29 November, 2023

Blog

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම: ජනතා පරමාධිපත්‍යය දේශපාලන පක්ෂ වෙනුවෙන් කැප නොකළ යුතුය

කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ආචාර්ය කුමුදු කුසුම් කුමාර

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ පොරොන්දුව ඉටු කිරීමට පසුබට වීමට හේතුවක් වශයෙන් රජය දක්වන්නේ ඉන් සුළු ජාතික පක්ෂ වලට අසාධාරණයක් වනු ඇති හෙයින් ඒවායේ ඉල්ලීම මත මෙය කල් දමන බවයි.

මෙහිදී අප අසන්නට කැමත්තේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ තීරණ ගැනීමේ දී අප මෙහෙයවන මූලධර්මය විය යුත්තේ කුමක්ද? යන්නයි. දේශපාලන පක්ෂ වල අවශ්‍යතාවද? නැත්නම් ඡන්දදායක අයිතියද? දෙමළ සහ මුස්ලිම් සුළු ජාතික පක්ෂවල හෝ ජනතා විමුක්ති පෙරමුණ හෝ ජාතික හෙළ උරුමය වැනි කුඩා දේශපාලන පක්ෂ වල වාසිය තකා ඡන්දදායකයාගේ අයිතිය කැප කරන්නට අප සූදානම් වන්නේද? ඡන්දදායකයාගේ ඡන්දයේ ඇති වැදගත්කම දේශපාලන පක්ෂවලට දිස්ත්‍රික්ක මට්ටමින් ඡන්ද එකතු කිරීමට ඇති අවශ්‍යතාවට යට කරනවාද? පොදු යහපත සඳහා ක්‍රියාත්මක වීම කල් දමන්නට අප සූදානම් වන්නේ මෙම පදනම මතද?

වත්මනෙහි අපගේ ඡන්ද ක්‍රමය තුළ අවධානය ඇත්තේ දේශපාලන පක්ෂවලට මිස ඡන්දදායකයා වෙත නොවේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන පක්ෂ සඳහා වන ආණ්ඩු ක්‍රමයක් බවට පිරිහී ඇත. නමුත් අප මෙය අපගේ දේශපාලනයේ පදනම ලෙස භාරගත යුතු නැත. අපව මෙහෙයවිය යුත්තේ ‘ජනතා පරමාධිපත්‍යය වඩාත් තහවුරු විය හැකි ඡන්ද ක්‍රමය කුමක්ද?’ යන සිතුවිල්ල යි.

තමන්ගේ පළාතට මන්ත්‍රීවරයෙක් සිටිය යුත්තේ සංවර්ධන කටයුතු ඉටු කරවා ගැනීම සහ රැකියා ලබා ගැනීම සඳහා නොවේ. මේ අවශ්‍යතා පවත්නා දිස්ත්‍රික් මට්ටමේ සමානුපාතික නියෝජන ක්‍රමය යටතේත් ඉටුවෙයි. රැකියා ලබා දීම මනාප ඡන්ද ලබා ගැනීමේ ප්‍රධාන මාර්ගය බවට වත්මනෙහි පත් වී ඇත. මෙබඳු කටයුතුවල යෙදෙනවා වෙනුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රතිපත්ති සම්පාදකයන් විය යුතුය යන්න අප පිළිගත යුතුය.

ජාතික ප්‍රතිපත්ති සම්පාදනයේදී ඡන්දදායකයන් ට තමන් දරන අදහස් මත ආණ්ඩුවට බලපෑම් කිරීමට මාර්ගයක් තිබිය යුතුය. ඡන්ද කොට්ඨාශයකට මන්ත්‍රීවරයෙක් බැගින් සිටීම ඒ මාර්ගයයි. මන්ත්‍රී යනු ඡන්දාදායකයන් ගේ නියෝජිතයා ය. එම නියෝජිතයා ජාතික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමන් පත්කරන ඡන්දදායකයනට වග කියන්නෙකු විය යුතුය.

