20 April, 2024

Blog

මානව හිමිකම් කවුන්සිලයේ දී ආචාර්ය නාලක ගොඩහේවා කරන ලද කතාවට පිළිතුරු – කොටස IX   

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

[මෙම ලිපි මාලාවේ අටවන කොටස දෙසැම්බර් මස 7 වන බ්‍රහස්පතින්දා පළ කොට ඇත.]

  1. වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම කරන ලද්දේ තමන්ගේම ජනතාව මර්දනය කර සූරාකෑමේ “සිය ඉපැරණි පුරුද්ද” වෙත ආපසු යන්නට යි; ත්‍රස්තවාදය ඉස්මතු වීම මෙම බොරු ප්‍රචාරක කටයුතු වල ප්‍රතිඵලයක් විය; ඔව්හු දිගටම වෛරය පතුරවමින්, බෙදුම්වාදය දේශනා කරමින් සහ ව්‍යාජ තොරතුරු සපයමින් ජාත්‍යන්තර ප්‍රජාව නොමඟ යවන්නේ යයි ආචාර්ය ගොඩහේවා පවසයි.

යටත්විජිත යුගයේදී සියලුම දේශපාලන පක්‍ෂ සිංහල හා දමිල භාෂාවන්ට ආණ්ඩුකරණයේ සියලු ක්‍ෂේත්‍රයන් තුල සමාන තත්වය හිමි විය යුතුය යන ප්‍රතිපත්තිමය ස්ථාවරය පිළි ගත්හ. මෙම ස්ථාවරය වරක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ව්‍යවස්ථාවට පවා ඇතුළත් කොට තිබුනි. 1926 පටන් දිවංගත බණ්ඩාරනායක මහතා විවිධ ජන කොටස්වල අභිලාෂයන්ට ඉඩකඩ සපයා දීම සඳහා ෆෙඩරල් ව්‍යුහයන් ගැන දැඩි සේ විශ්වාස කල අයෙක් විය. කෙසේ වෙතත්, වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීම, දුෂ්ඨ දේශපාලන අභිප්‍රායයන් වෙනුවෙන් දමිල විරෝධී විඤ්ඤාණයක් ජනිත කරවීම සඳහා වාසිදායක ලෙස යොදාගන්නා ලද, බහුතරවාදයට එරෙහිව නැගී ආ ජාතිකවාදයේ දේශපාලන හා ආවේගකාරී ප්‍රකාශනවල පසුකාලීන කූටප්‍රාප්තවීමක් වූයේය. සිංහල නායකයන්ගේ යටත්විජිත විරෝධී ජාතිකවාදී ප්‍රකාශණයන් වැඩි වැඩියෙන් තෙපලන ලද්දේ අ-සිංහල විරෝධී විකෘතියක් සහිතවය.

1952 දී ඥාති සංග්‍රහවාදය බණ්ඩාරනායක මහතා එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවතට තල්ලු කොට දමා ඒ වෙනුවට දිවංගත ඩඩ්ලි සේනානායක මහතා පත් කරන ලදි. බණ්ඩාරනායක මහතා ඔහුගේ ආගමික පක්‍ෂපාතිත්වය ක්‍රිස්තියානියෙන් බුද්ධාගමට මාරු කොට, ව්‍යක්ත සිංහල කථිකයෙකු බවටද පත්විය. සිය දේශපාලන තත්වය තහවුරු කර ගන්නට යොදාගත හැකි සියළුම අවස්ථාවන් ප්‍රයෝජනයට ගත් ඔහු, යටත්විජිතවාදය යටතේ දැඩි ලෙස උල්ලංඝනය කොට තිබුනු සිංහල බෞද්ධ ජාතික ධනේශ්වර පන්තියේ අයිතීන් පිලිගැනීම වෙනුවෙන් පෙනී සිටිමින්, ඔවුන්ගේ පන්ති අවශ්‍යතාවයන්ට පක්ෂව කටයුතු කිරීම ආරම්භ කළේය. මේ සමග, ධනේශ්වර විරෝධී දේශපාලන හැඟීම් ක්‍රමයෙන් ද්විතයික බවට පත් කරමින් සිංහල-පක්‍ෂපාතී ජාතිකවාදී හැඟීම් කේන්ඳ්‍රස්ථානයට පත් විය. වමේ බොහෝ සාමාජිකයෝ සහ හිතවත්තු ද සිය දේශපාලන පක්‍ෂපාතිත්වයන් වෙනස් කොට, අලුතින් පිහිටුවා ගන්නා ලද ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක් වූහ.

