27 April, 2024

Blog

මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාවට පිළිතුරු – කොටස X   

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

[මෙම ලිපි මාලාවේ නවවන කොටස දෙසැම්බර් මස 11 වන සඳුදා පළ කොට ඇත.]

නිගමනය

ජාතික ප්‍රශ්නය සාර්ථකව ආමන්ත්‍රනය කිරීම, විවිධ ජනවර්ගවලට අයත් ජනයා අතර සමාන ඉඩ ප්‍රස්ථා සහ සාධාරණ ප්‍රවේශයන් සාක්‍ෂාත් කර ගැනීම තුල රඳා පවතියි. පවත්නා ජාතික අසමානතාව ඓතිහාසික වශයෙන් පදම් කරන ලද ආර්ථික අසමානතාවයේ සහ එවැනි අසමානතා විසින් ජනනය කරන ලද ජාතික හැඟීම්වල ප්‍රතිඵලයක් වෙයි. ජාතික ගැටළුව විසඳීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන කොන්දේසිය වන්නේ රටේ ව්‍යවස්ථාව තුළ අන්තර්ගත කොට තිබෙන පරිදි, ප්‍රායෝගික අර්ථයෙන් සියළු පුරවැසියන්ගේම සමානාත්මතාවය ක්‍රියාත්මක කිරීමයි. ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් එවැනි දේශපාලන හා අධිකරණමය සමානාත්මතාවය ප්‍රකාශයට පත් කොට තිබෙන නමුත් එම ප්‍රකාශණයම පමණක් ජාතික ගැටළුව විසඳීම සඳහා ප්‍රමාණවත් නොවේ. ව්‍යවස්ථාවේ විධිවිධානයන් ලෙස එම ප්‍රකාශණ අතිරේක නීති සහ රෙගුලාසි පැනවීම මඟින් සංයුක්ත ලෙස හා ඵලදායි ලෙස බලාත්මක කළ යුතුය.

2015 ඔක්තෝබරයේ දී ශ්‍රී ලංකාව සංක්‍රමණික යුක්තිය පිලිබඳ දැවෙන ප්‍රශ්නය ආමන්ත්‍රනය කිරීම සඳහා මානව හිමිකම් ප්‍රතිසංස්කරණ සිදු කරන්නට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාවේ දී ගෙන ආ යෝජනාවකට සම අනුග්‍රාහකත්වය දක්වා ප්‍රතිඥා දුන්නේය. නඩු පැවරීමේ බලතල සහිත ස්වාධීන විමර්ශන ආයතනයකින් යුත් විශේෂ අධිකරණයක්, අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලයක්, කරන ලදැයි කියන යුධ අපරාධ චෝදනා පිළිබඳව සත්‍යය තහවුරු කිරීම සඳහා වන යාන්ත්‍රණයක් සහ පුනරාවර්තනය නොවීමත් වන්දි ගෙවීමුත් සහතික කරන්නට යාන්ත්‍රණයක් ඇතුළුව සංක්‍රමණික යුක්තිය පිලිබඳ යාන්ත්‍රන හතරක් ස්ථාපිත කිරීමටත් පොරොන්දු විය. මේ වන විට ආණ්ඩුව ස්ථාපිත කර ඇත්තේ අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය පමණකි. එහෙත්, මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණු කරන්නට, පොලීසිය හා ආරක්‍ෂක අංශ ප්‍රතිසංස්කරණය කරන්නට හා දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නට අසමත්වී ඇති ආණ්ඩුව, යුද්ධය අතරතුර මිලිටරිය විසින් අත්පත් කර ගෙන ඇති පුද්ගලික ඉඩම්වලින් කුඩා කොටසක් පමණක් ආපසු භාර දී තිබේ.

