4 December, 2024

Blog

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයා සිහි කිරීම වෙනුවෙන්; භාෂාව ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නයේ පැති කඩක් ලෙස

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සහෝදරයාගේ උරුමය කල්පනාකාරී විග්‍රහයක් තුළින් පිළිගැනීමට ලක් කිරීම සුදුසු වේ. “කළු ජූලියට වසර 41 – අර්ථවත් සංහිඳියාවක් කරා අප නගන හඬයන මාතෘකාව යටතේ මා විසින් මෑතක දී ලියන ලද ලිපියට ප්‍රතිචාර වශයෙන් නගන ලද ගැට‍ළුවක් ආමන්ත්‍රණය කිරීමට අදහස් කරමි.

කරුණාරත්න සහෝදරයාගේ දේශපාලන ගමන ලංකා සමසමාජ පක්ෂය (ලසසප) තුලින් ආරම්භ විය. කෙසේ වෙතත්, 1972 දී සමසමාජ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) සමඟ එකතු වූ විට ඔහු එයින් ඉවත් විය. 1972 ශ්‍රීලනිපය විසින් කෙටුම්පත් කරන ලද ජනරජ ව්‍යවස්ථාව මගින් දෙමළ ප්‍රජාව කොන් කර ලමින් ශ්‍රී ලංකාව අනියමින් සිංහල බෞද්ධ රාජ්‍යයක් බවට පරිවර්තනය කරන ලදී. ඉන් පසුව, (වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස සිටි) අග්‍රාමාත්‍ය ජේ ආර් ජයවර්ධනගේ පාලන සමයේ දී 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන ලද අතර, දෙමළ කතා කරන්නන් තවත් දුරස් කරමින් සිංහල බෙදුම්වාදය තවදුරටත් ශක්තිමත් කළේය.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කරුණාරත්න සහෝදරයා ගත් ප්‍රතිපත්තිමය ස්ථාවරය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ඔහු දැරූ අධ්‍යයන තනතුරෙන් පවා ඉවත් කර දැමීමට හේතු විය. සාධාරණත්වය, යුක්තිය සහ අයිතිවාසිකම් පිළිගැනීම යන පදනම මත ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම සඳහා ඔහු දැක්වූ කැපවීම හේතුවෙන් ඔහුට මරණ තර්ජනවලට මුහුණ දෙන්නට සිදු විය. 1988 දී දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය (DJV) ඔහුව ඉලක්ක කළේ රාජ්‍ය භීෂණයට ලක් වූ දෙමළ ජනතාව වෙනුවෙන් ඔහු පෙනී සිටීම හේතුවෙනි.

ඔහුගේ පසුකාලීන ජීවිතයේ දේශපාලන වෙනස් වීම් තිබුනද, කරුණාරත්න සහෝදරයා සමානාත්මතාවය, ස්වාධීනත්වය සහ ස්වයං නිර්ණය මත පදනම් වූ ජාතික සමගිය ජයග්‍රහණය කරවන්නට තිරසාර ලෙස කටයුතු කළේය. මරණින් පසු පවා ඔහු දැඩි ජාතිකවාදීන්ගේ විවේචනවලට මුහුණ දෙයි. අප ආපසු බලද්දී, ශ්‍රී ලංකාවේ පශ්චාත්නිදහස් ඉතිහාසය පුරාවට අපගේ දේශපාලන නායකයන් විසින් අනුගමනය කරන ලද අදූරදර්ශී ප්‍රතිපත්තිවල ප්‍රතිවිපාක හඳුනා ගනිමු.

1956 දී එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා සිංහල ලංකාවේ රාජ්‍ය භාෂාව බවට පත් කරන බවට ප්‍රතිඥා දුන් විට දෙමළ භාෂාවට පරිපාලනමය තත්ත්වය හිමි විය යුතු බවට වගන්තියක් ඇතුළත් කළේය. උග්‍ර සිංහල ජාතිකවාදියෙකු වූ කේ.ඇම්.පී. රාජරත්න මහතා සපත්තු සෑදීමට දෙමල මිනිසුන් හම ගැසීම වැනි අන්තගාමී ක්‍රියාමාර්ග වෙනුවෙන් පෙනී සිටින අයුරු දොළොස් හැවිරිදි වියේ පසු වුනු මම ලංකා ගුවන් විදුලි සේවය ඔස්සේ අසා සිටියෙමි. මේ අතර, දෙමළ දේශපාලනඥයන්ගේ සජීවී කතා මා අසා නොතිබුනත්වාර්තා වුනු අන්දමට සිංහලයන් සම්බන්ධයෙන් ඔවුන් එවැනි ම අදහස් ප්‍රකාශ කර තිබුණේය.

