26 September, 2020

Blog

සිම්බාබ්වේ: විමුක්තියෙන් ආඥාදායකත්වය වෙත

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

අවිනිශ්චිතතාවය

රොබට් මුගාබේ ඉල්ලා අස් වූයේය. බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනු ඇත්තේ දැන් මොකක්ද? යන්නයි. සිම්බාබ්වේහි පාලක සානු-පීඑෆ් (ZANU – PF) පක්‍ෂය මුගාබේ සහ ඔහුගේ බිරිඳ ගුචි ග්‍රේස් යන දෙදෙනාම පක්‍ෂයෙන් ඉවත් කලේය. පෙනෙන ආකාරයට ඇය, නිදහස ලැබූ දා පටන් බලයට ඉතා සමීපව සිටින යුද ප්‍රවීනයන් බෙල හීන කරන්නට උත්සාහ කොට තිබේ. සානු පීඑෆ් පක්‍ෂය මුගාබේට විමුක්තිදායකයෙකුගේ සිට ඒකාධිපතියෙකු දක්වා ස්වයං-පරිණාම වෙන්නට ඉඩ හැරියේය. එම සානු-පීඑෆ් පක්‍ෂයම දිගටම බලයේ සිටිනු ඇත; එහෙත්, සිම්බාබ්වේ විමුක්තියෙන් ආඥාදායකත්වය වෙත ගමන් කරවීම පිළිබඳ වගකීම සහ වගවීම ගැන සිදු වන්නේ කුමක් ද? මුගාබේගේ අභිලාශයන් අනුව පක්‍ෂය බොහෝ වාරයක් එහි උපසභාපතිවරුන් මාරු කොට ඇත. මුගාබේ හිටපු උප ජනාධිපති එමර්සන් මනංගග්වා වෙනුවට ‘ගුචි ග්‍රේස්’ ව ආදේශ කරන්නට අදහස් කරන තුරු, මනංගග්වා මුගාබේගේ යාවජීව ආධාරකරුවෙකු වූ අතර ඔහුගේ බලය යොදවන්නා ලෙස අනුකමිපා විරහිත හසුරුවන්නෙකුද විය. සිම්බාබ්වේහි අඳුරේ නිමග්න ජනයාට වැඩි දේශපාලන නිදහසක් හෝ ආර්ථික සහනයක් ලබා දෙන්නට ජනාධිපති විය හැකි මනංගග්වාට හැකි වේද?

සිම්බාබ්වේ දශක ගණනාවක් තිස්සේ සමාජමය හා ආර්ථික වශයෙන් අර්බුදකාරී තත්ත්වයක පසුවී ඇත. වරක් බලගතුව සිටි යුද වීරයාට සහ නිර්දය ආඥාදායකයාට “ස්වේච්ඡාවෙන් ඉල්ලා අස් වෙන” ලෙස බල කරමින් යුද හමුදාව මැදිහත් වීමත් සමඟ තත්වය වඩා සංකීර්ණ බවට පත් වී තිබේ. මිලිටරිය අත්පත් කරගත් නව භූමිකාව ඔවුන් විසින් අතහැර දමනු ඇත්ද? බලවත් යුද ප්‍රවීනයන් සමහරෙක් හිටපු උප ජනාධිපති කෙනෙකු වූ ජොයිස් මුජුයුට අනුප්‍රාප්තිකයා ලෙස සහාය දැක්වීමත් සමඟින් මුගාබේ සහ ඔවුන් අතර තත්වය උණුසුම් අතට හැරෙන්නට පෙර, අරටුවටම දූෂිත වූ මුගාබේ පාලන තන්ත්‍රය දශක ගනනාවක් තිස්සේ ආරක්‍ෂා කළේ ද මේ යුද හමුදාවමයි. රටේ දියමන්ති පතල් වලින් ලබා ගන්නා ආර්ථික වාසි සහ ඔවුන් භුක්ති විඳින දඬුවම් නොලැබීමේ සංස්කෘතිය හේතුවෙන් යුද හමුදාව පවතින තත්වය වෙත සහාය දක්වා ඇත.