ඇරත්, ජාත්‍යන්තර අත්දැකීම්වලින් පෙන්නුම් කරන්නේ හුදෙක් නවීන තාක්‍ෂණය යොදා ගැනීම මගින් හෝ දැනුම් ආර්ථිකයක් වර්ධනය කිරීම මගින් හෝ විදේශ ආයෝජන දිරිමත් කිරීමෙන් පමණක්ම රටක ආර්ථික පසුගාමිත්වය පිටුදැකීම සරලව කළ නොහැකි බවයි. මහ ජනතාවගේ ආකල්පවල, ඔවුන්ගේ යහ පැවැත්මේ සහ ඔවුන්ට ලැබෙන අධ්‍යාපනයේ ගුණාත්මක ප්‍රමිතීන් තුළ රැඩිකල් වෙනස්කම් ඇතුළත් කර ගන්නා ගැඹුරු සමාජ පරිවර්තන ඒ සඳහා අවශ්‍ය වෙයි. මෙම ප්‍රතිපත්තිය නොසලකා හැරීම නිසා ආසියාවේ, අප්‍රිකාවේ හා ඇමරිකාවේ බොහෝ දියුණු වෙමින් පවතින රටවල්වල සමාජ හා ජාතික ගැටලු උත්සන්න වී තිබෙන බව දකින්නට ඇත. විවිධ ආකාරයේ ජනවාර්ගික-ආගමික ජාතිකවාදය, භක්ති උන්මාදය, අන්ත ජාති වාදය, ව්‍යාජ-දේශප්‍රේමය සහ මිථ්‍යා විශ්වාස පැතිරවීමෙන් සහ ශක්තිමත් කිරීමෙන් දුෂ්ට පාලන තන්ත්‍ර එවැනි තත්වයන් ප්‍රයෝජනයට ගෙන තිබේ.

ගෝලීය වශයෙන් ගත් විට, නව-ලිබරල්වාදය ධනේශ්වර ජාතිකවාදය ව්‍යාප්ත කොට, විවිධ ජනයා එකිනෙකාට එරෙහිව කෙටවීමෙන් ජාතිකවාදී සහ ආගමික මිථ්‍යා මතවාද පණ ගැන්වීමට මඟ පාදා තිබේ. ජනවාර්ගික-ආගමික ජාතිකවාදය පැතිරවීමට හෝ අවුස්සා ලීමට දරනු ලබන ප්‍රයත්න ඔවුන්ගේ උපාය මාර්ගයේ අඛණ්ඩ කොටස් වෙති. එවැනි ප්‍රයත්නවල ප්‍රධාන අරමුණ වන්නේ, ජාතික හා පන්ති ආකල්ප වෙනස් කොට දක්වා, ධනේශ්වර පන්ති ඕනෑ එපාකම් සමස්ත සමාජයේ ජාතික ඕනෑ එපාකම් ලෙස ඉදිරිපත් කොට, වැඩ කරන ජනතාවගේ අවධානය ඔවුන්ගේ පන්ති ස්ථාවරයන්ගෙන් වෙනතකට යොමු කිරීම යි.

වධහිංසා පැමිණවීම ශ්‍රී ලංකාව පුරා ආවේණික ලක්ෂණයක් බව සොයා ගෙන ඇත. යුද්ධය අවසන් වීමෙන් පසුව පවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් අයගෙන් වදහිංසා පැමිණවීම සහ නරක විදියට සැළකීම, බලහත්කාරයෙන් ගන්නා ලද පාපෝච්චාරන, සහ නීතිවේදීන් හෝ පවුලේ සාමාජිකයින් හමු වීම වැනි මූලික අයිතිවාසිකම් ප්‍රතික්‍ෂේප කිරීම සම්බන්ධයෙන් වාර්තා වී තිබේ. නිදසුනක් වශයෙන්, උතුරේ සියදිවි නසා ගැනීමේ කට්ටල සොයා ගැනීමෙන් පසුව වාර්තා වී ඇති අන්දමට මේ වසරේ අප්‍රේල් සහ මැයි මාස වලදී ආරක්‍ෂක හමුදා විසින් පුද්ගලයන් 11 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතත්, මෙම අත් අඩංගුවට ගැනීම් බොහොමයක් ප්‍රකාශයට පත් කොට තිබුනේ නැත. ආරක්‍ෂක හමුදා විසින් ඔවුන් පැහැර ගෙන ගොස් ඇති බව ඔවුන්ගේ පවුල් වාර්තා කළ අතර, බලපෑම් කිරීමෙන් පසුව පමණකි, ආරක්‍ෂක හමුදා විසින් ඔවුන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ඇති බව පිළිගත්තේ. වධහිංසා පැමිණවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ඇති අය සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ල යොමු කරමින් එම පනත අහෝසි කරන ලෙස ඉල්ලා ඇත.

