රජු සම්බන්ධයෙන් සැණෙන් සිහියට නැගෙන රජු තම සතුරන්ට නියම කළ දඬුවම් (මෙම කෘතියෙහි සිහිපත් කරන ආකාරයට මහාචාර්ය ඔබේසේකර මේ පිළිබඳ විස්තර ප්‍රශ්න කරයි.) දේශද්‍රෝහීත්වය සම්බන්ධයෙන් එම යුගයේ පිළිගත් නීති හා සම්ප්‍රදායන්ට අනුව සිදුකර ඇත. මෙම ක්‍රම එවකට යුරෝපයේ මේ හා සමාන තත්වයන් හා සම්බන්ධයෙන් පැවති ආකාරයේ නීති හා සම්ප්‍රදායට වඩා වැඩියෙන් සාහසික නොවන බව අපට සිහිපත් කර දෙයි.

ශ්‍රී වික්‍රම රාජසිංහ වඩාත් ප්‍රසිද්ධියට පත් වන ඇහැළේපොල පවුල සාහසික ලෙස මරණ දඬුවමට ලක් කිරීම පිළිබඳව ඔබේසේකර සවිස්තරාත්මකව සාකච්ඡා කරයි. මෙම මරණ දඬුවම පිළිබඳ සව්ස්තර ප්‍රධාන වශයෙන් පදනම් වන්නේ එවකට රටේ පවා නොසිටි බ්‍රිතාන්‍ය හමුදා සැරයන්වරයෙකු වූ ජෝන් ඩේවිගේ ලේඛන මතය. ඩේවි ශ්‍රී ලංකාවට පැමිණියේ 1816 දී වන අතර ඔහු විස්තර කරන සිදුවීම් සිදු වූයේ 1814 සිට 1815 දක්වාය. ඩේවි මෙම මරණ දඬුවම පිළිබඳ කතාන්තරය විස්තර කිරීමේදී විශ්වාසය තැබුවේ වෙනත් මූලාශ මතය.නමුත් මහාචාර්ය ඔබේසේකර පෙන්වා දෙන්නේ ඩේවි සඳහන් නොකරන වෙනත් විස්තර වල එනම් උග්‍ර දෙමළ විරෝධී සහ රාජසිංහ විවේචක වුවත්, ඇහැළේපොල වර්ණනාව සහ කිරල සංදේශය වැනි මෙම සිදුවීම් ගැන ඇති වෙසෙසින්ම සිංහල විස්තරවල ඇහැළේපොල පවුල මරණ දඬුවමට ලක් කිරීම පිළිබඳ සඳහන් නොවන බවය. මෙහිදී වැදගත් වන දෙය නම් ජෝන් ඩේවි සපයන තොරතුරු වල සත්‍යතාව ඉතිහාසඥයන් සහ ශාස්ත්‍රඥයන් ප්‍රශ්න කිරීමකින් තොරව බාරගත් ආකාරයත් ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ පොදු පිළිගැනීමක් බවට බවට පත්වීමත්ය. ශ්‍රී වික්‍රම රාජසිංහ සහ අවසාන කන්ද උඩරට රාජධානිය පිළිබඳ විවිධ විස්තර සළකා බලන මහාචාර්ය ඔබේසේකර මෙවැනි විවිධ පිටපත් යටත් විජිත දේශපාලන ව්‍යාපෘතීන්ගේ බලපෑමට ලක් වූ තරම පෙන්වා දෙයි. නිදර්ශනයක් ලෙස බ්‍රිතාන්‍ය විස්තර සැලකිල්ලක් දැක්වූයේ නීත්‍යානුකූල ස්වෛරී රජෙක් නෙරපීම සඳහාත්, විදෙස් රාජධානියක බ්‍රිතාන්‍ය පාලනය ස්ථාපිත කිරීම සඳහාත් ආවරණයක් ගෙන හැර දැක්වීම කෙරෙහිය. එම යුගයේ සිංහල විස්තරවලට බලපෑවේ රජු නෙරපීම ඉටු කර ගැනීමෙන් තම ස්වාර්ථය පැතූ කන්ද උඩරට විවිධ පවුල් සහ රදළ කණ්ඩායම්වලට තිබූ පක්ෂපාත කම මත පදනම්ව සිදුවූ දෙය පිළිබඳ පිටපත් ගෙන හැර දැක්වීමේ අවශ්‍යතාවයයි. කන්ද උඩරට රදළයන් රජු කෙරේ දැක්වූ විරෝධයට සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාපෘතියට දැක්වූ රහස් සහයෝගයට බලපෑවේ බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පාලනය වූ වෙරළබඩ පළාත් සහ උඩරට රාජධානිය අතර වූ වෙළඳ තහංචි සහ එදිරිවාදීකම් වල ප්‍රතිපලයක් වශයෙන් උඩරට රාජධානියට අහිමි වූ භාණ්ඩ ලබා ගැනීමේ සහ වෙළඳාමෙන් වාසි ලැබීමේ අභිරුචිය බව පෙන්වීමට මහාචාර්ය ඔබේසේකර සාක්ෂි සපයයි.