නියෝජනයේ මූල ධර්මය පිළිපදිනු ලබන්නට නම් ඡන්දදායකයා සහ නියෝජිතයා අතර සෘජු සම්බන්ධයක් තිබිය යුතුය. එම සම්බන්ධය දේශපාලන පක්ෂ සම්බන්ධය මත නොව මහජන ප්‍රතිපත්ති සම්පාදනය මුල් කර ගෙන ඇති විය යුතුය.

ඇතැමුන් සළකන ලෙස සමානුපාතික ඡන්ද ක්‍රමය හොඳම සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය යනු වසර කිහිපයකට වරක් හුදෙක් ඡන්දය දීම ලෙස සළකන්නේ නම් පමණි.

ඡන්ද ක්‍රමයේ අරමුණ තනි දේශපාලන පක්ෂයකට හෝ පක්ෂ සන්ධානයකට ස්ථායී ආණ්ඩුවක් පිහිටුවිය හැකි වන අයුරින් එය සකස් වී තිබීම විය නොහැකිය. ආණ්ඩුවකට ස්ථායීභාවයක් අවශ්‍යය. නමුත් ඒ වෙනුවෙන් ඡන්දාදායකයාගේ අයිතිය කැප නොකළ යුතුය. ඡන්ද ක්‍රමයේ අරමුණ ජනතා පරමාධිපත්‍යය සහතික කිරීමයි. විවිධ මත දරන පක්ෂ හෝ සන්ධාන වලට පොදු යහපත වෙනුවෙන් එකට එක්ව වැඩ කිරීමට බල කරන ඡන්ද ක්‍රමයක් හොඳ දෙයකි. නමුත් එම අදහස දේශපාලන විපක්ෂයක් නැති කරන පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කරන ජාතික ආණ්ඩුවක් බවට ලඝු කළ යුතු නැත.

ජනවාර්ගික අයිතිවාසිකම් අපේ දේශපාලන න්‍යාය පත්‍ර යේ ඉහළින් තිබෙන වත්මන් අවස්ථාවේ දෙමළ සහ මුස්ලිම් ජන කොටස් වසන ප්‍රදේශවල එම ජනයාට ප්‍රමාණවත් මන්ත්‍රී නියෝජනයක් ලැබිය යුතුය. මේ සඳහා සමානුපාතික නියෝජනයේ ක්‍රමය පවත්වාගෙන යාම ඔවුනට අවශ්‍ය කෙරෙයි. මනාප ඡන්ද ක්‍රමය ජනවාර්ගික කොටස් මිශ්‍රව වසන ප්‍රදේශ වල සුළු ජන කොටස් වලට ඔවුන්ගේ නියෝජිතයන් පත් කර ගැනීම සඳහා අවස්ථාව සහතික කරන බවද සැබෑය. එහෙත් එබඳු තාවකාලික අරමුණු සඳහා මනාප ක්‍රමය තවදුරටත් පවත්වාගෙන යා යුතු නොවේ.

තවද අප අද එළඹ සිටින්නේ අප තව දුරටත් ගමන් කළ යුත්තේ ජන වර්ග පදනමින් ඡන්දදායකයන් බෙදා වෙන් කිරීමේ දේශපාලනයකට නොව සියළු ජනවර්ග වලට අයත් ඡන්දදායකයන් තම ඡන්දදායකභාවය මුල් කොට ගෙන දේශපාලනයට සම්බන්ධ කර ගැනීම දක්වා අපේ පුරවැසි අපේක්ෂා පළල් කිරීම දිශාවටය. එතැනින් ඔබ්බට සැබෑ පුරවැසි දේශපාලනයක් සඳහා පුරවැසි අපේක්ෂා ගැඹුරු කිරීමේ දෙසටය.