මේ අතරතුර, පාලන තන්ත්‍රයේ ප්‍රකාශකයෝ ඔවුන් එක්සත් ජාතීන්ට දුන් පොරොන්දුව සම්බන්ධයෙන් පරස්පර සහ අවුල් සහගත ප්‍රකාශ නොකඩවා නිකුත් කරති. පැහැදිලිවම පොලිස් බලතල පුළුල් කිරීමත්, ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුකූල නොවීමත් හේතුවෙන්, ආණ්ඩුවට අළුත් ත්‍රස්තවාදය පිටුදැකීමේ පනතේ (CTA) කෙටුම්පත් කිහිපයක් ඉවත් කර ගැනීමට සිදු විය[1]. පසුගිය මැයි මාසයේ දී ත්‍රස්තවාදය පිටුදැකීමේ පනතේ තුන්වන කෙටුම්පත කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද අතර, ඒ සඳහා පාර්ලිමේන්තු ඡන්ද විමසීමකට තවමත් දින නියම කොට නැත. නව පනත් කෙටුම්පත චෝදනාවකින් තොරව කෙනෙකු වැරදි සහගත ලෙස දිගුකාලීනව රඳවා තබා ගැනීමෙන් ආරක්‍ෂා කරන්නේ නැත. “ත්‍රස්තවාදී ක්‍රියාවක්” යනු කුමක්දැයි යන්න තවමත් අපැහැදිලිව පවතින අතර, සමඟිය, භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය, ජාතික ආරක්‍ෂාව හෝ රට සුරැකුමට තිබෙන තර්ජනයක නාමයෙන් එහි විෂය පථය සාමකාමී දේශපාලන කටයුතුද ඇතුළත්වන අන්දමට පුළුල් කළ හැකිය.

ප්‍රකාශිත දේශපාලන හා නීතිමය අයිතිවාසිකම් පූර්ණ වශයෙන් භාවිතා කිරීමට සෑම ජනප්‍රජාවකටම ඉඩකඩ ලබා දීමට නම්, ජනප්‍රජාවන් අතර පවතින ආර්ථික හා සංස්කෘතික අසමානතා ඉවත් කළ යුතුව තිබේ. මෙය සිදු වෙන්නට නම්, පීඩාවට පත්ව ඇති ජනයාට ඔවුන්ගේ නිෂ්පාදක හැකියාවන් සහ ශක්‍යතාවය වර්ධනය කිරීම වැනි ප්‍රායෝගිකව ආධාරකාරී වෙන පියවර ක්‍රියාවට නංවමින් ධනාත්මක වෙනස්කම් කරන ක්‍රියාමාර්ග යොදා ගන්නට සිදු වෙනු ඇත. ජාතික පීඩාවේ ලේශයන්ට එරෙහිව කරන දිගුකාලීන හා ස්ථිරසාර අරගලයක් ආර්ථික අසමානතාවය තුරන් කර දැමීම සඳහා අවශ්‍යව ඇත. ඇතැම් න්‍යායධරයෝ කියා සිටින අන්දමට මෙවැනි ගැටළු වලට එක රැයෙන් විසඳුමක් ලබා ගැනීම කෙනෙකුට බලාපොරොත්තු විය නොහැකි ය.