මා වෙනත් තන්හි දක්වා ඇති පරිදි, 70 ගණන්වල මුල් භාගය වන තෙක්, දමිලයෝ ජනප්‍රජාවක් ලෙස වෙන්වීමට විරුද්ධ වූවා පමණක් නොව, ඒ වෙනුවෙන් පෙනී සිටි දේශපාලනඥයන් ද ප්‍රතික්‍ෂේප කළහ. නියම උදාහරණයක් වන්නේ, 1960 මාර්තු මහ මැතිවරණයේදී වවුනියාවේ මැතිවරණ කොට්ඨාසයට තරඟ කළ, ලංකා විශ්ව විද්යාලයේ ගණිතය අංශයේ කීර්තිමත් මහාචාර්ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිවංගත සී. සුන්දරලිංගම් මහතා[1] ය. ඔහුගේ සමස්ත මැතිවරණ ව්‍යාපාරයම පදනම් වී තිබුනේ දමිලයන් සඳහා වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ සටන් පාඨය මතය. මන්ත්‍රීවරයෙකු වශයෙන් දමිල ජනයාගේ සාධාරණ අයිතිවාසිකම් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ප්‍රබල හඬක් නැඟූවද, වව්නියාවේ දමිලයෝ ඔහුගේ බෙදුම්වාදී ස්ථාවරය නිසා මැතිවරණයේදී ඔහුගේ ඇප මුදලද ඔහුට අහිමි කළේය.

නිදහස ලැබීමෙන් ඉක්බිතිව, අනුප්‍රාප්තික ශ්‍රී ලාංකීය පාලන තන්ත්‍ර විසින් නීත්‍යානුකූල දමිල ඉල්ලීම් මුරණ්ඩු ලෙස ප්‍රතික්‍ෂේප කරනු ලැබීම, ඔවුන්ගේ අරගලයේ ඊළඟ අවධිය වෙත, එනම් උතුරු හා නැගෙනහිර ජනතාව සඳහා ෆෙඩරල් රාජ්‍යයක් පිහිටුවන්නට කරන ඉල්ලීමක් වෙත මඟ පෙනවීය. “ඉලංකෙයි තමිල් අරසු කච්චි” (දෙමළ රාජ්‍ය පක්‍ෂය) යන දමිල නම වෙනම දමිල රාජ්‍යයක් පිළිබිඹු කරන්නේ යයි සළකන ලද හෙයින් සිංහල ජාතිකවාදීහු මෙය වෙනම රාජ්‍යයක් සඳහා කරන ලද ඉල්ලීමක් යනුවෙන් පසුව, වැරදි ලෙස අර්ථකථනය කළහ. කෙසේ වෙතත්, කරුණු පරික්ෂාකිරීමේදී පෙන්නුම් කරන්නේ මෙම ඉල්ලීම, පළාත් සභා ක්‍රමය යටතේ වර්තමානයේ පිරිනමා තිබෙනවාටත් වඩා අඩු බලය බෙදා හැරීමේ මට්ටමක් සහිත ස්වතන්ත්‍ර දේශපාලන ව්‍යුහයක් සඳහා වූ බවයි.

