Colombo Telegraph

පරිකල්පනයට විලංගු දැමිය හැකිද? සල්මාන් රුෂ්ඩි අන්තවාදීන්ගෙන් අසන ප‍්‍රශ්නය

ලියනගේ අමරකීර්ති

ආචාර්ය ලියනගේ අමරකීර්ති

සාමාන්‍යයෙන් මේ තීරුවේ දිග වචන හයසීයක් පමණය. පිටු හයසීය ඉක්මවූ පොතක් හෙමින්සැරේ සලකා බලන්නට මේ තීරුව යොදා ගැනීම නෙළුම්හුයෙන් ඇතුන් බැඳලීමක් වැනිය. ඒ නිසා ටිකක් විතර වැඩියෙන් ලියන්නට සංස්කාරකගෙන් අවසරද ගෙන මේ ලියන්නේ මේ දිනවල සාකච්ඡුාවට ගත යුතු කරුණු රැුසක් ඒ පොතේ ඇති බැවිනි. මේ පොත සල්මාන් රුෂ්ඩියේ මතක පොතයි.

පොතේ නම ජෝසෆ් ඇන්ටන්ය. මේ මතකපොතේ සල්මාන් රුෂ්ඩි සිය ජීවිත කතාවද තරමක් ලියා ඇත. ජෝසෆ් ඇන්ටන් යනු ඉරානයේ මුල්ලාවරුන් රුෂ්ඩි මරා දැමීමට ෆත්වා පනවා තිබුණ කාලයේ සැ`ගවී සිටීමට රුෂ්ඩි භාවිත කළ නමයි. ස්කොට්ලන්ඞ් යාර්ඞ් පොලීසියේ උපදෙස් අනුව රුෂ්ඩි ඒ බොරු නම සාදා ගන්නේ ජෝස්ෆ් කොන්රඞ් සහ ඇන්ටන් චෙකොෆ් යන නම් ලේඛකයන්ගේ නම් ඇසුරිනි. පිටු හයසීය ඉක්ම වූ මේ පොත ඉතා රසවත් තොරතුරුවලින් පිරී ඇත. එහෙත් ඉන් වැඩි කොටසක් වැය වන්නේ රුෂ්ඩි සැ`ගවී සිටි සැටිත් ප‍්‍රකාශන නිදහස දිනා ගැනීම පිණිස සටන් කළ හැටිත් කියන්නටය.

රුෂ්ඩි ලෝක පරිමාණ ලේඛකයෙකු සේ ජාත්‍යන්තර සාහිත්‍ය කරලියට පැමිණියේ මිඞ්නයිට්ස් චිල්ඞ්රන් නවකතාව බුකර් සාහිත්‍ය ත්‍යාගය දිනා ගැනීමත් සමගය. 1981 වර්ෂයේදීය. 1988 දී ඔහු ලියූ සැටනික් වර්සස් නවකතාව මගින් ඉස්ලාම් ආගමට අපහාස වන්නේ යැයි කියා ඉරානය කොමෙයිනීවරුන් විසින් ඔහුට ෆත්වා නම් මරණ දණ්ඩනය පනවා ඔහු මරා දමන කෙනෙකුට විශාල ත්‍යාගයකුත් පිරිනමන බව ප‍්‍රකාශ කරන ලදී. ඉන් පසු රුෂ්ඩිට නිදහස් මිනිසෙකු සේ එළිමහනේ ගැවසෙන්නට නොහැකි විය. ඔහු සැ`ගවුණු ජීවිතයකට බැස්සේය. බි‍්‍රතාන්‍ය ආණ්ඩුව තම රට පුරවැසියෙකු වූ රුෂ්ඩිට විශේෂ ආරක්ෂක කණ්ඩායමක් ලබා දී ආරක්ෂා කළේය. ලේඛනයෙන් ධනවතෙකු වී සිටි රුෂ්ඩිට වෙඩි නොවදින ගෙවල් වෙඩි නොවදින කාර් ආදිය මිලට ගැනීමට මුදල් තිබිණ.

