20 September, 2020

Blog

ව්‍යවස්ථා ප්‍ර​තිසංස්කරණය: විජේදාසගේ වැරදි මත​

නිහාල් ජයවික්‍ර​ම

ආචාර්ය නිහාල් ජයවික්‍ර​ම

ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ලියන ලද, මෑතකදී පුවත්පත්වල පළවූ ව්‍යවස්ථා ප්‍ර​තිසංස්කරණ පිළිබඳ දීර්ඝ ලිපිය තුළ දත්තමය දෝෂ සහ නීතිමය දෝෂ ගණනාවක් ඇති බව පෙනේ. ඔහුව ඇමති තනතුරෙන් ඉවත් කරන තෙක් ඔහු සහභාගී වූ වර්තමාන ව්‍යවස්ථා ප්‍ර​තිසංස්කරණ ක්‍රියාවලියේ නීත්‍යානුකූල භාවය සම්බන්ධයෙන් ඔහු දක්වන අදහස් සමග වාද කිරීමට මගේ කැමැත්තක් නැත. කෙසේ වෙතත්, ඕනෑම විවාදයක් කරගෙන යා යුත්තේ නිවැරදි තොරතුරු සහ නිවැරදි නෛතික ආස්ථානයන් මත පිහිටමිනි.

(1) ආචාර්ය විජයදාස රාජපක්ෂ: ‘‘සෝල්බරි ව්‍යවස්ථාව සහ 1947/48 ලංකා නිදහස් පනත හරහා, පූර්ණ නිදහසක් නොවන ඩොමීනියන් තත්වය අපි ලබා ගත්තෙමු.’’

1946 රාජ්‍ය මන්ත‍්‍රණ සභා ලංකා (ව්‍යවස්ථා) ආඥාපනත මගින් ලංකාවට පූර්ණ ස්වයං-පාලනය ලබා දුන්නේය. එම ආඥාපනත පදනම් වුණේ ලංකාවේ රාජ්‍ය මන්ත‍්‍රණ සභාව තුළ, පක්ෂව ඡුන්ද 51 ක් සහ විපක්ෂව ඡන්ද 3 ක් වශයෙන් සම්මත කර ගත් අලුත් ව්‍යවස්ථා කෙටුම්පතක් මතයි. මේ ඡන්දවලට, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් ප‍්‍රජාවන්ට අයත් සාමාජිකයන්ගේ සත්‍යර්ථ ඡන්ද ද ඇතුළත් විය. එම ව්‍යවස්ථාවෙන් ආණ්ඩුකාරවරයෙකු පත්කර ගැනුණු අතර, නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයක් සහ සෙනේට් සභාවක් ස්ථාපිත කෙරුණි. එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව මගින් පනවා ගැනුණු 1947 ලංකා නිදහස් පනත සහ 1947 රාජ්‍ය මන්ත‍්‍රණ සභා ලංකා (නිදහස්) පනත යන දෙකම, 1948 පෙබරවාරි 4 වැනි දා ක‍්‍රියාවට නැංවුණු අතර, ඒවා මගින් ලංකාවට ‘ඩොමීනියන් තත්වය’ පිරිනැමුණි. එදා පටන් ලංකාව ‘පූර්ණ නිදහස්’ රාජ්‍යයක් බවට පත්විය. එකම වෙනසකට තිබුණේ, රැුජිණ රාජ්‍ය නායිකාව වීමත්, ලංකාවේ අගමැතිවරයා සමග සාකච්ඡාවෙන් පත්කර ගත යුතුව තිබූ, පසුව ලංකාවේ අගමැතිවරයාගේ උපදෙස් මත පත්කර ගත යුතුව තිබූ, ආණ්ඩුකාරවරයෙකු විසින් ඇයව ලංකාවේ නියෝජනය කිරීමත් ය.

