22 September, 2020

Blog

ජනවාරි 8 වැනිදා ශිෂ්ටත්වය තෝරාගනිමු

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

රටේ ආර්ථික ස්ථාවරභාවය පිණිස ඡන්දය දෙන්නැයි මහින්ද රාජපක්ෂ මහතා කියයි. ඔහු තමන්ට තුන් වන වරටත් ඡන්දය ඉල්ලන්නට හැකි වන ලෙස 18 වැනි සංශෝධනය ගෙනාවේත් ආර්ථික සංවර්ධනය හා ස්ථාවරය නාමයෙනි. ඔහුගේ ගෝලබාලයෝද මේ ස්ථාවරභාවය පිළිබඳ කතාව පුනරුච්ඡුාරණය කරති. ඒ පුනරුච්ඡරණය කෙසේද යත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් යනු රටක ආර්ථික සංවර්ධනයේ සතුරෙකියි ඔවුහු නොකියා කියති. එක පුද්ගලයෙකු සහ පවුලක් අත රටේ දේශපාලන බලයද ආර්ථික මර්මස්ථානද කේන්ද්‍ර ගත කිරීම සාධාරණීකරණය කෙරෙන්නේ ආර්ථික සමෘද්ධියේ නාමයෙනි. මේ වුකලි ඉතා හානිදායක බලකාමයක් බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා හානිකර දෘෂ්ටිවාදයක් බවත් කිව යුතුය.

රටකට අවශ්‍ය වන්නේ ස්ථාවර ජාතික ආර්ථික ප‍්‍රතිපත්තියක් මිස දේශපාලන බලය එකම කෙනා අත කේන්ද්‍රගත වීම නොවේ. රටක ආර්ථිකය ඇතුළු අනෙකුත් දේ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්ති මාලාවක් කලින් කල පත්වන ඒ ඒ ආණ්ඩුවලින් ස්වාධීනව පවතින එක හොඳය. ඒ ඒ ජාතික ප‍්‍රතිපත්ති ආණ්ඩුවේ නායකයාගේ හඳහන වැනි ඉතා පෞද්ගලික කාරණා මත තීරණය වේ නම් එය භයානක තත්ත්වයකි. අද අපේ රටේ ඇත්තේ එවැනි තත්ත්වයකි. විධායක ජනාධිපතිවරයා සිය වශී බෝලය මිරික මිරිකා සිටින විට හිතට එන ඕනෑම සිතුවිල්ලක් ජාතික ප‍්‍රතිපත්තියකි. රාජකීය දෛවඥයා ජනාධිපති හඳහන බලා කියන ඕනෑම අනාවැකියක් ජාතික ප‍්‍රතිපත්ති හැඩගස්වයි. ජනාධිපතිවරයාගේ පුතුන්ගේ ඕනෑම ආසාවක් ජාතික ප‍්‍රතිපත්තියක් වීමේ අනතුර ඇත. විධායක ජනාධිපති ධූරය දරණ පුද්ගලයාගේ චරිත ස්වභාවය රටක ප‍්‍රතිපත්ති කෙරෙහි කෙතරම් නම් බලපාන්නේද යන්න මහින්ද රාජපක්ෂ මහතා මැනවින් පෙන්නා දී ඇත.