එහෙත් ලෝකය පුරා මුස්ලිම් අන්තවාදීහු උද්ඝෝෂණ කළහ. රුෂ්ඩි මරා දමන්නට තැත් කළ ඝාතක කණ්ඩායම් කීපයක්ම අත්අඩංගුවට පත් විය. ඒ පොතෙහි නෝර්වීජියානු පරිවර්තනය පළ කළ පොත් ප‍්‍රකාශකයාට වෙඩි තැබූ අතර ඔහු යන්තම් බේරුණේය. ඒ පොත ජපන් බසට පරිවර්තනය කළ තැනැත්තාට ඉස්ලාම් අන්තවාදියෙක් පිහියෙන් ඇන්නේය. ඇතැම් රටවල පොත් සාප්පුවලට ගිනි තබන ලදී. ලෝකයපුරා නිදහස් මතධාරීයෝ රුෂ්ඩිගේ ප‍්‍රකාශන නිදහස හා නිර්මාණක නිදහස වෙනුවෙන් පෙරට ආහ. රුෂ්ඩි මේ මතකපොතින් ඒ ජාත්‍යන්තර අරගලයේ කතාව ලොමුදැහැගැන්වෙන සේ විස්තර කරයි. ඇතැම් විට ඔහු ජාත්‍යන්තර ගමන්වල යෙදෙන්නට සිදුවන්නේ විශේෂ පෞද්ගලික ගුවන් යානාවලය. ගුවන්තොටුපලවලදී ඔහු මරා දමන්නට ඝාතකයන් තැත් කළ හෙයිනි.

මුස්ලිම් අන්තවාදීන් රුෂ්ඩිගේ ජීවිතය ඉල්ලා හ`ඩගෑවේ ආගමික මූලධර්මවාදය නිසාම නොවේ. රුෂ්ඩිගේ පොත දඩමීමා කරගෙන බටහිරට පාඩමක් උගන්වන්නට ඉරානයටද අවශ්‍ය විය. ඓතිහාසිකව බටහිරද මුස්ලිම් ලෝකයට අපමණ කෙණෙහිලි කර තිබුණු බැවිනි. එහෙත් අධිරාජ්‍යවාදයට දිය හැකි පිළිතුර ආගමික මූලධර්මවාදය යන ප‍්‍රශ්නය මේ පොත ඇසුරින් මතු කළ හැකිය. අධිරාජ්‍යවාදයට දිය හැකි හොඳම පිළිතුර අපේ ආගම්වලින්ද ආචාරධාර්මික එළිය ලබා හැකිතරම් සාධාරණ සමාජයක් නිර්මාණය කිරීම තැත් කිරීම නොවේද?

මුස්ලිම් ලෝකය යනු පරිකල්පනයට විලංගු දමන ලෝකයක් යැයි මේ පොතෙන් නොකියවේ. ඇතැම් මූලධර්මවාදී හා සීමාන්තික මුස්ලිම් ආගමික බලවතුන් සම්බන්ධයෙන් දරුණු විවේචනයක් නම් මේ පොතේ ඇත.

එසේම නවකතාවක් ලියූ පමණින් ලේඛකයෙකුට මරණ දණ්ඩනය පනවන මුල්ලාවරුන්ට විරුද්ධව ධෛර්යසම්පන්න සේ නැගී සිටි මුස්ලිම් බුද්ධිමතුන් නැගද මේ පොතෙහි කියවේ. ඉරාන ජාතික බුද්ධිමත්තුද ප‍්‍රකාශයක් පළ කරමින් කියා සිටියේ ”රුෂ්ඩිව ආරක්ෂා කිරීම අපවම ආරක්ෂා කර ගැනීමක්් බවයි.”

අලූත්ගම-බේරුවල සිද්ධිවලින් පසු ෆේස්බුක් වැනි සමාජ වෙබ් අඩවිවල අදහස් පළ කළ ඇතැම් මධ්‍යස්ථ සිංහලයෝ පවා මුස්ලිම් යනු අන්තවාදයක්මය යන අදහස ප‍්‍රකාශ කළහ. ලෝක ඉතිහාසය පුරා සිටි මැදහත් හා සාමකාමී මුස්ලිම්වරුන් ගැන ප‍්‍රමාණවත් දැනුමක් ඒ අයට නැති බව පෙනිණ. ලංකාවේ සිටින මුස්ලිම් ජාතික උගතුන් තමන්ගේ සම්ප‍්‍රදායට අයත් නිහස්කාමී චින්තකයන් හා පොතපත ගැන සිංහල භාෂාවෙන් ලිවිය යුතුය. විශ්වවිද්‍යාවල සිටින ඇතැම් මුස්ලිම් ජාතික උගතුන්ද ඇතැම් සිංහල අය මෙන්ම මුදල් හම්බ කිරීමට මිස දැනුම ගොඩනැගීමට කාලය නොයොදනු පෙනේ. සිංහල සමාජයට තම සංස්කෘතිය වටහාදීමේ අභියෝගය මෙරට මුස්ලිම් සමාජය හමුවේ තිබේ. තමන්ගේ පැවැත්ම වෙනුවෙන් තමන් කවුදැයි තව කෙනෙකුට වටහා දෙන්නට සිදුවී තිබීම හොඳ දෙයක් නොවන බව ඇත්තය. එහෙත් මෙකල උදාවී ඇති තත්ත්වය අනුව අප එකිනෙකා වඩා හොඳින් වටහා ගැනීමට කාලය හා ශ‍්‍රමය වැය කිරීමේ වරදක්ද නොපෙනේ. තමන් කවුද යන්න අනෙකෙකු සමග සාකච්ඡුා කිරීමේදී තමන්ගේම සංස්කෘතියේ ඇති සාවද්‍යතා හා දුබලතාද මල කෑ තැන් හා ජරාජීර්ණ වූ තැන්ද හොඳින් පෙනෙන්නට ඉඩ ඇත.

