Colombo Telegraph

රාජ්‍යය හමුවේ පුරවැසි කාර්ය කියා දෙන ඒ අමරණීය සුදු රෝස පත්‍රිකා

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

ජර්මනියේ නට්සිවාදය නැග එන බව කල් තියාම දුටු ඇතැම් අය ඒ ගැන අනතුරු ඇ`ගවූහ. ජාතිවාදී කියාපෑම් හටගන්නා විටම ඒවා ගැන ප‍්‍රශ්න ඇසීම කළ යුතු කාරියකි. ඒ ප‍්‍රශ්න කිරීම් නිසා කුපිත වන බාලයෝ නොයෙකුත් අවලාද කියති. එහෙත් අවශ්‍ය තැන ප‍්‍රශ්න නැගීම නැවැත්විය යුතු නැත.

ජර්මන් නට්සිවාදය නැග එමින් තිබූ අවස්ථාවේ ඒ ගැන නොබියව ප‍්‍රශ්න අසන්නට ඉදිරිපත් වූ කුඩා තරුණ කණ්ඩායමකි සුදු රෝස කණ්ඩායම. වයිට් රෝස් රෙසිස්ටන්ස් ගෲප් යනුවෙන් ඒ අය අමරණීය වූහ. නට්සින් විසින් යුදෙව් ජනයා කිසිදු හේතුවක් නැතිව මරාදැමෙන බව දුටු මේ කණ්ඩායම මේ අපරාධ ගැන විචාරවත්ව බලන්නැයි ජර්මන් ජනයාගෙන් ඉල්ලා සිටියහ. එය ඉතා සාමකාමී විරෝධතා දැක්වීමක් විය. මේ තරුණ ශිෂ්‍ය පිරිසකි. එක් ප‍්‍රකට මහාචාර්යවරයෙක්ද එහි උන්නේය. කුඩා කණ්ඩායමක් වුවත් මේ පිරිස ලෝක ශිෂ්‍ය සටන් ඉතිහාසයේ අමරණීය පිරිසකි. අදත් තරුණ දේශපාලනයේදී ආදර්ශයට ගත හැකි කණ්ඩායමකි.

මේ කණ්ඩායම හිට්ලර්ගේ ජාතිවාදයටද හිංසනයටද විරුද්ධව පත‍්‍රිකා මුද්‍රණය කර බෙදා හැරියහ. එකකින් පිටපත් 9000 ක් තරම් බෙදාහරින්නට ඔවුන්ට හැකි වුවද එය ජර්මනියේ විශාලත්වය හා සලකන කල ඉතා කුඩා ප‍්‍රමාණයකි. ඔවුන්ට මෙසේ බෙදා හරින්නට හැකි වූයේ පත‍්‍රිකා 6ක් පමණි. අත් අඩංගුවට පත් ඒ කණ්ඩායමේ නායකයෝ රාජ්‍යද්‍රෝහීවී යැයි මරා දමන ලදහ.

හැන්ස් ෂොල් සහ සොෆී ෂොල් ඒ කණ්ඩායමේ ක‍්‍රියා කළ අය්යා-නංගී දෙදෙනෙකි. ඔවුහු නට්සි පොලීසිය විසින් එකම දිනයක මරා දමන ලදහ. ඔවුන් දෙදෙනා මියුනිච් සරසවියේ පත‍්‍රිකා බෙදමින් සිටිද්දී පොලීසියට හසු වූහ.

ඔවුන්ගේ එක් පත්‍රිකාවක එන අදහසක් මෙසේය: ”යම් ශිෂ්ටසම්පන්න යැයිද ශිෂ්ටාචාරවත් යැයිද සැලකෙන ජාතියක් නින්දා සහගත අරමුණු හඹා යන පාලක කල්ලියක් අතට පත්වී ඇති විට ඊට විරුද්ධත්වය නොපාන්නේ නම් ඒ ජාතියේ ශිෂ්ටසම්පන්නභාවයෙන් සතපහක වැඩක් නැත.”