ප්‍රධාන දේශපාලන පක්‍ෂ විපක්‍ෂයේ සිටියදී, ඔවුහු බලය අත්පත් කර ගත්විට සමූපදේශන සහ සාකච්ඡා මඟින් ජාතික ප්‍රශ්ණයට විසඳුමක් ඇති කර ගන්නට කටයුතු කරන බවට, ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනවල හැමවිටම පාහේ ඇතුළත් කර තිබේ. එහෙත්, ඔවුහු බලයට පත්වූ විට, වර්තමාන ආණ්ඩුව මෙන්, ඔවුන්ගේම විකල්ප විසඳුම් ගැන සාකච්ඡා කරන්නට හෝ යෝජනා කරන්නට යම් උත්සාහයක් දරන විට, නව විරුද්ධ පක්‍ෂය, අන්ත ජාතිකවාදීන්ගේද අනුබලය ලැබ, එම උත්සාහයන්ට අකුල් හෙලන්නට කටයුතු කරයි.

හිටපු ජනාධිපත් මහින්ද රාජපක්‍ෂ මහතා (ආචාර්ය ගොඩහේවාගේ නායකයා) විසින් 2005[2] දී සහ 2010[3] දී ඉදිරිපත් කරන ලද ජනාධිපතිවරණ ප්‍රකාශණ තුලින් පවා, පොදු එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා දේශපාලන හා සිවිල් සමාජ සංවිධානවල සහ පුද්ගලයන්ගේ අදහස් විමසමින් ව්‍යවස්ථානුකූල කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පොරොන්දු වූයේය. පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක සභාවක් බවට පත් කරන්නටත්, පුරවැසි උපදේශක සභාවක් පත් කරන්නටත්, පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කොට එය මහජන අනුමැතිය සඳහා ජනමත විචාරණයකට භාජනය කරන්නටත් 2015[4] දී ඔහුගේ මැතිවරණ ප්‍රකාශණයෙන් පොරොන්දු විය. එම ප්‍රකාශණයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය, මැතිවරණ ක්‍රමය, නීතියේ ආධිපත්‍යය සහ යහපාලනය සඳහා ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නට ද පොරොන්දු විය. මෙම ප්‍රකාශනයෙන්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින සිරකරුවන් ගැන වහාම කටයුතු කිරීම සඳහා, ඔවුන්ට එරෙහිව නඩු ගොනු කිරීම හෝ කඩිනමින් නිදහස් කිරීම අරමුණු කොට ගෙන, විශ්‍රාමික මහේස්ත්‍රාත්වරයෙකු විසින් මෙහෙයවනු ලබන පූර්ණ බලැති කාරක සභාවක් පත් කරන්නට ද පොරොන්දු වූයේය. අමතරව, සන්නද්ධ ගැටුමේදී හමුදාව විසින් අත්පත් කරගත් ගොඩනැගිලි සහ ඉඩම් ඒවායේ මුල් හිමියන්ට ආපසු ලබා දීම සම්පූර්ණ කරන්නටද එයින් පොරොන්දු විය.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන ලද බලය බෙදා හැරීමේ මට්ටම පූර්ව විනිශ්චය කරන්නට තවම කල් වැඩි වූවද, 2000 වසරේ දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ වැඩ පිළිවෙල යටතේ ජී.එල්. පීරිස් මහාචාර්යවරයා විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පත අපේ රටේ ඉතිහාසය තුල මෙතෙක් ඉදිරිපත් කරන ලද ඉතාමත් පුළුල්ම සහ වඩාත් ඵලදායී ව්‍යවස්ථාදායක යෝජනාව වූයේය. ජී.එල්. පීරිස් මහාචාර්යවරයාගේ පිටපතේ ඉදිරිපත් කළ බලය බෙදාහැරීම, වත්මන් අතුරු වාර්තාවේ යෝජිත විෂය පථය බෙහෙවින් ඉක්මවා ගියේය. එහෙත්, ජී.එල්. පීරිස් මහාචාර්යවරයා සහ ඔහුගේ පක්‍ෂය දැන් පළාත් සභාවලට බලය බෙදා හැරීමට පවා විරුද්ධ වෙති. පවත්නා පළාත් සභාවලට දැනටමත් සමහර බලතල පවරා දී තිබියදීත්, ඔවුන්ගේ හෙන්චයියෝ කතා කරන්නේ පර්යන්තයට බලය බෙදාහැරීම වෙනුවෙන් පෙනී සිටින ඕනෑම කෙනෙක් මරණයට පත් කිරීම ගැන ය. තවත් එකෙක් සෙල්ලක්කාර මනෝභාවයකින් යුක්තව පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම ගැන පවා කථා කරයි!