ප‍්‍රජාතාන්ති‍්‍රක නිදහස හා අයිතිවාසිකම් යනු ආර්ථික සමෘද්ධිය අවසානයේ ලැබිය යුතු දේවල්ය යන්න සංවර්ධන කතිකාව තුළ කලෙකට පෙර පැවති පරණ අදහසකි. ජේ ආර් ජයවර්ධන යනු ඒ කතිකාව ඉතා ප‍්‍රබල කාලයක පහළ වූ නායයෙකි. ඒ නිසා ඔහු සෑදූ ව්‍යවස්ථාවද ඒ කතිකාවේ ගොදුරක් විය. ඒ දශක හතරක් තරම් ඈත කාලයකය. නිදහසට පෙර සමෘද්ධිය යැයි කියා ආරම්භ කළ බොහෝ නායකයන් තම තම රටවල රැුගෙන ගියේ විනාශකාරී අවසානයන් කරාය. එවැනි ඇතැම් නායකයන් ඒකාධිපතියෝ බවටද පත් වූහ. අපේ රටේ ඒ ඒකාධිපති විභවතාව ඇති නායකයා තමා බව මහින්ද පෙන්වා දුන්නේ 18 වෙනි සංශෝධනය ගෙන ආ දාමය. 18 වැනි සංශෝධනයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධීභාවයට පැති දෙකක් ඇත. එකක් නම් තමාට නැවත වරක් බලයේ සිටීමට 3 වන ධුරකාලයක් ලබා ගැනීමය. අනික නම් 17 වැනි සංශෝධනයේ වූ සෑහෙන තරම් ප‍්‍රජාතාන්ත‍්‍රික අංග නොසලකා හැරීමය. අධිකරණය, පොලීසිය සහ රාජ්‍ය සේවය වෙත දැනට වැඩි ස්වාධීනතාවක් ලබාදෙන විධිවිධාන 17 වැනි සංශෝධනයේ තිබිණ. ඇතැම් අය දකින විදියට එය මෙතෙක් සිදු වී ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනවලින් වඩාම ප‍්‍රගතිශීලි එකය. මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජයග‍්‍රහණයෙන් පසුව ගෙන එන්නට පොරොන්දු වී ඇත්තේ අතිශයින්ම ප‍්‍රගතිශීලි ප‍්‍රතිසංස්කරණයකි. මේ මැතිවරණ ව්‍යාපාරය තුළත් ඉන් පසුවත් ඒ ප‍්‍රතිසංස්කරණය ඉදිරියට ගැනීමට ප‍්‍රගතිශීලි ජනයා මැදිහත් විය යුත්තේ එහෙයිනි.

Maithriඅවුරුදු 40කට පමණ පෙර ආර්ථික සංවර්ධනය ඉදිරියෙන්ගොස් ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතිවාසිකම් සහ නිදහස ඒ පසුපස එන බව විශ්වාස කළ බව ඇත්තකි. එය වැරදි අදහසක් නිසාය පරණ වූ අදහසක් බව නැවත කිය යුතුය. අද සංවර්ධන කතිකාව ඊට වඩා වෙනස් ස්වරූපයක් ගනී. ප‍්‍රජාතාන්ත‍්‍රික නිදහස හා අයිතිවාසිකම් යනු සංවර්ධනයේ කොටස් බව අද ලෝක බැංකුව වැනි බලවත් ආයතන පවා පිළිගනියි. ලෝක බැංකුව පවා මෙය පිළිගන්නට පටන්ගත්තේ ලෝකය පුරා ප‍්‍රගතිශීලි ජනතාව සහ බුද්ධිමතුන් කළ දිගු කාලීන අරගලයකට පසුවය.

නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විද්‍යාඥ අමර්තයා සෙන් සංවර්ධනය යන්න තුළ ප‍්‍රජාතාන්ත‍්‍රික නිදහස හා අයිතිවාසිකම් ඇතුළත් විය යුතු බව තර්ක කළ ලෝක පරිමාණ බුද්ධිමතෙකි. ඔහු කෘතීන් කිහිපයකින්ම මේ තර්කය සිත් කාවදින සේ ඉදිරිපත් කළේය. Development as Freedom යනු ඒ කෘතීන් අතර වැදගත්ම එකය. ඒ කෘතියේදී ඔහු වැදගත් තර්ක කිහිපයක්ම කළේය. එකක් යම් සමාජයක සංවර්ධනය නිසා ඇති වන ධනය එහි වසන මිනිසුන්ගේ නිදහස තීරණාත්මක ලෙස වර්ධනය කළ යුතු බවය. ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදිතය සංවර්ධනයේ මට්මට මනින ප‍්‍රධාන මිම්මක් වුවත් ඉන් මැනිය නොහැකි බොහෝ වැදගත් දේ සංවර්ධනයෙහි ඇතුළත් විය යුතුය. එය කළ හැක්කේ මිනිස් නිදහස ඉතා වැදගත් දෙයක් සේ සලකන සංවර්ධන සංකල්පයකිනි. සවුදි අරාබියේ ඒකපුද්ගල දළ ජාතික නිෂ්පාදිතය කෙතරම් උසස් වුවත් එහි ස්ත‍්‍රීන්ට ඇති තත්වයත්, ලෞකික නිදහසත්, ආගමික නිදහසත් සංවර්ධනයකියි කිව හැකිද? එසේම යම් පිරිසක් ජනවාර්ගික අනන්‍යතාව, කුලය, උපන් ප‍්‍රදේශය, ස්ත‍්‍රී-පුරුෂභාවය ආදිය නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් අහිමි වේ නම් ආර්ථික සමෘද්ධියේ සංවර්ධනය කොතරම් ඉහළ වුවත් පලක් වේද? ඒ නිසා මහාචාර්ය අමර්තයා සෙන් කිසිසේත්ම උල්ලංඝනය කළ නොහැකි නිදහස යනුවෙන් සිය කෘතියේදී විස්තර කරන්නේ සංවර්ධනයේ අත්‍යවශ්‍ය අන්තර්ගතයක් ලෙසින් ඒ නිදහස සලකමිනි.

