19 April, 2024

Blog

71 අප්‍රේල් නැඟිටීමට වසර 50ක්: නිදහස ලැබීමෙන් පසු ශ්‍රී ලංකාව කිසි විටෙකත් ඉගෙන නොගත් ඉතිහාස පාඩම

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

අද ලෝකයේ බොහෝ රටවල්වල ප්‍රජාතන්ත්‍රවාදය අඩාල කරමින්, නාමික ප්‍රජාතන්ත්‍රවාදයක් පමණක් ගෙන යමින්, අධිකාරිවාදය ඉදිරියට ගනිමින් තිබෙනවා. රටක නීතිය හා සාමය පවත්වා ගැනීම කෙරෙහි මෙම තත්වය බෙහෙවින් බල පානවා. මානව හා දේශපාලන අයිතිවාසිකම් ඛාදනය ලක් වෙමින් තිබෙනවා. අල්ලස, දූෂණය හා පරිසර විනාශය අහස උසට. සිවිල් පරිපාලනය මිලිටරිකරනය කරමින් තිබෙනවා. 1978න් පසුව පාර්ලිමේන්තුව විධායක ජනාධිපතිගේ තීරණවලට මුද්‍රා තබන ආයතනයක් බවට පත් කෙරුනා. 20වන සංශෝධනය සම්මත කර ගැනීමෙන් පස්සෙ එසේ මුද්‍රා තැබීමට තිබෙන අවශ්‍යතාවයකුත් පේන්න නැහැ. අපි මේ තත්වයට පත් වුනේ කොහොමදැයි බලමු.

පාර්ලිමේන්තුවට පත් වෙන්නට, බලය ඩැහැ ගන්නට හා බලය පවත්වා ගන්නට ඉතිහාසය පුරාම පොදුවේ ප්‍රයෝජනයට ගත්තේ වෙනස්කම් කිරීමේ හා අනන්‍යතා දේශපාලනය. යටත් විජිත පාලනය යටතේ වරප්‍රසාද ලත් සමාජ පැලැන්ති වරප්‍රසාද රැක ගන්නට තිබුන හොඳම ක්‍රමය ලෙස දුටුවේ එයයි.

සමාන සමාජආර්ථික පසුබිම්වලින් පැමිනි සිංහල හා දෙමළ තරුණ පරම්පරාවෝ ඔවුන්ගේ සමාජආර්ථික, දේශපාලන හා සංස්කෘතික අයිතිවාසිකම් අහිමි කර දැමීමට එරෙහිව තෙවරක්ම කැරලි ගසා තිබෙනවා. මෙම ගැටුම්වලට හේතුසාධක වුන සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික හේතූන් ආමන්ත්‍රනය කරන්නට හැම ආණ්ඩුවක්ම අපොහොසත් වුනා. බොහෝ විට හදිසි බලතල යොදාගෙන තමයි හැම ආණ්ඩුවක්ම වාගේ රට පාලනය කරේ. වෙනස්කම්වලට ලක් කිරීම හා තමන් සතු කුසලතාවලින් ප්‍රයෝජන ගන්නට ඉඩ නොදීම එහෙම නැත්නම් එවැනි අවස්ථා නිර්මානය නොකිරීම මෙම ගැටුම්වලට මූලිකව බල පෑවා. පැන නැඟුන විරෝධතා මර්දනය කිරීමෙන් සිදු වූයේ සිංහල දෙමළ තරුණ දෙකොටසම ගැටුම් කරා වැඩි වැඩියෙන් තල්ළු කර දැමීමයි.

යටත්විජිත යුගයේදී නිදහස ලබා ගන්නට සටන් කර‍‍නවා වෙනුවට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉල්ලා කරන ලද‍ උද්ඝෝෂණ අධිරාජ්‍ය විරෝධී ඒවා බවට හරවන්නට මුල් නායකත්වය දුන්නේ යාපනේ තරුණ සභාව. උතුරේ ප්‍රමුඛ බලවේගයක්ව පැවති තාක් කල් ඔවුන්ට දෙමළ වාර්ගික ජාතිකවාදය මතුවීම ප්‍රමාද කරන්නට පුඵුවන් වුනා. ඒත් පසුව නැඟී සිංහල හා දෙමල ජාතිකවාදී රැල්ල ඉදිරියේ ඔවුන්ට පසුබසින්නට සිදු වුනා.