මර්දනය

ජනතාව පසුගිය ශතවර්‍ෂයේ අවසානයේ සිට දරිද්‍රතාව, උද්ධමනය, විරැකියාව සහ දූෂනය සමඟ පොර බදමින් සිටිති. මේ මොහොතේ, අඩු තරමින් මතුපිටින්වත් සිම්බාබ්වේ වැසියෝ බොහෝ දෙනෙක් සන්තෝෂයෙන් සිටින බව පෙනෙන අතර, මුගාබේ ගෙන් ග්‍රේස් වෙත බලය පවරා දෙනු ලැබීම වැලැක්වූ යුද හමුදා පාලනයට වැඩි කැමැත්තක් දක්වයි. කෙසේවෙතත්, ජනතා ප්‍රතිචාරය, 1990 දශකයේ දී මෙන්ම 2007 තරම් මෑතදී පවා ඔවුන් විසින් දක්වන ලද විරෝධතා හා පෙළපාලිවලට වඩා තියුනු වෙනසක් පෙන්නුම් කරයි. මහ ජනතාවට පෙනීගිය අන්දමට සිම්බාබ්වේ මර්ධනයේ ඉදිරියෙන් සිටියේ යුද හමුදාව නොවේ; පොලීසියයි. විමතිකයන් නිශ්ශබ්ද කරන්නට, පහර දෙන්නට හා වධබන්ධනයට පමුණුවන්නටත්  මුගාබේගේ දේශපාලන විරුද්ධවාදීන් වගවීම් රහිත අතුරුදහන් කිරීම්වලදීත් පාලන තන්ත්‍රය මුක්තිය සහිතව පොලීසිය යොදා ගත්තේය. එබැවින්, වැදගත් ප්‍රශ්නයක් විය යුත්තේ: යුද හමුදා මැදිහත්වීම, වඩා හොද, වඩා සාධාරණ සහ අඩු දූෂණයෙන් යුත් සිම්බාබ්වේවක් සදහා ද, එසේ නැතහොත් පශ්චාත්-විමුක්ති පාලන තන්ත්‍රය වැටෙන්නට නොදී මෙතරම් කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති වරප්‍රසාද ලත් ප්‍රභූ පාලැන්තියේ පවත්නා තත්වය ආරක්‍ෂා කිරීම සඳහා ද?

මුගාබේගේ ආධාරක කුලුණක් වූ සිම්බාබ්වේ ජාතික විමුක්ති යුද ප්‍රවීනයන්ගේ සංගමය, පාලන තන්ත්‍රයට විරුද්ධ වන අයට එරෙහිව ප්‍රචන්ඩත්වය මුදාහැරීමෙහි හවුල්වී සිටියේය. යුද ප්‍රවීනයන් ඔහුගේ කටයුතුවලින් බලපෑමට ලක්වූ විට පමණකි, ඔවුහු ආඥාදායක, වාසියට ක්‍රියාකරන සහ ස්වෝත්තමවාදී යනුවෙන් ඔහුව හඳුන්වන්නට පටන් ගත්තේ. ගරිල්ලා යුද්ධය නිදහස වෙනුවෙන් සටන්කළවුන් අතර සමීප බැඳීම් හැඩ ගස්වා ලීය. මුගාබේගේ ඉඩම් ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ බොහෝ දුරට යොමු කරන ලද්, ඔහුගේ පාලනය අස්ථාවර කරන්නට තර්ජනය කළ කෝපයට පත් යුද ප්‍රවීනයන් සන්සුන් කිරීමටයි. කෙසේ වෙතත්, මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය, රට ආර්ථික පරිහානියට ලක් කරමින්, තීරණාත්මක වූ කෘෂි අංශය විනාශ කර දැම්මේය. යුද ප්‍රවීණයන්ගේ හදිසි කැරැල්ල ඇති වූයේ සමාජ මාධ්‍ය හරහා සංවිධානය කරන ලද දීප ව්‍යාප්ත ආණ්ඩු විරෝධී විරෝධතාවලින් පසුව ය.