සිදුවීම් පිළිබඳ සවිස්තර පිටපත් වලින් සුවිශේෂ පර්යාවලෝකයන් පෙන්නුම් කිරීමට හැකිය යන අදහස අරුමයක් නොවන බව නොකිවමනාය. ඒ කෙසේ වුවත් මේ නම් විකල්ප තතු වල සමයයි. විමතියට කරුණ නම් (මෙම කෘතිය ඒ සා වැදගත් වන්නේද ඒ නිසාය.) විචාරාත්මක සිහිනුවණකින් තොරව කොපමණ වතාවක් ඉතිහාසයන් ලියනු ලැබ සම්ප්‍රේෂණය කරන්නේ ද, වර්තමානයේ ජනයා ප්‍රජාවන් සහ සිදුවීම් පිළිබඳ අපගේ අර්ථකථනවලට එය කොතරම් බල පාන්නේද යන්නයි.මහාචාර්ය ගණනාථ ඔබේසේකර සඳහන් කරන ආකාරයට යටත් විජිත මෙන්ම වෙනත් ශාස්ත්‍රඥයන් සහ ලේඛකයන්ගෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ ලැබු දෝෂ දර්ශනය නායක්කර්වරු, ඔවුන්ගේ දෙමළ පෙළපත (එයම සදොස්ය.) පිළිබඳ, පරදේශී නායක්කර්වරුන්ගේ වියවුල් පාලනයෙන් බිඳ දැමූ සිංහල පාලනයේ ඒකත්වය සුරැකි තෝතැන්න වන් සිංහල ජාතියේ කෲර ආක්‍රමණිකයන් සහ සතුරන් වූ දෙමළුන් පිළිබඳ පුළුල් ආඛ්‍යානයකටත්, යුක්ති සහගත රජෙකුට එරෙහිව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග සහයෝගයෙන් කටයුතු කරන සහ බ්‍රිතාන්‍ය පාලනයේ ලේ හැලීම් සහ හිංසනය යටපත් කිරීමට තැත් කරන කන්ද උඩරට රදළයන්ගේ දෙපිටකාට්ටුකම සහ එමනිසාම ද්‍රෝහීත්වය සාපේක්ෂව අවිචාරවත් ලෙස පිළිගැනීමටත් පසුබිමක් නිර්මාණය කළේය. අප ශ්‍රී වික්‍රම රාජසිංහගේ කෲරත්වය, ම්ලේච්ඡත්වය සහ වනචාරීත්වය සම්බන්ධයෙන් යටත් විජිත ලේඛකයන් සහ පරිපාලකයන්ගේ විස්තර ප්‍රශ්න කිරීමකින් තොරව බාර ගන්නා විට, අපි බ්‍රිතාන්‍ය බලය රට පුරා ව්‍යාප්ත කිරීමේ ප්‍රචණ්ඩත්වය සුළු කොට තැකීමේ ප්‍රයත්නය ද බාර ගනිමු. නිදර්ශනයක් වශයෙන්, 1818 කැරැල්ල හමුවේ බ්‍රිතාන්‍යන්ගේ කෲර ප්‍රතික්‍රියාව ශ්‍රී වික්‍රම රාජසිංහ පිළිබඳ ඊනියා අතිශයෝක්තිය තරම් බිහිසුණු ලෙස ඉතිහාසය තුළ සිහිපත් කෙරෙන්නේ නැත.