ඉහත සඳහන් සමස්ත සාකච්ඡාවෙන් පැහැදිලිවම පෙන්වා දෙන්නේ ජාතික ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ දේශපාලනයේ කේන්ඳ්‍රස්ථානය අත් කර ගන්නා බවය. එය, ආර්ථිකය, සංස්කෘතිය, මානව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඇතුළු සියලු ක්‍ෂේත්‍රයන් තුල අපේ අනාගත සමාජ ගතිකත්වයේ තීරණාත්මක සාධකය බවට පත් වී තිබේ. එහෙත්, විරුද්ධ පක්‍ෂ සහ සිංහල ජාතිකවාදී බලවේගයන් ඒ තරම් වූ වසර ගණනාවකට පෙර සිය පුරෝගාමීන් විසින් කරන ලද ඒ අධම ක්‍රියාවන්ම නැවත සිදු කරන්නට තෝරා ගන්නේ නම්, ඕනෑම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත් යෝජනාවක්, 1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම, 1965 ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම, 1987 පළාත් සභා පැකේජය සහ 2000 ව්‍යවස්ථා කෙටුම්පත මුහුණදුන් ඉරණමටම භාජනය විය හැකි බව පෙනෙන්නට තිබේ.

2009 මැයි මාසයේදී සන්නද්ධ ගැටුම පරාජය කිරීමෙන් දශකයකට ආසන්න කාලයකින් පසුව පවා, දේශපාලන ගැටුම තවත් දුෂ්කර අවස්ථාවක් කරා ළඟා වන බව පෙනේ. එවැනි දැවැන්ත මරණ හා විනාශයකින් පසුව පවා, පාලන තන්ත්‍රය සහ එහි නිලතන්ත්‍රය, භාෂා පරතරය ප්‍රායෝගිකව පවතින්නට ඉඩ හැර තිබෙන ගැටළු ආමන්ත්‍රණය කරන්නට ප්‍රමුඛත්වය දී නැත. දමිලයන් බහුලව සිටින පළාත් සහ දිස්ත්‍රික්කවල සිංහල නිලධාරීහු බොහෝ දෙනෙක් ඔවුන්ගේ නිල රාජකාරි කටයුතු දිගටම සිංහල භාෂාවෙන්ම කරගෙන යති. දමිලයෝ මෙම නිලධාරින්ට කරන පැමිණිලි සිංහලෙන් සටහන් කර ගනු ලබන අතර, ඉන්පසු එම ප්‍රකාශවලට අත්සන් කරන ලෙස හෝ සහතික කරන ලෙස දමිලයන්ගෙන් ඉල්ලනු හෝ බල කර සිටිනු ලැබේ.

සැබෑ සහ අර්ථවත් සාමයක් වෙත මාවත වැටී ඇත්තේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ බලය බෙදාහැරීම සඳහා තිබෙන දැවෙන අවශ්‍යතාවය සම්බන්ධයෙන් දැනට පවතින දැනුවත්භාවය ඉහළ නැංවීම තුළ යි. මෙය, සියළු ප්‍රජාතන්ත්‍රවාදී හා ප්‍රගතිශීලී බලවේගයන්ගේ අද පවතින වඩාත්ම තීරණාත්මක කාර්යය බවට පත්ව ඇත. මෙම කර්තව්‍යය සංවිධාන වශයෙන් හෝ සංවිධාන සහ පුද්ගලයන්ගේ සාමූහිකයන් වශයෙන් වුවද ඉටු කළ හැකිය. මෙම අරමුණ සාක්‍ෂාත් කර ගැනීම සඳහා ඉතා ඉක්මණින් ස්වාධීන ව්‍යාපාරයක් ගොඩ නැගීමට තිබෙන අවශ්‍යතාවය සාධාරණය කරනුයේ, දේශපාලන නායකත්වයේ හා නිලධරයේ සිටින ඇතැම් දෙනා, එවැනි ව්‍යාපාරයක ජයග්‍රහණය ඔවුන්ගේ දේශපාලන පැවැත්මට හානිදායක බවට පත් වෙනු ඇතැයි යන බියෙන් එවැනි ජයග්‍රහණයක් වළක්වා ලන්නට තම බල ශක්තිය යොදන්නට දැනටමත් සූදානම් වනු ඇති හෙයිනි.