විජේවීර සහ බෝපගේ

බලය බෙදා හැරුනු පාලනයක් යටතේ පැවති ලංකාවට 1947 දී සෝල්බරි ව්‍යවස්ථාවෙන් බටහිර ව්‍යවස්ථාමය නිර්මිතයක් වුනු ඒකීය රාජ්‍ය රාමුව ආරෝපණය කලා. සුළුජන කොටස්වල ප්‍රජාතාන්ත්‍රවාදී අයිතීන් යටපත් කර දන්නට පසුව එය යොදා ගත්තා. 1948 ලංකා පුරවැසි පනතෙන් දශ ලක්‍ෂයකට ආසන්න දෙමල කම්කරුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමෙන් දෙමළ ජනයාගේ නීත්‍යානුකූල අයිතීන් අහිමි කර දැමීම පටන් ගත්තේ. 1949 පාර්ලිමේන්තු මැතිවරණ පනතෙන් ඔවුන්ගේ පුරවැසිභාවයත් ඡන්ද අයිතියත් අහිමි කර දැම්මා.

මෙසේ කරන්නට දේශපාලන හේතුවක් තිබුනා. 1930 කාලේ දෙමල වතු කම්කරුවෝ ගොනු වෙලා හිටියේ ලංකා සමසමාජ පක්ෂයේ වෘත්තීය සමිතිය තුල. සිංහල බහුතර ආණ්ඩුවක් දෙමල කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් පැහැර ගැනීම ගැන දෙමල ජනයා අතර බියක් තිබුනා. අසරණ හිටියා. පසුව වාර්ගික පදනමකින් පිහිටවූ වෘත්තීය සමිතිවලට ඔවුන් ගොනු කර ගත්තා. වමත් සමඟ ඔවුන්ගේ තිබුන සම්බන්ධතාවය බිඳ දැම්මේ ආකාරයට. දෙමල ජනයා බහුල ප්‍රදේශවල සිංහලයන් පදිංචි කරවන්නට පටන් ගත්තේ ඔය කාලයේ. මේ අන්දමට වාර්ගික දේශපාලනය ක්‍රමයෙන් ඉදිරියට එනවා.

නිදහස ලැබීමෙන් පසු කෘෂිකාර්මික නිෂ්පාදනවල මිල පහත වැටුනා. ජනගහනය වර්ධනය වුනා. ශුභසාධනය ප්‍රසාරනය වුනා. ජනතා අපේක්‍ෂාවන් සපුරන ආකාරයේ විසඳුම් ඉදිරිපත් කරන්නට හැකි නොවුන නිසා සමාජයෙන් ආණ්ඩුවට එරෙහිව ලොකු විරෝධයක් ආවා. ඒක වමට වාසිදායක වුනා. බණ්ඩාරනායක මහතා නායකත්ව ප්‍රශ්ණයක් උඩ එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටෙව්වේ මේ කාලේ. බලය දිනා ගන්නට සඟ වෙද ගුරු ගොවි කම්කරු බලවේගය ගොඩ නඟා සිංහල දුක් ගැනවිලි පමණක් විසඳන්නට ඔහු පොරොන්දු දුන්නා.

1956 සිංහල පමණක් පනත සම්මත කර ගැනීමෙන් පසුව රාජ්‍ය සේවයේ සිටි සිංහල නොදන්නා අයගේ උසස් වීම් අහිමි කරා. දෙමල නායකයෝ ගෝල්ෆේස් පිටියේ පැවැත්වූ සාමකාමී විරෝධයකට මැර පහර එල්ල කලා. දෙමල ජනයාට එරෙහිව ඇතිවූ පළමු ගැටුමේදී 150 දෙනෙක් පමන මිය ගියා. 1958 කෝලාහලවලින් 300ක් පමන, ඉන් වැඩි දෙනෙක් දෙමල ජාතිකයන්, නැති වුනා. මේ ප්‍රශ්නය විසඳන්නට 1958 අත්සන් කල බණ්ඩාරනායකචෙල්වනායගම් ගිවිසුම සිංහල අන්තවාදීන්ගේ බලපෑම් මත ඒකපාර්ශ්විකව ඉරා දැම්මා. මේ නිසා දෙමළ ජනයා ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලන්න පටන් ගත්තා. ‘සිංහල පමණක්පනතේ ව්‍යවස්ථානුකූල බව තහවුරු කර ගැනීමට ප්‍රිවි කවුන්සිලයට අභියාචන ඉදිරිපත් කිරීම සඳහා තිබුන අයිතිය 1962 දී අහෝසි කරා. සාධාරණත්වය රැකීමට තිබුනු ව්‍යවස්ථාදායක යාන්ත්‍රනයක් වුන සෙනෙට් සභාව 1971 දී අහෝසි කර දැම්මා.