දේශපාලන නිදහස සහ මූලික අයිතිවාසිකම් නොමැතිවීම ක්ෂණික ආර්ථික වර්ධනයකට හේතුවකියි කලෙක තර්ක කරනු ලැබිණ. ලී ක්වාන් යූ ප‍්‍රවාදය යැයි සාමාන්‍යයෙන් සැලකෙන්නේ එයයි. එය දැන් පැරණි අදහසකි. එමෙන්ම ඒකාධිපති ආකාරයේ දේශපාලන පද්ධතියක් පැවතීම ආර්ථික වර්ධනයට හේතුවක් නොවන බවට විවිධ රටවලින් සාක්ෂි ලැබී ඇති බව මහාචාර්ය අමර්තයා සෙන් පෙන්වා දෙයි. ජනතාව කෙරෙහි මිත‍්‍රශීලී වූ දේශපාලන ක‍්‍රමයක් පැවතීම ආර්ථික වර්ධනයට දිරි දෙන බවද යටකී අනුල්ලංඝනීය නිදහස ආරක්ෂා කිරීමට හේතු වන බවද ඔහු සාක්ෂි දක්වමින් තර්ක කරයි.

එපමණක් නොව තොරතුරු දැනගැනීමට, දේශපාලන ක‍්‍රියාවලියට සහභාගිවීම ජනතාවට අයිතිය ඇති රටවල දුර්භික්ෂ වැනිදේ ඇති නොවන බවට ඔහු පෙන්වා දෙයි.

එසේම තවත් වැදගත් කරුණක් මහාචාර්ය සෙන් සිහිපත් කරයි. දේශපාලන අයිතිවාසිකම් සහ මූලික අයිතිවාසිකම් යනු සංවර්ධනය අවසානයේ ලැබෙන දායාද නොවේ. සංවර්ධනය කරා යන මාවතද එකී අයිතිවාසිකම් මත පදනම් වූවක් විය යුතුය. ආර්ථික වර්ධන ක‍්‍රියාවලියට නිදහසේද තමන් කැමති පරිදිද සන්තෘප්තියෙන්ද සහභාගි විය හැකි පසුබිමක් ඇති විට ජනයා ඒ වෙත රොක් වන්නේ දැඩි විශ්වාසයෙනි. තමන්ගේ නායකයන් සංවර්ධනය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න ප‍්‍රශ්න කරන්නට ජනතාවට අවකාශ ඇති විට ඔවුහු ඒ සංවර්ධනයට වැඩි වැඩියෙන් දායක වෙති.

දැන් ලංකාවේ මතු වී ඇති පොදු අපේක්ෂාවේ ව්‍යාපාරය තුළ හුදෙක් ආර්ථික වර්ධනයක් පමණක් නොව මානව ජීවිතයෙහි අනික් වටිනාකම්වල පුෂ්ප සම්පත්තියෙන් ආඪ්‍ය කිරීම පිළිබඳ උනන්දුවක්ද ඇත. මහින්ද රාජපක්ෂගේ සංවර්ධනය යනු කුඩු, එතනෝල්, කැසීනෝ ආදිය පදනම් වූ සංවර්ධනයක් වීම පිළිබඳ විරෝධය බෞද්ධ මානවවාදීන් වෙතින්ද වාමාංශික නායකයන් වෙතින්ද මතු ව ඇත. බෞද්ධ මානවවාදය වෙනුවට රාජපක්ෂ කරන බෞද්ධ අනන්‍යතාවේ රැුවටිල්ල තෝරාගෙන සිටින නලින්ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි අය කුඩු බෞද්ධකමද එතනොල් බෞද්ධකමද ආරක්ෂා කරති. රතන හිමි, සෝභිත හිමි, චම්පික රණවක වැනි අය ඊට එරෙහිව සිටිති. තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, වාසුදේව වැනි මහත්තුරු කුඩු ධනවාදය ප‍්‍රගතිශීලි දෙයක් සේ තෝරාගෙන සිටිති. ජවිපෙද ඇතුළු අනික් වමද පැරණි වමේ සියලූ ප‍්‍රගතිශීලි කොටස්ද මේ කුඩු-එතනෝල්-කැසීනෝ ධනවාදය මානවවිරෝධී එකක් සේ දකිති. තනිවම ඡන්දෙ ඉල්ලන පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවා මෙහිදී තෝරාගෙන ඇත්තේ මනුෂ්‍ය ශිෂ්ටත්වයයි.