සුුදු රෝස කණ්ඩායම ලියූ පළමු පත්‍රිකාවේ මෙසේ එයි: නිදහස් කැමත්ත යනු මිනිසා අනික් සතුන්ගෙන් වෙන් කරන ගුණයක්ද මිනිසා විසින් රැුකිය යුතු ප‍්‍රතිපත්තියක්ද වේ. ඉතිහාසයේ රෝදය කැරකැවීමට මිනිසා සහභාගි විය යුත්තේ තම තර්ක ඥානය මෙහෙයවා සියල්ල සිතා බලමින් මිස පාලකයන්ගේ වචන දේව වාක්‍ය සේ ඇදහීමෙන් නොවේ. තමන්ගේ පුද්ගලභාවය පවා අත්හැර දමා චිත්තබලයක් නැති බියගුළු මිනිස් ?නක් බවට පරිවර්තනයවීමේ මාර්ගයට එළඹ ඇත් නම් ඒ ජනතාව නැති භංග වී යන එක හොඳය. හැමෙකාම අනෙකා පටන්ගන්නා තෙක් සිටින්නේ නම් සිදුවන්නේ ඒකාන්තභාවයේ මාර දූතයා අප වෙත ටික ටික ළංවීම පමණි. ඒ නිසා ඔබ කොතැන සිටියත් සාමකාමී විරෝධයක් පාන්න. තමන් කැමති පාලක පිරිසක් බලයේ රඳවන්නට සෑම පුරවැසියාටම අයිතියක් ඇති බව කිසි විටෙක අමතක නොකරන්න.

අද අපට මේ ප‍්‍රකාශය දැනෙන්නේ හුදෙක් නට්සින්ට විරුද්ධවීමට ලියූවක් සේ නොව සක‍්‍රීය පුරවැසිභාවය යනු කුමක්දැයි කාටත් මතක් කරදීමට ලියූවක් සේය.

සුදු රෝස කණ්ඩායමේ පළමු විරෝධතා පත‍්‍රිකාව අවසන් වූයේ ජර්මන් දාර්ශනික සහ කිවි ශිලර්ගේ කියමනකිනි. ඒ මෙසේය: රාජ්‍යය නම් ආයතනය වැදගත් වන්නේ මනුෂ්‍ය වර්ගයාගේ මහා අරමුණ සාධනය කළ හැකි ආයතනයක් සේ එයට ක‍්‍රියා කළ හැකි නම් පමණි. මේ මහා අරමුණ කුමක්ද? එය නම් මානව වර්ගයාගේ සකලවිධ බලය සංවර්ධනය කිරීමද එම බලයේ ප‍්‍රගතිය ඇති කිරීමද වේ. කිසියම් රාජ්‍යයක් මනුෂ්‍යා තුළ ඇති හැකියාවන් වර්ධනය කිරීමට බාධා කරයි නම් මනුෂ්‍ය චිත්ත ශක්තිය ප‍්‍රගතිය ලබද්දී ඊට මග අහුරයි නම් ඒ රාජ්‍ය කොතරම් හොඳින් සංවිධානය වී තිබුණත් එය නින්දා සහගත රාජ්‍යයකි. එවැනි රාජ්‍යයක චිර පැවැත්ම යනු දිගුකාලීන භීෂණයේ පදනම වන්නේය.

ශිලර්ගේ මෙම කියමනත් පත්‍රිකාවේ එන අනික් කරුණුත් වැදගත් කරුණක් අපට මතක් කර දෙයි. රාජ්‍යය යනු ප‍්‍රශ්න කරමින් පරීක්ෂා කළ යුතු ආයතනයකි. නියම රාජ්‍යය සියලූ මිනිසාගේ මිනිස් විභවතා පොහොණි කළ යුතුය. මිනිස් විඥානයේ හා විභවතාවල වර්ධනය පිළිගත යුතුය. එසේ පිළිගැනීම සඳහා ස්වයං-සංස්කරණයට ලක් විය යුතුය. ස්ත‍්‍රියද පුරුෂයාද සුළුජාතිකයාද යන්න වැදගත් නැත. ඒ සියලූ දෙනාගේ මිනිස් ශක්‍යතා වර්ධනය රාජ්‍යයේ කාර්යයි. ඒ කවුරුන් හෝ පීඩාවට හෙළන හෝ ඒ කාගේ හෝ ජීවත්වීමේ අයිතිය උල්ලංඝනය කරන රාජ්‍යයක් හිංසක ආයතනයකි.