ජයග්‍රාහී විප්ලවවාදී ව්‍යාපාරයක නායකයා ලෙස මුගාබේ අති විශාල ලෙස ගෞරවාදරයට පාත්‍ර විය. මුගාබේ මුලින්ම මාක්ස්වාදය වැලඳ ගත් අතර, ඝානාවේ නිර්මාතෘ ජනාධිපති ක්වාමෙ න්ක්රෑමා ද ඇතුලු දකුණු අප්‍රිකාවේ ජාතිකවාදී නායකයින් බොහොමයක් සමග ඇසුරුකම් පැවැත්වීය. 1974 දී පිටුවහල් වන්නට පෙර, මුගාබේ 1964 පටන් රොඩේසියානු බන්ධනාගාරයක වසර 10 ක් සිරගත කරන ලදුව සිටියේය. රොඩේසියානු සුදු පාලන තන්ත්‍රය ඔහුට තම දරුවාගේ අවසන් කටයුතු වලට සහභාගි වීම පවා ප්‍රතික්‍ෂේප කළේය. කෙසේ වෙතත්, ජනාධිපති ලෙස, මුගාබේ පැරණි රොඩේසියානු රාජ්‍යයේ මර්දන යන්ත්‍රය බොහෝ සෙයින් එලෙසින්ම පවත්වාගෙන ගියේය. නව රජය විමතිකයින් ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා, දහස් ගනනක් ඝාතනය කරමින් නොකඩවා මර්දනය කරගෙන ගියේය. මුගාබේ ප්‍රචණ්ඩත්වය සහ මර්දනය යොදා ගෙන දේශපාලන විරුද්ධවාදීන් පොඩි පට්ටම් කරමින්, නීතියේ ආධිපත්‍යය උල්ලංඝනය කරමින්, ස්වාධීන පුවත්පත් යටපත් කරමින් සහ මැතිවරණ ප්‍රෝඩා කරමින් තම පාලනය වැටෙන්නට නොදී පවත්වා ගත්තේය.

ZANU සහ ZAPU

සුළුතරයක් වුවද, සිම්බාබ්වේ කම්කරු පන්තිය නිදහස සඳහා කරන සටනේදී වැදගත් වූ අතර, සමාජවාදය උදෙසා කරන අරගලයක හැකියාවද ඉදිරිපත් කලේය. 1959 දී යටත් විජිතවාදී රොඩේශියානු බලධාරීන් එවකට පැවති අප්‍රිකානු ජාතික කොංග්‍රසය (ANC) තහනම් කල විට, න්කොමෝ සහ ඔහුගේ ආධාරකරුවෝ සාපු (සිම්බාබ්වේ අප්‍රිකානු මහජන සංගමය – ZAPU) පිහිටුවීමෙන් ඊට ප්‍රතිචාර දැක්වූහ. ZAPU වෙත ප්‍රබල වෘත්තීය සමිති සහයෝගයක් තිබුනි. ජොෂුවා න්කොමෝ ද දුම්රිය වෘත්තීය සමිති නායකයෙක් විය. කෙසේ වෙතත්, රොබට් මුගාබේ ඇතුලු රැඩිකල් ජාතිකවාදීහු, සානු (සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමය – ZANU) පිහිටුවන්නට න්කොමෝ ගෙන් කැඩී වෙන් විය. ZAPU මොස්කව් හි බලපෑමට ලක් වූ අතර, අවම වශයෙන් මුගාබේ වැනි ඇතැම් ZANU නායකයෝ ඒ කාලයේ පැතිර පැවති ස්ටැලින්වාදී හා මාවෝවාදී සිතුවිලිවල බලපෑමට බෙහෙවින් ලක් වූහ. කෙසේ වෙතත්, පන්ති අරගලයේදී සහ සමාජවාදය සඳහා සටන් කිරීමේදී නාගරික හා ග්‍රාමීය කම්කරුවන් බලමුලූ ගන්වනවා වෙනුවට, මුගාබේ සහ න්කොමෝ යන දෙදෙනාම ශක්තිමත් ගරිල්ලා හමුදා ගොඩ නැඟූහ. 1965 දී යටත් විජිත සුලුතරය, බලාපොරොත්තු සුන්ව, නිර්දය ඉයන් ස්මිත් සහ සුදු ආධිපත්‍යවාදී රොඩේසියානු පෙරමුණ විසින් මෙහෙයවනු ලැබ, සුදු පාලිත රාජ්‍යයක් පිහිටුවන්නට බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීම ඒකපාර්ශ්විකව ප්‍රකාශයට පත් කලේය.