ව්‍යවස්ථාවේ 29 වන වගන්තියෙන් සුළු ජාතීන්ට ලබා දී තිබූ ආරක්ෂාව 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කෙරුනා. අළුත් ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ගැන සඳහන් වුනත් භාෂාව හා ආගම ගැන වූ වගන්තිවලින් ඒවා උල්ලංඝනය කෙරුනා. කටකතා හා දේශපාලනය මත 1963 දීත් දමිල ජනයාට එරෙහිව හිංසනය යෙදුනා. ප්‍රශ්නය විසඳන්නට 1968 දී අත්සන් කල ඩඩ්ලිචෙල්වනායගම් ගිවිසුමත් සිංහල අන්තවාදීන්ගේ බලපෑම මත යලි ඉරා දැමීම නිසා දෙමල ජනයා කලකිරීමට පත් වුනා. බෙදුම්වාදී ව්‍යාපාරය ඇති වුනේ මේ නිසා. කන්කසන්තුරෙයි අතුරු මැතිවරණයෙන් ජය ගත් චෙල්වනායකම් මහතා 1975 දී වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටීම දෙමළ ජාතික අරගලයේ සන්ධිස්ථානයක්. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1976 දී සම්මත කල වඩුක්කෝට්ටෙයි යෝජනාවෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලීම ජාතික දේශපාලනයේ දැඩි වෙනසක් ඇති කලා.

දකුණේ විසූ දෙමල ජනයාට 1974, 1978, 1981 හා 1983 දී යලි යලිත් අමානුෂික වදහිංසා පැමිනෙව්වා. 1983 කළු ජූලිය ගැන විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. කොළඹින් ඇරඹුනු දෙමළ විරෝධී ප්‍රහාර පසුව අනෙක් ප්‍රදේශවලටත් ව්‍යාප්ත කෙරුනා. මෙම ක්‍රියාදාමයට රජය සම්බන්ධ හිටියා. ජූලි සංහාරයෙන් දහස් ගනනක් ඝාතනය කෙරුනා. ලක්ෂයකට අධික සංඛ්‍යාවකට උන් හිටි තැන් අහමි වුනා. දහස් ගනන් ගෙවල් වෙළඳසැල් ගිනිබත් කලා. මෙයින් මිලියන 300 හානියක් වූ බවට වාර්තා වුනා. බොහෝ දෙමළ ජනයා තමන් උපන් උතුරු නැගෙනහිර ප්‍රදේශයේ සරණාගතය‍න් බවට පත් වුනා. නිසා දෙමල ජනයා ඡන්දය වෙනුවට උන්ඩය තෝරා ගැනීම පුදුමයට කාරණයක් නොවෙයි.‍‍‍‍

දෙමල වෘත්තීකයන් බොහෝ දෙනෙක් විදේශ ගත වුනා. අතලොස්සකගෙන් සෑදී තිබුනු කොටි සංවිධානයට දහස් ගනනක් එකතු වුනා. දෙමල සටන්කාමීන් හා රජය අතර දිගුකාලීන යුද්ධය ආරම්භ වෙන්නේ කළු ජුලියෙන් පසුව. එතෙක් සමගිව සිටි විදේශගත ලාංකිකයන්ගේ සංවිධාන දෙමල හා සිංහල වශයෙන් වෙන්වන්නේ ඉන් පසුවයි. මුල් සංවිධානවල හිටි සමහරු දෙමල ජනයාට කළු ජූලියෙන් ඇති වූ හානිය ගැන කිසි ලෙසකින් සංවේදී නොවීමත්, ඇතැම් රාජ්‍ය තාන්ත්‍රික මැදහත්වීමුත් ඇතැමුන්ගේ දේශපාලන ගැති කමත් මීට බලපෑවා.

