18 June, 2026

Blog

1971 අප්‍රේල් නැගිටීමට අදට පනස් හතර වසරක්

ලයනල් බෝපගේ

ආචාර්ය ලයනල් බෝපගේ

1971 අප්‍රේල් නැඟිටීම දිග හැරුණේ සුවිශේෂී ඓතිහාසික සන්දර්භයක් තුළ. එම පසුබිම සමකාලීන ගෝලීය සහ ජාතික ගතිකත්වයන් සමඟ සසඳන විට සමානකම් වගේම බොහෝ වෙනස්කම්වලින් ද සමන්විත වුනා. ඒ කාලයේ අපේ දිගු කාලීන උත්සාහය වී තිබුනේ පක්ෂය ජනතාව වෙනුවට ආදේශ වී, ජනතාව වෙනුවෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීම යි.

හැත්තෑව දශකයේ පරිහානියට පත්ව තිබුන සමාජආර්ථික හා සංස්කෘතික තත්වය නිසා බැටකෑමට ලක්ව සිටි හා ඒ ගැන දැනුවත්ව සිටි සරසවි හා පාසල් සිසුන් වගේම රැකියා විරහිත සිංහල බෞද්ධ පරිසරයක හැදුණු වැඩුණු යෞවන පරම්පරාවෙනු යි, මුලින්මව්‍යාපාරයලෙස සහ පසුව ජනතා විමුක්ති පෙරමුණ ගොඩ නැඟුණේ. එදාත්, අදත් ලංකාව වැඩි වශයෙන් අර්ධ නිර්ධන හා පහළ මධ්‍යම පාන්තික සමාජ ස්තරවලින් සමන්විත කෘෂිකාර්මික සමාජයක්. එදා විරැකියාව, ඉඩම් හිඟය, ජල හිඟය, ජීවන වියදම සහ භාෂාව, වර්ගය හා කුලය අනුව වෙනස්කම් කිරීම හා එවැනි තවත් ගැට‍ළුවලට වැඩිහිටි පරම්පරාව මුහුණ දී සිටියත්, ඔවුන්ගේ ගතානුගතිකත්වය, ජාතිය, භාෂාව, ආගම, කුලමල හා වාර්ගිකත්වය, හා මිථ්‍යා විශ්වාස හේතුවෙන් ඔවුන්ගේ දුක්ඛිත තත්වයට හේතු වූ කාරණා ගැන ඔවුන්ට තිබුනේ මඳ අවබෝධයක්.

වැඩිහිටිපරම්පරාවේ අපේක්ෂාව වූයේ ඔවුන් වැඩි දියුණු කල සමාජආර්ථික හා සංස්කෘතික රාමුවේ සීමාවන්ට මායිම් වනවපරම්පරාව කටයුතු කරනු ඇති බව යි. සමාජයක් තුල වෙනස් වීම වඩාත්ම පිළි ගෙන ඊට අනුගත වන පරම්පරාව වන්නේ රටක තාරුණ්‍යය යි. ඒ නිසා ඔවුන් සමාජය වෙනස් කිරීමේ පුරෝගාමීන් බවට පත් වෙනවා. නිදහස් අධ්‍යාපනයත්, මධ්‍ය මහා විද්‍යාල පද්ධතියත්, සිංහල රාජ්‍ය භාෂාව කර තිබීමත් නිසා ග්‍රාමීය තරුණ තරුණියන්ට ලැබුන අධ්‍යාපන අවස්ථා පුළුල් වී තිබුනා. ඉංග්‍රීසි අධ්‍යාපනය ඉහළ සමාජ තලවලට පමණක් සීමා කිරීම හේතුවෙන් ඒ තලවලට අයත් නොවුන තරුණ පරම්පරාවන්ට පුද්ගලික අංශයේ රැකියාවල නිරත වන්නට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම අත් කර ගන්නට නොහැකි වුනා.