ඒ නිසා මේ ජනාධිපතිවරණය සංවර්ධනය පිළිබඳ අශිෂ්ට අදහසක් සහ ශිෂ්ට අදහසක් අතර සටනකි. ජනවාරි 8 වැනිදා ශිෂ්ටත්වය සහ ශිෂ්ටාචාරය දිනවීම අප කාගේත් වගකීමය.

Print Friendly, PDF & Email

Latest comments

  • 1
    0

    ආචාර්ය ලියනගේ අමරකීර්ති වයර් ෂෝට් කරගෙන අැත. නෙඑසේ නම් නලින්ද සිල්වා, ගුණදාස අමරසේකර වැනි අය කුඩු ආරක්ෂා කරතියි නොකියනු අැත. තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, වාසුදේව වැනි මහත්තුරු කුඩු ධනවාදය ප‍්‍රගතිශීලි දෙයක් සේ තෝරාගෙන සිටිතියි නොකියනු අැත. එ් කාටත් රජය කරන වැරදි පෙනෙන බව ඔවුන්ගේ කතා වලින් අපට නම් පැහැදිලිය. ඔවුන් කරන්නේ රජයේ සිටිමින් රජයේ වැරදි වලට නැගී සටීමය. මෑතක් වන තුරුම රතන හිමි සහ චම්පික තමන්ගේ දේශපාලණය කලමනාකරණය කර ගත්තේ කලින් සඳහන් කල අය කලසේම බව අපට නම් පැහැදිලිය. දේශපාලන තීරණයක් මත මිස පුද්ගල කරුණු මත තමන් පත්වූනු පක්‍ෂය හැරයන මංත්‍රිලා කරන්නේ මුග්ධ ක්‍රියාවකි.

    කැසීනෝවලට සහ කුඩුවලට කැමත්තේ එ්වායින් ලාබ ලබන්නවුන් හෝ එ්වාට අැබ්බැහිවූවන් පමනි. ලංකාවේ බහුතරය එවැන්නන් නොවේ. මේ ලියන මම කුඩු නම් දැක නැත. කැසීනෝ රඟේ නම් හොඳින් දැක අැත. එනිසාම එම නැස්පැත්තියට විරුද්ධව ලිපි කිහිපයක් සහ කොමෙන්ට් ගනනාවක්ද ලියා අැත්තෙමි. රතනලාත් රජයේ බොහෝ මංත්‍රිලාත් එ්වාට විරුද්ධ විය. එනිසාම එම උත්සාහයන් හකුලාගන්නට රජයට සිදුවිය. නමුත් රතනලා රඡයෙන් අයින් උනේ කැසීනෝ හෝ කුඩු නිසා හෝ එතනොල් නිසා නොවන බව කිවයුතුය.

    මා එසේ කියන්නේ සෝභිත හිමි කෙසේ වෙතත් රණවකව විදුලිබල අැමතිකමෙන් අයින් කරන තෙක්ම රතන හිමි සහ චම්පික රණවක රජයෙන් ලාබ ප්‍රයෝජන ලබා ගෙන අැත් නිසාය. උදාහරණයක් වශයෙන් ලක්‍ෂ 3000 ක වියදමෙන් රජයේ ඉඩමක හමුදා ශක්තියෙන් රතන හාමුදුරුවන්ට සදහම් සෙවන හැදූ බව ඝෝඨාභය කියයි. අැත්තටම රතනයි සහ චම්පිකයි රජයෙන් අයින් වෙන්න වැඩ පටන්ගත්තේ විදුලිබල අැමතිකමෙන් රණවකව අයින් කල දා සිට බව දැන් පැහැදිලිය.