සල්මාන් රුෂ්ඩිට මුස්ලිම් අන්තවාදීන් විසින් පනවා තිබූ මරණ දණ්ඩනයට විරුද්ධව නොබියට ඉදිරියට ආ නිදහස්කාමී මුස්ලිම් බුද්ධිමත්තු තම සංස්කෘතියෙහි සාමකාමී මුහුණුවර පෙන්නා දුන්හ. මුස්ලිම් හා අරාබි ලේඛකයෝ සීයක් දෙනා එකතුව රුෂ්ඩි වෙනුවෙන් පොතක්ද පළ කළහ. ඒ පොතට ලියූ ඇල්ජීරියානු ලේඛක මොහොමඞ් අර්කවුන් මෙසේ කීය: ”සැටනික් වර්සස් නවකතාව සියලූ මුස්ලිම්වරුන්ට කියවන්නට සැලැස්විය යුතුය. එවිට අල්ලා දෙවියන් වෙත සත්‍යය පහළ වීමේ කතාවේ ඇති ප‍්‍රජානනීය තත්ත්වය(දැනුම පහළ කිරීමේ ස්වභාවය) ගැන නූතන ආකාරයකට සිතන්නට ඒ මුස්ලිම්වරුන්ට හැකි වනු ඇත.” පලස්තීනයේ සිට ලියූ එමීල් හබීබි මෙසේ කීවේය: ”සල්මාන් රුෂ්ඩි බේරා ගැනීමට අප අසමත් වුවහොත් සමස්ත ගෝලීය ශිෂ්ටාචාරය පුරා ලජ්ජාව හොල්මන් කරනු ඇත.” සිරියාවේ ජමීල් හත්මාල් ලියුවේ මෙසේය: ”මිනීමරු තලප්පාකාරයන් වෙනුවට මා නම් තෝරා ගන්නේ සල්මාන් රුෂ්ඩිවය.” ටියුනීසායාවේ අබ්දෙල් වහාබ් මෙද්දෙබ් හරි කෙලින් කතා කළේය: ”රුෂ්ඞී ඔබ ලියා ඇත්තේ කිසිම මිනිසෙකු පෙර කිසිදිනෙක නොලියූ පොතකි. ඉස්ලාම් ආගමේ නාමයෙන් ඔබට නින්දා කරනු වෙනුවට මම ඔබට සුබ පතමි.” ලෝ ප‍්‍රකට සිරියානු කිවි අදෝනිස් ලියූ කවියක මේ දෙපදය විය: “සත්‍යය යනු කඩුව හෝ ඒ කඩුව අල්ලන අත හෝ නොවේ.” මේ වුකලි මෙකල ලංකාව කරවන බෞද්ධ රජවරුන්ට පවා කියා දිය යුත්තකි.

අන්තවාදයේ ගොරහැඩි ඝෝෂාව වෙනුවට සබුද්ධිකත්වයේ මිහිරි ස්වරය මතු කිරීමත් ඊට සවන්දීමත් අප කවුරුත් හමුවේ ඇති වගකීමකි. රුෂ්ඩිගේ අලූත්ම පොත මා වෙත ඇති අපේක්ෂාවේ පහනට තවත් ටිකක් දීප්තිය එක් කළ බව කියන්නේ ප‍්‍රමෝදයෙනි.

Back to Home page