ඉලංකෙයි තමිල් අරසු කච්චි 1972 දී දමිල එක්සත් පෙරමුණ පිහිටුවීම සඳහා සමස්ත ලංකා දමිල කොංග්‍රසය හා ලංකා කම්කරු කොංග්‍රසය සමග ඒකාබද්ධ විය. දමිල එක්සත් පෙරමුණ 1976 දී එහි නම දමිල එක්සත් විමුක්ති පෙරමුණ (TULF) යනුවෙන් වෙනස් කලේය. දමිල මතය අනුව ගත් විට, සාකච්ඡා මඟින් එක්සත් රටක් තුළ ඔවුන්ගේ ගැටළු විසඳා ගන්නට ගත් සියළුම උත්සාහයන් අසාර්ථක වී තිබිණි. බලයේ සිටියෝ හැම විටම සාමකාමී දමිල උද්ඝෝෂණ සහ විරෝධතා ප්‍රචණ්ඩත්වය යොදා මර්දනය කළහ. දමිල එක්සත් විමුක්ති පෙරමුණ සිය සම්මේලනයේදී “තමිල් ඉලෛන්ඥර් පේරවෙයි” නමැත එහි තරුණ අංශයේ දැඩි බල කිරීම මත 1976 මැයි 14 වන දා වඩුක්කොඩ්ඩෙයි යෝජනාව සම්මත කළේය. එය, දමිල ජනයාගේ ප්‍රශ්න විසඳිය හැක්කේ දමිල ඊලම් යනුවෙන් හඳුන්වන වෙනම ස්වාධීන රාජ්‍යයක් ස්ථාපිත කිරීමෙන් බව ප්‍රකාශ කළේය. මෙම යෝජනාව සම්මත කර ගත්තද, දමිල එක්සත් විමුක්ති පෙරමුණට එය පිහිටුවා ලීම සඳහා කිසිදු ස්ථිර ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් නොතිබූ අතර 1970 ගනන්වල අවසානයේදී තරුණ අංශය තමන්ගේම වූ ස්වාධීන ව්‍යාපාරයක් ගොඩ නැගීම සඳහා කැඩී වෙන්ව ගියේය.

1977 ජුලි මහ මැතිවරණයේදී දමිල එක්සත් විමුක්ති පෙරමුණ ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු 1970 ගණන්වල අග භාගය, සන්නද්ධ අරගලය තුළින් දෙමළ සටන්කාමී තරුණයින් දමිල ඊළාම් සඳහා වන ඉල්ලීම ක්‍රමයෙන් ඉදිරියට ගෙන යනු දුටුවේය. දමිල ඊළාම් විමුක්ති කොටි සංවිධානය (LTTE – එල්ටීටීඊය) වෙනම රාජ්‍යයක් පිහිටුවීම ඉලක්ක කරගත් අනෙකුත් සියලු ව්‍යාපාර පාහේ ඒකාධිපතිවාදී ලෙස යටපත් කොට ප්‍රමුඛස්ථානයට පත්විය. ඇතැම් සටන්කාමී ව්‍යාපාර ඔවුන් විසින්ම අතරමඟ සමාදානයට එළඹුනහ, නොඑසේනම් එල්ටීටීඊයේ විරුද්ධවාදීන් සමග අතරමඟ සමාදානයට එළඹෙන්නට තල්ලූ කර දමනු ලැබින. එල්ටීටීඊ සංවිධානයේ ඒකාධිපතිවාදී විධික්‍රම හා සමඟ එකඟ නොවූ බොහෝ දෙනා කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ආරක්‍ෂක හමුදාවන්වල උපාංග බවට පත්ව, ඔවුන් සමඟ එකට සටන් කිරමින් ඔවුන්ගේ ඒකක හෝ විපිලසර කන්ඩායම් ලෙස කෙළවර වූහ. මේ අනුව, ඕනෑම දේශපාලන හෝ “සන්නද්ධ සාකච්ඡා”වක් කළ යුතුව තිබුනු එකම පක්‍ෂය ලෙස එල්ටීටීඊය සලකනු ලැබීමට පත්විය.