1974 දී බන්ධනාගාරයෙන් නිදහස් වූ පසු මුගාබේ ZANU හා එහි සන්නද්ධ හමුදාවන් පාලනය කලේය. කෙසේ වෙතත්, ඔහුගේ මුලින්ම හානියට පත්වූවන්ගෙන් එක් අයෙක් වූයේ, නිදහස් සටනේ හවුල්කරුවා වූ ZAPU නායක ජොෂුවා න්කොමෝ යි. න්කොමෝ රජයෙන් සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉවත් කරන ලදි. මුගාබේ තම වාර්ගික ෂෝනා බහුතරය මත සිය සහයෝගය පදනම් කරගත් අතර, ගුකුරහුන්දි ලෙස හැඳින්වෙන යුද ක්‍රියාමාර්ගයකදී සැකකකරන ලද විරුද්ධකරුවන් 20,000ක් පමන මරාදමමින් න්කොමෝගේ න්දෙබෙලෙ නම් බහුතරය නොවන ජන කොටස මත හමුදා කණ්ඩායම් මුදා හැරියේය. සමාජවාදයේ වාග්මාලාවන් තිබුනද, ඇත්ත වශයෙන්ම, එය ගෝත්‍රික අධිපතිත්වයන්ගෙන් කෙලෙසුනු ජාතිකවාදී අරගලයක් විය. න්කොමෝට එරෙහිව එල්ල කරන ලද අනුකම්පා විරහිත මර්දනය විසින්, සිම්බාබ්වේ මුගාබේ සහ ZANU-PF විසින් පාලනය කරන ලද ඒක පාක්‍ෂික රාජ්‍යයක් ලෙස තහවුරු කරනු ලැබීය. ජාතික විමුක්ති ව්‍යාපාරයේ ප්‍රතිඥාව, මුගාබේ ආඥාදාකත්වයක් විසින් වැඩි වැඩියෙන් ප්‍රතිස්ථාපනය කරනු ලැබින.

මර්දනයේ හා කප්පාදු කිරීමේ පිලිවෙත්ම එපරිද්දෙන්  දිගටම පවත්වා ගෙන ගිය ද, ඔහු අධිරාජ්‍ය විරෝධී හා ධනේශ්වර විරෝධී සහෝදරයෙකු මෙන් පෙනී සිටියේය. මෙයින් ග්‍රාමීය ජනතාව අතර ඔහුට තිබුන සහායට තල්ලුවක් ලැබුනේය. ප්‍රජාතන්ත්‍රවාදී වෙනස් කිරීම් සඳහා වූ ව්‍යාපාරය (MDC) විසින් මතු කරන ලද මැතිවරණ අභියෝගය හමුවේ මුගාබේ නැවතත් ඉඩම් ප්‍රතිසංස්කරණයේ වීරයෙකු බවට පත් වෙමින් අධිරාජ්‍ය විරෝධය කරා යලි ගමන් ගත්තේය. කෙසේ වෙතත්, රාජසන්තක කරන ලද ගොවිපල ඔහුගේ ගජ මිතුරන් වෙත බෙදාදෙන ලදී. 2002 දී මුගාබේ, හිටපු පතල් කම්කරුවෙකු වූ MDC විපක්‍ෂ නායකයා මෝර්ගන් ට්ස්වන්ගිරායි පරාජය කලේ ය. ප්‍රචණ්ඩත්වය, බිය ගැන්වීම හා ඡන්ද කොල්ල කෑම මගින් මැතිවරණය දූෂ්‍යකරන ලදී. එතැන් සිට මුගාබේ ආර්ථික පරිහානිය සමග මර්දනය බද්ධ කරමින් බලය අල්ලා ගෙන සිටියේය.