ඒකීය රාජ්‍යයකට පක්ෂ නොවෙන මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් පිටමං කරන්නට නීති සම්පාදනය කිරීමෙන් පසු පාර්ලිමේන්තුව තුල දෙමල නියෝජනය අහෝසි වුනා. මෙම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගැනීමෙන් පසු දෙමල ජනයා ඔවුන් දෙමළ සටන්කාමීන් වෙත වඩා සමීප වුනා. 80 දශකය අගදී එල්ටීටීඊය ප්‍රචන්ඩකාරිත්වය යොදවා ප්‍රධාන දෙමළ සටන්කාමී කණ්ඩායම බවට පත් වුනා. අනෙක් කණ්ඩායම් එක්කෝ එල්ටීටීඊයේ නැතහොත් රජයේ හමුදාවල උපාංග බවට පත් වුනා. දේශීය හා විදේශගත දෙමළ බොහෝ දෙනා එල්ටීටීඊයට පක්ෂපාතී වුනා. එල්ටීටීඊය දුර්වල කිරීමට යොදා ගත් ක්‍රියා මාර්ග අවසානයේදී එල්ටීටීඊය ශක්තිමත් කරන්නටයි ඉවහල් වුනේ.

සිවිල් යුද්ධයෙන් සාමාන්‍ය වැසියන් ඇතුළුව ලක්ෂ ගනනක්  ඝාතනය වුනා. ඇතැම් ගම්මාන මුළුමනින් අතුගා දැමුනා. ලක්ෂ ගනන් සරණාගතයන් බවට පත් වුනා. උතුරේත්, දකුණේත් දහස් ගනන් වැන්දඹුවෝ, අනාථ වූ දූදරුවෝ, දශ ලක්ෂ ගනන් කායික මානසික ආබාධයට පත් වූවෝ තවමත් නිහඬව දුක් විඳිනවා. 2009 සන්නද්ධ ගැටුම අවසානයේ මරා දැමුනු සංඛ්‍යාව ගැන තවමත් විවාද කෙරෙනවා. 1948න් පසු සම අයිතිවාසිකම් සඳහා, හැට ගනන්වලදීෆෙඩරල් ක්‍රමයක් සඳහා, හැත්තෑවේ දශකයේ වෙනම රාජ්‍යයක් සඳහා සටන් කළ දෙමල ජනයාගේ ඉල්ලීම් හා දුක් ගැනවිලි යට කර දැමීමට මේ සංහාරය කල නමුත් ඔවුන්ගේ දේශපාලන ඉල්ලීම් යටපත් කරන්නට රජය තවමත් අසමත් වී තිබෙනවා.

දෙමළ ජනයාට හා සටන්කාමීන්ට එරෙහිව රජයත්, රජයට හා දේශපාලන එදිරිවාදීන්ට එරෙහිව එල්ටීටීඊයත් දියත් කර තිබුනේ ම්ලේච්ඡ ප්‍රචන්ඩත්වයක්. රජය හා එල්ටීටීඊය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමත්, වැඩ වර්ජන හා සාමකාමී විරෝධතා මඩින්නට ප්‍රචන්ඩත්වය යොදා ගැනීමත්, ප්‍රචන්ඩ ලෙස ඝාතනයට ලක් කල ‍‍‍‍‍‍‍‍හා අතුරුදහන් කල රටවැසියන් ගැන නිසි පරීක්ෂණ නොපැවැත්වීමත්, සාධාරණ ඉල්ලීම් මැඩ ලන්නට නීතිය නැවූ ආකාරයත් ගැන පැහැදිලි කරන්නට කාලය ප්‍රමාණවක් නැහැ.

1971 අප්‍රේල් නැඟිටීමට හෙටට වසර පණහක්. හැත්තෑව දශකයේ පරිහානියට පත්ව තිබුන සමාජආර්ථික හා සංස්කෘතික තත්වය නිසා බැට කෑමට ලක් වුනු සහ ගැන දැනුවත්ව සිටි සරසවි හා පාසල් සිසුන් වගේම රැකියා විරහිත සිංහල බෞද්ධ තරුණ තරුණියන්ගෙනුයි, ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැඟී තිබුනේ. 1971 නැඟිටීම හා 1988-89 නැඟිටීම ගැන බොහෝ ලියැවී තිබෙන නිසා මෙහි කරුණු සඳහන් කරන්නේ කෙටියෙන්.