ගැටුම් ඉතිහාසය තුළ දමිල නායකත්වයට දකුණේ ප්‍රගතිශීලී බලවේග සමග තිබුනේ අවම දේශපාලන සබඳතාවයන් ය. දකුණේ ජනතා විමුක්ති පෙරමුණ වැනි බලවේගයන්ට, දමිල ජාතිකවාදීන් හෝ උතුරු නැඟෙනහිර ප්‍රගතිශීලී බලවේග සමග තිබුනේද අවම සබඳතාවයන් ය. මෙසේ වූයේ පහත දක්වන අන්දමට: භීෂණය අවියක් ලෙස යොදා ගෙන ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිවලින් ඈත් වෙමින් දමිල සටන්කාමිත්වය වැඩි වැඩියෙන් අතිශයින්ම ප්‍රචණ්ඩකාරී බවට පත් වීම; දමිල ප්‍රගතිශීලී සටන්කාමී ව්‍යාපාර ඒකාධිපති ලෙස ක්‍රමානුකූලව ඉවත් කිරීම; එල්ටීටීඊය දමිල ජනතාවගේ ‘එකම’ නියෝජිතයා ලෙස පිළිගැනීම; සිංහල අන්ත ජාතිවාදීන් විසින් මෙහෙයවනු ලැබ දකුණේ දමිලයන් වෙත එල්ල කරන ලද ප්‍රචණ්ඩ ප්‍රහාර; දකුණේ ප්‍රගතිශීලී වාමාංශික බලවේගයන්ට ජනතාව අතර තිබූ බලපෑම දුර්වලවීම; 1968 සිට ජාතිකවාදී නායකත්වයන් සමග සන්ධානගත වුනු ඇතැම් වාම බලවේග විසින් දමිල ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පාවා දෙනු ලැබීම; වාමාංශික බලවේග සිංහලයන්ගෙන් කොන්වේයයි පැවති බිය සහ දමිල සටන්කාමීන් සමඟ කටයුතු කළහොත් මර්දනයට ලක්වේය යනුවෙන් පැවති බිය; වැනි හේතු සාධක බොහොමයක් නිසා විය හැකිය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA)[2] 1979 දී තාවකාලික නීතියක් ලෙස මුලින්ම සම්මත කර ගන්නා ලද අතර පසුව 1982 දී නිත්‍ය බවට පත් කරනු ලැබීය. එය, නිශ්චිතව නොදැක්වූ නීත්‍යානුකූල නොවන කටයුතු ගැන සෝදිසි කරන්නට හා අත් අඩංගුවට ගන්නටත් උසාවියකට ඉදිරිපත් කරනු ලැබීමෙන් තොරව හා වරෙන්තුවකින් තොරව මාස 18 ක් දක්වා පුද්ගලයන් රඳවා තබා ගන්නටත් පොලීසියට පුළුල් බලතල ලබා දුන්නේය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන, කඳවුරුවල සාමාන්‍යයෙන් පිහිටුවා ඇති වධක මැදිරිවලට රැඳවියන් ඉවත් කර ගෙන යන්නට ඉඩකඩ සලසා දී ඇත. පුද්ගලයන්, විශේෂයෙන්ම දමිලයන් වධ හිංසාවට ලක් කිරීම්, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සහ නීතියෙන් පරිබාහිර ලෙස ඝාතනය කිරීම් ඇතුළුව වසර ගණනාවක් තිස්සේ සිදු කර ඇති අපමණ අපයෝජන වාර්තා කොට ඇත. එය, දමිල ජනයා පීඩාවට පත් කිරීම සඳහා උතුරු හා නැඟෙනහිර පළාත්වල අඛණ්ඩව යොදා ගනු ලබමින් පවතී.

සටන්කාමීන්ගේ කුඩා කණ්ඩායමක්ව සිට එල්ටීටීඊය, කළු ජූලිය ලෙස ප්‍රසිද්ධියට පත්වුන, ආණ්ඩුව ආරම්භ කළ 1983 ජූලි කැරලි කෝලාහලවලට පසුව ප්‍රමුඛස්ථානයට පත් විය. දිවයිනේ මායිම්වලට සීමාව තිබුනු ගැටළුවක් දමිල ජනයාගේ නික්මයාම හේතුවෙන් ජාත්‍යන්තරකරණයට ලක් විය. දමිල සහ සිංහල ඩයස්පෝරාව යන දෙපාර්ශ්වයම, ඔවුන්ගේ නායකත්වයන් විසින් දෙන ලද උපදෙස් අනුව යමින් මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරීකරණය කරන්නට අතිශයින්ම මහන්සි වී ‘කටයුතු කළේය’. ඇමරිකා එක්සත් ජනපදයට එල්ල කල, සම්බන්ධීකරණය කරන ලද අනුක්‍රමික ගුවන් යානා ප්‍රහාර හතරක් දුටු 2001 වසරේ දී, “9/11” මූල ධාර්මික ඉස්ලාමීය භීෂණය ඉස්මතු වීමත් සමඟ කරැණු කනපිට හැරවිනි. මරණ 3,000 ක් ද, 6,000 කට වඩා තුවාල ලැබූවන් ද, ඩොලර් බිලියන 10 කට වඩා දේපල හානි ද සහිත වූ එක්සත් ජනපදය ලොව පුරා සටන්කාමී විමුක්ති ව්‍යාපාරවලට එරෙහි වන්නට ආණ්ඩු බොහොමයක්ම නම්මා ගත්තේය.