50 හා 60 දශකවල රටේ වේගවත් කාර්මික සංවර්ධනයක් තිබුණේ නැහැ. ගැළපෙන සුදුසුකම් හෝ අවශ්‍ය දේශපාලන සම්බන්ධකම් නොමැතිකම නිසා හැට ගණන්වල අග වන විට තිබුනු ආවෘත ආර්ථිකය තුල කලා උපාධිධාරීන්, වෛද්‍ය උපාධිධාරීන් ද ඇතුළුව රටේ යෞවනයන් බොහෝ දෙනා විරැකියාවෙන් පෙළුණා. තරුණ පරම්පරාව බල කේන්ද්‍රවලින් ඈත් කොට තැබීමත්, ජාතික තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඔවුන්ගේ අදහස් නොවිමසීම ත්, ඔවුන් සහභාගි කර නො ගැනීමත් කාලයේ අංග ලක්ෂණ වුනා. ඇතැම් උපාධිධාරීන්ගේ දෙමව්පියෝ සිය දූදරුවන් සරසවි යවා තිබුනේ තමන් සතු එකම ගේදොර පවා උකසට තබමින්.

ඒ කාලයේ පැවතුන ජාත්‍යන්තර සහ දේශීය සමාජආර්ථික හා දේශපාලන වාතාවරණය අප්‍රේල් නැඟිටීම අනිවාර්යයක් බවට පත් කරන්නට හේතු වුනා. නව යටත් විජිතවාදී පැවැත්ම තහවුරු කරන්නට සීඅයිඒ (CIA) සංවිධානය ලොව පුරා විවෘත ලෙසත් ආවෘත ලෙසත් මැදහත් වුනා. හැට ගණන් වන විට අප්‍රිකාවේ, උතුරු, මධ්‍ය හා දකුණු ඇමෙරිකාවේ, ආසියාවේ සහ යුරෝපයේ රටවල් 51 කම පාහේ ඇමෙරිකන් ගැති ආඥාදායක රජයයන් පිහිටුවා තිබුනා. කොංගෝවේ පළමු අගමැතිවරයා වූ පැට්‍රිස් ලුමුම්බාව 1961 දී අධිරාජ්‍යවාදී ගැත්තන් හා කුලී හමුදාවන් විසින් පැහැර ගෙන ගොස් වධහිංසා පමුණුවා, ඔහුගේ සිරුර පවා සල්ෆියුරික් අම්ලයේ දිය කර හැර තිබුනා. රෝහණ සහෝදරයා අධ්‍යාපනය ලැබුවේ පැට්‍රිස් ලුමුම්බා සමරන්නට සෝවියට් දේශය ස්ථාපිත කර තිබෙන පැට්‍රිස් ලුමුම්බා සරසවියේ.

අප වගේම ලොව පුරා සිටි, වඩා යහපත් ලෝකයක් අපේක්‍ෂා කළ තරුණ තරුණියෝ බොහෝ දෙනෙක් ඒ කාලයේ විශ්වාස කලා සමාජවාදී සමාජ විප්ලවයක් ආසන්න වන බව. ලක්ෂ සංඛ්‍යාත ජනයා වියට්නාම් යුද්ධයට විරුද්ධව පෙළ ගැසී සිටියා. එම යුද්ධයට එරෙහිව කෝටි ගණන් දෙනා විරෝධය පෑවා. කණගාටුවට මෙන් අද පලස්තීනය සම්බන්ධයෙන් එවැනි පෙල ගැසීමක් තවමත් දකින්නට නැහැ. ආසියාවේ කරන ලද මැදහත් වීම්වල සමූල ඝාතක ස්වරූපය වඩාත් පැහැදිලි වුනේ ඇමෙරිකානු මැදිහත් වීම සහිතව ඉන්දුනීසියාවේ මිලිටරිය විසින් ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂයේ ක‍්‍රියාකාරිකයන් දශ ලක්ෂයක් පමණ සංහාරයට ලක් කිරීමත් සමඟින්.

එකල පැවති එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවත්, එහි නායකයෙකු වූ ජේ ආර් ජයවර්ධන මහතාත් ලංකාව තුල නියෝජනය කලේ මේ ඇමෙරිකන් ගැති බව යි. වසර 20 කට මැතිවරණ සිතියම අකුලා දමා, ජාතිය, ආගම හා සමාජය බේරා ගන්නට සහ රටධර්මිෂ්ඨඑකක් බවට පත් කරන්නට අත්තනෝමතික රජයක් ඇති කරන්නටත් ඔවුන් බලය බලා පොරොත්තු ව සිටියා. එහෙත්, හැටේ හැත්තෑවේ දශකවල තාරුණ්‍යයේ දේශපාලන දැනුවත් බව තිබුනේ ඉහළ මට්ටමක. ඔවුන් තුල සමාජ අසාධාරණය හා පරිහානියට එරෙහිව කටයුතු කරන්නට ලොකු උනන්දුවකුත්, හැඟීමකුත්, ධෛර්යයකුත් තිබුණා.