(2) ආචාර්ය විජයදාස රාජපක්ෂ: ‘‘පවතින ව්‍යවස්ථාව ඉවත් කොට අලුත් ව්‍යවස්ථාවක් පනවා ගැනීම සඳහා වන බලය, සෝල්බරි ව්‍යවස්ථාව මගින් අපේ පාර්ලිමේන්තුවට ලබා දුන්නේ නැත.’’

මෙය, වැරදියට නීතිය අර්ථකථනය කිරීමකි. 1946 ව්‍යවස්ථාවේ 29 වැනි වගන්තිය පැහැදිලිවම කියා සිටින පරිදි, ‘‘මේ ආඥාවේ ඕනෑම විධිවිධානයක් සංශෝධනය කිරීමට හෝ අවලංගු කිරීමට පාර්ලිමේන්තුවට පිළිවන.’’ කෙසේ වෙතත්, ඊට ව්‍යතිරේක කිහිපයක් පනවා තිබුණි. ඒවා මෙසේ ය: (අ) කිසි ආගමක් නිදහසේ ඇදහීම තහනම් කිරීම හෝ සීමා කිරීම කිසි නීතියකින් නොකළ යුත්තේය. (ආ) කිසි ප‍්‍රජාවකට හෝ ආගමකට අයත් කිසි පුද්ගලයෙකු, වෙනත් ප‍්‍රජාවක හෝ ආගමක පුද්ගලයෙකු යටත් නැති කිසි සීමාවකට හෝ නොහැකියාවකට යටත් නොකළ යුතුය. (ඇ) කිසි ප‍්‍රජාවක හෝ ආගමක පුද්ගලයෙකුට වෙනත් ප‍්‍රජාවක හෝ ආගමක පුද්ගලයෙකුට අයත් නොවන කිසි වරප‍්‍රසාදයක් හෝ වාසියක් නොදිය යුතුය. (ඈ) කිසි ආගමික ආයතනයක ව්‍යවස්ථාවක් එම ආගමේ පාලනාධිකාරයේ අනුමැතියකින් තොරව වෙනස් නොකළ යුතුය.

ව්‍යවස්ථාදායක බලය කෙරෙහි ඇති කොට තිබූ ඒ සීමාව, මහ ජාතිය සහ සුළු ජාතීන් අතර පැවති සන්ධානගත සම්මුතිය විය. ලංකාවට නිදහස ප‍්‍රදානය කෙරුණේ ඒ මත පදනම් වෙමිනි. හෙවත්, එය නිදහසට පෙර පැනවුණු කොන්දේසිය විය. ඒ සීමාවට යටත්ව, ව්‍යවස්ථාවේ වෙනත් ඕනෑම වගන්තියක් අවලංගු කිරීමේ හෝ අලූත් වගන්තියක් ප‍්‍රතිස්ථාපනය කිරීමේ බලය පාර්ලිමේන්තුවට තිබුණි. යමක් ‘සංශෝධනය කිරීමේ හෝ අහෝසි කිරීමේ’ බලය තුළට අනිවාර්යයෙන්ම යමක් ප‍්‍රතිස්ථාපනය කිරීමේ බලයත් අන්තර්ගත වන්නේය. ඇත්තෙන්ම කිවහොත්, 1970 දී (එක්සත් රාජධානියේ) පි‍්‍රවි කවුන්සිලයේ අධිකරණ කමිටුව අහෝසි කොට ඒ වෙනුවට අපේම අවසාන අභියාචන අධිකරණය පිහිටුවා ගැනුණි. එසේම 1971 දී, පාර්ලිමේන්තුව සමන්විත වුණු එක් ඒකකයක් වන සෙනේට් සභාව, පාර්ලිමේන්තුවේ සභා සම්මතයෙන්ම අහෝසි කරන ලද අතර, වෙනත් දෙවැනි මන්ත‍්‍රණ සභාවක් ඒ වෙනුවට නොපිහිටුවීමට කටයුතු කෙරුණි.