ඡන්ද ක්‍රමය වෙනස් කිරීම කල් දැමීමට දින සියය හේතුවක් කර ගත යුතු නැත. දින සියය ජනතාවගේ ඉල්ලීමක් නොවේ. මැතිවරණ ප්‍රකාශණයක සඳහන් හැම දෙයක්ම වෙනුවෙන් ජනතාව ඡන්දය දුන්නා යැයි කියන කතාව වලංගු කතාවක් නොවන බව එසේ කියන අය පවා දනිති. ඉටු කිරීමට වඩා උනන්දු විය යුත්තේ සැබෑ ලෙසම ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් ය. එලෙසින් ප්‍රතිපත්ති ප්‍රකාශයට එක් වූ යෝජනාවක් වන්නේ   ඡන්ද කොට්ඨාශ මට්ටමින් මෙන්ම සමානුපාතික ක්‍රමයටත් මන්ත්‍රීවරුන් පත් කර ගැනීමේ මිශ්‍ර ක්‍රමය සම්මත කර ගැනීමේ සහ මනාප පොරය අහෝසි කිරීමේ යෝජනාවයි. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම කල්දැමීම කිසිසේත්ම කළ යුතු නොවේ. මන්දයත් ඉදිරියට එන මහ මැතිවරණයකින් පසු එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලය ඊළඟට පත්වන ආණ්ඩුවකට නොලැබීමට ඉඩ ඇති හෙයිනි. අවශ්‍ය නම් වැඩි දුර කාලය ලබා ගෙන මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජය යොමුවිය යුතුය.

ඡන්දක්‍රමය සංශෝධනය පිළිබඳ අප සිතන විට සැළකිය යුතු ව්‍යවස්ථා සංශෝධනයන් ට එකතු කළ යුතු තවත් වැදගත් කරුණු කිහිපයක් ද මෙහි දී සඳහන් කළ යුතුය.

ඡන්දයක් සඳහා පාර්ලිමේන්තුව විසිරුවා හැරිය පසු කැබිනට් මණ්ඩලය රාජ්‍ය සම්පත් තම මැතිවරණ ව්‍යාපාරයට යොදා ගත නොහැකි වන සේ ආණ්ඩුව භාරකාරත්වය යටතට පත් කළ යුතුය. එම කාලය තුල රාජ්‍ය නිලධාරීන් ගේ බලතල ද අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කළ යුතුය.

රටේ ජනාධිපති පක්ෂ දේශපාලනය වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයට නොබැසිය යුතුය. ඔහු රටේ සියලු ඡන්දදායකයන්ගේ නායකයා වන හෙයිනි. ධුරයට පත් වූ පසු ඔහු අපක්ෂපාතී විය යුතුය. පක්ෂ දේශපාලනයෙන් නිදහස් විය යුතුය.

ඡන්ද අපේක්ෂකයන් සහ දේශපාලන පක්ෂ තම මැතිවරණ වියදම් ලැබෙන ආකාරය හෙළිදරවු කිරීම නීතිමය අවශ්‍යතාවක් බවට පත් කළ යුතුය.

ජනාධිපතිවරණයට අන් අපේක්ෂයන්ගේ සහායට ව්‍යාජ අපේක්ෂකයන් ඉදිරිපත් වීම අධෛර්යය කිරීමට කළ යුත්තේ අපේක්ෂකයෙකු වංචනික ලෙස අන් අපේක්ෂකයෙකුට සහාය විය හැකි ආකාර වැළැක්වීමට දැඩි නීති පැණවීම මිස ජනාධිපතිවරණයට යමෙකුට ඉදිරිපත්වීමට ඇති අයිතියට බාධා කරන ලෙසින් තැන්පත්මුදල ඉහළ දැමීම නොවේ.