පත් කර ගන්නට 1970 දී අපම සහාය වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාග ආණ්ඩුවේ මුල් අයවැයෙන්ම පැහැදිලි වුනා යෞවනයන් අපේක්ෂා කළ සමාජ වෙනස්කම් කිසිවක් ආණ්ඩුව ඉටු නොකරන බව. නිසා අප අපේක්ෂා කල සමාජ වෙනස ඇති කරන්නට නිසා අප මැදහත් වුනා. 1971 අප්‍රේල් නැඟිටීම දක්වා උත්සන්න වී ගියේ මේ ක්‍රියාවලියයි. මෙහිදී කෙතරම් අඩුපාඩු හා වැරදි සිදු වූවත් අරගලයට මූලිකව බලපෑවේ එදා පැවති ජාත්‍යන්තර තත්වය හා මර්දනයේ ස්වභාවය බව කිව යුතුයි.

ලාංකේය සමාජය වැඩවසම් ශේෂයන් සහිත ධනේශ්වර සමාජයක්. 1948න් පස්සේ ඡන්දය දෙන වයස සීමාව අඩු කලා. ආචාර්ය සී ඩබ ඩබ් කන්නන්ගර මහතා හඳුන්වා දුන් නිදහස් අධ්‍යාපනයත්, මධ්‍ය මහා විද්‍යාල පද්ධතියත්, සිංහල රාජ්‍ය භාෂාව කිරීමත් හේතුවෙන් ගමේ තරුණ තරුණියන්ට ලබා ගත හැකි අධ්‍යාපන අවස්ථා පුළුල් වුනා. ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ පැලැන්තියට පමණක් සීමා කිරීම හේතුවෙන් තරුණ පරම්පරාවට පුද්ගලික අංශයේ රැකියාවලට අවශ්‍ය කල ඉංග්‍රීසි දැනුම ලබා ගන්නට නොහැකි වුනා. හැටේ දශකය අග කලා උපාධිධාරීන් පමණක් නොවෙයි, වෛද්‍ය උපාධිධාරීනුත් රැකියා වියුක්තියට මුහුණ දුන්නා. නොගැලපුන සුදුසුකම් හෝ අවශ්‍ය දේශපාලන සම්බන්ධතා නොමැතිවීම නිසා රැකියා ලබා ගැනීම දුෂ්කර වුනා. සුදුසුකම් තිබුනත් විදේශගත වන්නටත් ඉඩකඩ තිබුනේ නැහැ.

තරුණ පරම්පරාව බල කේන්‍ද්‍රවලින් ඈත් කොට තැබීමත්, ජාතික තීරණ ගැනීමේදී ඔවුන් සහභාගි කර නොගැනීමත් දකින්නට ලැබුනා. ඇතැම් උපාධිධාරීන්ගේ දෙමව්පියෝ සිය දූදරුවන් සරසවි යවා තිබුනේ තමන් සතු එකම ගේදොර පවා උකසට තබලා. රැකියා ඌනතාවය, ඉඩම් හිඟය, ජල හිඟය, භාෂාව අනුව වෙනස්කම් කිරීම, ජීවන වියදම වැනි ප්‍රශ්ණවලින් වැඩිහිටි පරම්පරාව පෙළුනත් ගතානුගතිකත්වය, ජාති, භාෂා, ආගම්, කුලමල භේද හා මිථ්‍යා වලින් ඔවුන්ගේ දැනුවත්බව මොට වී තිබුනා. නමුත් අපේ ගැටළුවලට විසඳුම් ලබා ගන්නට දැඩි උනන්දුවක්, හැඟීමක් හා ධෛර්යයක් අප සතුව තිබුනා.

1956 ක්‍රියාත්මක කල වැඩපිලිවෙලේ අනිවාර්ය ප්‍රථිඵලය වුනේ ගම්බද අති බහුතරයකට සිංහල, පාලි, සංස්කෘත හා කලා විෂයයන්ට සීමා වුන අධ්‍යාපනයක් ලබන්නටයි. එදා පැවති සියළුම විකල්ප වමේ කණ්ඩායම් පැවතුන ජාත්‍යන්තර හා ජාතික තත්වය මත සන්නද්ධ අරගල මාවත කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබුනා. හැට ගණන්වල අප්‍රිකාවේ, උතුරු, මධ්‍යම සහ දකුණු ඇමෙරිකාවේ, ආසියාවේ සහ යුරෝපයේ රටවල් 51 කම ඇමෙරිකන් ගැති ආඥාදායක ආණ්ඩු පිහිටුවා තිබුනු බව සඳහන් කල යුතුයි. මැදහත් වීමවල සමූලඝාතන ස්වභාවය පැහැදිලිව පෙනුනේ ඉන්දුනීසියාවේදී.