එවැනි පිරිහී යන පරිසරයක් තුළදී, වඩා පුළුල්ව කල්පනාකරන, ප්‍රජාතන්ත්‍රවාදී හා ප්‍රගතිශීලී බලවේග, පීඩකයන්ගේ ද්‍රෝහී ස්වභාවය හෙලිදරව් කරන්නට ක්‍රියාකාරී ලෙස උද්ඝෝෂනය කරමින් පීඩිතයන්ගේ මානව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකින්නට අතරමඟ සමාදානයෙන් තොරව තමන්ම කැපවීම අත්‍යාවශ්‍ය වෙයි. එසේ නොවුවහොත්, ආචාර්ය නාලක ගොඩහේවා වැන්නන්ගේ වැරදි සහගත සහ අනර්ථකාරී ප්‍රකාශ යම් ප්‍රමාණයකට පවත්නා හොඳහිතත් විනාශ කර දමනවා ඇත.

යුක්තිය, සමානාත්මතාවය හා සංහිඳියාව සඳහා වන ජාතික කතිකාවත අවදි කොට ශක්තිමත් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී.


2017 සැප්තැම්බර් 27 වනදා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් නඟා ඇති කරුණු ගැන ලියූ කොටස් දහයේ ලිපි මාලාව මෙයින් සම්පූර්ණ වෙයි. ප්‍රසිද්ධ කතිකාවතක් සහ අවබෝධයක් අවශ්‍ය කරන දැවෙන කරුණු පිළිබඳව සවිස්තරාත්මක අදහසක් ඉදිරිපත් කරන්නට මට සහාය වූ ඒ ඩී පී රත්නායක සහ මයිකල් කොලින් කුක් සොහොයුරන්ගෙන් සහ දෙමළ මිතුරෙකුගෙන් ලැබුන දායකත්වය මම අගය කරමි. ඔවුන් සියලු දෙනාටම මාගේ අවංක කෘතඥතාවය මෙයින් පළ කර සිටිමි. ඇතැම් පාඨකයන් විසින් කර තිබෙන විවේචනාත්මක, එහෙත් හිතකර අදහස් ද මම අගය කරමි

[1] ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත වඩා මානව හිමිකම්වලට අනුකූල විය යුතුය – මහාචාර්ය නිහාල් ජයවික්‍රම, බලන්න: http://www.sundayobserver.lk/2017/05/07/news/counter-terrorism-act-needs-be-more-hr-compliant-prof-nihal-jayawickrama, සහ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය පිටුදැකීමේ පනතේ කෙටුම්පත: අඛණ්ඩ රාජ්‍ය මර්දනය, බියවැද්දීම් හා වධහිංසා සඳහා බලපත්‍රයක්, බලන්න: http://www.itjpsl.com/assets/press/Joint-CS-Statement-on-CTA-04-05-17.pdf

[2] දිනවමු ශ්‍රී ලංකා ජනාධිපතිවරණය 2005 මහින්ද චින්තන: අලුත් ශ්‍රී ලංකාවක්, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය කොළඹ 2005

[3] සුබ අනාගතයක්! ජනාධිපතිවරණය 2010 මහින්ද චින්තන ඉදිරි දැක්ම, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය කොළඹ 2010, බලන්න: https://brightfuturesl.wordpress.com/

[4] මහින්ද චින්තන ලොව දිනන මග, සුරක්‍ෂිත රටක් සුබ අනාගතයක්, බලන්න: http://mr2015election.blogspot.com.au/p/blog-page_2.html

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.