මේ ව්‍යසනකාරී ජාත්‍යන්තර හා ජාතික තත්වය හමුවේ සියළු විකල්ප වාම කණ්ඩායම් දැඩි විශ්වාසයක් තබා තිබුනේ සමාජ පරිවර්තනයක් සඳහා සන්නද්ධ අරගලය තුලින් බලය අත්පත් කර ගත යුතු බව. ඒ සඳහා අනුගමනය කල යුතු උපායමාර්ගය සම්බන්ධයෙන් විවිධ මත පැවතුනා. ජනතා විමුක්ති පෙරමුණේ අදහස වුනේලංකා ලයින්නමින් හැඳින්වූ දේශීය මාදිලියක් අනුගමනය කළ යුතු බව යි. රුසියානු, චීන සහ කියුබානු විප්ලව මාදිලිත් සාකච්ඡාවට ලක් වුනා. එහෙත් සිදු වුනේ පීඩිත ජනතාවගේ විමුක්තිය අත් කර ගැනීම සඳහා ඔවුන් ගෙන යන අරගලවලට නායකත්වය දී ජනතාව මෙහෙයවනවා වෙනුවට ජනතා විමුක්ති පෙරමුණ ඒ වෙනුවෙන් ආදේශ වීම යි. එය භයානක උපාය මාර්ගික වැරැද්දක් බවට පත් වුනා. අප්‍රේල් නැගිටීම අසාර්ථක වීම සඳහා බලපෑ මූලික හේතුව වශයෙන් මා දකින්නේ එයයි.

1971 දී බ්‍රිතාන්‍යය ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට රහසිගතව මැදිහත් වුනු අන්දම 2013 දී අනාවරණය වුනා. එවකට බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරයා සඳහන් කළේ නාපාම් බෝම්බ යොදා ගැනීම වෙනුවට විකල්පයක් ලෙස බෙල් හෙලිකොප්ටර් සමඟ මැෂින් තුවක්කු ලංකා රජයට සැපයූ බවයි. බ්‍රිතාන්‍ය හමුදා, පොලිසිය සහ බුද්ධි අංශ නිලධාරීන් මෙම උපකරණ භාවිතා කරන අන්දම ගැන ලංකා බලධාරීන්ට රහසිගතව උපදෙස් දී තිබුනා. ලංකාවේ අභ්‍යන්තර කටයුතු සඳහා බ්‍රිතාන්‍යය කල රහසිගත මැදිහත් වීම පෙන්වන්නේ ශ්‍රී ලංකාව කෙරෙහි පැවති අඛණ්ඩ පශ්චාත් යටත් විජිත බලපෑම යි.

එකල පැවති සභාග රජයේ මර්දනකාරී වාතාවරණය හමුවේ එම ක්‍රියාවලිය බලාපොරොත්තු වූවාට කලින් පුපුරා ගිය බවක් කල්පනා කළ හැකි යි. නමුත් එය එසේම සිදු වූයේ යයි සැලකිය නොහැක්කේ පැරිස් කොමියුනයට වසර සියයක් සපිරෙන මොහොතේ ලංකාවේ සන්නද්ධ අරගලයක දියත් කිරීම ගැන, ගජබාවත් අවුරෝරාවක් වීම ගැන, රාජ්‍ය ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම පහර දීමට පෙර නිමිත්තක් වන බව පක්ෂ නායකත්වය තුල පැවති මත වාදය හේතුවෙනු යි.

සමාජ විප්ලවයේ දී, එනම්, සමාජ වෙනස සක්‍රීය බවට පත් කිරීමේදී වැඩ කරන ජනතාව, සමස්ත සමාජය ඒ සඳහා මෙහෙයවීම, සමාජය ඒ සඳහා සහභාගි කර ගැනීම සහ ඒ පිළිබඳව සමාජය දක්වන ප්‍රතිචාරය පිළිබඳව අපේ සටන් සමීකරණය තුල සැලකිල්ලට නොගැනීම බව කියන්නට පුළුවන්.

