2 October, 2020

Blog

පාසැල් අධ්‍යාපනය ගැන අසුන්දර සත්‍යයක් හෙවත් කරුණාතිලක හඳුන්පතිරණගේ අගනා රචනා

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

ප්‍රවීන ලේඛකයෙකු වන කරුණාතිලක හඳුන්පතිරණ මහතා ලංකාවේ අධ්‍යාපනය ගැන උනන්දු කාගේත් අවධානයට ලක් විය යුතු පොතක් ලියා ඇත. දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කිරීමට ආණ්ඩුව පියවරගෙන ඇති මේ මොහොතේ මෙවැනි පොතක අගය තවත් වැඩිවේ. නිදහස් අධ්‍යාපනය යනු නූතන ලංකා ඉතිහාසයේ දැකිය හැකි වැදගත්ම සමාජ සමානකරන යාන්ත්‍රණයයි. අධ්‍යාපනයේ පැතිරීම නිසා මෙරට පීඩිත ජනතාවන්ට පීඩිත ජීවන කොන්දේසිවලින් මිදෙන්නට අවස්ථාව ලැබිණ. එය මේ ජීවිතයේ පින් රැස් කරගෙන මතුභවයක ලබන විමුක්තියක් නොවේ. මෙලොවදී ලබන සාපේක්ෂ නිදහසකි. නිදහස් අධ්‍යාපනය හැරුණු විට මේ අවස්ථාව ජනතාවට උදා කරදුන් අන් නූතන යාන්ත්‍රණයක් මට නම් නොපෙනේ. නිදහස් අධ්‍යාපනය නිසා මෙරට ස්ත්‍රීන්ට ලැබුණ ජීවන අවස්ථාද සුළුපටු නොවේ. තමන්ගේ පවුලට කුලයෙන් හෝ සම්ප්‍රදායෙන් උරුම වූ ජීවන අවකාශය ඉක්මා යමට අවස්ථාවක් නැති බොහෝ ග්‍රාමීය පීඩිතයන්ට නිදහස් අධ්‍යාපනය නිසා සමාජයේ වෙනත් අවකාශ සහ ස්ථර වෙත ගමන් කරන්නට ඉඩ ලැබිණ. මේ සමාජ චල්‍යතාවේ විවිධ ගැටලු තිබිය හැකිය. එහෙත් ඒවා ගැන සාකච්ඡා කළ යුත්තේ ඒ චල්‍යතාව ඇති කළ ප්‍රධාන යාන්ත්‍රණය ආරක්ෂා කරමිනි.

නිදහස් අධ්‍යාපනය නිසා මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට පවත්වා ගැනීමට කාරකයන් පිරිසක් ලැබුණේය. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය සහ නිදහස් අධ්‍යාපනය එකිනෙකින් පෝෂණය විය. අදහස් ප්‍රකාශ කිරීම සහ සමාජයේ අධිපතින්ගේ දෘෂ්ටිවාදයන්ට එරෙහි ප්‍රතිදෘෂ්ටිවාදයන් නිර්මාණය කර පැතිරවීමේදීද අධ්‍යාපනය ඉතා ප්‍රයෝජනවත් විය. පැරණි රජ කාලේ නම් රජ කෙනෙකු කොතරම් පීඩකයෙකු වුවත් ඔහු බලයෙන් පහ කිරීමට එක්කෝ මරාදැමිය යුතුය නැත්නම් මියයනතුරු බලා සිටිය යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය නිසා මහජන ඡන්දයෙන් තමන් රජුන් යැයි සිතා සිටින අය පවා බලයෙන් පහකිරීමට හැකි බව අපි මෑතකදී දුටිමු. සෑහෙන තරම් අධ්‍යාපනයක් ලැබූ ජනපිරිසක් මෙරට වාසය කිරීම පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදයට මහත් ශක්තියක් විය. සැලකිය යුතු ඉහළ අධ්‍යාපනයක් ලැබූ ජනයාගෙන් බහුතරය එකල රජයේ මාධ්‍ය මැතිවරණ නීතිද කඩමින් උදේ හවා කළ ප්‍රචාරයට හසු නොවීය. ඔවුන් රාජ්‍ය යාන්ත්‍රණය විසින් පතුරුවා හරින ලද දෘෂ්ටිවාදයන්ට විකල්ප වශයෙන් ඉදිරිපත් වූ අදහස්වලට සවන්දී ඒවාගෙන් සෑහෙන කොටසක් පිළිගැනීමෙහි යොමු වීමට හේතු වූයේ ඔවුන්ගේ අධ්‍යාපන පසුබිමයි. ඒ මැතිවරණයේදී බොහෝ පලාත්වල ඇවිද්ද මට මේ කාරණය අත්දැකීමෙන්ම වටහා ගන්නට හැකි විය. දළජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන් කිරීම සම්බන්ධයෙන් ඇතැම් අය විරුද්ධ වූයේ ඔවුන්ට අවශ්‍ය තමන්ගේ දෘෂ්ටිවාදවලට හීලෑවන සුවච කීකරු ජනතාවක් නිසාය. යම් තරමක් හෝ අධ්‍යාපනයක් ලද අය විජාතිකයන් හෝ අනුකාරකයන් යැයි බක බක ගාන බකපඩියෝද සිටිති. අධ්‍යාපනය පිළිබඳ නූතන ලෝක කතිකාවත් එහි ලාංකේය ප්‍රකාශනය වන අපේ පාසැල් පද්ධතිය සහ නිදහස් අධ්‍යාපනයත් නොවන්නට අද නිදහස් අධ්‍යාපනයටද හතුරු බකපඩි සිල්වලාට සිදුවන්නේ දකුණු වෙරළට ටිකක් ඔබ්බෙන් මුහුදේ සිට වූ රිටක නැග මසෙකු මරන්නටය;නැතිනම් වෙරළ ඉමේ පොල් ගසක නැග මලක් තලන්නටය. අධ්‍යාපනයේ පිහිට නොවන්නට අර පාරම්පරික කුලසිරිත්වලින් ගැලවීම ලෙහෙසි නැති බැවිනි.