    හරිහෝවේවා වැරදිහෝවේවා අැමතියෙක් අයින් කිරීම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට පැවරෙන බලතලය. ජනාධිපත් තීරණයට අකමැති නම් හෙල උරුමයට තිබුනෙ නම්බුකාර විදියට රජයෙන් අයින් වෙලා, අාචාර්ය්‍යතුමා පුන පුනා කියන රජයේ වැරැදි මහජනතාවට පෙන්වා සාධාරනත්වයේ නාමයෙන් සටන පටන් ගන්නයි. නමුත් රතනලා කලේ එ්ක නොවෙයි. රතන හාමුදුරුවෝම කියන විදයට මෙෙත්‍රි පොදු අපේක්‍ෂක කොරන මොලකරුවා ඔහුය. එසේ නම් දැන් කාලයක ඉඳල රතනලා කොරල තියෙන්නෙ මහින්දගෙ අඟේ ඉදන් කන කාපු එකයි. බෞද්ධ භික්ෂුවකට සහ හෙල උරුමය වැනි පක්‍ෂයකට එවැනි යටිකූට්ටු ක්‍රියා නොගැලපෙන බව චම්පිකට මනාපයක් ගැසූ මගේ අදහසයි.

    ජනවාරි 8 වැනිදා ශිෂ්ටත්වය තෝරාගනිමු කියල අාචාර්ය්‍ය තුමා කියනව. මෙෙත්‍රිගෙ සහෝදර ඩඩ්ලිට ධම්මිකගෙ කැසිනෝ එකකින් කැසිනෝ රජා පට්ටමක් දීල කාර් එකකුත් තෑග්ගට දුන්න කියල වෙබ් අඩවි වල ඵල උනා. මෙෙත්‍රි අදවන තෙක් කිව්වෙ නැහැ එ්වා බොරු කියල. අනෙක අපි දැක්ක ඩඩ්ලි කියනව ‘අපි දොලොස් දෙනෙක් ඉන්නව මලත් අය්යව රජ කරවනව’ කියපු සහෝදරය. ඉතින් අපට හිතාගන්න පුලුවන් මේ අාචාර්ය්‍ය තුමාල ශිෂ්ටත්වය කියල තෝරාගත්ත මිනිහ ජනාධිපති උනොත් එදා ඉඳන් රට යන මග.

  • 1
    0

    අමරකීර්ති හරි වැරදි කිරා බැලීමක් කරන්නෙ නැහැ. එයා කරන්නෙ වෙෙරය පන පොව පොව තප්පුලන එකයි.

  • 0
    0

    කුලියට ලියන එන්ජීඔි කාරයින් සහ උගත්තු කියන්නන් කාලයක් කීවෙ ශ්‍රි ලංකාව failed state එකක් යයිද එනිසා ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ගෙන එ්මට සුද්දන්ගේ R2P අවශය බවය. නමුත් අද එ් අය එවැනි කතා කියන බවක් අපට නෑසේ. එකක් කිව යුතුය. වැඩ බැරි ටාසන් හෙවත් කෙටුම්පත් කල අත්‍යාවශ්‍ය පනතක් තමාගේ කොම්පියුටර දත්තවල තබා ගන්න බැරි තෙරේසා නම් ගැහැනියක් විසින් පනත හොරකම් කලා යයි අඬන සහ සම්මතවූ පනතකට අනුව සිගරට් පැකැට්ටුවේ තමන්ට අවශ්‍ය ප්‍රමාණයේ රූපයක් ගස්සවන්න බැරිඋන 3න්2කේ බලය සහිත රජයක ප්‍රධාන පක්‍ෂයේ ලේඛම් අැමතිවූ සිරිසේන ජනාධිපති උනොත් ශ්‍රි ලංකාවට අනිවාර්යයෙන්ම වෙන්නේ අපහු failed state එකක් වී එය හරි ගස්සවා ගැනීමට බටහිරයන්ගේ R2P ගිල ඉරාකයක් හෝ ලිබියාවක් වෙන්නය. ඊර්ෂියාව, වෙෙරය, ක්‍රෝධය නොමැතිව චන්ද දාකයාට නුවන පහල වේවා!

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.