(3) ආචාර්ය විජයදාස රාජපක්ෂ: ‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ප‍්‍රතිස්ථාපනය කිරීමට (පවතින ව්‍යවස්ථාව අවලංගු කොට වෙනත් ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමට) නොහැකි වන පරිද්දෙන් සෝල්බරි ව්‍යවස්ථාව තුළ පවතින නීතිමය බාධක සිය ඥානයෙන් පිරිසිඳ දත් ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, ‘ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය’ පාර්ලිමේන්තුවෙන් පිටස්තර තැනක පැවැත්වීමට උපදෙස් දුන්නේය. පවතින ව්‍යවස්ථාව අවලංගු කොට අලුත් ව්‍යවස්ථාවක් ප‍්‍රතිස්ථානය කර ගැනීම සඳහා වන අධිකාරයක් හෝ පරිපාටියක් සෝල්බර් ව්‍යවස්ථාව තුළ සම්පාදනය කොට නැති නිසා, 1970 දී බලයට පත් ආණ්ඩුවට, ඉහත සඳහන් ‘ව්‍යවස්ථා සම්පාදක සභාව’ පාර්ලිමේන්තුවෙන් පිටස්තර තැනක සිට ක‍්‍රියාත්මක කිරීම හැරුණු කොට වෙන විකල්පයක් තිබුණේ නැත.’’

මෙය, දත්තමය වශයෙන් නිවැරදි ප‍්‍රකාශයක් නොවේ. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය 1968 මුල ගණන්වලදී, ඊළඟ මැතිවරණයෙන් ආණ්ඩුවක් පිහිටුවීමේ අපේක්ෂාව පෙරදැරිව සකස් කරන ලද ‘පොදු වැඩපිළිවෙල’ තුළ ඉතා පැහැදිළිව මෙසේ සඳහන් කොට තිබුණි: ‘‘ව්‍යවස්ථා සම්පාදක සභාවක් පිහිටුවනු ලැබේ. අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු ලැබේ. ලංකාව, නිදහස්, ස්වෛරී, ස්වාධීන ජනරජයක් බවට එම ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශයට පත්කෙරේ.’’ ලංකාව ජනරජයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම සඳහා අවශ්‍ය කරන නීති පනවා ගැනීමට පාර්ලිමේන්තුවට නීතිමය බාධාවක් තිබුණේ නැත. ලංකාව වැනිම තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කිහිපයක් ඒ ක‍්‍රමය ඒ වන විටමත් අනුගමනය කර තිබුණි. එසේම, ‘ව්‍යවස්ථා සම්පාදක සභාවක්’ ඇති කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවට නීතිමය බාධාවක් තිබුණේත් නැත. ඒ වන විටමත් ඉන්දියාවේ පාර්ලිමේන්තුව එසේ කර තිබුණි. කෙසේ වෙතත්, බි‍්‍රතාන්‍ය කිරීටය සමග පැවති අපේ සම්බන්ධතාව, එම කිරීටය විසින්ම අපේ පාර්ලිමේන්තුවට පවරා තිබූ බලතල පාවිච්චි කරමින් අවසන් කර දැමීමේ සරළ ප‍්‍රායෝගික මාර්ගය කොල්වින් ආර්. ද සිල්වා ප‍්‍රතික්ෂේප කෙළේය. නිදහස් ජනතාවක් විසින් තමන්ගේ නිදහස අත්පත් කර ගත යුත්තේ, බි‍්‍රතාන්‍ය කිරීටය මගින් ස්ථාපිත කොට ඇති නෛතික පරිපාටියට පිටින් ය යන්න ඔහුගේ තර්කය විය. ඒ වනාහී, විසි වැනි සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම නීතිඥයෙකුගේ ප‍්‍රතිපත්තිමය ස්ථාවරයකි. ඒ වනාහී, ‘මහ රැුජිණගේ නීතිවේදියෙකු’ වීමට නොකැමැත්තෙන් ‘රාජ නීතිඥ’ තානාන්තරය සඳහා ඉල්ලුම් කිරීම එක දිගටම ප‍්‍රතික්ෂේප කළ නීතිඥයෙකි. අපේම බිමෙන් උපන්, නව නෛතික ක‍්‍රියාවලියක් හරහා ව්‍යවස්ථා වෙනසක් කිරීමට ගත් ඒ ආයාසය, ඒ දුෂ්කර ක‍්‍රියාවලිය ආම්බාන් කර ගත් අප වැනි අයවළුන්ට පමණක් නොව, ලෝකය පුරා විසූ තවත් බොහෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිවේදීන්ට සහ විද්වතුන්ට, ඉතා නිර්භීත, අති උද්දීපිත, පරමාදර්ශී සහ විචිත‍්‍ර අත්දැකීමක් විය. එය ඉතා දුර්ලභ ගණයේ නීති විප්ලවයකි.