1971 අප්‍රේල් නැඟිටීම අනුස්මරණය කරන මේ මොහොතේ, එම අරගලයේ දී දිවි පිදූ, විවිධාකාරයේ කැප කිරීම් කළ සහෝදර සහෝදරියන් සියළු දෙනාගේ පොදු අරමුණ, ඔවුන් සියළු දෙනාගේ එකම පැතුම වූයේ අපේ ලෝකයේ, විශේෂයෙන්ම අපේ රටේ වාසය කරන හැම මිනිසෙකුට ම මිනිසෙක් ලෙස ගරුත්වයෙන් යුතුව, නිදහසේ ජීවත් විය හැකි සමාජ හා ආර්ථික සාධාරණත්වය රජයන සමාජ ක්‍රමයක් ගොඩ නැඟීම යි.

කවර අඩුපාඩු මැද්දේ වුවත්, මේ මොහොතේ ජාතික ජන බලවේග ආණ්ඩුවක් බලයට පත්ව තිබීම ගැන මා සතුටට පත් වෙනවා. එහෙත්, ඒ නැගිටීමේ දී පරම පරිත්‍යාගය කළ අය ද ඇතුළුව ඔවුන් මෙහෙයවූ සාමූහික අභිලාෂය හමුවේ, ජාතික ජන බලවේග ආණ්ඩුව ගෙන යන ඇතැම් අපැහැදිලි සහ අවුල් සහගත වැඩ කටයුතු හේතුවෙන් ඒ සතුට කොපමණ කලක් පවතී ද යන්න ඉදිරියේ තීරණය විය යුතුව තිබෙන කාරණයක්.

අප බොහෝ දෙනා අතර කවර ආකාරයේ අඩු ලූහුඬුකම් තිබුනත්, අප සියළු දෙනාගේම පොදු අරමුණ, එකම පැතුම විය යුත්තේ ජාති වාදීන්, ජාතික වාදීන්, ආගම් වාදීන් හෝ කුල වාදීන් නොවී සමාජ ප්‍රගමනය සදහා, සමාජආර්ථික හා දේශපාලන සාධාරණත්වය සදහා කවර තත්වයක් යටතේ වුවත් නොබියව කටයුතු කිරීම යි. එකිනෙකාගේ සමාජආර්ථික හා සංස්කෘතික පසුබිම කවරක් වුවත්, අප සියළු දෙනාගේ එකම අරමුණ විය යුත්තේ සමාජ හා ආර්ථික සාධාරණත්වය මත පදනම් වූ, හැම පුද්ගලයෙකුට ම අභිමානයෙන් යුතුව නිදහසේ වාසය කල හැකි සමාජයක් ගොඩ නැගීමට කටයුතු කිරීම යි.

මේ සඳහා අප සියළු දෙනාට අධිෂ්ඨානයත්, ශක්තියත්, ධෛර්යයත් ලැබේවා යයි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැම දෙනාටම ශුභ අනාගතයක් වේවා!

සහෝදරත්වයෙන්

ලයනල් බෝපගේ

මේ විමුක්ති ගී ප්‍රසංගයේ දී චිත්‍රා සොයුරිය ගැයූ ගීයක්
https://soundcloud.com/lionel-bopage-1/songs-of-liberation-you-are-the-red-flame

1980 දී රචනා කර, 1981 දී පට ගත කරන ලද ගීයක්
ගායනයචිත්‍රා බෝපගේ (මුදලිගේ)
ගී පදලයනල් බෝපගේ
සංගීත සංයුතියලයනල් බෝපගේ
සංගීතයසේන වීරසේකර

කිසිදා නො නිමෙනරතු ගිනි සිළුව නුඹ යි
මගේ දයාබර දූ පුතුනේ //
ආ ආ ආ  ආ ආ ආ
ආ ආ ආ …..

දුගී දනන්ගේ ලේ මුසු කඳුලැල්
ඔබේ සුරත් පියුමෙන් පිසිනා දා
සදහට නො බසින විමුක්තියේ හිරු
පෙරදිග අහසේ පායා එන දා
ලක් මව හිනැහෙනු ඇත පුතුනේ
ආ ආ ආ  ආ ආ ආ
ආ ආ ආ …..