අප්‍රේල් නැගිටීම හේතුවෙන් ආරක්ෂක හමුදාවලින් 63 දෙනෙකු මරණයට පත්ව 305ක් තුවාල ලබා තිබුනා. සාමාන්‍ය වැසියන් 41 දෙනෙකු මියගිය බවත්, දේපල හානිය රුපියල් 21 ලක්ෂයක් පමණ වූ බවත්, පක්ෂයට සම්බන්ධ 5,400 ක් පමණ, සිවිල් වැසියන්ද ඇතුළුව ගතහොත් 10,000 සිට 12,000 කට පමණ ජීවිත පරිත්‍යාග කරන්නට සිදුවූ බවත් වාර්තා වුනා. අති බහුතරය මරා දමා තිබුනේ ගැටුම්වලදී නොවෙයි. අත්අඩංගුවට ගෙන වධ හිංසාවලට ලක් කිරීමෙන්. සොහොයුරියන් හැම කෙනෙක්ම පාහේ දූෂණය කොට වධවේදනා පමුණුවා තිබුනා. ජාත්‍යන්තර යුද නීති උල්ලංඝනය කිරීම සහ මනුෂ්‍යත්වයට එරෙහිව අපරාධ කිරීම පටන් ගන්නේ මේ කාලයේ.

1983 කළු ජූලිය ජනතා විමුක්ති පෙරමුණ විනාශ කර දැමීමට කල කුමන්ත්‍රනයේම කොටසක්. ජාතිවාදී කෝලාහල මගින් බලහත්කාරයෙන් බලය අල්ලන්නට කුමන්ත්‍රණය කළේයයි චෝදනා කොට කොමියුනිස්ට් පක්ෂයත්, නව සමසමාජ පක්ෂයත් ජනතා විමුක්ති පෙරමුණත් තහනම් කලා. මා ඇතුළු 21 දෙනෙක් කලක් රහස් පොලිසියේ රඳවා ගෙන හිටියා. රජයේ අභූත චෝදනාවලට සත්‍ය තොරතුරු මත පදනම්ව අභියෝග කල නිසාත්, චිත්‍රා සහෝදරිය ගොනු කල හෙබයාස් කොර්පුස් ආයාචනය නිසාත් රඳවා සිටි සියළු දෙනාම චෝදනා කිසිවක් නැතිව නිදහස් කරන්නට රජයට සිදු වුනා.

පක්ෂය තහනම් කරන්නට පෙරම රෝහණ විජේවීර සහෝදරයා ඇතුළු නායකයන් වැඩි දෙනෙක් රහසිගත දේශපාලනයට පිවිසුනා. රජය පෙරලීමේ කුමන්ත්‍රණයකට කෙසේ වෙතත්, අඩු තරමින් කළු ජූලියේ එකම සිද්ධියකටවත් අපේ කිසිදු සම්බන්ධතාවයක් තිබුනේ නැහැ. යටිබිම් ගත හා පසුව සන්නද්ධ දේශපාලනයේ නියැළුනු රෝහණ සහෝදරයා ඇතුළු නායකයින් සියළු දෙනාම පාහේ 1989 නොවැම්බර් අග වන විට ඝාතනය කරනවා. ගැටුමේදී පමණක් රජය විසින් හැට දහසක පමණ සංඛ්‍යාවක් ඝාතනය කර තිබෙනවා.