පාසැල් පද්ධතිය ගැන ආත්ම පරීක්ෂාවක්

මේ සියලු ප්‍රතිගාමීන් පරාජය කොට නිදහස් අධ්‍යාපන පද්ධතිය ආරක්ෂා කිරීමත් මිනිස් ශිෂ්ටාචාරයේ යහපතට අධ්‍යාපනයේ වැදගත්කම අවධාරණය කිරීමත් දේශපාලන භේදයෙන් තොරව කළ යුතු කාර්යකි. මේ කාරණයේදී අප කළ යුතු දෙයක් නම් අපේ පාසැල් පද්ධතිය පිළිබ‍ඳ නිර්දය ආත්මපරීක්ෂාවක යෙදීමයි. එහිදී අධ්‍යාපනයේ ශිෂ්ටාචාරමය අරමුණ කුමක්ද යන්න ගැන සාකච්ඡාවක් තිබිය යුතුය. අපේ අධ්‍යාපනයේ නියම අරමුණ විය යුත්තේ සෑම දරුවෙකුටම තමන් වසන සමාජයේ පොදු යහපත වෙනුවෙන් විචාරශීලීව සහ ප්‍රතිපත්ති ගරුකව සහභාගී වෙමින් තමන්ගේ මව් සංස්කෘතිය ආරක්ෂා කරමින්ද එය විචාරශීලීව පරීක්ෂා කොට සංස්කරණය කරමින්ද අන්‍ය සංස්කෘතීන් කෙරෙහි ගෞරවයෙන් ජීවත්වෙමින්ද අනෙක් මිනිසාගේ ජීවිත්වීමේ සහ අභිමානයේ අයිතිය ආරක්ෂා කරමින්ද තමන්ගේ සංස්කෘතිය සහ රට ගැන අභිමානයෙන් යුතු වුවත් තමාද ලෝක පුරවැසියෙකු සේ පරිකල්පනය කරමින් සුසංවාදී ලෙස අන්තවාදයන්ගෙන් තොරව මැදහත් සිතින් ජීවත්වීමට අවශ්‍ය වෘත්තීය, බුද්ධිමය හා භාවමය ශක්‍යතා වෙත මගකීම යැයි සැකෙවින් කියන්නට පුළුවන. අපේ පාසැල් පද්ධතියෙන් මේ පරමාදර්ශී අධ්‍යාපන අරමුණ ඉටුවේදැයි සලකා බැලිය යුතුය. දැනට බැලූ බැල්මට නම් පෙනෙන්නේ අපේ අධ්‍යාපනයේ පරම අරමුණ කෙසේ හෝ විශාල ධනයක් ඉපයිය හැකි වෛද්‍යවරයෙකු බිහි කිරීම යැයි බොහෝ දෙනෙකු සලකන බවය. මේ ඉතා පටුවූද දාර්ශනික වශයෙන් දුප්පත් වූද අරමුණකි. ඒ නිසා අනික් සියලු පුරවැසියන් විසින් තමන්ම දකිනු ලබන්නේ වෛද්‍ය වෘත්තිය වෙත ළං විය නොහැකිව අතරමං වූ පිරිසක් ලෙස වෙනත් වෘත්තියක යෙදෙන අය ලෙසටය. මෙසේ උසස් පෙළ විභාගයෙන්ම ආත්මාභිමානය භංග වූ විශාල පිරිසක් සමාජයෙන් හමුවන බව ඇත්තය. එසේ නොවන බොහෝ දෙනා පවතින අධ්‍යාපන පද්ධතියේ නිල දෘෂ්ටියට එරෙහිව කැරලි ගැසූ අය බවද පෙනී යන අවස්ථා ඇත.