අනුප්‍රාප්තික ශ්‍රී ලාංකික පාලන තන්ත්‍රයන්ගේ අසාර්ථක වූ ප්‍රතිපත්ති රාමුව, රට දිග් ගැස්සුනු සිවිල් යුද්ධයකට යොමු කළේය. දමිල නායකයෝ ද කලින් විස්තර කරන ලද යටත් විජිතවාදී ක්‍රියාදාමයෙන්ම ව්‍යුත්පන්න වූවන් වෙති. දේශීය ධනේශ්වර පන්තියේ අවශ්‍යතාවන් නියෝජනය කරන අතරම ඔව්හු දමිල ජනතාවගේ සමාජ හා සංස්කෘතික අවශ්‍යතාද නියෝජනය කළහ. 1940 ගනන්වලදී, දේශපාලන නිදහස උදෙසා උද්ඝෝෂණය කරන ගමන්ම ඔව්හු රාජ්‍ය දේශපාලන ආයතන තුල දමිලයන්ගේ සාධාරණ හා යුක්තිසහගත නියෝජනයක් සඳහා ද උද්ඝෝෂණය කළහ. දමිල ඉල්ලීම් ෆෙඩරල් රාජ්‍යයක් සඳහා හෝ වෙනම රාජ්‍යයක් සඳහා වූ ඒවා නොව ඔවුන්ගේ ජනයා සඳහා සාධාරණ නියෝජනයක් සඳහා විය. ඔවුන්ගේ ඉල්ලීම් බ්‍රිතාන්‍යයන් විසින් දිවයිනේ ජන කොටස් මත බලයෙන් පටවා තිබුනු ඒකීය රාජ්‍ය ව්‍යුහයෙන් දුරස්ථ වූයේ නැත. දේශයේ වැසියෝ, ඔවුහු සිංහලයන්, දමිලයන් හෝ මුසුල්මානුවන් වූවද කිසි දිනෙක ඒකීය රාජ්‍ය ව්‍යුහයකට ස්වේච්ඡාවෙන් එකඟ වී නොමැත. එය පරදේශික නිර්මිතයකි.

එක්සත් ජනපදය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය සහ ඉන්දියාව වැනි දිගු කාලීනව පවත්නා ෆෙඩරල් රාජ්‍යයන්ට සාපේක්‍ෂව ගත් විට, චෙල්වනායගම් මහතා විසින් අපේක්‍ෂා කරන ලද බලය බෙදා හැරීම, අන්තර්ගතයෙන් හා ස්වරූපයෙන් යන දෙආකාරයෙන්ම අතිශයින්ම මෘදු වූයේය. ඔව්හු ඉල්ලා සිටියේ “කෘෂිකර්ම, සමුපකාර, ඉඩම් සහ ඉඩම් සංවර්ධනය, ජනපදකරණය, අධ්‍යාපනය, සෞඛ්‍ය, කර්මාන්ත, ධීවර, නිවාස, සමාජ සේවා, විදුලිය, ජල යෝජනා ක්‍රම සහ මාර්ග[3] කිරීමේ බලය සහිතව එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දමිල ෆෙඩරල් රාජ්‍යයකි. මෙම ඉල්ලීමමත් කිසිදු ආකාරයකින් වෙන්වීම සඳහා කරන ඉල්ලීමක් සංස්ථාපනය නොකරයි. චෙල්වනායගම් මහතා විසින් ඉල්ලා සිටින ලද ෆෙඩරල්වාදය හෝ ෆෙඩරල් ක්‍රමය, රට නීත්‍යානුකූලව වෙන් වෙන් ස්වාධීන ඒකක බවට බෙදා වෙන් කරනු ලැබීමක් නියෝජනය කළේ නැත.