මුස්ලිම් ජනතාවට එරෙහිව වෙනස්කම් කිරීම පටන් ගත්තේ පසුගිය දශකයේදී බවයි මගේ මතකය. ඔවුන්ට, ඔවුන්ගේ නිවාස, වෙළඳසැල් හා පල්ලිවලට කල පහර දීම් හා හානි කිරීම් බහුලව සිදු වුනේ මෑතකදී. ඇතැම් මාධ්‍ය මගින් දැඩි මුස්ලිම් විරෝධයක් රට පුරා ඇති කොට තිබුනා. ඇතැම් ඉස්ලාමීය අන්තවාදීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බව පැහැදිලි නමුත්, ඔවුන් මෙහෙයවූයේ කවුදැයි තවමත් දන්නේ නැහැ. නීතිඥ හෙජාස් හිස්බුල්ලා වැනි අය ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ රඳවා ගෙන හිටියත් එය දේශපාලන පලි ගැනීමක් බව බොහෝ දෙනෙකුගේ විශ්වාසය යි.

විද්‍යාත්මක පදනමක් නොමැතිව, ප්‍රජාව සමඟද සාකච්ඡා නොකොට, කොවිඩ් යයි සැක කල රෝගීන්ගේ මල සිරුරු ආදාහනය කිරීමට නියෝග කිරීමෙන් මුස්ලිම් ජනතාව තුල දැඩි අප්‍රසාදයක් හට ගත්තා. බොහෝ දෙනෙක් මල සිරුරු ආදාහනය කිරීමේ ලියකියවිලිවලට අත්සන් නොකර විරෝධය පෑවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන් ඉදිරිපත් කල මූලික අයිතිවාසිකම් අයදුම්පත් සියල්ලම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කලා. සිවිල් සමාජය සලකන්නේ මෙය මුස්ලිම්වරුන්ට එරෙහිව වෙනස්කම් කිරීමක් ලෙසයි.

හා සමානවම, සන්නද්ධ ගැටුමෙන් වසර 11 කට පසු, ගැටුමේ අවසාන අවධියේ උතුරේ ජනතාවට දැනුණු වේදනාව දන්වන ස්මාරකයක් විනාශ කිරීමට අවශ්‍යතාවයක් තිබුනේ නැත. එවැනි ක්‍රියා දිගු කාලීනව සදහටම බලය රැක ගැනීම සඳහා වාර්ගික හානිය සහ ජාතිභේදවාදය යොදා ගැනීමේ උත්සාහයක් නියෝජනය කරයි. උතුරු හා නැගෙනහිර ජනයාට තම මළවුන් ගැන වැලපීමට අයිතියක් නැත්තේ ඇයි?

1948 සිට නන්දිකඩාල් දක්වා වු අපේ ඉතිහාසයේ ගැටුම්, කැරලි, සංහාර හා සිවිල් යුද්ධයක් සිදු වුනා.ජනතා අයිතීන් නිෂ්ප්‍රභා කිරීමෙන් සමාජයේ ‍‍‍‍නොසන්සුන්කම් ගැටුම් දක්වා වර්ධනය වෙනවා. ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකා මතුවන සියළු විරෝධතා මර්දනය කිරීමට යෑමෙන් වන්නේ අනාගත ගැටුම්වලට මඟ පාදා දීමයි. සාමය පවත්වා ගත හැක්කේ ජනයාගේ සමාජ, ආර්ථික හා සංස්කෘතික අයිතිවාසිකම් තහවුරු කිරීමෙන් පමණක් බව මෙයින් අපට පැහැදිලියි.  පුරවැසියන් ලෙස තම යුතුකම් ඉටු කරන්නට ඉඩ සැලසිය හැක්කේ ඔවුන් හා සාකච්ඡා කොට ගන්නා තීරණ අනුව ඔවුන්ගේ ගැටළු ආමන්ත්‍රනය කිරීමෙන් පමණයි.

ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ ආණ්ඩුවක වගකීම වන්නේ පුද්ගලයන්ගේ වාර්ගිකත්වය හෝ දේශපාලන සම්බන්ධතා නොසලකා සියළු ජන කොටස් වෙනුවෙන් රට පාලනය කිරීමයි. සිංහල, දෙමල, මුස්ලිම්, ආදි වාසීන් හා වෙනත් ජන වර්ගවලට අයත් ජනයා මුහුණ දෙන විශේෂිත ගැටළු හඳුනා ගෙන ඔවුන්ගේ මානව හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, ආරක්ෂාව හා නිරාපදාව රැකෙන අන්දමට කටයුතු කිරීම, ඉතිහාසයේ මෙතෙක් ඉගෙන නොගත් පාඩම්වලින් අප ඉගෙන ගත යුතු වැදගත්ම පාඩම බව මම සලකනවා.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.