අපේ අධ්‍යාපනයේ අන්තර්ගතය සහ අධ්‍යාපන දර්ශනය පරීක්ෂාවට අමතරව පාසැල් පද්ධතිය දැන් පවතින ආකාරය පිළිබඳ නියම ආත්මපරීක්ෂාවක් කිරීම අවශ්‍ය වේ. මේ අත්‍යවශ්‍ය ආත්මපරීක්ෂාව පිණිස ඉතා ඵලදායක වන කෘතියක් කුලියාපිටියේ සිට අගනා සාහිත්‍ය සේවයක් කරන කරුණාතිලක හඳුන්පතිරණ මහතා ලියා ඇත. ඒ මහතාට හුරුපුරුදු රසවත් ගද්‍යෙයන් ලියා ඇති මේ කෘතිය සියලු පාසැල් ගුරුවරුන්ගේ අවධානයට ලක් වුව මනාය. ඒ කෘතිය සත්‍යය සුන්දරද? නම් වේ. මේ නම් අපූරු පොතකි.

පාසැල පිළිබඳ රොමෑන්තික උත්කර්ෂණය

අපේ පාසැල යනු අප විසින් නිතර උත්කර්ෂයට නංවනු ලබන අඩවියකි. අප සෑම දෙනෙකුටම පාසැලේ ගත කළ කාලය පිළිබඳ මිහිරි මතක ඇති නිසා අපි ඒ මතක විශාලනය කොට සමස්ත පාසැල් ජීවිතය වෙතටම ප්‍රක්ෂේපණය කරමු. ඒනිසා ඒ ප්‍රක්ෂේපණයේ හෙවනැල්ල යට විචාරයට ලක් විය යුතු බොහෝ දේ වැසී යයි. මව් බිම යන්නට පසුව එක්තරා අනුරාගයකින් යුතුව විස්තර කරන ස්ථානයක් වන්නේ පාසැලයි. මව්බිම උත්කර්ෂයට නැංවීම සමග එක්තරා අතීත කාමයක්ද සම්බන්ධ වන සේම පාසැල නම් අඩවිය අවිචාරාත්මක වර්ණනා කිරීම තුළද එක්තරා අතීතකාමයක් ඇත. මව්බිම වෙනුවෙන් ජාතික ගීයක් ඇති සේම පාසැල වෙනුවෙන් පාසැල් ගීයක්ද ඇත. ජාතික කොඩිය අසළින්ම පාසැල් කොඩිය ඔසවන අපි සෘජු වූ කයින් සිට ජාතික ගීය සහ පාසැල් ගීය ගයමින් මව්බිම සහ විදුබිම එක සමාන පූජණීය වස්තු සේ සලකමු. ඒ නිසා ඉතා අබල දුබල පාසැල්වලට පවා ඇත්තේ ඒ පාසැලට තබා සමස්ත රටටවත් දරාගත නොහැකි තරම් අතිශයෝක්ති සහගත අපේක්ෂාය. ඒවා උත්තම අපේක්ෂා විය හැකිය. ඒවා “ලෝකයම ජයගැනීම” වැනි මහේක්ෂ අපේක්ෂාය. තමන්ගේ දුප්පත් පාසැලෙන් ලෝකය ජයගත හැකි යැයි සිතීම ඇත්තටම පවතින යථාර්ථයකට වඩා පාසැල පත්විය යුතු තත්වය පිළිබඳ පරමාදර්ශී අපේක්ෂාවකි. අපේ පාසැල පිළිබඳ ඒ උත්කර්ෂණය නිසා යථාර්ථය සහ පරමාදර්ශී ෆැන්ටසිය අතර විශාල පරතරය අපට අමතක වෙයි. මෙය සීමාන්තික දේශප්‍රේමය විසින් ජනයා ඇද දමන බුද්ධිමය නිද්‍රාවට සමාන තත්වයකි.