ආර්ථිකයේ දරිද්‍රතාවය

සිම්බාබ්වේ අප්‍රිකාවේ පොහොසත්ම ආර්ථිකයන්ගෙන් එකක් විය; 1930 වන විට (නූතන සිම්බාබ්වේ භූමිභාගය හා සමාන) රොඩේසියාව, අප්‍රිකාවේ වඩාත්ම කාර්මික වශයෙන් සංවර්ධනය වූ යටත් විජිතවලින් එකක් විය. ඒ හා සමඟ සටන්කාමී නාගරික කම්කරු පන්තියක් ද වර්ධනය විය. 1948 දී විශාල වර්ජන රැල්ලක් සැල්ස්බරි (දැන් හරාරේ) හා බුලවායෝ යන ප්‍රධාන නගරවල පැන නැගි අතර, එය ජාතික විමුක්ති ව්‍යාපාරයක් සාදන්නට මඟ පෑදුවේය. මුගාබේ යටත් විජිත පාලනයට එරෙහිව කරන ලද විමුක්ති අරගලයේ නායකයා විය. සම්පත් යලි බෙදාහැරීමත්, වසර තුනක් තුල සුදු ජාතිකයන් පදිංචිව සිටි ඉඩම්වල දහස් සංඛ්‍යාත අප්‍රිකානුවන් පදිංචි කිරීමත් මගින් ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණත්වය ලබාදෙන බවට පොරොන්දු වෙමින්, ඔහු 1980 දී බලයට පැමිණියේය. විදේශ ප්‍රාග්ධනය කාර්මික නිෂ්පාදනයෙන් සියයට 80 කට වැඩි ප්‍රමාණයක් පාලනය කිරීමත්, වැඩි වශයෙන් සුදු ජාතිකයන් වූ ගොවීන් 4000 ක් රටේ ඉතාමත්ම සාරවත් භූමියෙන් සියයට 70 ක් පාලනය කිරීමත් සමඟින් සිම්බාබ්වේහි සමාජ අසමානතාවය දෑවැන්ත බවට පත් වූයේය. බොහෝ සිම්බාබ්වේ වැසියෝ ඔහු රටේ පියා ලෙස සැලකූහ.

ඔහු නිදහසෙන් පසු ගතවූ දශක දෙකක කාලය තුළ ජනයාගේ සාක්‍ෂරතා මට්ටම් සහ සෞඛ්‍ය සේවා ඉහල නැංවීම අතින් බොහෝ දේ කළේය. 1979 සිට 1990 දක්වා කාලය තුළ අධ්‍යාපනය වෙනුවෙන් කරන ලද වියදම් දෙගුණයක් වූ අතර, 1980 සිට 1985 දක්වා කාලය තුළ ළදරු මරණ අනුපාතය භාගයක් අඩු විය. වාර්ගික සංහිඳියාව සහ කළු බහුතර ජනතාව සඳහා වැඩිදියුණු කරන ලද අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා පුළුල්කිරීම පිළිබඳ ප්‍රකාශිත ප්‍රතිපත්තිය බෙහෙවින් ජනප්‍රිය විය. එහෙත් අසූ ගණන්වල මැද භාගයේ දී ආර්ථිකය එකතැන පල්වෙමින් ප්‍රතිසංස්කරණ ඇන හිටීමත් සමඟ, මෙය ඉක්මණින් මැලවී ගියේය. යටත්විජිතවාදයට එරෙහිව කරන ලද දිගු අරගලයෙන් පසු ලැබුන නිදහසේ මුල් කාල පරිච්ඡේදය තුල සිම්බාබ්වේ වැසියන් සතුව පැවති ශුභවාදය කෙසේවුවවත් රට දැන් දිළිදුම රටවල් අතරින් එකකි.