මෙම කෘතිය චරපුරුෂයෙක් ලෙස ඩොයිලිගේ භූමිකාව, බෞද්ධ භික්ෂූන් ද ඇතුළත් ඔහුගේ ප්‍රාදේශීය සහායකයන්, කන්ද උඩරට රදළයන් සහ බ්‍රිතාන්‍ය පරිපාලනය අතර සහයෝගීත්වයට මග පෑදූ මූල්‍යමය ලාභය සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාපෘතිය චිරස්ථායි කළ ප්‍රචණ්ඩත්වය සහ කෲරත්වය පිළිබඳ කොතරම් අප්‍රකාශිත ද යන්න හෙළි කරයි. මෙම පර්යාවලෝකය වැදගත් වන්නේ යටත් විජිත බලය සහ යටත් විජිත වාදය කොතරම් පිරිහෙමින් පැවති දෙයක් ද යන්න හුදෙක් පෙන්වන නිසාම නොව ඉතිහාසය පිළිබඳ අර්ථකථන යටත් විජිත වැසියාම පිළිබඳ සංකීර්ණ සහ අපහසු පැති සඟවන්නේ කෙසේද යන්න පෙන්වන නිසාය.

මේ සමබන්ධයෙන් සුළු නිදර්ශනයක් සෑහේ: සිංහලයාගේ ජාතික කොඩිය යැයි කියන දේ පිළිබඳ පුරාණෝක්ති මාදිළිය වශයෙන් මහාචාර්ය ඔබේසේකර විග්‍රහ කරන දේ හා මෙය බැඳේ. මෙම පුරාණෝක්ති මාදිළිය අනුව සිංහ ධජය සිංහල රජවරු විසින් භාවිතා කළ ජාතික ධජයක් ලෙස හඳුනාගෙන ඇති අතර වාරියපොල සුමංගල හිමියන් විසින් 1815 දී බ්‍රිතාන්‍යයන් ඉදිරිපිට දී ම බ්‍රිතාන්‍ය ධජය පාගා දැමීමෙන් අනතුරුව ඔසවන ලදී. මහාචාර්ය ඔබේසේකර මෙම සමස්ථ සිදුවීම පිළිබඳව සැක පහල කරන අතර ජාතියේ ආරම්භයේ පටන්ම සිංහ ධජය සිංහලයන්ගේ ජාතික ධජය වීම පිළිබඳ අදහස පදනම් විරහිත වන්නේ කෙසේදැයි ඉතා වැදගත් ලෙස පෙන්වා දෙයි.