හඳුන්පතිරණ මහතා මේ නිද්‍රාව බිඳියි. එය නම් අත්‍යවශ්‍ය ඇහැරවීමකි. පාසැල යනු අපට ඉතා වැදගත් වන ආයතනයකි. නිදහස් අධ්‍යාපනය නම් වැදගත් ශිෂ්ටාචාරමය ප්‍රදානය ජනතාව අතර විසරණය කරන ප්‍රධාන ආයතනය පාසැලයි. නිදහස් අධ්‍යාපනය යනු නූතන ශ්‍රී ලංකාවේ වඩාත්ම බලපෑම් සහගත ශිෂ්ටාචාරමය ප්‍රදානයක් බව නොකියා බැරිය. කවර අඩුපාඩු තිබුණත් ඒ වූකලි පසුගිය වසර හැට හැත්තෑවක කාලය පුරා ලංකාවේ පැවති ප්‍රධානතම සමාජ සමානකරණ යාන්ත්‍රණයද වේ. කවර පවුල් පසුබිමක උපන් කෙනෙකු වුවත් නොමිලේ ලබාදෙන අධ්‍යාපනයට උරුමකම්කීම ලෝකය පුරා පවතින වැදගත් මානවහිමිකමකි. එය සෑම රටකම එකම ආකාරයෙන් නොපැවතියත් එය අයිතියක් යැයි නොපිළිගන්නා රටක් නැත. නොමිලේ ලබාදෙන අධ්‍යාපනය යන්නට අමතරව නිදහස් අධ්‍යාපනය යන්නට තවත් අර්ථ තිබිය යුතුය. නිදහස් අධ්‍යාපනය වූකලි නිදහස සාධනය කරන අධ්‍යාපනයද විය යුතුය. කෙනෙකු අධ්‍යාපනය ලබා රැකියාවක් ලබාගත් විට එක්තරා ආර්ථික නිදහසක්ද ලබයි. එයද වැදගත් නිදහසකි. එසේම පවතින සංස්කෘතික සහ දෘෂ්ටිවාදී යදම්වලින් නිදහස් කරන මානසික සහ භාවමය නිදහස ඇති කිරීමද අධ්‍යාපනයේ කාර්යයකි. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජීවත්වීම පිණිස මනුෂ්‍යයාට තමාම තීරණ ගැනීමට අවශ්‍ය කරන බුද්ධිමය මෙවලම් සපයාදීම සමාජයේ වගකීමකි. අධ්‍යාපනය පිළිබඳ මේ විමුක්තිකාමී දැක්මට විවිධ දාර්ශනික මුල් ඇත. පෙරදිගින් එය බුදුන් වහන්සේ දක්වාත් බටහිරින් එය අඩුතරමින් සොක්‍රටීස් දක්වාත් ගමන් කරන අධ්‍යාපන දර්ශනයකි. පාසැල යනු ඒ අධ්‍යාපන දර්ශනයේ නිවස්නය විය යුතු ආයතනයයි.

මෙකී සියලු අර්ථවලින් නිදහස් අධ්‍යාපනයත්, නිදහස පිළිබ‍ඳ අධ්‍යාපනයත්, නිදහස්කාරක අධ්‍යාපනයත් ලංකාවේ මහජනතාව අතර විසරණය කිරීමේ ප්‍රධානම ආයතනය පාසැලයි. ඒ නිසා පාසැල නම් ආයතනය ආරක්ෂා කර ගැනීම යනු ලංකා ඉතිහාසයේ ඉතාම වැදගත් ආයතනයක් ආරක්ෂා කිරීම වෙයි. ඒ ආරක්ෂා කිරීම යනු හුදෙක් ගොඩනැගිලි වැනි දේ ආරක්ෂා කිරීම නොවේ. ඒ ආයතනය තුළ තිබිය යුතු ශිෂ්ටාචාරමය හරය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වීම අත්‍යවශ්‍ය කාර්යකි.