අනෙකුත් දුප්පත් ජාතීන් මෙන් සිම්බාබ්වේ ද පිළිසරණය පතා ලෝක බැංකුව සහ ජාත්යන්තර මූල්ය අරමුදල වැනි අපරදිග මූල්ය ආයතන වෙත හැරුනේය. සෞඛ්යය හා අධ්යාපනය සඳහා කරන වියදම් කප්පාදු කිරීමට ආණ්ඩුවට බල කරමින් විදේශීය ණය බර විෂාල වශයෙන් ඉහළ නැංගේය. 1991 දී මුගාබේ සහ ඔහුගේ ගජ මිතුරන් සිම්බාබ්වේහි ව්යසනකාරී වූ පළමු ව්යුහාත්මක ගැලැප්පීමේ වැඩසටහනට නායකත්වය දුන්නේය. එය, ක්රියාත්මක කිරීමේ පළමු වසර තුළ ජාතික නිෂ්පාදනය සියයට 11 ක පහත වැටීමක් ඇති කළේය. 1993 දී විරැකියාව මිලියන 10 ක් පමණ වූ මුළු ජනගහනයෙන් මිලියන 1.3 ක් වෙත පැතිරී ගියේය.

1990 ගණන්වලදී, සුදු ඉඩම් හිමියන්ගෙන් කළු ජාතිකයන්ට කෘෂි ඉඩම් අයිතිය පැවරීමෙන් පසු නිෂ්පාදනය නඩත්තු කරන්නට ගත් ආරක්‍ෂක පියවරවල ඌණතාවය හේතුවෙන් ආහාර නිෂ්පාදනය සියයට 50 ක වාගේ කඩා වැටීමකටද, සියයට 90 කට වැඩි විරැකියා අනුපාතයකටද මං පෑදීය. ගෝලීය ප්‍රමිතීන් අනුව ආයු අපේක්‍ෂාව ඉතා අඩු ය. සෞඛ්‍ය සේවාව බරපතළ ලෙස පිරිහී ගොස් ඇත. කෘෂිකාර්මික අපනයනය හැකිළී ඇත. සිම්බාබ්වේහි මුදල් මුලුමනින්ම පාහේ වටිනාකමක් නැති තරම්ය. ආර්ථික බිඳවැටීම හේතුවෙන් කම්කරුවන්ට විරෝධය දැක්වීම ඉතා දුෂ්කර බවට පත් කර තිබේ. වැඩ වැරුවහොත් ඔවුහු දැඩි මර්දනයට මුහුණ දෙති. බොහෝ සිම්බාබ්වේ වැසියන්ට ආහාරයට ප්‍රමාණවත් තරම් නොතිබුනද, මුගාබේ සිය 92 වැනි උපන් දින සාදය සඳහා ඩොලර් දශ ලක්‍ෂයක් වැය කලේය.

යටත්විජිතවාදී උරුමය

විසිවන සියවසේ අග භාගයේදී යටත්විජිත විරෝධී අරගලවලින් බිහි වුනු අනෙක් රටවල් මෙන්ම, සිම්බාබ්වේ ද, සෝවියට් සංගමය පුරෝගාමීත්වය දුන් “රාජ්‍ය ධනවාදී” සංවර්ධන මාදිලිය වෙත යොමු වූයේය. එහෙත් නියාමන රහිත නව ලිබරල් ලෝකය, මෙම රටවල ආර්ථිකයන්හි සැලකිය යුතු නොටස් ධනවාදී ව පවතිද්දී, අනවශ්‍ය ලෙස බලාත්මක කල අසාධාරණ තරඟයක් සහිත ආර්ථික හා දේශපාලන පීඩනයන්ට එම රටවල් නිරාවරණය කලේය. තීරණ ගැනීම, සම්පත් වෙන් කිරීම හා ප්‍රතිලාභ බෙදා ගැනීමෙහිලා සේවකයින්ගේ සහභාගීත්වය හිඟවීමෙන්, සැම ක්ෂේත්‍රයකම නිෂ්පාදන හා සේවාවන් නිලධාරිවාදී හා අධිපතිවාදී වූහ. ලෝක ධනේශ්වර වෙළඳපොලේ තරඟ කිරීමට අවශ්‍ය මිනිස් හා / හෝ භෞතික යන දෙඅංශයේම ප්‍රමාණවත් තරම් නවෝත්පාදක සම්පත් නොමැතිව, රාජ්‍ය ධනවාදී සංවර්ධන මාදිලිය මත විශ්වාසය තැබූ බොහෝ රටවල් ගැඹුරු ආර්ථික හා සමාජ අර්බුදයක ගිලී ගියේය.