නුඹේ රණ හඬින්පිබිදී ලෝ තල
රතු ධජ සෙවනේ සටන් වදින දා
සූරා කෑමෙන් අයුක්තියෙන් තොර
නිවහල් ලෝකය ගොඩ නැංවෙන දා
ලක් මව හිනැහෙනු ඇත පුතුනේ

කිසිදා නො නිමෙනරතු ගිනි සිළුව නුඹ යි
මගේ දයාබර දූ පුතුනේ /
ආ ආ ආ  ආ ආ ආ
ආ ආ ආ …..

Latest comments

  • 1
    0

    1971 කැරලි ඉන්දියානුකරණයට එරෙහිව සහ අපේ ජනතාවගේ පොදු යහපත සඳහා ඉන්දියානුවන් සමඟ වැඩ කිරීමට පමණක් විරුද්ධ වුවද, අද ඔහුගේ පක්ෂ නායකයා සම්පූර්ණ වෙනසක් කරමින් සිටින අතර ජනතා විමුක්ති පෙරමුණේ මාක්ස්වාදී දෘෂ්ටිවාදය වෙනුවට නව ලිබරල්වාදය සමඟ ඉදිරියට යාම මට ඩොලර් මිලියනයක ප්‍රශ්නයකි. . ශ්‍රී ලංකා කටයුතු පිළිබඳ දැනුමක් ඇති ඕනෑම අයෙකු ජාතික ජන බලවේගය ලෙස වෙස්වලාගත් ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් මෝඩයන් සමඟ එකඟ වන්නේ කෙසේද? තම රටේ අනෙකුත් පක්ෂවලට සහාය දක්වන ශ්‍රී ලාංකිකයන් ප්‍රශ්න කරනු ඇත, ජේවීපීකරුවන් එදා ඉන්දියාවට එරෙහිව එතරම් තරුණයින් මරා දමා පොදු දේපළ විනාශ කළේ කුමන අරමුණක් සඳහාද? මේ රටේ බලයට පත්වීමෙන් පසු ඔවුන්ගේ මූලික අදහස් වෙනස් කළහොත් ඔවුන් රටට විශ්වාසදායක බලවේගයක් ලෙස වගකිව යුත්තේ කෙසේද?

  • 0
    0

    මට මතකයි 80 ගණන් වල පේරාදෙණියේ සමහර විද්වත් ජනයා 71 කැරැල්ල දැක්කේ “කෑම දිරවීමේ අභ්‍යාසයක්” විදියට. ඒ කියන්නේ, විප්ලව කරන්ට තරම් වාතාවරණයක් එවකට තිබුනේ නැති බවයි. ඔබ කියනා කාරනාත් ඒ කැරැල්ලට හේතු වන්ට ඇති. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා. ඒ කියන්නේ බණඩාරනායක 56න් පස්සේ, පිරිවෙන් ටිකක් විශ්ව විද්‍යාල කරලා සිංහලෙන් උපාධි පිරිනමලා තොග ගණනේ උපාධිධාරීන් බිහි කරන කොට හිතුවේ නැද්ද මේ ව්‍යසනය?? රටේ ආර්ථිකය කුටුම්භ විදියට දුවපු කාලෙක, ඉතා මන්දගාමී ව්‍යාපාර සංස්කෘතියක් එක්ක, පාඩු ලබන රජයේ සංස්ථා රොත්තක් සමග දහස් ගණනින් උපාධිධාරීන් බිහි කිරීම තරුණ අසහනය හා විප්ලව වලට ඔක්සිජන් දීමක් කියලා ඔය ඔක්ස්ෆර්ඩ් ගිය අගමැති තුමා දැක්කේ නැද්ද?? එක්කෝ දැක්කේ නෑ, එහෙම නැත්නම් දැක්කේ නෑ වගේ අහක බලාන හිටියා චන්ද ටික මල්ලට පිරෙන කම්! උසස් අධ්‍යාපනය ජනගත කරන්ට අවශ්‍ය පසුබිම, ව්‍යාපාර, කර්මාන්ත හෝ රාජ්‍ය සේවය නිර්මාණය කරන්නේ නැතිව හුදු සටන් පාඨ ඔස්සේ රාජ්‍ය ප්‍රතිපත්ති ගොනු කිරීමේ ප්‍රතිපලය තමා උපාධිධාරී විරැකියාව, හා තරුණ අසහනය ලෙසින් පුපුරා ගියේ!!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.