සියයට හය නම් භාජනයට නිසි අන්තර්ගතයක්

අපගේ පාසැල් පද්ධතියට මහජනයා වෙත ශිෂ්ටාචාරමය ප්‍රදානයක් කරන්නට නම් ඒ පද්ධතිය නිරෝගීව තිබිය යුතුය. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති මගින් අධ්‍යාපනය සඳහා රාජ්‍ය ආයෝජන ලෙස දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් ඉල්ලා සිටින්නේ ඒ නිසාය. එමගින් පාසැල් සහ විශ්වවිද්‍යාලවල ගුණාත්මකභාවය ඉහළ දැමීමට හැකි යැයි තර්ක කරනු ලැබේ. එහෙත් පාසැල් සහ විශ්වවිද්‍යාලවලට අධ්‍යාපනය යනු කුමක්ද එහි කාර්ය කුමක්ද යන්න අමතක වී ගොස් තිබීමද එක් අර්බුදයකි. ඒ නිසා ඒ ආයතනවල තමන්ගේ කටයුතු පිළිබඳ ස්වයං විචාරයක් තිබිය යුතුය. එය සියයට හයෙන් පමණක් ඇති කළ හැක්කක් නොවේ.

හඳුන්පතිරණ මහතාගේ සත්‍ය සුන්දරද? කෘතිය මගින් කෙරෙන්නේ පාසැල නම් වැදගත් ආයතනයට දැන් සිදු වී ඇති කුමක්දැයි අපට දැනගන්නට සැලැස්වීමයි. මෙවැනි අවංක කෘතියක් විශ්වවිද්‍යාල සම්බන්ධයෙන්ද ලියැවෙන්නේ නම් හොඳය. දැනට සේවය කරන කෙනෙකුට එවැන්නක් ලියන්නට ඇති ඉඩ ඉතා අවමය.

හඳුන්පතිරණ මහතාගේ කෘතියේ ඇති විශේෂත්වයක් නම් දරුවා කේන්ද්‍රකරගෙන පාසැලේ කාර්ය පිළිබ‍ඳ පරීක්ෂාවක යෙදීමය. මේ කෘතියේ විස්තර වන ආකාරයට දැනට පාසැල් පද්ධතියේ සිටින ගුරුවරුන් අතර මෙම වෘත්තියට නොගැලපෙන්නෝ අපමණ සිටිති. ඔවුහු අධ්‍යාපනය යන්නෙහි ශිෂ්ටාචාරමය වැදගත්කම් නොදන්නා අශිෂ්ටයෝ වෙති. ඔවුන් ඒ තත්ත්වයට පත්ව ඇත්තේ හුදෙක් ආර්ථික හේතු නිසා පමණක් නොවේ. ශික්ෂක වෘත්තියේ හරය ගැන අවබෝධයක් සහ ඒ හරය වෙත කැපවීමක් ඔවුන් වෙත නැති බැවිනි. පහසු අමතර රස්සාවක් ලෙස ගුරුවෘත්තිය තබාගෙන සිටින ටියුෂන් පප්පලා පාසැල් පද්ධතිය තුළ වැඩිවෙමින් තිබෙන බවක්ද පෙනේ. මේ කෘතියේ විස්තර කෙරෙන එක ටියුෂන්කාරයෙකු එක්තරා ජනප්‍රිය පාසැලකට පැමිණ ඇත්තේ ටියුෂන් වැඩේට පහසු වන්නටය. ඔහුට ශික්ෂක වෘත්තිය ගැන කිසිම ගරුත්වයක් නැත. මේ කෘතියේ විස්තර නොවුණත් ආර්ථික ගැටලු නිසා ටියුෂන් පන්ති පැවැත්වුවත් පාසැලේ ඉගැන්වීම සහ අනික් කටයුතුද කැපවීමෙන් කරන පාසැල් ගුරුවරු සිටිති. ටියුෂන් ක්ෂේත්‍රය තුළත් යම්කිසි ආචාරධාර්මික පදනමක් ඇති කළ අයද සිටිති. ටියුෂන් ව්‍යාපාරය නොතිබුණේ මෙරට පාසැල් පද්ධතිය මීටත් වඩා ජරාජීර්ණ වන්නට තිබුණු බවත් කෙනෙකුට තර්ක කරන්නට පුළුවන. කෙසේ වෙතත් හඳුන්පතිරණ මහතා පාසැල් පද්ධතිය ඇතුළේ සිට කරන මේ නිරීක්ෂණ නොසලකා හළ නොහැකිය.