පොදු පිළිගැනීම පසෙක තිබියදී එවැනි කොඩියක් පිළිබඳ කිසි විස්තරයක් මහාවංසයේ හෝ චූලවංසයේ හෝ කිසි සංදේශ කාව්‍යයක හෝ නැත. සිංහයාගේ සංකේතවත් බව නිසැකවම සිංහල පුරාණෝක්තිවේදය තුළ වැදගත් වන අතර රජවරු බොහෝ විට සිංහයන්ට සැසඳුනි (මහාචාර්ය ඔබේසේකරට අනුව සිංහයන්ගෙන් පැවත එන බව කියාපාන සිංහල රජවරු පිළිබඳ වාර්තා නැතත් – සැබැවින්ම ඔවූහු හිරුගෙන් හෝ බාගදා සඳුගෙන් හෝ නැතහොත් මේ දෙකෙන්ම පැවත එන බව කියාපාති). එමෙන්ම බොහෝ ස්ථාන වල සිංහ ධජ තිබූ බව සැබෑවක් වුවත් එය ජාතික ධජයක් ලෙස පිළිගත්තේ ද යන්න ගැටළු සහගතය – ජාතියක් පිළිබඳ අදහස ද ඉතා මෑත බව අයෙක් සළකා බලන විට ද එය එසේය. සත් කෝරළයේ ධජයේ සිංහයෙක් සිටි නමුත් විහිදු නියෙන් කඩුවක් දරා සිටින සිංහයෙක් නම් නොවේ.එසේනම් කඩුවක් දරා සිටින සිංහයෙක් ගේ රූපය සිංහලයාගේ ජාතික ධජයක් බවට පිළිගන්නා තැනට වැටුනේ කෙසේද? මහාචාර්ය ඔබේසේකර තර්ක කරන්නේ කඩුවක් දරාගත් සිංහයා 1584 න් පසු එක්සත් නෙදර්ලන්ත ජනරජයේ රාජ්‍ය ලාංඡනයෙන් ලැබුණු බවය. මෙම රූපය ලන්දේසීන් හා සබැඳි කොඩි සහ නිළ මුද්‍රා වල දැකිය හැකි අතර අද පවා ලන්දේසී බර්ගර් සංගමයේ දැකිය හැක. වෙරළ බඩ පළාත් වල සිංහල ජනයා මෙම ලන්දේසි සිංහයා පරිවර්තනයකට සහ දේශීයකරණයකට ලක් කර තම ප්‍රදේශ වල භාවිතා කළේය. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා සහ ඩොයිලි යන දෙදෙනාටම වෙරළබඩ පළාත් වල මෙම ධජය භාවිතය සුපුරුදු දෙයක් වූ නිසා බ්‍රවුන්රිග් 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමේ දී මෙම ධජය යොදා ගත්තේය. කෙසේ නමුත් නුවර ප්‍රදේශ වල එවැනි ධජයක් පැවතුනේ නැත. එතෙකුදු වුවත්, ජනප්‍රිය පරිකලපනය තුළ නියෙන් කඩුවක් දරාගත් සිංහයෙක් සහිත සිංහ ධජය අවසාන සිංහල රජුට සහ කන්ද උඩරට රාජධානියට හරයෙන් ඈඳා තිබේ.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් සඳහා මහජන අදහස් විමසීමේ දී මෑතකදී ජාතික කොඩිය සම්න්බන්ධයෙන්, විශේෂයන්ම කඩුවක් දරන සිංහයෙකුගේ රුව වෙනස් කිරීම සම්බන්ධයෙන් මහජන මත ඉදිරිපත් කිරීම් කිහිපයක්ම තිබුණි. එම යෝජනා වලට ලැබුණු ප්‍රතිචාර වලින් කියැවුණේ එවැනි ක්‍රියාවක් මහත් සේ ජාතිය පාවාදීමක් වනු ඇති බවයි. එහෙත් අපි දකින ආකාරයට අප අගති විරහිතව ජාතිකත්වය පිළිබඳ මෙම සංකේතවල සම්භවය විමර්ශනය කරන්නේ නම්, බාහිර සහ විදේශීය බලපෑම් වලින් නොඉඳුල් සාමුහික ඒකත්වයේ දීර්ඝ සහ අඛණ්ඩ ඉතිහාසයක් පිළිබඳ අදහස බිඳ දමන සමහර අප්‍රසන්න පැති වලට මුහුණ දීමට අපට සිදුවනු ඇත. මෙවැනි ස්වභාවයේ කෘතියක් මෙතරම් වැදගත් වන්නේ මෙම කරුණු නිසාය. ඉතිහාසය පිළිබඳ නිසි අධ්‍යයනය ඒසා වැදගත් වන්නේ ඉන් අප වර්තමානයේ දී කවුරුන් ද යන්න සහ අප අපගේ අතීතයට ඇති සබැඳියාවන් පරිකල්පනය කරන්නේ සහ ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳ විවාද සහ සාකච්ඡා වලට බලපෑමක් වන නිසාය.

පසුගිය දශක දෙක හෝ ඒ හා සමාන කාලය තුළ මහාචාර්ය ඔබේසේකරගේ මානවවංශ ඓතිහාසික කෘති, මානව විද්‍යා විෂය ක්ෂේත්‍රයට මෙන්ම ඉතිහාසයට ද වැදගත් ගැටළු මතු කර තිබේ. විශේෂයෙන්, මානව විද්‍යාව සම්බන්ධයෙන් සංවේදී වන එවැනි ගැටලුවක් නම් මානව විද්‍යා ඥානය විවිධ සංදර්භ අර්ථ දැක්වීමට සහ පැහැදිළි කිරීමට සුපුරුදු සහ පහසු සමුද්දේශ රාමු භාවිතා කරන විට පැන නැගිය හැකි වැරදි වැටහීම් සහ වැරදි සංජානනයන්ය. මානව විද්‍යාඥයන්ට ප්‍රාමාණිකව අනෙකා පිළිබඳව කතා කළ හැකිද? කාට කවුරුන් පිළිබඳ කතා කිරීමට අයිතිය තිබේද? මානව විද්‍යාඥයන් අවුරුදු ගණනක් තිස්සේ මේ පිළිබඳ වද වෙමින් සිටි අතර නුදුරු අනාගතයේත් එසේ වනු ඇතැයි මම අනුමාන කරමි. මහාචාර්ය ඔබේසේකරගේ කෘතිය තුළින් මතු කරන අනෙක් වැදගත් ගැටලුව නම් ඓතිහාසික කරුණු සමග ගණුදෙනු කරන්නේ කෙසේද යන්නයි. ඔහුට අනුව ඉතිහාසය නැවත ගොඩ නැගීමේදී ඓතිහාසික කරුණු නිමැවෙන, සැඟවුණු න්‍යාපත්‍ර හා සංදර්භය වටහා ගැනීම අත්‍යවශ්‍යය. එමගින් ප්‍රතිවිරුද්ධ දැනුම් කියාපෑම් විනිශ්චය කරන්නේ කෙසේද යන ගැටලුව ද මතු කරයි.