(4) ආචාර්ය විජයදාස රාජපක්ෂ: ‘‘ව්‍යවස්ථා සම්පාදක සභාව විසින් සකස් කරන ලද ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර, සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට එම අලුත් ව්‍යවස්ථාව 1972 මැයි 22 වැනි දා තුනෙන් දෙකේ බහුතර ඡන්දයකින් සම්මත කර ගන්නා ලදි.’’

මෙය, දත්තමය කරුණු මුළුමණින්ම වැරදි ආකාරයකින් ප‍්‍රකාශයට පත් කිරීමකි. 1970 ජුලි මාසයේ ව්‍යවස්ථා සම්පාදක සභාව වශයෙන් කොළඹ නව රඟහලේ රැුස් වූ නියෝජිත මන්ත‍්‍රී මණ්ඩලයේ සාමාජික මන්ත‍්‍රීවරු, තමන්ගේ සියලු ඉදිරි රැුස්වීම් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන බවට සම්මත කර ගත්හ. ඉන් අවුරුදු දෙකකට ආසන්න කාලයකින් පසුව, අලුත් ව්‍යවස්ථා කෙටුම්පතට පක්ෂව ඡන්ද 119 ක් සහ විපක්ෂව ඡන්ද 16 ක් වශයෙන් (ඊට විරුද්ධ වූ එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් ද ඇතුළුව) සම්මත කර ගන්නා ලද ව්‍යවස්ථා සම්පාදක සභාවේ අවසාන රැුස්වීමෙන් අනතුරුව, එම සභාව නැවත නව රඟහලේ රැුස්වුණි. එහිදී, පස්වරු 12.43 සුභ මොහොතින්, ව්‍යවස්ථා සම්පාදක සභාවේ සභාපති ස්ටැන්ලි තිලකරත්න, ව්‍යවස්ථා සම්පාදක සභාව මගින් අලුත් ව්‍යවස්ථාව පිළිගෙන පනවා ගන්නා බවට සහතිත කෙළේය. එසැණින් බණ්ඩාරනායක මැතිණිය අගමැතිවරිය වශයෙන් දිව්රුම් දුන්නාය. අනතුරුව, ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් ඇය විසින් විලියම් ගොපල්ලව නම් කරන ලදුව, ඔහු ද දිව්රුම් දුන්නේය. එම පරිපාටිය, අනතුරුව ජනාධිපති මන්දිරයට (එතෙක් රැුජිණගේ මන්දිරය වශයෙන් හැඳින්වුණු) ගෙන යන ලද අතර, පරමාධිකරණ විනිසුරුවරු, ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ සන්නද්ධ සේවා ප‍්‍රධානීහූ දිව්රුම් දුන්හ. ‘සිලෝන්’ වශයෙන් එතෙක් හැඳින්වුණු ලංකාව එතැන් පටන් අහෝසි වූ අතර, ඒ වෙනුවට ශ‍්‍රී ලංකා ජනරජය බිහි විය. මේ අලුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කිසි විටෙක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ නැත.

*ඉතිරි කොටස මීළඟට..

2017 නොවැම්බර් 20 වැනිදා ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Constitutional Reform: Wijeyadasa’s Errors නැමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.