පාසැල් ගුරුවරුන් ටියුෂන් පන්ති පැවැත්වීම වසංගතයත් සේ පැතිරී පාසැල් පද්ධතිය විනාශ කරන තත්ත්වයකට පත්ව ඇති බවට නොයෙක් පැතිවලින් කතා අසන්නට ලැබේ. මේ කෘතියේ එන තොරතුරුද ඊට සාක්ෂි දරයි. තමන් පාසැලේ උගන්වන දරුවන්ට තම ටියුෂන් පන්තියට එන්නැයි තර්ජන කිරීම හෝ එයම වක්‍රෝක්තියෙන් කීම හෝ නිතර කෙරේ. පාසැල් ගුරුවරුන් ගෞරවනීය වැටුපක් ලැබිය යුතුය යන කාරණය ඇත්තකි. අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අවශ්‍ය වන්නේ වැටුප් ප්‍රශ්නද විසඳනු පිණිසය. එහෙත් අද පාසැල්වල ඇති අර්බුදය හුදු වැටුප් ප්‍රශ්නයක් නොවන බව ඉතා සිත්ගන්නාසුලු ආකාරයෙන් කරුණාතිලක මහතා ඉදිරිපත් කරන තොරතුරුවලින් පෙනේ. ශික්ෂක වෘත්තියේ ආචාරධාර්මික පදනම දෙදරා ගොස් ඇති බවක් පෙනේ. අප කවුරුත් මේ තතු දන්නාමුත් අපි නොදන්නා සේ සිටිමු. ඒ තතු ගැන අවංක සාකච්ඡාවක් කරන්නට නම් පාසැල නම් ආයතනය පරම සුන්දර භූමියක් සේ පමණක් විස්තර කිරීම නතර කළ යුතුය. එහි සුන්දර අසුන්දර තතු ඇති සේ දැක්වීම ඒ ආයතනය පිළිබඳ නැවත පරීක්ෂා කිරීමේදී වැදගත් වන දෙයකි.

සමාජ සමානකරණ යාන්ත්‍රණ

නිදහස් අධ්‍යාපනය යනු මෙරට පැවති ඉතාම වැදගත් සමාජ සමානකරණ යාන්ත්‍රණයක් බව නැවතත් කිව මනාය. දුප්පත් පවුල්වල උපන් අයට ඒ දුප්පත්කමින් මිදෙන්නටත්, කුල පීඩිතව උපන් අයට ඉන් මිදෙන්නටත්, ආන්තිකකරණය වූ දුෂ්කර ප්‍රදේශවල ඉපදීම නිසා පීඩිත බවට පත්වූ අයට ඉන් මිදෙන්නටත් නිදහස් අධ්‍යාපනය ලබා දී ඇති අවස්ථාව අතිමහත්ය. තමන් උපන් විට ලැබුණු ජීවන කොන්දේසි අභිභවා යමින් භෞතික වශයෙන් සාර්ථකත්වය ලබාගන්නට නිදහස් අධ්‍යාපනය විසින් මෙරට අති විශාලා ජනසංඛ්‍යාවකට සපයන ලද අවස්ථාව අතිමහත්ය. ඒ වූකලි අතිවිශාල සමාජ විප්ලවයක් වැන්නකි. එහෙත් ඒ විප්ලවය ආපසු හැරෙමින් තිබෙන බව දැන් දැන් පෙනේ. මෑතකදී එක්තරා වෛද්‍ය පීඨයක මහාචාර්යවරයෙකු මට කීයේ දැන්දැන් වෛද්‍යපීඨවලට එන්නේ මාසෙකට රුපියල් 20000ක් වත් ටියුෂන්වලට වියදම් කළ හැකි පවුල්වල දරුවන්ය. ඉතා දුප්පත් පවුල්වලින් එම වෛද්‍ය පීඨයට එන දරුවන්ගේ ගණන 1970-80 දශකවලට සාපේක්ෂව කැපී පෙනෙන අඩුවීමක් පෙන්වයි. මේ තත්වය පාසැල් ගුරුවරුන් මතද වක්‍ර පීඩනයක් හෙළයි. ඔවුන් රැකියාවට අමතරව ටියුෂන් කරන්නේ තමන්ගේම දරුවන් ටියුෂන් යවන්නටය.