අනෙක් කෘතිවල දී මෙන් මෙම කෘතියේදී ඒ හා සමානව මහාචාර්ය ඔබේසේකර අනෙක් ශාස්ත්‍රඥයන් කළ කියාපෑම් ප්‍රශ්න කරයි. එවිට අප පාඨකයන් ලෙස හෝ ශාස්ත්‍රඥ ප්‍රජාවක් ලෙස හෝ මෙම විවිධ කියාපෑම් විනිශ්චය කරන්නේ කෙසේද? රොබට් බොරොෆ්ස්කි 1997 දී ලියු ලිපියක මහාචාර්ය ඔබේසේකරගේ කැප්ටන් ජේම්ස් කුක් පිළිබඳ කෘතිය පිළිබඳ අදහස් දක්වමින් පවසන්නේ.

“බුද්ධිමය ප්‍රාමාණිකභාවය ශාස්ත්‍රීය ප්‍රකාශන තුළ නොව ශාස්ත්‍රඥයන් කාලය ඔස්සේ තම ශ්‍රාවකයන් සමග පවත්වන අන්තර් ක්‍රියා තුළ අන්තර්ගතය. එය සාමූහික සාකච්ඡා තුළින් තහවුරු වන යමකි. එවැනි අන්තර් ක්‍රියා වලින් තොරව අපට කළ හැක්කේ විශ්වසනීය (සහ නොවන ) දේ පිළිබඳ අපගේ හැඟීම් මත බළාපොරොත්තු තබමින් අඳුරේ සියුරුවන් බෑම පමණි.” ( 264 පිටුව ‘Cook. Lono, Obeyesekere and Sahalins’ – Robert Borofsky Chicago Journals vol 38, no.2, 1997 )

විශ්ව විද්‍යාල තරාතිරම් සහ තරඟකාරී ජාත්‍යන්තර සම්මන්ත්‍රන සහ තනතුරු වෙනුවෙන් ලිපි පල කිරීමේ සංස්කෘතිය රජයන යුගයේ අපගේ මතකයෙන් ගිලිහී යාමට ඇති දෙය මෙයය. එනම් ශාස්ත්‍රීය අන්තර් ක්‍රියා, සාකච්ඡා, විවාද වල වැදගත් කමයි – තවද එවැනි ආකාරයේ සාකච්ඡා සහ අන්තර් ක්‍රියා බිහි කරවන ආකාරයේ සංස්කෘතියක් සහ පරිසරයක් ඇති කිරීමේ අවශ්‍යතාවයයි. මහාචාර්ය ඔබේසේකරගේ කෘතිය ඒසා උද්දීපනය කර දක්වන දෙය මෙයයි. ඔහු සාකච්ඡා, විවාද, සංවාද, සිතුවිලි සහ අදහස් උපදවයි. මාගේ සිතට වෙසෙසින් කාවැදුනු නෙරපූ රජ කෘතියේ උදෘතයකින් අවසන් කිරීමට මට ඉඩ දෙන්න.

“මානව විද්‍යා හා ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් ඇති සාක්ෂි බොහෝ විට පාරාන්ධය. විවර සහිතය. සිදුරු සහිතය. එමනිසා උගතුන් අතර එම විෂයන්ට අදාළ කරුණු ගැන වාද විවාද බහුලය. බොහෝ අවස්ථාවල අප සත්‍යය යැයි සිතා වැළඳ ගන්නා දෙව්දුව මායාකාරියකි. ඇයගේ ඉඟි බීඟි මායම් සිත් වසඟ කරන සුළුය. වැළඳ ගත් පසුව වසඟ සිතින් ඇලී ගැලී සිටිනු මිස බැහැර කිරීමට සිත් නොදෙයි. ( 247 පිටුව නෙරපූ රජ – සිංහල පරිවර්තනය – එච්.ජී.දයාසිසිර )

*මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ The Doomed King: A Requiem for Sri Vikrama Rajasinha කෘතිය දොරට වැඩීමේ උළෙලේ දී ආචාර්ය හරිනි අමරසූරිය කළ කතාවේ සිංහල පරිවර්තනය. පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.