සෑම යටත් විජිතයකම, යටත්විජිත අතීතය, මාක්ස් පෙන්නුම් කල පරිදි, රුදුරු සිහිනයක් බවට පත් වී තිබේ. 1880 ගණන්වල සිට, ශත වර්‍ෂයකට ආසන්න කාලයක් බ්‍රිතාන්‍යයෝ සිම්බාබ්වේ පාලනය කලහ. සැම්බියාවත් සිම්බාබ්වේත් රෝඩේසියාව යනුවෙන් ප්‍රසිද්ධ විය. රොඩේසියාව, දකුණු අප්‍රිකාව හා සමාන යටත් විජිත පදිංචි කරුවන් ගේ රාජ්‍යයක්‍ වූයේය. බ්‍රිතාන්‍ය කෘෂිකාර්මික සමාගම් සඳහා ඉඩම් සොයා ගැනීමට අප්‍රිකානුවන් ඔවුන්ගේ ඉඩම්වලින් බලයෙන් ඉවත් කරන ලදුව, ඔවුන්ට යටත් විජිතවාදීන්ට අයත් කම්හල් හා පතල්වල වැඩ කරන්නට බල කෙරුනි. ඔවුන්ට ඡන්දය දීමට හෝ සුදු ජනාවාසවල ඉඩම් අයිති කර ගන්නට අයිතිය තිබුණේ නැත. යටත් විජිතවාදී බෙදා පාලනය කිරීමේ උපාය මාර්ගය, අදටත් සිම්බාබ්වේ වැසියන් නොකඩවා මුහුණ දෙන ගැටලුකාරී විෂයයන් ලෙස පවතින ජාතිවාදී,    අසාධාරණ සමාජ-ආර්ථික සහ දේශපාලන පදනම්වලට තුඩු දුන්නේය.

උකහා හැකි පාඩම්

සිම්බාබ්වේ අත්දැකීම් වලින් උකහා ගත හැකි වැදගත් පාඩම් වන්නේ ධනවත් සුදු ජාතික ගොවීන් හා මධ්‍යම පංතික කොටස් සමග මහජන පෙරමුණක් ගොඩනැගීමෙන්, MDC යේ ආධාරක පදනමේ උත්සාහයන් ව්‍යාර්ථකරදැමීමටත් ඉන් යම් ඉස්පාසුවක් ලබාගැනීමටත් මුගාබේට අවස්ථාව ලැබුනද එය මහත් ව්‍යාසනයක් බවට පත්වූ බවයි. බටහිර රටවලට මැදිහත් වෙන්නැයි කරන ලද කැඳවුම් බරපතල ලෙස සහ යථාරූපී නොවන අන්දමේ ඒවා විය. ලෝකය පුරා සිය උවමනාවන් සහ වරප්‍රසාද සුරක්‍ෂිත කර ගැනීම සඳහා සිය දහස් ගණන් දෙනා ඝාතනය කර ඇති එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍ය වැනි අධිරාජ්‍යවාදී බලවත්තු වැඩ කරන ජනතාව උදෙසා ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම කෙරෙහි කිසිදු උනන්දුවක් දැක්විය යුත්තේ මන්ද?

බොහෝ යටත් විජිතවාදී බලවතුන් විසින් කරන ලද සංහාරයන් හා වේදනාවන් මතකයේ තිබෙන ජනයා කිසිදු තැනක කරන බටහිර මිලිටරි මැදිහත් වීමක් ආදරයෙන් පිළි නොගන්නවා ඇත. කෙසේ වෙතත්, තෝරා පත් කර ගත් හෝ ස්ථාපිත කරන ලද අළුත් යටත් විජිතවාද විරෝධී හෝ වෙනත් ආකාරයේ නායකත්වයන් ද විසඳුමක් වී නොමැත. ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වල බොහෝ පාලන තන්ත්‍ර, විමුක්ති දායකයන්ගේ සිට ආඥාදායක පාලකයන් බවට පත්වූ මුගබේ වැනි නායකයන්ට  ඔවුන්ගේ දොරකඩ ළඟ රැඩිකල් ජනතා ප්‍රජාතන්ත්‍රවාදයේ රැළිවලට මතු වෙන්නට ඉඩ ලබා නොදෙමින්, බලයේ රැදී සිටින්නට  අනුග්‍රහය දැක්වූහ.