සත්‍යය සුන්දරද? කෘතියේ විස්තර වන ආකාරයට නිදහස් අධ්‍යාපනය නම් විපර්යකාරක ව්‍යූහය විනාශ කිරීමට ඒ ව්‍යූහය වෙතින්ම බිහි වූ අය දායක වී සිටිති. ඉහත කී ටියුෂන් වසංගතය ඉන් එකක් පමණක් වුවත් එය තීරණාත්මකය. එය සිදු වී තිබෙන්නේ පාසැල් ගුරුවරුන්ගේ ආර්ථික අමාරුකම් නිසාය යන්න ඇත්තක් විය හැකිය. එහෙත් එය සම්පූර්ණ ඇත්ත නොවේ. ගුරුවරුන්ද ඇතුලු සිංහල පහළ මැද පන්තිය ඉතා සීඝ්‍රයෙන් පරිභෝජනවාදයට හසු වීමත් තමන්ගේ පරිභෝජන ශක්තිය ප්‍රදර්ශනය කිරීම සංස්කෘතික වටිනාකමක් බවට පත්වීමත් මේ කෘතිය ඔස්සේ අපට දක්නට ලැබෙන දෙයකි. එකිනෙකා පරයා පරිභෝජනය කිරීමට අනෙකාගේ මංගල උත්සවය පරදවන මංගල උත්සවයක් ගැනීම ආදිය ගුරුවරුන්ගේ ජීවන විලාසිතාව තුළට මෑතක සිට ඇතුළු වී ඇති බව මේ කෘතියෙන් පෙනේ. එක් කලෙක ගුරු වෘත්තිය හා බැඳුණ සාරධර්ම වූ සරල දිවි පැවැත්ම ආදිය පාසැල් සංස්කෘතිය තුළින් ඉවතට තල්ලු වී ඇති බවක් පෙනේ. මේ වූකලි කාලයක සිට මෙරට සිදු වූ සංස්කෘතික ඛාදනයක ඵලයකි. එයට මුළුමනින්ම වැරදිකාරයන් වන්නේ ඒ ඛාදනයට හසු වූ අය නොවේ. පරිභෝජන ධනවාදයේ අපාලිත පැතිරීම නිසා මෙවැනි ඛාදනයන්ට මග පෑදෙන්නට පුළුවන. එසේම ගුරුවරුන්ගේ මූල්‍ය අවශ්‍යතාවල ඉහළයාම සිදු වී ඇත්තේ පරිභෝජනවාදය නිසාම නොවේ. සමස්තයක් ලෙස රටෙහි ජීවන තත්ත්වය වර්ධනය වන විට වියදම් ඉහළයාම ස්වභාවිකය. පාසැල් ගුරුවරයා පමණක් අල්පේච්ඡ ඌනපරිභෝජනයක චක්‍රයක සිර වී සිටින විට ඔහුට හෝ ඇයට අහිමි සමාජ අවස්ථාද රාශියකි. ඒ නිසා මෙම සංකීර්ණ යථාර්ථය ගැන සන්සුන් සිතා බැලීමක් අවශ්‍ය වේ. සත්‍යය සුන්දරද? කෘතිය ඒ කාරණයේදීද උපකාර වෙතියි සිතේ.

නිදහස් අධ්‍යාපනය

නිදහස් අධ්‍යාපනය යනු හුදෙක් පාසැල් ගොඩනැගිලි පමණක් නොවේ. රටේ ඕනෑම තැනක, ඕනෑම පවුලක ඉපදුණු දරුවෙකුට තමන් උපතේදී ලද ජාති, කුල, පන්ති පසුබිම් නොසලකා අනෙක් ඕනෑම දරුවෙකුට ලැබෙන අධ්‍යාපනයට සාපෙක්ෂ වශයෙන් සමාන අධ්‍යාපන අවස්ථා ලබාදීම නිදහස් අධ්‍යාපනය යනුවෙන් සැලකිය යුතුය. මේ අර්ථයෙන් නිදහස් අධ්‍යාපනයක් ලංකාවේ අධ්‍යාපන ඉතිහාසයේ ස්වර්ණමය යුගයේදී වත් ලැබුණේද යන්න සැකසහිත බව ඇත්තය. එහෙත් අධ්‍යාපනය පිණිස සමාන අවස්ථා එන්න එන්නම අඩු වන බව පෙනේ. ග්‍රාමීය දුප්පත්කමත්, ග්‍රාමීය ඌණ සංවර්ධනයත් දරුවන්ට ලැබෙන අධ්‍යාපනය අසමබර කරන්නට දායක වන සැටි හඳුන්පතිරණ මහතාගේ කෘතියෙන් මනාව පෙනේ. ඇතැම් විට දරුවන්ට නිදහස් අධ්‍යාපන අවස්ථා අහිමි කරන්නට ග්‍රාමීය නිලධාරි තන්ත්‍රයද දායක වෙයි. ග්‍රාමසේවක වැනි නිලධාරි තනතුරු දරන අයට නිදහස් අධ්‍යාපනය යනු වැදගත් මානව අයිතියක්ය යන කාරණය පිළිබඳ අවබෝධයක් නැති අවස්ථා ගැනද මේ කෘතියෙන් විස්තර වේ. ඇතැම් විට ඉතා දක්ෂ දරුවන්ට නිදහස් අධ්‍යාපනයේ දොරටු අවුරන්නේ දෙමාපියන්මය. ඊට හේතුව ඔවුන්ගේ නූගත්කමය. මේ කෘතියේ එන විස්තරවලින් පෙනෙන වැදගත් දෙයක් නම් නූගත්කම විසින් නූගත්කම ප්‍රතිනිෂ්පාදනය කෙරෙන බවයි. කරුණාතිලක මහතා ශිෂ්‍ය උපදේශකයෙකු ලෙස මෙවැනි තොරක් නැති අතවරවලින් බේරාගැනීමට ක්‍රියා කළ ආකාරය පිළිබඳ අනුවේදනීය විස්තර මේ කෘතියේ එයි.

දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ සමස්ත වගකීම නූගත් දෙමාපියන්ට පමණක් පැවරීම වැරදිය. අධ්‍යාපනයේ වැදගත්කම එවැනි දෙමාපියන්ටද වටහා දෙන යාන්ත්‍රණයක් පාසැල් පද්ධතිය තුළද තිබිය යුතුය. රාජ්‍යය විසින් සෑම දරුවෙකුම විශිෂ්ම මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමේ කාර්ය බාරගත යුත්තේ තම දරුවන්ගේ අධ්‍යාපනය ගැන අවබෝධයක් සහ වගකීමක් ඇතැම් දෙමව්පියන් වෙතින්ද අපේක්ෂා කළ නොහැකි බැවිනි.

හඳුන්පතිරණ මහතා පාසැල් පද්ධතිය තුළ ක්‍රියාකර ඇත්තේ ශිෂ්‍ය උපදේශන සහ වෘත්තීය මාර්ගෝපදේශන භාර ගුරුවරයෙකු ලෙසය. එම තනතුරු සෑම පාසැලකම තිබෙන්නේදැයි මම නොදනිමි. එය සෑම පාසැලකම තිබිය යුතු තනතුරක් බව නම් සත්‍ය සුන්දරද? යන කෘතියෙන් පෙනේ. එසේම එම තනතුර ආදර්ශවත් සේ භාවිත කරන්නේ කෙසේද යන්න කරුණාතිලක මහතා පෙන්වා දෙන්නේ ඉතා හෘදයංගම ලෙසය. එහෙත් ඒ මහතා වැනි ආදර්ශවත් ගුරුවරුන් ඉබේ බිහි වන්නේ නැත. එවැනි කැපවීමෙන් යුතු ගුරුවෘත්තිකයන් නිර්මාණය කරගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග ගැන ඒ මහතා එතරම් යමක් නොකියතත් මේ කෘතිය එවැනි උනන්දුවක් දක්වන අයගේ අවධානයට ලක් විය යුතුය.

පාසැල මගින්ම කෙරෙන මෙවැනි උපදේශන කාර්යන්ට අමතරව අධ්‍යාපනය නමැති වැදගත් මානව සංවර්ධන ව්‍යාපෘතිය මහජනයා අතරට ගෙනයාමට කැපවීමෙන් යුතු වැඩපිළිවෙලක් රාජ්‍යය විසින් ක්‍රියාත්මක කළ යුතු බවද මෙම කෘතියෙන් පෙනේ. පාසැල නම් ආයතනය ශතවර්ෂයක් පමණ කාලයක් ලංකාවේ විශාල සමාජ පරිවර්තනයකට දායක වී ඇති නිසා එම ආයාතනය පිළිබඳ අවංක තක්සේරුවක් කිරීම අවශ්‍ය බව මම කලින්ද සඳහන් කළෙමි. පාසැල් පිළිබ‍ඳ අපට දකින්නට ලැබෙන බොහෝ ස්මරණමය රචනා පාසැල රොමෑන්තිකකරණයට ලක් කර උත්කර්ෂණය කරයි. ඒ නිසා ඒ වැදගත් ආයතනය පිළිබඳ අවංක නැවත වටහා ගැනීමක් කරන්නට ඉඩ නොලැබේ. සත්‍ය සුන්දරද? කෘතිය එවැනි අවංක තක්සේරුවකට අපට ආරාධනා කරන වැදගත් කෘතියකි.

Print Friendly, PDF & Email

No comments

Sorry, the comment form is closed at this time.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 7 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.