සිංහලයෝ දමිලයන් මුහුණ දී සිටින තත්වයට පත්ව සිටියෝ නම්, ඔවුන්ට හැඟී යනු ඇත්තේ කෙසේද? ඔවුන්ගේ රාජ්‍යය විසින් ප්‍රතික්‍ෂේප කරන ලදුව, ඔවුන්ගේ පැවැත්මම අවදානමට ලක්ව තිබෙන බව, ඔවුන්ගේ අනන්‍යතාව රටේ පාලන සංස්කෘතිය තුළ ප්‍රකාශයට පත් වී නොමැති බව, ආදී වශයෙන් ඔවුන්ට දැනෙනු ඇත. පවත්නා ව්‍යවස්ථාමය රාමුව හරහා ඔවුන්ගේ ජාතික අභිලාෂයන් සාක්‍ෂාත් කර ගත නොහැකි නම් ඔවුන් සලකා බලන ඊළඟ පියවර වනු ඇත්තේ වෙන්වීම යි. එයයි, හරියටම මේ රටේ දමිල ජනයාට සිදුවී ඇත්තේ.

එහෙයින්, ශ්‍රී ලංකාවේ භීෂණය පැන නැගීම දෙමළ දේශපාලනික ප්‍රභූ පෙලැන්තියේ අසත්‍ය ප්‍රචාරයන් වෙත ආරෝපනය කිරීම කරුණු අති සරල කර දැක්වීමක් නොවන්නේ නම්, එය සම්පූර්ණයෙන් වැරදි නියෝජනයක් වේ. ඇත්ත වශයෙන්ම, ගැටුම අතරතුරේදී, ආචාර්ය ගොඩහේවා මහතාගේ දේශපාලන නායකයා ‘13+’ යන ව්‍යාජ සහගත පොරොන්දුව දීමම පවා, ශ්‍රී ලංකාවේ දමිලයන්ට දේශපාලණිකව ආමන්ත්‍රණය කළ යුතු වූ (එම ආමන්ත්‍රණයේ අවසාන ස්වරූපය කවරක් වූවත්), අව්‍යාජ ගැටලු තිබෙන්නේය යන කරුණ පිළිගැනීමකි. වැරදි තොරතුරු සැපයීමෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඇත්තටම, නොමඟ යැවූයේ ඒ ‘13+’ පොරොන්දුවයි.

*මතු සම්බන්ධයි …..

[1] 1918 දී ඔහු ආනන්ද විද්‍යාලයේ ගුරු මණ්ඩල සාමාජිකයෙක් ලෙස ද සිට ඇත, බලන්න http://archives.dailynews.lk/2002/11/16/fea05.html

[2] විශේෂයෙන්ම පනතේ 2, 6, 9 හා 10 වගන්ති මෙහි බලන්න: http://www.commonlii.org/lk/legis/num_act/potpa48o1979608/

[3] 1971 ජූලි 26 බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම බලන්න: https://peacemaker.un.org/sites/peacemaker.un.org/files/LK_570726_Bandranayaki%20Chelvanayakam%20Pact.pdf, සහ 1965 මාර්තු 24 ඩඩ්ලි සේනානායක – චෙල්වනායගම් ගිවිසුම බලන්න: https://peacemaker.un.org/sites/peacemaker.un.org/files/LK_650324_Dudley%20Senanayake%20-%20Chelvanayakam%20Pact.pdf

Print Friendly, PDF & Email

Latest comment

  • 1
    0

    Dear com. LB
    I appreciate your informed responses to Dr.Nalaka Godahewa’s speech at human Rights Council.It is my understanding that ultra nationalists not only do not know much about the history of ethnic disharmony but also refuse to accept the glaring facts connected with the issue. However there is a significant segment of nationalists who have been drawn to wrong side because of their less exposure to correct historical facts. We have to think of ways and means of addressing the latter.
    Sira

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.