බණ්ඩාරනායක මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) විසින් අවුළුවා ලන ලද සිංහල ජාතිකවාදයේ ගිනි සිළුව 1956 දී සිංහල පමණක් පනත් කෙටුම්පත සම්මත කිරීමට හේතු විය. ලංකා සමසමාජ පක්ෂය (ලසසප), ලංකා කොමියුනිස්ට් පක්ෂය (පසුව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය), ඉලංකෙයි තමිල් අරසු කච්චි සහ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය ඊට විරුද්ධ විය. මෙම තීරණයේ ප්‍රතිවිපාක වසර 68කට පසුවත් ශ්‍රී ලංකාවේ දේශපාලන පරිසරය තවමත් හැඩ ගස්වමින් පවතී.

යටත් විජිත සමයේ යාපනයේ සිංහල මහා විද්‍යාලයක් ක්‍රියාත්මක වූ බව මතක තබා ගැනීම වැදගත් වේ. සමහර දෙමළ ජනයා සිංහල ඉගෙන ගත් අතර සිංහල සම්ප්‍රදායයන්ට ගරු කළහ. කෙසේ වෙතත්, දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) මෙම ප‍්‍රවණතාවය කඩාකප්පල් කර ලූයේ ආරක්ෂක හමුදා විසින් 1981 මැයි මාසයේ දී යාපනය මහජන පුස්තකාලය ගිනි තැබීමෙන් පසු පාසල පවත්වා ගෙන යෑම වළක්වා දැමීමෙනි. ඉන් පසුව 1983 ජූලි මාසයේ දී ජනාධිපති ජේ ආර් ජයවර්ධන යටතේ එජාප පාලනය විසින් දියත් කරන ලද දෙමළ විරෝධී සංහාරය, ආතතීන් තවත් උත්සන්න කර ලීය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් බණ්ඩාරනායක පාලන සමයේ දී සම්මත කරන ලද 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ආධිපත්‍යවාදී විධිවිධාන තවත් ශක්තිමත් කරන ලදී. (1956 අංක 33 දරන) රාජ්‍ය භාෂා පනත මගින් ස්ථාපිත කරන ලද සිංහල පමණක් ප්‍රතිපත්තිය, වරක් එක්සත් ව තිබුනු, බහුත්වවාදී වූ අප සමාජය තවදුරටත් බෙදා වෙන් කලේය. සෑම ව්‍යවස්ථාවක් ම බහුතර නොවන ප‍්‍රජාවන් දුරස් කර ලීම තවත් ගැඹුරු කර ලීය. මෙම ක්‍රියාවලිය ආරම්භ වූයේ 1948 දී ඩී එස් සේනානායක රෙජීමය විසින් මලයියහ කම්කරුවන්ට ඡන්ද බලය අහිමි කොට දෙමළ තරුණයින්ට එරෙහිව රාජ්‍ය ප්‍රචණ්ඩත්වය උත්සන්න කිරීමත් සමඟ ය.

කුතුහලය දනවන කරුණ වන්නේ, යාපනයේ විද්‍යාලවලට ගිය සිසුසිසුවියෝ භේදයකින් තොරව අධ්‍යාපනය අතින් විශිෂ්ටත්වය විදහා පෑමයි. උදාහරණයක් ලෙස හාට්ලි විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිංහල ශිෂ්‍යයකු වූ කේ. බී රත්නායක මහතා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ අතර පසුව පාර්ලිමේන්තුවේ කථානායකවරයා බවට ද පත් විය. එසේම යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මෛත්‍රීපාල සේනානායක මහතා පසුව කැබිනට් අමාත්‍ය ධුර කිහිපයක් දැරූ අතර වැඩබලන අගමැති ලෙසද කටයුතු කළේය.

1956 දී එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතා විසින් ක්‍රියාත්මක කරන ලද සිංහල පමණක් ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු දුර්විපාක ඇති කර ලීය. දෙමළ කතා කරන ජනගහනය බහුලව සිටි ප්‍රදේශවල නියුතු සිංහල රජයේ සේවකයන්ට දෙමළ භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍ය වූයේ නැත. එහෙත්, දෙමළ රාජ්‍ය සේවකයන්ට, දෙමළ බහුතරයක් සිටින ප්‍රදේශවල සේවය කරන අයට පවා, සිංහල ඉගෙන ගැනීමට බල කෙරුනි. මේ නිසා රාජ්‍ය අංශයේ දෙමළ රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් පහළ වැටුනේය.