මුගාබේ වැනි දූෂිත හා අදක්‍ෂ ඒකාධිපතියන් පහත හෙලන්නට තිබෙන හොඳම මාර්ගය, කම්කරුවන්ගේ නායකත්වය ලබන ජනතා ක්‍රියාකාරීත්වයයි. එසේ නැතිව යුධ හමුදාව, රටේ කුරිරු හා දූෂිත දේශපාලන ප්‍රභූ පැලැන්තියේ අනෙක් සාමාජිකයින් සමඟ එක්ව කරන හමුදා කුමන්ත්‍රණවලින් නොවේ. කම්කරුවන් හා ඔවුන්ගේ සගයන් බහුජන ක්‍රියාකාරීත්වයේ යෙදෙමින් නැඟී සිටින විට එවැනි පාලන තන්ත්‍ර හැමවිටම මහත් අනතුරුදායී බවට පත්ව ඇත. මෙම ඒකාධිපතියෝ ආර්ථික පීඩාවන්ගේ සහ කුරිරු මර්දනයේ විෂ සහිත සංයෝගය විසින් මහජන නැගිටීමක් කළ නොහැකි තරම් එකක් බවට පත් කරමින් කම්කරු පන්තිය වෙහෙස කර ලනු ඇතැයි විශ්වාස කරන්නට පෙළැඹෙති. එහෙත් ලෝකයේ බොහෝ තැන්වල ජනයා එවැනි ඒකාධිපතියන් ඉවත් කරන්නට ඔවුන් සතු අධිෂ්ඨානය ප්‍රදර්ශණය කර ඇත. ඒ අර්ථයෙන් ගත් කල, ඒකාධිපති නායකයින් පෙළක් එකෙකුට පසු එකෙකු විස්ථාපනය කිරීමට කරන අඛණ්ඩ අරගලයක් බවට එය පත්ව තිබේ.

මුගාබේ වැනි ඒකාධිපතියන් දිස් වෙන විට, ඔවුන්ට එරෙහිව නැඟී සිටින බහුජනතා අරගල සමග ජාත්‍යන්තර කම්කරු පන්ති සහයෝගිතාව ප්‍රකාශ කිරීමට හැකි විභවය පවතියි. අවශ්‍ය වන්නේ ලොව පුරා සිටින කම්කරුවන් සහ සියලු ප්‍රගතිශීලී අදහස් දරන හා ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවක් සහිත ජනතාව එවැනි ආඥාදායක පාලන තන්ත්‍ර මුලුමනින් ම හුදකලා කර දැමීම සඳහා කටයුතු කිරීම යි. මෙය සාක්‍ෂාත් කර ගැනීමට නම්, මූලික පියවර වනු ඇත්තේ අවනත නොවීමේ බරපතල සහ අධිෂ්ඨාන සහගත ජනතා ක්‍රියාකාරීත්වයෙන් යුත් ව්‍යාපාර දියත් කිරීම සඳහා සිවිල් සමාජය යළි සංවිධානය කිරීම යි. මෙය සිදු නොවන්නේ නම්, වැඩකරන ජනතාවගේ අපේක්‍ෂාවන් නින්දාශීලී ලෙස හසුරුවමින් මෙම පාලන තන්ත්‍ර, ඔවුන්ගේ විරුද්ධ පාර්ශ්වය දුෂ්ට බටහිර ගැත්තන් ලෙස නිරූපනය කරනු ඇත. එවැනි එක්සත් පෙරමුනක් සහ ජනතා හිතවාදී හා නව ලිබරල් විරෝධී උපාය මාර්ගයක්ද, වැඩ පිළිවෙලක් ද සහිතව අපට පෙරට යා හැකිය!

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    Lional bopage: Screwed up Sinhala youth and many got killed and probably burned alive. Now you talk vimukthiya from Australia. What way to practice socialism.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.