සමානුපාතික නියෝජනය මත පදනම් වූ ඡන්ද ක්‍රමයක සිට ඡන්ද කොට්ඨාශ මට්ටමින් ද නියෝජිතයන් පත් කරන මිශ්‍ර ක්‍රමයක් දක්වා අප ගමන් කළ යුත්තේ මෙම පක්ෂ දේශපාලනය මත පදනම් වූ ඡන්ද ක්‍රමය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය ලෙසින් අප පිළිගත යුතු නිසා නොවේ.

එය දේශපාලන නිදහස සැබෑ ලෙස භුක්ති විඳින පුරවැසියන් දිනපතා මහජන කටයුතුවලට සහභාගී වෙන සහ දේශපාලන පක්ෂ මගින් හෝ වෙනත් සංවිධාන විසින් මෙහෙයවනු ලැබීමෙන් නොව නියෝජිතයන් වෙනුවට තමන් විසින්ම ක්‍රියාකරන පුරවැසියන්ගෙන්ම සැදුම් ගන්නා මහජන පරිමණ්ඩලයක් දිශාවට අපේ දේශපාලන ව්‍යුහ විපර්යාස කිරීම සඳහා තැබෙන එක් ඉදිරි පියවරක් ලෙසින් සළකමිනි.

දේශපාලනය එහි ගැඹුරු අර්ථයෙන් රැකෙන්නේ පුරවැසියන් වෙනුවෙන් එබඳු මහජන පරිමණ්ඩලයක් සම්පාදනය කරගැනීම තුළ ය. පුරවැසියන් අතර රාජ්‍ය බලය, මහජන බලය බෙදී යනු ඇත්තේ පුරවැසියන් සැබෑ ලෙස දේශපාලන නිදහස භුක්ති විඳිනු ඇත්තේ එවිට පමණි.

සිවිල් අයිතිවාසිකම් අපට පෞද්ගලික තැනැත්තන් ලෙස වැදගත් නිදහසක් ලබා දෙන නමුත් අප සැබෑ දේශපාලන නිදහස් ලබන්නේ ආණ්ඩුකරණයෙහි ලා සෘජුව සහභාගීවීමට ඇති අයිතිය ලැබීමෙනි. වත්මනෙහි දේශපාලනඥයන්ට පමණක් ඇති රාජ්‍ය බලය, මහජන බලය සඳහා සමුළුගත වීමට ඇති අයිතිය මහජන නිදහස සැබෑ ලෙස භුක්ති විඳීමේ අවස්ථාව ඒ සඳහා ඉදිරිපත් වන සෑම පුරවැසියෙකුට ලැබිය යුතුය.

පුරවැසියන් ආණ්ඩුවට සම්බන්ධ විය යුත්තේ දේශපාලන පක්ෂ මගින් නොව පහළ මට්ටමේ සිට ඉහළට ගොඩ නැගෙන සන්ධීයනය වූ මන්ත්‍රණසභා මගිනි. සැබෑ පුරවැසි අයිතීන් ස්ථාපිත කිරීම වැටී ඇත්තේ දේශපාලන පක්ෂ මගින් අප නියෝජනය කිරීමට විකල්පයක් වන පුරවැසි එකතුවෙන් බිහිවෙන පුරවැසි මන්ත්‍රණ සභා සම්පාදනය කර ඒවා බල ගැන්වීම හරහා ය.

Print Friendly, PDF & Email

Latest comment

  • 0
    0

    According to the existing system securing seats for minor parties should be a concern. I feel our votes does not reflect the real people’s desire.Lack of information etc outweigh the reality.As I read some method have been formulated to accomadate the both kinds of voting systems. I think in our country we use to give comments being here and there.If our concern is people why cannot the relevant interlectuals come to a round table and sgree on the bast corse of action regarding any important matter.

Leave A Comment

Comments should not exceed 200 words. Embedding external links and writing in capital letters are discouraged. Commenting is automatically disabled after 5 days and approval may take up to 24 hours. Please read our Comments Policy for further details. Your email address will not be published.