මේ බලපෑම සංඛ්‍යා ලේඛන වලින් හෙළිදරව් වෙයි: 1956 දී සිවිල් සේවයේ 30%, ලිපිකරු සේවයෙන් 50%, ඉංජිනේරුවන් සහ වෛද්‍යවරුන්ගෙන් 60%, සහ සන්නද්ධ හමුදාවන් ගෙන් 40% ක් දෙමළ ජාතිකයන් ගෙන් සමන්විත විය. 1970 වන විට මෙම සංඛ්‍යාව සිවිල් සේවයෙන් 5%ක්, ලිපිකරු සේවයෙන් 5%ක්, ඉංජිනේරුවන් සහ වෛද්‍යවරුන්ගෙන් 10%ක් සහ සන්නද්ධ හමුදාවල 1%ක් දක්වා පහත වැටී තිබුනි.

1960 ගණන් වලදී, ස්වදේශික දෙමළ කතා කරන ජනතාව සඳහා දෙමළ භාෂාවෙන් රජයේ ලේඛන හෝ අයදුම්පත් ලබා දීමට රජය අසමත් විය. දෙමළ ප‍්‍රජාවන්ගේ විරෝධතා හේතුවෙන් අවසානයේ භාෂා ප්‍රතිපත්ති මඳක් ලිහිල් කිරීමට මග පෑදීය. 1987 ඉන්දුශ්‍රී ලංකා ගිවිසුම මගින් දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ලෙස පිළි ගන්නා ලද අතර සිංහල භාෂාව රටේ රාජ්‍ය භාෂාව ලෙස පැවතිණ. මෙම භාෂා විෂමතා ආමන්ත්‍රණය කිරීම අරමුණු කරගත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය තිබුනේ වුවද, එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම මග හරිමින් පවතී.

දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවල සේවයේ යොදවා සිටින සිංහල කතා කරන ආරක්ෂක හමුදා භටයින් මුහුණ දෙන අභියෝග සලකා බලන්න. ඔවුන් සතුව නිපුණ දෙමළ භාෂා කුසලතා නොමැති කම හේතුවෙන් ආණ්ඩුව සහ ප්‍රාදේශීය ජනතාව සමඟ ඵලදායී ලෙස සන්නිවේදනයේ යෙදීමට බාධා පැමිණේ. මම මේ ප්‍රශ්නය චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සහ රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඔවුන්ගේ පාලන කාලය තුළ දී පෞද්ගලිකව ඉදිරිපත් කර සිටියෙමි.

1972 දී ඉදිරිපත් කරන ලද ජවිපෙ ප්‍රතිපත්ති ප්‍රකාශය අඛණ්ඩව අනුගමනය කළේ නම්, ඉන්දුශ්‍රී ලංකා ගිවිසුම මගින් සිංහල සහ දෙමළ යන භාෂා දෙකම ජාතික භාෂා ලෙස පිළිගැනීමට ඉඩකඩ තිබුණි. ජනතා විමුක්ති පෙරමුණ ඉංග්‍රීසි ජාතික භාෂාවක් ලෙස පිලි ගැනීම වෙනුවෙන් පෙනී සිටියද, අවසානයේ එය සම්බන්ධක භාෂාව බවට පත් කරන ලදි. බාහිර මැදිහත් වීම්වලට, විශේෂයෙන්ම ඉන්දියාවෙන් කරන මැදිහත් වීම්වලට ඉඩ ලබා දෙමින් 13 වැනි සංශෝධනය අසම්පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමත් ඇතුලත්ව, ඉඩම්, පොලිස් සහ මූල්‍ය බලතල පළාත්වලට බෙදා හැරීම විවාදාත්මක ප්‍රශ්නයක් ව පවතී.

පෙර සිටි සිංහල ජාතිකවාදීන්ගේ අදූරදර්ශී බව හඳුනා ගැනීම තීරණාත්මක වේ. ‘සිංහල පමණක්ප්‍රතිපත්තියෙන් සිංහල, දෙමළ හෝ මුස්ලිම් ජනතාවට සෙතක් සැලසී නැත. වාසනාවකට මෙන්, ඇතැම් විට බහු සංස්කෘතික තත්වයන්ට නිරාවරණය වීමෙන් ආභාෂය ලැබ, මෑත දී ඇති කරන ලද වෙනස් කම් හේතුවෙන් සමහර භාෂා පරිසීමාවන් ලිහිල් කර තිබේ.

ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානුවෙකු වශයෙන්, මම ඕස්ට්‍රේලියාවේ භාෂා ප්‍රතිපත්තිය ගැනද කෙටියෙන් සඳහන් කළ යුතුය. මුලදී පැහැදිලි ප්‍රතිපත්ති නොතිබුනේ වුවද, 1987 දී භාෂාවන් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් මතු වූයේය. සියලු දෙනාටම ඉංග්‍රීසි ප්‍රවීණතාවය ද, (ද්වි භාෂා අධ්‍යාපනය ද ඇතුළුව) දේශීය භාෂාවන් සඳහා ආධාර කිරීම ද, ඉංග්‍රීසි හැර පවතින වෙනත් භාෂාවන් පිලි ගැනීම ද එය අවධාරණය කළේය.

දේශපාලන ක්ෂේත්‍රයේ දෙපාර්ශ්වයේ ම අනුමැතිය ලද ඕස්ට්‍රේලියාවේ නිර්මාණශීලී බහු භාෂා ප්‍රතිපත්තිය සංස්කෘතික පෝෂණය ත්, සමාජ සාධාරණත්වය ත්, වෘත්තීය අවකාශ යනුත්, ගෝලීය වෙළඳ ප්‍රවර්ධනය ත් ඉලක්ක කර ගත්තේය. ලෝකයේ පළමු සවිස්තරාත්මක බහු භාෂා ප්‍රතිපත්තිය ලෙස එය ජාත්‍යන්තර වශයෙන් බලගතු සලකුණක් බවට පත් වී ඇත. කාලයාගේ ඇවෑමෙන්, ඕස්ට්‍රේලියාවේ වැඩිවෙන සංස්කෘතික විවිධත්වය විසින් බහු භාෂීයත්වය, ආසියාව සමඟ සම්බන්ධ වීම සහ අපනයන විවිධාංගීකරණය කිරීම සඳහා පවතින ආර්ථික අවශ්‍යතා මගින් අර්ධ වශයෙන් මෙහෙයවනු ලැබ, එහි සමාජ ව්‍යුහයේ අනිවාර්ය අංගයක් බවට පත් කරනු ලැබ ඇත.

සැලකිය යුතු කරුණක් වන්නේ, මෙම ප්‍රතිපත්තිය අතීතයෙන් බැහැර ව යමින්, භාෂා හා සම්බන්ධ තීරණවලට මඟ පෙන්වීමේ දී පැහැදිලි ලෙස සාරධර්ම දක්වා ලීම යි. ඕස්ට්‍රේලියාවේ, ජනගහනයෙන් 72% ක් කතා කරන ඉංග්‍රීසි භාෂාව ප්‍රමුඛත්වය දරයි. මැන්ඩරින් (3%), අරාබි (1.5% පමණ) සහ වියට්නාම (1.3% පමණ) රටේ බහු සංස්කෘතික විචිත්‍රත්වය පිළිබිඹු කරයි. වැදගත් ම දේ නම්, සේවකයෙකුගේ වැටුප ඔවුන්ගේ භාෂාව හෝ සම්භවය මත තීරණය කළ නොහැකි වීමයි.

ඕස්ට්‍රේලියානු නගරවලට පැමිණෙන අමුත්තන්ට ඉංග්‍රීසි, මැන්ඩරින්, අරාබි, කැන්ටනීස්, හින්දි, ඉතාලි, ග්‍රීක යනාදී විචිත්‍රවත් භාෂාමය භූ දර්ශනයක් මුණ ගැසේ. මධ්‍යම ඕස්ට්‍රේලියාවේ, වෝල්පරි (Warlpiri), අරන්තෙ (Arrernte), සහ පිචන්තතාරා (Pitjantjatjara) වැනි ස්වදේශික භාෂාවන් සමෘද්ධිමත් ව පවතී.

ඊට හාත්පසින් ම වෙනස් ලෙස, ශ්‍රී ලංකාව තුල, කොළඹ හැරෙන්නට, සිංහල සහ දෙමළ කතා කරන අය කෙතරම් ව්‍යාප්තව පවතින්නේ ද යන්න අවිනිශ්චිත ව පවතී. ඔස්ට්‍රේලියාවේ පවතින අන්තර්ග්‍රාහී කර ගන්නා භාෂා ප්‍රතිපත්තියෙන් පාඩම් උකහා ගනිමින් ශ්‍රී ලංකාවට සමානාත්මවාදී භාෂා අධ්‍යාපනය ලබා දීම මගින් සාමය, මානව හිමිකම් සහ සමාජ සහජීවනය පෝෂණය කළ හැකිය.