සුදු රෝස කණ්ඩායමේ තුන් වෙනි පත්‍රිකාව මෙසේ කියයි: “පුද්ගලයාගේ නිදහස සේම සමස්තයේ යහපත රකින යුක්ති සහගත රාජ්‍යයකට හිමිකම් කියන්නට කවුරුත් කැමති වෙති.”

පුද්ගල නිදහසද සමස්තයේ යහපතද යනු කුමක්දැයි යන සාකච්ඡුාවේ ආධිපත්‍යය රාජ්‍යයට අයිති කර දිය යුතු නැත. ඒ සාකච්ඡුාවට සක‍්‍රීයව දායකවීම පුරවැසිකාර්යකි; පුරවැසි අයිතියකි. ජාතික රූපවාහිණියත් හඞ්සන්ගේ රේඩියෝවත් ලංකාවේ කරන්නේ පුරවැසියන්ට හතුරු ඒකපාර්ශවික ප‍්‍රචාරණයක් බව අපට පෙනිය යුතුය. තෝරාගත් මැති ඇමති පිරිසකට ඩෑශ් ගසන්නට උස්ස උස්සා බෝල අල්ලන නිවේදක නිවේදිකා පිරිසක් අපට සිටිති. ඒ ජනමාධ්‍ය වෘත්තියට පමණක් නොව පුරවැසිභාවයටවත් සුදුසු පිරිසක් නොවේ.

සුදු රෝස කණ්ඩායම අපේක්ෂා කළේ නට්සි ඒකාධිපතිවාදය නැග ඒම වැලැක්වීමේ හෘද සාක්ෂිය ඇති පුරවැසි පිරිසක් ජර්මනියේ ඉතිරිව ඇතැයි කියාය. ඒ නිසා නට්සින්ගේ පරාජයෙන් පසුව ඇති වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජර්මනිය ඔවුන් දැක්කේ මෙසේය: අදහස් පළ කිරීමේ නිදහස, ආගම් ඇදහීමේ නිදහස, ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල යෙදෙන අපරාධ කල්ලිවල හිතුවක්කාර ක‍්‍රියාවලින් පුරවැසියන් බේරා ගැනීම ආදිය අලූත් යුරෝපයක් සඳහා පදනම දැමීමක් වනු ඇත.

නීතිය අතට ගෙන දාමරිකකම් කරන ආගමික කල්ලිවලින් පුරවැසි නිදහස ආරක්ෂා කිරීම රාජ්‍යයේ කාර්යකි. එවැනි කල්ලි සමග හැංගිමුත්තං කෙලින එකා දෙය්යන්ගේ මල්ලි වුවත් ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පමණක් නොව ඒ ආගමික කල්ලි අයත් ආගමේ යහපත් ඉගැන්වීම්වලද හතුරෙකි.

සුදු රෝස කණ්ඩායමේ දීප්තිමත් ක‍්‍රියාකාරිකයන් වූ හෑන්ස් ෂොල් සහ සොෆී ෂෝල් දෙදෙනාගේ මරණය ගැන වසර තිහකට පසු යෙදෙන ඔවුන්ගේ සහෝදරිය ආවර්ජනයක යෙදුණාය: “ලොව කොතැනකත් පොදු මානව අවශ්‍යතා කිසියම් ජාතියකට පමණක් සීමා වූ අවශ්‍යතාවලට වඩා ඉහළින් ඔසවා තැබිය යුතු වෙයි.”

ඒ නිසා දිවි පිදූ සහෝදරයා හා සහෝදරිය අමරණීය වන බව ඈ කීවාය. 

ඔවුන් අමරණීයත්වයට පත් වී ඇත්තේ ඒ කුඩා කණ්ඩායම දේශද්‍රෝහීන් සේ සලකා මරා දැමූ හිංසකයන්් වුකලි නියම දේශද්‍රෝහීන් බව ජර්මනියම පවා පිළිගත් පසුබිමකය.

Back to Home page