Latest comment

  • 2
    0

    බෝපගේ මහතාණෙනි,

    බාහු ගැන හා ලාංකීය දේශපාලන ඉතිහාසය ගැන ඔබ ලියා ඇති කරුණු බොහොමයක් සමග මා එකඟයි. ඒවා බොහොමයක් සත්‍ය වශයෙන්ම සිදුවූ දේවල් පමණක් නොව අද පරම්පරාවේ බොහෝ දෙනෙක් නොදන්නා කාරණා වලිනුත් ගහණයි. ඒ ගැන ඔබට මගේ ගෞරවය!

    නමුත් ඔබේ ලිපිය කියවීමෙන් මට ප්‍රශ්න කීපයක් මතු විය. මේවා ඔස්ට්‍රේලියාවට සම්බන්ධයෙන් පමණක් අදාලයි.

    1. ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවයට හෝ පුද්ගලික අංශයට ඉංගිරිසි ප්‍රවීණතාවය නැතිව රැකියාවක් ලබා ගත හැකිද?
    2. එසේ හැකි නම් ඒ කුමන භාෂා ප්‍රවීනතාවයෙන්ද?

    3. “…ඉංග්‍රීසි හැර පවතින වෙනත් භාෂාවන් පිලි ගැනීම ද එය අවධාරණය කළේය….” යන්නෙන් ඔබ දෙන පණිවිඩය කුමක්ද? ඉංගිරිසි නොදන්නා වෙනත් භාෂා ‘පමණක්’ දන්නා වැසියනට රැකියා ලබා ගැනීමට හැකිද?

    4. Aboriginals හෙවත් ආදී වාසීන්ට ඔවුනට රිසි පරිදි රැකියා කිරීමට රාජ්‍ය සේවයේ ඉඩ සලසා තිබේද? ඔවුනට ඔවුන්ගේ ස්ව භාෂාවන් වලින් ඕනෑම තැනක රැකියා කිරීමට ඉඩ සලසා තිබේද?

    5. “ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානුවන්” කියා ඔබ හඳුන්වා ගන්නා සමාජ කාණ්ඩයට (social group) ඕස්ට්‍රේලියාවේදී රාජ්‍ය මට්ටමෙන් නිළ පිළිගැනීමක් ලබනවාද? එසේ නම් ඔවුනට විශේෂ වරප්‍රසාද ලැබෙනවාද? එසේත් නැත්නම් ඒ “ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානුවන්” ද අන් සෑම ඔස්ට්‍රේලියානුවෙක්ම මෙන් රටේ නීතියට, සදාචාරයට හා සංස්කෘතියට අනුකූලව ජීවත් වෙනවාද? අන් අයුරකින් කියනවා නම් ඒ කාංඩයත් කිසි වෙනසක් නැතුව ඕස්ට්‍රේලියානු නීති රීති වලට යටත් පුර වැසියන් නොවේද?? එසේ නම් ශ්‍රී ලාංකික ඕස්ට්‍රේලියානුවන් හෝ ඉතාලි ඕස්ට්‍රේලියානුවන් හෝ චීන ඕස්ට්‍රේලියානුවන් කියා බෙදා වෙන් කිරීමෙන් ඔබත් ජාතිවාදී සංකල්පයක් ඕස්ට්‍රේලියාවේ පැල කරනවා නේද? මා දන්නා ඔස්ට්‍රේලියාවේ ඉන්නේ ඕස්ට්‍රේලියානුවන් පමණයි! ඔවුන් සියල්ල ආඩම්බර වන්නේ ඕස්ට්‍රේලියානුවන් හැටියටයි!

    6. ඇයි 2023 Indigenous Voice referendum ඉතා දැඩි පරාජයකට ලක් උනේ? ඔබ කියනා “නිර්මාණශීලී බහු භාෂා ප්‍රතිපත්තිය” ඕස්ට්‍රේලියාවේ ඔතරම් ක්‍රියාත්මක වෙනවා නම් 60% ජනතාව ඇයි ආදිවාසීන්ගේ හඬ යටපත් කලේ?? ඇයි බහුතරයක් ආදිවාසීන්ට සම තැන දෙනවාට විරුද්ධ?

    මා මේ ප්‍රශ්න අසන්නේ මා කාලයක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ නිසයි. මා දන්නා ඕස්ට්‍රේලියාව ඔබ කියනාකාරයේ එකක් නොවූ නිසයි මේ ප්‍රශ්න වැල මතු වූයේ!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.